මූසල ජයග්‍රහණය

[සී ඒ චන්ද්‍රප්‍රේම - සඳුදා දිවයින ] යම් ඡන්දයක්‌ එයට සහභාගි වූ ප්‍රතිවාදී පාර්ශ්ව දෙකටම ජයග්‍රහණයක්‌ වන්නේ ඉතාමත්ම කලාතුරකිනි. නමුත්...

[සී ඒ චන්ද්‍රප්‍රේම - සඳුදා දිවයින ]
යම් ඡන්දයක්‌ එයට සහභාගි වූ ප්‍රතිවාදී පාර්ශ්ව දෙකටම ජයග්‍රහණයක්‌ වන්නේ ඉතාමත්ම කලාතුරකිනි. නමුත් සති අන්තයේ අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ අවසන් අදියර එ.ජා.ප.යටත් එ.ජ.නි. සංධානයටත් ජයග්‍රහණ සනිටුහන් කරමින් අවසන් වූ බව කිව හැක. සංධානයේ ජයග්‍රහණය වූයේ කොළඹ හැරුණු විට අන් සියලුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමයි. කල්මුනේ මහ නගර සභාව පවා ජය ගත්තේ ආණ්‌ඩුව සමග සංධානගත වී සිටින ශ්‍රී.ල.මු. කොංග්‍රසයයි. එ.ජා.ප.යේ ජයග්‍රහණය වූයේ බොහෝ අය බලාපොරොත්තු නොවූ ආකාරයට මෙවරත් කොළඹ මහ නගර සභාව ජය ගැනීමට හැකි වීමයි.

කොළඹ පැරදුනේ නම් එ.ජා.ප.ය ඉතාමත්ම අසීරු තත්ත්වයකට පත්වනු ඇත. අන් සියල්ලම නැති වුණත් කොළඹ පමණක්‌ හෝ රැකගැනීමෙන් ඒ සිදුවන්නට තිබුණු විනාශය මඳක්‌ හෝ ප්‍රමාද කරගැනීමට එ.ජා.ප. යට හැකි විය. එ.ජා.ප. ය කොළඹ ලැබූ මේ ජයග්‍රහණයේ සුවිශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් එ.ජා.ප. ය සමග සංධානගත වී සිටින පක්‍ෂ 2 ක්‌ වන මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණත්, ශ්‍රී.ල.මු. කොංග්‍රසයත් වෙනම තරග කරද්දී පවා ඔවුන්ට ජයග්‍රහණය කිරිමට හැකිවීමයි. මනෝ ගනේෂන්ගේ පක්‍ෂය වෙනම තරග කෙරුවා පමණක්‌ නොව මීට කලින් වතාවේදී ලබාගත් ආසන 4 ට වඩා තවත් ආසන 2 ක්‌ ම දිනා ගත්තේය. එවැනි වාතාවරණයක පවා එ.ජා.ප. යට ජයග්‍රහණය කිරීමට හැකිවීම සැලකිය යුතු කරුණකි. මෙවර කොළඹ මහා නගර සභාව සඳහා තරග කළ විවිධ ස්‌වාධීන කණ්‌ඩායම්වලද බොහෝ දෙනෙක්‌ එ.ජා.ප. යෙන් කැඩී ගිය අය විය. ඔවුන්ගෙන්ද යම් ඡන්ද ප්‍රමාණයක්‌ කැඩුණත් එ.ජා.ප. යට ගොඩ ඒමට හැකි වීම ගැන ඔවුන් සතුටු විය යුතුය. මෙවර මුස්‌ලිම් කොංග්‍රසය වෙනම තරග කළත් කොළඹ නගරයේ මුස්‌ලිම් ඡන්ද බහුතරයක්‌ එ.ජා.ප. යට

රැකගැනීමට හැකිවී ඇති බව පෙනෙයි. එයද වෙනමම ජයග්‍රහණයකි. එනම් සුළු ජන කොටස්‌ ජාතිවාදී පක්‍ෂවලට බිලිදෙන්නේ නැතුව ජාතික දේශපාලන පක්‍ෂයක්‌ තුළ රඳවා ගැනීමට හැකිවීම එ.ජා.ප. යේත් ඒ. ඡේ. එම්. මුසම්මිල් මහතාගේත් සුවිශේෂ ජයග්‍රහණයක්‌ යෑයි කිව හැක. එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ද වෙනදා මෙන් සුපිරි හෝටල් වන්දනාවේ යන්නේ නැතිව මෙවර කොළඹ දිනාගැනීම සඳහා යම් පරිශ්‍රමයක්‌ දැරුවේය. කොළඹ පැරදුනේ නම් ඔහුට එ.ජා.ප. පක්‍ෂ සම්මේලනයටවත් යැමට නොහැකි වනු ඇත.

කොළඹ ජයග්‍රහණය කිරීමෙන් එ.ජා.ප. නායකයාගේ ප්‍රශ්න අවසන් වී ඇති බවවත් ඔහුගේ නායකත්වය ඉදිරි අවුරුදු කීපයටවත් තහවුරු වී ඇති බවවත් කිව නොහැකිය. ඒ මන්දයත් කොළඹ ජය ගත්තත් අනෙක්‌ සියලුම පළාත් පාලන ආයතන පරාජය වී තිබීමෙනි. මෙවර ඡන්දයට ගිය පළාත් පාලන ආයතන 23 න් 17 ක්‌ ම මහ නගර සභා විය. සාමාන්‍යයෙන් නාගරික ප්‍රදේශවල ඡන්දය වඩාත් එ.ජා.ප. යට නැඹුරුය. එම නිසා මේ ඡන්දය ද පවත්වනු ලැබුවේ එ.ජා.ප. යට වාසිදායක ජන කොටසක්‌ අතරය. එසේ තිබියදීත් මේ සියලුම නාගරික ප්‍රදේශවල එ.ජා.ප යේ ඡන්ද පදනම බියකරු ලෙස දෙදරා ගොස්‌ ඇති බවක්‌ පෙනේ.

මේ අවසන් වූ පළාත් පාලන ඡන්දයේදී එ.ජා.ප. යට එකම පළාත් පාලන ආයතනයකවත් එනම් දිනපු කොළඹ මහ නගර සභාවේවත් එ.ජ.නි. සංධානයට කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ පුන්කරි ප්‍රාදේශීය සභෘවේ ලැබුණු ඡන්ද ප්‍රතිශතය වත් ලැබී නැති බව කීවොත් එය බොහෝ දෙනකුගේ මවිතයට හේතුවනු ඇත. කිලිනොච්චිය යනු මේ ආණ්‌ඩුව හමුදාව යොදවා කොටි සංවිධානය නැති බංගස්‌තාන කළ ප්‍රදේශයකි. එවැනි ප්‍රදේශයක ආණ්‌ඩුවට පක්‍ෂව ලොකු ඡන්දයක්‌ ලැබේවි යෑයි සිතිය නොහැක. එසේ නමුත් එවැනි ප්‍රදේශවල පවා ආණ්‌ඩුව ලබන ඡන්ද ප්‍රතිශතය එ.ජා.ප. යට තමාගේ සාම්ප්‍රදායික ඡන්ද පදනම් තිබෙන නාගරික ප්‍රදේශවලින්වත් ලබාගැනීමට නොහැකි යෑයි කියන විට ඒ පක්‍ෂය වැටී ඇති අර්බුදයේ තරම සිතාගත හැකිය. කොටින්ම කියනවා නම් වත්මන් ආණ්‌ඩුවට කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ නැත්නම් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාව වැනි තැන්වල ලැබෙන ප්‍රතිශතයවත් ලැබී ඇත්තේ තැන් කිහිපයක පමණි. එමනිසා කොළඹ අනපේක්‍ෂිත ආකාරයට ජය ගත්තත් එ.ජා.ප. යේ මුලු අනාගතයම අඳුරු වළාකුළකින් වැසී ඇති බව කිව හැක.

කොළඹ ජයග්‍රහණය ගැන පවා ඔවුන් තව ටිකක්‌ කල්පනා කළ යුතුය. කොළඹ නගර සභාව තුළ ඔවුන්ට ලැබුණේ 43% ක ඡන්ද ප්‍රතිශතයක්‌ පමණි. ඔවුන්ට තිබෙන්නේ ආසන 53 න් 24 ක්‌ පමණි. ආසන පැහැදිලි බහුතරයක්‌ නොලැබුණත් එ.ජා.ප. ය ජයග්‍රහණය කෙරුවා යෑයි කියන්නේ පළාත් පාලන නීතියේ ඇති විශේෂත්වයක්‌ නිසාය. එම නීතියට අනුව යම් පළාත් පාලන ආයතනයක්‌ තුළ පැහැදිලි බහුතරයක්‌ නොතිබුණත් වැඩිම ආසන ගණනක්‌ දිනාගත් කණ්‌ඩායමට බලය හිමි වන නිසාය. කොළඹ මේ ජයග්‍රහණය තුළ වුවත් එජාපයේ බහින කලාව විද්‍යාමාන වෙයි. ඉදිරි දිනවලදී ඔවුන්ට මේ ගැන ගැඹුරින් කල්පනා කිරීමට සිදුවනු ඇත.

එ.ජා.නි සන්ධානයටද මේ ඡන්ද ප්‍රතිඵලය එක්‌ පැත්තකින් විශාල ජයග්‍රහණයක්‌ වුවත් අනෙක්‌ පැත්තෙන් කොළඹ දිනා ගැනීමට නොහැකි වීමෙන් යම් පසුබෑමක්‌ද සිදුවී ඇත. කොළඹ නගරය ජයගැනීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාම පෞද්ගලිකවම මැදිහත් විය. කොළඹ නගරවාසීන් කණ්‌ඩායම් වශයෙන් ගෙන්වා ඔවුන්ට කතා කළත් බලාපොරොත්තුවූ ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි විය. නමුත් මෙතැනදි එක කාරණයක්‌ මා පවසා සිටිය යුතුය. මා "ද සන්ඩේ අයිලන්ඩ්" පුවත්පතේ සතිපතා කරන දේශපාලන තොරතුරු සමාලෝචනයේදී එක්‌ වරක්‌ නොව දෙවරක්‌ම පවසා සිටි කාරණය වූයේ කොළඹ පරාජය වීම ආණ්‌ඩු පක්‍ෂයට හොඳ නැති වුවත් රටට හොඳ බවයි. එක්‌සත් ජාතික පක්‍ෂයටද කොළඹ නගරය හරි ආකාරයට දියුණු කිරීමට නොහැකි වූයේ නගරය තුළ ඔවුන්ගේ ආධාරකරුවන් වැඩිවූ නිසාය. 1977-94 කාල පරිච්ඡේදය තුළ එජාපය වෙනුවෙන් පෝස්‌ටර් ගැහුවේ, කොඩිවැල් ඇද්දේ කොළඹ මහනගර සභාවේ සේවකයන් වන නිසා ඔවුන් දවස්‌ ගණනක්‌ වැඩට ආවේ නැතත් රැකියාව නැති වන්නේ නැත. එම නිසා ගෙවල් උසට මහ පාරේ කුණු කඳුය. එපමණක්‌ ද නොව කොළඹ නගරයේ වතුවල සිටින්නේ එජාප ආධාරකරුවන් නිසා ඒ වතු ඉවත් කොට තට්‌ටු නිවාස තැනිය නොහැකි විය. කොළඹ නගරයේ වතුවල සිදුවන්නේ ජීවත්වීම පමණක්‌ නොවේ. ඒ ආශ්‍රිතව වෙනම කළු ආර්ථිකයක්‌ද වෙයි. සියලුම මත්කුඩු ජාවාරම්, කසිප්පු, සූදු පොළවල්, ගණිකා මඩම් වැනි කටයුතුද සිදුවන්නේ මෙකී වතු ආශ්‍රිතවය. මේ වතු තුළට පොලිසිය යන්නේද කලාතුරකිනි. ගියත් ඔවුන් ඒමට පෙර සියල්ල සඟවා ගැනීමට වෙනම සන්නිවේදන ක්‍රම වතු තුළ ඇත. මේ වතු ඉවත්කොට පිළිවෙළක්‌ ඇති තට්‌ටු නිවාස තැනීමට එරෙහිව සිටින බලගතු බලවේග නගරය තුළ සිටී. කොළඹ නගරයෙන් වතු ඉවත් කොට මුඩුක්‌කු නැති තට්‌ටු නිවාසවලින් හෙබි පිළිවෙළක්‌ ඇති නගරයක්‌ නිර්මාණය කළ හැක්‌කේ කොළඹ ඡන්ද දායකයින් ගේ පදයට නැටවෙන්නේ නැති ආණ්‌ඩු පක්‍ෂයකට පමණි. කොළඹ නගර සභාව තුළ ආණ්‌ඩු පක්‍ෂය පරාජය වීමෙන් ඔවුන්ට නරක දෙයක්‌ වුවත් රටට හොඳ දෙයක්‌ වන්නේ එම නිසාය. අපට ඉදිරි වසර කීපය තුළදී වෙනස්‌ වූ කොළඹක්‌ ගැන දැන් බලාපොරොත්තු තබාගත හැක.

ආණ්‌ඩු පක්‍ෂය මේ වන තෙක්‌ කිසිම දේශපාලන පක්‍ෂයක්‌ ලබාගත නොයුතු තරමේ ජයග්‍රහණ ලබා ගෙන ඇත. එජාපයේ නාගරික බලකොටු සියල්ලම පාහේ සුනු විසුනු කිරීමට ඔවුන්ට මෙවරත් හැකිවිය. නමුත් ආණ්‌ඩුව පිරිහීමේ ලකුණු මේ ජයග්‍රහණය තුළින්ම සනිටුහන් වී ඇත. ආණ්‌ඩු පක්‍ෂයේම දෙපිරිසක්‌ අතර ඇතිවූ ගැටුමකින් භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය යැමත්, දුමින්ද සිල්වා අසාධ්‍ය තත්ත්වයේ සිටීමෙනුත් මිනිසුන්ට මේ ආණ්‌ඩුව එපාවෙන තැනට කටයුතු සැලසී ඇත. මේ ආණ්‌ඩුවෙන් ලැබුණු යුද ජයග්‍රහණය, විශාල සංවර්ධන ව්‍යාපෘති හා ආර්ථික දියුණුව යන සියල්ල අභිබවා මේ මුග්ධ මැරකම ඉස්‌මතුවී ඇත. මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීම කිසිදු ප්‍රයෝජනයක්‌ ඇති දෙයකට සිදුවූ වෙඩි තැබීමක්‌ නොවේ. අඩුම තරමේ ඡන්ද පෙට්‌ටියක්‌වත් පිරවීමට ගොස්‌ වෙඩි තබා ගත්තේ නම් එය වෙනම කතාවකි. නමුත් මෙය හුදෙක්‌ම චණ්‌ඩි කමට "සෙකන්ඩ් වෙන්න" බැරිකමට සිදුවූ දෙයකි. මේ මැරකම් හා චණ්‌ඩිකම්වලට ජනාධිපතිතුමාම මැදිහත්වී තිත තැබිය යුතුය. මර්වින් සිල්වා, රූපවාහිනි කැමරා ගෙන්වාගෙන රටටම පේන්න චණ්‌ඩි පාට්‌ දැමීමත් නතර විය යුතුය. එසේ නොවූවොත් සිදුවන්නේ මැර ආණ්‌ඩුවක්‌ නොවන වත්මන් ආණ්‌ඩුවට නිකරුනේ මැර ලේබලය ඇලවීමයි. මිනිසුන්ට ආණ්‌ඩුව එපා වන්නේ ඔය දේවල්වලිනි. මේ තරම් නිර්මාණශීලී ආණ්‌ඩුවක්‌ කීප දෙනෙකුගේ ගොන්කම් නිසා පිරිහීමට ලක්‌වීම කිසිවකුටත් පිළිගත හැකි දෙයක්‌ නොවේ. භාරතගේ මරණයෙන් මුළු රට පුරාම මූසල ගතියක්‌ පැතිර ගොස්‌ ඇත. ලැබූ ජයග්‍රහණයවත් හිතට එකඟව බුක්‌ති විඳිය නොහැකි තැනට ආණ්‌ඩු පක්‍ෂයේ මිනිසුන් පත්වී ඇත. මේ මැරකම් හා චණ්‌ඩි පාට්‌ සිදුවන්නේද අඩුම වශයෙන් නැති වන්නට යන බලයක්‌ රැක ගැනීමට ගන්නා උත්සාහයක්‌ තුළවත් නොවේ. මේ නිකන්ම තමන්ට ඇති බලයෙන් ඔලුව උදුම්මවා ගත් මෝඩයින් පිරිසකගේ හැසිරීමකි. දැන් සිදුවන්නේ විපක්‍ෂයට කරගත නොහැකි දේ ආණ්‌ඩු පක්‍ෂයේම ගොන්නු ටික ඉටුකරදීමයි.

ආණ්‌ඩුව පිරිහීමේ ලකුණු මේ ජයග්‍රහණය තුළින්ම සනිටුහන් වී ඇත. ආණ්‌ඩු පක්‍ෂයේම දෙපිරිසක්‌ අතර ඇතිවූ ගැටුමකින් භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය යැමත්, දුමින්ද සිල්වා අසාධ්‍ය තත්ත්වයේ සිටීමෙනුත් මිනිසුන්ට මේ ආණ්‌ඩුව එපාවෙන තැනට කටයුතු සැලසී ඇත. මේ ආණ්‌ඩුවෙන් ලැබුණු යුද ජයග්‍රහණය, විශාල සංවර්ධන ව්‍යාපෘති හා ආර්ථික දියුණුව යන සියල්ල අභිබවා මේ මුග්ධ මැරකම ඉස්‌මතුවී ඇත.

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 3493001544369902050

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item