ගෝඨාභයගේ අනතුරු ඇඟවීම!

"13 A සංශෝධනය නොපමාව අවලංගු කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෙහෙයවන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජය 13 A අවලංගු කිරීම හෝ එය යළි...


"13 A සංශෝධනය නොපමාව අවලංගු කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෙහෙයවන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජය 13 A අවලංගු කිරීම හෝ එය යළි සකස්‌ කිරීම හෝ නොපමාව කළ යුත්තක්‌ ලෙස මම දකිමි".

ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ මේ අභීත ප්‍රකාශය ගැන මම පුදුම නොවෙමි. මා පුදුම වන්නේ එතුමා මෙවැනි ප්‍රකාශයක්‌ කිරීමට ප්‍රමාද වීම ගැනයි. කලක්‌ වේලේ සිට එතුමාගේ අදහස්‌ උදහස්‌ ගැන දැන සිටි මා මෙවැන්නක්‌ එතුමාගෙන් බලාපොරොත්තු වූයේ මීට කලිනුයි. ඒ ප්‍රමාදයට හේතුව, මේ රජයට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස්‌ දෙන උපදේශකයන්ගේ ක්‍රියාකලාපය ගැන දන්නා මට එය අවබෝධ කර ගැනීම අපහසු නොවේ. කෙසේ වුවද පමා වී හෝ මෙවැනි අභීත ප්‍රකාශයක්‌ කිරීම ගැන එතුමාට මේ රටේ ඉන්නා අතිමහත් බහුතරයේ ප්‍රණාමය හිමි වන බව ඒකාන්තයි. මේ රටේ ඉන්නා නායකකාරකාදීන් අතරින් මේ රට ජාතිය ගැන අවංක කැක්‌කුමක්‌ ඇති නිස්‌සරණාධ්‍යාශයෙන් කටයුතු කරන එකම නායකයා එතුමාය යන මගේ නිගමනය මේ ප්‍රකාශය විසින් යළි ස්‌ථිර කර ඇත.

ඒ ප්‍රකාශය අනාගතය ගැන ගැඹුරින් සලකා බලා කරන ලද්දක්‌ බව පෙනේ. එය අප විසින්ද එලෙසම වටහා ගත යුතු වෙයි. 'දිවි නැඟුම' මුල් කර උද්ගතව ඇති මේ තත්ත්වය ඉන් බොහෝ එහාට යන මුළු රටේම ආරක්‍ෂාවට ස්‌වෛරීභාවයට විශාල තර්ජනයක්‌ බව එතුමා විසින් පෙන්වා දී ඇත.

13 නමැති මේ මර උගුල මේ රටේ ආරක්‍ෂාවට ස්‌වෛරීභාවයට තර්ජනයක්‌ පමණක්‌ නොව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රධාන ඊළාම් ත්‍රස්‌තවාදය විනාශ කළ සියලු යුද නායකයන්ගේ ජීවිත බිලි ගන්නා මර උගුලක්‌ බව අපගේ වැටහීමයි. ඒ ගැන කතා කිරීමට පළමු 13 A ඉවත් කිරීමේ කාර්යය ප්‍රායෝගික වශයෙන් ඉටු කර ගන්නේ කෙසේද යන්න දැන පැහැදිලි කර ගැනීම ප්‍රයෝජනවත් වෙතියි සිතමි. මෙවැනි ප්‍රායෝගික මගක්‌ වෙත එළඹ කටයුතු නොකළහොත් මෙයද ජනතාවගේ විශ්වාසය රඳවා ගැනීම සඳහා යොදාගනු ලබන උප්පරවැට්‌ටියක්‌ වී අවසන් විය හැකිය.

13 සංශෝධනය නමැති මර උගුල අහෝසි කළ යුතුව තිබුණේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය අවසන් කර දැමූ දාට පසුවදායි. ජනතාව තුනෙන් දෙකක බලයක්‌ ලබාදුන්නේ, රට එක්‌සේසත් කළ මහරජානෝය යන විරුදාවලියෙන් මහින්ද රාජපක්‍ෂයන් හැඳින්වූයේ හුදෙක්‌ ත්‍රස්‌තවාදය විනාශ කර දැමූ නිසා නොවේ. ත්‍රස්‌තවාදය විනාශ කළ ජනාධිපතිවරයා ජාතිය මත පටවන ලද මර උගුලද විනාශ කර ජාතිය එක්‌සේසත් කරනු ඇතැයි ජනතාව විශ්වාස කළේය. ජනතාව විසින් රට එක්‌සේසත් කළ මහ රජුන් ලෙස හැඳින්වීමෙන් පසුව 18 සංශෝධනය මගින් රජ පෙළපත දීර්ඝ කර ගැනීමේ අවශ්‍යතාවක්‌ නොතිබිණ. ඒ අවස්‌ථාවේදී හුදෙක්‌ රජය කෙරෙහි විශ්වාසයක්‌ නොතබා එවැන්නක්‌ කිරීම සඳහා බලකරන ජනතා උද්ඝෝෂණයක්‌ දියත් නොකිරීම අප අතින් සිදු වූ ප්‍රමාදදොaෂයකි. අපි ඒ ජනතා වගකීම ඉටු නොකළෙමු. බලයට පැමිණි රජය ඊට උපස්‌තම්භක වූ ජාතික බලවේග පිටුදැක ඊට එරෙහි වූ සතුරන් උපදේශකයන් ලෙස ළංකර ගන්නා විට අපට මේ ප්‍රඥව පහළවිය යුතුව තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ ගොනා පිටුපස යන රියසක මෙන් - චක්‌කංව වහතෝ පදං යන න්‍යායට අනුව යමින් මේ මර උගුල ඇටවූ මාරයා අප ලුහු බඳිමින් ඒමයි. දැනුත් අපේ නායකයන් කරන්නේ ඒ මාරයා පිටුදැකීම නොව පළාත් සභා අල්ලාගෙන පුළුවන්නම් අධිකරණයද අල්ලාගෙන ඒ මර උගුලෙන් රිංගා යැමට තැත් කිරීමය යන සැකය අප සිත පහළ වේ. එසේ කළහොත් එසේ රිංගීමට තැත්කරන්නවුන්ට අත්විය හැකි ඉරණම ගැන මේ ලිපියේ අවසන් කොටසින් පෙන්වා දීමට තැත් කරමි. ඊට පළමු ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ යෝජනාව - 13 ඉවතලීමේ කාර්යය ඉටුකර ගැනීමට ඇති ප්‍රායෝගික මාර්ගය ගැන සලකා බැලීම වැදගත් යෑයි සිතමි.

තිස්‌ අවුරුද්දක්‌ තුළ පළාත් සභාවලට වහ වැටී ඇති ඇතැම් අධමයන් ඒ හතර මහ නිධානය එකවරම අත්හැරීමට සූදානම් වනු ඇතැයි ගෝඨාභය රාජපක්‍ෂයනට විශ්වාස කළ හැකිද? ඒ අධමයන් මෙතෙක්‌ කෑ මේ හතර මහ නිධානය මැරුවත් අත්නොහරිනු ඇත. එවැන්නක්‌ සඳහා ගෝඨාභය රාජපක්‍ෂ වැනි ජාතිහිතෛෂීන් බලකර සිටියහොත් සිදුවනු ඇත්කේ කුමක්‌ද? ලැ-ජා බයක්‌ නැති මේ අධම රිළවුන් බුරුතු පිටින් රනිල් වික්‍රමසිංහ හෝ සරත් ෆොන්සේකා ළඟට පනිනු ඇත. මේ අධමයන් එසේ නොකරනු ඇතැයි සිතීමට තරම් අප බොළඳ විය යුතු නොවේ. පසුගිය දා උතුරු මැද පළාතේ වුණු දේවල් හොඳ උදාහරණයකි. එවැන්නක අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ, දහසක්‌ වරද ඇතත් ත්‍රස්‌තවාදයෙන් මේ රට මුදා ගැනීමට හැකි වූ එකම රජය ඉන් පසුදා ඇදවැටීමයි. අපේ සතුරන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කිරීමේ එක්‌ මඟක්‌ මෙය විය හැකියි. එබැවින් ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ යෝජනාව ක්‍රියාවට නැඟීම සඳහා ප්‍රායෝගික මඟක්‌ අප විසින් පාදා ගත යුතුයි.

දැවැන්ත වෘක්‍ෂයක්‌ එකවර කපා දැමීමට ගියහොත් සිදුවන අතුරු අන්තරා ගැන අපි දනිමු. එය වළක්‌වාගත හැක්‌කේ අතු ඉති පළමුව කපා දැමීම මගිනුයි. අතු ඉති කපා හළ වෘක්‍ෂය ටික කලෙකින්ම මිය යයි. කඳ කපා ඉවත් නොකළද එය ඉබේම දිරාපත්වනු ඇත. මෙහිදීද අප විසින් ගත යුත්තේ මේ මඟයි.


තිස්‌ වසක්‌ මුළුල්ලෙහි ඔහේ වැනි වැනි පැවැති පළාත් සභාවලට මෙතෙක්‌ නොලැබුණු අවශ්‍ය ප්‍රාණය ජීවය ලබාදෙන බලතල දෙකක්‌ තිබේ. ඒ දෙක නම් ඉඩම් බලතල හා පොලිස්‌ බලතලයි. පළාත් සභා ඉල්ලන ඊළාම්වාදීන්, NGO නඩය බටහිර සතුරන් මේ බව දනී. ඔවුන් 13 මගින් ඉල්ලන්නේ අන් කිසිවක්‌ නොව මේ බලතලයි. එබැවින් අප විසින් කළ යුත්තේ මේ බලතල දෙක කප්පාදු කර 13 ක්‌ දීමයි. බලය බෙදාහරින 13 ක්‍රියාත්මක කිරීමේදී අප විසින් ගත යුත්තේ මේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගයයි. ඊට අමතරව පොලිස්‌ බලතල ඉඩම් බලතල නොඉල්ලන ප්‍රාදේශීය සභාවලට අප විසින් උපරිම බලතල ලබා දිය යුතුයි. ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ අපේක්‍ෂාව ප්‍රායෝගික වශයෙන් ඉටුකර ගත හැක්‌කේ මේ මගින් පමණි.

අවසාන වශයෙන් 13 නමැති මර උගුල තවදුරටත් පවත්වාගෙන යැම, එය ක්‍රියාවට නැඟීමට යැම රටේ ජාතියේ ආරක්‍ෂාවට මෙන්ම ත්‍රස්‌තවාදය විනාශ කළ ජනාධිපති ප්‍රධාන නායකයන්ගේ ජීවිතවලටද විශාල තර්ජනයක්‌ වන සැටි පෙන්වා දීමට කැමැත්තෙමි.


13 ක්‍රියාත්මක කර ඊළාමය ලබා දීමට මඟ සැලැස්‌වුවහොත් බටහිර අධිරාජ්‍යවාදීන් ඉන් සෑහීමට පත්වී යුද මෙහෙයුම් කළ ජනාධිපති ඇතුළු නායකයන්ට යහතින් ඉඳීමට ඉඩදෙනු ඇතැයි එය ක්‍රියාත්මක කිරීමට බලකර සිටින උපදේශකයන් කියා සිටිනු ඇත. එතරම් මුළාවක්‌ තවත් තිබිය නොහැකිය. ඊළම ලබාදීම මගින් අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රය අවසන් නොවේ. සිදුවනු ඇත්තේ එහි දෙවැනි පියවර වෙත යැමයි.

වත්මන් රජයේ පැවැත්ම ර¹පවතින්නේ ප්‍රභාකරන් වනසා ලූ යුද ජයග්‍රහණය මත බව මේ අධිරාජ්‍යවාදී හතුරෝ අපට වඩා හොඳින් දනිති. 13 දීමට තැත් කිරීමත් සමඟ ජනතාව මේ රජයට එරෙහිව නැඟී සිටින බව ඔවුන්ට රහසක්‌ නොවේ. හැටදහසක්‌ දරුවන්ගේ ජීවිත බිල්ලට දුන්නේ ඊළම බන්දේසියක තබා දෙන්නට දැයි ජනතාව අසනු ඇත. එසේ ජනතාවගෙන් වියෝවන රජය, බලයෙන් පහ කිරීමේ මාර්ගය මේ සතුරන් විසින් එවිට පාදා ගන්නවා ඇත. ඔවුන් ගනු ලබන මේ මඟ පිළිබඳව ඉතා වැදගත් අනාවරණයක්‌ පසුගිය දිනවල ලන්ඩනයේ පැවැති ඊළාම්වාදීන්ගේ සමුළුවකදී ඊට සහභාගි වූ ඇලන් කීනන් නමැත්තා විසින් හෙළිකරන ලදී. ඒ සමුළුව පවත්වන ලද්දේ ප්‍රාන්සස්‌ හැරිසන් නමැති BBC වාර්තාකාරිය විසින් යුද්ධයේදී දෙමළ මිනිසුන් ඝාතනය කළ සැටි ලොවට කියාපානු සඳහායි. ඒ සමුළුවට සොල්හයිම්, දරුස්‌මන් වාර්තාව ලියූ යෑස්‌මින් සූකා ආදී ප්‍රබල පිරිසක්‌ සහභාගි වී ඇත. එහිදී ඇලන් කීනන් නමැති ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස්‌ ගෲප් හි අධ්‍යක්‍ෂවරයා මෙවැනි ප්‍රකාශයක්‌ කළේය. ඔහු ඒ ආයතනයේ ලංකාව පිළිබඳ ප්‍රොජෙක්‌ ඩිරෙක්‌ටර්වරයා වෙයි.

"ඊළඟ අවුරුද්ද හෝ දෙක තුළ ලංකාවේ නායකයන්ට විරුද්ධව නඩු පැවරීම සිදු නොවනු ඇත... අප කලක්‌ ගතවන ක්‍රියාමාර්ගයකට එළඹිය යුතුයි. යුද්ධයෙන් මියගියවුන්ගේ නෑයන්, ඔවුන්ගේ පවුල්, ඉතිරිව ඉන්නා පිරිස්‌ අප සමඟ එක්‌වී කටයුතු කළ යුතුය, එසේ කළහොත් අපගේ ක්‍රියාමාර්ගය සාර්ථක වනු ඇත. ඔවුන් කළ යුත්තේ අවශ්‍ය සාක්‍ෂි දිගින් දිගටම අපට ලබා දීමයි. මගේ ආයතනය විසින් සපයන වාර්තා, චැනල් 4 වැනි චිත්‍රපට ඉතාමත් වැදගත් වෙයි. මේ අයුරින් සාක්‍ෂි එකතුකර අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කළ හොත් අපට රාජපක්‍ෂ රජය දංගෙඩියට යෑවීමට හැකිවනු ඇත. මා සිතන අයුරු ලංකාව තුළ සිදුවන දේශපාලන සිදුවීම් මෙන්ම බාහිර ලෝකය තුළ සිදුවන වෙනස්‌ වීම්ද හමුවේ රාජපක්‍ෂ රජයට මෙතෙක්‌ කටයුතු කළ ඒකාධිපති ආකාරයට අනුව කටයුතු කළ නොහැකිවනු ඇත. යුද අපරාධ චෝදනාවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇත. මා දකිනා අයුරු අද රාජපක්‍ෂ රජයට පෙර තිබුණු ජනතා බලය නොමැත. සිංහල මිනිසුන් අතරද රජය ගැන විශාල කලකිරීමක්‌ ඇති වී තිබේ. මෙය වළක්‌වා ගැනීමට ඔවුන් ඒකාධිපති ලෙස කටයුතු කරනු ඇත. එහෙත් ඒ බලය බිඳී ගිලිහී යන සුලුය. එක්‌තරා අවස්‌ථාවකදී එය මුළුමනින්ම කඩා වැටෙනු ඇත. එය සිදුවීමට තව දශකයක්‌ හෝ දෙකක්‌ වුව ගතවන්නට පුළුවන. අපගේ කාර්යය විය යුත්තේ ඒ අවස්‌ථාව, ඒ මොහොත හැකි ඉක්‌මනින් උදා කර ගැනීමයි".

13 දී බටහිරයන් පිනවිය හැකි යෑයි උපදෙස්‌ දෙන උපදේශකයන්ගේ බස්‌වලට මෙන්ම ඇලන් කීනන්ගේ මේ වදන්වලටද රජය කන්දෙනු යෙහෙකි.

බටහිරයන්ගේ ඇණවුම අනුව 13 දීමට ක්‍රියාකරන නායකයන් විසින් එය රටේ ජාතියේ පැවැත්මට මෙන්ම තමන්ගේ පැවැත්මටද තර්ජනයක්‌ වන බව දැන්වත් දැකගත යුතුවෙයි.
ආචාර්ය ගුණදාස අමරසේකර
2012-10-21

Related

ගුණදාස අමරසේකර 1379397407709670791

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item