දහතුන අහෝසි කරමු

බමුණු කුලය පැරදවීම පහසු කාර්යයක්‌ නොවේ. අද බොහෝ ප්‍රශ්නවලට මුල මේ බමුණු කුලය ය. බටහිර අධ්‍යාපනයක්‌ ලබා සමාජයේ ඉහළ යෑයි සම්මත විවිධ ස්‌ථරවල...


බමුණු කුලය පැරදවීම පහසු කාර්යයක්‌ නොවේ. අද බොහෝ ප්‍රශ්නවලට මුල මේ බමුණු කුලය ය. බටහිර අධ්‍යාපනයක්‌ ලබා සමාජයේ ඉහළ යෑයි සම්මත විවිධ ස්‌ථරවලට එකතු වී ඇති මොවුහු දැනුම්වත් ව හෝ නොමැතිව හෝ බටහිර ක්‍රිස්‌තියානි අධ්‍යාපනය හා බටහිර ඒජන්තයන් විසින් විවිධ කටයුතු සඳහා මෙහෙයවනු ලැබෙති. සරසවි ඇදුරන් මේ බමුණු කුලයේ විවිධ තැන්වල ස්‌ථානගත වී ඇත. ඔවුන්ගේ ව්‍යාජ ඉල්ලීම් මත පදනම් ව ඔවුන් ලවා කෙරුණු අර ඩේ මේ ඩේ ෙෆdaරම්කාරයන් ඇතුළු ඉහළ බමුණු කුලයේ ජනතා සහායක්‌ නොලැබූ ආණ්‌ඩු විරෝධී අරගලය තේරුම් ගැනීමෙන් පසුව ආණ්‌ඩුව කිසිවක්‌ ලබා නොදී ඇදුරන් ආපසු සරසවිවලට යෑවී යෑයි සිතිය හැකිය. ඉහළ බමුණු කුලය වර්ජනය නැවැත්වීමට විරුද්ධ බව ද පැහැදිලි ය. අයවැයෙන් අනෙක්‌ රජයේ හා සංස්‌ථාවලට දෙන දීමනා හැරෙන්නට වෙනත් දීමනා ඔවුන්ට නොලැබෙන බව කිව හැකිය. ආණ්‌ඩුව ඇදුරන් පිළිබඳව කලකට පසු දැඩි ස්‌ථාවරයකට එළැඹීම පිළිබඳව බමුණු කුලයෙන් පිටත සිටින අයට සතුටු විය හැකි ය. 6% පුස්‌සක්‌ බවත් පණ්‌ඩිතමානී ව්‍යාජ ඉල්ලීමක්‌ බවත් බමුණන්ට හැරෙන්නට අනෙක්‌ අයට අවබෝධ වී ඇත. එහෙත් ඇදුරන් කියන්නේ ඔවුන්ගේ තකතීරු ඉල්ලීම සමාජගත වී ඇති බව ය. එය සමාජගත වී ඇති බව සැබෑ ය. එය පුස්‌සක්‌ ලෙස සමාජගත වී ඇත. බටහිර අධ්‍යාපනයෙන් මුසපත් වී ඇති බමුණන් හැර අනෙක්‌ අය පුස්‌ස හඳුනාගත්හ. අද රටට බලපාන තවත් ප්‍රශ්නයකට ද මුල බටහිර විද්‍යාවට වන්දනාමාන කරන තකතීරු බටහිර විද්‍යාඥයන් ය.



කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්‌ඩායම නාථ දෙවියන් හා විපස්‌සක දෙවියන් නමින් හැඳින්වෙන්නන්ගේ මාර්ගයෙන් රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායනික ද්‍රව්‍ය මගින් එකතුවන ආසනික්‌ බවත් එහෙත් ආසනික්‌ නිසා ම වකුගඩු රෝගය නොසෑදෙන බවත් එයට කිවුල් ජලය හා කුඹුරු පස ද තිබීම අවශ්‍ය බවත් රටට ප්‍රකාශ කර කලක්‌ ගත වී ඇත. ඒ පිළිබඳ ව පසුව බටහිර විද්‍යාවට අනුකූලව පර්යේෂණ කර අවස්‌ථා කිහිපයකදී ම කෘෂිරසායනික ද්‍රව්‍යවල ආසනික්‌ ඇති බව හෙළි කෙරී ඇත. එහෙත් තම පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුකූලව ක්‍රියාකරන ඇතැම් ඇදුරෝ එකී ද්‍රව්‍යවල ආසනික්‌ නැතැයි පුන පුනා කියති. බටහිර විද්‍යාව ගැන දන්නා ඇතැම් ඇමැතිවරු ද බටහිර විද්‍යාවට වන්දනාමාන කරනා එහෙත් ඒ ගැන කිසිම අවබෝධයක්‌ නැති ඇතැම් ඇමැතිවරු ද අප වැරැදි යෑයි කියති. අද කැලණිය විශ්වවිද්‍යාලයේ ආසනික්‌ පිළිබඳ ව රටට හෙළිකළ ආචාර්යවරුන්ට බටහිර විද්‍යාව කටගාගත් එහෙත් එහි දර්ශනය පිළිබඳ කිසිවක්‌ නොදත් බමුණු කුලයේ ඇතැම්හු හිරිහැර කරතිá හැකි නම් ආසනික්‌ කණ්‌ඩායම විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට පිඹුරුපත් සකස්‌ කරති. කෙසේ වෙතත් ආසනික්‌ හැරෙන්නට ආවර්තිතා වගුවේ අනෙක්‌ හැම මූල ද්‍රව්‍යයක්‌ ම වකුගඩු රෝගයට හේතුව යෑයි කියන මේ ඇදුරෝ අද කෘෂිරසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නන්ගේ ඒජන්තයන් බවට පත් වී සිටිති. ඔවුහු කෘෂිරසායනික ද්‍රව්‍ය ගෙන්වන්නන් සමග එකතු වී ආසනික්‌ හෙළිදරව් කළ කණ්‌ඩායමට ආරාධනා නොකර ඕස්‌ටේ්‍රලියාවෙන් හා ජපානයෙන් ඊනියා විද්වතුන් ගෙන්වා ගන්නොරුවේ හා වෙනත් තැන්වල ඒකපාක්‍ෂික සම්මන්ත්‍රණ පවත්වා ආසනික්‌ කතාව බොරු යෑයි කීමට උත්සාහ දරති.

මේ ඒජන්තයන්ගෙන් කීදෙනෙක්‌ ඇදුරන්ගේ වර්ජනයේදී බමුණු කුලයේ සාමාජිකයන් ලෙස වර්ජනයට සහභාගි වූවෝද? මා දන්නා තරමින් ඔවුන්ගෙන් කිසිවෙක්‌ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පුස්‌ස බිඳීමට ඉදිරිපත් නොවූහ. කොන්ද පණ නැති මේ බමුණෝ හා බැමිණියෝ ඇමැතිවරුන්ට සමීප වෙමින් ඉච්චා බස්‌ දොඩමින් බමුණු හිණිමගේ ඉහළට යැමට උත්සාහ දරති. මේ අතර ඇතැම් පඬියෝ අප වකුගඩු රෝගයට එකම හේතුව ආසනික්‌ යෑයි කී බවක්‌ පවසා කෘෂි රසායනික ද්‍රව්‍ය යොදාගන්නා වෙනත් පළාත්වල වකුගඩු රෝගය නැත්තේ ඇයි දැයි අපෙන් අසති. ඔවුන්ගේ නිල් කණ්‌ණාඩිවලට අප වකුගඩු රෝගයට තවත් හේතු දෙකක්‌ ඇති බව කියා ඇති බව ලියා ඇති බව නො පෙනෙයි. ඔවුහු ද අවසාන වශයෙන් ගත්කල බමුණෝ ම වෙති. මේ බමුණන්ට හා බැමිණියන්ට බටහිර විද්‍යාව, ආසනික්‌ හා දෙවියෝ නමින් පළ වී ඇති පොතෙහි සඳහන් කරුණු ගැන විවාදයකට ආරාධනය කරමු.

මේ බමුණු කුලයේ ඇත්තන් ගැන තවදුරටත් කතා කිරීම අවශ්‍ය නමුත් අවුරුදු විසිපහක්‌ තිස්‌සේ ජාතියට තර්ජනයක්‌ව පවතින පළාත් සභා හා දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගැන අද කතා කිරීමට අවශ්‍ය වෙයි. අප බොහෝ අවස්‌ථාවල කියා ඇති පරිදි දහතුන් වැනි ව්‍යවස්‌ථාව බටහිරයන්ගේ ද අනුග්‍රහ ඇතිව ඉන්දියාව විසින් තර්ජනයෙන් හා ගර්ජනයෙන් පරිප්පු දේශපාලනයක්‌ ඔස්‌සේ අප මත බලහත්කාරයෙන් පටවන ලද්දකි. ඉන්දියාවට එරෙහිව ඇමරිකාව තමන්ට ආධාර කරනු ඇතැයි ජේ. ආර්. ජයවර්ධන බලාපොරොත්තු වුව ද එය ඉටු නොවීය. රජිව් ගාන්ධි මෙරටට විශේෂයෙන් පැමිණ අපකීර්තිමත් ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළේ තමන් මෙරට යුවරජු යෑයි සිතා සිටි දික්‌සිත් නම් උද්ධච්ච තානාපතිවරයාගේ ද ආධාරයෙනි. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය කුණු කූඩයට දැමිය යුතුව තිබූ ඉන්දු - ලංකා ගිවිසුම මත පදනම් විය. එදා ද බමුණු කුලය ඒ ගිවිසුම සමග සිටි බවත් ගිවිසුම වෙනුවෙන් පෙත්සන් අත්සන් කළ බවත් ලිපි ලියූ බවත් අමතක නොකළ යුතුය. එදා භාරතයේ බමුණෝ බුදුන්වහන්සේටත් බුදුදහමටත් විරුද්ධ වූහ. අද මෙරට බමුණෝ රට යටත්විජිතයක්‌ බවට පත් කර සිංහල බෞද්ධ සංස්‌කෘතිය වැනසීමට ක්‍රියාකරති. භාරතයේ සාම්ප්‍රදායික බමුණු කුලයේ රජිව් ගාන්ධිට මෙරට වත්මන් බමුණන් බෞද්ධ සංස්‌කෘතියට එරෙහිව එකතුවීම කිසිසේත් ම අහම්බයක්‌ නො වේ. එදත් අදත් බමුණන් වැඩකරන්නේ බෞද්ධයන්ට හා බෞද්ධ සංස්‌කෘතියට එරෙහිව ය.

ජේ. ආර්. ජයවර්ධන අවසානයේදී දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කරගත්තේ හමුදා ආරක්‍ෂාව යටතේ මන්ත්‍රීවරුන් කොළඹ හෝටලයක සිට පාර්ලිමේන්තුවට රැගෙන යැමෙනි. එයට විරුද්ධව සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වූ බවත් ආණ්‌ඩුවට ඇඳිරි නීති පැනවීමට සිදුවූ බවත් අද ආණ්‌ඩුවේ සිටින ජනවේගකාරයන් ඇතුළු ඇතැම් ශ්‍රී.ල.නි. පාක්‍ෂික ඇමැතිවරුන්ට ද මතක්‌කර දිය යුතුව ඇත්තේ ප්‍රතිපත්තියක්‌ ලෙස ශ්‍රී.ල.නි. පක්‍ෂයට, ම.එ. පෙරමුණට, ජ.වි. පෙරමුණට ඉන් කැඩී ගිය ජා.නි. පෙරමුණට මෙන් ම ජාතික හෙළ උරුමයට ද දහතුනට විරුද්ධ වීමට නියමිත ව ඇති බව සඳහන් කිරීමට ය. ජනවේගකාරයන්ට අවශ්‍ය නම් දහතුන ආරක්‍ෂාකර ගැනීමට කියමු. එහෙත් ඔවුන්ට මන්ත්‍රීධුර ආරක්‍ෂා කරගැනීමට ශ්‍රී.ල.නි. පක්‍ෂය ඉඩදිය යුතු නොවේ. දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය රටේ ඒකීය භාවයට තර්ජනයකි. බමුණන් කියනු ඇත්තේ අපට ඒකීය රාජ්‍යය හිමි වූයේ ඉංගිරිසීන්ගෙන් බව ය. එහෙත් බමුණන් නොදන්නා කරුණ නම් එක්‌සේසත් රාජ්‍යය මෙරට අනාදිමත් කාලයක සිට ඇති බවත් ඒ රාජ්‍යය අද බටහිරයන්ගේ වහර අනුව වුවත් ඒකීය රාජ්‍යයක ප්‍රභේදයක්‌ බවත් ය. අවුරුදු විසිපහකට පෙර ද දහතුනේ ඇති ආදීනව අපි පෙන්වා දුනිමු. එකල ආරම්භ කළ 'කාලය' සඟරාව අද වෙබ් අඩවියක්‌ ලෙස පමණක්‌ පවත්වාගෙන යන නමුත් චින්තන පර්ෂදය ඒ ඔස්‌සේ දහතුන මගින් ජනතා පරමාධිපත්‍යය නැති වන බව පැහැදිලි කර දුන්නේ ය. එදා කී දේ අද අත්දැකීම් ඔස්‌සේ තහවුරු වී ඇත. දිවිනැගුම පනත සම්මත කරගැනීමට නම් එයට පළාත් සභාවල ද අනුමැතිය තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. මෙයින් සිදුවන්නේ පාර්ලිමේන්තුවට මුළු රටට ම බලපාන පරිදි පනත් සම්මත කර ගැනීමට තිබූ තනි අයිතිය නැතිවීම ය. පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වුවත් එය රටේ නීතිය බවට පත්වීම වැළැක්‌වීමට තනි පළාත් සභාවකට හැකි ය. අද රටේ සියලු පළාත් සභාවල බලය ආණ්‌ඩු පක්‍ෂයට වෙයි. එහෙත් එය එසේ නොවන දිනයක්‌ ද තිබිය හැකි ය. දිවි නැඟුම පනත කාගේත් ඇස්‌ අරවන නරක පූර්වාදර්ශයක්‌ සපයයි. පාර්ලිමේන්තුවේ බලය සීමිත බවත් පාර්ලිමේන්තුව ඔස්‌සේ ක්‍රියාත්මක වන ජනතා පරමාධිපත්‍යයේ තටු කපා ඇති බවත් පැහැදිලි ය.

එදා දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අධිකරණයට යොමු කළ අවස්‌ථාවේදී අධිකරණයේ විනිසුරුවෝ හතරදෙනෙක්‌ පනත ව්‍යස්‌ථාවට එකඟ නොවන බවට තීන්දු කළහ. පනත ව්‍යවස්‌ථාවට එකඟ බවට තීන්දුවක්‌ දුන්නේ ද විනිසුරුවන් හතරදෙනකු පමණ ය. එක්‌ විනිසුරුවෙක්‌ එක්‌ පැත්තකටවත් එකඟ නොවී තීන්දුවක්‌ දුන්නේ ය. ඉතා පැහැදිලිව ම ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි ඡන්දයකින් පනත ව්‍යවස්‌ථාවට එකඟ බවක්‌ නොකීවේ ය. එහෙත් ජයවර්ධන ඉතා කපටි ලෙස ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි එක්‌ පැත්තකටවත් පක්‍ෂව තීන්දුවක්‌ නොදුන් විනිසුරුවරයාගේ තීරණය ද පනත ව්‍යස්‌ථාවට එකඟ යෑයි පෙන්නුම් කරමින් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එබැවින් පනතේ නිත්‍යනුකූල බව පිළිබඳව ම ප්‍රශ්න ඇති බව වනසුන්දර විනිශ්චයකාරතුමා පෙන්වා දී ඇත. දිවි නැඟුම පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පැහැදිලි වන්නේ රටේ ස්‌වෛරීභාවයට හා ජනතා පරමාධිපත්‍යයට තර්ජනයක්‌ වූ දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය වහාම දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ මගින් අහෝසි කළ යුතු බවය. මේ බව අප සැප්තැම්බර් 26 වැනිදා "දි අයිලන්ඩ්" පුවත්පතට සැපයූ ලිපියකින් පැහැදිලිවම කියා ඇත. ඒ ලිපිය බොහෝ දෙනා අමතක කළ ද අද ප්‍රශ්නයේ බැරෑරුම්කම යම් පිරිසකට අවබෝධ වී ඇත. දහතුන අහෝසි කළ යුතුව තිබුණේ දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කළ විගස ම යෑයි අප කියා ඇත්තේ ද ඇතැමුන් මෙන් අද ඊයේ නොවේ. එදා ආණ්‌ඩුවට තුනෙන් දෙකේ ඡන්දය ලබාගැනීමට බාධා තිබෙන්නට ඇත. එහෙත් අද එසේ නො වේ. ආණ්‌ඩු පක්‍ෂයේ කිහිප දෙනකු ඡන්දය නොදී සිටිය ද අද ආණ්‌ඩුවට තුනෙන් දෙකේ ඡන්දය ලබාගැනීමේ හැකියාව ඇත. අද දිවි නැඟුම පනත ඔස්‌සේ ආණ්‌ඩුවටත් ජනතාවටත් ප්‍රායෝගික අත්දැකීමක්‌ ලැබී ඇත. ආණ්‌ඩුව ජනතා පරමාධිපත්‍යය හා පාර්ලිමේන්තුවට මුළු රටටම බලපාන අයුරින් බාධාවකින් තොරව පනත් සම්මත කිරීමට තිබිය යුතු අයිතිය තහවුරු කරමින් දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමට වහාම පියවර ගත යුතුය.

දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති සරත් ෆොන්සේකා මහතාගේ කටයුතු ගැන කතාකිරීමට තරම් දෙයක්‌ නොමැති වුවද දහඅටවැනිදා පවත්වන ලද එක්‌සත් භික්‌ෂු පෙරමුණ විසින් සංවිධානය කරන ලදැයි කියන රැස්‌වීම ගැන කෙටි සටහනක්‌ කළ යුතුව ඇත. අද මෙරට ඇත්තේ ජාතිකත්වය හා විජාතිකත්වය අතර සටනකි. එහිදී ව්‍යාජ සිංහල බෞද්ධ බලවේගයක්‌ වත් ගොඩනොනගා විජාතික බලවේගවලට සටනක්‌ කළ නොහැකි ය. මේ සජිත්, සෝභිත හිමි ආදීන්ට ගොඩනැඟීමට නොහැකි වූ ව්‍යාජය නැවත සරත් ෆොන්සේකා ලවා ගොඩනැඟීමට බමුණන්, විජාතික බලවේග කරන අසාර්ථක වන උත්සාහයක්‌ පමණකි.

ආචාර්ය්‍ය නලින් ද සිල්වා
2012-10-21

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 544550160458508376

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item