භික්‌ෂුව හා දේශපාලනය පොර පිටිය
භික්‌ෂුව හා දේශපාලනය පිළිබඳව නැවත වරක් සමාජයේ ප්‍රමුඛව කතාබහ වෙමින් පවතී. එයට හේතුව ඉදිරියේදී මැත...

http://weadikawa.blogspot.com/2012/06/blog-post_9399.html

ශ්‍රී ලංකා සමාජය තුළ විශේෂයෙන්ම සිංහල බෞද්ධ සමාජය තුළ භික්‌ෂුව නිහඬ චරිතයක් බවට පත් කළ හැකි ද යන්න නම් බරපතළ ප්‍රශ්නයකි. 2004 අප්‍රේල් මාසයේදී භික්‌ෂු දේශපාලනයට විශාල සමාජ ආකර්ශනයක් ලැබුණේ එවක පැවැති එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුවෙන් බෞද්ධයන්ට යම් අසාධාරණයක් සිදුවන්නේ යෑයි නාගරික මධ්‍යම පාන්තික සිංහල බෞද්ධයන්ට තදින්ම දැනුණු නිසාය. විශේෂයෙන්ම 2003 දෙසැම්බර් මාසයේදී රුසියාවේ ශාන්ත පිටර්ස්‌බර්ග් නුවරදී පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම නිසා බෞද්ධ සමාජය කැළඹීමකට ලක්‌විය. අන්‍යාගමික ආක්‍රමණ ගැන නිරන්තර කතාබහට ලක්‌විය. එනිසාම 2004 දී භික්‌ෂුව මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට සමාජයෙන්ම බලපෑමක් ඇතිවිය. එනිසාම ජාතික හෙළ උරුමයට සමස්‌ථ ශ්‍රී ලංකාවෙන්ම ඡන්ද 552724 එනම් මුළු ඡන්ද ප්‍රමාණයෙන් 5.97% ක් හිමිවිය. වෙනදා දෙමළ මුස්‌ලිම් කල්ලි කණ්‌ඩායම්වලට පාර්ලිමේන්තුවේ හිමි වන තීරක බලය එදා හෙළ උරුමයේ මන්ත්‍රී හිමිවරුන් සතුවිය. පසුකාලීනව මේ මන්ත්‍රී ධුර 9 ම එක ලෙස පවත්වාගෙන යැමට හෙළ උරුමයට නොහැකි විය. දේශපාලනයේ ඇති කපටි ජඩ නරි න්‍යාය නිසි ලෙස ඔවුන්ට වටහා ගැනීමට හැකි වූයේද යන්න ප්‍රශ්නයකි. නමුත් රටේ සිංහලකමට බෞද්ධකමට යම් අගයක් ලැබෙන්නට 2004 මැතිවරණ ජය විශාල ලෙස බලපෑ බව සටහන් කළ යුතුය. 2004 නාගරික සිංහල බෞද්ධයන් විශේෂයෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයට ඡන්දය දුන් අය පවා හෙළ උරුමය ඡන්දය දුන්නේ බෞද්ධයාට යම් අසාධාරණයක් සිදුවී ඇතැයි දැනුණු නිසාය. නමුත් 2004 දුන් ඡන්දවල වටිනාකමට මන්ත්‍රී භික්‌ෂූන්ට යම් කාර්යභාරයක් ඉටුකරන්නට හැකි වූයේද යන්න ප්‍රශ්නයකි. එනිසාම හෙළ උරුමයේ උපතින් වසර 8 කට පසුව භික්‌ෂූන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට සුදුසු නැති බව පවසමින් පනතක්‌ද ගෙන ඒමට සූදානම්ය.
ඇත්තෙන්ම අද ජාතික හෙළ උරුමයට 2004 දී තිබූ දේශපාලන බලය මෙන්ම ජවයද නැත. එය ඕනෑම පක්‌ෂයක් මුහුණ දෙන නොවැලැක්‌විය හැකි ඉරණමය. 2004 සිට 2012 කාලය පිළිබඳ හැරී බැලීමේදී භික්‌ෂු දේශපාලනය නිසා මෙරට සමාජයට වාසි මෙන්ම අවාසි රැසක්‌ද අත්වූ බව පැහැදිලිය. භික්‌ෂූන් දේශපාලනයට පැමිණීම නිසා ශාසනයට නම් යම් යම් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවූ බව පැහැදිලිය.
සිංහල බෞද්ධ සමාජයට භික්‌ෂු නායකත්වයට අවශ්‍යය. එහෙත් ඒ සඳහා භික්‌ෂුව මන්ත්‍රීවරයකු විය යුතු නැත. විජයදාස රාජපක්‍ෂ මහතා සිතන ආකාරයට එය ව්‍යවස්‌ථාව මගින්ම යෝජනා ගෙනවිත් තහනම් කළ යුතු නැත. බෞද්ධ සමාජය මගින්ම එය තීරණය කරනු ඇත. 2004 දී බෞද්ධ සමාජය කල්පනා කළ ආකාරයත් අද කල්පනා කරන ආකාරයත් වෙනස්‌ය.
ජාතික හෙළ උරුමය අන්‍යාගම්කරණයට විරුද්ධව තමන් ඉදිරිපත් කළ පනත සම්මත කරගැනීමට අපොහොසත් විය. ඒ සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තරවද බලවත් විරෝධයක් එල්ල විය. එහෙත් එදා හෙළ උරුමය ඡන්ද සමයේ ප්‍රධානම මාතෘකාව වූයේ අන්‍යාගම්කරණයට එරෙහි පනතයි. සුනාමි ෙ€දවාචකයෙන් පසු හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොටි සංවිධානය සමග ඒකාබද්ධ යාන්ත්‍රණය අත්සන් කිරීමට සූදානම් වූයේ උතුරු නැගෙනහිර පළාතේ සුනාමි සහන කටයුතුවල බලය ත්‍රස්‌තවාදීන්ට පැවරීමටය. මේ ඒකාබද්ධ යාන්ත්‍රණයට සමාජයේ බලවත් විරෝධයක් එල්ල විය. හිටපු ජනපතිනිය දේශපාලන වශයෙන් ඉතාම පහළ අඩියකට ඇදවැටීමටද හේතු වූයේ මේ යාන්ත්‍රණයයි. 2005 ජුනි 06 වැනිදා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඒකාබද්ධ යාන්ත්‍රණයට එරෙහි ආරම්භ කළ මාරාන්තික උපවාසය රටේ දැවැන්ත දේශපාලන වෙනසක ආරම්භය විය. කුමාරතුංග ජනපතිනියගේ දේශපාලන ජීවිතය අවසාන වූයේද මේ ඒකාබද්ධ යාන්ත්‍රණ මගඩිය නිසාය. මේ කොටි උගුල ගැලවීම වෙනුවෙන් ඕමල්පේ සෝභිත හිමියන් සිදුකළ මාරාන්තික උපවාසය යාන්ත්‍රණ විරෝධයට සැබෑ අර්ථකථනයක් සැපයිනි. අවසානයේ 2005 නොවැම්බර් 17 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතාට ජනපතිවරණය ජයග්‍රහණය කිරීමටද මේ දේශපාලන සංක්‍රාන්ති හරහා විශාල පිටුබලයක් ලැබිණි. ඕමල්පේ හිමියන්ගේ ඒ මාරාන්තික උපවාසයට ලබන 13 වැනිදාට සත්වසරක් සපිරේ. එය මෑත ඉතිහාසයේ සුවිශේෂ අවස්‌ථාවකි.
2004 සිට අන් සියලු පක්‍ෂයේම භික්‌ෂු දේශපාලනයද නොයකුත් හැල හැප්පීම්වලට ලක්‌විය. එය සාමාන්‍ය තත්ත්වයකි. එදා බෞද්ධ සමාජය මුහුණ දුන්නාටත් වඩා ගැටලු අද උත්සන්නව ඇත. සියල්ල දේශපාලන බලයෙන් කළ නොහැකිය. එමෙන්ම භික්‌ෂුවට සදාකාලිකව දේශපාලනයේ රැඳී සිටිය නොහැක. දේශපාලනය කිරීමෙන් සසර දුක් නිවාගත නොහැකිය. ඒ නිසා ධර්ම මාර්ගයේ ගමන් කළ යුතුව ඇත. ඉදිරියේදීත් භික්‌ෂුව දේශපාලන ව්‍යාපාරවලට අවවාද අනුශාසනා හා නායකත්වය දිය යුතුය. එය වසර සිය ගණනක් තිස්‌සේ පැවැති සම්ප්‍රදායයි. නමුත් දේශපාලන මනාප පොර පිටියට පැමිණීම සුදුසු නැත. එය වර්තමාන බෞද්ධ සමාජය සිතන ආකාරයයි.
චතුර පමුණුව
දිවයින
2012-06-10