අපි මුලිනුත් කිව්වේ මේ කුමන්ත්‍රණකරුවා ගැන තමයි

-නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ ...

-නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ

කොමියුනිස්‌ට්‌ ප්‍රකාශය බිහි වුණාට පසුදා පටන් ම මාක්‌ස්‌වාදීන් විසින් විවරණය කරන ලද්දේ ධනවාදය ගරා හැලෙනාකාරය සම්බන්ධවය. ලංකාවට මාක්‌ස්‌වාදය පැමිණි දා පටන් මෙහි මාක්‌ස්‌වාදීන් තෙපලේ ද ධනේෂ්වර ක්‍රමයේ ගරා වැටීම, අධිරාජ්‍යවාදයේ අර්බුදය වැනි මාතෘකා ය. නමුත් ඇස්‌ පනාපිට දැන් පෙනී ගොස්‌ තිබෙන්නේ ධනේෂ්වර ක්‍රමයත්, අධිරාජ්‍යවාදයත් පවතින අතරේ සමාජවාදී සමාජයක්‌ ඇති කිරීමේ වුවමනාව වෙනුවෙන් කටයුතු කරන මාක්‌ස්‌වාදී පක්‍ෂ ශීඝ්‍රයෙන් ගරා වැටෙනාකාරයයි. ජවිපෙ වෙතින් තවත් කණ්‌ඩායමක්‌ ඉවත් වී පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය බිහිකර ගත්තේ පසුගියදා ය. එම පක්‍ෂය බිහිවෙන මොහොත සිදුවීම් ගණනක අවස්‌ථාවක්‌ විය. පක්‍ෂයේ නායකයා වන කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ හා එහි ප්‍රමුඛ සාමාජිකාවක වූ දිමුතු ආටිගල අතුරුදන් වී යළිත් එළියට පැමිණියහ. මේ සිද්ධි වටා පෙළ ගැසෙමින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය කථිකාවතට වත්මන් ජවිපෙ පිළිබඳ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාත්, මීට ප්‍රථමයෙන් ජවිපෙන් ඉවත් වූ විමල් වීරවංශ අමාත්‍යවරයාත්, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දුමින්ද නාගමුව මහතාත්, දිවයින ඉරිදා සංග්‍රහය සමඟ කරන ලද සාකච්ඡා මෙසේ පළවේ.

නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ

ප්‍රශ්නය - ජවිපෙ තුළ ජාතිකත්වය නෑ කියලා ඔබ අයින් වෙනවා. ඒ තුළ "වම" ක්‌ නෑ කියලා තව පිරිසක්‌ ඉවත් වෙනවා. මොකක්‌ද මේ ජවිපෙ නායයැම.

පිළිතුර - ජවිපෙ අන්තර්ගතය තුළ ආවේණික ප්‍රතිවිරෝධයක්‌ තියෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගික දේශපාලනයේදී ජාතිකවාදී පදනමක සිට අධිරාජ්‍ය විරෝධී භාවිතාවක නියෑළෙන්නත්, න්‍යායික දේශපාලනයේදී අධි මූලධර්මවාදී පදනමක ඉඳන් ක්‍රියාත්මක වන ගමනක්‌ ජවිපෙට තියෙන්නේ. විටින් විට එහිදී හැම තිස්‌සේම මේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධය එළියට එන එක වළක්‌වන්න බෑ. හැබැයි මෙවර ඇති වෙච්ච බිඳීම එහෙම ස්‌වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්‌ කියලා මම නම් හිතන්නේ නෑ.

මේ බිඳවැටීමේ නිර්මාතෘවරයා තමයි ප්‍රේමකුමාර් ගුණරත්නම්. ප්‍රේමකුමාර් ගුණරත්නම් 1989 දී සරත් ෆොන්සේකා යටතේ තිබ්බ ත්‍රිකුණාමලය හමුදා කඳවුරට අහුවෙලා ඒ කඳවුරේ ගත කළ පළමු පැය ඇතුළත තමන් දන්න විස්‌තර ආරක්‍ෂක හමුදාවට කියපු කෙනෙක්‌. ඔහු නෑ කියනවනම් මම ලෑස්‌තියි එය ඔව් කියල ඔප්පු කරලා පෙන්නන්න. කුමාර් ඔවුන්ගේ අභ්‍යන්තර සමුළුවකදී ඒ මොහොතෙහි "ආරක්‍ෂක අංශ දැන සිටි ප්‍රමාණයටයි මා තොරතුරු කිව්වේ" කියලා මට ආරංචි වුණා. ඒ කියන්නේ ආරක්‍ෂක අංශ නොදන්නා ඒවා කිව්වේ නෑ කියලා. එතකොට මම අහන්න කැමැතියි "කන්තලේ" වැව් ඉස්‌මත්තේ තිබ්බ සන්නද්ධ පුහුණු කඳවුර ආරක්‍ෂක කඳවුර ආරක්‍ෂක අංශ දැන සිටි තැනක්‌ද? ඒක පෙන්නුවේ කුමාර්ද නැත්නම් වෙන කෙනෙක්‌ද? ඊළඟට ත්‍රිකුණාමල මුහුදේ දෙවන ලෝක යුද්ධ කාලයේ ගිලුනු වෙඩි බේත් ටැංකි ටික පෙන්නුවේ ඒ වෙනකොටත් ආරක්‍ෂක අංශ ඒ බව දැන සිටි නිසාද?

ඒ වෙඩි බේත් තමයි ජවිපෙ පසුකාලීනව බෝම්බ පිපිරවීම් සඳහා භාවිත කළේ. සරත් ෆොන්සේකා ත්‍රිකුණාමලය ඒ කඳවුරෙන් ඉවත් වෙන කොට 90% ක්‌ ජවිපෙ ඉවරයි. ඒක වුණේ කොහොමද?

91 දී කුමාර් ඔස්‌ටේ්‍රලියාවට යන්නේ රජයේ අනුග්‍රහයෙන්මයි. ජවිපෙ තුළ සිට අත්අඩංගුවට ගත් පසු ජවිපෙ විනාශ කරන්න ඔත්තු දුන්න 21 දෙනෙක්‌ හිටියා. විස්‌සක්‌ ජපානයට ඇරියා, කුමාර් විතරක්‌ ඔස්‌ටේ්‍රලියාවට ඇරියා. 92 ඔහු නැවත ආවා. ඒ එන්නේ කිසියම් බාහිර බටහිර ඔත්තු සේවයක ඒජන්තවරයෙක්‌ හැටියටයි. ඒ වෙනකොට ජවිපෙට බනිමින් හිටිය, ජවිපෙ විනාශ කරන්න ඔත්තු දුන්නු කෙනා ඇයි ජවිපෙ ගොඩගන්න ආයෙත් ආවේ. එයා ආපහු ආවා. ජවිපෙට ඇතුල් වුණා. අවංකව වැඩ කරන මිනිස්‌සු යම් යම් හේතු දක්‌වමින් කප්පාදු කළා. "කමල් දේශප්‍රිය" මුලින්ම එලෙව්වා. මෙයා රංජිතම් ගුණරත්නම්ගේ මල්ලි හා ත්‍රිකුණාමලයේ සන්නද්ධ අංශයේ ප්‍රධානියා නිසා සෝමවංශ අමරසිංහලත් අනිත් හැමෝටම වඩා එයා ගැන විශ්වාසය තිබ්බා. ඒ කිසි කෙනෙක්‌ දන්නේ නෑ සෙව්වේ නෑ සන්නද්ධ අංශයේ නායකයෙක්‌, ආරක්‍ෂක අංශ අතට පත්වෙලා කොහොමද බේරුණේ කියලා. දේශපාලන අංශයේ හිටපු අය නම් බේරුණු තැන් තියෙනවා. හැබැයි කිසිම දිස්‌ත්‍රික්‌කයක සන්නද්ධ අංශයක ලේකම් කෙනෙක්‌ කවදාවත් බේරිලා නෑ. ත්‍රිකුණාමලයේ "කුමාර්" විතරයි බේරුණේ. මම අභියෝග කරනවා එහෙම කෙනෙක්‌ ඉන්නවානම් පෙන්වන්න කියලා.

"කමල් දේශප්‍රිය"ට මේ ඔත්තුකාරයා ගැන සැකය තිබුණා. මටත් කිව්වා. අවාසනාවට ඒවා අනික්‌ අයට වැඩක්‌ වුණේ නෑ. මම ජවිපෙන් එළියට බහිනතුරුම ශිෂ්‍ය සංගමය මෙහෙයවූයේ "කුමාර්". ඔය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් තමයි ජවිපෙ ඉදිරි නායකයන් හැදුවේ. ඒ අලුත් තරුණ නායකයෝ මෙයා යටතේ හැදිච්ච අය. කවදාවත් ශිෂ්‍ය ව්‍යාපාරය වෙන කෙනකුට හසුරුවන්න දුන්නේ නෑ. සෝමවංශ, ටිල්වින් දෙපලට මේ ගැන සියුම් විමර්ශන ඥනයක්‌ නැති නිසා මේවා අදහාගන්න බැරිවුණා. අන්තිමට මොහු කළේ ඉතා පැහැදිලිවම ජාතිකවාදී පදනමට එරෙහිව ජවිපෙ පංති සටන් පදනම්ව ඌනනය කරපු මෙහෙයුම පටන් ගත්තා. ඒකට එයාගේ යටතේ හිටපු මල්ලිලා ටික පක්‍ෂයේ තැන් තැන්වල දැන් ඉන්නවනේ. ඒ මල්ලිලගේ න්‍යායික ලෝකයටත් මේක හරියනවා. ඊට පස්‌සේ ලෙනින්ගේ පොත් විතරක්‌ කියවපු මල්ලිලාට න්‍යායික මොළේ අමාරුව තදේටම හැදුණා. මේ කුමාර් අයියත් ඒ අසනීපය තව වැඩිකළා. "සර්යා" සඟරාව ගහලා "අව්රෝරා" ගහලා මේ අඳුරු වලිප්පුව තව වැඩි කළා. එයා මුලින්ම මාව එලෙව්වා. ඒකට සෝමවංශලාගේ උදව් ලැබුණා. ජවිපෙ පළමු බිඳීම එතැනින් පටන් ගත්තා. මට ගැහුවේ කුමාර නෙවෙයි. වෙන අය. ඒ වුණාට පසුබිම සකස්‌ කළේ එයා.

ඒ අය සැලසුම් කළේ ජවිපෙ බලය අල්ලන්න. ඊළඟට ඒ අය උත්සාහ කළේ විජේවීර, වික්‍රමබාහු සංකලනයක්‌ හදන්නයි. ඒක කරන්න බැරි වැඩක්‌. විජේවීර, කැප්පෙටිපොල සංකලනයක්‌ පුළුවන් වෙයි. වික්‍රමබාහු එතැනට ගන්න බෑ!

ප්‍රශ්නය - ඒක තවදුරටත් පැහැදිලි කළොත්.

පිළිතුර - බලන්න ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රටේ ඒකීයභාවය රකිනවා කියලා නෑ. ෙµඩරල් ක්‍රමය පිළිගන්නේ නෑ කියලා නෑ. ජවිපෙ තුළ ඒවා තියෙනවා. ඊළඟට අනාගතයේ ස්‌වයං නීර්ණය අයිතිය පිළිගැනීම සඳහා ඉඩ ප්‍රස්‌ථාව ඉතුරු කරගෙන තියෙනවා. වෙන්වීමේ අයිතිය අනාගතයේ පිළිගැනීම සඳහා න්‍යායික ඉඩක්‌ විවර කරගෙන තිබෙනවා. සෘජුවම කියලා නෑ. ඊළඟට අනෙක්‌ කෘතියේ කියනවා යළි යටත් විජිතකරණය කියලා සෝමවංශ අමරසිංහ කියන්නේ බොරුවක්‌. එහෙම කියලා සභාගවාදයකට යන්න ඒක පාවිච්චි කළා කියලයි එහි තියෙන්නේ. මේගොල්ලෝ මේ වෙලාවේ ඉරානයේ හිටියා නම් එහි ජනාධිපතිටයි, අධිරාජ්‍යවාදයටයි දෙකටම විරුද්ධව සටන් කරනවා. අද ඒ අය කියන්නේ මේ ආණ්‌ඩුව අධිරාජ්‍යවාදීන්ගේ සරණ ගිය ආණ්‌ඩුවක්‌ මේකට ගහලා එලවන්න ඕනෑ.

පංති සටන උඩින් තියෙන්නේ. එතන තමයි විඡේවීර සහෝදරයා වෙනස්‌ වෙච්ච තැන. විඡේවීර සහෝදරයා ජාතික ප්‍රශ්නයේදී ගෙනාපු පදනම නිසා තමයි ජවිපෙ මෙච්චර දුරක්‌ හරි ආවේ. නැතිනම් ජවිපෙ ඉවරවෙලා බොහෝ කල්. විඡේවීර සහෝදරයා සිටියදී තමයි බණ්‌ඩාරනායක මැතිනියට යෝජනා කළේ දේශප්‍රේමී පෙරමුණක්‌ ගහමු කියලා. නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයෙක්‌ ජනාධිපති විදිහට දාමු කිව්වෙත් විඡේවීර සහෝදරයා. එහෙම නම් ඒකත් පංති සහයෝගීතාවයේ එක ස්‌වරූපයක්‌, සනාතනවාදයේ එක ස්‌වරූපයක්‌. මේ අයගේ ස්‌වයං විවේචනයේ තියෙන්නේ ඒකත් වැරදියි කියලයි. ලංකාවේ ජාතිකවාදී ශක්‌තියක්‌ සහිත වමේ ව්‍යාපාරයක්‌ තිබීම අධිරාජ්‍යවාදයට අභියෝගයක්‌. ජවිපෙ එදා ජාතිකවාදී පදනමක ඉඳලා ගත්ත නිසා තමයි අද එල්.ටී.ටී.ඊ. ය ඉවරවෙලා තියෙන්නේ. හැබැයි මේ පෙරටුගාමීකාරයෝ කියන "වම" බිහිවුණා නම් අද ඊළම හැදිලා ඉවරයි. ඒකයි අපි මේක ඔත්තුකාරයාගේ භූමිකාවක්‌ කියලා කියන්නේ.

ප්‍රශ්නය - ඔබේ පැහැදිලි කිරීම හරි. ඒත් පෙරටුගාමී පක්‍ෂය කියන්නේ ඔවුන්ව රජයට අභියෝගයක්‌ වෙලා කියලයි. රජයේ මැදිහත්වීමෙන් තමයි කුමාර් දිමුතු පැහැරගත්තේ කියලයි ඒ අය කියන්නේ.

පිළිතුර - දිමුතු ආටිගල ගොඩගමදී පැහැර ගත්ත බව දැක්‌ක එක මිනිහෙක්‌වත් නෑ. ඒක එහෙම වෙන්න බෑනේ. විශ්වාස කරන්නත් බෑ. එහෙම බලනකොට මේ දෙන්නා එක තැනක ඉඳලා කුදලගෙන ගියාද කියන්න මම දන්නේ නෑ. අනික කුමාර්ව අතීත කැරැට්‌ටුවට ආරක්‍ෂක අංශ හොයනවා කියමුකෝ. දිමුතුව පැහැර ගන්නේ මොන පදනමකින්ද? එහෙම නම් ඊට වඩා පැහැරගෙන යා යුතු අය එතැන හිටියා. මේ ක්‍රියාවලියේ සැක කටයුතු තැන් බොහෝමයක්‌ තියෙනවා. පැහැරගත්තේ පාන්දර, පැමිණිල්ල දාන්නේ හවස. පහුවෙනිදා උදේම පෝස්‌ටරේත් තියෙනවා. මම ජවිපෙ හිටපු ප්‍රචාරක ලේකම්. පෝස්‌ටරයක්‌ මුද්‍රණය කරලා බෙදාගෙන අලවන්න යන වෙලාව මමත් දන්නවා. එහෙම නම් අත්අඩංගුවට ගන්න කලින් මුද්‍රණය කරලා තියෙන්න ඕනෑ.

ඊළඟට දිමුතු නිදහස්‌වෙලා එන්නේ කෙළින්ම මාධ්‍ය සාකච්ඡාව තියෙන තැනට. පුදුම දේවල්... කුමාර්ව කෙළින්ම පොලිසිය ළඟට ගෙනැවිත් බස්‌සනවා. ඊළඟට පක්‍ෂයේ අයටවත් කතා නොකර එයා රට යනවා. විප්ලවවාදී නායකයා ඇයි දෙයියනේ නිදහස්‌ කරපු ගමන් ධනේෂ්වර රාජ්‍යයේ පොලිසියට යන්නේ. ඒ කියන්නේ එයාට මේ පැහැර ගැනීම රජයේ පාර්ශ්වයෙන් වුණා කියන එක ගැන සැකයක්‌ නැද්ද? ඇත්තටම මේ "නාටකය" ගැන හොයන්න කියලා යෝජනා කරන්න ඕන.

ප්‍රශ්නය - නමුත් කුමාර් පැහැර ගැනීමෙන් පසු තමන්ට ලිංගික වදහිංසා කළා, ප්‍රශ්න කිරීම් කළා යනුවෙන් ඔස්‌ටේ්‍රලියානු මාධ්‍ය හමුවකදී කියා තිබුණා. ඔබත් ජවිපෙ හිටිය නිසා මේ පිළිබඳව තොරතුරු රජයට දෙන්න ඇති කියලා සමහරු සැක සංකා මතුකරනවා.

පිළිතුර - මම එළියට බැහැලා කවදාවත් කුමාර් කියලා කෙනෙක්‌ ගැන රටට කීවේ නෑ. ඒ කියන්නේ කවදාවත් ප්‍රසිද්ධ නැති කෙනෙක්‌ගේ නමක්‌ රටට මම කීවේ නෑ.

ඒවා එළියට ආවේ මේ දෙවැනි පිපිරීමෙන් පස්‌සේ. එතැනින් එහාට අපිට කතා කරන්නත් බෑ. මා ගැන කවුරුහරි එහෙම කියනව නම් ඒ කවුරුන් හෝ මොළේ අමාරුවක්‌ තියෙන කෙනෙක්‌. මේ ගැන දැනගත්ත ගමන් මම ජනාධිපතිතුමාට, ආරක්‍ෂක ලේකම්තුමාට, බැසිල් ඇමැතිතුමාට කතා කළා. ඒ හැමෝම කීවේ මේක රජයෙන් සිද්ධවෙච්ච දෙයක්‌ නොවෙයි මේක හොයන්න ඕන දෙයක්‌ කියලයි. මම මේ ගැන මාධ්‍ය නිවේදනයක්‌ පවා නිකුත් කළා. මෙතැන වුණත් එයාට ඔස්‌ටේ්‍රලියාවට යන්න බාධාවක්‌ තිබුණා. එයා ආවේ වෙන නමකින්. එච්චර තර්ජනයක්‌ තිබුණා නම් නිදහස්‌ කරපු මොහොතේ එයා යන්න තිබුණේ පොලිසියට නොවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරට කතා කරන්න තිබුණා. එයා ඔස්‌ටේ්‍රලියාවට යන්න තිබුණු බාධාව ඉවත් කරගත්තා.

ප්‍රශ්නය - ඔබේ ඇත්ත වෙනුවට නැත්ත පොතේ ඇතුළත් වෙනවා ජවිපෙ මෙහෙයවන ඔත්තුකරුවකු ඉන්නවාය කියන එක. එමෙන්ම ජවිපෙ ජාතිකත්වයෙන් අයින් කරන්න යනවාය කියන එක. මේ යථාර්ථයක්‌ වෙන්නේ එයමද?

පිළිතුර - ඒකම තමයි... ඒ අය එළිදක්‌වපු කෘතිය කියෙව්වම හොඳින්ම පැහැදිලි වෙනවා, සම්පූර්ණයෙන්ම ජවිපෙ ගත්ත ජාතිකවාදී පදනමේ තීරණවලට ඒ අය එරෙහිවයි ඉන්නේ. දේශහිතෛෂී ව්‍යාපාරයට පහර එල්ල කරලා තියෙනවා. මවුබිම ලංකා පදනමට එරෙහිව පහර ගහලා තියෙනවා. මානෙල් මල් ව්‍යාපාරයට පහර ගහලා තියෙනවා. එයින්ම තත්ත්වය පැහැදිලියි.

ප්‍රශ්නය - ඔබේ විවේචනය අහන් ඉන්න මාක්‌ස්‌ ලෙනින්වාදී මට්‌ටමේ කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඔබ දැන් සුළු ධනේෂ්වරයට යටවෙලා මහින්ද රාජපක්‍ෂගේ සාක්‌කුවට වැටුණු නිර්ධන පංති සටන අතැZර ගිය හීන දකින කෙනෙක්‌ගේ කතාවක්‌ කියලා.

පිළිතුර - දැන් බලන්න මම ජවිපෙ ඉන්න කාලේ සහ අද දවසේ තියෙන දේවල් අතර වෙනසක්‌ තියෙනවද? මම ජවිපෙ පරිවාසය - සන්ධානය ගහපු එක වැරදියි කියන මිනිහෙක්‌ද? 2005 මහින්ද රාජපක්‍ෂ දිනවන්න ගත්ත තීන්දුව වැරදියි කියන කෙනෙක්‌ද? මම වැරදියි කියනවනම් කියන්නේ එක දෙයයි. මම එදත් අදත් වැරදියි කියලා කියන්නේ එක දෙයයි. දිනවලා පැත්තකට වෙලා හිටපු එක වැරදියි. මොකද එල්.ටී.ටී.ඊ. ය පරාජයට පත්කරලා අධිරාජ්‍ය විරෝධී න්‍යාය පත්‍රයට රටේ පෙළ ගැස්‌මක්‌ හදන්න ඒක ඉතාම වැදගත් වෙච්ච නිසා. ඒ වෙනුවෙන් අදත් මම මානව ප්‍රජාවත් ශක්‌ති ප්‍රමාණයෙන් මැදිහත් වෙනවා. ආණ්‌ඩුව ඇතුළේ හිටියත් එළියේ හිටියත් මාක්‌ස්‌ ලෙනින්වාදී දෘෂ්ඨියක ඉන්න කෙනෙකුට මාව පේන්නේ සුළු ධනේෂ්වර හැටියට තමයි. ඒක නවත්වන්න බෑ. එහෙම කියනවනම් අනුර දිසානායකත් එක කාලයක ධනේෂ්වර ආණ්‌ඩුවක ධනේෂ්වර ඇමැතිවරයෙක්‌. ලාල්කාන්ත, විජිත හේරත් ඒ හැමෝම එහෙමයි. හැබැයි හැමෝම මතක තියාගන්න ඕන කාරණය තමයි පෙරටුගාමී පක්‍ෂය හැදුවත් රටින් පිටවුණත් මේ අයගේ යම් යම් අනුගාමිකයන් තවමත් ජවිපෙ තුළ ඉතිරිකර ඇති. ඒ අයගෙනුයි ප්‍රවේශම් විය යුත්තේ.

ප්‍රශ්නය - මේ මොහොත වනවිටත්...

පිළිතුර - ඔව්. එහෙම තමයි ඔත්තුකාරයාගේ හැටි.

-විමල් වීරවංශ
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-04-22

Related

විමල් වීරවංශ 3230856141092327725

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item