ඉතිහාසය හා අවුරුද්ද

අවුරුදු සමය ඉතිහාසය ගැන කතාකිරීමට සුදුසු කාලයක්‌ යෑයි සිතමි. අපේ, එනම් සිංහලයන්ගේ අවුරුද්ද දෙමළ ජනයා ද පැවැත්වීම පිළිබඳ මගේ කිසි...

අවුරුදු සමය ඉතිහාසය ගැන කතාකිරීමට සුදුසු කාලයක්‌ යෑයි සිතමි. අපේ, එනම් සිංහලයන්ගේ අවුරුද්ද දෙමළ ජනයා ද පැවැත්වීම පිළිබඳ මගේ කිසිම විරුද්ධතාවක්‌ නැත. දෙමළ ජනයා පමණක්‌ නොව මුස්‌ලිම් ජනයා ද අවුරුදු චාරිත්‍ර නැකැත් බැලීම්වලින් තොරව වුව ද පවත්වන තරමට ඒ සියල්ලන්ට ම සිංහල ජනයා සමඟ එක්‌විය හැකි ය. එහෙත් අවුරුදු උත්සවයේ සම්භවය දෙමළ ජනයාට දීමට කිසිම සාධකයක්‌ නැත. සිංහලයන් අවුරුදු උත්සවය පවත්වන ආකාරයට දකුණු ඉන්දියාවේ අප්‍රියෙල් මස උත්සව නො පැවැත්වේ. අද ලංකාවේ දෙමළ ජනයා අප්‍රියෙල් මස යම් ආකාරයක උත්සවයක්‌ පවත්වන්නේ නම් ඒ සිංහලයන්ගේ ආභාසයෙනි. හින්දු බැතිමතුන්ගේ සූර්ය උත්සවය ජනවාරි මස යෙදී ඇත. තෛපොංගල් නමින් හැඳින්වෙන ඒ උත්සවය සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රමණය වීම සමඟත් සූර්යයා අපට සාපේක්‍ෂව පොළොව වටා යන ගමනේ දී උත්තරාර්ධ ගෝලයට හැරීම සමඟත් සම්බන්ධ වෙයි. අපේ අවුරුද්ද බක්‌ මාසය සමගත් සූර්යයා උතුරට යන ගමනේ දී සමකය පසුකිරීමත් සමඟත් සම්බන්ධ ය. ඊනියා ප්‍රතිසංධානය කෙරෙනු ඇත්තේ දෙමළ ජනයා හා මුස්‌ලිම් ජනයා සිංහල සංස්‌කෘතියේ ඇතැම් අංග තමන්ගේ ද අංග බවට පත්කර ගැනීමෙන් මිස මැකෝලේගේ දරුවන්ගේ කොමිසම්වල නිර්දේශවලින් නො වේ. නැකැත් උත්සවයක්‌ හා සූර්යයා ප්‍රධාන කරගත් උත්සවයක්‌ ලෙස ගත්කල අවුරුද්ද යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විශේෂයෙන් ම රවි ශෛලාෂ වාංශිකයන්ගේ උත්සවයක්‌ ලෙස සැලකිය හැකිය යෑයි සිතමි. එම වාංශිකයන්ගෙන් ඒ උත්සවය පසු කලෙක සිංහලයන්ට ලැබී ඇති බව පෙනී යයි. අද එය දෙමළ හා මුස්‌ලිම් ජනයාට ද ලැබෙන්නේ නම් ඉතා අගනේ ය.

රවි ශෛලාෂ වාංශිකයෝ කවරහු ද? රවි ශෛලාෂ යන්නෙහි තේරුම ඉරුගල් යන්නය. පසුගිය කාලයෙහි මෙරට ඉතිහාසය ගැන නැවත සොයා බැලීමට කිහිප දෙනකු ම කටයුතු කර ඇත. ඒ අතර සාම්ප්‍රදායික නොවන ඉතිහාසයක්‌ සාම්ප්‍රදායික ආකාරයකට අධ්‍යයනය කරන්නෝ වෙති. ඔවුහු ලිත ඉතිහාස ග්‍රන්ථ, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක සාධක ආදිය ප්‍රධාන වශයෙන් ම සලකා බලති. ශිරාන් දැරණියගල මහතාගේ මෙන් ම රාඡ් සෝමදේව මහතාගේ ද ගවේෂණ මේ සම්බන්ධයෙන් වැදගත් වෙයි. එහෙත් ඔවුහු තවමත් ශිලා යුගයෙහි හා එහි අවධි තුනෙහි හිරවී සිටිති. ලංකාවේ පැරැන්නන් එකම කාලයෙහි මැටි භාණ්‌ඩ මෙන් ම වානේ (යකඩ ආශ්‍රිත) භාණ්‌ඩ ද යොදා ගෙන ඇත. බටහිරයන්ගේ වර්ගීකරණය ඔස්‌සේ ගොස්‌ භාණ්‌ඩ තනා ඇත්තේ කිනම් ද්‍රව්‍යයක්‌ යොදා ගනිමින් ද යන්න මත පදනම් වෙමින් මෙරට ඉතිහාසය සකස්‌කර ගත හැකි නො වේ. ඒ අතර ඒ. එම්. කරුණාරත්න මහතා වැනි ඉතිහාසඥයෝ ජනප්‍රවාද ගැන ද තම අවධානය යොමු කරති. ඒ මහතා ලියා පළ කර ඇති විදේශ ආක්‍රමණ හා ලංකාවේ විමුක්‌ති සටන් කෘතිය ඒ සඳහා උදාහරණයකි. අප ජනප්‍රවාදවලට ගැරහිය යුතු නො වේ. දීපවංශයේ මෙන් ම මහාවංශයේ ද බොහෝ විට ඇත්තේ ජනප්‍රවාද ය. ජනප්‍රවාද ලියූ පමණින් එය පිළිගැනීමට බටහිර ඉතිහාසඥයන්ගේ කැමැත්තක්‌ ඇත. ලිවීම ඇරැඹීමෙන් පසු ලියන්නේ කියන දේ ය. කියන්නේ ලියන දේ ය. එහෙත් බටහිර බයිබල් (බයිබලය යනු පොත ය) සම්ප්‍රදාය අනුව ගොස්‌ ලිත දෙයට අප අනවශ්‍ය අවධාරණයක්‌ යෙදිය යුතු නො වේ. මෙරට පඬියන් අපෙන් ඊනියා පර්යේෂණ පත්‍රිකා හා ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි ඉල්ලන්නේ මේ සම්ප්‍රදායෙහි පිහිටා ය. අප බටහිරයන්ගේ වාංමාලාව අනුකරණය කළ යුතු නො වේ. උදාහරණයක්‌ ලෙස යක්‍ෂ ගෝත්‍රිකයන් කී පමණින් මෙරට අනුකාරක පඬියන් සිතන්නේ අප ඔවුන්ගේ කසිකබල් සංකල්පය අනුකරණය කරන බව ය. ඔවුන්ගේ ගෝත්‍රය යනු ඔවුන් නොදියුණු යෑයි පවසන ජන කොටසකි. ඔවුන්ගේ පොත් කියෑවූ පසු අපට ගෝත්‍රිකයන් ලෙස සිහියට නැගෙන්නේ නොදියුණු යෑයි බටහිරයන් විසින් හංවඩු ගසා ඇති, එනම් ඔවුන්ගේ කසිකබල් නූතනත්වයට නොපැමිණි, අප්‍රිකානු ජනයා ය. කසිකබල් නූතනත්වයේ කසිකබල් දියුණුව පසෙක තබන්න. ගොයම් ගොත් යන්නෙහි ගොත් යනුවෙන් කියෑවෙන්නේ වෛදික සංස්‌කෘතියට පෙර අද සාර්ක්‌ යෑයි දළ වශයෙන් හැඳින්වෙන, ධර්ම කලාපය යෑයි කිවහැකි ප්‍රදේශයේ තිබූ ජන බෙදීමකි. සිදුහත් කුමරු ගෞතම ගෝත්‍රයට අයත් වූ අතර එහි උප බෙදීමක්‌ වූ ශාක්‍ය වංශයට අයත් විය. කෝලිය වංශය ද ගෞතම ගෝත්‍රයේ උප කොටසක්‌ විය. සිදුහත් කුමරු, යශෝධරා දේවිය. රහල් කුමරු, ශුද්ධෝදන රජු, ප්‍රජාපතී ගෝතමී දේවිය, සුප්‍රබුද්ධ රජු, දේවදත්ත, කිශාගෝතමී ආදීහු ගෞතම ගෝත්‍රයේ විවිධ වංශවලට අයත් වූහ. ඔවුහු නොදියුණු ගෞතම ට්‍රයිබයකට අයත් වූවෝ නොවූහ. අප ගෝත්‍රය යන්න යොදන්නේ ට්‍රයිබ් යන වචනයෙහි පරිවර්තනයක්‌ ලෙස නො වේ. පඬියන්ට අවශ්‍ය නම් ට්‍රයිබ් යන්නට වෙනත් වචනයක්‌ යොදාගත හැකි ය. එහෙත් නිර්මාණශීලීත්වයක්‌ නැති ඔවුන්ට එය කළ හැකි යෑයි සිතීමට අසීරු ය. මෙරට තිබූ යක්‍ෂ ආදී ගෝත්‍ර ගැන අප කතාකරන්නේ ට්‍රයිබ් යන්න ඔළුවේ හිරකරගෙන නො වේ. එක්‌තරා භික්‍ෂුන් වහන්සේ නමක පවසන පරිදි පඬියන්ගේ ඔළුවල ඉසෙඩ් අකුරු පටලැවී ඇත. ඉරුගල් වංශය යනු යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වංශයකි. අවුරුද්ද ඔවුන්ගේ යෑයි සිතමි.

ඉහත සඳහන් ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් අනුව නොගොස්‌ වෙනත් අයුරෙන් දැනුම ලබන්නෝ වෙති. ඔවුන්ට බොහෝ විට ආධ්‍යාත්මික ශක්‌තිය හේතුකොටගෙන විවිධ දේවාතාවන්ගෙන්, භූතයන්ගෙන් ආදීන්ගෙන් ද දැනුම ලැබේ. එහෙත් මේ සෑම අවස්‌ථාවක දීම තවත් සාධක සමඟ සංගතව කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ ගත යුතු ය. පසුගිය කාලයේ ගැමුණු රජු ගැන අප කිහිප දෙනකු දැනුම ලබාගත්තේ සෘජුව හෝ වක්‍රව හෝ ආධ්‍යාත්මිකව ය. මහරජ ගැමුණු කෘතියෙන් ද ඒ බව හෙළිවෙයි. ඒ සියලු දැනුම් දැන් සංගත ආකාරයකින් ඉදිරිපත් කෙරී ඇත. ගැමුණු රජු අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කල්දමාගත් බෝසතාණන් වහන්සේ කෙනකු බව අපි දැන් දනිමු. එතුමා යුද්ධයට විරුද්ධ වුවත් කළහැකි අන් විකල්පයක්‌ නැති නිසා යුද්ධ කළ බවත් ඒ සඳහා ද ආධ්‍යාත්මික ශක්‌තිය ලබාගත් බවත් අපි දනිමු. බෞද්ධයන්ට යුද්ධ කරන ආකාරය ඉගැන්වූයේ එතුමා ය. අපට ස්‌ටැන්ලි තම්බයියලාට පමණක්‌ නොව අනෙක්‌ අනුකාරකයන්ට ද කිසිම පැකිළීමකින් තොරව මුහුණ දිය හැක්‌කේ එතුමා නිසාය. පැරැණි පොතපත හා සෙල්ලිපි සොයාගෙන එය ආධ්‍යාත්මිකව තේරුම් ගනිමින් දැනුම ලබාගන්නෝ ද අප අතර වෙති. අපි ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීමේ ක්‍රියාවලියට මුල් තැන දෙමු. කැලණිය විශ්වවිද්‍යාලයේ පසුගිය දා ආසනික්‌ පර්යේෂණ කෙරුණේ ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට මුල්තැන දෙමිනි. මගේ විද්‍යා පීඨාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු එහි සිටින ඇතැම් නපුංසක උගත්තු ව්‍යාජ පරිපාලන හා රෙගුලාසි මතුකරමින් ඒ පර්යේෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ දරති. ඒ කෙසේ වෙතත් ඉරුගල් වංශය ගැන මා දැනගත්තේ විශ්වවිද්‍යාල පඬියන්ගෙන් නොව පූජ්‍ය පණ්‌ඩිත මානෑවේ විමලරතන හිමිපාණන් වහන්සේ විසින් ලියන ලද යක්‍ෂගෝත්‍රික භාෂාව සහ රවි ශෛලාශ වංශ කථාව හා යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු නම් ග්‍රන්ථ කියෑවීමෙන් පසුව ය. එහි අඩංගු තොරතුරු සම්බන්ධයෙන් සංක්‍ෂිප්ත විස්‌තරයක්‌ කිරීමටවත් මේ අවස්‌ථාව නො වේ. එහෙත් එක්‌ කරුණක්‌ නොකියා ම බැරි ය. කලක්‌ මගේ සිතට වධයක්‌ වූ ප්‍රශ්නයක්‌ වූයේ යක්‍ෂ ගෝත්‍රිකයන් ආරම්භයේ දී බෞද්ධයන් නොවූ බව ගම්‍යමාන තොරතුරු ය. බටහිරින් පුරාවිද්‍යාව ඉගෙනගත් පුරාවිද්‍යාඥයන්ට ඊනියා සාධක නැතත් බුදුන් වහන්සේ මෙරටට වැඩි බව මම පිළිගනිමි. ඇතැම්විට පූජ්‍ය මූකලන්ගමුවේ පඤ්Æනන්ද හිමිපාණන් වහන්සේ ද ප්‍රකාශ කරන ආකාරයට බුදුන් වහන්සේ මෙරට වැඩ සිටින්නට ඇත. ඒ කුමක්‌ වුවත් පූජ්‍ය මානෑවේ විමලරතන හිමිපාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිහි පරම්පරාවෙන් ලැබුණු වර්ග පූර්ණිකාව නම් ග්‍රන්ථයක්‌ ඇසුරෙන් සඳහන් කරන්නේ බුදුන් වහන්සේගෙන් බණ අසා මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන් ආරම්භයේ දීම බෞද්ධයන් වූ බවත් කාන්තාවන් ද ඇතුළුව ඇතැමුන් රහත් ඵලයට ද පැමිණි බවත් දේවානම්පියතිස්‌ස සමය වන විටත් මෙරට ලාංකේය භික්‍ෂු පරම්පරාවක්‌ තිබූ බවත් ය. පුදුමය එසේ නොවුණා නම් ය. අපේ අවුරුද්දට බෞද්ධ සිරිත්-විරිත් එකතුවන්නට ඇත්තේ ඇතැම් විට අප සිංහලයන් වීමට ද පෙර ය. මේ බෞද්ධයන් බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසුව ථෙරවාදී නොවූවා විය හැකි ය. නාග ගෝත්‍රික බෞද්ධයන් ථෙරවාදී වූවා විය හැකි ය. මහාවිහාරය ථෙරවාදයේ මධ්‍යස්‌ථානය වූ අතර අභයගිරිය පිහිටුවන තෙක්‌ අනෙක්‌ භික්‍ෂුන් වහන්සේට නිල මධ්‍යස්‌ථානයක්‌ නොතිබෙන්නට ඇත. අභයගිරියට හා ඡේතවනයට ආධාර කර ඇති රජවරුන්ට යම් යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධතාවක්‌ තිබී ඇති බව ද සැලකිය යුතු ය. මේ පිළිබඳ තවත් අංශවලින් කරුණු සොයා බැලිය යුතු ය. නාගයන් හා යක්‍ෂයන් අතර වූ වෙනස බෞද්ධයන් හා අබෞද්ධයන් අතර වූ වෙනසකට වඩා ථෙරවාදය පමණක්‌ පිළිගත් අය හා ඒ සමඟ අනෙක්‌ බෞද්ධ මතවාද ද පිළිගත් අය අතර වූ වෙනසක්‌ බව ක්‍රමක්‍රමයෙන් පැහැදිලි වෙමින් පවතියි.

මා කිහිප වතාවක්‌ ම පුවත්පත් මගින් හා සිංහල අවුරුද්ද යන පෙතෙන් පෙන්වා දී ඇත්තේ අපේ අවුරුද්දකට දින 365.256363 ක්‌ වන බවත් බටහිර ක්‍රිස්‌තියානි අවුරුද්දකට දින 365.242190 ක්‌ වන බවත් ය. මේ වෙනසට හේතුව අයනය ය. අපේ අවුරුදු දිනය අවුරුදු පතා බටහිර අවුරුද්දට සාපේක්‍ෂව ඉදිරියට ඇදෙන්නේ අයනය හේතුවෙනි. රොබට්‌ නොක්‌ස්‌ගේ එදා හෙළදිව සඳහන් තොරතුරු අනුව අවුරුද්ද උදාවූයේ මාර්තු 27, 28, 29 දිනවල ය. ඒ ජූලියන් දින දර්ශනයට අනුව ය. ග්‍රෙගරියානි දින දර්ශනය අනුව එය අප්‍රියෙල් 7, 8, 9 විය යුතු ය. මෙවර අවුරුද්ද උදාවන්නේ 13 වැනි දා රාත්‍රි කාලයෙහි ය. 2012 අධික අවුරුද්දක්‌ නොවී නම් මෙවර අවුරුද්ද උදාවීමට තිබුණේ අප්‍රියෙල් 14 වැනිදා රාත්‍රියෙහි ය. වැඩිකල් නොගොස්‌ අප්‍රියෙල් 15 වැනි දා අපට අවුරුද්ද උදාවනු ඇත. අපේ අවුරුද්ද ගණන් බැලීමට ඉරුගල් වංශයට ගණිත ක්‍රම තිබූ බව පැහැදිලි ය. ඔවුන්ට අභ්‍යවකාශ වස්‌තු පිළිබඳ ගණනය කිරීම් සඳහා මාමීණීල නම් ගණිත ක්‍රමයක්‌ තිබූ බව වර්ගපූර්ණිකාවෙන් පැහැදිලි වෙයි. කවිලාශපාලි හෙවත් රත්නාවලී රහත් මෙහෙණින් වහන්සේ තාරකා විද්‍යාව ද මැනවින් ප්‍රගුණ කර ඇත. ඒ රහත් මෙහෙණින් වහන්සේ ද වෙනත් යක්‍ෂ ගෝත්‍රික තාරකා විද්‍යාඥයන්ට ද අවුරුද්ද උදාවන දිනය ගණනය කිරීම පහසු කාර්යයක්‌ වන්නට ඇත. ගැමුණු රජු රුවන්වැලිසෑය කරවා ඇත්තේ රත්නාවලී මෙහෙණින් වහන්සේ වැඩ විසූ ස්‌ථානයෙහි ය. කලක්‌ මා ද විශ්වාස කළේ එතැන විසූ ස්‌වර්ණමාලි නම් වෘක්‍ෂ දේවතාවියක්‌ නිසා රුවන්වැලියට ඒ නම ලැබුණු බව ය. එහෙත් වර්ගපූර්ණිකාව කියන්නේ වෙනත් කතාවකි. අපට අවුරුද්ද උදාවන දිනය මන්නාරමට හිරු උදාවන දිනය හා සම්බන්ධ කරන්නෝ යක්‍ෂ ගෝත්‍රිකයන්ට නිගා කරති. මන්නාරමට හිරු උදාවන්නේ බටහිර දින දර්ශනයට අනුව නිශ්චිත දිනයක ය. එහෙත් අපේ අවුරුද්ද උදාවන දිනය බටහිර දින දර්ශනය අනුව වෙනස් වෙයි.

මහාචාර්‍ය නලින් ද සිල්වා
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-04-08

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 3267412743887115531

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item