ජිනීවා අවුලට මැදිවූ දිල්ලි ආණ්‌ඩුව

19 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය නිසා ඉන්දීය පාර්ලිමේන්තුවද උණුසුම්වී ඇත. කෝටි 121 ක ජනගහනයක්‌ ඇති ලොව විශාලතම...


19 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය නිසා ඉන්දීය පාර්ලිමේන්තුවද උණුසුම්වී ඇත. කෝටි 121 ක ජනගහනයක්‌ ඇති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ පාර්ලිමේන්තුව ජිනීවා මානව හිමිකම් සැසිවාරය නිසා උණුසුම්වී ඇත්තේ මේ 19 වැනි සැසියට කාශ්මීරය ගැන හෝ මනිපූර් ප්‍රාන්තය ගැන හෝ යෝජනාවක්‌ ඉදිරිපත්ව ඇති නිසාද? නැත. අසල්වැසි කුඩා රාජ්‍යයට එනම් ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාව නිසාය. පුරා දින තුනක්‌ ඉන්දීය පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් වූයේ තමිල්නාඩුව නියෝජනය කරන ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් හා සමස්‌ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජිනීවාහි ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවට දිල්ලි රජය සහාය දැක්‌විය යුතු යෑයි තරයේම ප්‍රකාශ කරමින් කලහ කළ නිසාය.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනාවට සහාය දක්‌වන ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහඇමැතිනී ජයලලිතා හා විපක්‍ෂ නායක මුතුවේල් කරුණානිධි අගමැති මන්මෝහන් සිං වෙත යෑවූ ලිපියට පිළිතුරු ලිපියක්‌ අගමැති කාර්යාලයෙන් නැවත චෙන්නායි මහඇමැති කාර්යාලයට හා විපක්‍ෂ නායක කාර්යාලය වෙත ලැබී ඇත. ජයලලිතා මහ ඇමැතිනිය ප්‍රකාශ කරන්නේ මේ පිළිතුරු ලිපිය පිළිබඳව තමාට සතුටුවීමට නොහැකි බවයි. මන්ද ලංකාවට එරෙහිව යෝජනාව ගැන දිල්ලියේ පැහැදිලි ස්‌ථාවරය මෙහි සඳහන්වී නැති බව ඇය කියයි. මේ අතර ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ නායක කරුණානිධි පවසන්නේ ඉන්දියාව ජිනීවා යෝජනාවට සහාය නොදුනහොත් එය දෙමළ ජනතාව පාවාදීමක්‌ වන බවයි. කරුණානිධිගේ පක්‍ෂය කොංග්‍රස්‌ ආණ්‌ඩුවේ සන්ධානගත පක්‍ෂයක්‌ වන අතර තමිල්නාඩුවෙන් ලැබෙන ප්‍රතිචාර අනුව දිල්ලියද උණුසුම් වෙයි.

අගමැති මන්මෝහන් සිං ඉකුත් අඟහරුවාදා දිනයේ තමිල්නාඩුව නියෝජනය කරන කොංග්‍රස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ මුණගැසී ජිනීවා ප්‍රශ්නය සම්බන්ධව සාකච්ඡා කළේය. මෙම මන්ත්‍රී කණ්‌ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ බී. එස්‌. ඥනදේශිකන් විසිනි. ඉන්දීය අගමැතිවරයා දෙමළ මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ඉතා සංවේදී නිසා මේ ගැන වඩාත් කල්පනාකාරීව කටයුතු කළයුතු බවයි. කෙසේ නමුත් සාකච්ඡාව අවසානයේ අගමැති කාර්යාලයෙන් මේ මන්ත්‍රීවරුන් පිටව ගියේ සතුටකින් නම් නොවන බව පැහැදිලිය.

අඟහරුවාදා දිනයේදීම ඉන්දීය පාර්ලිමේන්තුවේ කලබලකාරී වාතාවරණයක්‌ ඇති විය. ඒ තමිල්නාඩුව නියෝජනය කරන දෙමළ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වී ඇති යෝජනාවට දිල්ලි ආණ්‌ඩුව සහාය දැක්‌විය යුතු බව තරයේ ප්‍රකාශ කළ නිසාය. නමුත් ඉන්දීය මුදල් අමාත්‍ය ප්‍රනාබ් මුකර්ජි ප්‍රකාශ කර සිටියේ ජිනීවා මානව හිමිකම් සැසිය සඳහා යම් රාජ්‍යයකට එරෙහිව ඉදිරිපත් වූ කිසිම යෝජනාවකට තම රට සහාය දක්‌වා නැති බවයි. මේ ප්‍රකාශය ගැන කොටි හිතවාදී දෙමළ මන්ත්‍රීවරුන් සතුටු වූයේ නැත. තමිල්නාඩුවේ බලපෑම වඩාත් උග්‍රවන නිසා ඉකුත් 14 වැනිදා දින ඉන්දීය විදේශ ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා මහතා The Situation in Sri Lanka මැයෙන් විශේෂ ප්‍රකාශයක්‌ කළේය. එහිදී 2009 න් පසු උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නගා සිටුවීම වෙනුවෙන් දිල්ලි ආණ්‌ඩුව කළ මෙහෙය ගැන සඳහන් කළ ඇමැතිවරයා ජිනීවා ප්‍රශ්නය ගැන පැහැදිලි පිළිතුරක්‌ ලබාදුන්නේ නැත.

මේ නිසා තමිල්නාඩු දෙමළ මන්ත්‍රීවරු පරලවෙමින් ඇමැතිගේ විශේෂ ප්‍රකාශය ඉරා දමා සභාවේ කලහ කරමින් එයින් පිටව ගියහ. ඉන්දියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපොවන්නේ නැති බව ප්‍රකාශ කිරීම නිසා කෝපයට පත් ඩී. එම්. කේ. මන්ත්‍රී ටී.ආර්. බාලු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටවී ගිය අතර තමිල්නාඩු විපක්‍ෂ නායකවරයාගේ දියණිය වන කනිවොෂි ප්‍රකාශ කර සිටියේ විදේශ ඇමැතිගේ ප්‍රකාශය තමන්ට පිළිගැනීමට නොහැකි බවයි. ඉන්දීය කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ නායක ඩී. රාජා පැවැසුවේ ක්‍රිෂ්ණා ඇමැතිගේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව ඇත්ත හෙළි නොවන බවයි. භාරතීය ජනතා පක්‍ෂයේ තමිල්නාඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන වෙන්කයියානායිදු පැවැසුවේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට ඉන්දියාවට නොහැකිවී ඇති බවයි.

ඉන්දියාව මේ ජිනීවා මානව හිමිකම් සමුළුව නිසා උභතෝකෝටිකයකට පත්ව ඇති බව පැහැදිලිය. තමිල්නාඩුවේ දෙමළ අන්තවාදී ග්‍රහණයට අසුවෙනවාද නැත්නම් ශ්‍රී ලංකාවේ පැත්ත ගන්නවාද යන උභතෝකෝටිකයට මන්මෝහන් සිං ආණ්‌ඩුව මුහුණදී ඇත. අපට ඉන්දීය අගමැතිවරයාගේ මෙන්ම ප්‍රනාබ් මුකර්ජිගේ ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ ජිනීවාහි ඉන්දීය තානාපතිවරයා ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඡන්දය දීමෙන් වැළකෙනු ඇති බවයි. මෙය සාධාරණය. රැවුලත් කැඳත් බේරාගැනීමට දිල්ලි ආණ්‌ඩුවට අවශ්‍යය. කොටි හිතවාදීන්ට අවශ්‍ය ලෙසට ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ඡන්දය දුනහොත් එය කොංග්‍රස්‌ පක්‍ෂ නායිකා සෝනියා ගාන්ධිගේ මියගිය සැමියා වන රජීව් ගාන්ධිටත් කරන ෙද්‍රdaහීකමකි. ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා විනාශ කර දැමුවේ ශ්‍රේෂ්ඨ භාරත පුරුෂයකු ඝාතනය කළ ත්‍රස්‌ත නඩයයි. ඉන්දියාවටත් තර්ජනයක්‌ වීමට ඉඩ තිබුණු කොටි සංවිධානය විනාශ කිරීම යුද අපරාධයක්‌ද? බ්‍රාහ්මණ වංශික ඉන්දීය විදේශ තානාපතිවරුන් නම් මේ තමිල්නාඩු උද්ඝෝෂණ හා කෑකෝ ගැසීම් ගැන එතරම් උනන්දු නොවන බව පැහැදිලිය. හදිසියේ හෝ ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට අත ඉස්‌සුවොත් එය ඓතිහාසික වැරැද්දක්‌ වනු ඇත. එය ඉන්දියන් හමුදා ශ්‍රී ලංකාවට එවා අතපුච්චා ගත්තාටත් වඩා වැරැද්දක්‌ වනු ඇත. නමුත් ඉන්දීය ආණ්‌ඩුව වඩා විචක්‌ෂණව කටයුතු කරන බව අපි දනිමු.

ජිනීවා මානව හිමිකම් සැසියේදී ඉන්දීය ආණ්‌ඩුව ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකළ යුතු නැති බව ජනතා පක්‍ෂ නායක සුබ්‍රමනියම් ස්‌වාමි මහතා පවසයි. ඇමරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවෙන් දශක තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ එල්. ටී. ටී. ඊ. ය සිදු කළ යුද අපරාධ කිසිවක්‌ ගැන සඳහනක්‌ නැති බව ජනතා පක්‍ෂ නායකයා පවසයි. ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවට පක්‍ෂ වුවහොත් කාශ්මීරය සම්බන්ධ යෝජනාවක්‌ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වීමේ අවදානමක්‌ ඇති බව මේ ඉන්දීය දේශපාලකයා පවසයි.

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීමේ ඇමරිකානු උත්සාහයට චැනල් 4 නාලිකාව මගින් පසුගියදා එළිදැක්‌වූ චිත්‍රපටය යම් උත්තේජනයක්‌ සපයයි. මෙය සැබැවින්ම කොටි හිතවාදී ව්‍යාජ රූප රාමු හා තොරතුරු ඇතුළත් චිත්‍රපටයකි. දෙමළ ඩයස්‌පෝරාව විසින් ලබාදුන් පවුම් මිලියන ගණනක්‌වූ අල්ලස්‌ මුදල්වලින් නිර්මාණය වූවක්‌ බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ නමුත් කොටි නායක ප්‍රභාකරන්ගේ බාලපුතු බාලචන්ද්‍රන්ගේ මරණය ගැනද මේ චිත්‍රපටයේ ඇතුළත් වේ.

බාලචන්ද්‍රන් අවුරුදු 12 ක දරුවෙකි. ඔහු මියගියේ කෙසේ දැයි අපි නොදනිමු. බාලචන්ද්‍රන්ගේ මරණය යුද අපරාධයක්‌ යෑයි ප්‍රකාශ කරන අය 83 සිට 2009 දක්‌වා උතුරු නැගෙනහිර මෙන්ම දකුණේද කපා කොටා මරා දැමුණු, බෝම්බවලට හසුවී කෑලි කෑලිවලට කැඩී ගිය සිංහල දරුවන් ගැන කතා නොකරන්නේ මන්ද? මායිම් ගම්මානවල මවගේ ඇකයේ සිටි කිරි දරුවන් පවා කපා කොටා මරා දැමිණි. මේ මියගිය දරුවන්ට සාධාරණය ඉටුවන්නේ කවර දිනයකද? අපි ඒ දෙස බලා සිටිමු.

චතුර පමුණුව
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-03-17

Related

චතුර පමුණුව 2855504779314620369

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item