ජිනීවා උගුලෙන් බේරීම

ඉකුත් සතියේ ජිනීවා නුවරදී ඔප්පු වූ කාරණය වූයේ ඇමරිකාවට තවමත් වැඩ පුළුවන් බවයි. ඔවුන් නටන්න පුළුවන් දහඅට සන්නියම නටා ...

ඉකුත් සතියේ ජිනීවා නුවරදී ඔප්පු වූ කාරණය වූයේ ඇමරිකාවට තවමත් වැඩ පුළුවන් බවයි. ඔවුන් නටන්න පුළුවන් දහඅට සන්නියම නටා කෙසේ හෝ ලංකාවට වඩා වැඩියෙන් එක ඡන්දයක්‌ ගෙන ජය ගත්තේය. ඔවුන් දීපු සටනේ හැටියට ජයග්‍රහණය ගැන ඔවුන්ට ප්‍රසංශා කිරීම හැරුණුවිට අපට වෙනත් කළ හැකි දෙයක්‌ නැත. ලංකාවට එරෙහිව ඡන්ද 24 කුත් පක්‍ෂව 15 කුත් ඡන්ද නොදී සිටි රටවල් 8 ක්‌ සිටි බව කීවත් ඇත්ත වශයෙන්ම ඡන්දය බෙදුනේ 24 ට 23 ක්‌ වශයෙනි. ඒ මන්ද යත් ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාවේ ස්‌වභාවය අනුව එයින් අපේක්‍ෂා කළේ ලංකාව යම් යම් ක්‍රියාකාරකම් වල යෙදිය යුතු බවයි. ඡන්දය නොදී සිටි රටවල් 8 ඒ ක්‍රියාකාරකම් ලංකාව විසින් කළ යුතු යෑයි විශ්වාස නොකළ නිසා ඡන්ද දීමෙන් වැළකී සිටියේය. එම නිසා ඒ ඡන්ද 8 ත් ලංකාවේ පැත්තට ගණන් ගත යුතුය. ඇත්ත වශයෙන්ම මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ඡන්ද ප්‍රකාශ නොකර සිටි රටවල් 8 අතුරෙන් රටවල් 2 ක්‌ එනම් කිරිගිස්‌තානය සහ ඇන්ගෝලාව තමන් ඡන්දය නොදී සිsටින්නේ මන්දැයි ප්‍රකාශ කළේය. කිරිගිස්‌තානය පවසා සිටියේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බාහිර ඇඟිලි ගැසීම් වලින් තොරව ක්‍රියාත්මක කිරීමට තවත් කල් ලබාදිය යුතු බවයි. මේ අවස්‌ථාවේදී විදේශීය මැදිහත්වීම් වලින් තත්ත්වය අස්‌ථාවර වන බව ඔවුන් විශ්වාස කරන නිසා ඇමරිකාවට පක්‍ෂව ඡන්දය දීමෙන් වැළකී සිටින බවයි. ඇංගෝලාව පවසා සිටියේ සංහිඳියාව ඇතිවිය යුත්තේ බිම් මට්‌ටමින් මිස ජාත්‍යන්තර මට්‌ටමින් නොවන බවත් ඇමරිකාව විසින් ගෙන එන ලද මෙම යෝජනාව මානව හිමිකම් කවුන්සලයේ මූලධර්ම උල්ලංඝනය කරන නිසා එයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවයි. ඇමරිකාවට පක්‍ෂව ඡන්දය දීමෙන් වැළකී සිටින සෙසු රටවල් 6 වන ජිබුති, බුර්කිනා ෆාසෝ, මැලේසියාව, සෙනගාලය හා ජෝර්දානය ද ඇමරිකාවට පක්‍ෂපාතීව ඡන්දය දීමෙන් වැළකී සිටි බව පැහැදිලිය. එයට හේතුව මෙකී රටවල් සියල්ලම 2009 මැයි මාසයේදී ලංකාවට පක්‍ෂව ඡන්දය දුන් රටවල් වීමයි. මානව හිමිකම් කවුන්සිලයේ සැබෑ බෙදිම 24 ට 15 ක්‌ නොව 24 ට 23 ක්‌ බව අන් හැමෝටම වඩා හොඳින් දන්නේ ඇමරිකාවමය. ඒ ඡන්ද 24 ක්‌ ලබාගත්තේ කෙසේද යන්න ඔවුන් දනී. ඇමරිකාවට මුල සිටම රටවල් 17 ක සහයෝගය තිබුණි. ඒ ඔස්‌ටේ්‍රලියාව, බෙල්ජියම, චිලී රාජ්‍යය, චෙක්‌ ජනරජය, හංගේරියාව, මුරුසිය, මෙක්‌සිකෝව, නෝර්වේ, පේරු, පෝලන්තය, මෝල්ඩෝවා, රුමේනියාව, ස්‌පාඤ්ඤය, ස්‌විට්‌සර්ලන්තය හා උරුගුවේ යන රටවල්ය. ඇමරිකානු යෝජනාව නිල වශයෙන් සභාගත කර ගැනීමට මේ අත්සන් 17 ප්‍රමාණවත් විය. නමුත් එය ජය ගැනීමට ප්‍රමාණවත් නොවීය. ඉතුරු ඡන්ද ටික ලබාගත්තේ බලහත්කාරයෙනි. ලංකාවට එරෙහිව ඡන්ද දුන් ඉතිරි රටවල් 7 වූයේ කැමරූනය, නයිජීරියාව, කොස්‌ටාරිකාව, ගෝතමාලාව, ලිබියාව, ඉන්දියාව හා බෙනින් යන රටවල්ය. මේ රටවල් අතුරෙන් කොස්‌ටාරිකාව හා ලිබියාව යන රටවල් 2 හැරුණු විට අනෙක්‌ සියලුම රටවල් ලංකාවට වඩා අඩු ඒකපුද්ගල ආදායම් සහිත රටවල්ය. ඇමරිකාව විසින් ඇමරිකානු ආධාර මත යෑපෙන අප්‍රිකානු රටවල් වලට එක්‌කෝ තමන්ට පක්‍ෂව ඡන්දය දෙනමෙන් නැතිනම් ඡන්ද දීමෙන් වැළකී සිටින මෙන් බලපෑම් කර තිබුණි. මෙකී රටවල් බොහොමයක්‌ ලංකාවේ නියෝජිතයන්ට පවසා සිටියේ ඇමරිකාව තමන්ගේ රටවලට ආධාර දෙන බවත් ඒ මුදල් ලංකාවට තමන්ට ලබා දීමට නොහැකි බවත් එමනිසා ලංකාවේ ස්‌ථාවරය නිවැරැදි බව දැන දැන වුවත් අපට පක්‍ෂව ඡන්දය දීමට නොහැකි බවත්ය. අද එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය තුළ තීරණ ගැනෙන්නේ අදාළ යෝජනාවේ අන්තර්ගතය අනුව නොව විවිධ රටවල් අතර ඇති වන "ගනුදෙනු" අනුව යෑයි ඩිව් ගුණසේකර මහතා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කර සිටියේ මේ නිසාය.

නමුත් ඇමරිකාව පැත්තෙන් බලන කල යෙදීමට තිබෙන සියලුම උප්පරවැට්‌ටි යොදවා හෝ මේ තරගයෙන් ඔවුන් ජයගත යුතු විය. ලංකාව වැනි රටක්‌ සමග හැප්පී ලෝකයේ අංක එකේ බලවතා පැරදුනේ නම් එතැන් සිට ලෝක බලතුලනයත් වෙනස්‌ වනු ඇත. එවැන්නකින් පසුව කිසිවකුත් ඇමරිකාව ගණන් ගන්නේ නැතුව යනු ඇත. ලංකාව යනු විදේශ රටවලට ආධාර දීමට තබා කිසිවකුටත් තේ පෙට්‌ටි කීපයක්‌ හෝ හාල් මිටි කීපයක්‌ වත් පහසුවෙන් ලබාදීමට වත්කමක්‌ ඇති රටක්‌ නොවේ. එසේ තිබියදී රටවල් 15 ක්‌ම කෙලින්ම අප සමගත් තවත් රටවල් 8 ක්‌ අපේ පැත්තට කතා කරමින් ඇමරිකාවට සහයෝගය දැක්‌වීමෙන් වැලකී සිටීම යනු ඇත්ත වශයෙන්ම ලෝක ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්‌ථානයකි. අනුන් පාලනය කිරීමට බටහිර රටවල් තුළ ඇති උවමනාවට මානව හිමිකම් කවුන්සිලය තුළ ඇති මේ බෙදීම රතු එළියක්‌ වනු ඇත. මේ අවස්‌ථාවේදී ද මේ උත්සහාය ජය ගත්තේ යන්තමිනි. ඉදිරියේදී ලංකාවට වඩා විශාල හා වැදගත් රටකට එරෙහිව මෙවැනි යෝජනාවක්‌ ගෙන ආවොත් කුමක්‌ සිදුවිය හැකිද යන්න ගැන ඉඟියක්‌ ලංකාවට එරෙහිව ගෙන එන ලද මෙම යෝජනාවේ ප්‍රතිඵලයෙන් පැහැදිලි වෙයි.

ඒ කෙසේ වෙතත් දැන් ඇමරිකානු යෝජනාව සම්මත වී හමාරය. දැන් ඇත්තේ මෙයින් ලංකාවට ඇතිවන බලපෑම් කුමක්‌ද යන්න විග්‍රහ කර බැලීමයි. මේ යෝජනාවට අනුව ලංකාව කලයුතු දේවල් කීපයක්‌ ඇත.

1. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමයි.

2. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සැලැස්‌මක්‌ ඉදිරිපත් කිරීම.

3. ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීම විමර්ශනය කිරීමට ගන්නා පියවර පිළිබඳ විස්‌තරයක්‌ සැපයීම.

4. ඉහත දැක්‌වෙන දේවල් ක්‍රියාත්මක කිරීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයේ උදව් උපකාර ලබාගත යුතුය.

5. ඒ දුන් උදව් උපකාර පිළිබඳ වාර්තාවක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය විසින් මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසි වාරයට ඉදිරිපත් කළ යුතුය.

මේවා එකිනෙක ගෙන සළකා බලන කල උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නයක්‌ නැත. නමුත් එකී නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය ගැන සැලැස්‌මක්‌ ඉදිරිපත් කළ යුතු කාරණය ගැන ප්‍රශ්න ඇත. ඇත්තවශයෙන්ම පිලිපීනය මේ නිර්දේශයට දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරමින් ලංකාවට පක්‍ෂව ඡන්දය දුන්නේය. පිලිපීනය කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය විසින් රටවල්වලට දෙන උපකාර "දේශපාලන පීඩනයක්‌" බවට පත් කිරීමට ඔවුන් දැඩි ලෙස විරුද්ධ බවයි. මේවා තුළින් ආණ්‌ඩු පාලනය කිරීමට උත්සාහ දැරීමට ඔවුන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටියේය. මේ තත්ත්වයට මුහුණදීමට ලංකාවට යම් ක්‍රමවේදයක්‌ ගොඩනඟා ගැනීමට සිදුවනු ඇත.

එයට අමතරව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම ගැන ලංකාව කරන්නේ කුමක්‌ද? පිළිබඳ විස්‌තරයක්‌ මානව හිමිකම් කවුන්සිලයට කළ යුතුය. නමුත් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් ගැන කරන්නේ කුමක්‌දැයි යන්න ගැන විස්‌තරයක්‌ ඉදිරිපත් කිරීමට නම් අදාළ චෝදනා මොනවාදැයි ලංකාව දැනගත යුතුය. නිශ්චිත චෝදනාවක්‌ නොමැතිව අඩුම වශයෙන් නීතියත් උල්ලංඝනය වී තිබෙනවාදැයි කියාවත් බැලිය නොහැක. ඇත්තවශයෙන්ම 2009 ඔක්‌තෝබර් මාසයේදී ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලංකාවේ යුද්ධයේ අවසන් මාස කීපයේදී සිදුවූවා යෑයි කියන සිද්ධීන් ගණනාවක්‌ ගැන වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලදී. නමුත් එම සිද්ධීන් ඇත්තටම සිදු වුණාද, එතනදී යම් ජාත්‍යන්තර නීතියක්‌ උල්ලංඝනය වුණා ද, යන්න අපට දැනගත හැකි වන්නේ එම සිද්ධීන් පිළිබඳ වැඩිපුර විස්‌තර ඇමරිකාව විසින් ලංකාවට සපයා දුන්නොත් පමණි. ඒ වාර්තාවේ තිබෙන කෙටි විස්‌තර හැටියට මොනම විමර්ශනයක්‌වත් ආරම්භ කළ නොහැක. බෑන් කී මූන්ගේ උපදේශන කමිටු වාර්තාවේ ද විවිධ චෝදනා තිබුණත් විමර්ශනය කළ හැකි නිශ්චිත චෝදනා ඉතාමත්ම අඩුය. එහි සඳහන් වූ එකවරම විමර්ශනය කළ හැකි චෝදනාවක්‌ හැටියට පෙනෙන එක්‌ චෝදනාවක්‌ වන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කඳවුරකට ලංකාවේ ආණ්‌ඩුව පැත්තෙන් බෝම්බ ප්‍රහාර එල්ලවූ බව කියන චෝදනාවයි. නමුත් මෙහිදී කෙලින්ම වරදකරු වන්නේ එම කඳවුර පිහිටවූ එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් දෙදෙනා මිස ලංකාව නොවේ. ඒ කඳවුර පිහිටුවීමේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේම සියලුම රෙගුලාසි උල්ලංඝනය කර තිබුණා පමණක්‌ නොව ජාත්‍යන්තර නීතිය ද උල්ලංඝන කර තිබුණේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේම සේවකයන් විසිනි. බෑන් කී මූන්ගේ එම වාර්තාවේම සඳහන් අනෙක්‌ සිද්ධීන් විමර්ශනය කිරීම එතරම් පහසු නැත. ඒ පිළිබඳ වැඩිපුර විස්‌තර ලංකාවේ ආණ්‌ඩුවට ඔවුන් සපයා දිය යුතුය. නමුත් සාක්‍ෂිකරුවන්ට හිරිහැර කරාවිය යන පදනම මත ඔවුන් ලංකාවට ඒ විස්‌තර සපයා දෙන්නේ නැත. ඉතින් එවිට විමර්ශනයක්‌ කරන්නේ කෙසේද යන ප්‍රශ්නය පැන නගී. විමර්ශනය කිරීම එතැනින්ම නැවතීමට ඉඩ ඇත.

ඊළඟ කාරණය වන්නේ ලංකාව විසින් උල්ලංඝනය කර ඇති ජාත්‍යන්තර නීති මොනවාද යන ප්‍රශ්නයයි. බෑන් කී මූන්ගේ වාර්තාවේ ලංකාව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරා යෑයි කියමින් පවසා ඇත්තේ සැබෑ ජාත්‍යන්තර නීතිය විකෘති කිරීමෙනි. ඔවුන් ලංකාවට ආදේශ කළ ජාත්‍යන්තර නීතිය ලෝකයේ කොතනකවත් ක්‍රියාත්මක වන්නක්‌ නොවේ. ඒ අනුව ජිනීවා සම්මුතීන් හා ජිනීවා සම්මුතියේ දෙවන අතුරු ලියවිල්ල, රෝම පනත හා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෙගුලාසි හා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් සම්පාදිත සාම්ප්‍රදායික යුද නීතිය පිළිබඳ ග්‍රන්ථය වැනි මූලාශ්‍රවලට අනුව නම් ලංකාව විසින් මොනම යුද නීතියක්‌ වත් උල්ලංඝනය කොට නැත. ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු කීමට නම් මුලින්ම නිශ්චිත චෝදනා ලබාගත යුතුය. දෙවනුව එකී සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්‌දැයි තහවුරු කරගත යුතුය. තුන්වනුව එම සිද්ධියට අදාළ නීතිය කුමක්‌ද යන කාරණය පැහැදිලි කරගත යුතුය. නීතිය පැත්තෙන් නම් විශේෂයෙන්ම අපට එරෙහිව චෝදනා එල්ල කරන බටහිර රටවල් විසින්ම පිළිගන්නා යුද නීතියට අනුව ලංකාව කිසිදු වරදක්‌ කර නැත.

ඉහත කී ක්‍රියාකාරකම් කිරීමේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ උදව් ලබාගත යුතු බවට ඇති කොන්දේසිය සම්බන්ධයෙන් ද ලංකාවට පක්‍ෂව යම් වාසිදායක තත්ත්වයක්‌ ඇත. ඒ මානව හිමිකම් කවුන්සිලයේ රටවල් අතරම මානව කොමසාරිස්‌ කාර්යාලය කෙරෙහි ඇති අවිශ්වාසයයි. ඇත්තවශයෙන්ම ලංකාවට එරෙහිව මෙම චෝදනාව සම්මතවීමෙන් පසු ඊළඟට සම්මත වූ යෝජනාව වූයේ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය ගැන අවිශ්වාසය පළ කරන චෝදනාවකි. මෙම චෝදනාව සම්මතවීම වැළැක්‌වීමට බටහිර රටවල් නොගත් උත්සාහයක්‌ නැත. මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයේ සේවකයන්ගෙන් බහුතරය බටහිර ජාතිකයන්වීම බටහිරට පක්‍ෂපාත ප්‍රතිපත්තියක්‌ එම ලේකම් කාර්යාලය විසින් කරගෙන යන බවට සියලුම සාමාජික රටවල් අතර සැකයක්‌ පවතී. එම නිසා මෙම විශ්වාසභංග යෝජනාව සම්මත වූයේ 33 ට 12 ක්‌ වශයෙනි. පසුගිය අවුරුදු 4 ඇතුළත එම කාර්යාලයේ සිටින බටහිර ජාතිකයන්ගේ ප්‍රතිශතය 67% සිට 49% දක්‌වා අඩුකර ඇතැයි යන වාර්තාව ද සෙසු රටවල් පිළිගත්තේ නැත. මානව හිමිකම් කවුන්සිලය තුළ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය ගැන තිබෙන අවිශ්වාසය ලංකාවට ප්‍රයෝජනයට ගැනීමට හැකි තවත් සාධකයක්‌ බව කිව යුතුය. මේ සියලුම කරුණු කාරණා භාවිතා කොට මේ අභියෝගයෙන් ලංකාවට ගොඩඒමට මාර්ගයක්‌ නැතුවා නොවේ.

සී.ඒ. චන්ද්‍රප්‍රේම
උපුටා ගැනීම
දිවයින
2012/03/26

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 6134012392828036834

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item