ශ්‍රී ලංකාවට එරෙහි "යෑංකි" ත්‍රස්‌තවාදය!

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට ඔබාමා පාලනය සූදානම් වන නිසා ඉකුත් ...

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට ඔබාමා පාලනය සූදානම් වන නිසා ඉකුත් සඳුදා දිනයේ දහස්‌ ගණන් ජනතාව කොල්ලුපිටියේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියට ගොස්‌ උද්ඝෝෂණය කළේ මේ යෑංකි රාජ්‍යතාන්ත්‍රික ත්‍රස්‌තවාදය වහා නතර කරන ලෙස ඉල්ලමිනි. මේ උද්ඝෝෂණය තානාපති කාර්යාලයේ උස්‌ ගොඩනැඟිල්ලක සිට ඡායාරූප ගතකළ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීහු එය වහාම වොෂින්ටනයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවන්නට කටයුතු කළහ. ශ්‍රී ලාංකිකයන් ඇමරිකාවට එරෙහිව උද්ඝෝෂණය කළ පුවත ඉරානයේ මාධ්‍යවලටත් විශේෂ පුවතක්‌ විය. හිතුවක්‌කාරී යෑංකි ත්‍රස්‌තවාදය නිසා පීඩනයට පත්ව සිටින ඉරානයට කොළඹ සිදුවූ උද්ඝෝෂණ වැදගත් පුවතක්‌ විය. 2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසු ලොව පුරා ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයක්‌ ඇරැඹීමට හිටපු ජනපති ජෝර්ඡ් බුෂ් කටයුතු කළේය. බෝර්න් අගේන් ක්‍රිස්‌තියානි මූලධර්මවාදියකු වූ හෙතෙම පකිස්‌තානයෙන් ප්‍රශ්නකර සිටියේ ඔබ අප සමගම ඉන්නවාද ඔසාමා සමඟ ඉන්නවාද යනුවෙනි. ඇමරිකාව ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයේදී සැප්තැම්බර් ප්‍රහාරයට කිසිම සම්බන්ධයක්‌ නැති ඉරාකය ඈ¹ ගත්තේය. 2003 දී ඉරාකය ආක්‍රමණයකර සදාම් හුසේන් පමණක්‌ නොව ඔහුගේ පුතුන් දෙදෙනාද ඝාතනය කර දැමීය. ඇමරිකානු ආක්‍රමණය නිසා මියගිය ඉරාක වැසියන්ගේ ප්‍රමාණය ලක්‍ෂ හතකට ආසන්නය. අද ඇමරිකානු හමුදා ඉරාකයෙන් පිටව ගොස්‌ ඇතත් එරටට සාමය උදාවී නැත. සුන්නි සහ ෂියා නිකායන් අතර වර්ගවාදී ගැටුම් නිරන්තරව ඇති වේ. ඉරාකය දෙකඩවීමේ අනතුරක්‌ මතුව තිබේ. ඉරාකය අරාජිකත්වයට ගමන් කරමින් සිටී. මෙයට වගකිව යුත්තේ කවරෙක්‌ද? ඇමරිකානු ආක්‍රමණයෙන් පසු මියගිය ඉරාක වැසියන්ගේ ඝාතන පිළිබඳ සමීක්‍ෂණයක්‌ සිදු කෙරී ඇත්ද? 2009 මෙරට යුද්ධය අවසන් කාලයේදී සිදුවූ මරණ ප්‍රමාණය කොපමණද යන්න ගැන බැලීමට එක්‌සත් ජනපදය ඉතා උනන්දුය. ඒ හරහා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවේදැයි බැලීමට ඔබාමා පාලනය නිරන්තරව උත්සුක වේ. දැන් හෙළිව තිබෙන තොරතුරු හා ජන සංගණනය අනුව එම පිරිස අටදහසකි. ඉරාකයේ මියගිය සාමාන්‍ය වැසියන් ප්‍රමාණය හා සැලකුවහොත් මෙය සියයට එකකි. නමුත් ඉරාක වැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට යැමට කිසිවකු උනන්දුවූයේ නැත.

පුදුමාතලන් යුද මුක්‌ත කලාපයේදී ත්‍රස්‌ත ග්‍රහණයෙන් දෙමළ වැසියන් ලක්‍ෂ තුනක්‌ මුදා ගැනීම ගැන සතුටුනොවන ඇමරිකාව පුදුමාතලන් වැල්ලේ ඇති මිනීවළවල් ප්‍රමාණය ගණන් කිරීමට වඩාත් උත්සුක වෙයි. 2009 මැයි මාසයේදී යුද්ධය සිදුවන ආකාරය ඇමරිකාව සිය චන්ද්‍රිකා හරහා හොඳින් නිරීක්‍ෂණය කළ බව ප්‍රකට කරුණකි.

නවිපිල්ලේගේ ප්‍රධානත්වයෙන් යුත් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා යෝජනාවක්‌ සම්මතකර ඇමරිකාව උත්සාහ ගන්නේ කවරක්‌ කිරීමටද? ශ්‍රී ලංකාව තවත් ලිබියාවක්‌ කිරීමටද? නැතිනම් මියගිය කොටින්ට නැවත පණ දීමටද? මෙය මහා උභතෝකෝටිකයකි. අවාසනාවකට හෝ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌ සම්මත වුවහොත් ශ්‍රී ලංකා සමාජය නැවත වරක්‌ දෙකට බෙදී වර්ගවාදීව උනුන් ඇනකොටා ගන්නා තත්ත්වයක්‌ ඇතිවුවහොත් එයට බරක්‌ ඔබාමාට වගකිව හැකිද? පුරා වසර තිහක්‌ තිස්‌සේ පැවැති ජනසංහාරක යුද්ධය පැවැතීම ගැන ඇමරිකාව සතුටු නොවන්නේ "යෑංකි" කුහක බව නිසාද? 2001 සිට ඇරැඹූ ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය නිසා දශලක්‍ෂයක්‌ ඝාතනය වූ බව අප අමතක කළ යුතු නැත. ශ්‍රී ලංකාවේ වසර 30 ක යුද්ධයක්‌ පැවැතුණද දසලක්‍ෂයක්‌ ඝාතනය වූයේ නැත. ඇමරිකාවට බින් ලාඩන් ඝාතනය කිරීමට හැකිවූයේ 2011 මැයි මාසයේදීය. අපි 2009 දී ප්‍රභාකරන් ඝාතනය කළෙමු. ඇමරිකාවට සිය අංක එකේ සතුරා ඝාතනය කිරීමට පූර්ණ අයිතිය ඇත. ඇමරිකාවට ඇති අයිතිය සේම මේ කුඩා ශ්‍රී ලංකාවටත් තම රාජ්‍යයට එරෙහි පරම සතුරා විනාශ කර දැමීමේ අයිතිය ඇත. ශ්‍රී ලංකා ආණ්‌ඩුව 2009 යුද්ධයෙන් පසුව රජයට භාර වූ කොටි සාමාජිකයන් 10,300 ක්‌ පුනරුත්ථාපනය කර නැවත සමාජයටත් යොමුකර අවසන් ය. දැන් මෙරට හදිසි නීතිය බලපවත්වන්නේ නැත. ඇමරිකාව තමන්ට එරෙහිව ත්‍රස්‌ත ක්‍රියා සිදුකළ කොපමණ ප්‍රමාණයක්‌ ග්වන්තනාමෝ කඳවුරේ හා තවත් රහස්‌ වධ කඳවුරුවල සිරගත කර සිටින්නේද? මේ අය කිසිවෙක්‌ නිදහස්‌කර ඇත්ද? ඇමරිකාව කිසිම අල්කයිඩා සාමාජිකයකු පුනරුත්ථාපනය කර සමාජයට මුදා හැරි බවක්‌ අප අසා නැත. එය සිදුවන්නේද නැත. ඇමරිකාව අසූචි වළක එරී ගිලෙමින් සිටියදී ශ්‍රී ලංකා සෙරෙප්පුවේ අසූචි තැවරී ඇත්දැයි හොඳින් නිරීක්‍ෂණය කර බලයි. මෙය බලවත් නිග්‍රහයකි.

ඇමරිකාව සමඟ බ්‍රිතාන්‍යයද ශ්‍රී ලංකාවට එරෙහි කුමන්ත්‍රණයට එක්‌වී ඇත. එය අරුමයක්‌ නොවේ. ලංකාව බුරුමයක්‌ කරන බවට වහසි බස්‌ දෙඩූ හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ ඩොමිනික්‌ චිල්කොට්‌ අපට අමතක නැත. මීට මාස කිහිපයකට පෙර ඉරාන වැසියෝ ටෙහෙරාන් නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට කඩාවැදී එය විනාශකර ගිනි තැබූහ. ඇත්තෙන්ම එවිට ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති වූයේ මේ කුප්‍රකට චිල්කොට්‌ය. චික්‌කොට්‌ට වහාම එරට අතහැර යන්නට සිදුවිය.

ජිනීවා නුවරට රැස්‌වී සිටින කොටි හිතවාදීහු ඊළාම් කොඩිය සමඟින් බ්‍රිතාන්‍ය කොඩියත් ඔසවාගෙන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා නඟන්නැයි නවිපිල්ලේගෙන් අයෑද සිටිති. බ්‍රිතාන්‍යය මේ කොටි හුරතල් බොහොම ආසාවෙන් බලා සිටින බව රහසක්‌ නොවේ.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් වුවහොත් ඉන්දියාව සිය අසල්වැසියාගේ පැත්ත ගනු ඇතැයි කොළඹ රජය බලාපොරොත්තු වෙයි. ඇත්තෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකට කැමැත්ත නොදෙනු ඇත. දිල්ලියේ මේ ස්‌ථාවරය ගැන තමිල්නාඩුව කැලඹී ඇත. තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජෙයරාම් ඉකුත් බදාදා අගමැති මන්මෝහන් සිං මහතාට ලිපියක්‌ යවමින් ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවට සහාය දැක්‌විය යුතු බව ප්‍රකාශකර ඇත. ජයලලිතාගේ ප්‍රතිවාදියා වූ 82 හැවිරිදි මුතුවේල් කරුණානිධි පවසන්නේද ඉන්දියාව ලංකාවට එරෙහිව යායුතු බවයි. නමුත් හින්දු බ්‍රාහ්මණ විදේශ තානාපතිවරුන් ලංකාවට එරෙහිව තීරණයක්‌ නොගන්නා බව පැහැදිලිය. එවැනි තීරණයක්‌ ගතහොත් එය ඉන්දියාවටම පාරා වළල්ලක්‌ වීම වැළැක්‌විය නොහැක. ලංකාව ලිබියාවක්‌ වනු දැකීමට ඉන්දියාව කැමැතිද? ප්‍රකෝටිපති ඉන්දීය වෙළෙඳ පන්තිය ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඉතා ඕනෑකමින් බලා සිටින නිසා මෙරට දේශපාලන අස්‌ථාවරභාවය ඉන්දියාවටද ප්‍රශ්නයක්‌ වනු ඇත. ඉන්දීය සහයෝගය තිබේනම් එය ඇමරිකාවේද ශ්‍රී ලංකා විරෝධය බාලකරවන්නකි. මන්ද ඇමරිකාව දකුණු ආසියාවේ කටයුතු දෙස බලන්නේ ඉන්දියාවේ මතයට එකඟවන දෘෂ්ටි කෝණයකිනි.

චතුර පමුණුව
උපුටා ගැනීම
දිවයින
2012-03-03

Related

චතුර පමුණුව 8374967978148685680

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item