ආණ්‌ඩුව රටේ යහපාලනයක්‌ ඇති කළොත් රටට අතපොවන්න කාටවත් බෑ!

- ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර ප්‍රභාකරන් ඝාතනය වීම නිසා වියරු වැටුණු දෙපිරිසක්‌ සිටිති. මේ ...

- ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර
ප්‍රභාකරන් ඝාතනය වීම නිසා වියරු වැටුණු දෙපිරිසක්‌ සිටිති. මේ රට බෙදා වෙන්කිරීමට වෙර දරන විදේශගත ද්‍රවිඩ ප්‍රජාව සහ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කිහිපයයි ඒ. ඇමරිකාව ඇතුළු බටහිර නඩය දැන් මේ හදන්නේ ඔවුන්ගේ නියෝග නොතකා ප්‍රභාකරන් ඇතුළු කොටි නඩය එලොව යෑවීමේ "වරදට" අපේ රටට දඬුවම් දෙන්නටය. අපේ රට ඊට මුහුණදිය යුත්තේ කෙසේද? ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකරයන් කරන විග්‍රහයකි මේ.

අපේ රටට ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් අද එල්ලවී තිබෙන අනතුර ඔබ දකින්නෙ කොහොමද?
මෙය සම්පූර්ණයෙන්ම ද්වේශසහගත ප්‍රයත්නයක්‌. මා එහෙම කියන්නෙ අපේ රටේ ජනතාවගෙ මානව හිමිකම් උල්ලංඝනය වූ ඉතිහාසයේ විවිධ අවස්‌ථාවලදී අද ඔය මානව හිමිකම් ගැන කතාකරන කිසිකෙනෙක්‌ වචනයක්‌ කතා කළේ නැති නිසයි.
ඉන්දියාව ඔවුන්ගේ භූමියේ කඳවුරු ඉදිකරවල අපේ රටට එරෙහිව ත්‍රස්‌තවාදීන් පුහුණු කරපු වෙලාවෙ ඔය එක රටක්‌වත් කටක්‌ ඇරියෙ නෑ. ඒ ත්‍රස්‌තවාදීන් අපේ රටේ කුඩා දරුවො පවා ඝාතනය කරද්දි අඩුතරමින් ඒ ඝාතනවලට ඉන්දියාව වගකියන්න ඕන කියලවත් කියන්න අද මානව හිමිකම් ගැන කතාකරන ඔය එක රටකටවත් බැරිවුණා. දැන් මේ ඔය මානව හිමිකම් චෝදනා ගේන්නෙ අපේ රට ගැන දැඩි වෛරයකින්. අපේ රට ගැන ඔවුන් තුළ මේ වෛරය ඇතිවුණේ ඔවුන් කියන දේවල් පිළිගන්නෙ නැතුව ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්‌තයො අතුගාල දාපු හින්දයි.
අපට මානව හිමිකම් ගැන චෝදනා කරන මේ බටහිර රටවල් අතදාපු හැම රටක්‌ම අද අවුල් ජාලාවක්‌. ඇµaගනිස්‌ථානය, ලිබියාව, ඉරාකය ඔවුන්ට අවුල් කරන්න පුළුවන් වුණා. බැරිවුණේ වියට්‌නාමෙ විතරයි. වියට්‌නාමෙ මේ බටහිර රටවල් කනෙන් අල්ලල එළියට දාපු හින්ද ඒ රට අවුල් කරන්න මේ අයට බැරිවුණා.
ඇමරිකාව ඇතුළු මේ රටවල් අපේ රටේ මානව හිමිකම් ගැන කතාකරනව නම් මුලින්ම චෝදනා කරන්න ඕන ඉන්දියාවට. කඳවුරු හදල යාපනේ දෙමළ තරුණයො අතට තුවක්‌කු දීල ඔවුන් ත්‍රස්‌තයො බවට පත් කළේ ඉන්දියාව. ඒ ත්‍රස්‌තයො මර්දනය කරලා යාපනේ ජනතාව නිදහස්‌ කරගන්න කටයුතු කරද්දි ගුවනින් පරිප්පු දාලා ඒ සටන කඩාකප්පල් කළේ ඉන්දියාව. එදා කොටි යාපනේ රෝහලේ ඇඳන් උඩ හිටපු රෝගී දරුවො පවා කපල කොටල මරද්දි අද මානව හිමිකම් ගැන කතා කරන ඔය රටවල් හිටියෙ ගොළුවො, බීරො වගේ. ඔවුන් අද මේ කරන්න හදන්නෙ පැහැදිලිවම බලහත්කාරකමක්‌.

ආණ්‌ඩුවේ සමහර දේශපාලකයෝ මේ ගැන රටේ නගරවලට ජනතාව කැඳවල විශාල උද්ඝෝෂණ, විරෝධතා පවත්වනව. මේ විදිහට මේ බලහත්කාරකමට මුහුණ දෙන්න පුළුවන්ද?
ඔය උද්ඝෝෂණ - පෙළපාලි පවත්වන්න තම තමන්ගෙ දේශපාලන ශක්‌තිය වර්ධනය කර ගන්නයි. ඕකෙන් රටටවත් ජනතාවටවත් ලැබෙන ශක්‌තියක්‌ නෑ. මේකට මුහුණ දෙන්න පුළුවන් බටහිර නව අධිරාජ්‍යවාදයට එරෙහිව රටවල් සමඟ අත්වැල් බැඳගැනීමෙන් විතරයි. මෙහෙ පෙළපාලි ගියා කියල, උද්ඝෝෂණ කළා කියලා බටහිර අධිරාජ්‍යවාදයට කිසි දෙයක්‌ වෙන්නෙ නෑ.

බටහිර රටවල් වෙනත් රටවලට කර ඇති අතපෙවීම් දිහා බලනකොට ඔවුන් ඔය කර තිබෙන්නෙ යම් රටක අභ්‍යන්තර අර්බුද උත්සන්න වූ අවස්‌ථාවේදියි. ඒකීය රටක්‌ ලෙස තිබුණත් ජනතාව තුළ එක්‌සත්භාවය පිළිබඳ අපේ රටේත් ප්‍රශ්න තිබෙනවා. අපේ රට ගැන අපේ රටේම ඇතැම් අය පිටරටවලදී විවිධ අසත්‍ය පතුරවනවා. මේ තත්ත්වය අපේ රටට විශාල විපතක්‌ ඇති කරයිද?
අපේ රටේ ප්‍රධාන ජන වර්ග තුන අතර අද එකමුතුවක්‌ නෑ. ජනවර්ග අතර එකමුතුභාවයක්‌ ඇතිකිරීම ගැන රජයට විශාල කාර්යභාරයක්‌ තියෙනවා. රටක ජනවර්ග අතර එකමුතවක්‌ ඇතිවෙන්නෙ රජය සද්භාවයෙන් ක්‍රියා කළොත විතරයි. රජය එහෙම කළාට මත් මදි. එහෙම කරන බව ජනතාවට පෙනෙන්න ඕන. ඒ අනුව රජයක්‌ කළයුතු පළමු දේ වන්නේ සුදුස්‌සාට සුදුසු තැන දීමයි. දැන් මේ මානව හිමිකම් ප්‍රශ්නෙට මූණ දෙන්න කී දෙනෙක්‌ ජිනීවා ගියාද? ඒ ගිය අයගෙන් ඒ වගේ හරියට කරන්න පුළුවන් අය ඉන්නෙ කී දෙනාද? ජනාධිපති රට යනකොට කී දෙනෙක්‌ රට යනවද? ඒ යන අයගෙන් අපේ රටට වැඩක්‌ වෙන්නෙ කී දෙනෙක්‌ගෙන්ද? අද දේශපාලකයන් පාරෙ යනකොට ඔහු වට කරගෙන කී දෙනෙක්‌ යනවද? කොටි හිටපු කාලෙ නං කොටින්ගෙන් පරිස්‌සම් වෙන්නවත් එහෙම ගියායි හිතමු. දැන් කාගෙන් පරිස්‌සම් වෙන්නද? දේශපාලකයො කරන මේ බොරු පම්පෝරි වැඩ නතර කරල ජනතාවත් සමඟ චාම් ජීවිතයකට බැස්‌සොත් ඔහොම ආරක්‌ෂාවක්‌ ඕනෙත් නෑ. රජයක්‌ සද්භාවයෙන් කටයුතු කරන බව ජනතාවට ඒත්තු යන විදිහට කටයුතු කරන්න රජය දැනගන්න ඕන. එහෙම දන්නෙ නැත්නම් ඉන්දියාවෙ හිටපු අගමැති ලාල් බහදූර් ශාස්‌ත්‍රි වැනි ශ්‍රේෂ්ඨයන්ගෙ ජීවිත දිහා බලල ඉගෙනගන්න ඕන.
අනිත් වැදගත්ම දේ අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ තියෙනව කියල සමහරු දොඩෝනව. අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නැහැ. තියෙන්නෙ ත්‍රස්‌තවාදී ප්‍රශ්නයක්‌ කියල එදා ඩී. බී. විඡේතුංග ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කළා. එදා එක්‌සත් ජාතික පක්‍ෂය තමුන්ගෙ නායකයා කියපු ඒ කතාවට විරුද්ධ වුණා.

මේ විදේශ අතපෙවීම් ප්‍රශ්නයට තියෙන විසඳුම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම බවයි අද එජාපය කියන්නෙ?
උගත් පාඩම් කොමිසමේ සමහර නිර්දේශ ඉතාම හොඳයි. ඒවා ක්‍රියාත්මක කළහම මේ ප්‍රශ්නෙ විසඳන්න නම් ඔය බටහිර රටවලුත් සද්භාවයෙන් කටයුතු කරන්න ඕන. මේ බටහිර රටවල් අපේ රට සම්බන්ධව කටයුතු කරන්නෙ සද්භාවයෙන් නෙමෙයි වෛරයෙන්. ඔවුන් තුළ තියෙන්නෙ ද්වේශසහගත සිතුවිල්ලක්‌. අපේ රෙ ටන් පළිගැනීමේ සිතුවිල්ලක්‌. අපි සද්භාවයෙන් කටයුතු කළා කියලාඒ අය නිකං ඉන්නෙ නෑ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි අවධියේ රෝම ප්‍රඥප්තියට ඔහු අත්සන් නොකළ නිසා අපේ රටේ කිසිවෙක්‌ ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට රැගෙන යා නොහැකි බව ඔහු කියනවා. බටහිර රටවල් පාරම්බෑවට අපේ රටේ කවුරුවත් බයවෙන්න එපා කියලයි ඔහු කියන්නෙ?
ඒක මේ වෙලාවෙ දේශපාලන වීරයෙක්‌ වෙන්න ඔහු කියන කතාවක්‌. අන්තර් ජාතික අපරාධ අධිකරණය හමුවට ගෙනියන්න පුළුවන් වෙන්නෙ රෝම ප්‍රඥප්තියට අත්සන් කළ රටක පුරවැසියෙක්‌ විතරයි, රනිල් වික්‍රමසිංහ කියන ඒ කතාව හරි. අපේ රට රෝම ප්‍රඥප්තියට අත්සන් කරලා නෑ. වික්‍රමසිංහට ඒකට අත්සන් කරන්න බලයක්‌ තිබුණෙ නෑ. ඔහුට බලයක්‌ නැති නිසා එදා ඔහු ඒකට අත්සන් කළත් වැඩක්‌ නෑ. මේව රට ප්‍රපාතයට වැටිල තියෙන වෙලාවෙ ඒකෙනුත් වාසිගන්න කියන කතා. අපේ රට අවුලෙන් අවුලට යන්නෙ මේ වගේ දේශපාලන ජරාවැඩ නිසයි.

මේ අවුලෙන් රට ගලව ගන්න මේ වෙලාව ආණ්‌ඩුවේ කාර්යභාරය විය යුත්තේ කුමක්‌ද?
මිනිස්‌සු පාරට බස්‌සල උද්ඝෝෂණ කරලා පෙළපාලි ගිහින් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. මේ ප්‍රශ්නයට අපට මූණ දෙන්න පුළුවන් වෙන්නෙ මේ බටහිරට නව අධිරාජ්‍යවාදයට එරෙහි වෙනත් රටවල් සමඟ අපිත් අත්වැල් බැඳගත්තොත් විතරයි. ඊළඟ වැදගත්ම දේ ආණ්‌ඩුව රට ඇතුලෙ සද්භාවයෙන් කටයුතු කරන්න ඕන. අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙ 12 වැනි වගන්තිය එනම් නීතිය හමුවේ හැමෝම එක හා සමානයි කියන වගන්තිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඕන. සුදුස්‌සාට සුදුසු තැන දෙන්න ඕන. අපේ රටේ නැත්තෙම ඒකයි. ලිපිකාරකමක්‌වත් කරන්න සුදුසුකම් නැති සමහරුන්ට ඇමැතිකම් ලැබිල තියෙනවා. මන්ත්‍රීකම් ගන්න පෝලිමේ එන මැරයින්ට කුඩුකාරයින්ටත් මන්ත්‍රීකම් ලැබිලා තියෙනවා. මේවා මේ ආණ්‌ඩුව විතරක්‌ නෙමෙයි හැම ආණ්‌ඩුවක්‌ම කරල තියෙනවා. ඊළඟ කාරණය පන්දම්කාරයො ටික පන්නල දාන්න ඕන. මහරජාණෙනි කියල තවම පෝස්‌ටර් හහනවා. මේව ගහන්නෙ සමහර ඇමැතිවරු.
රටේ ජනතාව මේ බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව ආණ්‌ඩුවත් සමඟ එක පෙරමුණකට එන්නෙ මේ මැරයො, කුඩුකාරයො, පන්දම්කාරයො අයින් කරලා ආණ්‌ඩුව ජනතාවට සද්භාවයෙන් කටයුතු කරන ආණ්‌ඩුවක්‌ බවට පත්වුණොත් විතරයි. ආණ්‌ඩුව රටේ ජනතාවට සද්භාවයෙන් යුතු පාලනයක්‌ දීල ජනතාවගෙ ගෞරවය ආණ්‌ඩුව ලබාගන්න ඕන. ආණ්‌ඩුවක්‌ රටක ජනතාවගෙ ගරුත්වය දිනා ගන්නෙ ආණ්‌ඩුව ගන්න ක්‍රියාමාර්ග තුළින්. එහෙම නැතුව ජනතාව පාරට බස්‌සල ගිරිය යටින් සටන් පාඨ කියලා නෙමෙයි.
වර්තමාන ජනාධිපතිතුමා යුද්ධයට නායකත්වය දීලා රට දිනවල විශාල කීර්තියක්‌ අත්කර ගත්ත. ඒක සදානුස්‌මරණීය බව ඇත්ත. නමුත් ජනතාවට ආණ්‌ඩුවක්‌ ඕන අතීත වික්‍රමයන් අනුස්‌මරණය කර කර ඉන්න නෙමෙයි. ජනතාව ආණ්‌ඩුවක්‌ පත්කර ගන්නෙ අභියෝගවලට මුහුණ දෙමින් රටට ජයග්‍රහණ ලබා දෙමින් රට ඉදිරියට ගෙනියන්නයි.
සාකච්ඡා කළේ - පාලිත සේනානායක

උපුටා ගැනීම
දිවයින
2012-03-03 

Related

S L ගුණසේකර 4713436532623486953

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item