චිත්‍රපටයෙන් නඩුව ඇසීම

යුද්ධයේ අවසන් දිනවලදී ලංකාවේ සිදුවූයේ කුමක්‌ද යන්න ගැන කරුණුවලින් ඔප්පු කිරීමට නොහැකි තැන තොරතුරුවල ඇති හිඟය චිත්‍රපටවලින් පියවා ගැනීම...

යුද්ධයේ අවසන් දිනවලදී ලංකාවේ සිදුවූයේ කුමක්‌ද යන්න ගැන කරුණුවලින් ඔප්පු කිරීමට නොහැකි තැන තොරතුරුවල ඇති හිඟය චිත්‍රපටවලින් පියවා ගැනීම ලංකාවට එරෙහි බලවේගවල අලුත්ම ප්‍රවණතාව බවට පත්වී ඇත. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වර්තමාන සැසිවාරය ආරම්භවීමට දින කීපයකට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලංකාව සම්බන්ධයෙන් හටගත් විවාදයේදී මෙය දක්‌නට ලැබිණි. ලංකාවේ හටගත් දේවල් සම්බන්ධයෙන් ඔප්පු කළ හැකි කරුණු පිළිබඳ අසීරු ප්‍රශ්නයක්‌ කොන්සවේටිව් පාක්‍ෂික මන්ත්‍රීවරයෙක්‌ ඇසූ විට ලංකාවට එරෙහිව යුද අපරාධ විමර්ශනයක්‌ ඉල්ලමින් කතා කළ ලේබර් පාක්‍ෂික මන්ත්‍රීවරයා "ඒ ප්‍රශ්නයට මම තව ටිකකින් උත්තර දෙනවා" යෑයි කියමින් ඔහු කළේ කරුණු ඉදිරිපත් කිරීම නොව චැනල් 4 නාලිකාව විසින් ලංකාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් කළ පළමු වාර්තාමය වැඩසටහනේ රූපරාමු ගැන කතා කිරීමයි. ඉකුත් සතියේ අපට ජිනීවා නුවර නැවතත් එවැනිම දෙයක්‌ දක්‌නට ලැබිණි. ඒ මානව හිමිකම් කවුන්සිලයට බලපෑම් කිරීමේ අටියෙන් මෙකී චැනල් 4 නාලිකාව විසින්ම තවත් වාර්තාමය වැඩසටහනක්‌ ඉදිරිපත් කිරීමයි.

චැනල් 4 නාලිකාවේ මුල් වැඩසටහනත් මේ අලුත්ම වැඩසටහනත් අතර තිබූ වෙනස වූයේ මුල් වැඩසටහනේ රූපරාමු ලංකාවේ සිදුවූ දේවල් කියා ඔප්පු කිරීමට සාධක කිසිවක්‌ නොතිබීමයි.වා බංගලාදේශයේදී, සෝමාලියාවේදී හෝ පිලිපීනයේදී වුවත් ගත් රූප රාමු විය හැක. රූප රාමු අපැහැදිලි වූවා පමණක්‌ නොව ඒවා සිදුවූ මොහොතේදී රූප රාමු කරගත් සාක්‍ෂිකරුවෙක්‌ ද නොවීය. චැනල් 4 නාලිකාවේ අලුත්ම වීඩියෝ පටයේ තරමක දියුණුවක්‌ දක්‌නට ලැබෙන්නේ මුල් වතාවට සාක්‍ෂිකරුවෙක්‌ හා එකී සාක්‍ෂිකරුවා විසින්ම ගන්නා ලද රූපරාමු ද චිත්‍රපටයේ තිබීමයි. මේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේම සුදු ජාතික සේවකයන් දෙදෙනෙකි. ඔවුන් විසින් අටවා ගන්නා ලද එක්‌සත් ජාතීන්ගේ කඳවුරකට රජයේ හමුදා විසින් බෝම්බ දැමූ බවක්‌ පවසා ඒ බෝම්බ ප්‍රහාරය අවසන් වනවාත් සමගම ගත්තා යෑයි කියන ඡායාරූප ද මේ වාර්තාමය වැඩසටහනේ අඩංගු කර ඇත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනයක්‌ විසින් ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාවක්‌ සලකා බලමින් තිබෙන අවස්‌ථාවක එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කඳවුරකට පහර දුන්නා යෑයි කියමින් වාර්තාමය චිත්‍රපටියක්‌ පෙන්වූ විට එම ආයතනයේ මතය ශ්‍රී ලංකාවට එරෙහිව හැරවීමට හැකිවේය යන උපකල්පනය මත ඔවුන් කටයුතු කළා විය හැක.

මෙකී එක්‌සත් ජාතීන්ගේ කඳවුරට එල්ල වූ ප්‍රහාරය ගැන බෑන් කී මූන්ගේ උපදේශන කමිටු වාර්තාවේ ද දීර්ඝ විස්‌තරයක්‌ තිබුණේය. සිවිල් වැසියන් ඝාතනය වූ බවට හරිහමන් සාක්‍ෂි නැති තැන මෙකී එක්‌සත් ජාතීන්ගේ කඳවුරේ සිටි සුදු ජාතික සේවකයන් දෙදෙනාගේ ඡායාරූප හා සාක්‍ෂිය ලංකාවට එරෙහිව ඇති ප්‍රධානම හා ප්‍රබලම සාක්‍ෂිය බවට පත්වී ඇත.

නමුත් මෙම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කඳවුර ගැන ජනතාව දැනගත යුතු කාරණා කීපයක්‌ ඇත. යුද හමුදාව කිලිනොච්චිය අල්ලා ගැනීමට පෙර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම ආයතන තම කැමැත්තෙන්ම යුද කලාපය තුළින් ඉවත් විය. ඉන් පසු කිසිදු එක්‌සත් ජාතීන්ගේ කඳවුරක්‌ වන්නියේ කොතනකවත් නොතිබිණි. ඒ අවස්‌ථාවේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන් වන්නියට ඇතුළු වූයේ ආහාර ගෙන යන ලොරි සමග පමණි. ඔවුන් ආහාර අදාළ තැනට දී ආපසු ආණ්‌ඩුවේ බලප්‍රදේශයට පැමිණෙති. අදාළ අවස්‌ථාවේදී ද ආහාර රැගත් ලොරි සමග එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන් 6 දෙනකු යුද කලාපයට ඇතුළු වී ඇත. ඔවුන් ඇතුළු වූ පසු ඔවුන් පසුකර ආ මඟ දෙපස සටන් ඇවිළිණි. එම නිසා ඔවුන්ට ආපසු යැමට නොහැකිව දින 2-3 ක්‌ වන්නියේ හිරවිණි. නමුත් සටන් අවසන් වූ විගස ලොරිත් සමග පැමිණි එක්‌සත් ජාතීන්ගේ සේවකයන් හය දෙනාගෙන් හතර දෙනකු ආපසු ගියේය. දෙදෙනකු පමණක්‌ වන්නිය තුළ රැඳී සිටියේය. ඔවුන් රැඳී සිටියා පමණක්‌ නොව එතැන කඳවුරක්‌ ද ආරම්භ කළේය. ඔවුන් මෙසේ කළේ සියලුම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන වන්නියෙන් ඉවත් කර තිබෙන පසුබිමක්‌ තුළය. මෙකී සේවකයන් දෙදෙනා මේ කඳවුර ආරම්භ කළේ කුමන හේතුවටදැයි කොතනකවත් සඳහන් වී නැත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේම රෙගුලාසිවලට අනුව එම සංවිධානයේ සේවකයන්ට හිතෙන හිතෙන තැන්වල කඳවුරු බැඳිය නොහැක. එවැනි කඳවුරු ඇති කළ හැක්‌කේ අදාළ රටේ අනුදැනුම හා අනුමැතිය සහිතව පමණි. විශේෂයෙන්ම යුද්ධයක්‌ පවතින ප්‍රදේශවල එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය ගැන වෙනමම රෙගුලාසි ගණනාවක්‌ ඇත. අදාළ රෙගුලාසි සියල්ල උල්ලංඝනය කරමින් මෙකී සේවකයන් දෙදෙනා යුද බිමක්‌ මැද එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කඳවුරක්‌ තම තනි අභිමතය පරිදි ඇති කරන ලදී. මොවුන් මේ කර ඇත්තේ හිරේ දැමිය යුතු තරමේ වරදකි. ඒ මන්ද යත් එක්‌සත් ජාතීන්ගේ කඳවුරක්‌ දුටු විට සිවිල් වැසියන් ඒ කෙරෙහි නිතැතින්ම ආකර්ෂණය වෙයි. එතන මරණ සිදුවූයේ නම් ඒවාට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ මේ නීති විරෝධී කඳවුර ආරම්භ කළ සේවකයන් දෙදෙනාය.

මෙම කඳවුර ඔවුන් එතන ආරම්භ කළේ ආණ්‌ඩුව විසින් එකී ප්‍රදේශය යුද මුක්‌ත කලාපයක්‌ හැටියට ප්‍රකාශයට පත් කර තිබුණ නිසා යෑයි චැනල් 4 වීඩියෝ පටයේ වක්‍රව පවසා ඇත. නමුත් ජාත්‍යන්තර යුද නීතියට අනුව යම් ස්‌ථානයක්‌ යුද මුක්‌ත කලාපයක්‌ බවට පත්වන්නේ සටනේ නියෑළි දෙපාර්ශ්වය විසින්ම ඒ අදාළ ප්‍රදේශය යුද මුක්‌ත කලාපයක්‌ බවට ප්‍රකාශ කළහොත් පමණි. එවැනි අවස්‌ථාවකදී යුද මුක්‌ත කලාපය තුළ දෙපාර්ශ්වයේම හමුදා සේනාංකවලට සිටීමට නොහැක. නමුත් ලංකාවේ කොතනකවත් ආණ්‌ඩුවත් කොටි සංවිධානයත් යන දෙපාර්ශ්වයම පිළිගත් යුද මුක්‌ත කලාපයක්‌ තිබුණේ නැත. ආණ්‌ඩුව විසින් පළමු යුද මුක්‌ත කලාපය ප්‍රකාශයට පත් කළ විට කොටි සංවිධානය එය ප්‍රතික්‍ෂේප කෙරුවා පමණක්‌ නොව ඒ යුද මුක්‌ත කලාපය තුළ සිටම හමුදාවට ප්‍රහාර එල්ල කළ බව බෑන් කී මූන්ගේ උපදේශක කමිටු වාර්තාවේම සඳහන් වී ඇත. අදාළ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන් දෙදෙනා කඳවුර ආරම්භ කළේ එතැන යුද මුක්‌ත කලාපයක්‌ නොමැති බව දැනගෙනය. ඔවුන්ගේ කඳවුර අසල සිටත්, කොටි සංවිධානය හමුදාවට ප්‍රහාර එල්ල කළ බව බෑන් කී මූන්ගේ වාර්තාවේත් සඳහන් වී ඇත. ජාත්‍යන්තර යුද නීතියට අනුව යම් ස්‌ථානයක සිට හමුදාවට ප්‍රහාරයක්‌ එල්ල වන්නේ නම් එම ස්‌ථානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සම්පූර්ණ අයිතිය හමුදාවට ඇත. සිවිල් වැසියන් අතර සිට ප්‍රහාර එල්ල කළ පසු හමුදා ප්‍රති ප්‍රහාරයකින් සිවිල් වැසියන් මියගියහොත් එහි වගකීම යන්නේ සිවිල් වැසියන් අතර සිට ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වයටය.

අදාළ චැනල් 4 වීඩියෝ පටයෙන් කර ඇති තවත් කපටිකමක්‌ වන්නේ පුදුමාතලන්වල යුද මුක්‌ත කලාපයක්‌ තිබුණු බව කීමත් එම යුද මුක්‌ත කලාපය තුළට හමුදාව සිතාමතාම ප්‍රහාර එල්ල කළ බව කීමත්ය. නමුත් යුද මුක්‌ත කලාපයක්‌ හැටියට ජාත්‍යන්තර නීතියෙන් පිළිගන්නා ස්‌ථානයක්‌ යුද්ධය පැවති සමයේ ලංකාවේ කොතනකවත් නොතිබිණි. මුලින් සුතන්තිරපුරම්වල යුද මුක්‌ත කලාපයක්‌ ආණ්‌ඩුව විසින් ප්‍රකාශයට පත් කළ ද කොටි සංවිධානය එය ප්‍රතිsක්‍ෂේප කළේය. ඉන් පසුව පුදුමාතලන්වල දෙවන යුද මුක්‌ත කලාපය ප්‍රකාශයට පත් කළද කොටි සංවිධානය එයත් ප්‍රතික්‍ෂේප කළේය. එපමණක්‌ ද නොව කොටි සංවිධානය ද සිවිල් වැසියන් අතර සිට, පුදුමාතලන්වල සිට හමුදාවට ප්‍රහාර එල්ල කළේය. ජාත්‍යන්තර නීතියට අනුව පිහිටුවන ලද යුද මුක්‌ත කලාපයක්‌ තුළ දෙපාර්ශ්වයෙන් එක්‌ පාර්ශ්වයකටවත් සිටිය නොහැක. නමුත් ආණ්‌ඩුව විසින් පුදුමාතලන්වල ප්‍රකාශයට පත් කළ ඊනියා යුද මුක්‌ත කලාපය තුළ කොටි සංවිධානය සිටියේය. වඩාත්ම ජුගුප්සාජනකම කාරණය වන්නේ ඒ අවස්‌ථාව වන විට ලංකාවේ වෙන කොතනකවත් කොටි නොසිටි අතර ඔවුන් සිටියේ ඊනියා යුද මුක්‌ත කලාපය තුළ පමණක්‌ම වීමය. සියලු ත්‍රස්‌තවාදීන් එක තැනට ගාල් කර තිබෙන ස්‌ථානය යුද මුක්‌ත කලාපයක්‌ විය නොහැක. එවැනි යුද මුක්‌ත කලාප ලෝක ඉතිහාසයේ කොතනකවත් තිබුණේ නැත. සන්නද්ධ ත්‍රස්‌තවාදීන් දහස්‌ ගණනක්‌ සිටින ස්‌ථානයක්‌ යුද මුක්‌ත කලාපයක්‌ හැටියට පිළිගැනීම සම්පූර්ණ විහිළුවක්‌ බව කිව යුතුය. නමුත් චැනල් 4 වීඩියෝ පටයෙන් එවැනි අදහසක්‌ දැනවීමට උත්සාහ කරයි. සියලුම බටහිර රටවල් පිළිගන්නා ආකාරයට යම් ඉලක්‌කයක්‌ අසල සිවිල් වැසියන් සිටින්නේය යන කාරණයෙන් එකී ස්‌ථානයට යුද මුක්‌ත තත්ත්වයක්‌ ලැබෙන්නේ නැත. සිවිල් වැසියන්ගේ මරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද නීතියේ ඇති එකම සීමා කිරීම වන්නේ මියයන සිවිල් වැසියන්ගේ ගණන ලැබෙන මිලිටරි වාසියට සාපේක්‍ෂ විය යුතු බවයි. එනම් අදාළ ප්‍රහාරයෙන් විශාල යුදමය වාසියක්‌ ලැබෙන්නේ නම් එයට සාපේක්‍ෂව සිවිල් වැසියන් පිරිසක්‌ මියයැම ජාත්‍යන්තර යුද නීතියෙන් පිළිගනී. 2008 ජනවාරි මාසයේදී ඇමරිකාවේ Fඊෂ ආයතනය විසින් මුළු ලෝකයේම දරුණුම ත්‍රස්‌තවාදී සංවිධානය කොටි සංවිධානය බව නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ අනුව ජාත්‍යන්තර නීතියේ විධිවිධාන ලංකාවේ යුද්ධයට අදාළ කරන්නේ නම් ලෝකයේ කොතනකවත් නොසිටි තරමේ දරුණු ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ පරාජය කිරීම උදෙසා සාපේක්‍ෂතා මිනුම් දණ්‌ඩ අනුව ඕනෑම සිවිල් වැසියන් ගණනක්‌ මියයා හැක. චැනල් 4 වැනි ආයතන විසින් නිපදවන මෙවැනි වාර්තාමය වැඩසටහන්වල ප්‍රශ්නය වන්නේ ඔවුන් ප්‍රේක්‍ෂකයාට ජාත්‍යන්තර යුද නීතියේ විධි විධාන මොනවාදැයි පැහැදිලි නොකිරීමයි. ජාත්‍යන්තර නීතිය කුමක්‌දැයි පැහැදිලි නොකර යම් රටක්‌ යුද අපරාධ කළේ යෑයි ඔප්පු කිරීමට උත්සාහ දැරීම කල්පනා කර බලන විට ඇත්තවශයෙන්ම අමුතුම තත්ත්වයකි. මෙවැනි වාර්තාමය වැඩසටහන් බලන සාමාන්‍ය ප්‍රේක්‍ෂකයන් නම් ඒ ලනු ගිලිනු ඇත. නමුත් ජාත්‍යන්තර නීතිය දත් විවිධ රටවලින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණෙන නියෝජිතයන් මෙවැනි ඇස්‌බැන්දුම් වැඩවලට හසුවේ යෑයි සිතීමට නොහැකිය. මේ සම්බන්ධයෙන් අපට යම් බලාපොරොත්තුවක්‌ ඇති කරගත හැක්‌කේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළම කොන්සවේටිව් පාක්‍ෂික මන්ත්‍රීවරුන් බෑන් කී මූන්ගේ උපදේශක කමිටුව විසින් ලංකාව සම්බන්ධයෙන් පළ කළ වාර්තාවේ කරුණු එකක්‌වත් ඔප්පු කරන ලද සාධක හැටියට නොපිළිගත යුතු බව එකී වාර්තාවේම සඳහන් වූ බව පිළිබඳව අවබෝධයකින් සිටීමයි. ඒ අවබෝධය පමණක්‌ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයන් අතර තිබුණොත් ලංකාවට මේ අභියෝගයෙන් ජය ගැනීමට එය පමණක්‌ ප්‍රමාණවත් වෙයි.

සී ඒ චන්ද්‍රප්‍රේම
උපුටා ගැනීම
දිවයින
2012-03-19

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 4787831527487335160

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item