ජිනීවාහිදී විසඳෙන ලංකාවේ ඉරණම

විදෙස් නුවරක් දෙස සමස්ථ ජාතියේම නෙත් යොමු වන්නේ නම් එක්කෝ ඊඩ්න් ගාඩ්න් පිහිටා ඇති කොල්කොටා වෙතටයි. නැතිනම් ලෝඩ්ස් පිහිටා ඇති ලන්ඩන් වෙතය. නැ...

විදෙස් නුවරක් දෙස සමස්ථ ජාතියේම නෙත් යොමු වන්නේ නම් එක්කෝ ඊඩ්න් ගාඩ්න් පිහිටා ඇති කොල්කොටා වෙතටයි. නැතිනම් ලෝඩ්ස් පිහිටා ඇති ලන්ඩන් වෙතය. නැත්නම් ගැබා පිහිටා ඇති බ්‍රිස්බේන් වෙතය.ඒ මෙතෙක් සමස්ථ ජාතියේම නෙත් එක් විදෙස් නුවරකට යොමු කිරීමට හැකි වූයේ ක්‍රිකට්වලට පමණක් බැවිනි.නමුත් මෙවර ක්‍රිකට් තරඟ පැවති ඕස්ට්‍රේලියාවේ සහ බංගලිදේශයේ නගර පරදවමින් ජාතියම තමන් වෙත යොමු කර ගැනීමට ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සමත් විය. ඊට හේතු වූයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ස්මණ්ඩලයේ 19 වැනි සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව වූ යෝජනාවක් ඇමරිකා එක්සත් ජනපදය (ඇමරිකාව ) ඉදිරිපත් කිරීමයි.


ඇමරිකානු යෝජනාව පවසා ඇත්තේ හුදෙක් ලංකාණ්ඩුව පත් කරගත් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පමණක් බැවින් ලංකාණ්ඩුවට ඇත්තේ හුඹස් බියක් යැයි සමහරෙක් පවසති. එබැවින් මෙම යෝජනාවේ අන්තර්ගතය කෙරෙහි පළමුව අවධානය යොමු කරමු. ආණ්ඩුව විසින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම පිළිබඳ එල්ල වී ඇති බරපතල චෝදනා පිළිබඳ උගත් පාඩම් කොමිසම ප්‍රමාණවත් අවධානය යොමුකර නොමැති බවට චෝදනා කරමින් ලංකාව ජාත්‍යනත නීතියේ බැඳීම් ඉටු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව කියවේ. ඉතාම සූක්ෂම අන්දමින් මේ පවසන්නේ යුධ අපරාධ චෝදනා පිලිබඳ ස්වාධීන විමර්ශනයක් කල යුතු බවය.
 

තවද රටක් බලය බෙදිය යුතුද මෙන්ම ස්වාධීන කොමිෂන් සභා සවිමත් කල යුතුද යන්න තීරණය කල යුත්තේ එරට මහජන නියෝජිතයන් සහ මහජනතාව මිස ජාත්‍යන්තර ප්‍රජාව නොවේ. ශ්‍රී ලංකාවේ බලය බෙදිය යුතු බවට කියන ප්‍රංශය සහ නෝර්වේ ඇතුළු අතිශය බහුතර රටවල් බලය මධ්‍යගත කල ඒකීය රාජ්‍යයන්ය. ලොව රටවල් 196න් ෆෙඩරල් රටවල් ඇත්තේ 26ක් පමණි. බලය බෙදීම අත්‍යවශ්‍ය දෙයක් නම් එය තමන් ක්‍රියාත්මක නොකරන්නේ ඇයිදැයි පැනයක් මතු වේ.

ඇමරිකාව සිය යෝජනාව හරහා මෙරට ස්වාධීන කොමිෂන් සභා පෙර පරිදි සවිමත් කල යුතු බව කියයි. නමුත් එරට ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා නොමැත. එරට ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ දේශපාලන දර්ශනය විශ්වාස කරන පුද්ගලයන් විසින් රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවිය යුතුය යන අදහස ගෙනෙන __ යන සංකල්පයයි. ඒ අනුව ඇමරිකාවේ ජනාධිපතිවරයකු වෙනස්වන විට තනතුරු 14,000 ක් වෙනස් වේ. ස්වාධීන
කොමිෂන් සභා යහපත් යැයි ඇමරිකාව සිතයි නම් කළ යුත්තේ පලමුව එය තම රටේ ක්‍රියාත්මක කර ලොව සියලුම රටවල් ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කල යුතු බවට පොදු යෝජනාවක් ගෙන ඒමය.

ඉහත නිදසුන් අනුව මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යට තර්ජනයක් බැව් පැහැදිලිය. එමෙන්ම මෙකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ලංකාවට උපදෙස් දීමටත් එහි ප්‍රගතිය පිළිබඳ මානව හිමිකම් මණ්ඩලයට වාර්ථා කිරීමටත් මානව හිමිකම් කොමසාරිස්ට බලය පැවරීමටත් යෝජනා කර ඇත. එය සමාන වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ලංකාවේ කටයුතු යටත් විජිත මහ ලේකම්ට වාර්ථා කිරීමට රැජිණ ආණ්ඩුකාරවරයකු පත් කිරීමටයි. වඩාත් බියකරු දේ වන්නේ ඉතිහාසය පුරා දැඩි ශ්‍රී ලංකා විරෝධී මෙන්ම ඇමරිකානු හිතවාදී ස්ථාවරයක සිටින නවනීදන් නෙවිපිල්ලේ මිය මෙම කොමසාරිස් තනතුර දැරීමයි. එබැවින් ලංකාවේ අධීක්ෂණයට ඇය පත් කිරීම සම කල හැක්කේ හොරාගේ අම්මගෙන් පේන ඇසීමට පමණි.

යෝජනාව සම්මත වුවහොත් ලංකාවට සිදුවිය හැකි අනතුර කුමක්දැයි බොහෝ දෙනා විමසති. ඇමරිකාව තමන්ට හතුරු රටවලින් පලිගැනීමට අවශ්‍යය වූ විට පළමු පියවර ලෙස කරන්නේ එය ලෝක ප්‍රජාව ඉදිරියේ සාධාරණීකරණය කර ලෝක ආශිර්වාදය මැද එය සිදු කිරීමයි.



ඇෆ්ගනිස්ථානයේ බින් ලාදන් සහ ඉරාකයේ සමූල ඝාතන අවි මෙන් ලංකාවෙ වෙනුවෙන් යොදා ගන්නේ යුධ අපරාධ චෝදනායි.ඇමරිකාව මෙම යෝජනාව අහම්බෙන් ගෙන ආවක් නොවේ.මුලින්ම ලංකාවට එරෙහිව මෙම යෝජනාව ගෙන ආවේ යුධ ජයග්‍රහණයේ උණුසුම මැකීමටත් පෙර 2009 මැයි මසය.නමුත් එකී යෝජනාව වෙනුවට ලංකාවට පක්ෂව යෝජනාවක් ගෙනැවිත් 29:12:6 ලෙස තුනෙන් දෙකේ වැඩි චන්දයෙන් ජයග්‍රහණය කිරීමට අපට හැකි විය.ඉන් පසු ලංකාවට එරෙහිව යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ගෙන ඒමට වෙර දැරූ නමුත් චීනය හා රුසියාව නිශේධ බලය පාවිච්චි කිරීමට ඉදිරිපත් වීමෙන් එය යටපත් විය.

මේ සියලු වෙර වෑයම් පරාජය වූ පසු ඇමරිකාව කලේ නීතියට පිටින් ගොස් බැන් කි මූන් නටවමින් දරුස්මාන් කමිටුව පිහිටුවීමය. දරුස්මාන් වාර්ථාව ලෝක අවධානය දිනා ගෙන දැඩි ආන්දෝලනයක් මතු වන විට ලංකාව ඉතාම උපායශීලීව උගත් පාඩම් කොමිසම පිහිටවූයේය. එයින් දරුස්මාන් වාර්ථාව යටපත් කිරීමට අපට හැකි විය.එබැවින් දැන් ඇමරිකාව වෙර දරන්නේ උගත් පාඩම් කොමිෂන් වාර්ථාවේ එල්ලී ලංකාව යුධ අපරාධ කරන මානව හිමිකම් කඩන රටක් ලෙස ලෝක ප්‍රජාව ඉදිරියේ තහවුරු කිරීමටය.එවිට ලංකාවට ආර්‍ථික සම්භාධක පැනවීමට මෙන්ම ලිබියාව ඊජිප්තුවේදී මෙන් ආණ්ඩු විරෝධීන්ට ආණ්ඩුව පෙරළීමට සෘජුව සහය ලබාදීමට අවශ්‍ය පසුබිම සැකසේ.ඒ අනුව මෙම යෝජනාව ලංකාවට තීරණාත්මකය.එබැවින් මෙම යෝජනාව ජය ගැනීමට ඇති අවධානම දැන් අපි මැන බලමු.



මානව හිමිකම් මණ්ඩලය සැකසෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193 නියෝජනය කිරීමට තෝරාගත් රටවල් 47 කිනි. මෙහෙදී අප්‍රිකානු රටවල් 54 නියෝජනයට රටවල් 13ක්ද ආසියානු රටවල්  53 සඳහා රටවල් 13 ක්ද නැගෙනහිර යුරෝපීය රටවල් 23 සඳහා 6ක්ද,බටහිර යුරෝපීය රටවල් 28 සඳහා 7ක්ද ලතින් ඇමරිකානු රටවල් 33 සඳහා 8ක්ද පත් වේ.ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන්නේ මෙකී රටවල් 47 යි.



මෙම යෝජනාව සම්බන්ධයෙන් ලංකාවේ සහයට ලෝක බලවතුන් දෙදෙනෙක් ඉදිරිපත් වී සිටිති.ඒ චීනය සහ රුසියාවයි.මෙහිදී උභතෝකෝටියක සිර වී සිටින්නේ ඉන්දියාවයි. සමස්ථ ආසියාවම ලංකාව සුරැකීමට අත්වැල් බැඳගෙන්ස් ඉස්ටින විට දකුණු ආසියාවේ කලාපීය බලවතා මෙන්න්ම එකම අසල්වැසියාද වන ඉන්දියාවට ලංකාව තනි කල නොහැක.එය ඉන්දියාව ආසියාවේ හුදකලා වීමට මග පෑදේ.එමෙන්ම ඉන්දියාවට හිසරදයක් වී ඇති චීන-ලංකා මිත්‍රත්වය තවදුරටත් තහවුරුවීමටද මෙය බලපානු ඇත. ලංකාව චීනයේ ඔඩොක්කුවට වැටීම සම කල හැක්කේ ඇමරිකාව අසබඩ ඇති කියුබාව රුසියානු පිළිගැනීමටයි. එබැවින් ඉන්දියාවට ලංකාවට සහය පළ කිරීමට සිදු වනු ඇත.


අනිත් අතින් මෙම යෝජනාව ගෙන එන්නේ ඇමරිකාවයි,තම අසල්වැසියා මෙන්ම සම්ප්‍රදායික හතුරාද වන චීනය ලෝක බලවතකු ලෙස මතුවීමේදී ඉන්දියාව සහය පැතුවේ චීනය තමන්ට තර්ජනයක් ලෙස සලකන ඇමරිකාවෙනි.ඇමරිකාවටද චීනයේ ආර්ථික තර්ජනයට මෙන්ම ඉස්ලාමීය රටවලින් එල්ල වන තර්ජනයට මුහුණ දීමට ඉන්දියාව කදිම මිතුරෙකි.ලොව නැවුම් බලකේන්ද්‍රය වන ඇමරිකානු සාගරයේ බලය ස්ථාපිත කරගැනීමට ද ඇමරිකාව රැඳෙන්නේ ඉන්දියාව මතයි.ඉන්දියාව සිය ආර්ථික සංවර්ධනයට මෙන්ම න්‍යෂ්ඨික බලය වැනි බලශක්ති ක්ෂේත්‍රයේද ආරක්ෂක ක්ෂේත්‍රයේද සිය සගයා ලෙස තෝරාගෙන ඇත්තේ ඇමරිකාවයි.එබැවින් ඉන්දියාවට ඇමරිකාව යනු අත් හළ නොහැකි මිතුරෙකි.
ලංකාව සහ ඇමරිකාවට අමතරව මෙම අර්බුදයේදී ඉන්දියාව අවධානය යොමු කල යුතු තෙවැනි සාධකයක්ද තිබේ.ඒ තමිල්නාඩුවයි. තමිල්නාඩුවේ සියලුම දේශපාලන පක්ෂ ලංකාවට එරෙහිව යෝජනාවට සහය පළ කල යුතු බවට ආණ්ඩුවට බල කරයි.ඉන්දියාව මෙම ත්‍රිවිධ පීඩනය මත සැලසුම් කර තිබුනේ තම ස්ථාවරය හෙළි නොවන ඉතාම දියාරු ප්‍රකාශයක් කර අවසානයේදී යෝජනාවට විරුද්ධ වන්නටය.නමුත් මෙම ස්ථාවරය හෙළි වීමෙන් තමිල්නාඩුව කඩි ගුලක් සේ ඇවිස්සිනි,එකී කලබලය පාර්ලිමෙන්තුව දක්වා පැතිරිණි.මෙම පසුබිම මත ඉන්දියාව සියස්ථාවරය වෙනස් කර චන්දය දීමෙන් වැලකී සිටීමේ අවධානමක් මතු වී තිබේ. එමෙන්ම ඇමරිකානු යුධ කඳවුරු ඇති ආස්සියානු රටක් වන කර්ගිස්ථානයද චන්දය දීමෙන් වැලකී සිරීමට ඉඩ වැඩිය.


නැගෙනහිර යුරෝපයෙන් ලංකාවේ සහයට  ඉදිරිපත් වී සිටින්නේ රුසියාව පමණක් වන අතර කිසිම බටහිර යුරෝපීය රටක් ලංකාවට සහය නොදෙයි.ඒ අනුව නැගෙනහිර යුරෝපය නියෝජනය  කරන චෙක් ජනරජය,හංගේරියාව,පෝලන්තය,මෝල්දෝවා සහ රුමේනියාවද බටහිර යුරෝපය නියෝජනය කරන ඔස්ට්‍රියාව,බෙල්ජියම,ඉතාලිය ,නෝර්වේ,ස්පාඤ්ඤය,ඇමරිකාව සහ ස්විස්ටර්ලන්තය ඇමරිකානු යෝජනාවට සහය පල කරනු ඇත.මීට වඩාත් බලපා ඇත්තේ යුරෝපීය සංගමය යෝජනාවට සහය පල කර තිබීමත් ඒ අනුව එහි සාමාජික රටවල් 27ම විදේශ කටයුතු සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියක පිහිටීමත්ය.



ලතින් ඇමරිකානු රටවලින් ලංකාවට සෘජුවම සහය පළ කර ඇත්තේ කියුබාව සහ ඉක්වදෝරය පමණි.පසුගිය වාරයේදී ලංකාවට පක්ෂව ගෙනා යෝජනාවට සහය පල කල කියුබාව උරුගුවේ මෙන්ම විරුද්ධ වූ මෙක්සිකෝවද මෙවර මණ්ඩලයේද සිටියි. අප්‍රිකනු රටවල් 13 තවමත් සෘජුව තම ස්ථාවරය ප්‍රකාශ කර නැතත් 2009 දී ලංකාවට සහාය පල කල ඇන්ගෝලා,බුර්කිනා,ෆැසෝ ,කැමරුන් , ඩිජ්බවුටි ,නයුජීරියාව ෂෙනගල් යන රටවල් තවමත් මෙම මණ්ඩලය නියෝජනය කිරීම ලංකාවට අස්වැසිල්ලකි.


ලංකාවේ ජේෂ්ඨ ඇමතිවරු විදෙශ ඇමතිතුමාගේ නායකත්වයෙන් පසුගිය සමයේ ලතින් ඇමරිකාව සහ අප්‍රිකාව දිනා ගැනීමට දැඩි වෑයමක යෙදිණ.මෙම රටවලට ගොස් අපේ ඇමතිවරු ලංකාවේ කථාව පැහැදිලි කල විට ඒ රටවල් යුක්තිය වෙනුවෙන් සහය දෙන බව පවසා තිබිණි.නමුත් ඉන් පසු එම සහය අඛන්ඩව පවත්වා ගෙන යෑමට එම රටවල ලංකාවේ තානාපති කාර්‍යාල නොමැත.සමස්ථ අප්‍රිකාවේම 
ලංකාවට තානාපති කාර්‍යාල ඇත්තේ හතරකි.ලතින් ඇමරිකාවේ ඇත්තේ එකකි.නමුත් ඇමරිකාවට මෙම රටවල් 47 තුලම තානාපති කාර්‍යාල ඇත.එබැවින් ඇමරිකාන්ව විසින් සියුම් තර්ජන එල්ල කරමින්ද ලබා දී ඇති ආධාර සිහිපත් කරමින්ද දැවැන්ත ආධාර පොරොන්දු වෙමින්ද මෙම රටවල් අසරණ කරයි.එක් අප්‍රිකානු රටක් තමන්ට ලංකාවට සහය පල කල හැකි නමුත් ඉන් පසු තමන්ට වාර්ෂිකව ඇමරිකාවෙන් ලැබුණු ආධාර අහිමි වන හෙයින් එය ලබාදිය හැකිදැයි විමසා තිබුණි.

අපේ ඇමතිවරුන් සමහරෙක් (මාද ඇතුළුව ) බ්‍රකිනා, ෆැසෝ ,ඩිජිබවුටි ,මොරිටේනියා සහ මෝල්දෝවා වැනි රටවල් ලොව පවතින බව දැන ගත්තේ මෙම අර්බුදය හේතුවෙනි.එමෙන්ම ලංකාවේ ඇමතිවරු එම රටවලට පැමිණෙන බව දැනුම් දුන් විට ඔවුන් ලෝක සිතියම පෙරළාගෙන ලංකාව පිහිටියේ කොහිදැයි සෙව්වේ නම් එයට ද අප විමතියට පත් විය යුතු නැත.මෙම බොහෝ රටවලට 1976 දී ලංකාවේ පැවති නොබැඳි සමුළුවට පැමිණීමෙන් පසු නැවත ලංකාව සිහිපත් වන පළමු අවස්ථාව මෙයයි.
 


2009 දී ලංකාවට පැමිණි සුවිශේෂී වාසියක් වන්නේ ත්වැනි ලොව නොනිල නායකයා වන ඉන්දියාව ක්‍රියාකාරීව ලංකාවට සහාය ලබාදීමයි.ඉන්දියාව ලොව පුරාම තානාපති කාර්‍යාල පැවතීම අපට පැවති දැවැන්ද පහසුවකි.මෙවර ඇමරිකාව විවෘත සටනට පැමිණීඅම මෙන්ම ඉන්දියාව නිහඬවීමද අපට අවාසිදායක ලෙස බලපා තිබේ.

ඉහත විග්‍රහය අනුව ලංකාවට රටවල් 15 ක සහය හිමි වන විට ඇමරිකාවට සහය දී ඇත්තේ ද රටවල් 15 කි.නමුත් නොනිල ආරංචි අනුව ඇමරිකාවට මේ වන විට රටවල් 22 සහය ලැබී ඇත.ඒ අනුව ඇමරිකාවට තව චන්ද දෙකක් සොයාගතහොත් ජයග්‍රහණය නියතය.එසේ සොයාගැනීමට නොහැකි වුවත් ශ්‍රී ලංකාවට සහය දෙන රටවලට වඩා එක් චන්දයක් ලැබුවත් ඇමරිකාවට ජය අත් වනු ඇත.


ජය පරාජය කුමක් වුවත් ලංකාව ඉදිරියේ ඇත්තේ අභියෝගාත්මක සමයකි.එබැවින් ලංකාව කඩිනමින් ගතයු තු පියරව දෙකක් ඇත.අදටත් ලංකාවේ අපනයන වලින් 56%ක්ම මිලදී ගන්නේ ඇමරිකාව සහ යුරෝපීය සංගමයයි.එබැවින් එම රටවල් ඒකපාර්ෂිකව ආර්‍ථික සම්බාධක පැනවුවත් ලංකාව දැවැන්ත පිරිහීමකට ලක් වනු ඇත.එබැවින් අපනයන වෙළඳපොළ විවිධාංගනීකරණ වැඩ පිළිවෙලක් තුලින් බටහිර වෙළඳපොළ මත රැඳියාව අවසන් කල යුතුය.ඒ සඳහා නව වෙලඳපොළ සෙවීමට රාජ්‍ය ආයතන සහ තානාපති කාර්‍යාලයන්ට ඉලක්ක ලබාදීමත් නැවුම් වෙලඳපොළ සොයාගන්නා අපනයනකරුවන්ට දිරිගැන්වීම් ලබාදීමත් කල යුතුය.


ලොව තනි බලවතා සමග ගැටීම නුවණක්කාර නොවන බව සත්‍යකි.නමුත් අපි ඇමරිකාවට එරෙහිව කිසිවක් නොකර සිටියදී ඔවුන්ගේ අණට අකීකරු වී කොටි පරාජය කල හෙයින් ඔවුන් අපට එරෙහිව යුධ ප්‍රකාශ කර ඇත.දැන් අපට ඇත්තේ ඇමරිකාව පරාජය කල වියට්නාමය ආදර්ශයට ගෙන අධිෂ්ඨානයෙන් යුතුව මෙම අර්බුදයට මුහුණඩීමයි .මෙහිදී අප ඇමරිකාව පරාජය කිරීමට සමත් වුනොත් එය ලෝක ඉතිහාසයේ නව පිටුවක් පෙරළනු ඇත.
 
නීතිඥ උදය ගම්මන්පිළ
උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
2012-03-18

Related

උදය ගම්මන්පිළ 1279888265672632091

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item