විකට ඇඳුම් ඇඳගෙන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ පැරදවිය හැකිද?

ජිනීවා නුවරදී පෙබරවාරි 27 දින ආරම්භ වී මාර්තු මාසයේදී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ න්‍යායපත‍්‍රය කුමක්වනු ඇත්ද? රටේ අනාගත ඉරණම පිළිබඳ ...

විකට ඇඳුම් ඇඳගෙන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ පැරදවිය හැකිද?
ජිනීවා නුවරදී පෙබරවාරි 27 දින ආරම්භ වී මාර්තු මාසයේදී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ න්‍යායපත‍්‍රය කුමක්වනු ඇත්ද? රටේ අනාගත ඉරණම පිළිබඳ උනන්දු වන බොහෝ පිරිස් මේ දිනවල නගන ප‍්‍රශ්නය එයයි. පසුගිය දිනවල දේශීය සහ විදේශීය දේශපාලන කරලියේ රගදැක්වුනු සහ මේ වන විට රගදැක්වෙමින් පවතින විවිධ නාටක ගැඹුරින් විග‍්‍රහ කිරීමෙන් ඒ පිළිබඳ යම් අදහසක් ලබාගත හැක. නමුත් දේශපාලන ඉව තබෙන මිනිසුන්ට ඔවුන්ගේ න්‍යායපත‍්‍රය මනසින් දැකිමේ අපහසුවක් නැත. කෙසේවෙතත් අවසානයේ සමස්ථ ජාතියට මුහුණදීමට ඇති අභියෝගය වන්නේ දැනටමත් නිශ්චිත ඒ න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක වීම නවත්වන්නේ හෝ වෙනස් කරන්නේ කෙසේද යන්නයි.
කුමක්ද ඒ නිශ්චිත න්‍යාය පත‍්‍රය? ඉතා පැහැදිලිවම එය බෙදුම්වාදී බටහිර බලවේගවල දීර්ඝකාලීන න්‍යාය පත‍්‍රයේම නැවත ආරම්භයක් වනු ඇත. බටහිර අධිරාජ්‍යවාදී බලවේග මානව හිමිකම් කවුන්සිල සැසිය භාවිතා කරන්නේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ අත කරකැවීමේ උපාංගයක් හෙවත් අඩුවක් ලෙසය. ඔවුන් පසුගිය සැසියේදී අඩුව යන්තම් පෙන්වා අනාගතයේදී අත කරකවන බවට තර්ජනය කළේය. මෙවර අනිවාර්යයෙන්ම ඔවුන් යම් පමණකට ආණ්ඩුවේ අත කරකවනු ඇත. එහෙත් අවසාන වශයෙන් දණගසන මට්ටමට අතකරකැවීමට ඔවුන් අදහස් නොකරන බව පැහැදිලිය. ඔවුනට ඇත්තවශයෙන්ම අවශ්‍ය වන්නේ ශ‍්‍රී ලංකා රජය  දණ ගැසීමට සුදානම් බව පෙන්වීමය. වෙනත් වචන වලින් කියනවා නම් අඬුව පෙන්වනවිටම හෝ යන්තම් අල්ලනවිට ස්වෙච්ජාවෙන් දණ යන්තම් හෝ නවන බව පෙන්වීමය. එනම් බෙදුම්වාදී බලය බෙදීමේ යෝජනාවලට ආණ්ඩුව එකග බව සිහින් හඩින් හෝ පැවසීමට බලකිරීමය.
ඒ අනුව ඔවුන්ගේ අත කරකැවීමේ න්‍යාය පත‍්‍රයේ පළමු අංගය වන්නේ ඊනියා දරුස්මාන් වාර්තාවේ නිර්දේශ සමාලෝචනය කිරීමයි. ඊට පසු දෙවන අංගය වන්නේ උගත් පාඩම් කොමිසම් වාර්තාවේ යම් කොටස් දැඩි ලෙස විවේචනය කිරීම සහ ඒ සමගම යම් කොටස් ක‍්‍රියාත්මකකර පෙන්වන ලෙසට රජයට අභියෝග කිරීමයි. (ශ‍්‍රී ලංකා ආණ්ඩුව එම වාර්තාව ඉදිරිපත් නොකළත් වෙනත් රටකට එය ඉදිරිපත්කළ හැක) එහි තුන්වන අංගය වන්නේ ඊනියා යුද අපරාධ විමර්ශනය සඳහා පිළිගත හැකි යාන්ත‍්‍රණයක් අවශ්‍යයි යන යෝජනාව ඉදිරිපත් කිරීමයි. ඔවුන් ‘‘යුද අපරාධ චෝදනා’’ විභාග කිරීමේ යාන්ත‍්‍රණයක් සම්මත කර ගත්තද බොහෝ විට එය ජාත්‍යන්තරද එසේ නැතහොත් ජාතිකද යනුවෙන් විශේෂයෙන් සඳහන් නොකරනු ඇත. එසේ කරන්නේ ආණ්ඩුව හිත වෙනස්කර ගනු ඇත්දැයි බැලීම සඳහා එම යෝජනාවද යම් ප‍්‍රමාණයකට අ`ඩුවක් ලෙස භාවිතා කිරීමටය. එසේ අඬුව පෙන්වමින් ඔවුන් ආණ්ඩුව සම`ග බලය බෙදීමේ කේවල්කිරීම තව≥රටත් දිග් ගස්සනු ඇත. මහ ලේකම් බන්කිමූන් පසුගිය කාලය පුරාම නිහඬවතක් අනුගමනය කරමින් වෙනත් රාජ්‍යතාන්ත‍්‍රිකයින් හරහා අදහස් ප‍්‍රකාශකරන්නේද යම් ප‍්‍රභල තීන්දුවක් ගැනීමට හොරගල් ඇහිලීමක් ලෙසද අර්ථ දැක්විය හැක. පසුගිය දිනවල කැනඩාවේ අගමැති ප‍්‍රකාශකර සිටියේ ආණ්ඩුව බලය බෙදීමේ ක‍්‍රියාවලිය මගින් ජාතික සමගිය ඇතිකිරීමට ක‍්‍රියා නොකළහොත් ලබන වසරේදී ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කරන බවයි. එසේම බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල ලේකම්වරයාද ඉතා තදින් කියා සිටියේ උගත් පාඩම් කොමිසම් වාර්තාව මගින් යුද අපරාධ විමර්ශනය පිළිබඳව කිසිවක් පැහැදිලිව නිර්දේශ නොකිරීම පිළිගත නොහැකි බවයි. එසේම ඒ සඳහා යාන්ත‍්‍රණයක් අවශ්‍ය බවද ඔහු කියා සිටියේය. නමුත් එම යාන්ත‍්‍රණය ජාත්‍යන්තර එකක්ද නැත්ද යන්න පිළිබඳව කිසිවක් නොකීමට ඔහු පරිස්සම් විය. ඉන්පසු හිලරි ක්ලින්ටන් කියන්නේ ඇමෙරිකාව වෙනත් රටක සහයෝගයෙන් යෝජනාවක් ගෙන එන බවයි. ඊට සමගාමීව ටී. එන්. ඒ. පක්‍ෂයද බලය බෙදීමේ සාකච්ඡ සඳහා තුන්වන පාර්ශ්වයක් ලෙස මැදිහත් වන්නයි ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත. අවසානයේ ඇමෙරිකාව තම නියෝජිත පිරිසක් ලංකාවට එවා සමුළුවට පෙර අතකරකැවීමේ අවසාන උත්සාහයද ගත්තේය. එසේ පැමිණි ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්  ඕ බ්ලේක් සහ නියෝජ්‍ය ලේකම් මේරි ඔටේරෝ නැමැත්තිය ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉතා ප‍්‍රබල ඉල්ලීමක් කළේය. ඇත්තවශයෙන්ම එය ඉල්ලීමකට වඩා නියෝගයක ස්වරූපය ගත්තේය. ඔවුන් නියෝග කරන්නේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව කොටින්ගේ ආයුධවලට බියේ සටන්විරාම ගිවිසුමක් අත්සන් කළා සේ මෙදා රාජ්‍ය තාන්ත‍්‍රික පීඩනයට බියෙන් ටී.එන්.ඒ පක්‍ෂය සමග ගිවිසුමක් අත්සන් කරන ලෙසය. ඊට අමතරව ඔවුන් ඉතා උද්දච්ච ලෙස ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට අදාළ කාරණාවලට අතපොවමින් උතුරින් හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව කියා සිටියෝය. රජය එම බලහත්කාරයට එරෙහිව ප‍්‍රතිචාර දැක්වූ බව සැකයක් නැත. ආරක්‍ෂක ලේකම්තුමා විසින් හමුදා කඳවුරු ඉවත් කිරීමේ ඉල්ලීම එකහෙළා ප‍්‍රතික්‍ෂේප කළ අතර ජනාධිපතිතුමාද තමා සම්බන්ධන්ලා වැනි හිවලූන් සමග ගිවිසුම් ගැසීමට සූදානම් නැති බව පෙන්වීය. ඒ මගින් ආණ්ඩුව ඇත්තටම කරන්නට යන්නේ කුමක්ද යන අවබෝධයද ඔවුන් ලබාගත් බවට සැකයක් නැත.
අදවන විට ඉන්දියාවද බටහිර බලවේග සමග එක්ව බෙදුම්වාදී පොදු අරමුණු ඉටුකරගැනීමට ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක වෙමින් ඇත. ඉන්දියාවේ බෙර පදයට අනුව පසුගිය දිනවල ටි.එන්.ඒ සංවිධානයේ ප‍්‍රබලයින්ද තම රිලා නැටුම්වල තීව‍්‍රතාවය උත්සන්න කිරීමට පටන්ගත්තේය. ඔවුන් දකුණු අප‍්‍රිකානු කොන්ග‍්‍රසයේ සියවැනි සංවත්සර වේදිකාවද ඒ සඳහා භාවිතා කළේය. ඊට පෙර ඔවුන් පාරර්ලිමේන්තු තේරීම්කාරක සභාව වර්ජනය කිරීම සහ රජය සමග සාකච්ඡුා වර්ජනය කිරීම මගින් ඉන්දියාව ඉදිරියේ තම හැකියාව සහ ආණ්ඩුවට එරෙහිව සටන් කිරීමේ සුදානම්කම පෙන්වීය. ඊට සමගාමීව ඊනියා දෙමළ ඩයස්පෝරාවද ටී.එන්.ඒ සංවිධානය සමග අත්වැල් බැදගන්නා බව පෙන්වීය. එසේම ඔවුන් ඉන්දියාවේ විදේශ ඇමතිගේ ශ‍්‍රී ලංකා සංචාරයට සමගාමීව උගත් පාඩම් කොමිසම් වාර්තාව පිළිබඳ විවේචනයද තද බල ලෙස ඉදිරිපත්කොට ජාත්‍යන්තර බලකිරීම් තවදුරටත් ඇවිස්සීමටද උත්සාහයක් ගෙන ඇත. එම ක‍්‍රියාවලිය අවසානයේදී ඉන්දීය විදේශ ඇමති ඒකපාර්ශ්වීය ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ජනාධිපතිතුමා 13න් එහාට යන විසඳුමක් ලබාදීමට එකග වූ බවයි. නමුත් පසුව ජනාධිපතිතුමා කියා සිටියේ ඒ සඳහා හැකියාව සොයාබලන බව පමණක් තමා ප‍්‍රකාශ කළ බවයි.
මේ සියලූ කාරණා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, කැනඩාව වැනි රටක් හරහා උගත් පාඩම් කොමිසම් වාර්තාව දැඩි ලෙස විවේචනය කරන අතරතුර යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා යාන්ත‍්‍රණයක් අවශ්‍ය බවට මානව හිමිකම් සැසියේදී යෝජනා කරනු ඇතිබවයි. බන්කිමූන් විසින්ද නවනීදම් පිල්ලේට වක‍්‍රව ඊට සමාන අදහසක් සහිත ඊනියා ලේකම්ගේ වාර්තාවක් එවනු ඇත. එහිදී ඉන්දියාව ඊට පක්‍ෂ වීමේ හෝ මතයක් පළනොකර සිටිමේ ඉඩකඩ ඇත. කෙසේවෙතත් ඉන්දියාව ගන්නා තීරණය පදනම් වනු ඇත්තේ මෙවර ඉන්දීය විදේශ ඇමැතිගේ සංචාරයට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ප‍්‍රතිචාර දැක්වූ ආකාරය මතය. ආණ්ඩුව දැනට දක්වා ඇති ප‍්‍රතිචාරවලින් පෙනී යන්නේ ඔවුන් බලය බෙදීම පිළිබඳව ඉන්දියාවට ස්ථිරසාර පොරොන්දුවක් ලබාදී නොමැති බවයි. ඒ අනුව මෙවර සමුළුවේදී ඉන්දියාව තම නිරුවත ඉතා හොඳින් ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ ඇත.
බටහිරයන් හෝ ඉන්දියානුවන් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජාතින් නොවන බව පසුගිය කාලයේදී ඉතා හොඳින් ප‍්‍රදර්ශනය කළේය. ඉරාකයේ, ඇෆ්ගනිස්තානයේ සහ පසුව ලිබියාවේදී ලක්‍ෂ ගණනින් අහිංසක සිවිල් ජනයා ඝාතනය වෙද්දී මානව හිමිකම් කවුන්සිලයට කිසිදු විරෝධාකල්ප සහිත යෝජනාවක් ඉදිරිපත්වුයේ නැත. යුද අපරාධ චෝදනා හෝ ඒවා පරීක්‍ෂා කිරීමේ යාන්ත‍්‍රණ පිළිබඳව තර්ක විතර්ක හෝ බලපෑම් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර ආණ්ඩුවලට එල්ලවූයේද නැත. ඒ නිසා නැවත වතාවක් ඉතා පැහැදිලිවම අප තේරුම්ගත යුත්තේ අධිරාජ්‍යවාදීන්ගේ කුලී හමුදාවට බැඳී ශ‍්‍රී ලංකාවේදී යුදවැදී මිය ගිය දෙමළ තරුණ තරුණියන් පිළිබඳව සහ ඒ දෙස අසරණව බලාසිට මිය ගිය සිවිල් වැසියන් (බටහිරයන්ගේ බොරු සංඛ්‍යා ලේඛන අනුව නොවේ) පිළිබඳව බටහිරයන්ට හෝ ඉන්දියානුවන්ව කිසිදු කැක්කුමක් නැතිබවය. ඔවුන් ඊනියා යුද අපරාධ විභාග කිරීමේ උනන්දුව පෙන්වන්නේ බලය බෙදා රට බෙදීමේ ෙඓතිහාසික උවමනාවට සාපේක්‍ෂවය. මානව හිමිකම් සමුළුසැසිවාරයට පෙර ඔවුන්ගේ ඒ උවමනාවට අදාළව ස්ථීර පොරොන්දුවක් ආණ්ඩුවෙන් ලබාදුනහොත් සියලූ ජාත්‍යන්තර බලපෑම් සමුළුවේදී දියවී වාෂ්ප වී යනු ඇත.
කෙසේ වෙතත් බලය බෙදීමේ බලපෑම්වලට අදාළව ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ පැමිණීමට පෙර අතිගරු ජනාධිපතිතුමා ඉතා පැහැදිලි ප‍්‍රකාශයක් සිදුකර තිබුණි. පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට ලබා නොදෙන බව එතුමා පවසා ඇති බැවින් කිසිවකුට 13න් එහා යාමක් ගැන කථාකළ නොහැක. ඉඩම් සහ පොලිස් බලතල නැතිනම් එය 13න් මෙහාට යාමකි. එසේම දැන් කිසිසේත්ම උතුරු සහ නැගෙනහිර පළාත් එක්කළ නොහැකි නිසා සිදුවිය යුත්තේ ඉන්දුලංකා ගිවිසුමේ සිටද මෙහාට ඒමකි. නමුත් මේ ස්ථාවරය පිළිගන්නට බටහිරයන්, ඉන්දියානුවන් සහ ටී.එන්.ඒ සංවිධානය සුදානම් නැත. එසේ සුදානම් නැතිනම් ඔවුන් තමාගේ නිශ්චිත යෝජනාව ඉදිරිපත් කළ යුතුය. ඔවුන් එසේ කරන්නේද නැත. වසර 30ක් ආපස්සට ගොස් යුද්ධයට පෙර ගිරවුන් සේ දෙඩවූ ඊනියා බලය බෙදීමේ යෝජනා හැර ඔවුන් සතුව ඉදිරිපත් කිරීමට වෙනත් නිර්මාණශීලී යෝජනාවක් නැත. ඔවුන් අද ඊනියා යුද අපරාධ විමර්ශනය ගැන කතා කරන්නේද ඔවුන් සතුව වෙනත් යෝජනා නැති නිසාමය. කෙසේ වෙතත් දැන් ඉන්දීය විදේශ ඇමතිගේ ප‍්‍රකාශය අනුව ආණ්ඩුව 13න් එහාට  යාමට කැමැත්ත පළකර ඇත. රජය සත්‍යවශයෙන්ම ගමන් කරන්නේ එ් දිශාවට නම් සහ එ් පිළිබඳව සත්‍යවශයෙන්ම සහතිකයක් දී ඇත්නම් මානව හිමිකම් කවුන්සිලයේදී කිසිදු ‘‘නරක දෙයක්’’ සිදු නොවනු ඇත.
ආණ්ඩුව බලය බෙදීමේ උගුලට පය තබන්නේ නැති නම් ඉතා පැහැදිලිවම සමුළු සැසිවාරයේදී සහ ඉන්පසුව විවෘත රාජ්‍ය තාන්ත‍්‍රික සටන ආරම්භ වනු ඇති බව ජාතියක් ලෙස අප පිළිගත යුතුය. ඊට මුහුණ දීමේදී සතුරන් සමග උපක‍්‍රමික සාකච්ඡුා පැවැත්වීමේ වරදක් නැත. නමුත් සතුරාගේ උපාය මාර්ගය සහ යුද උපක‍්‍රම තේරුම් ගැනීමට ඒ සාකච්ඡුා වැදගත් වන්නේ නැත. ඒ දැනුම  ඕනෑවටත් වඩා දැනටමත් අප සතුව ඇත. ඒ නිසා ආණ්ඩුව යටත් නොවී සිටීමට තීරණය කරන්නේ නම් රටේ පොදු මහ ජනතාව කෙරෙහි විශ්වාසය තබා ඔවුන් සමග උපාය මාර්ගිකව නිවැරැදිව ස්ථානගත විය යුතුය. ඒ සඳහා මාර්තු මාසයේදී මානව හිමිකම් කවුන්සිලයේදී සිදුවන්නේ කුමක්දැයි බලා සිටීමේ අවශ්‍යතාවයක්ද නැත. ආණ්ඩුවට තම උපාය මාර්ගික සැලසුම නිශ්චිතව සකස්කරගැනීමට අපහසු වන්නේ කල්බලමින් සහ හොරගල් අහුලමින් ඇස් ඉදිරිපිට තිබෙන යතාර්තයට පිටුපෑම තුළය. සමහර විට ආණ්ඩුව ඉන්දීය විදේශ ඇමැති වැනි අය වචන හරඹවලින් ඇන්දවිය හැකි යයි සිතනවාද විය හැක. සියලූ විරුද්ධ පක්‍ෂද බොරු නින්දේ පසුවෙමින් හෝ ආණ්ඩුවේ පිටට පිහියෙන් ඇනීමට කල්බලමින් සිටින බැවින් ආණ්ඩුවට පීඩනයක් එල්ලවන්නේද නැත. ඒ සියල්ල තුළ ආණ්ඩුවේම පාර්ශ්වකරුවන් උපාය මාර්ගික සැලසුමට පටහැනි විය හැකි ලෙස හැසිරීම දක්වාද තල්ලූ වී ඇත.
ඒ තත්ත්වය තුළ ආණ්ඩුවට දැන් උපායමාර්ගිකව ඉතා වැදගත් වන්නේ අනාගත ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයට මුහුණදීම සඳහා ජනතා සහාය උපරිමයෙන් දිනා ගැනිමය. ආණ්ඩුව තම ස්ථාවරය සහ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේ සොභාවය ජනතාවට ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කරන්නේ නම් යුද්ධය පැවති කාලයේදී ලැබුණු මහජන සහයෝගය නැවත වතාවක් දිනා ගැනිමේ අපහසුවක් නැත. ඒ වෙනුවට ආණ්ඩුව කරන්නේ ජාතන්‍යන්තර කුමන්ත‍්‍රණයට සාපේක්‍ෂව ‘‘නොවැදගත් ගැටළු’’ විසඳීමට ගොස් ප‍්‍රශ්න වර්ධනය කරගැනීමය. උසස් අධ්‍යාපනය ක්‍ෂේත‍්‍රයේ අද ඇතිවී තිබෙන්නේ එවැනි තත්ත්වයකි. උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කේවට්ටයින්ට අනුව මේ වන විට කැරලිකාර කණ්ඩායමක් ඊනියා විප්ලවයකට සුදානම් වන බැවින් මරාගෙන මැරෙන සටනක් විශ්වවිද්‍යාල සිසුන් සමග පටන්ගත යුතුය. ඔවුන් කියන්නේ කළයුතු දේට සම්පුර්ණයෙන්ම ප‍්‍රතිවරුද්ධ දේය. ඒ අනුව පැහැදිලි වන්නේ අභ්‍යන්තර අඳබාලකම්ද ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයට වාසි සහගත ලෙස මතුවන බවයි. අධිරාජ්‍යවාදයේ සහයෝගයෙන් සමාජවාදය හදන්න කථාකරන මතවාදී වශයෙන් බංකොලොත් තුන්හතර දෙනෙකුගේ ඊනියා කැරලිකාර කණ්ඩායමකට විශ්වවිද්‍යාලවල කළහැකි දෙයක් නැත. විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා ඇති ආකාරයට ඔවුනට කළහැක්කේ ආණ්ඩුවේ කේවට්ටයන් පෙට්ට‍්‍රල් විසිකරන තැන්වලට සිසුන්ගේ හදවත්වල ඇති ගිනි පුළි`ගුවලින් ගිනි තැබීමයි. ආණ්ඩුවේ කේවට්ටයින් ප්‍රෙට‍්‍රල් විසිකරන තරමට ගිනි තැබීමේ වැඬේ නම් ඔවුන් ඉතා හොඳින් කරනු ඇත. මේ බොරු විශ්වවිද්‍යාල සටන් භීතිකාව අවසන් කළ හැක්කේ සිසුන් දිනාගැනීමෙන් මිස ඔවුන් අන්තවාදයට තල්ලූකිරීමෙන් නොවේ. ආණ්ඩුවට ඒ උපායමාර්ගික දැක්ම නැත්නම් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය පරාජය කිරීමට දැක්මක් පහළවන්නේ කෙසේද?
පසුගිය දිනවල තෙල් මිල කළමනාකරණය කළ ආකාරයට අනුව ආණ්ඩුව තුළ සැබෑ දේශපාලන කළමනාකරුවන් නැති බව පැහැදිලි විය. ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මිලට සාපේක්‍ෂව දේශීය මිල අඩුවැඩි කිරීමේ මිල සූත‍්‍රයක් හඳුන්වා දී අනාගතයේදීද තවදුරටත් තෙල් මිල ඉහළ යා හැකි බව මහජනයාට ඉතා හොඳින් පැහැදිලි කළ යුතුව තිබිණි. එසේම ඉන්ධන බදු අඩුකළ නොහැක්කේ කුමක් නිසාදැයි මහජනයාට ගණන් හිලව් ඇතිව පෙන්වාදිය යුතුව තිබුණි. ඊට අමතරව රජයේ ඉහළ දේශපාලකයින් සහ නිලධාරී තන්ත‍්‍රයද අර්බුදය හමුවේ තමන්ද යම් පරිත්‍යාගයක් කිරීමට සූදානම් බව අවංකව පෙන්විය යුතුව තිබුණි. නමුත් ආණ්ඩුව කළේ තෙල් මිල වැඩිකිරීමේ දේශපාලනය පිළිබඳව ‘‘අයන්න වත්’’ නොදන්නා භාණ්ඩාගාරයේ අංක ගණන්කාරයින් ලවා ප‍්‍රකාශ නිකුත් කිරීමයි. එවැනි අඳබාල වැඩ කරමින් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලට මුහුණ දිය නොහැකි බව සක්සුදක් සේ පැහැදිලිය.
ඒ නිසා දැන් අප ජාතියක් ලෙස ජිනීවා මානවහිමිකම් සැසිය හරහා ඇතිවන පීඩනය නිමිතිකොට ගෙන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය පරාජය කිරීමේ ජාතික මෙහෙයුමක් දියත්කළ යුතුව ඇත. (යුද සමයේදී සිදුකළ ආකාරයටම* ඒ තුළ උගත් පාඩම් කොමිසමට අදාළ හොඳ නරක දෙකම මහජන සංවාදයට ලක්කළ යුතුය. එම කොමිසම කොටි ත‍්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ 10,000කට ආසන්න සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ වචනයක්වත් කතා නොකිරිම වරදකි. එසේම තමන් හරියට නොදන්නා විකාර දේශපාලන සංකල්පයක් වන ‘‘ජනවාර්ගික ගැටළුව’’ පිළිබඳ ළදරුකතා ඔවුන් විසින් නොකියා සිටියා නම් ඉතා වැදගත් බවද කිව යුතුය. නමුත් ඔවුන් ඊනියා ‘‘බලය’’ බෙදීම සඳහා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යයයි කියා නැත. ඔවුන් කියන්නේ භූගෝලීය ඒකක වෙනුවට ජනතාව මුල්කරගත් ක‍්‍රමයකට යායුතු බවය. එනම් ගම් සභා ක‍්‍රමය මුල්කරගත් ප‍්‍රාදේශීය පාලනයක් වඩාත් සුදුසු බවය. එමගින් කියවෙන්නේ ජාතිවාදී දෙමළ නායකයින්ට බලය බෙදීම වෙනුවට මහජනයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ආර්ථික සාධාරණත්වය ඉටුකළ යුතු බවය. ඒ මත පදනම්ව ජාතික කථිකාවක් ආරම්භ කළ නොහැකිද? ඒ මගින් ඊනියා 13 ව්‍යවස්තා සංශෝධනය ඉබේම අවලංගුවන හෝ වැදගත් නොවන තත්ත්වයක් ඇතිවේ. පැරණි බලය බෙදීමේ පාර දිගේ ගොස් අΩත් විසඳුමක් සොයාගත නොහැකි බව ජනතාවට ඒත්තු ගැන්වීම අපහසු නැත. එදා ජනාධිපතිතුමා බොරු සාකච්ඡුා වෙනුවට යුද්ධය තෝරාගත්තේ ඒ ආකාරයටය. අධිරාජ්‍යවාදී බලවේගවල කුලීකරුවන් ලෙස කටයුතු කරන ජාතිවාදී බලලෝභී දෙමළ දේශපාලන නායකයින්ට බලය බෙදාදී ප‍්‍රශ්නය විසඳිය හැකි නම් 1987දීම 13වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ප‍්‍රශ්නය විසඳිය හැකිව තිබු◊ණි. ඒ බැරි වූ දේ නැවත කිරීමට උත්සාහ කරන්නේ කුමකටද?
අනෙක් පැත්තෙන් යුද අපරාධ විමර්ශන යාන්ත‍්‍රණයක් අවශ්‍යයයි යන ව්‍යාජ ඉල්ලීම දියාරුකළ හැක්කේ එවැනි යාන්ත‍්‍රණයක් අප ශ‍්‍රී ලංකාවේදී පිහිටවන බව ප‍්‍රකාශ කිරීමෙනි. එවැනි යාන්ත‍්‍රණයක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවිය හැක්කේ ශ‍්‍රී ලංකාවේ නීතියට සහ අධිකරණ ක‍්‍රියාදාමයන්ට අනුවය. ඒවා ජාත්‍යන්තරයට උවමනා ආකාරයට වෙනස් කරන ලෙස බලකිරීමට කිසිවකුට අයිතියක් නැත. කුමන්ත‍්‍රණකරුවන්් එල්ල කරන්නේ චෝදනාය. ඒවා සැබෑ චෝදනාද යන්න විභාග කළ යුත්තේ අපය. සැබෑ චෝදනා නම් ඒවාට වැරැුදිකරුවන් සිටිද නැත්ද යන්න සොයා බැලීම සහ ඊනියා චෝදනා ඔප්පු කිරීම කළ යුත්තේද අප රටේ අධිකරණයකදීය. දඩුවම් කළයුතු කිසිවකු වේ නම් දඩුවම් කරන්නේද අප රටේ නීතියට අනුවය. එසේම ටී. එන්.ඒ පක්‍ෂයේ නායකයින්ටද අපරාධ චෝදනා ඇත්නම් ඒ ක‍්‍රියාදාමයටම යොමුකළ හැක. වැරැුදිකරුවන්ට සමාව දෙනවානම් එසේ වන්නේද අපේ නීතියටම නුවය. ඒ ආකාරයට අප රටක් ලෙස සෘජුව සිටගන්නවා නම් අපට හිතවාදී ජාත්‍යන්තර රටවලටද අප වෙනුවෙන් පෙනී සිටිය හැකිවනු ඇත. එසේ නොමැති තත්ත්වයකදී මානව හිමිකම් කවුන්සිලයේදී අප වෙනුවෙන් හ`ඩ නැ`ගීමට ඔවුනට නොහැකි වනු ඇත.
ඒ අනුව දැන් අප කළ යුත්තේ සතුරා දිනාගැනීමට නිශ්ඵල උත්සාහයක් දරනවා වෙනුවට මිතුරාට ඉඩ සලසන සහ මිතුරන් වැඩිකරගන්නා සහ ඔවුන් තව තවත් ලංකරගන්නා උත්සාහයක් දැරීමය. මාර්තු මාසයේදී ජිනීවාහි ර`ග දැක්වෙන මානව හිමිකම් සළුපොරවාගත් බෙදුම්වාදී නාඩගමට ජාත්‍යන්තර පේ‍්‍රක්‍ෂකයින් ‘‘හූ’’ කියන්නේ එළිමහන් ර`ගහලේ අප රගදක්වන නාටකයේ තරම අනුවය. එහෙත් 13න් එහාට යන බලය බෙදීමකට ආණ්ඩුව එක`ග නම් එ් කිසිවක් අවශ්‍ය වන්නේ නැත. එවිට මානව හිමිකම් සැසිය ව්‍යාජ කථා සාප්පුවක් ලෙස අවසන් කෙරෙනු ඇත. අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුව ලවා බලය බෙදීමේ උගුලට පය තබවා ගැනීම පමණි. ඉන් පසුව ආරම්භ වන්නේ ආධිරාජ්‍යවාදීන්ගේ පැලෑන් බී හෙවත් දෙවන කුමන්ත‍්‍රණයයි. එ් ලිබියානු මෙහෙයුමකින් පවතින පාලනය වෙනස්කිරීමේ කුමන්ත‍්‍රණයයි. එ් සඳහා වන පළමු කොන්දේසිය දැනට ආණ්ඩුව ක‍්‍රම ක‍්‍රමයෙන් හදාගන්නා අවුල්වලට ජාතියට ද්‍රෝහිවීමේ අවුල හෙවත් බලය බෙදීමේ අවුල එකතු කිරීමය. දෙවන කොන්දේසිය ආණ්ඩුවේ ජාතික පදනම රකින ජාතික බලවේග ආණ්ඩුවෙන් ඈත් කිරීමයි. ආණ්ඩුව ඇත්තටම බලය බෙදන්නේ නම් එය ඉබේම සිදුවනු ඇත.
නමුත් දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට ජනාධිපතිතුමා බලය බෙදීමේ පීඩනයට යටත්වන බවට ඉ`ගියක් හෝ සපයා නැත. එසේ වූවා නම් ඊනියා මානව හිමිකම් සමුළු යෝජනා මේ ආකාරයට ප‍්‍රබලව ගෙනඑන්නේවත් ආණ්ඩුවේ නියෝජිතයන්ට ඊට එරෙහිව ප‍්‍රබලව විරෝධය පළ කරන්නේවත් නැත. ඒ අනුව ආණ්ඩුව නිවැරැුදි දිශාවට පය තබා ඇති බව පිළිගත හැක. දැන් අවශ්‍ය වන්නේ රටේ ජනතාව රජයවටා පෙළගස්වමින් කුමන්ත‍්‍රණයට මුහුණදීමේ මහා මෙහෙයුම ආරම්භ කිරීමයි. ආණ්ඩුව දැන් ඇඳගෙන සිටින විකට ඇඳුම් සමග ඒ ගමන යා හැකිද යන්න ප‍්‍රශ්නයකි. ඒ නිසා ආණ්ඩුව පළමුව කළ යුත්තේ ගමනට සුදුසු ඇඳුම් ඇඳ තමා ගමනට සූදානම් බව ජනතාවට පෙන්වීමයි.
කෙසේ වෙතත් අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණය තුළින් රටට වාසියක්ද අත්වනු ඇත. එසේ වන්නේ ආණ්ඩුවට පමණක් නොව විපක්‍ෂයට සහ පොදුවේ රටේ මහජනයාටද වෙනස් වීමට සිදුවන නිසාය. එක්සත් ජාතික පක්‍ෂයට යුද්ධය පැවැති සමයේදී සිදු කළ ආකාරයටම නව කුමන්ත‍්‍රණය ඉදිරියේදී හැසිරීමට ඉඩ ලැබෙන්නේ නැත. ඔවුන් හෙට දිනයේදීත් හැසිරීමට බලාපොරොත්තු වන්නේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ දේශීය ඒජන්තයින් ලෙස නම් ඔවුන් දේශපාලන භූමියෙන් අතුගෑවී යන බවට සැකයක් නැත. මේ රටට ආදරය කරන මිනිසුන්ට සැමදාම පිටුපාමින් ඔවුන්ට කිසිදිනක ජයග‍්‍රහණ ලබාගත නොහැක.
ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේදී බෙදුම්වාදයෙන් රට ගලවා ගැනීම සඳහා ඉතා ප‍්‍රබල මෙහෙයක් ඉටුකළ පක්‍ෂයකි. ඔවුන් එදා ඉටුකළ ඒ මහා භූමිකාව නොවන්නට අද ජයග‍්‍රහණයක් ගැන කතා කළ නොහැකි බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. නමුත් කැරළිකරුවන් ලෙස හඳුන්වාගන්නා ‘‘රෝ’’ ඔත්තුකරුවන් පිරිසක් එම පක්‍ෂය තුළ දියත් කළ කමන්ත‍්‍රණයක් නිසා අද එම පක්‍ෂය ඉතිහාසයේ කුණු කූඩයට ඇදවැටී ඇත. පවතින ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය වෙනත් කිසිදු පක්‍ෂයකට වඩා අවස්ථාව නිර්මාණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණටය. අද ජාතිය මුහුණ දෙන අභියෝගය විසින්ම ඔවුන් කුණු බක්කියෙන් එළියටගෙන ජරාව සෝදා පාවඩ එළා පිළිගන්නා විභවයක් ඉතිහාසය විසින්ම නිර්මාණය කරමින් ඇත. ඒ අවස්ථාව ඔවුනට ගතහැක්කේ විමල් වීරවංශට හෝ ජනාධිපතිතුමාට වඩා තමා ජාතිකවාදී බව ඔවුන් විසින් මහජනයාගේ ඇස් ඉදිරිපිටදී ක‍්‍රියාවෙන් ඔප්පු කොට පෙන්වුවහොත් පමණි.
පොදු මහජනයාටද අද ලිබියාවේ ජනයා පත්වී ඇති ශෝකජනක ඉරණම පිළිබඳව ගැඹුරින් සිතා බැලීමට බල කෙරෙනු ඇත. ඒ තුළ ඔවුනට ආණ්ඩුවට විරුද්ධ වීම සහ රටට විරුද්ධ වීම යන කාරණා දෙක අතර ඇති වෙනස තේරුම් ගැනිමට සිදුවනු ඇත. ඒ අනුව ‘‘මානව හිමිකම් කුමන්ත‍්‍රණයේ’’ අඳුරුවළාවන් තුළම රිදී රේඛාවන්ද මතුවෙමින් ඇති බව පිළිගත හැක. බටහිර අධිරාජ්‍යවාදී උගුල්වලට පය නොතබා ජාතිය මෙහෙයවිය හැක්කේ මේ මහා පින්තූරය ගැඹුරින් තේරුම් ගැනීමට අද යුගයේ දේශපාලන නායකයින් සමත්වුවහොත් පමණි.

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

උපුටා ගැනීම
LankCNews
2012-02-27\
 

Related

වෛද්‍ය වසන්ත බණ්ඩාර 7778081566207200833

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item