මානව හිමිකම් නාඩගම

-මහාචාර්‍ය නලින් ද සිල්වා  ඇමරිකාවට නෝර්වේ හා වෙනත් රටවල් ඉදිරිපත් කරමින් තවදුරටත් සැඟවී සිටීමට නො හැකි ය. හැංගි හැංගි වෙස්‌ බැන්දත් න...

-මහාචාර්‍ය නලින් ද සිල්වා
 ඇමරිකාවට නෝර්වේ හා වෙනත් රටවල් ඉදිරිපත් කරමින් තවදුරටත් සැඟවී සිටීමට නො හැකි ය. හැංගි හැංගි වෙස්‌ බැන්දත් නටන්නට වන්නේ එළියෙහි ය. එහෙත් ප්‍රධාන නළුවා තවමත් වෙස්‌ බඳියි. ඔහුටත් වැඩි කල් නො ගොස්‌ ම එළියට පැමිණීමට සිදුවනු ඇත. ඒ ස්‌කොට්‌ලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය යටත් කරගෙන සිටින එංගලන්තය ය. ඒ රට බිරිතානිය, එක්‌සත් රාජධානිය ආදී නම්වලින් හැඳින්වෙන්නේ එංගලන්තය අනෙක්‌ රටවල් යටත් කරගෙන සිටින බව අමතක කිරීමට ය. එක්‌සත් රාජධානිය යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේත් ඇමරිකාවේත් රාජ්‍ය භාෂාව ඉංගිරිසි වෙයි. පසුගිය දා ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙහි මැතිවරණයකට ඉදිරිපත් වූ කාන්තාවක ඇගේ ඉංගිරිසි දැනුම ප්‍රමාණවත් නොවී ය යන පදනම යටතේ තරගයෙන් ඉවත් කෙරිණි. ඇමරිකාවේ මානව අයිතිවාසිකම් රැකෙන්නේ ඒ අයුරෙන් ය. මානව හිමිකම් යන්න බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ එක්‌තරා අවධියක දී රාජ්‍යයෙන් ඒ ඒ පුද්ගලයා ආරක්‍ෂා කිරීම සඳහා යොදා ගැනිණි. මධ්‍යකාලීන යුරෝපීය වැඩවසම් සමාජයෙහි පුද්ගලයාට හා පෞද්ගලිකත්වයට අයිතිවාසිකම් නො වී ය. පූජකවරු හා රජවරු සාමාන්‍ය මිනිසුන් වහලුන් ලෙස සලකමින් ඔවුන් සූරාකමින් ජීවත්වූහ. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි මුල දී පුද්ගලයාට ද අයිතිවාසිකම් තිබිණි. රාජ්‍යයට අසීමිත බලතල ලබාදීමට නූතනත්වය විරුද්ධ වූයේ ඒ බලතල වැඩවසම් රාජ්‍යයට ලැබුණු බැවින් ය. එබැවින් රාජ්‍යයට එරෙහිව පුද්ගලයාගේ මානව අයිතිවාසිකම් යන්න එකල ඇගයීමට ලක්‌ විය. එහෙත් නූතනත්වය තහවුරු වීමෙන් පසු දහනවවැනි සියවසෙන් පසුව මානව අයිතිවාසිකම් යන්න වෙළෙඳ පොළට ගොස්‌ තමන් කැමැති භාණ්‌ඩයක්‌ තෝරා ගැනීමට ඇති අයිතිය දක්‌වා පහත වැටිණි. අද ඇමරිකානුවන්ට සිදු වී අත්තේ වෝල්මාර්ට්‌ වැනි සුපිරි වෙළෙඳ ජාලයක්‌ මගින් ඉදිරිපත් කරන භාණ්‌ඩ අතරෙන් එකක්‌ තෝරා ගැනීමේ මානව අයිතිය පමණකි. එංගලන්තයේ ජනතාවට සිදු වී ඇත්තේ මර්ඩොක්‌ගේ පුවත්පත් මාµsයාව වෙළෙඳ පොළට එවන පුවත්පත් අතරෙන් එකක්‌ මිල දී ගැනීමේ මානව අයිතිය ය.

එහෙත් බටහිරයෝ අපේ රටවල ඊනියා මානව අයිතිවාසිකම් ගැන විශේෂ සැලකිල්ලක්‌ දක්‌වති. ඔවුන් අප වැනි රටවල මානව අයිතිවාසිකම්, භාෂණ නිදහස, සිවිල් සමාජය ආදියෙන් අදහස්‌ කරන්නේ ඔවුන්ගේ ඉත්තන්ට හා ගැත්තන්ට අදහස්‌ ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ය. මේ අදහස්‌ වෙනත් කිසිවකුගේ අදහස්‌ නොව බටහිරයන් පාසල් විශ්වවිද්‍යාල හා ජඩමාධ්‍ය ඔස්‌සේ අපට ලබාදෙන ඔවුන්ගේ අදහස්‌ ය. බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය කිසි දිනෙක යටපත් වී නො ගියේ ය. බටහිරයන් ආසියාවට හතළිහේ දශකයේත් අප්‍රිකාවට හැටේ දශකයේත් යම් දේශපාලන නිදහසක්‌ ලබා දුන් බව පිළිගනිමු. එහෙත් ඔවුහු අප රටවලට සංස්‌කෘතික හෝ ආර්ථික හෝ නිදහසක්‌ ලබා නො දුන්හ. බටහිරයන්ගේ ආර්ථික ලෝකය තුළට අප ගාල් කරගනු ලැබ ඇත. ඔවුන්ගේ සංස්‌කෘතික මතවාද දිනපතා පාසල් විශ්වවිද්‍යාල හා ජඩමාධ්‍ය ඔස්‌සේ අපට ලැබෙයි. අර ලබා දුන් සීමිත දේශපාලන නිදහස පවා ආපසු ලබාගැනීම ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල දේශපාලනයේ අරමුණ බවට පත් වී ඇත. ඔවුන්ට ඔවුන්ගේ දේශපාලනයෙහි අප කොටුකර ගැනීමට අවශ්‍ය වෙයි. ඒ සඳහා ඔවුන්ට අපේ රටවල ඔවුන්ට ගැති ආණ්‌ඩු අවශ්‍ය වෙයි. මේ ගැති ආණ්‌ඩු ඇතිකර ගැනීමට බටහිරයන්ට ඔවුන්ගේ දේශපාලන මතවාද ජනතාව කරා ගෙන යැමට අවශ්‍ය වෙයි. ඒ සඳහා ඔවුහු පසුගිය දශක හතරක පමණ කාලයක්‌ තිස්‌සේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය නිදහස සඳහා වූ සංවිධාන, සිවිල් (සිවල්) සමාජ ආදිය පිහිටුවූහ. ඒ සඳහා ඔවුන්ට මෙරට සිටින ඇංකරයන්ගේ සහාය ලැබිණි. ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට බොහෝ විට මුදල් ලැබෙන්නේ බටහිර රාජ්‍යවලිනි. මේ සංවිධානවලින් කිහිපයකට සුබසාධන කාර්යයන්හි නිරත වීමට ආධාර ලැබෙන්නේ ඔවුන්ගේ පළල් අරමුණ වසා ගැනීම සඳහා ය. අප ඒ නිසා නොමග නොයා යුතු ය.

ලංකාව සම්බන්ධයෙන් ගත්කල අද ඇත්තේ මානව අයිතිවාසිකම් නාඩගමකි. එහි පොතේ ගුරා, රචකයා හා අධ්‍යක්‍ෂ වන්නේ රොබට්‌ බ්ලේක්‌ ය. අද ඔහු නාඩගමේ නළුවකු බවට ද පත්වීමට උත්සාහ කරයි. ලබන සතියේ ජෙනීවා නගරයේ රඟ දැක්‌වෙන ලංකාවට එරෙහි නාඩගමෙහි ඉදිරිපත්වන යෝජනාවලියට පක්‍ෂව ඇමරිකාව ඡන්දය දෙන බව බ්ලේක්‌ පවසන්නේ අපට තර්ජනාංගුලිය ඔසවමිනි. මේ නාඩගමට බම්මන්නකු අවශ්‍ය වී තිබිණි. ඒ චරිතය සඳහා රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා යන දෙදෙනා ම තරග වදිති. දෙමළ කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව කරන ලද මානුෂික මෙහෙයුම්වල දී යුද්ධාපරාධ සිදු වූ බවට තම සුදු කොඩි කතාව මගින් සරත් ෆොන්සේකා චෝදනා කළේ පසුගිය ජනාධිපතිවරණයට කලින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දීය. ඉන්පසු ඔහු රත්නපුරයේ දී ද සුදු කොඩි කතාවක්‌ කළේ ය. ඒ කතාවලට පළමු ඔහු ඇමරිකාවට ගිය බව ද ඔහුට විරුද්ධව ඇමරිකාවේ අධිකරණයකට යොමු කර තිබූ නඩුවක්‌ අස්‌කර ගත් බව ද මෙහි දී සඳහන් කළ යුතු ය.

පසුගිය දා එ.ජා. පක්‍ෂය ආණ්‌ඩුවට චෝදනා කළේ සරත් ෆොන්සේකා සිරගත කර ඇත්තේ ඔහු ජනාධිපතිවරණයට තරග කළ නිසා බව කියමිනි. එහෙත් ආණ්‌ඩුව තවත් ජනාධිපතිධුර අපේක්‍ෂකයකු වූ රනිල් වික්‍රමසිංහ සිරගත කර නැත. සරත් ෆොන්සේකා ආණ්‌ඩුව විසින් සිරගත කරනු ලැබුවෙක්‌ නො වේ. ඔහු අධිකරණ තීන්දු මත සිරගත කෙරී ඇත. ඔහු දේශපාලන සිරකරුවකු නො වේ. ඔහු රටට විරුද්ධව ඊනියා යුද්ධාපරාධ චෝදනා නගා ඇත. ඔහු කලක සිට ක්‍රියා කරන්නේ ඇමරිකාවට හිතවත් වූ ඇමරිකාවේ සාක්‍ෂිකරුවකු ලෙස ය. සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවකු ය යන චෝදනාව ප්‍රධාන වශයෙන් ම එ. ජා. පක්‍ෂයේ "බෝර්න් අගේන්" සංරචකයේ සජිත් ප්‍රේමදාස, රෝසි සේනානායක ආදීන් විසින් කෙරෙන්නකි. ඒ චෝදනාවට එතරම් ක්‍රියාකාරී නොවූවත් යම් සහායක්‌ දීමට රනිල් වික්‍රමසිංහට, ජ. වි. පෙට හා ජනරළට සිදු වී ඇත. එ. ජා. පක්‍ෂය ඔබාමාට පෙත්සමක්‌ භාර දෙමින් කියා සිටියේ ද දේශපාලන සිරකරුවකු වූ සරත් ෆොන්සේකා නිදහස්‌ කළ යුතු බව ය. මේ දේශපාලන සිරකරු යන ප්‍රබන්ධය ඇමරිකාව පිළිගෙන ඇත්නම් ඒ ගැන පුදුම විය යුතු නො වේ. රනිල් වික්‍රමසිංහ කෙතෙක්‌ උත්සාහ කළත් ඔහුට මහින්ද රාජපක්‍ෂ මහතාට විකල්පයක්‌ විය නොහැකි බව ඇමරිකාව දනියි. එබැවින් බ්ලේක්‌ ලා මහින්ද රාජපක්‍ෂ මහතාට විකල්පය වශයෙන් තම නියෝජිතයා ලෙස සරත් ෆොන්සේකා තෝරා ගැනීම පුදුමයක්‌ නො වේ.

දැන් සියල්ල පැහැදිලි ය. අවශ්‍ය වන්නේ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙන් කරන ඉල්ලීම් ය. තෙල් මිල, බස්‌ ගාස්‌තු, විදුලි බිල වැඩිවීම සරත් ෆොන්සේකා නිදහස්‌ කිරීම ආදිය මුල්කර ගෙන ජනතාව උද්ඝෝෂණය කිරීම් කරා තල්ලු කිරීමේ ඉඩකඩ ඇතැයි එතෙර හා මෙතෙර සිටින බටහිර ගැත්තෝ විශ්වාස කරති. ඒ ඔස්‌සේ පොලිසිය හා හමුදාව ප්‍රකෝප කර හැකිනම් වෙඩි තබ්බවාගෙන මානව අයිතිවාසිකම් රැකීමට බටහිරට ආරාධනය කරවා ගැනීම බටහිරයන්ගේ බලාපොරොත්තුව වෙයි. ඒ අතර තවත් හමුදා නිලධාරීන් කිහිප දෙනකුවත් ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් ලංකාණ්‌ඩුවට විරුද්ධව ඇමරිකාවේ සාක්‍ෂිකරුවන් කර ගැනීම බ්ලේක්‌ලාගේ බලාපොරොත්තුව වෙයි. ඇමරිකාව ලංකාවේ ඊනියා අරාබි වසන්තයක්‌ ඇතිකිරීමට සූදානම් වන්නේ ඒ සියල්ල මධ්‍යයෙහි ය. අද බටහිරයන්ට අවශ්‍ය දේශපාලන වශයෙන් තමන්ට අවනත නොවන මහින්ද රාජපක්‍ෂ මහතා දංගෙඩියට යවා ආණ්‌ඩුව වෙනස්‌ කිරීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා සමඟින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද රණවිරුවෝ කිහිප දෙනෙක්‌ ද දංගෙඩි ලැයිස්‌තුවේ වෙති. සරත් ෆොන්සේකා බටහිරයන්ගේ හොඳම නියෝජිතයා වෙයි. එහෙත් රනිල් වික්‍රමසිංහ තම උත්සාහය අත්හැර දමා නැත. ඔහු පාර්ලිමේන්තුවට ආණ්‌ඩුව මානව හිමිකම් රැක නැතැයි කියමින් ඉංගිරිසියෙන් ලියෑවිල්ලක්‌ ඉදිරිපත් කරන්නේ මෙරට ජනතාවගේ සුබසිද්ධිය සඳහා නොව බම්මන්නාගේ චරිතය සඳහා සුදුසුකම් පෙන්වීමට ය. ඔහු ඒ අතර ආණ්‌ඩුව ජෙනීවා නුවර දී බෙදීමට යන ලියෑවිල්ලක්‌ ඇතැයි ද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි ද කියයි. ආණ්‌ඩුව එතෙර සමුළුවලට ඉදිරිපත්කරන සෑම ලියෑවිල්ලක්‌ ම පාර්ලිමේන්තුවට මුලින් ඉදිරිපත් කළ යුතු නො වේ. එහෙත් මෙකී රනිල් වික්‍රමසිංහ ප්‍රභාකරන්ට රටෙන් තුනෙන් දෙකක්‌ ලබාදුන් ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කළේ පාර්ලිමේන්තුවට දන්වා නො වේ. රනිල් වික්‍රමසිංහටවත් සරත් ෆොන්සේකාටවත් මහින්ද රාජපක්‍ෂට විකල්පයක්‌ විය නොහැකි බව බටහිරයෝ නො දනිති. බටහිරයන්ගේ අනුග්‍රහය ලැබූ දෙමළ ජාතිවාදී ත්‍රස්‌තවාදය පැරදවීමට දේශපාලන නායකත්වය දුන් පුද්ගලයාට එරෙහිව බටහිරයන් ආක්‍රමණය කළහොත් ජනතාව කිනම් අමාරුකම් මධ්‍යයෙහි වුවත් ජනාධිපතිතුමාට සහාය දෙන බව බටහිරයන්ටවත් ඔවුන්ගේ ගැත්තන්ටවත් නො වැටහෙයි.

බටහිරයන් මේ සියලු චණ්‌ඩිකම් කරන්නේ දෙමළ ජාතිවාදය උපයෝගි කරගනිමිනි. දෙමළ ජාතිවාදය අද දේශපාලනික ව පවත්වාගෙන යනු ලබන්නේ බටහිරයන් විසිනි. දෙමළ ජාතිවාදය තවමත් වඩුක්‌කොඩෙයි යෝජනා අතහැර දමා නැත. දෙමළ ජනයා වෙන ම ජාතියක්‌ බව 1889 දී බෙදනු ලැබූ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ ඊනියා නිජභූමි බව ආදිය මෙන් ම දෙමළ ජනයාට සිංහලයන්ගෙන් විශාල අසාධාරණයක්‌ සිදු වී ඇති බව ද දෙමළ ජාතිවාදීහු බටහිරයන්ගේ අනුග්‍රහයෙන් පවසති. බටහිරයන් සිංහල ජනතාවට තමන් වරදක්‌ කර ඇතැයි යන හැඟීම් බටහිර ගැති කසිකබල් උගතුන් ලවා ඇතිකර ඇත.

සිංහලයන් මේ බිය නැතිකර ගත යුතු ය. සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණයක්‌ වූවා නොව ඉංගිරිසින් සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන ලබා නොදීමට දෙමළ ජාතිවාදය යොදාගෙන ඇත. මාස තුනකින් අවසන් වන දෙදහස්‌ හයසීයේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අඩු තරමෙන් නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්‌ථාන පිළිසකර කිරීමට විරුද්ධ වන්නෝ සිටිත් ද? සාමාන්‍ය දෙමළ ජනයාට දහතුන්වැනි සංශෝධනයක්‌ අවශ්‍ය නැත.

දහතුන්වැනි සංශෝධනය යනු වඩුක්‌කොඩෙයි හා තිම්පු යෝජනාවලට තාවකාලික විකල්පයක්‌ ලෙස බටහිර ආශිර්වාදය සහිතව ඉන්දියාව විසින් ඡේ. ආර්. ලවා දෙමළ ජාතිවාදී නායකයන්ට දෙන ලද්දක්‌ පමණ ය. දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් යනු බටහිරයන් අපට පෙන්වා දෙන ව්‍යාජයන් නොව ඔවුන්ගේ ජීවිත හින්දු හා බෞද්ධ ආකල්පවලට අනුව යහපත් මට්‌ටමකට ගෙන ඒම ය. ඒ බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදී සංවර්ධනයක්‌ ඔස්‌සේ පාරිභෝගික තණ්‌හාධික එකිනෙකා පරයා නැගී සිටීමට උත්සාහ කරන තරගකාරී සමාජයක්‌ ඇතිකිරීම නො වේ. අපි මානව අයිතිවාසිකම් සඳහා නව අර්ථකථනයක්‌ දෙමු.


-මහාචාර්‍ය නලින් ද සිල්වා
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-02-25

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 2832022903901707803

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item