සමාව හා නිදහස

සරත් ෆොන්සේකා සිරගත වී දෙවසරක්‌ පිරීම නිමිත්තෙන් ඔහු නිදහස්‌ කරන ලෙස බල කරමින් විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්විණි. ෆොන්සේකා නිද...

සරත් ෆොන්සේකා සිරගත වී දෙවසරක්‌ පිරීම නිමිත්තෙන් ඔහු නිදහස්‌ කරන ලෙස බල කරමින් විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්විණි. ෆොන්සේකා නිදහස්‌ කර ගැනීම සම්බන්ධයෙන් ඒ වන විටත් සාකච්ඡා ආරම්භ වී තිබුණු අතර එමගින් විසඳුමක්‌ ලැබෙනු ඇතැයි අනෝමා ෆොන්සේකා ද බලාපොරොත්තු තබාගෙන සිටින බව පෙනේ. ෆොන්සේකා සිර ගෙදරින් නිදහස්‌ කර ගැනීම සම්බන්ධව සාකච්ඡාවක්‌ දෙපාර්ශ්වය විසින් පැවැත්වුවද තවමත් ඔහුට නිදහස පිරිනමන තත්ත්වයක්‌ උදාකරගන්නට එම සාකච්ඡා හේතු වී නැත.

සරත් ෆොන්සේකා නිදහස්‌ කර ගැනීමේදී එහි වැදගත් වන හේතු ගණනාවක්‌ පාර්ශ්ව ගණනාවකට තිබේ.

රටක්‌ ලෙස ගතහොත් සරත් ෆොන්සේකා සිරගත වීම අහිතකර වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් බටහිර රටවල් විසින් එල්ල කර තිබෙන චෝදනාවලට සරත් ෆොන්සේකාගේ සිරගත කිරීම ද මානව හිමිකම් පැත්තෙන් ඉදිරිපත් වී තිබීමය. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම විසින්ම යුද ජයග්‍රහණයට යම් කැළැල්සහගත බවක්‌ උදා කළේය. යුද ජයග්‍රහණයෙන් උදම් වූ පාර්ශ්වවලට සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම කනගාටුදායක කාරණයක්‌ වන විට දෙමළ වර්ගවාදී පාර්ශ්වයන්ට එය සතුට ගෙන දෙන කාරණයක්‌ බවට පත්විය. එතෙක්‌ සරත් ෆොන්සේකා ද පරම සතුරකු බවට පත්කරගෙන සිටි දෙමළ වර්ගවාදය ඔහු මහින්ද රාජපක්‍ෂට එරෙහිව මැතිවරණයට ඉදිරිපත් වෙත්ම ඔහුගේ පැත්ත ගත්තේය. එය සරත් ෆොන්සේකාට ඇති ආදරයකින් කරන ලද්දක්‌ නොව, තමන්ගේ සතුරු පාර්ශ්වයේ බිඳීමක්‌ ඇතිවීමෙන් පසු තම පාර්ශ්වයට ඉන් වාසි ලබාගැනීමට කරන ලද්දකි. කරුණා අම්මාන් එල්. ටී. ටී. ඊ. යෙන් ඉවත්ව ආණ්‌ඩුව සමඟ සම්බන්ධ වීම වැනි තත්ත්වයක්‌ සරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී මහින්දට එරෙහිව තරග කිරීමෙන් තමන්ට අත්කර ගත හැකි වෙතැයි දෙමළ වර්ගවාදය කල්පනා කළා විය හැකිය. සරත් ෆොන්සේකා විසින් ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැස්‌වීම්වලදී සුදුකොඩි කතාව ප්‍රකාශ කිරීම විසින් යුද අපරාධ චෝදනා සඳහා අවැසි පරිසරය බටහිරට හා දෙමළ වර්ගවාදයට ලබා දුන්නේය. එයම සරත් මැතිවරණයට ඉදිරිපත් වීමෙන් තමන්ට ලැබුණු ඉහළම වාසියක්‌ බවට දෙමළ වර්ගවාදය හඳුනාගන්නට ඇත. එසේම රටේ අසහාය යුද වීරයා වූ කලක්‌ ආණ්‌ඩුව විසින්ම ලෝකයේ හොඳම යුද හමුදාපති ලෙස නම් කළ සරත් ෆොන්සේකා නිකමෙකු බවට පත්කරමින් පමණක්‌ නොව සොරෙකු බවට ද චෝදනා කරමින් ආණ්‌ඩුව විසින් ඔහුට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ යුද්ධය ජයගත් පාර්ශ්වය දෙකට බෙදී ඇන කොටා ගැනීම දෙමළ වර්ගවාදයට යළිත් හිස එසවීමට ශක්‌තියක්‌ විය. සරත්ගේ වෙන්වීම විසින් දෙමළ වර්ගවාදය එවැනි තත්ත්වයකට පත්වන අතරේම අද සරත්ගේ සහ ආණ්‌ඩුවේ බේදය අවුලවමින් යුද අපරාධ චෝදනා ගොනුකර ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්නට සැලසුම් සකස්‌ කරමින් ද තිබේ. සරත් ෆොන්සේකා නිදහස ලබා, යුද ජයග්‍රහණය අවලංගු නොවන පරිදි ආණ්‌ඩුව සමඟ ඇති දේශපාලන විරුද්ධතාවකට ගියහොත් එය මේ අවස්‌ථාවේ වාසියක්‌ වන්නේ රටටය. සරත්ට නිදහස ලැබීමත් සමඟ ආණ්‌ඩුව හා සරත් අතර දේශපාලන විරසකය ඉතිරි වුවත් දෙමළ වර්ගවාදයට එරෙහිව දෙපිරිස විසින් සිටිනා ස්‌ථාවරය එකක්‌ වී යුද ජයග්‍රහණය තවදුරටත් තහවුරු කරගන්නා තැනකට ගියහොත් එය රටට මේ මොහොතේ අවශ්‍යම තත්ත්වයය.

සරත් ෆොන්සේකාගේ පැත්තෙන් බැලුවත් ඔහු අද සිටින්නේ නිදහස අවශ්‍යම තැනකය. පුද්ගලයකු ලෙස සිරගතවීමේ වේදනාවෙන් පෙළෙනා අතරේම දේශපාලනික වශයෙන් ද සරත්ට ලැබී ඇත්තේ සිරගතවීම තුළින් සීමාවකට ගොනු වීමටය. තමන් උසාවියට හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන යන අතරතුර රූපවාහිනි කැමරාවලට, බන්ධනාගාර නිලධාරීන්ගේ බාධා මැද ප්‍රකාශ කරන වාක්‍ය දෙක තුන තුළ තමන්ගේ දේශපාලන ප්‍රකාශනය සිරකර ගැනීමට ෆොන්සේකාට අද සිදු වී තිබේ. සිරගතවීම තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පමණක්‌ නොව දේශපාලන ක්‍රියාකාරකම හා දේශපාලන ප්‍රකාශය ද සිරගත කිරීමට සිදුවීම තුළ සරත්ට තමන්ගේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කළ හැකි දෙයක්‌ නොමැති තත්ත්වයකට පත්වීමට සිදුව තිබේ. අනිත් අතට සරත් ෆොන්සේකාගේ දේශපාලන පක්‍ෂයට අද සිදුව තිබෙන්නේ තමන්ගේ දේශපාලන මතය රටට ගෙන යනවා වෙනුවට තමන්ගේ මුළු දේශපාලන ශක්‌තියම සරත් නිදහස්‌ කරගන්නා ව්‍යායාමයන් බවට පත්කර ගැනීමටය. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස සරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණද අද ඔහු නිදහස්‌ කර ගැනීම වෙනුවෙන් ඒ සියලු පක්‍ෂ එකාකාරයෙන් කටයුතු කරන්නේ නැත. සරත් ෆොන්සේකා සිරගත කර වසර දෙකක්‌ පිරීම නිමිත්තෙන් පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවට එජාපය සහභාගි නොවීය. තමන්ට ඒ සඳහා ආරාධනාවක්‌ නොමැති හෙයින් එයට සහභාගි නොවූ බවට එජාපය පැත්තෙන් පිළිතුරු ලැබුණමුත් එයින් පෙනී යන්නේ සරත් පොදු අපේක්‍ෂකයා වන විට එක තැනක සිටි පක්‍ෂ, සරත් නිදහස්‌ කර ගැනීම වෙනුවෙන් එක්‌ තැනක සිට කටයුතු නොකරන බවය. මේ නිසා ආණ්‌ඩුව සමඟ සාකච්ඡා මේසයකට විත් නිදහස හිමිකර ගන්නා තැනකට ෆොන්සේකා යොමුවීම ඔහුගේ පැත්තෙන් ගත් විට ඥනාන්විත පියවරකි. විපක්‍ෂයේ දුබලතාවය හේතුකොටගෙන සරත් නිදහස්‌ කර ගැනීමේ සටන ද දුබල වී තිබෙන බව පසුගිය සතියේ අනෝමා ෆොන්සේකා මාධ්‍යයට ලබාදුන් සාකච්ඡාවලදී පිළිගෙන තිබේ. එවැනි විටක ෆොන්සේකා පාර්ශ්වයට ඇති එකම විසඳුම බවට පත්වන්නේ ද සාකච්ඡාවෙන් නිදහස ලබාගැනීමය.

ආණ්‌ඩුව පැත්තෙන් ගත්ත ද අද ඔවුනට තිබෙන ප්‍රධාන හිසරදයක්‌ වී ඇත්තේ ෆොන්සේකා සිරගතව සිටීමය. දේශපාලන විරුද්ධවාදියා සිරගත කර තිබෙන බවට ලෝකයෙන්ම එල්ල වී තිබෙන චෝදනාව මගින් ආණ්‌ඩුවට අවසානයේ ගොනුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් නැති රටක්‌ තත්ත්වයට ජාත්‍යන්තරයේදී පත්වීමය. විපක්‍ෂයට ආණ්‌ඩුව පෙරළා ගැනීමට නොහැකි මට්‌ටමක සිටින විට ජාත්‍යන්තර බලපෑම මගින් ආණ්‌ඩුව පෙරළන තත්ත්වයක්‌ උදාකරලන්නට විපක්‍ෂය ද සමත්ය. ඒ සඳහා යුද අපරාධ, මානව හිමිකම් කැඩීම වැනි චෝදනා බටහිර රටවල් මෑත ඉතිහාසයේදී විශාල ලෙස උපයෝගී කරගෙන තිබේ. ශ්‍රී ලංකාවට එවැනි චෝදනා ගොනු කිරීමේදී බටහිරයන් මුලටම ගන්නේ යුද අපරාධය. ඒ සාධකය සඳහා බටහිරයන්ගේ සාක්‍ෂිය වන්නේ සරත් ෆොන්සේකා විසින් කරන ලද සුදු කොඩි කතාවය. බටහිරයන්ගේ සාක්‍ෂියක්‌ බවට ෆොන්සේකා පත්වුවහොත් එය ජාත්‍යන්තරයේදී මෙන්ම තවදුරටත් ආණ්‌ඩු කිරීමේදී ද ආණ්‌ඩුවට හොඳ වන්නේ නැත. ෆොන්සේකා නිදහස්‌ කිරීම හරහා ඇතිවන සම්බන්ධය මගින් ෆොන්සේකා තවදුරටත් බටහිරයන්ගේ සාක්‍ෂියක්‌ වීම වැළැක්‌වීමට වුවද ආණ්‌ඩුවට හැකියාව ලැබෙනු ඇත.

ආණ්‌ඩුව අද පසුකරමින් තිබෙන්නේ පහසු අවස්‌ථාවක්‌ය. තමන් අද මුදුනේ සිටියත් හෙට වන විට එවැනි පහසු තත්ත්වයකින් ආණ්‌ඩු කිරීමේ හැකියාව නොලැබෙන්නට ඉඩ තිබෙන බව දේශපාලනයේ මෙතෙක්‌ පැවැති සිද්ධි අනුව ආණ්‌ඩුවට අවබෝධ කරගත හැකිය. එවන් අවස්‌ථාවක ෆොන්සේකා නියමිත ලෙස සිර දඬුවම් අවසාන වී දේශපාලන කරලියට පැමිණියහොත් එය ආණ්‌ඩුවට තවත් පීඩනයක්‌ වන අතර ආණ්‌ඩුවට විරුද්ධව දෙවැනි වතාවට ද ෆොන්සේකා ඉදිරියට ගෙන ඒමට ආණ්‌ඩු විරෝධී සියලු බලවේග ඉදිරිපත් වනු ඇත. අනාගතයේ අසීරු තත්ත්වයකට ආණ්‌ඩුව මුහුණ දෙන විට ෆොන්සේකා යළිත් ප්‍රතිවාදියා වීම ආණ්‌ඩුවට නතර කර ගත හැක්‌කේ, තමන් මුදුනේ සිටින විට ෆොන්සේකා එළියට දැමීම තුළිනි. ෆොන්සේකා ද කාලයාගේ ඇවෑමෙන් සාමාන්‍ය දේශපාලනඥයකුගේ තත්ත්වයට පත්වීම තුළින් එම අභියෝගයෙන් ද ආණ්‌ඩුවට ගැලවීමට හැකිවනු ඇත.

රට පැත්තෙන් ගත්තත්, ආණ්‌ඩුව පැත්තෙන් හා ෆොන්සේකාගේ පැත්තෙන් බැලුවත් ෆොන්සේකා හිරෙන් නිදහස්‌ වීම උදා කරන්නේ සුබදායී තත්ත්වයකි. එසේ තිබියදීත් ෆොන්සේකාට නිදහස නොලැබී තිබෙන්නේ ඇයි?
ෆොන්සේකාට නිදහස ලබාදීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයා අතේය. ආණ්‌ඩුව පාර්ශ්වයෙන් ෆොන්සේකා නිදහස්‌ කර ගැනීම ගැන කතා කරන නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ නිදහස සඳහා ෆොන්සේකා හෝ පවුලේ කෙනකු නිදහස ඉල්ලිය යුතු බවය. නමුත් අනෝමා ෆොන්සේකා පවසා ඇත්තේ තමා හා සැමියා එකට මළත් සමාව නොඉල්ලන බවය. මෙම ප්‍රකාශ දෙක බැලූ විට පෙනී යන්නේ, යාදෙක නොරත රත සේ බවය. එසේ නම් ෆොන්සේකාට නිදහස ලැබෙන්නේ නැද්ද?

ආණ්‌ඩුව පැත්තෙන් කියා ඇත්තේ නිදහස ඉල්ලන ලෙසය. ෆොන්සේකා පාර්ශ්වය කියන්නේ කිසිදා සමාව නොඉල්ලන බවය. මෙතැනදී භාවිත වී ඇත්තේ වෙනත් අර්ථ සහිත වචන දෙකකි. නිදහස හා සමාව යනු දෙකකි. ෆොන්සේකා පාර්ශ්වය ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලිය යුතු යෑයි ආණ්‌ඩුව කියන්නේ නැත. ආණ්‌ඩුව කියන්නේ ඉල්ලිය යුත්තේ නිදහස බවය. නිදහස ඉල්ලා සිටීමට තමන් අකමැති බව ෆොන්සේකා පාර්ශ්වය ද කියා නැත. එසේ නම් දැන් කළ යුත්තේ නිදහස ඉල්ලීමට ෆොන්සේකා පාර්ශ්වය යැමය. එයින් ෆොන්සේකා පාර්ශ්වයට අත්වන වාසි ද තිබේ. නිදහස ඉල්ලීම හේතුවෙන් "ෆොන්සේකා වරදක්‌ කර නැති නිසා සමාව ඉල්ලන්නේ නැහැ" යන එම පාර්ශ්වයේ ප්‍රතිපත්තියට ගැටලුවක්‌ ඇතිවන්නේ නැත.
ෆොන්සේකාට එම ඉල්ලීම තුළ නිදහස ලැබුණහොත් එය ඔහුගේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ද ලැබෙන ඉඩක්‌ බවට පත්වෙනු ඇත. එසේම ෆොන්සේකා පාර්ශ්වය නිදහස ඉල්ලා ආණ්‌ඩුව එය ප්‍රදානය නොකළහොත් "ආණ්‌ඩුවට කිසිම ප්‍රතිපත්තියක්‌ නැහැ. අපි ආණ්‌ඩුව කියන විදියට නිදහස ඉල්ලුවා ඒත් ලැබුණේ නැහැ" යනුවෙන් තත්ත්වය ජනතාවට පැහැදිලි කළ හැකිය. තවදුරටත් නිදහස හා සමාව යන වචන දෙක සමඟ රණ්‌ඩුවීම වෙනුවට, එම වචන දෙකේ වෙනස මගින් ෆොන්සේකා නිදහස්‌ කර ගන්නා තැනකට යැම රටටත්, ආණ්‌ඩුවටත්, ෆොන්සේකාටත් හොඳය. එය නරකක්‌ වන්නේ ෆොන්සේකා සිරගත කර තැබීම ආණ්‌ඩු විරෝධී සටන් පාඨයක්‌ සටනක්‌ බවට පත්කර ගන්නා දේශපාලන ව්‍යාපාරවලට හා තමන් අභිබවා ෆොන්සේකා ඉදිරියට ඒ යෑයි සිතා සිටින විරුද්ධ පක්‍ෂයේ දේශපාලන කණ්‌ඩායම්වලට පමණය.

මනෝඡ් අබයදීර
උපුටා ගැනීම
දිවයින
2012-02-15 

Related

මනෝජ් අබයදීර 3479334668476473122

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item