ක්‍රිෂ්ණා ඇමැතිගේ පණිවුඩය කුමක්‌ද?

-චතුර පමුණුව ටෙනිස්‌ ක්‍රීඩාවට ප්‍රියකරන 80 හැවිරිදි ඉන්දීය විදේශ ඇමැති සෝමානාහල්ලි මලයාහ් ක්‍රිෂ්ණා සිව්දින නිල සංචාරයකින් අනත...

-චතුර පමුණුව
ටෙනිස්‌ ක්‍රීඩාවට ප්‍රියකරන 80 හැවිරිදි ඉන්දීය විදේශ ඇමැති සෝමානාහල්ලි මලයාහ් ක්‍රිෂ්ණා සිව්දින නිල සංචාරයකින් අනතුරුව නැවත දිල්ලිය බලාගොස්‌ ඇත. මේ ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ දෙවන ශ්‍රී ලංකා ගමනයි. ඔහු 2010 නොවැම්බර් මාසයේදීත් ශ්‍රී ලංකාවට පැමිණ හම්බන්තොටදී ස්‌ථාපනය කෙරුණු ඉන්දීය කොන්සල් කාර්යාලය විවෘත කර යාපනයේත් නිවාස ව්‍යාපෘතියකට මුල්ගල් තබා ආපසු යන්නට ගියේය. පසුගිය සතියේදී ක්‍රිෂ්ණා ඇමැති මුල්වරට කිලිනොච්චියේ සංචාරයක නිරත විය. මීට වසර කිහිපයකට පෙර නම් ඉන්දීය විදේශ ඇමැති තබා ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුටත් කිලිනොච්චියේ සංචාරය මහා භයංකාර සිහිනයක්‌ බඳුවිය. ඒ තත්ත්වය අද සහමුලින්ම වෙනස්‌ වී ඇත. කිලිනොච්චියේ අරිවියනල් නගර් වෙත ගිය ඉන්දීය විදේශ අමාත්‍යවරයා එරටින් සැපයු ආධාර මත ඉදිවූ නිවාස ව්‍යාපෘතියක්‌ විවෘත කර එය යුද්ධයෙන් අවතැන්වූ දෙමළ වැසියන්ට භාර දුන්නේය. ඉන්දියාව උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිවාස පනස්‌දහසක්‌ ඉදිකිරීමට භාරගෙන ඇති අතර ඒ යටතේ මුලින්ම ඉදිවුණු නිවාස මෙසේ ජනතා අයිතියට පත්කර ඇත. තමිල්නාඩුවේ දේශපාලන බලවේග සතුටු කළ යුතු නිසා ඉන්දීය මධ්‍යම රාජ්‍ය උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාවගේ යහපත පිළිබඳව වඩා උනන්දුවෙයි. ඒ ගැන අපට දොසක්‌ කීමට නොහැකිය. එහෙත් ඉන්දියාවට අවශ්‍ය පරිදි ඉඩම් හා පොලිස්‌ බලතල උතුරු නැගෙනහිර පළාත්වලට ලබා දෙන්නට නම් නොහැකිය.

දෙමළ අභිලාෂයන් මුදුන්පත්වන දේශපාලන විසඳුමක්‌ ලබාදෙන්නැයි ඉන්දියාව නිතරම ශ්‍රී ලංකාවට බලකරයි. ඉකුත් අඟහරුවාදා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා හා එස්‌. එම්. ක්‍රිෂ්ණා මහතා අතර පැවැති සාකච්ඡාව පැය එකහමාරක්‌ දක්‌වා දික්‌විය. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවට මෙහිදී ජනපතිවරයා ඉන්දීය රජයට පොරොන්දුවී ඇත. එහෙත් මෙය තරමක්‌ ප්‍රශ්නකාරී තත්ත්වයකි. දෙමළ ජනතා අභිලාෂයන් පෝෂණය කිරීමට සිංහල මහා ජාතිය බිල්ලට දිය යුතුද යන බරපතල ප්‍රශ්නය පැන නගී. එදා 1987 ජුලි 29 වැනිදා මුළු රටම ගිනි ගනිද්දී රජිව් ගාන්ධි හා ඡේ. ආර්. ජයවර්ධන දෙපල ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේද දෙමළ අභිලාෂයන් මුදුන්පමුණුවන විසඳුමක්‌ ලබාදීම වෙනුවෙනි. එහෙත් පළාත් සභා නිසා දෙමළ අභිලාෂයන් සම්පූර්ණ වීද? ඇත්තෙන්ම නැගෙනහිර පළාතට පළාත් සභා මැතිවරණයක්‌ද පැවැත්වීමට හැකිවුණේ ප්‍රභාකරන්ගේ බලය එම පළාතෙන් සම්පූර්ණයෙන්ම තුරන්වූවාට පසුව නොවේද. මේ ගිවිසුම අත්සන් කිරීම ඉන්දියාවට පාරා වළල්ලක්‌ විය. තමිල්නාඩුවේදී රජිව් ගාන්ධි කොටි බෝම්බකාරියක වූ ධනුට බිළිවූයේද මේ නිසාය. ශ්‍රී ලංකාවේ සාමය රකින්නට ලංකාවට එවූ ඉන්දීය සාම සාධක සෙබළු 1200 කට කොටි ප්‍රහාර නිසා දිවි පුදන්නට සිදුවිය. 87 දී අතපුච්චගත් ඉන්දියාව 2006 - 2009 කාලයේදී සිව්වැනි ඊළාම් යුද්ධය ක්‍රියාත්මක වන විට නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කළේය. එම නිසා රජිව් ගාන්ධි ඝාතනයට වගකිවයුතු වේලුපිල්ලේ ප්‍රභාකරන්ද නන්දිකඩාල් කලපුවේදී මරාදැමීමට ආරක්‍ෂක හමුදාවට හැකිවිය.

දෙමළ ජනතාවට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය දැන් සුරක්‌ෂිත කර ඇත. ඔවුනගේ පාසල් යන දරුවන් පැහැරගෙන යන ත්‍රස්‌තයින් අද ජීවතුන් අතර නැත. දැන් දෙමළ අභිලාෂය සනසන "දේශපාලන විසඳුමක්‌" ලබාදෙන්නැයි 80 හැවිරිදි ක්‍රිෂ්ණා ලංකාවට බලකරයි. දෙමළ සන්ධානය ඉඩම් හා පොලිස්‌ බලතල නැති විසඳුමකින් අපට පලක්‌ නැති බව දෙමළ සන්ධානය කියයි.

1987 දී බලෙන් පැටවූ පළාත් සභා සුදු අලියෙක්‌වී ඇත. දෙමළ සන්ධානය ඉල්ලන්නේ අර්ධ ස්‌වයං පාලනයකි. ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් දෙමළ සන්ධානයට ඡන්දය දී ඇත්තේ 4% ක්‌ පමණි. මේ සියයට හතරේ මාරාන්තික ඉල්ලීම්වලට 96% ක්‌ බිළිදෙනවාද යන්න රජය සිතා බැලිය යුතුයි.

ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට පෙර කියා තිබුණේ ඉඩම් හා පොලිස්‌ බලතල පළාත් සභාවලට නොදෙන බවයි. එහෙත් ක්‍රිෂ්ණා ඇමැති හමුවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බව පවසා ඇත. ඒ අනුව රජය ඇත්ත කියන්නේ ඉන්දියාවටද? එසේ නැත්නම් රටේ ජනතාවට දැයි උභතෝකෝටිකයක්‌ පැනනගී. දෙමළ ජනතාවට ප්‍රශ්නයක්‌ ඇත්නම් එය විසඳීමේ සුජාත අයිතිය ඇත්තේ කොළඹ රජයට මිස දිල්ලි ආණ්‌ඩුවට නොවේ. දිල්ලිය මේ ගැන උනන්දුවන්නේ තමිල්නාඩු දේශපාලනයේ උණුසුම නිසාය. එහෙත් දෙමළ ජනතාවට තිබූ බරපතලම ප්‍රශ්නය 2009 මැයි 19 වැනිදායි පසු විස¹ ඇත. දැන් ඔවුනට නිදහසේ සිය දරුමල්ලන් පෝෂණය කරමින් සිය ජීවිකාව කරගෙන ජීවත්විය හැක. කිලිනොච්චි සාමාන්‍ය වැසියන්ට අවශ්‍ය නොවන ඉඩම් හා පොලිස්‌ බලතල අවශ්‍ය වී ඇත්තේ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ටය. දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගේ අභිලාෂ හෝ ඔවුන්ගේ සිතේ ඇති කලකිරීම් දුරු කරලන්නට ඉඩම් හා පොලිස්‌ බලතල බෙදීමෙන් පලක්‌ වන්නේ නැත. එසේ සිදුවුවහොත් රට නැවත කැරැල්ලකට යටත්වීමටත් ඉඩ ඇත. මියගිය කොටින්ට ප්‍රාණවායුව පිණිස දේශපාලන විසඳුම් ලබා දෙන්නට ගියහොත් නැවතත් රටේ අරාජික තත්ත්වයක්‌ ඇතිවීම වැලැක්‌විය නොහැක. ක්‍රිෂ්ණා ඇමැති සතුටුකිරීම වෙනුවෙන් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු නැත.

ඒකීය රටක්‌ වෙනුවෙන් ජනවරම දිනාගත් සන්ධාන ආණ්‌ඩුවට 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සදාචාරාත්මක අයිතියක්‌ද නැත. ඒ නිසා ලැබුණු ජනවරමට පයින් ගසා ඉන්දියාවට අවශ්‍ය විසඳුම් සකස්‌ කිරීමද නවතා දැමිය යුතුය. කොටි පරාජය කිරීමේ ගෞරවය හිමිකරගත් සන්ධාන ආණ්‌ඩුව ඒ ගෞරවයට තාර ගා ගැනීම සඳහා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තරම් අමනෝඥ විය යුතු නැත. ක්‍රිෂ්ණා ඇමැති නැවත දිල්ලියට ගියත් ඉදිරියේදී එරට විපක්‍ෂ නායිකා ශුෂ්මා ස්‌වරාඡ් ලංකාවට පැමිණීමට නියමිත බව හින්දු පුවත්පත ප්‍රකාශ කර තිබිණි. ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායිකාව සමඟ එරට මන්ත්‍රී කණ්‌ඩායමක්‌ද ලංකාවට පැමිණීමට නියමිතය. භාරතීය ජනතා පක්‍ෂයේ නායිකාවක්‌ වන ශුෂ්මා ස්‌වරාඡ් මෙරට පැමිණි කියන්නේ කවරක්‌ද? ඇයත් බලය බෙදීම ගැන කථා කරනු ඇත. එහෙත් උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක්‌ ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම ලාංකිකයන්ගේ කැමැත්ත මත සිදුවිය යුත්තකි. ඒ සඳහා ඉන්දීය බලපෑම් හෝ උපදෙස්‌ අවශ්‍ය නැත.

චතුර පමුණුව

උපුටා ගැනීම
දිවයින
2012-01-22

Related

චතුර පමුණුව 3736421460963178982

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item