කැලණි අපලය
-මනෝජ් අබයදීර ජනවාරි මාසය කැලණියට වැදගත් වන්නේ, දුරුතු පොහොය හා කැලණි විහාරය අතර තිබෙන සම්බන්ධය නිසාය. දුරුතු පොහොය දිනයේ පැවැ...
http://weadikawa.blogspot.com/2012/01/blog-post_17.html
-මනෝජ් අබයදීර
ජනවාරි මාසය කැලණියට වැදගත් වන්නේ, දුරුතු පොහොය හා කැලණි විහාරය අතර තිබෙන සම්බන්ධය නිසාය. දුරුතු පොහොය දිනයේ පැවැත්වෙන පෙරහැර නිසා එදින කැලණියට සැදැහැවතුන් පැමිණෙන්නේ අන් පොහෝ දිනයන්ට වඩා කිහිප ගුණයක් වැඩියෙනි. 2012 දුරුතු මාසයේදී කැලණියට රටේ වැඩි අවධානයක් හිමිව තිබෙන්නේ, දුරුතු පොහොය හා කැලණි විහාරය අතර තිබෙන සම්බන්ධය නිසා නොව කැලණිය ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ආචාර්ය මර්වින් සිල්වා හා කැලණිය ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමි එ.ජ.නි.සයේ මන්ත්‍රීවරු අතර ඇති වී තිබෙන අරගලය නිසාය. මර්වින් සිල්වා හා කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු අතර අරගලය සාමාන්‍යයෙන් ආසන සංවිධායකවරයකු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අතර ඇතිවන තත්ත්වයට වඩා ඔබ්බට ගොස් තිබේ. මර්වින් සිල්වාගේ ක්‍රියාකලාපය විසින් රටට ගෙනදුන් අප්පිරියාවත්, ඒ හේතුවෙන් ප්‍රබල රාජපක්‍ෂ ආණ්‌ඩුව ඇතිකරගත් කැළලත්, කැලණියේ ඇතිවී තිබෙන තත්ත්වය ප්‍රාදේශීය දේශපාලන ප්‍රශ්නයකින් ඔබ්බට ගොස් ජාතික තලයේ මාතෘකාවක් බවට පත්කරනු ලැබීය.
දේශපාලන ඉතිහාසය බැලූ විට කැලණිය අර්බුද නිර්මාණය කළ භූමියකි. කැලණියේ දේශපාලනය කළ පුද්ගලයන් සියලු දෙනාම පාහේ මේ අපලයට හිමිකම් කීවේය. ජාතික තලයේ දේශපාලනයට පැමිණ දිගු ගමනක් යැමට සිටි පුද්ගලයන් බොහෝ දෙනකුම කැලණියේ මේ අපලයට ගොදුරු විය. අද මර්වින්ට ලබා තිබෙන්නේ ද ඒ කලදසාවම දැයි සිතෙන්නේ මර්වින් මෙන් නොව ජාතික තලයේ ප්‍රමුඛ තනතුරුවලට පත්විය හැකිව තිබූ දේශපාලන චරිත කැලණි අපලයට ගොදුරු වූ ආකාරය බැලීමේදීය.
1931 වර්ෂයේ රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා පැවැත්වූ පළමු මැතිවරණයේදී කැලණිය ආසනය නිතරගයෙන් ජයගත්තේ ඩී. බී. ජයතිලකය. 1936 වර්ෂයේ මැතිවරණයේදී ද ඔහු නිතරගයෙන්ම කැලණියට පත්විය. මෙම කාලය රට යටත් විජිතයක්‌ව තිබූ අවධිය හෙයින් ස්‌වදේශිකයන් දේශපාලන නියෝජිතයකුට හිමි වූ ඉහළම තනතුර වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායකත්වයය. 1931 දී හා 1935 දී මෙම තනතුර හිමිකර ගැනීමට ඩී. බී. ජයතිලකට හැකිවිය. ඔහුට රට තුළ තිබූ මෙම තත්ත්වය හේතුවෙන් නිදහස් ශ්‍රී ලංකාවේ පළමුවැනි අගමැති ලෙස ජයතිලක පත්වෙනු ඇතැයි රටේ බහුතරයේ අපේක්‍ෂාව වී තිබිණි. කැලණියේ අපලයට බිලිවීම නිසාදෝ ඔහුට එම අවස්‌ථාව අහිමිව ගියේය. ඒ වෙනුවට ඔහුට තානාපති තනතුරකින් සෑහීමට පත්වන්නට සිදුවිය. 1943 අප්‍රියෙල් මහ මැතිවරණයේදී කැලණිය ආසනය ජයග්‍රහණය කළේ ඡේ. ආර්. ජයවර්ධනය. 1947 නැවත වරක් කැලණිය ජයග්‍රහණය කරමින් ලංකාවේ පළමු මුදල් ඇමැති බවට ඡේ. ආර්. පත්විය. 1952 දී නැවතත් ඡේ. ආර්. කැලණිය ජය ගත්තේය. 1956 දී ඡේ. ආර්. කැලණිය ආසනයෙන් පරාජය විය. ඥති සොහොයුරු ආර්. ජී. සේනානායක විසින් ඡේ. ආර්. ට මෙම ඉරණම අත්කර දුන්නේය. 1960 මාර්තු මැතිවරණයට ඡේ. ආර්. යළිත් කැලණියෙන් ඉදිරිපත් විය. එවර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ දළුගම සුළු නගර සභාවේ සභාපති වූ ආර්. එස්. පෙරේරාය. වැඩි ඡන්ද 1509 කින් ඡේ. ආර්. ජයග්‍රහණය කර තිබිණි. නමුත් ඔහු ලබාගෙන තිබුණේ 37% ක ඡන්ද ප්‍රතිශතයකි. ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වූ ආර්. එස්. පෙරේරා ප්‍රාදේශීය දේශපාලකයෙක් වූ අතර ඡේ. ආර්. ඒ වන විටත් රටේ ජාතික තලයේ සිටි ප්‍රධාන දේශපාලන චරිතයක් විය. 1509 ක් වැනි අල්ප වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ආසනය ජයගත්ත ද තමන් මුහුණපා තිබෙන තත්ත්වය ඡේ. ආර්. තේරුම් ගත්තේය. සෙසු අපේක්‍ෂකයන් පස්‌දෙනා එක් පෙරමුණකට ගොනු වී තමාට ද්වන්ද සටනකට මුහුණ දීමට සිදුවූයේ නම් යළිත් අත්විඳීමට සිදුවන්නේ Z56 තත්ත්වයම බව ඡේ. ආර්. ට වැටහිණි. ශ්‍රීලනිපය හා වාමාංශික පක්‍ෂ අතර සන්ධානගත වීමක් සිදු වී එවැනි පරාජයකට මුහුණපෑමට පෙර ඡේ. ආර්. කැලණියට ආයුබෝවන් කියා දකුණු කොළඹ සිය ආසනය කරගත්තේය. කැලණි අපලයෙන් ඡේ. ආර්. ගැලවුණේ එසේය. යම් හෙයකින් දිගටම කැලණිය සිය කොට්‌ඨාසය කරගන්නට ඡේ. ආර්. තීරණය කළා නම් ඔහුගේ නම ලියවෙන්නට තිබුණේ දේශපාලන පරාජිතයන්ගේ ලැයිස්‌තුවේය.
1960 ජූලි, 1965, 1970 යන වර්ෂවල පැවැත්වූ මහ මැතිවරණවලදී කැලණිය ජයගත්තේ ශ්‍රීලනිපයේ ආර්. එස්. පෙරේරාය. ඔහුට ශ්‍රීලනිප ආණ්‌ඩුවේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති තනතුර හිමිවිය. 1977 දී කැලණිය ආසනය ජයගත්තේ සිරිල් මැතිව්ය. ඔහු ඡේ. ආර්. ජයවර්ධනගේ පුද්ගලික හිතවතකු ද විය. ඡේ. ආර්. ගේ ආණ්‌ඩුවේ කර්මාන්ත ඇමැතිධුරය මැතිව්ට හිමිවන අතර 1987 දී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එක් කරනු ලැබූ 13 වැනි සංශෝධනයට එරෙහිව මැතිව් ඡන්දය පාවිච්චි කළේය. පළාත් සභා හරහා ඊළමට ව්‍යවස්‌ථාපිත පාරක් ඇතිවන වග දුටු මැතිව් ඊට එරෙහිව ඇමැතිවරයෙක් ලෙස ඡන්දය පාවිච්චි කිරීම හේතුවෙන් ඡේ. ආර්. විසින් ඔහු ඇමැති තනතුරෙන් ඉවත් කර දැමීය. මැතිව්ගේ දේශපාලනය එතැනින්ම කෙළවර වූයේ කැලණි අපලයේ තවත් බිල්ලක් බවට ඔහු ද පත්වෙමිනි.
1989 දී ආසන ක්‍රමය වෙනුවට සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් පත්වුවත් ඒ ඒ පක්‍ෂ විසින් ආසන මට්‌ටමෙන් සංවිධායකයන් පත්කර තිබිණි. ඔවුන් දිස්‌ත්‍රික්‌කයෙන් ජයග්‍රහණය කර තමන් පක්‍ෂයෙන් පත්කරන ලද ආසනය මුල්කර ගනිමින් කටයුතු කළේය. ඒ අනුව කැලණියට ශ්‍රීලනිපයෙන් ජිනදාස නන්දසේන වැනි මන්ත්‍රීවරු පත්වුවත් ඔවුන්ට ජාතික තලයේ දේශපාලන චරිත වන්නට වරම් ලැබුණේ නැත. කැලණියෙන් ජාතික තලයේ දේශපාලන චරිතයක් මතුවූයේ ශ්‍රීපති සූරියආරච්චිගෙන්ය. 2005 මහින්ද රාජපක්‍ෂ බලයට ගෙන ඒමට කටයුතු කළ ශ්‍රීලනිප සුළු පිරිසෙන් කෙනකු වූ ශ්‍රීපති, ඉන්පසුව මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුවට එරෙහිව සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීපති දැරූ ඇමැතිකමෙන් ඔහු ඉවත් කළ අතර, ඔහු හා මංගල සමරවීර ශ්‍රීලනිපයෙන් ඉවත්ව විපක්‍ෂයේ මන්ත්‍රීවරු ලෙස රාජපක්‍ෂ ආණ්‌ඩුවට එරෙහිව කටයුතු කරන්නට වූහ. දේශපාලන වශයෙන් ශ්‍රීපති බිමට වැටුණා සේම හදිසි අනතුරකින් ජීවිතය නැතිවීමෙන් ද කැලණි අපලයට ඔහු ද ගොදුරු විය. ශ්‍රීපති විපක්‍ෂයට යැමෙන් පසු කැලණියට ශ්‍රීලනිපයෙන් පත්වන සංවිධායකවරයා වන්නේ මර්වින් සිල්වාය. ශ්‍රීපති ශ්‍රීලනිපයෙන් කැඩී ගොස් ආණ්‌ඩුව විවේචනය කරමින් කටයුතු කරන විට ඔහු සමඟ කරට කර සිටිය හැකි වේගයක් මර්වින්ට තිබිණි. එසේම පක්‍ෂපාතිත්වය අතින් ද මර්වින් විශ්වාසවන්තයකු විය. නමුත් මහජන නියෝජිතයකු සතුවිය යුතු විනයවත් චර්යාව වෙනුවට මර්වින්ට තිබුණේ පාතාල නායකයකුට ගැළපෙන කල්ක්‍රියාවකි. එමගින් ඔහු අපකීර්තිමත් පුවත් මවන්නකු විය. එම අපකීර්තිමත් පුවත් විසින් රාජපක්‍ෂ ආණ්‌ඩුව ද රට තුළ අපකීර්තියට ලක්‌විය. දිගින් දිගටම මර්වින් හැසිරෙනාකාරය රාජපක්‍ෂ ආණ්‌ඩුවට හිතකර තත්ත්වයක් උදා නොකළේය. කැලණිය ආසනය තුළ මර්වින්ගේ ක්‍රියාකාරකම් එම ආසනයේ ජනතාව කලකිරවන තත්ත්වයේ සීමාවේ තිබුණා නම් ආණ්‌ඩුවට එයින් හානියක් නොවිය හැකිව තිබූ මුත් ඉන් ඔබ්බට රට පුරා විහිදෙන අපකීර්තිමත් කටයුතු බවට මර්වින්ගේ ක්‍රියාකාරකම් පත්විය. කැලණිය ආසනයේ ශ්‍රීලනිප පිරිස් ද කර කියා ගත නොහැකි තත්ත්වයකට පත්විය. "කැලණියේ නීතිය මමයි" යන්න මර්වින් ක්‍රියා කළ පිළිවෙත විය. මෙවැනි වැඩවසම් ක්‍රමයේ ක්‍රියාමාර්ග තුළින් අවසානයේදී ප්‍රශ්න කෙරෙනුයේ මර්වින්ගේ අදූරදර්ශී පිළිවෙත පමණක් නොවේ. "රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය මෙය ද" යනුවෙන් විපක්‍ෂය අසන තත්ත්වයක් එමගින් උදා කළේය. කුඩා සිදුරකින් විශාල නැවක් වුවද ගිලී යා හැකි පරිදි මර්වින් විසින් කරන රංගනය රාජපක්‍ෂ ආණ්‌ඩුවම වට්‌ටන මට්‌ටමකට පැමිණියේය. පසුගිය අයවැය පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන විට විපක්‍ෂය විසින් විරෝධයක් දක්‌වන අවස්‌ථාවේදී ජනාධිපතිවරයා ඉදිරිපිටම මර්වින් ඇතුළු පිරිස විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දෙනු ලැබීය. පාර්ලිමේන්තු ගැලරියේ විදේශීය තානාපතිවරු ඇතුළු සම්භාව්‍ය පිරිසක් බලා සිටියදී, රටේ නායකයා අයවැය ඉදිරිපත් කරන විට මර්වින්ලා පාර්ලිමේන්තුව තුළ යකා නටයි නම් එය රටට කරන හානිය සුළු නැත. නමුත් ආණ්‌ඩුව විසින් එතැනදී මර්වින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තේ නැත. රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ඇති ප්‍රධාන දුර්වලතාව නම් එය මුල් අවස්‌ථාවේදී ප්‍රශ්නය පහසුවෙන් විසඳනවා වෙනුවට බැරෑරුම් අවසාන අවස්‌ථාව වනතෙක් සිටීමය. දැන් මර්වින්ගේ ප්‍රශ්නය පැමිණ ඇත්තේ ද එතැනටය. මේ අවස්‌ථාවේදීවත් මර්වින්ගේ ප්‍රශ්නය ආණ්‌ඩුව නිමා කර නොගතහොත් එය අවසන් වනු ඇත්තේ ආණ්‌ඩුව ද අවසානයක් කරමින් විය හැකිය. කැලණියේ එදා මෙදා මහජන නියෝජිතයන් බිලි වූ අපලයෙන් ඔවුන්ට හානියක් වූවා මිස ඔවුන් නියෝජනය කළ දේශපාලන පක්‍ෂවලට හානියක් නොවූ තරම්ය. මර්වින්ගේ ප්‍රශ්නය ද ඒ ගනයේ කැලණි අපලයක් බවට පත්කරගත්තේ නැති නම් අවසානයේදී එය කැලණි අපලය විසින් බිලිගත් පළමු ආණ්‌ඩුව ලෙස සටහන් වීමේ ඉඩකඩ ද නැත්තේ නොවේ.
මනෝජ් අබයදීර
උපුටා ගැනීම
දිවයින
2012-01-18
දිවයින
2012-01-18