චීනයේ නැගීම හා 21 වැනි සියවස සඳහා වන ඇමරිකානු මිලිටරි චින්තනය

-කතිකාචාර්ය මහින්ද පතිරණ ඇමරිකාව 2012 වසර පටන් ගන්නේ නැගෙමින් පවතින ලෝකය හමුවේ තම නව ආරක්‌ෂණ මූලෝපාය පිළිබඳ ප්‍ර...

-කතිකාචාර්ය මහින්ද පතිරණ

ඇමරිකාව 2012 වසර පටන් ගන්නේ නැගෙමින් පවතින ලෝකය හමුවේ තම නව ආරක්‌ෂණ මූලෝපාය පිළිබඳ ප්‍රමුඛතා නැවත සකස්‌ කිරීමෙනි. ඒ අනුව ඇමරිකානු ගෝලීය නායකත්වය නඩත්තු කිරීම 21 වැනි සියවසේ ආරක්‌ෂාව සඳහා වන ප්‍රමුඛතා යනුවෙන් පිටු 16 ක වාර්තාවක්‌ නිකුත් විය. බරක්‌ ඔබාමාගේ හා ආරක්‌ෂක ලේකම් ලියොන් පැනේටාගේ අත්සනින් නිකුත් කළ වාර්තාව 2020 ඒකාබද්ධ හමුදාවේ මූලික සැකැස්‌ම ලෙස පිළිගැනේ. පහත එන්නේ ඒ පිළිබඳ විමර්ශනයකි.


චීනයේ නැගීම හා 21 වැනි සියවස සඳහා වන ඇමරිකානු මිලිටරි චින්තනය 

හැඳින්වීම


ආර්ථික ආධිපත්‍ය හා මිලිටරි ආධිපත්‍ය යනු දෙකක්‌ නොව එකකි. 19 වැනි සියවසේ මහා බ්‍රිතාන්‍යය ද 20 වැනි සියවසේ ඇමරිකාව ද මෙම සත්‍ය සනාථ කළේ ය. බ්‍රිතාන්‍ය විසින් 19 වැනි සියවසේ තම ආර්ථික ආධිපත්‍ය හරහා නැගුණු මිලිටරි බලපරාක්‍රමය තුළින් ලෝකය යටත් කරගත් අතර එකී ආර්ථික ආධිපත්‍ය පිරීහීමත් සමග ම අල්ලාගත් යටත් විදාත අතහැර දැමීමට ඊට සිදුවිය. මීළ`ග 'මාස්‌ටර්ගේ' තැන ගත්තේ ඇමරිකාව ය. ඇමරිකාවට බ්‍රිතාන්‍යය සේ ම සාම්ප්‍රදායික යටත්විජිත පවත්වාගෙන යාමට නොහැකි වූ අතර එසේ වූයේ 'ගෙඩි පිටින්' රටවල් අල්ලාගෙන සිටිනු නොහැකි වන තරමට ම ලෝකයේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම දෙවැනි යටත් විජිතකරුවකුට එරෙහි ව ප්‍රතිබල ගොඩ නැගී තිබීම ය. මේ අනුව 20 වැනි සියවස තුළ විශේෂයෙන් ම දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව වෙනත් ක්‍රමයකින් ලෝකය යටත් විජිතකරණයට ලක්‌කළේ ය. ඒ තම තියුණු උපක්‍රමශීලීත්වය හරහා ලෝකයේ නොයෙක්‌ රටවල් තුළ තමාට ගැති පාලකයින් 'පැළ' කිරීමෙනි. එසේත් නැති නම් සිටින නායකයකු 'මිලට' ගැනීමෙනි. මැදපෙරදිග තම අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින ඊශ්‍රායලයේ ආරක්‌ෂාව සඳහා ඊජිප්තුවේ කීකරුබව අනිවාර්ය සාධකයක්‌ වූ තැන ඇමරිකාව හොස්‌නි මුබාරක්‌ හරහා ඊජිප්තුව පාලනය කළේ ය. බහරේනයේ ද, කටාරයේ ද සෞදි අරාබියේ ද ඇමරිකානු ගැති පාලකයින් තවදුරටත් යෙහෙන් වැජඹෙන අතර අවනත නොවීමේ වරදට මරා දැමූ ඉරාකයේ හිටපු සුන්නි පාලක සදාම් හුසේන් පවා ඇමරිකානු ඉත්තෙකි. බහරේනය වැනි රටවල ආරාබි වසන්තය හුදු ඉරාන කුමන්ත්‍රණයක්‌ බව පවසමින් එය මර්දනය කිරීමට බුද්ධි තොරතුරු හා සැර වැඩි කළ කඳුළු ගෑස්‌ ඇතුළු අන් සියලු සහාය ඇමරිකාව ලබා දෙන්නේ මෙම පසුබිම තුළ ය. අරාබියේ පමණක්‌ නොව ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ ද ඇමරිකාව තම න්‍යායපත්‍රයට ගැති පාලකයින් 'නිෂ්පාදනය' කළේ ය. ශ්‍රී ලංකාවේ ෙ-. ආර්. මෙන් ම එම පරපුරේ රනිල් වික්‍රමසිංහ ද එවැනි 'නිෂ්පාදන' බව විකිලීක්‌ස්‌ කේබල් හරහා සනාථ විය. එක්‌ කේබලයක තිබුණේ "ඇමරිකානු ගැති පාලනයක්‌ ගෙනයාම සඳහා ව්‍යවස්‌ථා කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස්‌ හා ආර්ථික ප්‍රතිසංස්‌කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ විසින් රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව ය." පක්‌ෂය කෙසේ වෙතත් චන්ද්‍රිකා සමග ද ඇමරිකාවට බේරා ගැනීමට ප්‍රශ්නයක්‌ තිබුණේ නැත. මෙම නායක 'නිෂ්පාදනයේ' අරමුණු දෙකක්‌ විය. එකක්‌ දේශපාලනික ය. අනෙක ආර්ථික ය. අවසානයේ මේ අරමුණු දෙක ම එකක්‌ සේ ක්‍රියා කළේ අදාළ රට ඇමරිකා එක්‌සත් ජනපදයේ දේශපාලන හා ආර්ථික 'පාරිභෝගිකයකු' වෙමිනි.

රටවල නායකයින් 'පැළකරන' අතරතුරම තම අධිරාජ්‍ය නඩත්තු කිරීම සඳහා ඇමරිකාව තව උපක්‍රමයක්‌ භාවිත කළේ ය. ඒ තම බලපරාක්‍රමය ප්‍රදර්ශනය කරනු පිණිස තම අණසකට බලෙන් නම්මවාගත් රටවල මෙන් ම තමාට මුලසිට ම හිතවත් රටවල තම සෙබළුන් ස්‌ථානගත කිරීම ය. ආසියාවේ ජපානය, දකුණු කොරියාව හා පිලිපීනය වැනි රටවල ද යුරෝපයේ ජර්මනිය, ඉතාලිය වැනි රටවල ද මැදපෙරදිග සෞදි අරාබිය, බහරේනය, කටාරය හා ඊශ්‍රායලය වැනි රටවල ද මෙවන් හමුදා ස්‌ථානගත කිරීම වර්තමානයේ දක්‌නට ලැබේ. මේ සෑම හමුදා ස්‌ථානගත කිරීමක ම ඉලක්‌කය වූයේ බලය ප්‍රක්‌ෂේපණය කිරීම වූ අතර ඒ හරහා සතුරාට පහර එල්ල කිරීම මෙන් ම තමාට එරෙහිව නැගී සිටීමට පෙරාතු ව සතුරා ලවා දෙවරක්‌ කල්පනා කරවීමට ද මෙය වැදගත් විය. 20 වැනි සියවසේ තුන්වැනි කාර්තුවේ "ඇමරිකානු මිලිටරි හා ආර්ථික බලයේ සුපිරිතාව කෙතරම් බලසම්පන්න වූයේ ද කිවහොත් තමාට එරෙහි ව නැගී සිටි එක ම වැදගැම්මකට ඇති දෘෂ්ටිවා" සතුරා වූ සෝවියට්‌ රුසියාව කීතු කීතුවලට කැඩෙන්නට සලස්‌වා ඉතිරි වූ මහබිම වූ රුසියාව තුළ බොරිස්‌ යෙල්ට්‌සින් නමැති තම ගැත්තකු නගා සිටුවීමට තරම් ඊට හැකිවිය. 


ආර්ථික පිරිහීම හමුවේ 'අකැමැත්ත කැමැත්ත' කරගැනීම

කාලය ක්‌ෂය වී ගියේ නොසිතු ලෙස ය. ඒ කාලයත් සමග ම දැන් තමා ද ක්‌ෂය වී ගොස්‌ ඇති බව ඇමරිකාව අවබෝධ කරගත්තේ ය. 2012 ජනවාරී තුන්වැනි දින එළි දැක්‌ වූ නවත ම ඇමරිකානු ආරක්‌ෂක මූලෝපාය එකී ක්‌ෂයවීම හා ඒ හරහා නැගෙන "ගැඹුරු අභියෝග" පිළිබඳ අවබෝධයේ කැඩපතිකි. වාර්තාවේ පළමු වැකියෙන් ම කියෑවෙන්නේ මෙය ය. "අපගේ ජාතිය සිටින්නේ සංක්‍රාන්ති මොහොතක" යෑයි කියමින් වාර්තාව ඇරැඹේ. මීළ`ගට තම "වීර සෙබළුන්ගේ ශ්‍රේෂ්ඨ පරිත්‍යාග නිසා ම ඉරාක යුද්ධය" අවසන් කළ බවත් "ඔසාමා බින් ලාඩන්ට යුක්‌තිය ඉටුකළ" බවත් "ඇෆ්ගනිස්‌ථාන බලය එරට ජනතාවට ම "මට සියලු සැලසුම් සකසා" ඇති බවත් කියන අතර ම ඊළ`ග වැකියේ ඇමරිකාව එන්නේ මේ සියල්ලෙහි ම ප්‍රතිඵලයක්‌ ලෙස තමාට සිදු වූයේ කුමක්‌ ද යන්න කියන මොහොතට ය. දශකයක්‌ තිස්‌සේ නිෂ්ඵල යුද්ධවලට මුදල් වීසි කළ ඇමරිකාව දැන් පවසන්නේ "අපි අපේ ගෙදර මූල්‍ය තත්වය සකසුරුවම් කරගත යුතු" බවත් ඒ අනුව "ආරක්‌ෂක වියදම් ඇතුළු වෙනත් ෆෙඩරල් වියදම් කප්පාදු" කළ යුතු බවත් ය. වාර්තාවට ම අනුව "ජාතික ආරක්‌ෂක බලය වෙනත් බලයන් සමග සමගාමී" විය යුතු හෙයිනි. මෙහි "වෙනත් බලයන්" ලෙස පැවසෙන්නේ ආර්ථික බලය බව පැහැදිලි ය. එහෙත් මෙසේ කරන්නේ පසුව "මීටත් වඩා ශක්‌තිමත් ව නැගී සිටීමට" බව ඔබාමා පොරොන්දු වේ. තම රටවැසියා සිය සුව සිහිනවලින් අවදිකිරීමට ඇමරිකානු දේශපාලකයා තාමත් ලෝභ බව නවතම වාර්තාව එම වැකිය හරහා ප්‍රකට කරන්නේ ය. එහෙත් බලෙන් හෝ එසේ කිරීමට සිදුවන්නේ "අපි මුහුණ දෙන මූල්‍ය තත්ත්වයන් එතරම් ම දුෂ්කර ඒවා" නිසා ය. එම දුෂ්කර තත්ත්වය හා නැගී එන නව භූ දේශපාලන වටපිටාව විසින් ඇමරිකාවට තම පවතින ආරක්‌ෂක මූලෝපායන් පිළිබඳ නැවත සිතා බැලීමකට යොමු කළ බව ඔබාමා පාලනයේ පිළිගැනීමයි.


චීනයේ නැගීම, ඉන්දියාව හා ඇමරිකානු තැතිගැන්ම 

නවතම ඇමරිකානු මූලෝපාය විසින් අවධාරණය කරන්නේ තමා "ආසියා µeසිපික්‌ කලාපය දෙසට වඩාත් වැඩි අවධානයක්‌ යොමුවන ලෙස අදාළ ක්‍රියාමාර්ග නැවත තුලනය" කළ යුතු බව ය. එහිදී "ආසියානු කලාපයේ නැගී එන තම මිතුරන් සමග වන සම්බන්ධය තවදුරටත් ශක්‌තිමත් හා පුළුල් කළ යුතු බව ඇමරිකාව යෝජනා කරන්නේ ය. මීළ`ග වැකියේ එන්නේ එම මිතුරන් යනු කවරකු ද යන්න ය. ඒ ඉන්දියාව හා දකුණු කොරියාව බව වාර්තාව නමින් ම සඳහන් කරයි. "කලාපීය ආර්ථික මර්මස්‌ථානයක්‌ ලෙස ක්‍රියාකිරීම සඳහා හා ඉන්දියානු සාගර කලාපයේ ආරක්‌ෂක සැපයුම්කරු ලෙස ක්‍රියාකිරීම" සඳහා ඉන්දියාවට සහයෝගය ලබාදීමේ අටියෙන් එරට සමග දිගුකාලීන මූලෝපායික හවුල්කාරිත්වයක්‌ වර්ධනය කළ යුතු බව යෝජනා කරනු ඇත. එවැනි ම සම්බන්ධයක්‌ දකුණු කොරියාව සමග ද යෝජනා කෙරේ. ඉහත යෝජනා සැලකිල්ලට ගත් විට ඇමරිකානු දේශපාලන හා මිලිටරි නායකයින් විසින් 21 වැනි සියවස සඳහා තම ආරක්‌ෂක මාර්ගෝපදේශය සකස්‌ කරන විට ඔවුන් සිත තිබූ එක ම හා ප්‍රබලතම සාධකය වූයේ අනෙකක්‌ නොව චීනයේ නැගීම බව පැහැදිලි ය. තම ආර්ථික වර්ධනය බිංදුවට වැටී තිබෙන අතරතුර චීනය 9.5 සියයට කින් නැගෙමින් නුදුරේ දීම තමා පසුකර යන බව ඇමරිකාව හොඳින් ම දන්නේ ය. "කලාපීය බලයක්‌ (මගේ අවධාරණය) ලෙස චීනයේ නැගීම නොයෙක්‌ ආකාරයෙන් ඇමරිකානු ආර්ථිකයට හා ආරක්‌ෂාවට තර්ජනය කිරීමේ හැකියාව" සහිත බවට වාර්තාව කනගාටු වන්නේ ය. ඇමරිකාවේ චීන බියට හේතුව කුමක්‌ ද යන්න මිළ`ගට එන කතාවෙන් පැහැදිළි වේ. "කලාපයට ප්‍රවේශවීමට හා එහි නිදහසේ හැසිරීමට වන හැකියාව අපි තවදුරටත් පවත්වාගෙන යන්නෙමු" යි යන වැකිය තුළ වන නොකී කතාව නම් වසර හැටක කාලයක්‌ තිස්‌සේ තිබූ එම වරප්‍රසාද දැන් ඇමරිකාවට අහිමි වීගෙන යාමේ අඳෝනාව ය. ඇමරිකාව ලෝකය පුරා තම බලය විදහා පාන්නේ ඔවුන්ගේ ගුවන් යානා හාරක නැව් (එයාර්ක්‍රාෆ්ට්‌ කැරියර්) 11 යොදා ගනිමිනි. ඊට ප්‍රතිචාර ලෙස එවන් නැව් 12 නිෂ්පාදනය කිරීම නිරර්ථක යඩක නාස්‌තියක්‌ බව කල්පනා කළ චීනය මේ වන විටත් 'කැරියර් කිලර්' නම් අතිනවීන මිසයිල තාක්‌ෂණය සඳහා විශාල මුදලක්‌ ආයෝජනය කරමින් සිටි. එම මිසයිලවල තිබෙන විශේෂත්වය නම් ඊට ඇමරිකානු ගුවන් යානා හාරක නැව් 11 ම එකවර මුහුදේ "විනාශ කර දැමීමට හැකිවීම ය. වෙනත් වචනවලින් කිවහොත් මෙම චීන මිසයිල පද්ධතිය මගින් ඇමරිකානු අභිමානයේ සංකේතය වන එකී නැව් පද්ධතිය හුදු යකඩ ගොඩක්‌ පමණක්‌ බවට පත්කර ඇත. මීට අමතර ව චීනය විසින් අතිනවීන සබ්මැරීන හා ස්‌ටෙල්ත් ප්‍රහාරක යානා ද නිපදවමින් සිටීම ඇමරිකාවට හිසරදයකි. මේ සියල්ලෙහි ම ප්‍රතිඵලය වන්නේ ඇමරිකානු ආර්ථික හා ආරක්‌ෂක උපාය සඳහා ප්‍රබල කාර්යයක්‌ කරන දකුණු චීන මුහුදේ වන අති වැදගත් වෙළෙඳ මාර්ග කෙරෙන් ඇමරිකානු ගුවන් හාරක යානාවලට ඉවත් වීමට සිදුවීම ය.
'එයාර්ක්‍රාෆ්ට්‌ කැරියර්ස්‌' ඉවත්කර ගැනීමට සිදුවීම සෘජු ලෙස ඇමරිකානු ආර්ථිකයට බලපෑම් කරන අතරතුර ම එමගින් ගෙනෙන වක්‍ර විපාක සිතිය නොහැකි තරම් ය. යුරෝපයේ බොහෝ රටවල් ආසියාව සමග වන වෙළඳ කටයුතුවල දීද යෑපෙන්නේ 'ඇමරිකානු ආරක්‌ෂාව' මත ය. ඊට හිලව් ලෙස යුරෝපය විසින් ඇමරිකාවට 'කෘතගුණ' දක්‌වන්නේ ඇමරිකාවේ උවමනාවට ලොව නොයෙක්‌ තැන ආණ්‌ඩු වෙනස්‌ කිරීම සඳහා කළ යුද මෙහෙයුම් සඳහා සහාය ලබා දීම හා වෙනත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලදී එකට සිට ගැනීම ය. උදාහරණයක්‌ ලෙස, ඉරාක හා ඇෆ්ගන් යුද්ධ සඳහා ඇමරිකාව යුරෝපා සහාය දිනා ගන්නේ තම ආරක්‌ෂක හැකියාව 'උකසට' තබමින් ය. කෙසේ වෙතත්, ලිබියා ආක්‍රමණයේ "ඇමරිකාවට නේටෝ රටවල් 28 න් 7 ක්‌ පමණක්‌ දිනාගැනීමට හැකිවීම ඇමරිකානු කේවල් කිරීමේ බලයේ හීනවීම මනාකොට විදහා දක්‌වයි. මෙවන් පසුබිමක ඇමරිකාවේ ආසියානු මිලිටරි බලය සීමාවීම/අහිමි වීම මගින් යුරෝපය හා ඇමරිකානු ආරක්‌ෂාව මත යෑපුණු වෙනත් රටවල් ඇමරිකානු බල කේන්ද්‍රයෙන් ඉවත් ව වෙනතක්‌ බැලීමට යොමුවීම ඇමරිකාවට බරපතළ විපාක දෙන්නකි.
මේ අතර නව ඇමරිකානු ආරක්‌ෂක උපක්‍රමික වාර්තාව ආසියාව පිළිබඳ භාවිත කරන වචන ඉතා සැලකිල්ලෙන් යොදාගෙන ඇති බව පෙනී යයි. ඉන්දියාව යන්න "ඉන්දියානු සාගර කලාපයේ ආරක්‌ෂක සැපයුම්කරු" යන ඇමරිකානු කල්පනාව මගින් පැහැදිළි වන්නේ චීනය එම තැන ගැනීම සමබන්ධයෙන් වන ඔවුන්ගේ නොකැමැත්ත ය. තව ද චීනය මේ වන විට ලෝකයේ දෙවැනි විශාලත ම ආර්ථිකය හිමි රට නිසා ම නැගී එන සුපිරි බලයකි. එහෙත් මෙම තත්වය පිළිගැනීමට තාමත් ඇමරිකාව හිත හදාගෙන නැති බව චීනය "කලාපීය බලයක්‌" ලෙස වාර්තාව තුළ දැක්‌වීමෙන් ප්‍රකට වේ. එහෙත් තම සමස්‌ත ආරක්‌ෂක ව්‍යාපෘතිය ම පූර්ණ වෙනසකට ලක්‌කරමින් ආසියාවට වැඩි බරක්‌ දීමට ඇමරිකාව කල්පනා කරන්නේ චීනය කලාපීය බලයක්‌ නොව සුපිරි බලයක්‌ බව ඇමරිකාවේ යටිසිත දන්නා නිසා ය.


මැදපෙරදිග 'සෙල්ලම්' හා බින් ලාඩ්න් 'හොල්මන්' 
 
21 වැනි සියවසේ පළමු තර්ජනය ලෙස තවදුරටත් ඇමරිකාව දකින්නේ අල්-ඛයිඩා සංවිධානයයි. කෙසේ වෙතත්, එය චීනය එසේ වන බව ප්‍රසිද්ධියේ කීමට නොහැකි නිසා ම කළ ප්‍රකාශයක්‌ බව පෙනේ. "අල්-ඛයිඩාව මේ වන විටත් ඇෆ්ගනිස්‌ථානය, පකිස්‌ථානය, යේමනය හා සෝමාලියාව තුළ සක්‍රීය" මට්‌ටමින් පවතින බව වාර්තාව පිළිගනී. එහෙත් මෙම වාර්තාව පටන් ගන්නා විට ම ඇමරිකාව තම ජයග්‍රහණ ලෙස තැබූ ඒවා අතර "බින් ලාඩ්න්ට යුක්‌තිය ඉටුකිරීම හරහා අල්-ඛයිඩා සංවිධානය පරාජයේ මාවතට දමා" ඇතැයි කී බව වාර්තාවේ මැදට එන විට ඇමරිකාවට අමතක ව ගොස්‌ ඇත. ඒ අනුව, පැහැදිලි වන්නේ පසුගිය දශකය තිස්‌සේ ඩොලර් බිලියන 1,000 ක්‌ පමණ වියදම් කරමින් කළ අල් ඛයිඩාවට එරෙහි යුද්ධය ඇමරිකාවට කිසිදු ජයග්‍රහණයක්‌ ගෙන නොදුන් බව ය. බිල් ලාඩන් ඝාතනය තුළින් ඇමරිකානුවාන්ට හැකි වූයේ පළිගැනීම තුළින් තම භාව විමෝචනයක්‌ සිදුකර ගැනීම පමණි.
මැදපෙරදිග තත්වය පිළිබඳ සඳහන් කරන වාර්තාව, මෑතකදී සිදු වූ "ආරාබි වසන්තය තමා වෙත අවස්‌ථා මෙන් ම අභියෝග" ද එල්ල කරන බව පෙන්වා දෙයි. එහෙත් පත් වූ නව රජයන් එකී ජනතාවගේ නෛතික අභිලාෂයන්ට අනුව සැදෙනු ඇතැයි ද වාර්තාවේ සඳහන් ය. කෙසේ වෙතත්, මීළ`ගට තිබෙන වාක්‍ය පිළිබඳ අපට පමණක්‌ නොව ඇමරිකාවට ද බරපතළ සැකයක්‌ තිබෙන බව නම් කිව යුතු ය. එනම් එම නව රජයන් ඇමරිකාවේ විශ්වසනීය හවුල්කරුවන් වේ විය යන විස්‌වාසයයි. අරාබි වසන්තයෙන් හටගත් නව දේශපාලන වටපිටාව තුළ ඇමරිකාවට පක්‌ෂපාතී වෙතැයි සිතිය හැකි එකදු රජයක්‌ හෝ බිහි වී නැති බව අපි මීට පෙර මෙම කොලමේ "නොයෙක්‌ වර පෙන්වා "ඇත්තෙමු. ටියුනීසියාව, ඊජිප්තුව හා ලිබියාව යන සෑම රටක ම අද බලයට පැමිණ ඇත්තේ ඇමරිකාවේ අනෙකා ලෙස සැමදා කටයුතු කළ හා පෙනෙන අනාගතය තුළ ද එසේ වෙතැයි කල්පනා කරත හැකි ඉස්‌ලාමීය ආණ්‌ඩු ය. ඒ බොහෝ ආණ්‌ඩුව තිබෙන අල්-ඛයිඩා නැමියාව මගින් තත්වය තවදුරටත් තීව්‍ර කර තිබේ. මේ අතර, සුන්නි සුළුතර රජය පෙරළීමට උත්සාහ කරන බහරේනය තුළ ඉරානයට පක්‌ෂපාතී බහුතර ෂියා බලය මතු වීමේ හැකියාව දිනෙන් දින වැඩිවෙමින් තිබේ. එය ඇමරිකාව අතිශය කනගාටුවට පත්කරනු ඇත්තේ එරට තුළ පවත්වාගෙන යනු ලබන පස්‌ වැනි ගුවන් හමුදා අණ මූලස්‌ථානය ඉරානයට පක්‌ෂ රජයක්‌ සහිත රටක්‌ තුළට ඉබේම වැටීමෙනි. මේ අතර, පසුගිය දා ඉවත්ව ගිය ඉරාකයෙන් ද ඇමරිකාවට දෙන පණිවුඩය යහපත් එකක්‌ නොවේ. එක්‌ අතකින් එරට තුළ සුන්නි සුළුතරය හා පාලක ෂියා බහුතරය අතර වන ගැටුම දැනටමත් සිවිල් යුද්ධයකට තල්ලු වීමේ ලකුණු පෙන්වන අතර ෂියා පාලක මලිකිගේ ඉරානය සමග වන සබඳතාව සිතුවාට ද වඩා විශාල ය. ඉරාකය තුළ තවදුරටත් රැඳී සිටීම සඳහා ෂියා පාලකයින් සමග ඇමරිකාව කළ සාකච්ඡා අසාර්ථක වීම පිටුපස ඉරාන බලය තිබේ යෑයි අනුමාන කෙරේ. 

නව රුසියා-තර්ජනය අමතක කොට යුරෝපයෙන් සමුගැනීමට සිදුවීම

ජර්මනිය, ඉතාලිය ඇතුළු බොහෝ යුරෝපා රටවල ඇමරිකානු හමුදා රඳවා තිබේ. යුරෝපය තුළ භටයින් රඳවා තැබීමට රැගෙන ආ සාධාරණීකරණය වූයේ සෝවියට්‌ රුසියාවේ නැගී සිටීමයි. එහෙත් සෝවියට්‌ දේශය කඩා වැටෙන අතරතුර බර්ලින් තාප්පය ද කඩා වැටීම මගින් එකී ඇමරිකානු සෙබළ ස්‌ථානගත කිරීමේ හේතුව මුලිනුපුටා දැමුණි. කෙසේ වෙතත්, ඇමරිකාව එම භූමි යථාර්ථය පිළි ගනිමින් තම සෙබළුන් යුරෝපයෙන් ඉවත්කර ගත්තේ නැත. කෙසේ වෙතත්, දැන් ඇමරිකාව උත්සාහ කරන්නේ "යුරෝපය දැන් ආරක්‌ෂක පාරිභෝගිකයින් නොව නිෂ්පාදකයින්" බව කියමින් එම කලාපයට දැක්‌ වූ ආරක්‌ෂක ප්‍රමුඛතාව ඉන් ගලවා ආසියාව දෙසට ගෙන ඒමයි. පසුගිය ලිබියා අර්බුදයේ "යුරෝපයේ මිලිටරි හැකියාවේ 'සුපිරිබව් මනාව පෙනෙන්ට විය. මෙහෙයුම දියත් කොට මසක්‌ යැමට ද කලින් ඉලක්‌කයට එල්ල කරන බෝම්බ හිඟයකට' යුරෝපීය සුපිරිබලවතුන්' මුහුණ දුන් බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළේ එවකට හිටපු ඇමරිකානු ආරක්‌ෂක ලේකම් රොබර්ට්‌ස්‌ ගේට්‌ස්‌ ම ය. බ්‍රිතාන්‍ය-ප්‍රංශ-ඉතාලි වැනි 'චොකලට්‌ නිෂ්පාදනය' කරන රටවල් ලිබියා ගුවන් මෙහෙයුමේ "කෙතරම් අසංවිධානාත්මක වූයේද කිවහොත් සති ගණනාවක්‌ යනතුරු අවම වශයෙන් මධ්‍යම අණ මූලස්‌ථානයක්‌ හෝ සාදා ගැනීමට නොහැකි ඔවුන්ට නොහැකි විය. එවන් තත්වයක ඇමරිකාව හා යුරෝපය අනිවාර්යන් මුහුණ දිය යුතු නව සුපිරි බලයක්‌ නැවතත් යුරේසියාවෙන් මතුවෙමින් තිබේ. ඒ වරක්‌ කඩා දැමූ ව ද ඒ අළුමතින් බිහි වූ රුසියාවයි. ගෑස්‌ නළ අවහිර කිරීම හරහා යුරෝපය ම 'සීතල මරණයකට' ලක්‌කිරීමේ හැකියාව රුසියාව සතු බව ඇමරිකාව හොඳාකාරව ම දනී. සුවිසල් මිලිටරි බලයක්‌ සහිත එම රටට යුරෝපයේ ඕනෑ ම තැනකට පහර එල්ල කිරීමේ මිසයිල තාක්‌ෂණයෙන් යුතු ය. එම රුසියානු තර්ජනය අමතක කර ආසියාවට ඒමට සිදුවීම තවදුරටත් තම බලය සිතැ`ගි පරිදි නඩත්තු කිරීම ඇමරිකානු නොහැකියා ව හැර අනෙකක්‌ නොවේ. එහෙත් වාර්තාව පවසන්නේ තමා "රුසියාව සමග වඩාත් සමීප සබඳතාවට" යාමට අපේක්‌ෂා කරන බව ය. 

භීතිය විකුණා ජාතිය ගොඩ නගන්නට යන ඇමරිකාව

යුද්ධ කොට හෙම්බත් වී සිටින ඇමරිකාව දැන් වැය වූ මුදල් යළි උපයනු පිණිස නවතම ක්‍රමයක්‌ සොයාගෙන තිබේ. ඒ භීතිය හා අවිස්‌වාසය 'ආයෝජනය' කොට අවි විකිණීම ය. දැනටමත් ක්‍රියාත්මක මෙය වාර්තාවේ දැක්‌වෙන්නේ "හවුල්කරුවන් ශක්‌තිමත්" කිරීම ලෙස ය. ආසියාවේ ජපානය හා දකුණු කොරියාව ද අරාබියේ සෞදිය ඇතුළු සුන්නි රටවල් ද මෙම ඇම ගෙඩි පිටින් ගිලදමා තිබේ. ආසියාවේ උතුරු කොරියාව හා මැදපෙරදිග කලාපයේ ඉරානය කලාපයේ 'යක්‌ෂයින්' බවත් ඔවුන් සෙසු රටවල් කොයි මොහොතේ හෝ ඩැහැ ගැනීමට බලා සිටින බවත් ඇමරිකාවට සෙසු රටවලට අනතුරු අ`ගවයි. මෙහි නවතම උදාහරණය නම් මීට සති දෙකකට කලින් බටහිර මානව හිමිකම් මිම්මෙන් ම මැදපෙරදිග කලාපයේ නරකම මානව හිමිකම් කඩන්නා වන සෞදි අරාබිය වෙත ඩොලර් බිලියන 29.4 ආයුධ විකිණීමට ඇමරිකාව තීරණය කිරීම ය. මීට අමතර ව කුවේටයට හා බහරේනයට ද එවැනි ම මහාපරිමාණ ගණයේ අවි ආයුධ විකිණීමට ඇමරිකාව තීරණය කර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් ඉල්ගේ මරණයත් සමග ම බටහිර මාධ්‍ය හරහා ඇමරිකාව ප්‍රචාරය කර සිටියේ නැගෙමින් පැවැතෙන තත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ය. ඇමරිකාව Rජුව ම කීවේ නව නායකත්වයට පත් වූ ඉල්ගේ පුත් උන් තම බලය පෙන්වීම සඳහා ප්‍රකෝපකාරී ක්‍රියාවලට යොමුවිය හැකි බව ය. මීට බිය වූ ජපානය ඇමරිකාවේ නිෂ්පාදිත එෆ් 15 වර්ගයේ ප්‍රහාරක යානා 42 ක්‌ ම ඇමරිකාවෙන් ඇණවුම් කළේ ය. එහෙත් ඇත්ත වශයෙන් ම මේ 'යක්‌ෂ' රටවල් ලෙස ඇමරිකාව නම් කරන රටවලින් ලෝක සාමයට බාධාවක්‌ නැත. න්‍යෂ්ටික අවි විශාල වශයෙන් නිෂ්පාදනය කර තම අවි ගබඩාවල තැන්පත් කර තිබෙන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ම ය. නවතම වාර්තාවට අනුව, පවා ඇමරිකාව පවසන්නේ තමන් එම "අවි අවශ්‍ය විටෙක "භාවිත කිරීමට පසුබට නොවන" බව ය. එහෙත් තම මතයට එරෙහි අයකු එම අවි නිෂ්පාදනය කිරීම මෙම රටවලට දරාගත නොහැකි ය. බටහිර රටවල් විසින් ම දේශිත විසම්මුතිය පිළිගැනීමට ඔවුන්ට ම නොහැකි වී තිබේ.
භීතිය ආයෝජනය කිරීම අනාගතයේ ද ඇමරිකාවේ ආර්ථික හා දේශපාලන උපක්‍රමය වනු ඇත. ඇතැම් ප්‍රදේශවල සාගින්න ඉහවහා ගොස්‌ තිබෙන ඉන්දියාවට ද චීන තර්ජනයෙන් බේරීමට බව පවසමින් එෆ්-15 වර්ගයේ ගුවන් යානා හෝ මිසයිල පද්ධතියක්‌ විකිණීමට තීරණය කළ බව ඇමරිකාව විසින් හෙට අනිද් දා ම නිවේදනය කළ හොත් අප පුදුම විය යුතු නොවේ. තවත් රටක හෝ කලාපයට නොපවතින අර්බුදයක්‌ නිෂ්පාදනය කිරීමට මෙවන් රටකින් අපේක්‌ෂා කළ හැකි ය. එහෙත් ඩොලර් ටි්‍රලියන 14 ඉක්‌මවා තිබෙන ණය කන්ද ගෙවා දැමීමට මෙමගින් උපයන මුදල් ප්‍රමාණවත් නොවනු ඇත. මේ ගෙවී යන්නේ තම අධි රාජ්‍යයේ අවසාන සමය බව අන් කිසිවකුටත් වඩා ඇමරිකාව හොඳින් ම දනී. නව ආරක්‌ෂක මූලෝපය යනු එහි ප්‍රසිද්ධ පෙනී සිටීමයි.
කතිකාචාර්ය මහින්ද පතිරණ, 
-උපුටා ගැනීම
දිවයින
2012-01-13

Related

කතිකාචාර්ය මහින්ද පතිරණ 1180842855606164649

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item