කරු මුට්‌ටිය වූ හැටි

ප සුගිය සතියේ බදාදා පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ පක්‍ෂ නායකත්වයේ වෙනසක්‌ පිළිබඳ සාකච්ඡාවක්‌ හෝ මුල පිරීමක්‌ සිදුව...

සුගිය සතියේ බදාදා පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ පක්‍ෂ නායකත්වයේ වෙනසක්‌ පිළිබඳ සාකච්ඡාවක්‌ හෝ මුල පිරීමක්‌ සිදුවේ යෑයි බලාපොරොත්තුවක්‌ කා තුළත් පැවැතිය ද එදින කිසිවක්‌ සිදු නොවීය. නායකත්ව වෙනසක්‌ පිළිබඳ කතාබහක්‌ නැවතත් කරළියට ඒමට හේතුව මීට සති දෙකකට පමණ පෙර නායකත්ව තරගයට ඉදිරිපත් වන මෙන් සජිත් ප්‍රේමදාස මහතා ලිඛිතව කරු ජයසූරිය මහතාට දන්වා සිටීමත්, ජයසූරිය මහතා එය පිළිගෙන තමන් නායකත්ව තරගයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධ ප්‍රකාශනවලින් දැනුම් දී තිබීමත් හේතුකොට ගෙනය.
 ඒ අනුව කාගේත් බලාපොරොත්තුව වූයේ පසුගිය සතියේ පැවැති කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී පැමිණ සිටි සාමාජිකයන්ගේ ඡන්දය විමසා එදිනම නායකත්ව වෙනසක්‌ සිදුවේය යන්නයි. මෙවැනි බලාපොරොත්තු දැල්වීමට තවත් හේතුවක්‌ විය. පසුගිය සතියට කලින් සතියේ පාර්ලිමේන්තුවේදී පවත්වන ලද එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම රනිල් වික්‍රමසිංහ මහතාට පවත්වා ගැනීමට නොහැකිව රැස්‌ව සිටි මන්ත්‍රීවරුන් විසුරුවා හැරීමට සිදුවීමයි. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම පවත්වනවා තබා පටන් ගැනීමටවත් නොහැකි විය. එතැනට පැමිණ සිටි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මේ අවස්‌ථාවේදී විනය පරීක්‍ෂණයකට මුහුණ දී සිටි නිසා ඔහු එතැනින් ඉවත් විය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියත් ඔහුට එතැන සිටි සෙසු මන්ත්‍රීවරුන් කිසිවකුගෙන් සහයෝගයක්‌ ලැබුණේ නැත.
සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂපාත මන්ත්‍රීවරුන්ට පවා අවශ්‍යව තිබුණේ බුද්ධික පතිරණ එතනින් යෑවීමට නොව ඔහුව රඳවා ගැනීමටය. බැරිම තැන රනිල් හිතවාදියකු වන හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ බුද්ධිකව නිරීක්‍ෂක තත්ත්වයෙන් (එනම් තීරණ ගැනීමේදී ඡන්දය ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයකින්) එතන රඳවා ගමු යන්නයි. එම යෝජනාව ගැන වික්‍රමසිංහ මහතා තරමක්‌ කිපුණු බවද පෙනෙන්නට තිබිණි. රැස්‌වීමේදී විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පවා ගෙන තිබුණේ බුද්ධිකගේ පැත්තයි. ඔහුට කාමරයෙන් ඉවතට නොයන මෙන් ඇය කියා තිබෙනවා පමණක්‌ නොව ඔහු ගියොත් ඔවුන් ද එතනින් ඉවත්වී යන බව පවසා තිබිණි. සියලුම මන්ත්‍රීවරුන් එදා සිටියේ මොහාන් ලාල් ගේ්‍රරු මහතා ආණ්‌ඩු පක්‍ෂයට එක්‌වීම ගැන දැඩි කම්පනයකිනි. ඔවුන්ට ඒ අවස්‌ථාවේදී වුවමනා වූයේ ඉන්න තවත් මන්ත්‍රීවරුන් එතනින් යවා ගැනීම නොව ඉන්න ටික වුවත් රැක ගැනීමය. එවැනි තත්ත්වයක්‌ යටතේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමට පැමිණි මන්ත්‍රීවරයෙක්‌ පක්‍ෂ නායකයා විසින්ම පලවා හැරීමට තැත් කිරීම ඔවුන් කිසිවකුටත් ඉවසිය හැකි දෙයක්‌ නොවීය.

එදා එ.ජා.ප. මන්ත්‍රීවරුන්ට මානසික බලපෑමක්‌ ඇති කළ තවත් කාරණයක්‌ ද විය. ඒ පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම පැවැත්වීමට තෝරාගත් ස්‌ථානයයි. මොහාන් ලාල් ගේ්‍රරු මහතා ගියාට පසු පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම පවත්වන ලද්දේ විපක්‍ෂ නායක කාර්යාලය තුළය. එ.ජා.ප. ය විපක්‍ෂයට ගිය මුල් කාලයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම පවත්වන ලද්දේ පාර්ලිමේන්තුවේ තිබෙන ලොකුම කමිටු කාමර වලය. ක්‍රම ක්‍රමයෙන් එ.ජා.ප. යෙන් මන්ත්‍රීවරුන් ගිලිහී යත්ම පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම සඳහා පාවිච්චි කරන කමිටු කාමර ද එන්න එන්නම කුඩා විය. මොහාන් ලාල් ගේ්‍රරු මහතා යැමත් සමගම පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම කමිටු කාමරයක නොපවත්වා විපක්‍ෂ නායක කාර්යාලයට ගෙන යැම කාටත් දැඩි මානසික බලපෑමක්‌ ඇති කරන ලද දෙයක්‌ විය. මොහාන් ලාල් ගේ්‍රරු මහතා යැමත් සමග මුළු පක්‍ෂයම එක්‌ වරම කුඩා වී ඇති බවක්‌ ඔවුන්ට දැනුනා සේය. මොහාන් ලාල්ගේ්‍රරු මහතා යැමත්, පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම ශාලාවක නොව කාර්යාලයක්‌ තුළ පැවැත්වීමත් වැනි කාරණා ගණනාවක්‌ නිසා සියලු මන්ත්‍රීවරුන් සිටියේ දැඩි අසහනයකිනි. එම නිසා බුද්ධික පලවා හැරීමේ ප්‍රශ්නයේදී රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිවම පරාජය විය.

කරු ජයසූරිය මහතාට පක්‍ෂ නායකත්වය සඳහා ඉදිරිපත් වන මෙන් සජිත් ප්‍රේමදාස මහතා ලිපියක්‌ යොමු කළේ එයත් සමගමය. කරු ජයසූරිය මහතා ද එම ආරාධනය එකපයින්ම පිළිගනිමින් තමන් නායකත්ව තරගයකට ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන ලද්දේ එදා පාර්ලිමේන්තු කණ්‌ඩායම් තුළ වික්‍රමසිංහ මහතා තනිවූ ආකාරය සියසින්ම දැකගත් නිසා විය හැක. මාධ්‍යවේදීන් අතර පවා නායකත්ව වෙනසක්‌ පිළිබඳ බලාපොරොත්තු ඇති වූයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම තුළ සිදුවූ දේවල් පිළිබඳ වාර්තා පලවීමත් සමගය.

නමුත් පසුගිය පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම රනිල් වික්‍රමසිංහ මහතාට පරාජයක්‌ වූවා සේම ගිය සතියේ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම ඔහුට ජයග්‍රහණයක්‌ වූවා යෑයි කිව හැක. එම රැස්‌වීමේදී නායකත්ව වෙනසක්‌ පිළිබඳ කිසිදු කතාබහක්‌ සිදු නොවීම ඔහුගේ ජයග්‍රහණය විය. එහිදී සාකච්ඡා වී තිබුණේ සාමාන්‍ය එදිනෙදා කාරණා කීපයක්‌ පමණි. එපමණක්‌ ද නොව ඉදිරියේදී නායකත්වය සඳහා තරගයක්‌ ඇති වුවහොත් එය රනිල් වික්‍රමසිංහ මහතාට ජය ගැනීමට හැකිවන ආකාරයට වැඩ සැලසීමේ කාරණයක්‌ ද මේ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම තුළ ඇති විය. මේ අවස්‌ථාවේදී ක්‍රියාත්මක වන එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්‌ඩලය සම්පූර්ණයෙන්ම පිහිටුවන ලද සභාවක්‌ නොවේ. එහි තවත් පුරප්පාඩු ගණනාවක්‌ ඇත. එ.ජා.ප. ය මේ වන තෙක්‌ ක්‍රියා කළේ පක්‍ෂ ව්‍යවස්‌ථාවේ ඇති "හදිසි නීති රෙගුලාසි" අනුවයි. එ.ජා.ප. ව්‍යවස්‌ථාවේ 16(2) හදිසි අවස්‌ථා රෙගුලාසි අනුව එ.ජා.ප. යේ කිසියම්ම හෝ තීරණ ගන්නා සභාවක හෝ කමිටුවක පුරප්පාඩුවක්‌ නැතිනම් එකී කමිටුවට සාමාජිකයන් පත් කිරීමේදී අක්‍රමිකතාවක්‌ පැවතිය ද අදාළ සභාව හෝ කමිටුව හෝ විසින් ගන්නා සියලුම තීන්දු තීරණ වලංගු හා නීත්‍යානුකූල බවට තහවුරු වෙයි. මේ අනුව එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ පුරප්පාඩු තබාගෙන වුවත් එයට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය හැක. ඉකුත් කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේදී ගත් එක්‌ තීන්දුවක්‌ වූයේ එම සභාවේම පවතින පුරප්පාඩු පිරවිය යුතු බවයි. මේ අනුව එ.ජා.ප. යේ පළාත් පාලන නියෝජිතයන් අතුරෙන් අට දෙනෙක්‌ ද එ.ජා.ප. වෘත්තීය සමිති නියෝජනය කිරීමට 4 දෙනෙක්‌ ද එ.ජා.ප. යේ අනුබද්ධ සංවිධාන නියෝජනය කිරීමට සභිකයන් තුන් දෙනෙක්‌ ද වශයෙන් පහළොස්‌ දෙනකු අලුතෙන් පත් කිරීමට නියමිතය. මේ පත් කිරීම් වලින්ම ඉදිරියේදී නායකත්ව තරගයක්‌ ඇති වුවහොත් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරුවීමට ඉඩ ඇත. ඒ මන්ද යත් ඔහු මේ පුරප්පාඩුවලට තමන්ට ලැදි පුද්ගලයන් පත් කර ගැනීමට ගත හැකි සෑම උත්සාහයක්‌ම අනිවාර්යයෙන්ම ගන්නා නිසාය.

කරු ජයසූරිය මහතා නායකත්ව තරගයකට ඉදිරිපත් කිරීමෙන් එ.ජා.ප. ප්‍රතිසංස්‌කරණවාදීන් බලාපොරොත්තු වූ දෙය ඉටුවේද යන්න ප්‍රශ්න සහගතය. නායකත්ව තරගයකට සජිත් ඉදිරිපත් නොවී එ.ජා.ප. යේ ප්‍රධාන බල කඳවුරු දෙකටම අයත් නොවන තුන්වන පාර්ශ්වයක්‌ ඉදිරිපත් කළ යුතු යෑයි අදහස්‌ ප්‍රචලිත වූයේ මීට මාස ගණනකට පෙරය. එවැනි තීන්දුවකට සජිත් පිලේම බොහෝ දෙනෙක්‌ පැමිණීමට හේතුව වූයේ සජිත් බලයට පැමිණියහොත් තමන්ට ඒ ඒ දිස්‌ත්‍රික්‌කවල තිබෙන තැන නැතිවේය යන බයෙන් එක්‌තරා පිරිසක්‌ අකමැත්තෙන් හෝ රනිල් වික්‍රමසිංහ මහතාට දිගටම සහයෝගය දක්‌වන බවට ඔවුන් තුළ තිබුණු අදහසයි. අද ලංකාවේ සෑම දිස්‌ත්‍රික්‌කයකම එ.ජා.ප. මන්ත්‍රීවරුන් සිටින්නේ එක්‌ කෙනකු නැතිනම් දෙදෙනෙකි. යම් දිස්‌ත්‍රික්‌කයක සිටින එක්‌ මන්ත්‍රීවරයෙක්‌ එම දිස්‌ත්‍රික්‌කයේම අනෙක්‌ මන්ත්‍රීවරයාගේ ස්‌වාභාවික තරගකරුවාය. බොහෝ දිස්‌ත්‍රික්‌කවලින් දැනටමත් මන්ත්‍රීවරුන් සජිත් වටා රොක්‌වී ඇත. මේ ආකාරයට සජිත් වටා රොක්‌වූ අය නිසා සෙසු මන්ත්‍රීවරුන් සජිත් බලයට පැමිණියහොත් ඒ ඒ දිස්‌ත්‍රික්‌කවල තමන්ගේ තරගකරුවන් ශක්‌තිමත් වේය යන බියෙන් පසුවෙති. මේ බිය නිසා එ.ජා.ප. යට නායකත්ව වෙනසක්‌ අවශ්‍ය බව දැන දැනම වුවත් හුදෙක්‌ම තමන්ගේ තැන රැක ගැනීම සඳහා රනිල්ට දිගටම සහයෝගය දක්‌වන පිරිසක්‌ එ.ජා.ප. ය තුළ සිටින බව සජිත් පිලේ උදවියට වැටහුණි. සජිත් පිලේත්, රනිල් පිලේත් නොවන තුන්වන පාර්ශ්වයක්‌ පක්‍ෂ නායකත්වයට පත් කළ යුතු බව ඔවුන් තීන්දු කළේ මේ නිසාය. කරු ජයසූරිය මහතා මුලදී ඇත්තටම ප්‍රතිසංස්‌කරණවාදී පිලේ සිටියේ නැත. ඔහු ප්‍රතිසංස්‌කරණවාදීන්ගේ අරගලවලට උදව් කළේ ද නැත. සජිත් ප්‍රේමදාස මහතා එ.ජා.ප. උපදේශක සභාව තුළ ගෙන යන අරගලවලදී පවා කරු සිටියේ රනිල් සමගය. කරු ජයසූරිය මහතාගේ වටිනාකම තිබුණේ ද ඒ කාරණය නිසාමය. එ.ජා.ප. ය තුළ සජිත් පිල යෑයි කියා වෙනම කණ්‌ඩායමක්‌ ඇතිවී තිබුණ ද කරු ජයසූරිය මහතා එයට පිටස්‌තර පුද්ගලයෙක්‌ විය. එම නිසා මීට මාස ගණනකට පෙර එක්‌වරම සජිත් ප්‍රේමදාස මහතා විසින්ම කරු ජයසූරිය මහතාට පක්‍ෂ නායකත්වය භාරගන්නා මෙන් ආරාධනය කළ අවස්‌ථාවේදී ඔහු ඇත්තටම ප්‍රධාන එ.ජා.ප. බල කඳවුරු දෙකටම අයත් නොවන පිටස්‌තර පුද්ගලයකු විය. නමුත් ඒ අවස්‌ථාවේදී ඔහු විසින් නඟන ලද අභියෝගය සාර්ථක වූයේ නැත. දැන් එය අසාර්ථකවීමෙන් පසු කරු ජයසූරිය මහතාට දෙපිලටම අයත් නොවන තුන්වන පාර්ශ්වයක්‌ හැටියට කටයුතු කළ නොහැක. ඒ මන්ද යත් ඔහු දැන් පිල් දෙකෙන් එකකට අයත් වන නිසාය. ඔහු සජිත් පිලේ ආරාධනය පරිදි නායකත්ව තරගයට ඉදිරිපත් වූවා පමණක්‌ නොව ඔහුට සහයෝගය දැක්‌වූවේ ද ඒ වන විටත් සජිත් පිලේම සිටි අය පමණි. සජිත් පිලේ නොසිටි වෙන කිසිවෙක්‌ තුන්වන පාර්ශ්වයක්‌ නායකත්වයට ඉදිරිපත් වූවා යෑයි කියමින් කරු ජයසූරිය මහතාට සහයෝගය දැක්‌වීමට ඉදිරිපත් වූයේ නැත. එකල එ.ජා.ප. යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තබා එකම පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ වත් අඩුම වශයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්‌ වත් කරු ජයසූරිය මහතා නායකත්වයට ඉදිරිපත් වනවා යෑයි කියමින් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉවත්වී ඔහුට සහයෝගය දීමට ඉදිරිපත් වූයේ නැත. මේ වතාවේදී ද කරු ජයසූරිය මහතා නායකත්ව තරගයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහයෝගය ලැබෙන්නේ දැනටම සජිත් පිලේ සිටින අයගෙන් පමණක්‌ යෑයි අනුමාන කළ හැකිය. ඒ අනුව සජිත් පිලේත් නැති රනිල් පිලේත් නැති තුන්වන පාර්ශ්වයක්‌ හැටියට එදා කරු ජයසූරිය මහතාට තිබුණු තැන අද සම්පූර්ණයෙන්ම නැතිවී ගොස්‌ය. අද ඔහු හුදෙක්‌ම නායකත්වය සඳහා සජිත් පිලේ අපේක්‍ෂකයාය. කරු ජයසූරිය මහතාට ලැබෙන්නේ සජිත් පිලේ ඡන්ද පමණක්‌ම නම් සජිත්ම නායකත්වය සඳහා ඉදිරිපත්වීම ඊට වඩා සුදුසු නොවේදැයි ප්‍රශ්නයක්‌ ඇත. සජිත් ඉදිරිපත් නොවී මේ අවස්‌ථාවේදී කරු ජයසූරිය මහතාම ඉදිරියට දමන්නේ නම් එය ඔලුව දැමීමට පෙර මුට්‌ටිය දමා බැලීමක්‌ හැටියට හැඳින්විය හැක.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

දිවයින
2011-12-12

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 3569146964857400389

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item