භාණ්ඩාගාර නිළධාරීන්ගේ අංක ගණිතයෙන් ආර්ථිකය ගොඩ දැමිය නොහැක

ප සුගිය දිනවල ඌන කාර්්‍ය සාධන ව්‍යාපාර පවරාගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ලංකාවේ සීනි කර්මාන්තය පිළිබඳව නව කතිකාවක් ආරම්...

සුගිය දිනවල ඌන කාර්්‍ය සාධන ව්‍යාපාර පවරාගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ලංකාවේ සීනි කර්මාන්තය පිළිබඳව නව කතිකාවක් ආරම්භ විය. කිසිදු අධ්‍යයන වාර්තාවක් හෝ පර්යේෂණ වාර්තාවක් මහජනයාගේ ඇස ගැටුනේ නැති වුවත් පාර්ලිමේන්තුවේදී කට වචනයෙන් ප‍්‍රකාශ කෙරුනේ ඒවා අසාර්ථක ව්‍යාපාර බවයි. ව්‍යාපාරයක සාර්ථක අසාර්ථක බව මනින්නේ ලාබ අලාභ ගිනුම තුළින් පමණක් නම් පැලවත්ත සහ සෙවනගල සීනි සමාගම් අසාර්ථක ව්‍යාපාර නොවේ. ඒවායේ වර්තමාන අයිතිකරුවන්ද තම ආරක්‍ෂාවට යොදාගන්නේ එම තර්කයම බව පෙනේ. නමුත් සීනි කර්මාන්තය සැබැවින්ම ලංකාවේ සාර්ථක ව්‍යාපාරයක්ද? ඒ බව පරික්‍ෂා කිරිම සඳහා රජය නිර්ණායක ලැයිස්තුවක් ඉදිරිපත් කොට නැත. ඉදිරිපත් කොට ඇති එකම නිර්ණායකය හෙවත් චෝදනාව සීනි නිෂ්පාදනය අඩුකොට ඊට සාපේක්‍ෂව මධ්‍යසාර නිෂ්පාදනය වැඩිකිරීමයි. එය පැහැදිලි සත්‍යයක් විය හැකි වුවද එම චෝදනාව එල්ල වූයේ සෙවනගල සමාගමට පමණි.

කෙසේවෙතත් පනත කඩිමුඩියේ සම්මත කළාට පසුව මහ බැංකුව ප‍්‍රකාශයක් මඟින් තවත් නිර්ණායකයක් ඉදිරිපත් කර තිබුණි. ඒ රජය විසින් ලබාදුන් ඉඩම් ප‍්‍රමාණය සම්පුර්ණයෙන්ම වගාකොට නැති බවයි. එය සත්‍යයක් නම් ඊට හේතුව කුමක් වුවත් එම සමාගම් වලට ‘‘ඌන උපයෝජිත වත්කම් සහිත’’ යන ලේබලය ඇලවිය හැක. එවැනි ප‍්‍රශ්නයකදීද ඊට ඇති එකම පිළිතුර හදිසියේ එම ආයතන පවරාගෙන තවත් අළුත් අවුලක් කරමත දමා ගැනීමද? එසේ නොවන බව මහ බැංකුවේ ප‍්‍රකාශයෙන්ම දැන් තහවුරු වේ. මහ බැංකුව දැන් කියන්නේ පවරාගත් ආයතනවල පාලනය වෙනස් නොකරන බවයි. ඒ අනුව දැන් වෙනස් වන්නේ පාලනය කරන ආකාරය පමණි. වෙනත් වචන වලින් කියනවා නම් පාඩු ලබන රාජ්‍ය ආයතන 249 ක් පාලනය කරන පරිපාලන නිඝධාරින් හා සමාන ‘‘නිසි බලධාරින්’’ කළයුත්තේ උපදෙස් දීම පමණි. ඒ උපදෙස් වල ප‍්‍රතිඵල පිළිබඳව කලින්ම අනාවැකි කිවහැකි වුවත් ඒ සඳහා නව පනතක් නම් අවශ්‍ය වන්නේ නැත. කෙසේවෙතත් පනත සම්මතකොට දින කිහිපයකින් පනතේ මුලධාර්මික සංකල්පය වෙනස් කිරිම මඟින් පෙන්නුම් කරන්නේ එහි සැබෑ අරමුණ පිළිබඳව පැහැදිලි අදහසක් නොතිබු බවය. නිළධාරින්ට ඒ බව තේරුම් යන්නේ ජාත්‍යන්තර ව්‍යාපාර ශ්‍රේණිගත කිරිමේ ආයතන විසින් අනතුරු ඇඟවීම සමඟය. ඒ ආකාරයට හෝ ඔවුන්ගේ මොළේ පැදීම පිළිබඳව ජාතියක් ලෙස අප සතුටු විය යුතුය.
පනත අදාලවන්නේ ආයතන රාශියකට වුවත් ඊට අදාල කතිකාව ප‍්‍රධාන වශයෙන් ගොඩ නැගුනේ සීනි කර්මාන්තය ආශ‍්‍රිතවය. ලංකාවේ සීනි කර්මාන්තය සංවර්ධනය කිරිම පිළිබඳ රජයට උපාය මාර්ගික දැක්මක් නොමැති බව එවැනි පනතක් ඉදිරිපත් කිරිමට ගන්නාලද තින්දුව තුළින්ම පැහැදිලි වේ. රටේ නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ ගැඹුරු මූලධාර්මික ගැටළු වලට භාණ්ඩාගාර නිළධාරින්ගේ අංක ගණිත සුත‍්‍ර වලින් හෝ නීති මඟින් පිළිතුරු සෙවිය හැකිද යන ප‍්‍රශ්නය දැන් ආණ්ඩුව කල්පනාකල යුතුය.
ශ‍්‍රී ලංකාවට වසරකට සීනි මෙ.ටො 500,000ක් ආනයනය කරයි. එහෙත් දළ වශයෙන් දේශියව නිෂ්පාදනය කරන්නේ රටේ අවශ්‍යතාවයෙන් 12% ක් පමණි. පැලවත්ත සමාගම වසරකට මෙ.ටො. 50,000ක් නිපදවන අතර සෙවනගල සමාගම දළ වශයෙන් 10,000 පමණ නිපදවයි. උක් වගාව ඉතා හොඳින් කලහැකි සහ වසර 50 කට ආසන්න සීනි කර්මාන්ත ඉතිහාසයක් ඇති රටක වර්තමාන තත්ත්වය ඒ ආකාරයට ලැජ්ජා සහගතය. පැලවත්ත සමාගමට තම නිෂ්පාදනය වාර්ෂිකව මෙ.ටො. 100,000 කිරිමට (දෙගුණයක් කිරිමට* ධාරිතාව ඇත. වෙනත් වචන වලින් කියනවා නම් දැනට අඹරන උක් මෙ.ටො. 400,000 ක ප‍්‍රමාණය මිලියනයක් දක්වා වැඩිකිරිමේ විභවය ඇත. එහෙත් එසේ නොවීමට හේතුව හුදු පරිපාලන ප‍්‍රශ්නයක් පමණක්ද? සීනි කර්මාන්තය ආශ‍්‍රිත රාජ්‍ය ප‍්‍රතිපත්තිවල ගැඹුරු ප‍්‍රශ්න රාශියක් තිබුනද මේ දත්ත වලින් ඉතා පැහැදිලිවම පෙනී යන්නේ උක් නිෂ්පාදනය ක‍්‍රමයෙන් අඩුවන බවයි. එයට හේතු දෙකක් තිබිය හැක. පළමුවැන්න වගා කරන බිම් ප‍්‍රමාණය අඩුවීමයි. දෙවැන්න බිම් ඒකකයකට ලැබෙන අස්වැන්න අඩු වීමයි.
පැලවත්ත සහ සෙවනගල සමාගම් දෙකම කියන්නේ තමාට සෘජුව ලබාදුන් බිම් ප‍්‍රමාණය වන පිළිවෙලින් හෙක්ටයාර් 2700 ක් සහ හෙක්ටයාර් 400 ක් සම්පුර්ණයෙන්ම වගාකොට ඇති බවයි. (එහෙත් අස්වැන්න ක‍්‍රමයෙන් අඩුවන බව ඔවුහු පිළිගනිති.) නමුත් ගොවීන්ට ලබාදී ඇති ඉඩම් වල සහ බාහිර උක්ගොවීන්ගේ ඉඩම් වල අස්වැන්න මෙන්ම වගාකරන භූමි ප‍්‍රමාණය යන දෙකම ක‍්‍රමයෙන් අඩුවන් බවට සාක්‍ෂි ඇත. පැලවත්ත සමාගම කියන්නේ ගොවීන්ට ලබාදී ඇති හෙක්ටයාර් 7000ක බිම් ප‍්‍රමාණය 4000 දක්වා පමණ අඩුවන බවයි. දැනට වෙළඳපලේ සීනි මිල අනුව උක් මිලදි ගැනීමේ මිල සුත‍්‍රය සකස් වේ. ඒ අනුව දැනට ගෙවන මිල මෙ.ටො. එකට රු. 3000කි. ක‍්‍රමයෙන් අස්වැන්න අඩුවන තත්ත්වයක් තුළ එම මිල කිසිසේත්ම ගොවීයාට ආකර්ශණීය නොවේ. නමුත් කර්මාන්තය ආශ‍්‍රිතව දැනට පවතින ආර්ථික මුල්‍යමය සහ වෙළඳපල සාධක අනුව ඊට වඩා මිල වැඩිකිරිමේ විභවයක් නැති බව සමාගම් පෙන්වා දෙති.

ශ‍්‍රී ලංකාවේ සීනි කර්මාන්තය ලාභදායි ව්‍යාපාරයක් ලෙස වර්ගීකරණය කෙනෙරන්නේ නැත. පැලවත්ත සමාගමේ කොටස් විකිණිමට පර්ක් ආයතනය තුන් වරක් දැන්වීම් පලකරන ලදි. මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සභාපති ආරියශීල වික‍්‍රමණායක මහතා එම සමාගම මිලදි ගන්නේ තුන්වෙනිවර ඉදිරිපත්වූ එකම ගැනුම්කරුවා ලෙසය. එහිදී ඔහු රු. 5ක් වූ කොටසට රු. 8.25 ක් ගෙවමින් රජයට අයත්වූ කොටස් 53% ක් සහ රු. 12.50 ක් ගෙවා මහජනයාට අයත්ව තිබු කොටස් ප‍්‍රමාණය වන 33% මිලදි ගත්තේය. ඒ වන විට සමාගම මිලියන 905 ක් ණය වී තිබු අතර එයද ගෙවා දැමීමට ඔහුට සිදුවිය. අනතුරුදායක ව්‍යාපාරයකට ඒ සා විශාල මුදලක් යෙදවීමට ශ‍්‍රී ලංකාවේ වෙනත් කිසිදු ව්‍යාපාරියකයකු ඉදිරිපත් නොවීය. සෙවනගල විකුණන අවස්ථාවේදි ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ඉදිරිපත් වූයේ එය ඉතා අඩුමිලකට විකිණීම නිසාය. එහිදි හෙක්ටයාර් 400ක භූමිය සහ කර්මාන්තයේ අයිතියෙන් 90% (රජයට අයත් වු කොටස) විකුණා දැමුනේ මිලියන 500ක් වැනි සුළු මුදලකටය. ඒ වන විට සමාගමේ බැංකු ගිණූම්වල මිලියන 250ක් තිබූ බවටද වාර්තා පලවිය.
බි‍්‍රතාන්‍යයේ බුකර් සමාගම පැලවත්ත සීනි සමාගම ආරම්භ කරන යුගයේදී එම ආයෝජනය දිරි ගැන්වීම සඳහා ඉතා විශාල වශයෙන් බදු සහ වෙනත් සහනාධාර ලබාදුනි. එම සහනාධාරවල වටිනාකමේ එකතුව ගණනය කිරිමේදී එම ප‍්‍රමාණය මෙ.ටො. 1කට ඩොලර් 500ක් තරම් විශාල විය. එදා අවුරුදු 20ක කාලයක් සඳහා දේශියව නිපදවන සීනි මිල ඉහල දැමීමට මෙන්ම ආනයනික සීනි මිල ඊට වඩා ඉහල දැමීම සඳහා බදු ගැසීමටද රජය පොරොන්දු විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ කෘෂිකර්ම අමාත්‍ය අනුර දිසානායක මහතාගේ කාලයේ එවකට වසාදමා තිබු කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ භූමිය යොදාගනිමින් නව සීනි කර්මාන්තශාලාවක් ආරම්භ කිරිම සඳහා උත්සාහයක් ගන්නා ලදී. ඒ සඳහා අයෝජකයින් සමඟ සාකච්ඡුා කිරිමට පිහිටවූ කමිටුවේ සභාපතිවරයා වූයේ මේ ලියුම්කරුය. එහිදි කන්තලේ කළු ගඟ හරස්කොට ජලාශයක් ඉදිකොට එම භූමියට ජලය සැපයීම සඳහාද මූලික සැලසුම් සකස් විය. එසේම තවත් බොහෝ සහන (විශේෂයෙන්ම බදු නොවන සහන) ලබාදීමට යෝජනා වුවද ඉදිරිපත් වූ ආයෝජකයින් සතුටු කිරිම ලෙහෙසි පහසු නොවීය. ඒ නිසා ඉතා පැහැදිලිවම ලංකාවේ සීනි කර්මාන්තය සඳහා දේශීය හෝ විදේශීය ආයෝජකයින් දිරිගැන්වීමට සහ පරිසර හිතවාදිව කර්මාන්තය තිරසාරව පවත්වා ගැනීමට රජයේ පැත්තෙන් බොහෝ නිර්මාණශීලි උපාය මාර්ගික ප‍්‍රවේශයක් ඉදිරිපත් විය යුතුව ඇත.

රජය බුකර් සමාගමට ඒ සා විශාල බදු සහන ලබාදුන්නද දේශිය සමාගම් වලට 15% වැට් බදු පැනවීය. නමුත් ආනයනික සීනි වලට වැට් බදු හෝ වෙනත් තීරු ගාස්තු කිසිවක් පනවා නැත. ආනයනික සීනි වලට අය කරන්නේ කි.ග‍්‍රෑම්. එකකට රු. 10ක් වන විශේෂ වෙළඳභාණ්ඩ ගාස්තුවක් පමණි. පිටකොටුවේ විදේශිය සම්භවය සහිත සිනි ආනයනකරුවන්ට දක්වන අනුග‍්‍රහයෙන් අංශු මාත‍්‍රයක් දේශිය නිෂ්පාදකයාව ලබාදෙනවා නම් තත්ත්වය වෙනස් කිරිම අමාරු නැත. දේශියව යම් සහනයක් සංවර්ධන කොන්දේසි යටතේ වුවද ලබාදීමේ හැකියාව ඇත. මේ වන විට සීනි සමාගම් වගා භූමියේ පාංශු සංරක්‍ෂණය සහ පෝෂණය සඳහා මුදල් ආයෝජනය කිරිමට දිරිමත් වන්නේ නැත. ඒ නිසා ලෝකයේ අඩුම උක් පලදාව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ වීම පුදුමයක් නොවේ. ඉන්දියාව අක්කරයට මෙ.ටො. 60 සිට 100 දක්වා අස්වැන්න වැඩිකිරිමට සැලසුම් කරන විට අප රටේ දැනට තිබෙන 40 මට්ටම 60 දක්වා ගෙන ඒමට සැලසුමක් නැත. මේ සඳහා අවශ්‍ය පාංශු කළමණාකරන සහ අනෙකුත් පර්යේෂණ සඳහා විශේෂ අරමුදලක් අවශ්‍ය වේ. එහිදි ඉන්දියාව අනුගමනය කරන ප‍්‍රවේශය වන්නේ ආනයනික සීනි සඳහා සෙස් බද්දක් පැනවීම සහ උපදේශන සහ ඊට අදාල ක‍්‍රියාකාරකම් සඳහා රාජ්‍ය යාන්ත‍්‍රණ සකස් කිරිමයි.

ලොකයේ බොහෝ රටවල ආහාර ද්‍රව්‍ය වලට සෙස් බදු පැනවීම සඳහා මහජන කැමැත්ත ලබා ගැනේ. එයට හේතුව සෙස් බද්දෙ ඵලදායි ලෙස යෙදවීම මගින් දේශිය නිෂ්පාදනය වැඩිකිරිමට සහ ඒ මගින් මිල අඩුකිරිමට හැකියාව ලැබීමයි. එවැනි සෙස් බදු බොහෝ විට පනවන්නේ නිශ්චිත සැලසුමක් සහිතව නිෂ්චිත කාලයකටය. ඒ නිසාම එවැනි බදු අදාල කාරණය සඳහා පමණක් වැය කරන බවට විනිවිදභාවයෙන් යුතුව මහජනයාට සහතික විය යුතුය. ඒ සඳහා බද්ද පනවන රජය සාදාචාරමය වශයෙන් බැදී සිටියි. එයට හේතුව ඒ බද්ද ජාතික කාර්්‍යයකට සද්භාවයෙන් යොදවන බවට මහජනයා උපකල්පනය කිරිමයි. නමුත් අපේ රට පාලනය කරන භාණ්ඩාගාර නිළධාරින් හතර පස් දෙනාට ඒ සදාචාරය පිළිබඳ තැකීමක් නැත.

මේ වන විට සෙවනගල සමාගමට එරෙහිව ප‍්‍රමාණය ඉක්මවා මධ්‍යසාර නිපදවීමේ චෝදනාව එල්ල වී ඇත. සීනි නිෂ්පාදනයේදී ස්පටිකකරණය වන්නේ 80% පමණ ප‍්‍රමාණයකි. ඉතිරිය යොදාගෙන මධ්‍යසාර නිපදවීම අනිවාර්්‍යයෙන්ම කල යුතුය. එසේ නැතහොත් ව්‍යාපාරයෙන් ලාභ ලබාගත නොහැක. (මධ්‍යසාර මත්වීමට පමණක් නොව ඉන්ධන සඳහාද යොදාගතක හැක.) යම් සමාගමක් නීති විරෝධිව අදාල ප‍්‍රමාණය ඉක්මවා යන්නේ නම් ඉහත සඳහන් කල අරමුදල් උපාංගයක් ලෙස භාවිතාකොට එම ක‍්‍රියාව නැවැත්විය හැක. ඒ සඳහා අවශ්‍යනම් ගිවිසුම් කොන්දේසි සහ සුරාබදු නීතියද යොදාගත හැක. එහෙත් ඒ සඳහා නව නීතියක් අවශ්‍ය නොවන බව ඉතා පැහැදිලිය.

ශ‍්‍රී ලංකාවට බදු සහන යටතේ යීසිට් මෙ.ටො. 3200ක් පමණ ආනයනය කරයි. නමුත් දළ වශයෙන් ඇස්තමේන්තුකල විට පාන් සහ ඒ ආශ‍්‍රිත නිස්පාදන සඳහා යොදාගන්නේ මෙ.ටො. 800ක පමණ ප‍්‍රමාණයකි. ඉතිරිය යොදාගන්නේ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනයට බව පැහැදිලිය. ඒ අනුව බදු සහන යටතේ ආනයනය කරන සීනිද එම කාර්්‍යය සඳහාම යොදා ගන්නා බවට සැකයක් නැත. නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය සඳහා රජය බදු සහන ලබාදිය යුතුද? එසේම සීනි ආශ‍්‍රිත රස කැවිලි නිෂ්පාදනය සඳහාද සීනි වලට ලබාදෙන බදු සහනය ලබා දීම අවශ්‍ය වේද? මේ කාරණා මත පදනම්ව අවම වශයෙන් ආනයනික සීනි වලට වැට් බද්දවත් පැනවිය යුතු බවට විවාදයක් තිබිය නොහැක. එසේම දේශියව නිපදවන සීනි වලට පමණක් වැට් බදු පැනවීම ආර්ථික ඝාතක තීන්දුවක් බවටද විවාදයක් තිබිය හැකිද?

පිටකොටුවේ විජාතික සීනි වෙළෙන්දන්ට සහ දේශිය සීනි නිෂ්පාදකයාට සමානව සැලකිය යුතු යයි විවාදයක් තිබෙනවා නම් කළයුත්තේ ආනයනික සහ දේශිය යන දෙකටම වැට් බද්ද පැනවීමයි. එසේකරනවා නම් දේශිය නිෂ්පාදනයට අයකරන වැට් බද්ද නව සීනී කර්මාන්තයට ආයෝජනය කිරිම සඳහා අරමුදලකට යෙදවිය හැක. දැනට බැංකු වලට ලබාදුන් බදු සහන වලින් සුවිශේසි සංවර්ධන ව්‍යාපෘති සඳහා එවැනි අරමුදලක් ගොඩනගා ඇත. (එම අරමුදලෙන් ඇත්තවශයෙන්ම කරන්නේ කුමක්දැයි මහජනයා නොදැන සිටීම වෙනම කාරණයකි.)

මේ වනතෙක් පැලවත්ත සමාගම වැට් බදු ලෙස ගෙවා ඇති මුදල මිලියන 2500කට අධිකය. එම අරමුදල
සෙවනගල සීනි කම්හල
යොදාගනිමින් කිසිදු අඩුවකින් තොරව කන්තලේ නව සීනි කර්මාන්ත ශාලාවක් ඉදිකල හැක. (ඒ සඳහා වැය වන්නේ ඩොලර් මිලියන 25 ක මුදලක් බව ආස්තමේන්තු කොට තිබුණි.) එය රජයේ ආයතනයක් ලෙස ආරම්භකොට පසුව එහි කොටස් මහජනයාට සහ දේශිය සමාගම්වලට විකුණා එම අරමුදල නැවත ලබාගත හැක. ඉන්පසු ඒ අරමුදල් වලින්ම හිගුරාණටද නව කර්මාන්තශාලිවක් ආරම්භ කල හැකිය. භාණ්ඩාගාර නිළධාරින් නම් මේවා සිහින ලෙස ප‍්‍රතික්‍ෂ්ප කරනු ඇත. ඒ ඔවුන් කිසි දින රට වෙනුවෙන් සිහින නොදකින බැවිනි. ලංකාවේ සීනි කර්මාන්තය අද යම් පමණකට හෝ කෙටිකාලීනව ලභයක් සහිතව පවත්වාගෙන යන්නේ සාධක 4ක් මතය. පළමුවැන්න මධ්‍යසාර නිෂ්පාදනයයි. දෙවැන්ත විදුලිය නිෂ්පාදනය කිරීමට ඇති විභවයයි තුන්වැන්න උක් ගොවියාගේ ශ‍්‍රමයට සරිලන මිලක් උක් සඳහා නොගෙවීම වන අතර හතර වැන්න භූමියේ ඵලදායීභාවය සඳහා අරමුදල් යෙදීමෙන් වැලකීමයි. ඒ අනුව ඉහත සඳහන්කල ආකාරයට දේශිය සීනි වලට වෙළඳවාසියක් ඇතිකරනවාට අමතරව දේහිය සීනි කර්මාන්තය නැන්වීම සඳහා මූලික සාධක තුනක් සම්පුර්ණ කලයුතුව ඇත. පළමු වැන්න සෙස් බද්ද යොදාගනිමින් භූමියේ ඵලදායිතාවය සහ කර්මාන්තයේ ඵලදායිතාවය වැඩිකිරිමට රජය සෘජුව මැදිහත් වීමයි. දෙවැන්න ඉහත සඳහන් කල ආකාරයට නව සීනි කර්මාන්තශාලා ඇතිකිරීමට රජය සෘජුව ආයෝජනය කොට පසුව කොටස් විකිණිමයි. තුන්වැන්න ගොවියාගේ ආදායම් මට්ටම සහ ජිවන තත්ත්වය උසස් කිරිම සඳහා දියුණු උපාය මාර්ගික මැදිහත් සිදු කිරිමයි.

භූමියේ ඵලදායිතාවය වැඩි කිරිම සඳහා පොහොර සහනාධාරය ලබාදිය යුතුය යන ආර්ථික ඝාතක යෝජනාව බැහැර කිරිම මෙහිදි ඉතා තිරණාත්මක ලෙස වැදගත් වේ. ඵලදායිතාවය වැඩි කිරිම සඳහා විකල්ප පංශු සංරක්‍ෂණ සහ සංවර්ධන ක‍්‍රම රාශියක් හඳුන්වාදිමේ හැකියාව ඇත. ඒ මගින් දීර්ඝ කාලිනව ගොවියාගේ ආදායම් මට්ටම වැඩි වේ. නමුත් ඔවුන්ගේ ජිවන තත්ත්වය ඉහළ දැමීම සඳහා වෙනත් අතුරු ආර්ථික ක‍්‍රියාකාරකම් උක් වගාව සමඟ බද්ධ කිරිම ඉතා අවශ්‍ය වේ. කන්තලේ නව සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරිමට සැලසුම් කිරිමේදී එම භූමියේ වැව් 16ක් ආශ‍්‍රිත පහත් බිම් වල කුඹුරු වගා කිරිමට සහ වැව් තාවුලූ සහ මාර්ග සහ ඇලවේලි දෙපස කෘෂි වන වගාව දිරිගැන්වීමට තීන්දු කොට තිබුණි. ඊට අමතරව එම භූමියේම ගොවියාට ආහාර සඳහා අවශ්‍ය කොස් ගහ, දෙල්ගහ සහ පොල්ගහ සහිත ගෙවතු වගාවද ඇතුලත්කොට තිබුණි. එම ප‍්‍රවේශය උක් වගාව ආශ‍්‍රිත පාරිසරික ගැටළු අවම කිරිම සඳහාද ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් ඒ සියල්ලටම වඩා ජාතික ආර්ථික ක‍්‍රියාකාරකමක්ද ඊට ඒකාබද්ධ කිරිමට සැලසුම් කොට තිබුණි. ඒ කිරි කර්මාන්තයයි. ඉන්දියාවේ සෑම මහා පරිමාන උක් වගාවන් ආශ‍්‍රිතවම කිරි ගොවිතැන හෙවත් කිරි ගව පාලනයද ඒකාබද්ධ කොට ඇත. ආරියශිල වික‍්‍රමනායක මහතා කිරි කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්නේ ඒ ආදර්ශය මත පිහිටාය. එහෙත් එක් පුංචි ඇමතිවරයකු ප‍්‍රකාශකර තිබුණේ එය පැලවත්ත සමාගමේ මූලික අරමුණෙන් බැහැරව වෙනත් අරමුණක් කරා යෑමක් ලෙසය. අද වන විට පැලවත්ත සමාගම කිරි ලීටර් 10,000ක් මිලදි ගනියි. කර්මාන්තශාලා ගේට්ටුවේදි කිරි ලිටරයකට රු. 63 ක මිලක් ගෙවන අතර ඒ මුදල් යන්නේ කිරි ගොවීන් සහ කිරි එකතු කරන්නන් අතටය. එම කිරි කර්මාන්තශාලාව ආරම්භ කෙරුණේ කිරි ගොවිතැන හෝ කිරිගව පාලනය සඳහා රජය එම ප‍්‍රදේශයේ සුවිශේෂි ව්‍යාපෘතියක් දියත්කොට නොතිබු තත්ත්වයක් තුළය. රජය එවැනි මැදිහත් වීමක් කලා නම් මේ ධාරිතාව දෙගුණක් කිරිම අමාරු ඉලක්කයක් නොවේ.

ඒ ආකාරයට කන්තලේ, සෙවනගල, හිඟුරාන ආදි සියලූ උක් වගාබිම් ආශ‍්‍රිතව කිරි කර්මාන්තශාලා ආරම්භ කරන්නේ නම් ශ‍්‍රී ලංකාව සීනි වලින් පමණක් නොව කිරි වලින්ද ස්වයංපෝෂිත කිරිමේ හැකියාව ඇත. සීනි සහ කිරි කර්මාන්තශාලා ඒකා බද්ධ ව්‍යාපෘති (විදුලි ජනනයද සහිතව) 5ක් ලංකාවේ ආරම්භ කිරිමට වැය වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 150කි. එය අධිවේගි මාර්ගයෙන් කි.මි. 10 සෑදීමට යන වියදමය. එසේම එම මුදල වසරකට කිරිපිටි පමණක් ආනයනය කිරිමට වැයවන මුදලෙන් භාගයකි. ඉතින් අප ජාතියක් ලෙස අපටම උපහාසයෙන් සිනහසිය යුතුද එසේ නැතහොත් කම්පාවෙන් හැඩිය යුතුද යන්න සිතා බැලිය යුත්තේ මහජනයාය.

අවසාන වශයෙන්, එහෙත් ඉතා වැදගත් කාරණාවක්ද සඳහන් කල යුතුව ඇත. ඒ රාජ්‍ය ප‍්‍රාග්ධනයට අමතරව දේශිය පෞද්ගලික ප‍්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය පිළිබඳව විශ්වාසය තැබීමකින් තොරව ජාතික ආර්ථිකයක් ගොඩනැගිය නොහැකි බවයි. ඉන්දියාවට ආර්ථික වශයෙන් අද සිටින බලවත් තත්ත්වයට ඒමට හැකිවුයේ ‘‘ටාටා බිර්ලලා’’ සියගණනක් ඒ රටින් බිහිවූ නිසාය. කවදා හෝ අප රටේ සමාජවාදය ගොඩනගනු ඇතැයි විශ්වාස කරන පිරිස් එසේ කීම පිළිබඳව ගැටළුවක් ඇතිකරගත යුතු නැත. ඒ සමාජවාදය යටතේ රජයට පවරාගත යුත්තේ දුප්පත් බංකොලොත් ව්‍යාපාර නොව මහා පරිමාන දියුණු ව්‍යාපාර වන බැවිනි. අප සීනි කර්මාන්තශාලා ආරම්භ කිරිම සඳහා සුද්දන්, චීනුන් හෝ ඉන්දියන් කාරයන් පසු පස යාමේ අවශ්‍යතාවයක් නැත. ඒ සඳහා හැකියාව ඇති දේශිය ව්‍යාපාරිකයින් අප රටේ සිටිති. අප රටේ බොහෝ ව්‍යාපාරිකයින් සහ සමාගම් ලාභදායක අපනයන සහ ආනයන වෙළඳාමට දැඩි කැමැත්තක් දැකුවුවද නිෂ්පාදන ආශ‍්‍රිත ව්‍යවසායකත්වයට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. ඒ නිසා ඒ සඳහා මනස ඇති දියුණු ව්‍යාපාරිකයින් දිරිමත්කර රැුක ගැනීම ජාතියේ වගකීමකි. පැලවත්ත සමාගම බොහෝ දුෂ්කර තත්ත්වයන් යටතේ සේවකයින් 10,000කගේ පඩි නඩි ගෙවන අතර සංවර්ධන කටයුතද පවත්වාගනිමින් යම් ලාභයක්ද ලබාගත හැකි තත්ත්වයට ගෙන එම සඳහා ආරියශිල වික‍්‍රමානයක මහතා විශාල ලෙස තම කාලය, ශ‍්‍රමය සහ දැනුම කැපකල බව රහසක් නොවේ. ඔහු අප රටේ වෙසෙන රටට ආදරය කරන ජාතිකවාදි මනසක් සහිත ව්‍යාපාරිකයින් අතලොස්ය අතුරින් ප‍්‍රමුඛතම අයෙකි.

එදා අලිමංකඩ ත‍්‍රස්තවාදින් අල්ලාගත් පසුව හමුදාව යාපනයේ කොටුවිය. එම තත්ත්වය යටතේ හමුදාවට ‘මල්ටි බැරල්’ ගෙනයාම සඳහා කිසිදු නාවික සමාගමක් ඉදිරිපත් වූයේ නැත. ජිවිතය පරදුවට තබා තම වියදමින් තමාගේම නාවීක යාත‍්‍රා යොදාගෙන එම කටයුත්ත කිරිමට ඉදිරිපත් වූයේ ආරියශිල වික‍්‍රමනායක මහතාය. එතැන් පටන් අනෙකුත් නාවික සමාගම් අත්හරින සෑම වැඩක්ම ඔහු ඉටුකළේය. ඉතා දුස්කර කාලවලදි උතුරට තෙල් සහ ආහාර ගෙනයාමට ඔහු ඉදිරිපත් විය. ත‍්‍රිකුණාමලයේ සිට හමුදාව ප‍්‍රවාහනය කිරිමට ඔහු තම ‘ප‍්‍රයිඞ් ඔෆ් ද සවුත්’ නෞකාව යොදාගත්තේ ඊට කොටි ප‍්‍රහාර එල්ලවන තත්ත්වයන් පැහැදිලිව තිබියදීය. නාවික හමුදාවේ කණ්ඩුල නෞකාව කල්පිටිය මුහුදේ ගිලූනු විට පිටරට සමාගම් මිලියන ගණන් ඉල්ලද්දි ඔහු එක සතයක් නොගෙන නැව ගොඩ ගත්තේය.

වික‍්‍රමානයක මහතා තමා විසින්ම නැවක් ගෙනවුත් හැංගුරම් දමා හම්බන්තොට වරායක් ඉදිකල හැකි බව පෙන්වුවා පමණක් නොව ඒ සඳහා තමාගේ පුද්ගලික අරමුදල් මිලියන ගණනින් යොදවා ශක්‍්‍යතා අධ්‍යන පවා සිදුකළේය. එහෙත් ඔහු අදවනතුරු හම්බන්තොට වරාය ආශ‍්‍රිතව බිම් අඟලක් හෝ ලබාගෙන නැත. එපමණක් නොව වික්ටෝරියා වේල්ලේ සොරොව්ව සිරවී බැම්ම කැඞීයන තත්ත්වයක් උදාවූ අවස්ථාවේ නිළධාරින් සුද්දන්ගෙන් උපදෙස් ඉල්ලූවේය. එහෙත් එක සුද්දෙක්වත් අඩි 450 ක් යට කිමිදී ඒ භයානක කර්තවය ඉටු කිරිමට ඉදිරිපත් වූයේ නැත. ස්වේච්ජාවෙන් එය ඉටු කළේ ආරියශිල වික‍්‍රමනායක නැමැති දේශිය නාවික ඉංජිනේරු විශේෂඥයාය. අදටත් ඉන්දියානු සාගරයේ ටග් යාත‍්‍රා, බාජ්, දොඹකර මෙන්ම තෙල්, භාණ්ඩ සහ බහාලූම් නැව් ආශ‍්‍රිත ආධිපත්‍ය උසුලන එකම ශ‍්‍රී ලාංකිකයා ඔහුය.

බොහෝ විදේශිකයෝ එම සේවාවන් ආශ‍්‍රිත ගැටළු වලදි ඔහු ඉදිරියේ දණ නමති. ඒ නිසාම ඔහු අප ජාතියට ආඩම්බරය කැදවන ව්‍යාපාරිකයෙකි. අද ජාතියක් ලෙස අප සිටින්නේ එවැනි මිනිසුන් එකතු නොව සිය ගණනක් අවශ්‍යවන යුගයකය. ඉන්දියාවේ ටාටා බිර්ලලා ව්‍යාපාරික අධිරාජයයන් ගොඩ නැගුවද තමාගේ පුද්ගලික පරිභෝජනයට යොදාගත්තේ ඉන් අල්පමාන ප‍්‍රමාණයකි. ඔවුන් මිය ගිය පසුව ඒ ගොඩනැගු දැනුම සහ ප‍්‍රාග්ධනය ඉන්දියානු ජාතියට ඉතිරි විය.

මේ ලියුම්කරු දන්නා පිරිදි ආරියශිල වික‍්‍රමනායක මහතා පාවිච්චි කරන්නේ වසර 10ක් පැරණි වාහනයකි. ඔහු තරු පහේ හෝටල්වල කෑම වලට වඩා ගෙදර කිරි හොද්දට, පොල් සම්බෝලයට කැමැති නිහතමානි ගැමියෙකි. එමෙන්ම ඔහු බටහිර සංස්කෘතියක ජිවත්වන පුද්ගලයකු වුවත් සෑම විටම සුද්දන් සමඟ සටනට ප‍්‍රිය කල අයෙකි. සියලූ ව්‍යාපාරික ඇගැයිම් වාර්තාවලින් නිශේධාත්මක නිර්දේශ ලබාදෙද්දී අනතුරු දායක කිරි කර්මාන්තයට ඔහු අතගසන්නේ සුද්දාගේ කිරි පිටි සමඟ හැපෙන්නටය. සහල්පිටි වලින් පාන් හදන්න උගන්වන්න ජපනුන් ගේන්න පුද්ගලික ධනය ඔහු වැයකරන්නේද සුද්දාගේ තිරිඟු පිටි වලට එරෙහි සටනට ඇති කැමැත්ත නිසාය. මේ සියල්ල ලිවීමට අවශ්‍ය වන්නේ පෞද්ගලික ව්‍යවසායකයින් අතර රටට ආදරය කරන දියුණු මනසක් සහිත මිනිසුන්ද සිටින බව තහවුරු කිරීමටය. එමෙන්ම අප ජාතියට ඔවුන්ගෙන් ඉගෙනීමට බොහෝ දේ තිබෙන බව පෙනව්ා දීමටය.

ඒ නිසා සීනි පමණක් නොව අනෙකුත් නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රවලද දේශිය ප‍්‍රාග්ධනය සහ දේශිය ව්‍යවසායකත්වය නැන්වීම සඳහා දේශිය ව්‍යාපාරිකයා දිරිමත් කිරිමට රජය මැදිහත් විය යුතුය. ඒ නිසා දැන් කළයුත්තේ පැලවත්ත සහ සෙවනගල රජයට පවරාගෙන අවුල් කිරිම නොවේ. ඒ වෙනුවට රජය කල යුත්තේ ඒවායේ ගැටලූ විසදීමට සහ අකටයුතු කම් සිදුවේ නම් ඒවා වැලැක්වීමට සහය වීමය. (වැරදි කොට ඇත්නම් දඩුවම් දීමද රජයේ වගකීමකි.) කෙසේවෙතත් රජයට දැන් ඇති සැබෑ අභියෝගය පැලවත්තෙන් සහ සෙවනගලින් ඔබ්බට ගොස් හිඟුරාන සහ කන්තලේ නැවත ආරම්භ කිරිමට දායක වීමයි. එහෙත් දැන් ආයෝජන නාමයෙන් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. දැනට වාර්තාවන අන්දමට පිටරටින් ආනයනය කරන දුඹුරු සීනි පිරිපහදු කිරිමේ (සුදු කිරිමේ) ‘කර්මාන්තය’ සඳහා ආයෝජකයකු ඉදිරිපත් වී සිටියි. මේ ඊනියා ආයෝජකයාගේ අරමුණ රට තුළ සීනි නිපදවනවා වෙනුවට සහනාධාර සහ බදු සහන යටතේ සීනි ආනයනය කිරිමට පොටක් පාදා ගැනීමය. ඊට අමතරව සීනි සෝදන සල්පියුරික් අම්ලය සහිත විෂ අපද්‍රව්‍ය අපේ මුහුදට මුදාහැර පරිසර විනාශයද අපට බැර කිරිමය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය

-උපුට ගැනීම
ලංකා සී නිව්ස් වෙබ් අඩවිය

Related

වෛද්‍ය වසන්ත බණ්ඩාර 4439461935801697831

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item