විපක්ෂ නායක මානව හිමිකම් කවුන්සිලයට යැම

සී. ඒ. චන්ද්‍රප්‍රේම ඉකුත් සතියේ අඟහරුවාදා එ.ජා.ප.ය විසින් හයිඩ් පිටියේදී සාර්ථක රැස්‌වීමක්‌ පවත්වන ලදී. සිදුවී තිබෙන සියලු ව්‍...

සී. ඒ. චන්ද්‍රප්‍රේම
ඉකුත් සතියේ අඟහරුවාදා එ.ජා.ප.ය විසින් හයිඩ් පිටියේදී සාර්ථක රැස්‌වීමක්‌ පවත්වන ලදී. සිදුවී තිබෙන සියලු ව්‍යසනයන් මධ්‍යයේ වුවත් එ.ජා.පයට තවමත් සාර්ථකව උද්ඝෝෂණයක්‌ කළ හැකි බව එයින් ඔප්පු විය. එකී රැස්‌වීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතා වන නිසා ඒ රැස්‌වීම ඒ ආකාරයෙන් පවත්වනු ලැබීම ඔහුගේද පෞද්ගලික ජයග්‍රහණයක්‌ බව කිව යුතුය. නමුත් මේ ජයග්‍රහණයේ රස වුවත් එ.ජා.ප.යට විඳීමට හැකි වූයේ පැය 24 කටත් අඩු කාලයකි. ඒ රැස්‌වීමට සහභාගි වී සිටි, එයට සෙනඟ ඇදීමටත් කටයුතු කළ මොහාන් ලාල් ග්‍රේරු මහතා ඊට පසුවදාම ආණ්‌ඩු පක්‍ෂයට එක්‌ වීමෙන් එ.ජා.ප.යේ ගරා වැටීම කිසිදු වෙනසක්‌ නැතිව එලෙසින්ම පවතින බව සනාථ විය. ඊට කලින් දා පැවැති සාර්ථක රැස්‌වීම එක නිමේෂයකින් ක්‍ෂය වී ගියේය. අද ඒ ගැන කථා කරන්නේ මා පමණක්‌ විය හැක.

අඟහරුවාදා රැස්‌වීමෙන් පසු එ.ජා.ප.යට සිදුවූ එකම ඇබැද්දිය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ වෙනස්‌ වීම පමණක්‌ම නොවේ.

ග්‍රේරු මහතාගේ වෙනස්‌ වීමෙන් පසු දිනයේම එ.ජා.ප.යට තම පාර්ලිමේන්තු කණ්‌ඩායමේ රැස්‌වීමක්‌වත් පවත්වා ගැනීමට නොහැකිව විසිර යැමට සිදුවිය. දිගින් දිගටම මෙවැනි ප්‍රශ්න පැන නගින විට රනිල් වික්‍රමසිංහ මහතා කරන්නේ තමන්ගෙන් වෙනතකට ජනතා අවධානය යොමු කරවීම සඳහා සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කර ගැනීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ඒමයි. ඉකුත් 29 වැනිදා පැවැති රැලියද හුදෙක්‌ම සරත් ෆොන්සේකා නිදහස්‌ කර ගැනීම සඳහා පවත්වන ලද රැස්‌වීමක්‌ හැටියට සංවිධානය කරන ලදී. මේ රැස්‌වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා රැස්‌ව සිටි ජනතාවගෙන්, සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන යැමට වරමක්‌ද ලබා ගත්තේය. රැස්‌ව සිටි පිරිස අත් ඔසවා රනිල් වික්‍රමසිංහ මහතාට ඒ වරම ලබා දුන්නේය. පක්‍ෂය ඇතුලේ ප්‍රශ්න උග්‍රවන තරමටම සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය ඉදිරියට දමා එය වසා ගැනීමට ඇති ප්‍රවණතාව නිසා ඉදිරි කාලයේදී මේ ගැන විශේෂ අවධානයක්‌ රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමුකරනු ඇති බව සිතිය හැක.

මේ සම්බන්ධයෙන් කාරණා කීපයක්‌ කෙරෙහි අපේ අවධානය යොමු විය යුතුය. එ.ජා.ප.ය මෙතෙක්‌ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලය වෙත ගියේ නැතත් වෙනත් ජාත්‍යන්තර සභාවලට ඒ ප්‍රශ්නය ගෙන ගොස්‌ ඇත. එ.ජා.ප.ය ජාත්‍යන්තර සභාවලට සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය යොමු කරන ආකාරයේ විශාල ඌනතාවක්‌ ඇති බව පෙන්විය යුතුය. දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා විසින් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය ලෝකයේ සියලුම පාර්ලිමේන්තු එකට එක්‌ කරන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව අයිතීන් කමිටුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය වසරේ ජුනි මාසයේදීය. මේ වන විට එයට මාස 18 ක්‌ පමණ ගෙවී ගොස්‌ ඇත. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයෙක්‌ ලංකාවට පැමිණ සරත් ෆොන්සේකා මහතාගේ නඩුවද නිරීක්‍ෂණය කරන ලදී. නමුත් අද වන තුරුත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් නිකුත් කොට නැතුවා පමණක්‌ නොව අඩුම වශයෙන් ෆොන්සේකා මහතාට යොමු අංකයක්‌ වත් ලබාදී නැත. නමුත් 2000 වසරේදී දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා තමන්ට එරෙහිව චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුව විසින් බොරු නඩු පවරා තමාගේ ජීවිතයටද තර්ජනය කර ඇති බවට අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කළ විට ඔවුන් එම කාරණා දෙකම පිළිගනිමින් ප්‍රසිද්ධ ප්‍රකාශ එකක්‌ පමණක්‌ නොව කීපයක්‌ම නිකුත් කළේය. එකල චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුව විසින් ජයලත් ජයවර්ධන මහතාට එරෙහිව පවරන ලද නඩුවත් සරත් ෆොන්සේකා මහතාගේ පළමු නඩුවට බොහෝ සෙයින් සමාන විය. දොස්‌තර ජයලත් ජයවර්ධන මහතාට එරෙහිව තිබුණේ රාජ්‍ය දේපළ නීතිය යටතේ වරදක්‌ වන වැඩ නොකර ආණ්‌ඩුවේ පඩි ලබා ගැනීමේ චෝදනාවකි. අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් 2000 වසරේ මැයි මාසයේදී ජෝර්දානයේ අම්මාන් නගරයේ පවත්වන ලද සැසි වාරයේදී ප්‍රකාශයක්‌ නිකුත් කරමින් පවසා සිටියේ දොස්‌තර ජයලත් ජයවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩු දේශපාලනික

හේතු මත පවරා ඇති ඒවා බව ඒත්තු යන බවත් ජයලත් ජයවර්ධන මහතාගේ ජීවිතයට තර්ජන ඇති බවත් රටේ ඉහළම තැන්වලින් ඔහු කොටි සංවිධානය සමඟ සම්බන්ධකම් පවත්වන බවට කරන චෝදනා ගැනත් එම සංගමයේ දැඩි අවධානය යොමුවී ඇති බවයි.

ජයලත් ජයවර්ධන මහතා සම්බන්ධයෙන්වත් කරන ලද ප්‍රකාශය වැනි එකක්‌වත් තවමත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් කර නැත්තේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී පැන නගී. දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා ඇතුළු එ. ජා. ප. ය ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඉදිරිපත් කරන ආකාරයේ විශාල වරදක්‌ ඇති බව අපට ඒ අනුව පෙනේ. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සිටින්නේ ගොන්නු නොවන බව අප වටහා ගත යුතුය. ඔවුන් නඩරාජා රවිරාඡ් මන්ත්‍රීවරයාගේ ඝාතනයත් ටී. මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ඝාතනයත්, ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයාගේ ඝාතනයත් වෙත වෙනම විමර්ශනය කොට නිකුත් කොට ඇති ප්‍රකාශවලින් ඒ බව ඉතා හොඳින් සනාථ වෙයි. අන්තර් පාර්ලිමේන්තු සංගමය ගොනාට අන්දවා තමන්ට අවශ්‍ය ප්‍රකාශ නිකුත් කර ගැනීම අසීරු කාරණාවකි. තමා අන්තර් පාර්ලිමේන්තු සංගමයට ගොස්‌ ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් කීවේ කුමක්‌දැයි මම දොස්‌තර ජයලත් ජයවර්ධන මහතාගෙන් ඇසුවේ අන්තර් පාර්ලිමේන්තු සංගමය ඉදිරියේ දැනට ඇති ප්‍රශ්නය වන්නේ ෆොන්සේකා මහතාගේ පළමු නඩුවයි. ඒ නිසි ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර හමුදාවට භාණ්‌ඩ ගෙන්වා ගැනීම පිළිබඳ චෝදනාවයි. දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා මට කියා සිටියේ ඔහු අන්තර් පාර්ලිමේන්තු සංගමයට ගොස්‌ මේ සම්බන්ධයෙන් කියා ඇත්තේ ෆොන්සේකා මහතාට එරෙහිව එම නඩුව හුදෙක්‌ම දේශපාලන හේතු මත පවරන ලද එකක්‌ බවත් එම නඩුවේ සියලුම සාක්‌ෂි ගොතන ලද ඒවා බවත්. ෆොන්සේකා මහතා නිර්දෝශී වුවත් ආණ්‌ඩුව මේ සියල්ල ඔහුට කරන්නේ ඔහු ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට එරෙහිව ඡන්දය ඉල්ලූ නිසා බවත්ය. මේ සියල්ල අසා අන්තර් පාර්ලිමේන්තු සංගමය මේ වනතෙක්‌ වචනයක්‌ වත් කියා නැත.

සරත් ෆොන්සේකා මහතාගේ එකී ටෙන්ඩර් නඩුව සහමුලින්ම බොරු එකක්‌ නම් ඔහුගේ බෑණා වන දනුන තිලකරත්න මහතා තවමත් සැඟවී සිටින්නේ මන්ද යන්න අන්තර් පාර්ලිමේන්තු සංගමයට විස්‌තර කළේ කෙසේදැයි මම ජයවර්ධන මහතාගේ අසා සිටියෙමි. අනෝමා ෆොන්සේකා මහත්මියට හා දියණියන් දෙදෙනාට හා අනෙක්‌ සියලුම නෑදෑයින්ටත් ප්‍රසිද්ධියේ ගැවසීමට හැකි වුවත් මොනම දේශපාලනයකටවත් ගෑවී නොසිටි ෆොන්සේකා පවුලට පිටින් සම්බන්ධ වුණු දනුන තිලකරත්න මහතා පමණක්‌ සැඟවී සිටින්නේ මන්ද යන ප්‍රශ්නය ඉබේම පැන නගී. මෙයට පිළිතුරු දුන් ජයවර්ධන මහතා කියා සිටින්නේ දනුක තිලකරත්න ගැන අන්තර් පාර්ලිමේන්තු සංගමය සොයා බලන්නේ නැති බවයි. කමුත් එවැනි පිළිතුරක්‌ අපිට පිළිගැනීමට අසීරුය. ෆොන්සේකා මහතා අද හිරේ සිටින්නේ දනුන තිලකරත්න මහතාගේ සමාගමක්‌ සමඟ සිදුවූ ගනුදෙනුවක්‌ නිසාය. ඒ ගැන අන්තර් පාර්ලිමේන්තු සංගමයද අවධානය යොමු නොකරනවා විය නොහැක. තවද ෆොන්සේකා මහතා හිරේ සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඡන්දය ඉල්ලූ නිසා බව කීමෙන් පැන නගින ඊළඟ ප්‍රශ්නය වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඡන්දය ඉල්ලා ෆොන්සේකා මහතාටත් වඩා ලක්‌ෂ 7 ක්‌ පමණ ඡන්දය ගත් රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ප්‍රශ්නයක්‌ නැතිවූයේ මන්ද යන්නයි. එ. ජා. ප.ය ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඉදිරිපත් කොට ඇත්තේ එම ජාත්‍යන්තර සභාවේ සිටින්නේ මෝඩයින් යන උපකල්පනය මත බව පෙනේ. ඔවුන්ට සාර්ථකත්වය ලබා ගැනීමට නොහැකි වූයේ ඒ නිසාය.

දැන් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය එ. ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන යැමට යූ. එන්. පී. කරයන්ගෙන් ජනවරමක්‌ ලබාගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ යන්නේ කලින් තිබුණු ටෙන්ඩර් නඩුවට නොව මෑතකදී තීන්දු වුණුq සුදුකොඩි නඩුව සම්බන්ධයෙනි. මේ ගැන මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගොස්‌ රනිල් වික්‍රමසිංහ මහතාට කීමට ඇත්තේ කුමක්‌ද? සුදු කොඩි නඩුවේදී රජයේ ප්‍රධානම සාක්‌ෂිකරු වූයේ 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට හා එ. ජා. ප. යට සහයෝගය දුන් පුවත්පතක කතුවරියකි. එම මැතිවරණයේදී එ. ජා. ප. ය විසින් අනුමත කරන ලද සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දැක්‌වීමට එම පුවත්පත විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක්‌ ගෙන තිබුණු බවත්, එම පුවත්පත මුද්‍රණය කරන ප්‍රමාණය වැඩිකීරීම සඳහා සතියකට ලක්‍ෂ 10 ක මුදලක්‌ එ. ජා. ප. ය විසින් ඔවුන්ට ලබා දුන් බවත් ඒ කතුවරිය විසින්ම එම පුවත්පතේම පලකරන ලද ලිපියකින් ප්‍රසිද්ධියේ පිළිගෙන තිබිණි. තවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටත්වීමට පැමිණෙන කොටින්ට වෙඩි තබන මෙන් ශවේන්ද්‍ර සිල්වාට කීවා යෑයි ෆොන්සේකා ඇයට කී කථාව ඇය පුවත්පතේ ප්‍රධාන සිරස්‌තලය හැටියට නොගත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද අපරාධකරුවකු බවට පත්කිරීමෙන් විපක්‍ෂයට දේශපාලන වාසියක්‌ ලබාදීමේ අටියෙන් බවත් ඇය කියා ඇත. එ. ජා. ප. යටම සම්බන්ධ උදවිය විසින් සාක්‌ෂි ලබාදී ෆොන්සේකා මහතාගේ සිරගතවීම තහවුරු කර තිබෙන විට ඒ කාරණය රනිල් වික්‍රමසිංහ මහතා මානව හිමිකම් කවුන්සිලයට විස්‌තර කර දක්‌වන්නේ කෙසේද?

එපමණක්‌ද නොවේ සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිව සිටියදී විපක්‍ෂය ඔහුට සලකන ලද්දේ රජයේ නිලධාරියකු හැටියට නොව ආණ්‌ඩුවේ දේශපාලනඥයකු හැටියටයි. 2009 ජනවාරි 9 වැනිදා ලසන්ත විකුමතුංග මහතා ඝාතනය කරනු ලැබූ විට රනිල් වික්‍රමසිංහ මහතා එදිනම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේ මේ ඝාතන සිදුකරන්නේ හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පමණක්‌ වග කියන ඝාතන කණ්‌ඩායම් විසින් බවයි. නමුත් ෆොන්සේකා මහතා ආණ්‌ඩුව සමඟ ප්‍රශ්න ඇතිකරගෙන දේශපාලනයට පිවිසුණු පසු ඔහු ඝාතකයකු නොව ජනාධිපති කමටත් සුදුසු පුද්ගලයකු හැටියට ඒ වික්‍රමසිංහ මහතාම පිළිගෙන ඇත. මානව හිමිකම් කවුන්සිලයට ප්‍රශ්නය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වැන්නෙක්‌ ඔවුන් ඉදිරියට පැමිණ කියන කිසි දෙයකට වලංගුතාවක්‌ ආරූඨ කළ හැකිද යන්නයි. වික්‍රමසිංහ මහතා අද කියන දෙය දේශපාලන හේතූන් මත හෙට වෙනස්‌ විය හැක. එවැනි තත්ත්වයක්‌ යටතේ මානව හිමිකම් කවුන්සිලයට වික්‍රමසිංහ මහතා වැනි අයකුගෙන් කෙරෙන ප්‍රකාශයක්‌ පිළිගත හැකි ද යන ප්‍රශ්නය මතුවෙයි. අද ඔහු ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් දරණ ස්‌ථාවරය නිවැරැදි නම් 2009 ජනවාරි 9 වැනිදා ඔහු පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන් පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ යනු කිසිදු සාක්‌ෂියක්‌ නොමැතිව නිර්දෝෂී පුද්ගලයන්ට එරෙහිව දේශපාලන හේතුන් මත පාර්ලිමේන්තු වරප්‍රසාද ද දරුණු අපයෝජනයකට ලක්‌ කරමින් තමන්ගේ විරුද්ධවාදීන්ට චෝදනා එල්ල කරන විපක්‍ෂ නායකවරයකු බවයි. එවැනි විපක්‍ෂ නායකවරයකුගේ කතාවක්‌ මානව හිමිකම් කවුන්සිලයට සලකා බැලිය හැකිද?



-උපුටා ගැනීම
දිවයින
2011-12-05
 

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 3210353653305072941

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item