සිහිකර ඒ විරු දරුවන් පුදදෙමි ජාතික අබිමන්!

අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ කොටි වධකාගාරවල වධහිංසා ඉවසමින් සිට නොබා නොසැළී දිවිපිදූ ඒ වීරයන්ගේ කැපකිරීම් සිහිපත් කරන අප හදවත් ...

අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ කොටි වධකාගාරවල වධහිංසා ඉවසමින් සිට නොබා නොසැළී දිවිපිදූ ඒ වීරයන්ගේ කැපකිරීම් සිහිපත් කරන අප හදවත් රිදුම් දෙයි. සියොළඟ සසල වේ. හිත් ශෝකයෙන් බර වේ. ඒ සමගම ඒ විරුවන් කළ කැපකිරීම් වලින් අපේ ආධ්‍යාත්මය තවත් ශක්‌තිමත් වෙයි. රටට ෙද්‍රdaහීවීමේ ත්‍රස්‌තවාදීන්ගේ ම්ලේච්ඡ යෝජනාවලට එකඟ නොවී උන්ගේ වධකාගාරවල අවුරුදු ගණනක්‌ තිස්‌සේ මහ පොළොව නුහුලන වධවේදනා විඳි ඒ උතුම් විරුවන්ගේ මෘත ශරීරවලටත් මිනීමරු පිරභාහරන් කල්ලිය බියවූ බවට සැකයක්‌ නැත. ෆැසිස්‌ට්‌වාදී කොටි කල්ලිය ඒ වීරෝදාර දේශප්‍රේමීන්ගේ ලේ වලට හා මෘත ශරීරවලට මෙන්ම ඇටකටුවලට ද බියවූ බව පැහැදිලි වන්නේ සිරභාරයේ පසුවූ රණවිරුවන්ට වෙඩි තැබූ තැන්වල වැගිරුණු රුධිරය පවා පස්‌වලින් වසා මළ සිරුරු වෙනත් තැනකට ගෙනගොස්‌ පුළුස්‌සා භෂ්මාවශේෂ තවත් තැනක වැළලූ හෙයිනි. දැනට අත්අඩංගුවේ පසුවන කොටි ත්‍රස්‌තවාදීන්ගේ පාපොච්ඡාරණය ඔස්‌සේ ගිය හමුදා බුද්ධි අංශ හා පොලිස්‌ විශේෂ කාර්ය සාධක බළකාය සමග එක්‌ව පරීක්‍ෂණ කටයුතු ඇරැඹූ විද්වතුන්ට මරා පුළුස්‌සා වළ දැමූ රණවිරු භෂ්මාවශේෂ සොයාගත හැකි වූවත් බටහිර ධනේශ්වර අධිපතිවාදී බලවේග දැනටත් නිලනොවන දෙමළ ඊළාම් රාජ්‍යයන් සඳහා උපායශීලී ලෙස සහාය වේ.

මේ ලිපිය ලියන මා සිරිමාවෝ මැතිනිය ප්‍රමුඛ සමගි පෙරමුණ ආණ්‌ඩුවේ මෙන්ම ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවේද වධහිංසාවන්ට ගොදුරුවී ඇති හෙයින් කොටි වධ කඳවුරුවල අවුරුදු ගණන් දුක්‌වේදනා විඳ දිවිපිදූ රණවිරුවන් ගැන සිතන මගේ ලේ, මස්‌, ඇටමිදුළු හා ඇට පවා රිදුම් දෙයි. වියට්‌නාමයේ ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්‌සත් ජනපද තානාපති කාර්යාලයට පහරදීමේ චෝදනාව හා ආයුධ සන්නද්ධ විප්ලවයක්‌ දියත් කරන අරමුණින් සැඟවී සංවිධාන කටයුතු කරන්නේ යෑයි සමගි පෙරමුණු ආණ්‌ඩුව තුළ ඇතිවූ සැකයට අත්අඩංගුවට ගනු ලැබ පුරා මාසයක්‌ තිස්‌සේ රහස්‌ පොලිසියේ විශේෂ අංශයේත් රාත්‍රි කාලයට උපරිම ආරක්‍ෂක විධිවිධාන සහිත වරාය පොලිසියේත් යුද හමුදා පොලිසියේ දැඩි ආරක්‍ෂා සහිත සිරකුටියකත් පුරා වසරක්‌ තිස්‌සේ මහර බන්ධනාගාරයේ අඳුරු සිර මැදිරියකත් තවත් අවුරුදු තුනක්‌ තිස්‌සේ මැගසින් බන්ධනාගාරයේ වෙන්කර වසනු තැබූ කොටසේත් දැඩි මර්දනයකට ගොදුරුව දිවිගෙවන්නට සිදුවූ මට තමන් නොදන්නා අඳුරු කටුක වන පරිසරයක ම්ලේච්ඡ කොටි වධ කඳවුරුවල අවුරුදු ගණන් යටත් නොවී සිටි විරුවන් විඳි වධ වේදනා ගැන සිතාගත හැක.

අමෙරිකානු තානාපති මැඳුරට පහරදුන් තැන් පටන් අවුරුදු දෙකකට වැඩි කාලයක්‌ සැඟවී සංවිධාන කටයුතු කළ මා අත්අඩංගුවට ගන්නට රටපුරා දෙවසරක්‌ තිස්‌සේ පරීක්‍ෂණ කරමින් අපමණ වෙහෙසක්‌ දැරූ ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ රහස්‌ පරීක්‍ෂණ අංශය අත්අඩංගුවට ගත් මට කොතෙකුත් වධහිංසා කළ ද පොලිස්‌ නිලධාරීන් මට පහරදුන්නේ මා නොමරා මගෙන් අපේ අනාගත සැලසුම් දැනගන්නා අරමුණින් හා හැකිනම් ජ.වි.පෙ. නායකත්වයට එරෙහිව පැවැත්වුණු මහනඩුවේ ප්‍රබල සාක්‍ෂිකරුවෙක්‌ කරගන්නා අරමුණෙනි. කෙතරම් පහර දුන්නත් කොතරම් වධහිංසා කළත් මා දිගින් දිගටම කියා සිටියේ අපේ අනාගත සැලැස්‌ම වන්නේ දිගුකාලීන වැඩපිළිවෙළක්‌ මගින් රටවැසි බහුතර ජනතාව සංවිධානය කර බහුජන විප්ලවීය ක්‍රියා මාර්ගයක්‌ මගින් රාජ්‍ය බලය ලබාගෙන රටත් ජනතාවත් සුත මුදිත කරමින් උසස්‌ අනාගතයක්‌ කරා සමාජය ඉදිරියට ගෙනයැම බවයි.

කෙතරම් පහරදීම් හා වධහිංසා කළත් මගේ ස්‌ථාවරය වෙනස්‌ කරන ප්‍රකාශයක්‌ ගත නොහැකිවූ රහස්‌ පොලිසියේ විශේෂ අංශයේ විමර්ශකයෝ මගේ ඉදිරි විප්ලවීය දේශපාලන ගමන විනාශ කිරීමේ අරමුණින් ඉහළින් ලැබුණු උපදෙස්‌මත මා ජ.වි.පෙ. නායකත්වයට එරෙහිව පැවැත්වෙමින් තිබූ මහනඩුවේ සාක්‌කිකාරයෙක්‌ කරන්නට උත්සාහ දැරූහ. රෝහණ විඡේවීරගේ ප්‍රබල සටන් සගයාව සිටි නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල විඡේවීර ඇතුළු නායකයන්ගේ ඇස්‌ ඉදිරියේම ඔවුනට එරෙහිව සාක්‍ෂිදෙමින් තම විප්ලවීය දේශපාලන අනාගතය විනාශකර ගත් නමුත් රජයේ සාක්‍ෂිකරුවෙකුවීමේ පොලිසියේ යෝජනාව මම මුළුමනින් ප්‍රතික්‍ෂේප කළෙමි. ඒ නිසාම මට මාසයක වධහිංසා වලින් පසු අවුරුද්දක්‌ පුරා අපායක්‌වන් අපිරිසිදු සිර මැදිරියක දිවිගෙවන්නට සිදුවිය. සරසවි ශිෂ්‍ය අවදියේ පටන් අපේ දේශපාලන මිතුරන්ව සිටි සමගි පෙරමුණු නායකයන් යටතේ පවා අපට එතරම් වධහිංසා විඳින්නට සිදුවී නම් ෆැසිස්‌ට්‌වාදී කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් උන්ගේ අත්අඩංගුවේ අවුරුදු ගණනක්‌ කොටි වධකාගාරවල සිටියවුන්ට කෙතරම් බිහිසුණු වධහිංසාවන්ට මුහුණ දෙන්නට සිදුවන්න්ට ඇත්දැයි සිතන විට පවා අපේ හිත් සසල වේ.

යාල අභය භූමියට කිට්‌ටු වනගත පරිසරයක ඔක්‌කම්පිටියට නොදුරු කිරිමැටිආරේදී මැදියම් රැයේ අත්අඩංගුවට ගනු ලැබ මාංචු දමා කොළඹට ගෙනා මට කොල්ලුපිටියේ රහස්‌ විශේෂ අංශයේ නිලධාරීන් හතර අතින් වටවී කිහිපවිටක්‌ බිම වැටෙන තුරු පහරදී නැවත නැවත නැඟීටුවමින් පහර දුන්නද බිම වැටෙන කිසිවිටෙකත් උස්‌ මිනිසෙකුවූ මගේ හිස පොළවේ වදින්නට ඔවුන් ඉඩ තැබුවේ නැත. "තොට ගහන්නේ සයරෝගෙ හැදිල හිමිහිට මැරෙන්නයි" කියමින් කොතෙකුත් මගේ පපුවට පහර දෙනවිට මට මගේ මාංචු දමා තිබූ දෑතින් පහර වළක්‌වන්නට යැමේ ප්‍රතිඵලය වූයේ මට පහරදුන් නිලධාරියෙකුගේ අත මාංචුවේ වැදී තුවාල වීමයි. කෝපයට පත් උසමහත දැවැන්තයකු වූ නිලධාරියා මට බිම වැටෙන්නට පා පහරදී මගේ මාංචුගලවා අත් පිටුපසට තබා යළි මාංචුදමා නැවතත් දරුණු ලෙස පහර දෙන්නට වූයේ තමන්ට ඇති වූ වේදනාවට පලිගන්නාක්‌ මෙනි.

මගේ පපුවේ ලොම් ගුලිපිටින් අල්ලා අඹරවා ඇද දමමින් මට වධහිංසා කළ පොලිස්‌ පරීක්‍ෂක ජෙගනාදන් (පසුව පොලිස්‌ අධිකාරි විය) කිසිවිටෙකත් මට දරුණු ලෙස පහර එල්ල කළේ නැත. කෙසේ වුවත් රහස්‌ පොලිසියේ අප අත්දුටු දරුණුම පහරදීම වූයේ උසමහත නිලධාරීන් හතර දෙනෙකු ඉදිරිපසින් හා පසුපසින් සිට ඉක්‌මනින් බිම වැටෙන්නට පවා ඉඩ නොතබා හෙනගහන්නාක්‌ මෙන් එක දිගට පහරදීමයි. ඒ පහරදීමේ අරමුණ වූයේ හෙනගහන්නාක්‌මෙන් එකදිගට හතර අතින් නොකඩවා කරන පහරදීමෙන් සිරකරුවා තුළ මරණ බිය ඇතිකරවීමයි. එහෙත් පහරකා බිම වැටුණු හැම අවස්‌ථාවක මා දුටුවේ හතිලමින් මදෙස බලාසිටින මට පහරදුන් අයගේ අසාර්ථක බවයි. අප මුහුණ පෑ ඒ තත්ත්වය සමග සසඳන විට කොටි වධකාගාරවල වධ හිංසාවනට ගොදුරුවූ දේශප්‍රේමී රණවිරුවන් මුහුණ පෑ තත්ත්වය කෙතරම් ෙ€දජනක වන්නට ඇත්දැයි සිතේ. ජීවිතයේ වසන්ත සමයේ රට වෙනුවෙන් අප්‍රමාණ වධවේදනා විඳදරාගෙන දිවිපිදූවන්ගේ ආත්ම පූජාවන්ගෙන් අපේ ආධ්‍යාත්මය වේදනාවෙන්ම ශක්‌තිමත් වේ.



කොටි වධ කඳවුරුවල සිට දසවධදී මරා දමන ලද රණවිරුවන්ගේ භෂ්මාවශේෂ කොළඹට ගෙනා ප්‍රවෘත්තිය දුටු මගේ හිත වේදනාවෙන් දැවෙන්නට වූයේ වධහිංසාවන්ට මුහුණ දීම පිළිබඳ අපේම අත්දැකීම් සිහිපත්වූ හෙයිනි. කොටින්ගේ වධහිංසාවන්ට ලක්‌වූ රණවිරුන්ගේ හා අපේ අත්දැකීම් සැසඳීමේදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක්‌ වන්නේ දවල් දවසේ රහස්‌ පොලිසියේ විශේෂ අංශයේදී කෙතරම් පහරදීම් වලට ලක්‌වුවද රාත්‍රි කාලයේ මා රඳවා තැබුවේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ ක්‍රියාකාරී නායකත්වයෙන් පැවති යුද හමුදා පොලිසියේ සිර මැදිරියක වීමයි. එවකට මේජර් වරයෙකුවූ කොබ්බෑකඩුව මහතාගේ මෙහෙයවීමෙන් දහස්‌ ගණනක හමුදා පිරිසක්‌ යොදවා මගේ ගම් ප්‍රදේශය වටලා පීරා කළ සෝදිසියකින් පවා මා අත්අඩංගුවට ගත නොහැකි වුවත් පසුව රහස්‌ පොලිසිය මගින් මා අත්අඩංගුවට ගෙන ඉදිමෙන තුරු පහරදී දෙවැනි රැයේ හමුදා පොලිසියේ රඳවා තබන්නට ගෙනා අවස්‌ථාවේ මගේ ඉදිමුණු මුහුණත් ගෙලත් ඉදිමුණු පපුවත් දෙස බැලූ කොබ්බෑකඩුව මහතා වහාම මා හමුදා රෝහලට යවා එක්‌ස්‌රේ කිරණ ඇතුළු විධිමත් පරීක්‍ෂණයක්‌ කරවා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට තරම් කාරුණික විය. එවන් නීතිගරුක නිලධාරි මහතෙකුගේ මෙහෙයවීමෙන් පවත්නා තැනක රාත්‍රියේ සිරකර තැබීම පවා එක්‌ අතකින් අපට සහනයක්‌ වුවත් කොටි වධකඳවුරුවල කොතෙකුත් වධහිංසා දී මරා දමනු ලැබූ රණවිරුවන්ට මුහුණ පාන්නට සිදුවිය හැකි ෙ€දජනක තත්ත්වය ගැන සිතන අපේ සිත් සොවින් බරවෙයි.

අත්අඩංගුවට ගනුලැබ කොතෙකුත් පහරදීම් කරමින් දවල් දවස පුරා එකදිගට ප්‍රශ්න කරමින් ගතවූ මාසයකට පසු මහර බන්ධනාගාරයේ දරුණු අපරාධකාරයන් රඳවන අන්ත අපිරිසිදු ගොඩනැඟිල්ලක අඳුරු සිර මැදිරියක මා රඳවා සිටියද මා සිරකර තිබුණේ අප හොඳින් දන්නා කඩවත හා රාගම අතර දෙල්පෙ හන්දියට කිට්‌ටුවෙන් පිහිටි පරිසරයකය. එහෙත් අවුරුදු ගණන් කොටි වධකඳවුරුවල දහදුක්‌ විඳි ඒ රණවිරුවන් සිරකර සිටියේ ඔවුන් තබා සාමාන්‍ය දෙමළ ජනතාව පවා නොදන්නා කටුක වනගත පරිසරයන්හීය. මා මහර බන්ධනාගාරයට ගෙන ගොස්‌ මාස කීපයකට පසු මගේ රැකවලට යෙදුවූවන් අතර වූ බුද්ධදාස නමැති තලතුනා වයසේ නියාමක (ගාඩ්) වරයා මා සමග බුදු දහම ගැන කතා කරන්නට තරම් මිත්‍රශීලී විය. තවත් දිනෙක මට දැනගන්නට ලැබුණේ ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුවේ විත්තිකරුවන්වූ හමුදා නිලධාරින් දෙදෙනෙකුද මහර බන්ධනාගාරයට ගෙනා බවයි. එය ඇසූ මා තුළ සිරිමාවෝ මැතිනියගේ නායකත්වය යටතේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේය යන විශ්වාසය ඇති විය. එහෙත් කිසිදු නීතියක්‌ යුක්‌තියක්‌ නැති කොටි වධක කඳවුරුවල දුක්‌විඳි රණවිරුවන්ට අසන්න ලැබෙන්නේ කොටි ත්‍රස්‌තයන්ගේ තර්ජන ගර්ජන පමණක්‌ බවට සැකයක්‌ නැත.

ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව යටතේ ජාතික චින්තනය සිරගත කරන්නට නොහැකි වූයේ ප්‍රසිද්ධ වේදිකාවේ අප නැඟූ ජාතික චින්තනයේ හඬ තම ලියවිලි මගින් පතුරුවන්නට ගුණදාස අමරසේකරයන් පෙරමුණ ගත් හෙයිනි. පසුව මහාචාර්ය නලීන් ද සිල්වා මහතාද වාසුදේව, වික්‍රමබාහු ප්‍රමුඛ නව සමසමාජයෙන් ඉවත්වී ජාතික චින්තනය වෙනුවෙන් කැපවීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. එසේ බන්ධනාගාර ගතව සිටියද අපට විජය දිනානායක මහාචාර්යතුමන් සමග පවා සබඳකම් පැවැත්විය හැකි වුවත් කොටි වධකඳවුරුවල අවුරුදු ගණන් සිරගතව අප්‍රමාණව දුක්‌විඳ දිවිපුදන්නට සිදුවූ විරුවන්ට දිවිපුදන්නටවූයේ දේශප්‍රේමී ජාතික හැඟීම් හදවත් තුළ දරාගෙනය.

ත්‍රස්‌තවාදී තර්ජන ගර්ජන සමග මිහිකත නුසුලන වධ වේදනා විඳ මව්බිම වෙනුවෙන් දිවිපුදන්නට සිදුවූ රණවිරුවන් විසින් කරන ලද කැපකිරීම් ගැන සිතන අප හදවත් ශෝකයෙන් බරවූවත් ඒ උදාර වීරයන්ගේ ශ්‍රේෂ්ඨ ආත්ම පරිත්‍යාගයන් ජාතියේ ආධ්‍යාත්මය ශක්‌තිමත් කරන බව ඒකාන්තය. සහනදායී වචනයක්‌ පවා අසන්නට නොලබා කොතෙකුත් වධවේදනා විඳිමින් එක හිතින් හිතාගෙන රටදැය වෙනුවෙන් කැපවී සිටි ඒ උදාර වීරයන්ගේ භෂ්මාවශේෂ ගාලු මුවදොර පිටිය ජනපති ලේකම් කාර්යාලයට කිට්‌ටුවෙන් ජාතික අනන්‍යතාව ප්‍රකට කරන ස්‌තූපයක්‌ වන් ගරු ගාම්භීර සිහිවටනයක්‌ ඉදිකළ යුතු බව අවධාරණය කරමින් ඒ විරුවන්ගේ වේදනාව දැනෙන දැවෙන හදින් ලියන ලිපිය අවසන් කරමි.

අනගාරික ධර්මසේකර
උපුටා ගැනීම
දිවයින
2010/12/05
වසරකට පෙර දිවයින පුව්ත්පතේ පලවූවකි

Related

අනගාරික ධර්මසේකර 3842677864249355013

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item