අධිවේග මාර්ගය රටට ආශ්චර්යයක්‌ වෙයිද?

- මතුගම සෙනෙවිරුවන් ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය දැන් ජනතා අයිතියට පැවරී තිබේ. කිලෝමීටර් අනූපහක්‌ දිගැති මංතීරු දෙකකින් සමන්වි...


-මතුගම සෙනෙවිරුවන්
ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය දැන් ජනතා අයිතියට පැවරී තිබේ. කිලෝමීටර් අනූපහක්‌ දිගැති මංතීරු දෙකකින් සමන්විත ගාල්ල කොට්‌ටාව අධිවේගී මාර්ගය විවිධ බාධක යටතේ ඉදිකරන ලද්දකි. පසුගිය එක්‌සත් ජාතික පක්‍ෂ රජය යටතේ මෙම යෝජනාව කරළියට පැමිණෙන විට එයට විරෝධතා එල්ල කළ බොහෝ පිරිසක්‌ වූහ. ඉන් වැඩි පිරිසක්‌ සිය නිවාස හා දේපළ අහිමි වන්නන් ය. ඊට අමතරව පරිසර පද්ධතිය වෙනස්‌ වීමට එරෙහිව විවිධ පරිසර සංවිධාන දැවැන්ත විරෝධතා රාශියක්‌ දියත් කළේය. ඒ තත්ත්වය කාලයක්‌ ඇදී ගියේය. කොටි ත්‍රස්‌ත යුද්ධය හා රටේ පැවති අයහපත් වාතාවරණය හේතු කොට ගෙන මෙම ව්‍යාපෘතිය දිනෙන් දිනම පමා විය. නමුත් රට සෙමෙහි තබා කොටි පරාජය කළ වත්මන් රජය සිය ප්‍රධාන සංවර්ධන කටයුත්තක්‌ ලෙසට සලකා එය නිම කරන්නට ප්‍රමුඛතාව දුන්නේය. මෙම ව්‍යාපෘතිය ජාතික අවශ්‍යතා මත යෝජනා කරන ලද්දක්‌ නොවේ. ලංකාව පුරා ඉදිකිරීමට යෝජිත අධිවේගී මාර්ග පද්ධතියක කොටසක්‌ ලෙසට මෙය හැඳින්විය හැකිය.

අධිවේගී මාර්ගය සකස්‌ කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන හැත්තෑවක්‌ පමණ ලැබී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව සහ ජෙයිකා වැඩසටහන මගින් මූල්‍යාධාර සපයා ඇත. ආසියාතික රටවල මාර්ග පහසුකම් දියුණු කිරීම සහ ඒවා ජාත්‍යන්තර වශයෙන් ඒකාබද්ධ කිරීම නම් යෝජනාව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ සම්මේලනයේ පනස්‌ අටවැනි සැසිවාරයට ඉදිරිපත් කරන ලද්දේ 2001 වසරේ නොවැම්බර් 11 දින බැංකොක්‌ නගරයේදීය. එය නම්කරන ලද්දේ ආසියාතික අධිවේග මාර්ග ජාලය පිළිබඳ අන්තර් රාජ්‍ය ගිවිසුම යනුවෙනි. ආසියා හා පැසිපික්‌ කලාපයේ ආර්ථික හා සමාජීය කටයුතු පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මේ සඳහා රැස්‌වූ කොමිටිය 2002 වසරේදී නැවත සිය අරමුණු සඳහා එකඟතාව පළකර සිටියහ. ප්‍රවාහනය, සංනිවේදනය, සංචාරක ව්‍යාපාරය වැනි අරමුණු සාක්‌ෂාත් කරගැනීම උදෙසා සියලු ආසියාතික රාජ්‍යයන් ජාලයකට හසු කිරීම මෙහි උපාය මාර්ගය විය.

2004 අප්‍රේල් මස 26 වැනිදා ශැන්හයි නුවරදී රැස්‌වූ රටවල් විසිහතකින් යුක්‌ත වූ මේ සමුළුවේදී එවකට මහලේකම්ව සිටි කොµS අනන් මහතා මේ අරමුණ වෙනුවෙන් කළ ප්‍රකාශය මෙහිලා දැක්‌වීම උචිතය.

"ආසියාතිකයන් අතර සිටින නායකයන් ව්‍යවසායකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද කාලයක සිට වඩාත් පහසුකම් සහිත ප්‍රවාහන පද්ධතියක්‌ පිළිබඳව සිහින දකිමින් සිටියහ. අද වැනි දිනයක අන්තර් රාජ්‍ය අතර අත්සන් කරන මේ අධිවේගී මාර්ග පිළිබඳ ගිවිසුම එම ඉලක්‌කයන් කරා යැම පිණිස වැදගත් ආරම්භයකි. ආසියාවේ අනාගතය ගෝලීයකරණය තුළ රැඳී තිබේ. තොරතුරු තාක්‍ෂණය සීමා මායිම් නැති සම්බන්ධතා ජාලය මගින් ආර්ථික වර්ධනය සතුටුදායක ලෙසට ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. නමුත් යටිතල පහසුකම් සංවර්ධනය නොවුණ හොත් එය සිහිනයක්‌ පමණි. අධිවේගී මාර්ග ජාලය පණගැන්වීම පිණිස එයට අවශ්‍ය ගිවිසුම්වලට එළඹීම විශාල ඉදිරි පියවරකි. රටවල් තිස්‌දෙකක සමූහයක්‌ විසින් මෙම ගිවිසුමට එකඟතාව පළ කිරීම මගින් නව සහශ්‍ර වර්ෂයේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට විශාල ශක්‌තියක්‌ වනවා නිසැකය.

2006 අප්‍රේල් විසිහය වැනිදා එවකට විදේශ ඇමැතිවරයාව සිටි ලක්‍ෂ්මන් කදීර්ගාමර් මහතා මෙම එකඟතා ගිවිසුමට අත්සන් තැබූයේ විසිතුන් වැනි රට වශයෙනි. ඒ අනුව ඒ. එච්. 43 (asස්‌බ යසටය ආහ) සහ 44 අංකය යටතේ අධිවේග මාර්ග පද්ධතිය ලංකාවේ සංවර්ධනය කළ යුතු විය. ඉන්දියාවේ අග්‍රා, නාග්පූර්, හයද්‍රdබාද්, බැන්ගලෝර්, ක්‍රිෂ්ණගිරි, මදුරෙයි, දනුස්‌කොඩි, තලෙයිමන්නාරම, අනුරාධපුර, දඹුල්ල, කුරුණෑගල, නුවර, කොළඹ, ගාල්ල, මාතර වශයෙන් මෙම මාර්ග ජාලය සම්බන්ධ කළ යුතු විය. එසේම ඉන්දියාවේ මාර්ග පද්ධතිය ද ආසියාවේ අනෙකුත් රටවල මාර්ග හා සම්බන්ධ වෙයි.

මෙම අධිවේග මාර්ග ජාලය පිළිබඳ ශ්‍රී ලංකා අරමුණු සර්ව සම්පූර්ණ නොවුණ ද කොට්‌ටාව ගාල්ල අතර මූලික පිවිසුමක්‌ අහවර කිරීම ලක්‌ රජයේ ජයග්‍රහණයක්‌ වෙයි. කොටි ත්‍රස්‌තවාදී යුද්ධයට ප්‍රථම මෙවැනි ගෝලීයකරණ ගිවිසුම් ලංකාව තුළ ඉටුකිරීම ඉතා අසීරු විය. පීඩාවට පත්ව සිටි ජනතාව මෙම යෝජනාවලට එක හෙළා විරුද්ධත්වය ප්‍රකාශ කිරීම එයට හේතුවයි නමුත් යුද්ධයේ පීඩාව නිමවී රටේ සාමය ස්‌ථාපිත වී තිබීම මගින් බාධාවක්‌ නොමැතිවම නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත. එහෙත් රටක්‌ වශයෙන් ගත් විට ගෝලීය උපාය මාර්ග දීර්ඝකාලීනව වැදගත් වන්නේ කෙසේ දැයි කල්පනා කර බැලිය යුතුය. කොµS අනන් මහතා ප්‍රකාශ කළ අරමුණු සහ එක්‌සත් ජාතීන්ගේ උපාය මාර්ග විමර්ශනය කිරීම මගින් අප තේරුම් ගතයුතුව තිබෙන්නේ යුරෝපයේ පැවැත්ම උදෙසා ආසියාතිකයන් ජාලගත කිරීම නව අධිරාජ්‍යවාදී සැලැස්‌ම වී ඇති බවයි. යුරෝපය ආර්ථික වශයෙන් අර්බුදයට පත්ව බෙලහීනව පවතින වත්මන් කාලවකවානුව තුළ සියලු බැමි ලිහිල් කරමින් ගෝලීයකරණය වැළඳ ගැනීමට යැම එම නිසා දිවිනසා ගැනීමක්‌ ද විය හැකිය.

අධිවේග මාර්ගය විවෘත කිරීමට ප්‍රථම එහි නිදහසේ ඇවිද යැමේ වරම සාමාන්‍ය ජනතාවට හිමිවිය. ඔවුහු බහුතරයක්‌ එයට පිවිස කිරිබත් කා පෙරහැර පවත්වා දේශපාලන සංදර්ශන පවත්වා විසිර ගියහ. නමුත් දැන් මේ දීර්ඝ මාර්ග පද්ධතියට ඇතුල් විය හැක්‌කේ බලපත්‍රලාභීන්ට පමණකි. එයද සිදු කළ යුත්තේ අධිවේගී මෝටර් වාහනයකින් පමණි.

ගාල්ල සිට කොට්‌ටාව දක්‌වා මේ මාර්ගය තැනීමේදී සාමාන්‍ය ජනතාව විශාල පරිත්‍යාගයන් කළහ. ඔවුහු සිය පාරම්පරික ගම්බිම් වලින් ඉවත් වී නුහුරු නුපුරුදු පෙදෙස්‌වලට ගියහ. ඇතැම් විට එකම ලේ ඥතීන් ගම් වශයෙන් දෙකඩ විය. අධිවේගී මාර්ගයට පස්‌ පිරවීම නිසා ගාලු දිස්‌ත්‍රික්‌කයේ සහ කළුතර දිස්‌ත්‍රික්‌කයේ ගම් රාශියක ගංවතුර තර්ජනය උග්‍ර විය. ගංවතුර පිටාරය නිසා දින ගණනක්‌ වතුර බැස නොයා ජනතාවට පීඩා ගෙන දුන්හ. එම තත්ත්වය වසරින් වසර උග්‍රවන්නේ මාර්ග කොන්ත්‍රාත්කරුවන් ජලය බැස යැම පිළිබඳ ප්‍රමාණවත් අවධානය යොමු නොකළ බැවිනි. මෙම අධිවේග මාර්ගය පිළිබඳ පරිසර ඇගයීම් වාර්තාව ප්‍රසිද්ධියට පත්වූවායින් පසුව ඒ පිළිබඳ ස්‌ථාන ගණනාවකදී තිබූ සංවාදවලදී මේ අනාගත පරිසර හානි ගැන ජනතාව පුන පුනා කියූ හැටි නැවතත් මතකයට නැඟේ. එම ප්‍රකාශන මගින් එළිදැක්‌වූ සත්‍යය ඒ අයුරින්ම දැකගන්නට හැකි විය. ඇතැම් තැන්වල ඉදිකිරීම් පවා වෙනස්‌ කරන්නට රජයට සිදුවිය. ලෙව්වන්දුව පිවිසුමේ ආසන්නයේ පස්‌ පිරවීමේදී අසල ගම් වල පානීය ජලය පවා සිඳී ගියේය. නමුත් ඒ පිළිබඳ දැඩි අවධානයක්‌ යොමු නොවීය.

ඒ අයුරින් බලන කල්හි කිරිබත් කමින් මේ ගෝලීය ආශ්චර්ය ගැන සතුටු වීමට ජනතාවට ඉඩක්‌ නැත. රජය ද කර තිබෙන්නේ තමන් සහ තමන්ගේ පූර්වගාමිකයන් අත්සන් කළ ගිවිසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමයි. ව්‍යාපාර පවරා ගෙන විදේශීය ආයෝජකයන්ට ලබාදීම පැරැණි වෙළෙඳපොළ අරමුණු නව මුහුණුවරකින් ගෙන ඒම අධිවේගී මාර්ග ඉදිකිරීමට සමගාමීව සිදුවෙයි. ජනතාව අකමැති වුවද කැමති වුවද මේ ගෝලීය ප්‍රවණතා ක්‍රියාත්මක වෙයි. එහෙත් ඒ තත්ත්වය තුළ වුවද රටේ අනන්‍යතාවන් රැකගැනීම පිණිස ජාතික රජයන්ට ඉලක්‌ක තිබිය යුතුය. ජනතාව සන්ධාන රජය බලයට පත්කරන ලද්දේ ජාතික ආර්ථිකයක්‌ පිළිබඳ මහින්ද චින්තන ලියවිල්ලේ අවධානයෙන් සඳහන් කර තිබූ බැවිනි. කවදා හෝ තලේමන්නාරම හරහා පාලමක්‌ සෑදී රේගු නීතිරීති ලිහිල් වූ කල්හි ජාතික ආර්ථිකය සංකල්පය වඳ වී ගිය ජාතියක සුසුමක්‌ පමණක්‌ වනු ඇත.

අධිවේග මාර්ග ජාලයට සම්බන්ධ අනෙකුත් ග්‍රාමීය මාර්ග ජාලයන් වැඩිදියුණු කිරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වලින් මුදල් ලැබෙන අතර ඒ පිළිබඳ ගිජු ලෙසින් කටයුතු කිරීම ඇරුණු කොට ගෝලීයකරණය තුළ රටේ සංස්‌කෘතිය, භාෂාව, සම්පත් සහ සාම්ප්‍රදායික හැසිරවීම් පවත්වාගෙන යැම පිළිබඳ කතිකාවතක්‌ හෝ ප්‍රතිපත්තියක්‌ නිර්මාණය වී නැත. එම නිසා ඉතිරි අධිවේගී මාර්ග පද්ධතිය ද සම්පූර්ණ කරගැනීමට රජයට ඕනෑ තරම් ආශීර්වාද හිමිවනු නිසැකය. එය ආශ්චර්යයක්‌ දැයි කල්පනා කිරීම අනාගතයට බාර දීමට ද සිදු වී ඇත.

මතුගම සෙනෙවිරුවන්

-උපුටා ගැනීම
දිවයින

2011-11-29

Related

මතුගම සෙනෙවිරුවන් 6027431742667087424

Post a Comment

  1. මීට අවුරුදු ගණනකට කලින් දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි මහලේකම් වසන්ත බණ්ඩාර මහතා පලකල අදහස් කිහිපයක්..
    http://www.divaina.com/2009/09/30/feature07.html

    ReplyDelete

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item