ආර්ථික අර්බුදයට 'කොට්‌ට' මාරුකරද්දී යුරෝපා 'ණය රුදාව' දිගට ම

-මහින්ද පතිරණ ජර්මන් භාෂාව පිළිබඳ කතිකාචාර්ය, සබරගමුව විශ්ව විද්‍යාලය පෘථිවිය වෙත කළ අවසාන නිවේදනය පසුගිය වසර 500 තුළ බටහිර නූතනත...

-මහින්ද පතිරණ
ජර්මන් භාෂාව පිළිබඳ කතිකාචාර්ය, සබරගමුව විශ්ව විද්‍යාලය

පෘථිවිය වෙත කළ අවසාන නිවේදනය

පසුගිය වසර 500 තුළ බටහිර නූතනත්වය විසින් මුළු ලොවට ම හඳුන්වාදුන් විනාශකාරී ආර්ථික මොඩලයේ අවසානය එම බටහිර කලාපය තුළ ම සිදුවෙමින් පවතිද්දී 'දියුණුව' හෝ 'ප්‍රගතිය' යනුවෙන් උජාරුවෙන් නම් කරන ලදුව එමගින් ලෝකයට ඉතිරි කළ බිල්පත දැන් බටහිරට පමණක්‌ නොව මුළු ලෝකයට ම ගෙවිය යුතු තැනට පැමිණ තිබේ. මෙය මුදලින් හෝ අන් යමකින් ගෙවිය හැකිනම් ගැටලුවක්‌ නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ එය පෘථිවියේ ජීවත් වන මිනිසා ඇතුළු සකලවිධ ජීවියා විසින් ම මරණයෙන් ගෙවා දැමිය යුතු වීම ය. බටහිර ඊනියා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ උදාවත් සමග ම එම මතවාදය තුළ අභ්‍යන්තර ගැටලු නැති බවත්, අන් සියලු දෘෂ්ටිවාද පරයා එය ලෝකය ජයගන්නා බවත් එනිසා ම ඉතිහාසය අවසන් බවටත් ප්‍රකාශ කළ රිපබ්ලිකන් පාක්‌ෂික ඇමරිකානු ජපනාගෙන් දැන් ඇසිය යුත්තේ මේ සිදුවෙමින් පවතින්නේ ආර්ථික හා දේශපාලන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය හා අවසානය නොවන්නේ ද යන්න ය.

අද වන විට පෘථිවි වාසීන් ජීවත් වන්නේ ඉතා තීරණාත්මක මොහොතක ය. ස්‌වභාව ධර්මය විසින් මේ පිළිබඳ තම අවසාන නිවේදනය නිකුත් කර තිබේ. එනම් මිනිස්‌ වර්ගයා විසින් දෙකින් එකක්‌ තෝරාගත යුතු ය. ඒ ජීවිතය හෝ මරණය ය. දේශගුණික විපර්යාස වැළැක්‌වීම සඳහා අවශ්‍ය පියවර මෙතැන් සිට පටන් ගැනෙන වසර 5 තුළ නොගතහොත් අන් වෙන කිසිදු අවස්‌ථාවක්‌ අහිමි කරමින් සදාතනික ව එම දොරටුව වැසී යනු ඇත.

පසුගිය දා අන්තර්ජාතික බලශක්‌ති අධිකාරය විසින් නිකුත් කළ රතු නිවේදනයේ සඳහන් වූයේ ගෝලීය උණුසුම ආරක්‌ෂාකාරී මට්‌ටමක තබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ලෝකයට ඇත්තේ තව වසර පහක්‌ පමණක්‌ බව ය. මේ දැන් සිට ම එම වසර පහ ගණන් කිරීම ආරම්භ වන අතර, ඒ අනුව, මේ මොහොතේ සිට පෘථිවියට නිකුත් කරනු ලබන සෑම කාබන් අංශුවක්‌ ම නැවත ආපස්‌සට නොහැරිය යුතු ලෙස පෘථිවි ගෝලය උණුසුම් කරමින් දශක ගණනාවක්‌ මෙහි රැඳි සිටිනු ඇත. අන්තර්ජාකිත බලශක්‌ති අධිකාරියේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ µටි බිරෝල්ට පැවසීමට තිබුණේ මෙවැනි කතාවකි. 'දොර වැසෙමින් තිබේ. මම ඉතා කණගාටුවට පත් ව සිටිමි. ලෝකය විසින් බල ශක්‌ති භාවිතය පිළිබඳ තම දිසාව වෙනස්‌ නොකරන්නේ නම් අපි ආරක්‌ෂාකාරී සීමාවෙන් එපිටට වැටෙනු ඇත.' ආරක්‌ෂාකාරී බවෙහි සීමාව ලෙස විද්‍යාඥයින් විසින් සලකන සෙල්සියස්‌ අංශක 2 ට අඩු සීමාව තුළ ලෝක උෂ්ණත්වය පවත්වා ගෙන යාමට නම්, වායුගෝලය තුළ කාබන් ඩයොක්‌සයිඩ් මිලියනයකට අංශු 450 කට වැඩි නොවිය යුතු අතර මේ වන විට පවතින ප්‍රමාණය වන්නේ මිලියනයකට අංශු 390 කි. වර්තමාන කාබන් නිෂ්පාදන ප්‍රවණතාව මෙලෙස ම පවත්වාගෙන ගියහොත් 2015 වන විට දැනට තිබෙන අංශු 390 සිට 450 දක්‌වා වන පරතරයෙන් සියයට 90 ක්‌ ම මේ වන විට ලෝකයේ පවතින පොසිල ඉන්ධනයෙන් දුවන කර්මාන්ත විසින් නිෂ්පාදනය කරන්නේ ය. තව වසර 5 කින් එනම් 2017 වන විට කිසිදු ආපසු හැරවීමක්‌ හෝ ප්‍රතිකාර කිරීමක්‌ පිළිබඳ සදාකල් අහිමි කරමින් ඉහත අංශු 60 පරතරය පූර්ණ වශයෙන් ම සම්පූර්ණ වෙනු නියත ය.

ඓතිහාසික කාබන් දත්ත අනුව මේ වන විට වායු ගෝලයට වැඩියෙන් ම කාබන් නිකුත් කොට ඇත්තේ ඇමරිකාව විසින් ය. මීළ`ගට බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, හා ජපානය වැනි ඊනියා දියුණු රටවල් වරදකාරී ලැයිස්‌තුවේ සිටිති. කෙසේ වෙතත්, මේ වන විට නිකුත් වන දත්තවලට අනුව දැන් චීනය කාබන් විමෝචනයෙන් ලෝකයේ අංක එක බවට පත් ව තිබේ. එය ස්‌වභාවික ය. චීනය මේ වන විට ලෝකයේ ආර්ථික දළ දේශීය නිෂ්පාදනය අතින් දෙවැන්නා ය. එසේ ම බටහිර ලෝකය හුදු යෑපෙන්නන් කොටසන් පමණක්‌ බවට පත්ව තිබෙන විට ලෝකයේ නිෂ්පාදන කම්හල වන්නේ චීනයයි. මේ අතර, චීනය විසින් නිෂ්පාදනය කරන භාණ්‌ඩ බහුතරයක්‌ ම අවසානයේ නතර වන්නේ ඇමරිකාව ඇතුළු බටහිර යුරෝපයේ වන අතර එසේ කිරීමට චීනයට සිදුව ඇත්තේ බටහිර අධි පරිභෝජන සමාජ නිසාවෙන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය චීනයට කාබන් නිෂ්පාදන කොට අපනයනය කිරීමට දෙන සමාවක්‌ ලෙස කිසිසේත් ම නොසිතිය යුතු ය.

විනාශකාරී කාබන් පෘථිවියට නිකුත් කරන්නේ ඇමරිකාව විසින් ද චීනය විසින් ද යන්න ප්‍රශ්නයක්‌ නොවේ. ප්‍රශ්නය ඇත්තේ කාබන් විමෝචනය සේ ම එමගින් වැඩි කරන ගෝලීය උණුසුම ද ජාතික රාජ්‍යයේ දේශ සීමා තුට්‌ටුවකට හෝ නොසැලකීම ය. පෘථිවියට වැඩියෙන් ම කාබන් නිකුත් කර තිබෙන ඇමරිකාව විසින් 1997 - ක්‌යොතෝ සම්මුතිය තාමත් අත්සන් කර නොතිබෙන අතර පොසිල ඉන්ධන දහනය වෙනුවට විකල්ප බලශක්‌ති ක්‍රම සොයා ගැනීම පිළිබඳ චීනයේ ක්‍රියාවාර්ග හා සසඳන විට ඇමරිකාව තාමත් සිටින්නේ ගව් ගණනක්‌ දුරිනි. ක්‌යෝතෝ සම්මුතියේ ප්‍රතිපාදනයන් 2012 වසරින් අවසන් වීමට නියමිත ය. මේ නොවැම්බරයේ අලුත් සම්මුතියකට යාමට ලෝකයේ ඇතැම් රටවල් සැලසුම් කළ ද දැන් උදා වී තිබෙන තත්ත්වය වන්නේ හුදු දේශපාලන කඹ ඇදීමකි. ගෝලීය උණුසුම නිසා හිම දියවීගිය ආර්ටික්‌ ගෝලයේ ගෑස්‌ හා තෙල් නිධි හෑරීමට පොරකන ඇමරිකාව, චීනය, රුසියාව, එක්‌සත් රාජධානිය ඇතුළු රටවල් දැන් පවසන්නේ අලුත් ගිවිසුම 2018 දි හෝ 2020 දී අත්සන් කළ යුතු බව ය. තමා අලුත් ගිවිසුමට යාමට නම් චීනය, ඇමරිකාව, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය හා ඉන්දියාව ඊට අනිවාර්යෙන් ම අත්සන් තැබිය යුතු බව එක්‌සත් රාජධානිය හා ජපානය වැනි රටවල් පවසා තිබේ. කාබන් ටොන් පිටින් පුච්චා තිබෙන එක්‌සත් රාජධානිය හා ජපානය වැනි රටවල් මෙසේ ඉල්ලීම කිසිදු සදාචාරයකට අයත් නොවන අතර තමා කළ පෙර වැරදි නිවැරදි කර ගැනීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙස බලා නොසිට ඊනියා සංවර්ධිත රටවල් ලෙස වහා පියවර ගත යුතු ව තිබේ.

ආර්ථික අර්බුදයට 'කොට්‌ට' මාරුකරද්දී
යුරෝපා 'ණය රුදාව' දිගට ම


මාරියෝ මොන්ටි නමින් ඉතාලියට නව අගමැතිවරයකු ලැබුණ ද යුරෝපයේ ණය අර්බුදය දේශපාලන නායකයින් පිළිබඳ ප්‍රශ්නයක්‌ නොවන බව තවදුරටත් තහවුරු කරමින් ඉතාලිය තම ණය සුරැකුම්පත් සඳහා ගෙවිය යුතු පොලිය යුරෝ පොදු මුදල් ඒකකය ආරම්භ කළ දින සිට පසුගිය සඳුදා ඉතිහාසයේ ඉහළ ම අගය ගත්තේ ය. තම ජාතික ආදායමින් සියයට 120 ණය වී තිබෙන ඉතාලිය විසින් සඳුදා දහවල වන විට ගෙවිය යුතු පොලිය සියයට 7.1 දක්‌වා ඉහළ ගිය අතර එහි දිනක්‌ ඇතුළත වැඩි වීම සියයට 0.2 ක්‌ ලෙස පෙන්නුම් කෙරුණි. මූල්‍ය චිචාරකයින් ප්‍රශ්න කරන්නේ ඉතා අඩු වර්ධනයක්‌ සහිත ඉතාලි ආර්ථිකය විසින් මෙවන් ඉහළ පොලී අනුපාතයක්‌ දිගින් දිගට ගෙවා දමමින් යන්නේ කෙසේ ද යන්න ය. හිටපු යුරෝපා මහබැංකු අධිපතිවරයකු වන මොන්ටි අපේක්‌ෂා කළේ අඩු පොලියට ණය ගනිමින් තම රට ආර්ථික ප්‍රපාතයෙන් මෙපිටට තල්ලු කර දැමීමට ය. එහෙත් එය තමා සිතූ තරම් පහසු නොවන බව දැන් ඔහුට පසක්‌ වී තිබි ය යුතු ය. පසුගිය සතියේ දී ඉතාලි ණය පොලිය සිය000යට 7.5 දක්‌වා ඉහළ ගිය අතර දේශපාලන වෙනස්‌ කම් ද සමගින් කිසියම් සිහිල් බවක්‌ ආර්ථිකයට දැනුණි. සියයට 7 සීමාව පසුකර යාම යනු කිසියම් රටකට ඇපකරයක්‌ ලැබිය යුතු මට්‌ටම බව පිළි ගැනේ. මේ අතර අර්බුදයේ තවත් පැත්තක්‌ නිරාවරණය වූයේ ඉතාලියේ විශාලතම බැංකුව විසින් තමා ආරක්‌ෂා කර ගැනීම සඳහා සිය කොටස්‌ හිමිකරුවන්ට අමතර අරමුදල් ආයෝජනය කර ලෙස ආයාචනා කිරීමත් සමග ය. තම සේවක සංඛ්‍යාවෙන් 5200 දෙනෙකුගේ පමණ රැකියා අහිමි කරන බව ද බැංකුව ප්‍රකාශ කළේ ය.

මේ අතර, ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් ප්‍රකාශ කළේ යුරෝපය දැන් මුහුණු දෙමින් සිටින්නේ දෙවැනි ලෝක යුද්ධයට පසු හටගත් දුෂ්කරත ම අර්බුදයට බව ය. එසේ කියන අතර ම යූරෝ මුදල ශක්‌තිමත් කිරීම සඳහා යුරෝ සුරැකුම්පත් හඳුන්වා දීම පිළිබඳ එක්‌සත් රාජධානිය ඇතුළු තවත් යුරෝපාකරයේ රටවල් විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාව ද ඇය ප්‍රතික්‌ෂේප කළා ය. අර්බුදයට විසඳුම් ලෙස, ජර්මනියට දැන් ක්‍රියාවට නැංවීම අවශ්‍ය වන්නේ ධාවන වේග දෙකක යුරෝපයකි. ඒ අනුව, ආර්ථික අතින් දුබල යුරෝපයේ දකුණු කරයේ රටවල් එක්‌ ගොඩකට ද උතුරු කරය වෙනත් ගොඩකට ද ගාල් කර ගැනීමට පසුගිය සතියේ සිට සාකච්ඡා කෙරෙමින් පැවතුණි. යුරෝපා මහ බැංකුව ශක්‌තිමත් කිරීම පිළිබඳ යෝජනාව ක්‍රියාව නැංවීමට ඉඩ නොදීම හා යුරෝපයේ රටක්‌ විපතට පත් වූ විට යුරෝපියානු මහ බැංකුව විසින් එය බේරා ගැනීම පිළිබඳ යෝජනාව ක්‍රියාවට නැංවීම ඉඩ නොදීම පිළිබඳ පසුගියදා බ්‍රිතාන්‍ය මාධ්‍යවල ජර්මනිය නිර්දය ලෙස විවේචනය කර තිබුණි.

මේ අතර, තම රටේ දිග හැරෙමින් තිබෙන විරැකියාව හා සෙසු ආර්ථික ප්‍රශ්න පිළිබඳ ඩේවිඩ් කැමරන් චෝදනා කරන්නේ යුරෝපා අර්බුදයටයි. මේ සතියේ නිකුත් වූ දත්තවලට අනුව බ්‍රිතාන්‍ය සමස්‌ත විරැකියාව මිලියන 2.62 වන අතර තරුණ විරැකියාව සියයට 21. 9 කි. මේ ඉදිරියේ දී බ්‍රිතාන්‍ය තුළ සිදුවීමට නියමිත තරුණ කැරැල්ලක්‌ පිළිබඳ පැහැදිළි කැඩපති. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය අර්බුදය යනු යුරෝ අර්බුදයක්‌ නොවේ. බ්‍රිතාන්‍යට ඇත්තේ ඇමරිකාවට සෑදි තිබෙන තත්ත්වයේ රෝගයකි. තම අයියා සමග 'හරි මමත් එන්නම්' කියා යුද්ධ කරන්නට ගොස්‌ ලෝකයට ණය වී ඒ අතර තුර ම තම ආර්ථික වර්ධනය බින්දුවට වැටීම තුළින් හටගත් අර්බුදයකි බ්‍රිතාන්‍යට ඇත්තේ. පසුගිය සතියේ දී වාර්තා වූයේ බ්‍රිතාන්‍යයේ සමාගම් විසින් අලුතින් සේවකයින් බඳවා ගැනීම දිගින් දිගට ම ප්‍රමාද කරන හෙයින් බ්‍රිතාන්‍ය විරැකියාව වේදනාකාරී ලෙස තවදුරටත් ඉහළ යන බව ය.

දැන් තවත් රටවල් දෙකක්‌ යුරෝපයේ ආර්ථික කළු කුහරයට වැටෙමින් තිබේ. ඒ ස්‌පාඤ්ඤය හා ප්‍රංශයයි. පසුගිය අගෝස්‌තුවේ සිට ඉහළ ම අගය පෙන්වමින් ස්‌පාඤ්ඤ ණය සුරැකුම්පත් සඳහා ගෙවිය යුතු පොලිය සියයට 6 ක්‌ දක්‌වා වැඩිවෙමින් පැවතුණු අතර ප්‍රංශයේ දැනට තිබෙන ඒ තුන ආර්ථික දර්ශකය පහළ වැටෙන්නට යන බවට යුරෝපය පුරා ආරංචි පැතිරෙමින් තිබේ. මේ අතර, ප්‍රංශයේ හා බෙල්ජියමේ ණය සුරැකුම්පත් සඳහා ගෙවිය යුතු පොලිය පිළිවෙලින් සියයට 3.66 හා 4.89 දක්‌වා ද ඉහළ ගොස්‌ ඇත. බෞද්ධ සද්ධම්මපුණ්‌ඩරීක සූත්‍රයෙහි භාෂාව සම්බන්ධයෙන් කතා කරන විට හමුවන මඩේ එරී සිටින අලියෙකු එවැනි ම අලින් ගොඩ දැමීමට යැම පිළිබඳ කදිම රූපකයක්‌ යුරෝපය සම්බන්ධයෙන් ද දැන් සිහිපත් වේ.

අරාබි ලීගයේ මානව හිමිකම්
'කිඹුල් කඳුළු' සිරියානු ගිනි නිමයි ද ?


එක්‌සත් ජාතින්ගේ ගණන් හිලව්වලට අනුව මේ වන විට සිවිල් වැසියන් 3500 දෙනෙකු පමණ මරුමුවට ගොස්‌ තිබෙන සිරියාවේ අකීකරු නායක බෂාර් අල් අසාද් වෙත බාහිර ලෝකයෙන් එල්ල වන පීඩනය උග්‍ර වෙමින් තිබේ. මුලින් එල්ල වූ ඇමරිකානු හා යුරෝපා සම්බාධක අතරට පසුගිය සතියේ පාත් වූ බෝම්බ ප්‍රහාරය වූයේ රටවල් 22 කින් යුතු අරාබි ලීගය විසින් සිරියාව තම සංවිධානයෙන් අත්හිටුවීම ය. මෙම තත්ත්වය දැන් තවදුරටත් දරුණු කරමින් පසුගිය 14 වැනි දා ජෝර්දානයේ රජුවන අබ්දුල්ලා විසින් ප්‍රකාශ කළේ තම රටේ යහපත වෙනුවෙන් අසාද් ගෙදර යා යුතු බව ය. මාස ගණනාවක්‌ තිස්‌සේ සිදුවෙමින් පවතින සිරියානු අර්බුදය සම්බන්ධයෙන් අරාබි කරයෙන් ඇසුණු පළමු වැදගැම්මකට ඇති හඬ අබ්දුල්ලා වන අතර අරාබි ලිගය විසින් ගත් තිරණයට ආවරණය වෙමින් තවත් ලීගයේ රටවල් විසින් මෙසේ කරනු ඇතැයි කල්පනා කළ හැකි ය.

මේ අතර අරාබි ලීගය පිහිටුවීමෙහි මූලිකත්වය ගත් තමා සංවිධානයෙන් නෙරපීම ඉතා භයානක දෙයක්‌ හා ඇවිලවීමක්‌ ලෙස සිරියානු විදේශ ඇමතිවරයා විස්‌තර කළේ ය. විදේශ කුමන්ත්‍රණයකට හිස නැමීම පිළිබඳ අරාබි ලීගයට චෝදනා කළ ඇමතිවරයා මතුවෙමින් තිබෙන කලාපීය හා ගෝලීය පීඩනයට තමා මුහුණ දෙන බව ද අවධාරණය කළේ ය.

අරාබි ලීගය ම යනු ලෝකයේ ඉහළ ම මානව හිමිකම් කඩකරන රටවලින් සැදුම්ලත් රටවල් එකතුවයි. බහරේන විප්ලවය ඉතා කෘර ලෙස මර්දනය කරන අතර තුර ඇමරිකාව ඇතුළු බටහිර විසින් කට නොහෙල්ලු අතර පසුව හෙළි වූයේ මර්දනයේ දී යොදාගත් අතිශය හානිකර කඳුළු ගෑස්‌ සිට අවි ආයුධ දක්‌වා ඇමරිකාවේ නිෂ්පාදිත ඒවා බව ය. එපමණක්‌ නොව බහරේනය වැනි ඒකාධිපති රටක්‌ අරබියට ආදර්ශයක්‌ බව කීමට තරම් ඇමරිකාවට ලැ-ජා නැති විය. යේමනයේ දැනුදු සිදුවන ජන නැගිටීම් මර්දනයට එරෙහිව ඇමරිකාව හෝ වෙනත් රටක්‌ කෙල පිඩක්‌ නොහලන්නේ එරට ජනාධිපතිවරයා තම රටේ ගුවන් පථය පවා උල්ලංඝනය කරමින් විත් අල්)ඛයිඩා සාමාජිකයින් වෙත ෙඩ්‍රාන් ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාවට අවසර දෙන හෙයිනි. ඇමරිකාවට තෙල් සපයන සෞදි ආරබිය ද අසාද් පාලනයට එරෙහි අරාබි ලීග ක්‍රියාමර්ගයට ක්‍රියාකාරීව සහාය දුන්නේ ය. අව ම වශයෙන් කාන්තාවකට රියක්‌ පැදවීමට තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදයක්‌ නැති සෞදිය තම රටේ ඇති වූ විප්ලය මර්දනය කළේ බුරුතු පිටින් අත් අඩංගුවට ගනිමින් ය. මේ අනුව. අරාබි රාගයේ සිටින සෑම රටකම පාහේ පසුගිය අරාබි විප්ලව සමයේ ජන නැගිටීම් සිදු වූ අතර එම රටවල බටහිර ගැතිභාවය නිසා ම එකී නැගිටීම් පාලනය කර ගැනීමට හා ලෝක මාධ්‍යයෙන් වසන් කර තැබීමට හැකිවි ය.

කෙසේ වෙතත්, ඉතා වැදගත් ඉදිරි පියවරක්‌ ලෙස තම රටේ සන්නද්ධ අරගලයක්‌ තිබෙන හොම්ස්‌ හා හාමා යන නගර ඇතුළු ව ප්‍රචණ්‌ඩකාරී ප්‍රදේශවලට අන්තර්ජාතික නිරීක්‌ෂකයින් 500 දෙනකු පමණ යෙදවීමට ද සිරියානු පාලනය එක`ග වූවේ ය. අරාබි ලීගයේ ඉල්ලීමට අනුව මේ වන විට දේශපාලන සිරකරුවන් 553 දෙනෙකු පමණ නිදහස්‌ කර තිබෙන අතර ලීගය ඉල්ලා සිටින්නේ නැගිටීම් පටන්ගත් මාර්තුවේ සිට අත් අඩංගුවට ගත් සියලු දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන ලෙස ය.

පසුගිය මාසයේ දී සිරියාව සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය විසින් ගැනීමට ගිය ක්‍රියාමාර්ගය චීනයේ හා රුසියාවේ නිෂේධ බලයෙන් පරාජයට පත්විය. මෙම රටවල් දෙක ම චෝදනා කරන්නේ බටහිර රටවල සැලසුම වන්නේ සිරියාවේ ද ලිබියාවේ වන මැදිහත් වීමක්‌ කොට මහාපරිමාණ සම්පත් කොල්ලයකට යාමට බව ය. ලිබියාවේ විශාලත ම තෙල් ආකරය මේ සතියේ දී ඉතාලිය විසින් අත්පත් කරගත් බව වාර්තා විය. කෙසේ වෙතත්, මේ වන විට චිනයේ ස්‌ථාවරය වෙනස්‌ වෙමින් පවතින බව වාර්තා වන අතර දැඩි ස්‌ථාවරයක සිටි රුසියාව ද ප්‍රකාශ කර තිබුණේ සිරියාව විසින් පුළුල් දේශපාලන ප්‍රතිසංස්‌කරණ හඳුන්වා දිය යුතු බව ය.

ඉරානයේ හොල්මන් කරන
ඊශ්‍රායල් මොසාඩ්


ඉරානයේ බිඩ් ගනේ ප්‍රදේශයේ අල්ගධීර් නම් මිසයිල නිෂ්පාදන කඳවුරේ සිදුවූ පිපිරීම ඊශ්‍රායලය විසින් සිදුකළ රහස්‌ වැඩපිළිවෙළක ප්‍රතිඵලයක්‌ බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. පිපිරීම ඉතා ප්‍රබල එකක්‌ වූ අතර එහි ශබ්දය කි.මී 30 එපිටින් පිහිටි ටෙහෙරාන් අගනුවර දක්‌වා ම විහි දී ගියේ ය. අනතුරින් ඉරාන විප්ලවකාරී බලකායේ සෙබළුන් 17 දෙනෙකු හා ඉරාන මිසයිල නිර්මාණයේ ප්‍රධානියෙකු ලෙස සැලකෙන මේජර් ජෙනරාල් හසන් මොඝදාම් ද ඒ අතර විය. මියගිය සියල්ලට ම පූර්ණ රාජ්‍ය ගෞරවය හිමි වූ අතර එම අවස්‌ථාවට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ල අල් කුමේනි ද සහභාගි වීමෙන් පැහැදිළි වන්නේ මෙම අනතුරින් මියගිය අය ඉරානයට ඉතා වැදගත් වූවන් බව ය.

ඉරානය නිල ස්‌ථාවරයට අනුව පිපිරීමට හේතුව වූයේ අත්වැරදීමකි. කෙසේ වෙතත්, ඉරාන ආගමික නායකයාගේ සමීපතමයෙකු විසින් ගාඩියන් පුවත්පත වෙත පවසා තිබුණේ මෙම පිපිරීම පිටුපස ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය සිටින බව ය. ඉරානය සතුව තිබෙන කිලෝමීටර් 1250 දුර -එනම් ඊශ්‍රායලට යවත හැකි මිසයිල පද්ධතිය සංවර්ධනය කිරීමෙහි ලා මියගිය මේජර්වරයා පුරෝගාමී කාර්යභායක්‌ ඉෂ්ට කළේ ය. ඉරානය තම ආරක්‌ෂාවට බරපතල තර්ජනයක්‌ බව සලකමින් එරට වෙත කෙසේ හෝ ප්‍රහාරයක්‌ එල්ල කිරීමට ඊශ්‍රායලය අර අදිමින් සිටින්නේ ය. තම රටට ප්‍රහාරයක්‌ එල්ල කළ හොත් එය යකඩ හස්‌තයක්‌ සේ ප්‍රතිචාර දක්‌වන බව ඉරානය පවසන අතර තුර ඇමරිකානු ආරක්‌ෂක ලේකම් ලියොන් පැනේටා අනතුරු අ`ගවා තිබුණේ ඉරානයට කරන ප්‍රහාරයකින් නොසිතූ විපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ය. හිටපු සී අයි ඒ ප්‍රධානියා වන පැනේටා ආරක්‌ෂක ලේකම් ධුරයට පත්වූයේ පසුගිය ජූලි මාසයේ ය. ඔබාමා යටතේ ඇමරිකානු 'බල්ලා' නැටවීමට ඊශ්‍රායල් 'නගුටට' හිතන තරම් පහසු නොවේ.

මේ අතර, මියගිය මේජර්වරයා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. චීනයේ හා උතුරු කොරියාවේ බැලස්‌ටික්‌ මිසයිල තාක්‌ෂණය පිළිබඳ හදාර ඇති බව කියන මොහු 1984 සිට ඉරානයේ රටින් රටට වන මිසයිල ව්‍යාපෘතියේ ඉහළ ම කාර්යභාරයක්‌ ඉටුකර ඇත්තෙකි.

මීට පෙර අවස්‌ථා කීපයක දී ම ඉරානයේ සිදු වූ හඳුනා නොගත් ප්‍රහාර කීපයකට ම ඊශ්‍රායලය සම්බන්ධ බව විශ්වාස කෙරේ. 2010 වසරේ දී ෂහාබ් මිසයිල් කඳවුරේ වූ පිපිරීම මෙන් ම එම වසරේ ම ටෙහෙරානයේ දී ඉරාන භෞතික විද්‍යාඥවරයෙකු වූ මසෞද් අලි මොහොමදී ඝාතනය ද ඊශ්‍රායල විසින් කළ රහස්‌ මෙහෙයුමක ප්‍රතිඵල විය හැකි ය. මීට මීස කීපයකට ඉහත දී ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල අඩපණ කිරීම සඳහා ඊශ්‍රායලය හා ඇමරිකාව විසින් ස්‌ටක්‌නෙට්‌ නම් පරිගණක වෛරස්‌ ප්‍රහාරයක්‌ ද එල්ල කර තිබුණි.

ඉරාන මිසයිල් වැඩපිළිවෙල පිළිබඳ තතු දත් ආරංචි මාර්ග පවසන්නේ එය එක්‌ පුද්ගලයකු මත පමණක්‌ රඳාපවතින එකක්‌ නොවන බව ය. .

 -උපුටා ගැනීම
දිවයින
2011-11-18

Related

සතියක ලෝකය 4673191088676961568

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item