කටකතාවක්‌ ගිය දුරක්‌...

-සී. ඒ. චන්ද්‍රප්‍රේම සිරගත වී සිටින සරත් ෆොන්සේකා මහතාට තවත් සිර දඬුවමක්‌ ලැබීම, පසුගිය සතියේ සිදු වූ ප්‍රධානම දේශපාලන සිදුවීම...

-සී. ඒ. චන්ද්‍රප්‍රේම
සිරගත වී සිටින සරත් ෆොන්සේකා මහතාට තවත් සිර දඬුවමක්‌ ලැබීම, පසුගිය සතියේ සිදු වූ ප්‍රධානම දේශපාලන සිදුවීම හැටියට හැඳින්විය හැක. "සුදු කොඩි නඩුව" හැටියට ප්‍රසිද්ධියට පත්වී තිබුණු මේ නඩුව කෙලවර වන්නේ කෙසේද යන්න ගැන කිසිවකුටත් සැකයක්‌ තිබුණේ නැත. වෙනකක්‌ තබා ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන්වත් ඔහුට විරුද්ධව මේ නඩුවේ තිබුණු චෝදනාවලින් නිදහස්‌ වේ යෑයි බලාපොරොත්තුවක්‌ නොතිබුණු බව පැහැදිලි වන්නේ පසුගිය බ්‍රහස්‌පතින්දා කොළඹ මහාධිකරණය අවට රැස්‌වී සිටි පිරිස අතුරෙන් සමහරෙක්‌ හැසිරුණු ආකාරය දුටු විටය. උදේ 10.30 සිට මහාධිකරණය අසල පිරිස රැස්‌ව සිටි අතර සරත් ෆොන්සේකා මහතා පෙ.ව. 11.00 ට පමණ උසාවියට ගෙන එන ලදී. ඒ අවස්‌ථාවේදී එතැන සිටි කීපදෙනෙක්‌ ආවේස වූවාක්‌ මෙන් ෆොන්සේකා මහතාට පක්‍ෂවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂවත් සටන් පාඨ කියමින් මහාධිකරණයේ දොර පවා සොලවමින් කලබල කළේ ෆොන්සේකා මහතා මේ නඩුවෙන් නිදහස්‌ නොවන බව දැනගෙන සිටියාක්‌ මෙනි. 

දවල් 12 පසුවන විට නඩු තීන්දුව ප්‍රකාශයට පත්කොට දඬුවම් ද නියම විණි. මේ අවස්‌ථාවේදී නඩුකාරයන් තුන්කට්‌ටුව උසාවියෙන් ඉවත්ව ගිය පසු නැවතත් එම ස්‌ථානයේ මහා ගාලගෝට්‌ටියක්‌ ඇතිවිය. මේ සියලු ගාලගෝට්‌ටි හා කලබල අතර ෆොන්සේකා මහතා මෙලෙස සිර දඬුවම් ලබා ඇත්තේ කුමටද යන්න ගැන බොහෝ දෙනකුට හරි හැටි අවබෝධයක්‌ නැත. මේ නඩුව හඳුන්වනු ලැබුවේත් "සුදු කොඩි නඩුව" හැටියට නිසා මෙය පවරන ලද්දේ කුමන නීතියක්‌ යටතේද? ඔහු වරදකරු වූයේ මොන වගේ වරදකටද? යන කාරණා ද එතරම් ඉස්‌මතු වී පෙනුණේ නැත. හිටපු හමුදාපතිවරයෙක්‌ හා යුද විරුවකු වන සරත් ෆොන්සේකා මහතා අවුරුදු 3 ක සිර දඬුවමක්‌ ලබා ඇත්තේ කට කතා පැතිරවීමේ චෝදනාවට මිස රාජද්‍රෝහී වීම වැනි ප්‍රධාන පෙළේ චෝදනාවකට නොවන බව ඇසුවොත් කවුරුත් මවිතයට පත් වනු ඇත. හරි නම් හිටපු හමුදාපතිවරයකුට හා ජනාධිපති ධුර අපේක්‍ෂකයකුට එරෙහිව නඩුවක්‌ ඇසෙන්නේ නම් ඔවුන්ට එරෙහිව තිබිය යුත්තේ මහා පරිමාණ චෝදනාවකි. සුදු කොඩි නඩුව වැනි වදනක්‌ ඇසූ විට කාගේත් සිතේ මැවෙන්නේ රාජද්‍රෝහී වීම වැනි මහා පරිමාණ චෝදනාවක්‌ මිස තේජසින් හා වැදගත්කමින් අඩු කටකතා පැතිරවීම වැනි චෝදනාවක්‌ නොවේ. එවැනි චෝදනා හරි නම් එල්ල විය යුත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය උසාවියක කට පාලනය කරගත නොහැකි දොඩමළු ගැමියකුට එරෙහිවය. එනම් කෝපිකඩේ සිටින අබිලිං වැනි පුද්ගලයකුට එරෙහිවය. නමුත් මේ අවස්‌ථාවේදී සිදුවී ඇත්තේ හිටපු හමුදාපතිවරයෙක්‌ හා ජනාධිපති ධුර අපේක්‍ෂකයකුට එරෙහිව මෙවැනි නඩුවක්‌ තීන්දු වීමයි.

මේ නඩුව ආරම්භයේ සිටම එහි අවසානය කුමක්‌ද යන්න ගැන බොහෝ අයකුට කිසිදු සැකයක්‌ තිබුණේ නැත. ඒ මන්ද යත් මේ නඩුවට පාදක වූ කාරණා සියල්ල මහා ප්‍රසිද්ධියේ සිදු වූ දේවල් වන නිසාය. මෙකී චෝදනාවට පාත්‍ර වූ මූලික කාරණය වූයේ 2009 දෙසැම්බර් 13 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන සිරස්‌තලය යටතේ පළ වූ කතාවකි. එකී ලිපියෙන් පවසන ලද්දේ යුද්ධයේ අවසන් කාලපරිච්ඡේදයේදී යටත් වීමට පැමිණෙන කොටි නායකයන්ට වෙඩි තබන මෙන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා 58 වැනි සේනාංකයේ අණදෙන නිලධාරී ශවේන්ද්‍ර සිල්වා මහතාට අණ නිකුත් කළා යෑයි ෆොන්සේකා මහතා විසින් එම පුවත්පතට ප්‍රකාශ කර තිබීමයි. මේ සම්බන්ධයෙන් නඩු තීන්දුවේදී උසාවිය සැලකිල්ලට ගත් කාරණා කීපයක්‌ ඇත. ඉහත සඳහන් කළ ලිපිය ප්‍රධාන සිරස්‌තලය හැටියට පළකිරීමට පෙර සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරිය නැවත වරක්‌ ෆොන්සේකා මහතාට කතා කොට තමා ඒ පැවසූ කාරණය පළකරන බව දන්වා සිටි විට නැවත වතාවක්‌ එම කතාව ෆොන්සේකා මහතා විසින් තහවුරු කොට තිබේ. ජෑන්ස්‌ මහත්මිය එම ලිපිය එම ආකාරයට පළ කළේ ඇයිද යන්න ගැන විස්‌තරයක්‌ කරමින් 2010 ජනවාරි 3 වැනිදා තවත් ලිපියක්‌ සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ කළේය. ඒ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශවේන්ද්‍ර සිල්වාට යටත් වන කොටි නායකයන්ට වෙඩි තබන මෙන් දෙන ලද අණ පිළිබඳ ලිපිය පළකිරීමෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනතාව ඉදිරියේ යුද අපරාධකරුවකු හැටියට හුවාදැක්‌වීමට බව ඇය පවසා ඇත. නමුත් අනපේක්‍ෂිත ආකාරයට සිදුවූයේ ඉන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද අපරාධකරුවකු වීම නොව සරත් ෆොන්සේකා මහතා දේශෙද්‍රdaහියකු වීම බව ඇය පවසයි. ප්‍රතිවාදී පිලේ දක්‍ෂතාව ඇය අවතක්‌සේරු කළ බව ද ඇය කියයි. තවද ඒ වන විට එය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය උදෙසා වැඩ කිරීමට සන්ඩේ ලීඩර් පුවත්පත ප්‍රතිපත්තිමය තීන්දුවක්‌ ගෙන තිබෙන බවත් ඔවුන්ට සතියකට රුපියල් ලක්‍ෂ 10 ගණනේ මුදල් පරිත්‍යාගයක්‌ එ.ජා.ප.යෙන් ලබාදෙන බවත් ජෑන්ස්‌ මහත්මිය එම ලිපියේ පිළිගෙන තිබේ. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද අපරාධකරුවකු හැටියට හුවාදැක්‌වීමට පළකළ එම ලිපිය ෆොන්සේකා මහතාගේ උන්නතිය සඳහා කරන ලද්දක්‌ බව ඇය පවසයි.

නමුත් මෙම ලිපිය පළවීමෙන් පසු ෆොන්සේකා මහතාට සහාය දුන් ජනතා විමුක්‌ති පෙරමුණ හා එක්‌සත් ජාතික පක්‍ෂය මහත් ලෙස කලබල වී ඇත. පසුව සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරිය වන ෆෙඩ්රිකා ජෑන්ස්‌ හා එම පුවත්පතේ අයිතිකරු වන ලාල් වික්‍රමතුංග, සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක, මංගල සමරවීර, ටිරාන් අලස්‌ හා ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක සහායක සේනක සිල්වා ඇතුළු පිරිසක්‌ හමුවී මේ ප්‍රශ්නය සාකච්ඡා කොට ඇත. මෙම රැස්‌වීමේදී මංගල සමරවීර හා අනුර කුමාර දිසානායක, ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම එතැන සඳහන් කළේ නැතැයි කියමින් නිවැරැදි කිරීමක්‌ පළකරන මෙන් ඉල්ලා සිටි නමුත් ෆොන්සේකා මහතා එය ප්‍රතික්‍ෂේප කොට ඇත. ඉන්පසුව ෆොන්සේකා මහතා ජෑන්ස්‌ට කියා සිටියේ ඔහුගේ දේශපාලන ආධාරකරුවන්ගෙන් දැඩි පීඩනයක්‌ මේ සම්බන්ධයෙන් ඔහු වෙත එල්ල වී ඇති බවත් මේ නිසා යම්කිසි පැහැදිලි කිරීමක්‌ කළ යුතු බවත්ය. එකී පැහැදිලි කිරීම කරනු ලැබුවේ සන්ඩේ ලීඩර් පුවත්පතේ සිංහල පුවත්පත වන ඉරු දින පුවත්පතේය. එය අමුතුම ආකාරයේ පැහැදිලි කිරීමක්‌ විය. එහිදී පවසා තිබුණේ එවැනි නීති විරෝධී අණක්‌ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශවේන්ද්‍ර සිල්වාට දී තිබුණත් ඒ අණ කිසිදාක ක්‍රියාත්මක නොවුණු බවත්, මියගිය කොටි නායකයන් සියලු දෙනාම යුද්ධයේදී මියගිය බවත්ය. මේ පැහැදිලි කිරීම පළකොට තිබුණේ ද ෆොන්සේකා මහතාගේම වචනවලින් කියන ආකාරයටය. මෙකී නිවැරැදි කිරීම තුළින් ෆොන්සේකා මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශවේන්ද්‍ර සිල්වා මහතාට නීති විරෝධී අණ නිකුත් කළ බව නැවත වතාවක්‌ තහවුරු කොට ඇත. නමුත් ඉන්පසුව ඔහු පැවසුවේ යුද හමුදාව විසින් යටත් වන කොටි නායකයන් මැරුවේ නැති බවයි. කටකතා පැතිරවීමේ චෝදනාවට හේතු වූයෙව් මේ පරස්‌පරයයි. හදිසි නීති රෙගුලාසි යටතේ ජනතාව බියගන්වන හෝ කලබලයකට තුඩුදිය හැකි ආකාරයට කටකතා පැතිරවීම දඬුවම් ලැබිය යුතු වරදකි.

2009 දෙසැම්බර් 13 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රශ්නයට තුඩුදුන් මෙකී ලිපිය පළකිරීමට පෙර ජෑන්ස්‌ මහත්මිය ෆොන්සේකා මහතාට එම කතාව නැවතත් තහවුරු කර ගැනීමට දුරකථනයෙන් කතා කළ අවස්‌ථාවේදී ගෝඨාභය රාජපක්‍ෂ, ශවේන්ද්‍ර සිල්වාට එවැනි අණ නිකුත් කළා යෑයි ඔහුට පවසා තිබුණේ 58 වන සේනාංකය සමඟ ගමන් කරමින් සිටි මාධ්‍යවේදියෙක්‌ යෑයි ෆොන්සේකා මහතා පවසා ඇත. මෙයද සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වූ මෙකී ලිපියේ සඳහන් විය. එවිට මෙතැනදී සිදුවී ඇත්තේ ෆොන්සේකා මහතාට වෙනත් අයෙක්‌ කී කටකතාවක්‌ ඔහු විසින් පුවත්පත්වලටත්, පුවත්පත් සාකච්ඡාවලදීත් මැතිවරණ රැස්‌වීම්වලදීත් හැම තැනම කිය කියා ඇවිදීමයි. 2009 දෙසැම්බර් 14 වැනිදා පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී සිරස නාලිකාවේ කැමරාවකට හසු වූ දර්ශනත්, 2009 දෙසැම්බර් 23 වැනිදා ෆොන්සේකා මහතා රත්නපුරයේ රැලියකදී කළ කතාවේ දෙරණ නාලිකාවේ කැමරාවලට හසුවී තිබුණු දර්ශනත් මෙකී නඩුවේදී ෆොන්සේකා මහතා කටකතා පතුරුවමින් රට පුරා ගිය බව ඔප්පු කිරීමට අදාළ වී ඇත.
රත්නපුර රැස්‌වීමේදී ෆොන්සේකා මහතා නැවත වතාවක්‌ කියා සිටියේ ආරක්‍ෂක ලේකම්වරයා යුද පෙරමුණේ සිටි අයට වැරදි අණ නිකුත් කර තිබූ බවත් පුවත්පත් කලාවේදීන් මේ ගැන දැනගෙන සිටි බවත්ය. තමන් පුවත්පත්වලට කීවේ තමාට මාධ්‍යවේදීන්ගෙන් දැනගැනීමට ලැබුණු දේවල් බව ද ඔහු මෙහිදී පවසා ඇත. සුදු කොඩි ඔසවාගෙන සිටින අයට වුවත් වෙඩි තබන මෙන් "පහත් අණ" දුන් අයෙක්‌ සිටී නම් එවැනි උදවිය ආරක්‍ෂා කිරීමට තමාගේ බෙල්ල දීමට සූදානම් නැති බවත් ෆොන්සේකා මහතා පවසා ඇත. සිරස කැමරාවලට හසු වූ දර්ශනවලදී ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටියේ යටත් වන කොටි නායකයන්ට හමුදාවෙන් වෙඩි නොතැබූ බවයි. අදාළ සියලු ලිපි කියවා, දර්ශන පටි නරඹා උසාවිය පැමිණි නිගමනය වූයේ යටත් වන කොටි නායකයන් ඝාතනය කළාය යන චෝදනාව බොරුවක්‌ බව දැන දැනම මුළු රටම අපකීර්තියට පත්වන ආකාරයට ආරක්‍ෂක ලේකම්වරයා විසින් හමුදා නිලධාරීන්ට යටත් වන කොටි නායකයන් ඝාතනය කරන මෙන් අණ නිකුත් කළ බව පවසමින් තැන තැන ඇවිද්ද බවයි. උසාවිය තවදුරටත් පවසා සිටියේ හිටපු හමුදාපතිවරයෙක්‌ වැනි අයෙක්‌ එවැනි දේවල් කියන විට ඒ කතා ජනතාවත් ජාත්‍යන්තර ප්‍රජාවත් විශ්වාස කිරීමට පෙළඹෙන බවයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරීන් පවා ලංකා ආණ්‌ඩුවෙන් නිල වශයෙන්ම මේ ගැන පැහැදිලි කිරීමක්‌ ඉල්ලා සිටීම වැනි කාරණා ද උසාවියේ අවධානයට යොමුවිය.

මේ අනුව උසාවිය පැමිණි නිගමනය වූයේ "නිවැරදි නොවන බව තමන් දන්නා දෙයක්‌" ෆොන්සේකා මහතා හැම තැනම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවයි. උසාවියට තිබුණු ප්‍රශ්නය වූයේ යුද හමුදාව විසින් යටත් වන කොටි නායකයන් ඝාතනය කර නැති බව ෆොන්සේකා මහතා දන්නවා නම් යටත් වන කොටි නායකයන් ඝාතනය කරන මෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ශවේන්ද්‍ර සිල්වාට අණ නිකුත් කළේ යෑයි කියමින් තැන තැන ඇවිදීමේ තේරුම කුමක්‌ද යන්නයි. සන්ඩේ ලීඩර් පුවත්පතේ 2009 දෙසැම්බර් 13 වැනිදා මෙකී චෝදනාව කරමින් පළ වූ මුල් ලිපියේ කරුණු වැරදි බව පවසමින් නිවැරැදි කිරීමක්‌ පළ නොකළ කාරණය ද උසාවිය සැලකිල්ලට ගත්තේය. සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරියට ප්‍රශ්න ඇති වේ යෑයි සිතා එය නිවැරැදි කිරීමට උත්සාහයක්‌ නොගත් බව ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය උසාවිය ප්‍රතික්‍ෂේප කළේය. ජනාධිපතිවරණයකදී ප්‍රධාන අපේක්‍ෂකයකුට බරපතළ ආකාරයට දේශපාලන හානියක්‌ ගෙනදෙන ලිපියක්‌ නිවැරැදි කිරීම, එය ලියූ මාධ්‍යවේදියාට ප්‍රශ්නයක්‌ ඇති වේ යෑයි සිතා කිරීමෙන් වැලකී සිටියාය යන කතාව කිසිසේත්ම පිළිගැනීමට උසාවිය සූදානම් වූයේ නැත. හිටපු හමුදාපතිවරයෙක්‌ කටකතා පැතිරවීමේ චෝදනාවකට සිරගත වීමේ මහා ගුජුප්සාජනක දර්ශනය අපට නැරඹීමට සිදුවූයේ මෙන්න මේ කාරණා නිසාය. .


උපුටා ගැනීම
දිවයින
2011-11-20 


Related

සී ඒ චන්ද්‍රප්‍රේම 4814665218705630889

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item