වයසක තගරිය

"ප්‍රේමදාස ජනාධිපතිවරයා සොත්ති උපාලි සමඟ ප්‍රසිද්ධියේ පෙනී නොසිට...



"ප්‍රේමදාස ජනාධිපතිවරයා සොත්ති උපාලි සමඟ ප්‍රසිද්ධියේ පෙනී නොසිටියත් උපාලිගේ වැඩ ඔහුගේ ආණ්‌ඩුවට අහිතකර ලෙස බලපෑවේය. මෙහිදී මර්වින් සිල්වා වැන්නකු ජනාධිපතිවරයා සමඟ එකට ඉඳගැනීමෙන් එදා එ.ජා.ප.ය ට සිදු වූ වින්නැහිය ඊට සිය ගුණයකින් තීව්‍ර වී වත්මන් ආණ්‌ඩුව මත පතිත වනු ඇත. 1990 වසරේදී ආරම්භ වී එජාපයට අත් වූ ඉරණම ගැන අප කවුරුත් මේ අවස්‌ථාවේදී මෙනෙහි කළ යුතුය. හේතුවක්‌ නොමැතිව එක්‌ පුද්ගලයකුගේ හෝ පුද්ගලයන් කිහිප දෙනකුගේ ගොන්කම් නිසා මෙවැනි ආණ්‌ඩුවක්‌ පිරිහීමට පත්වන්නේ නම් එය මහත් ෙ€දවාචකයෙකි. ඒ වගේම මහජනතාවගේත් කරුමයකි."

පසුගිය දිනවල සිදු වූ සිද්ධීන් මාලාව දෙස බලන විට මට මතක්‌ වන්නේ 1990 වසරයි. ඒ 1977 දී පිහිටුවන ලද එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ අවසානය ආරම්භ වූ අවුරුද්දයි. 1990 ආරම්භ වූයේ ජයග්‍රාහී ලෙසය. එ.ජා.ප.ය 1988 දෙසැම්බර් ජනාධිපතිවරණය හා 1989 පාර්ලිමේන්තු මැතිවරණය ජයගෙන තිබිණි. ජ.වි.පෙ. දෙවන කැරැල්ලත් මර්දනය කොට තිබිණි. ඉන්දීය සාම සාධක හමුදාව රටෙන් ඉවත් වෙමින් සිටියේය. කොටි සංවිධානය ද ආණ්‌ඩුව සමඟ සටන් විරාමයක්‌ ඇතිකරගෙන තිබුණේය. ශ්‍රීලනිපය ප්‍රමුඛ විපක්‍ෂය නැවත වරක්‌ පරාජය වී ආණ්‌ඩු පක්‍ෂයක්‌ හැටියට එජාපය තව අවුරුදු 10 කටවත් සෙලවීමට නොහැකි තත්ත්වයකට ශක්‌තිමත් වී තිබුණේය. නමුත් මාස ගණනක්‌ ඇතුළත මේ සියල්ල බිඳ වැටුණේය. පිරිහීම මුලින්ම ආරම්භ වූයේ "සොත්ති උපාලි", "මාළු නිහාල්" වැනි පාතාල චරිත එ.ජා.ප. ආණ්‌ඩුවේ බලය බුක්‌ති විඳින ආකාරය ගැන කටකතා රට පුරාම පැතිර යැමෙනි.

ඔවුන්ට එරෙහිව චෝදනාවක්‌ යෑයි නිශ්චිත දෙයක්‌ නොතිබිණි. කතාව මුලින්ම ආරම්භ වූයේ මොවුන් අතේ ජංගම දුරකථන තියාගෙන සිරිසේන කුරේ මහතා පසුපස දිවයැම ගැන කතා පැතිරීමෙනි. කුරේ මහතා එකල ප්‍රේමදාස ආණ්‌ඩුවේ සිටි බලගතුම ඇමැතිවරයෙකි. එකල "මාළු නිහාල්" තබා "සොත්ති උපාලි" වත් කිසිවෙක්‌ හරිහැටි දැක තිබුණේ නැත. ඔවුන් නිතර නිතර රූපවාහිනී දර්ශනවල හෝ පුවත්පත් ඡායාරූපයක හෝ මිනිසුන්ට චණ්‌ඩි පාට්‌ දමනු දක්‌නට ලැබුණේ නැත. එකල රූපවාහිනී කැමරා ද අද මෙන් හැම තැනම තිබුණේ නැත. මේ හේතුවෙන් විකල්ප පුවත්පතක හෝ "සොත්ති උපාලි" සිටින ඡායාරූපයක්‌ පළ වුවහොත් එහි රවුමක්‌ ඇඳ මේ "සොත්ති උපාලි" යෑයි දැක්‌වීමට ඔවුන්ට සිදුවිය. ඒ තරම්ම ඔහුගේ මුහුණ නුහුරු දෙයක්‌ විය. නමුත් එකල හැමෝම කතා කළේ මේ මුහුණ හඳුනන්නේ නැති පුද්ගලයා ගැනයි. එ.ජා.ප. ආණ්‌ඩුව වැටුණේ "සොත්ති උපාලිගේ" කෙරුවාවන් නිසා පමණක්‌ නොවන බව ඇත්තකි. එ.ජා.ප.ය දෙකඩවීම, එහි නායකයන් කොටි සංවිධානය විසින් සමූල ඝාතනය වීම වැනි කාරණා ද ඒ බිඳවැටීමට මුල්විය. නමුත් ඒ මුල් ක්‍රියාදාමයම පටන් ගත්තේ එ.ජා.ප. ආණ්‌ඩුව ඇතුළේ සිටි පාතාල චරිත ගැන රට පුරා පැතිර ගිය කලකිරීමත් සමඟය. අපට දැන් දකින්නට ලැබෙන්නේ 1990 දී එ.ජා.ප.ය සම්බන්ධයෙන් හටගත් ඒ ක්‍රියාදාමය, සිය ගුණයකින් වැඩි වී වත්මන් ආණ්‌ඩුව සම්බන්ධයෙන් සිදුවීමය.

1990 වසර එ.ජා.ප.ය ආරම්භ කළ ආකාරයටම වත්මන් ආණ්‌ඩුව ද 2011 වසර ආරම්භ කළේ සියල්ලම ජයගෙන තිබීමෙනි. නමුත් දැන් වසර අවසන් වෙමින් පවතින අවස්‌ථාවේදී මුළු රටම කතා කරන්නේ ආණ්‌ඩුවේ මැර බලය හා පාලනය කරගත නොහැකි සමාජ ප්‍රචණ්‌ඩත්වය ගැනය. අද ප්‍රධාන තැනට ඇවිත් තිබෙන්නේ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හා දුමින්ද සිල්වා අතර වූ වෙඩි හුවමාරුව වුණත් මේ අංශයෙන් ආණ්‌ඩුව මුලින්ම අපකීර්තියට පත්කළේ මර්වින් සිල්වාය. සතියකට වරක්‌වත් රූපවාහිනී කැමරා ඉදිරිපිට මර්වින් සිල්වා නොයෙක්‌ අයට "චණ්‌ඩි පාට්‌" දමන ආකාරය මේ රටේ හැමෝටම පුරුදු දර්ශනයක්‌ විය. මුලින්ම මේවා ගොන් පාට්‌ හැටියට මිනිසුන් සැලකුවේය. නමුත් කල්යත්ම මේවා මිනිසුන්ට තිත්ත වීම ආරම්භ විය. මුලින් ප්‍රේමදාස ආණ්‌ඩුවේ "සෙරෙප්පු සුපා" හැටියට ප්‍රසිද්ධියට පත් ඒ. ඡේ. රණසිංහට සමාන චරිතයක්‌ මෙන් දිස්‌වුණු මර්වින් සිල්වා පසුව සොත්ති උපාලි කෙනකුගේ තැනට මාරු විය. පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ හුටපටය මුළු රටම ගඳ ගැස්‌වූ සිද්ධියක්‌ විය. ආණ්‌ඩුවේ ප්‍රධාන ව්‍යාපෘතියක්‌ ආණ්‌ඩුවේම මැර පිරිස්‌ ගොස්‌ කප්පම් ගෙන කඩාකප්පල් කරන තැනට වැඩ සැලසුණි.

එවන් සිද්ධියකින් පසුව වුවද මර්වින් සිල්වා දිගින් දිගටම රූපවාහිනී කැමරා ඉදිරියේ චණ්‌ඩි පාට්‌ දැම්මේය. මෙපමණින් කාරණය නැවතුණේ නැත. මුළු රටේම අවධානය භාජනය වී ඇති මේ පුද්ගලයා නිතර නිතර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමඟත් රූපවාහිනී කැමරාවල දිස්‌විය. ජනාධිපතිවරයා යන්නේ කොතනද මර්වින් සිල්වාත් එතන සිටී. ඉකුත් සතියේ බස්‌නාහිර පළාත් සභාවේ නිමල් ලන්සා මහතාගේ ගෙදරට ජනාධිපතිවරයා ගිය විට මර්වින් සිල්වා මහතා ද එතනට පැමිණි ජනාධිපතිවරයා සමඟ එකට පෙනී සිටියේය. ඊට කලින් දිනවලදී මිනිසුන් මර්වින් දුටුවේ පාසලක්‌ ඉදිරිපිට මිනිසුන්ට "චණ්‌ඩිපාට්‌" දමන ආකාරයයි. එවිට මිනිසුන්ට රූපවාහිනියෙන් පෙනෙන දර්ශන වන්නේ මර්වින් සිල්වා මහතා මහජනතාවට "චණ්‌ඩි පාට්‌" දමන ආකාරයත් ඉන්පසු ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සිටගෙන සිටීමත්ය.

මේ තරම් ගුජුප්සාජනක දර්ශනයක්‌ අපට නම් අදහා ගැනීමටවත් නොහැක. නිදහස ලැබුවායින් පසු මේ රටේ සිටි සාර්තකම පාලකයා, නිදහස ලැබුවායින් පසු මේ රටේ සිටි නින්දිතම ජනතා නියෝජිතයා සමඟම එකට හිටගෙන සිටීමය. දේශපාලනයේදී නොයෙක්‌ ජාතියේ පුද්ගලයන් සමඟ ඇසුරු කිරීමට සිදුවුවත් මර්වින් සිල්වා යනු මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ප්‍රසිද්ධියේ පෙනී සිටිය යුතු අයෙක්‌ නොවේ. "සොත්ති උපාලි" ගෙන් ප්‍රයෝජන ගත් ප්‍රේමදාස මහතාත් කිසිදාක "සොත්ති උපාලි" සමඟ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. ඡේ. ආර්. ජයවර්ධන මහතාටත් බාහු බලය සිටින අය සිටියත් ඔවුන් සමඟ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත.

ඇත්ත වශයෙන්ම "සොත්ති උපාලි" වැන්නකුට එ.ජා.ප.යේ නායකයන් සමඟ ප්‍රසිද්ධියේ පෙනී සිටීමට සම්පූර්ණ අයිතියක්‌ තිබුණි. එ.ජා.ප.යට ඔහු වැදගත් වූයේ මැරකම් කිරීමට නොව පක්‍ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීමටය. එකල එ.ජා.ප.ය තම දේශපාලන ක්‍රියාකාරකම් කරගෙන ගියේ රට පුරා පෝස්‌ටර් ගසමින් නගර ගම් දනව් කොල පාටින් සරසමින් මහා පරිමාණ රැස්‌වීම් පැවැත්වීම වැනි කාරණා තුළින්ය. ප්‍රේමදාස මහතා මේවා ගැන පෞද්ගලිකවම සොයා බැලූ අයෙක්‌ විය. මේ සියල්ලම සාර්ථකව සංවිධානය කර ගැනීමට "සොත්ති උපාලි" අත්‍යවශ්‍ය පුද්ගලයෙක්‌ විය.

නමුත් මෙයත් සමඟ සසඳන විට මර්වින් සිල්වා වැනි අයට ආණ්‌ඩු පක්‍ෂයේ යාන්ත්‍රණයේ එවන් ක්‍රියාකාරකමක්‌ නැත. ආණ්‌ඩු පක්‍ෂය දිනන්නේ ඔහු නිසා නොවේ. ඔහු අඩුම වශයෙන් ආණ්‌ඩු පක්‍ෂය වෙනුවෙන් ඡන්aද පෙට්‌ටි පුරවන්නේ නැත. ඔහුගේ කාර්ය භාරය වී ඇත්තේ ආණ්‌ඩුව හැකිතරම් අපකීර්තියට පත්කොට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේත් නම කැත කොට මේ ආණ්‌ඩුව දිනවූ ඉහළ සිට පහළට සියලුම රණවිරුවන් බටහිර රටවල් යුද අධිකරණයට දක්‌කාගෙන යැමයි. මර්වින් සිල්වා කුමක්‌ කළත් එ.ජා.ප.යෙන් ඔහු ගැන එක වචනයක්‌වත් කියන්නේ නැති බව බොහෝ අයට තේරුම් ගොස්‌ නැතුවා විය හැක. එයට හේතුව එ.ජා.ප.ය මේ ගැන සිතාමතාම වචනයක්‌වත් නොකියා සිටීමයි. ඔවුන් මර්වින් සිල්වා දකින්නේ එ.ජා.ප.යට නැවතත් රට තුළ ඉල්ලුමක්‌ ඇතිකර දෙන ඉටුදෙවියෙක්‌ හැටියටය. මේ බව එ.ජා.ප.යේ ප්‍රබලයෙක්‌ මට ඔය ආකාරයටම කරුණු පවසා ඇත.

මර්වින් සිල්වා නිතර නිතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පෙනී සිටීම මේ දේශපාලන ව්‍යාපෘතියට අත්‍යාවශ්‍ය කරුණකි. මෙය "සොත්ති උපාලි" ඡේ. ආර්. ජයවර්ධන සමඟ පෙනී සිටිනවාටත් වඩා මහා ගුජුප්සාජනක දර්ශනයකි. ඡේ. ආර්. ජයවර්ධන මහතා බුද්ධිමතකු වුවත් තම දේශපාලනයේ බාහු බලය ද වැදගත් කොට සැලකූ නිසා එක පැත්තකින් ඔහු මැරයෙක්‌ සමඟ පෙනී සිටියත් එය ප්‍රශ්නයක්‌ නොවේ.

නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කොටින්ට නැතිවෙන්නම ගැහුවත් මේ වන විටත් විපක්‍ෂයට කිසිදු හිරිහැරයක්‌ කර නැත. ඔහුට චෝදනා ඇත්තේ විපක්‍ෂයට සලකනවා වැඩිය යන්න පමණි. 2005 න් පසුව පවත්වන ලද මැතිවරණ තරම් පිරිසිදු හා ප්‍රචණ්‌ඩත්වයෙන් තොර මැතිවරණ පැවැත්වූ කාලයක්‌ ඩී. බී. විඡේතුංග මහතාගේ කෙටි පාලන කාලය තුළ මිස පසුගිය දශක 4 පුරාම නොතිබිණි. පළාත් සභා මැතිවරණ දිනයේදී දුමින්ද සිල්වා හා භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර එකිනෙකාට වෙඩිතබා ගත්තත් ඔවුන් විපක්‍ෂයට කිසිදු හානියක්‌ කළේ නැත. ඡන්ද පෙට්‌ටි පිරෙව්වේත් නැත. සාමාන්‍යයෙන් ඕනෑම ආණ්‌ඩුවක්‌ මැර ආණ්‌ඩුවක්‌ හැටියට ලේබල් වදින්නේ විපක්‍ෂයට පහර දී තම බලය රැක ගැනීමට ගන්නා උත්සාහය තුළය. 1970-77 සිරිමා බණ්‌ඩාරනායක ආණ්‌ඩුවත් 1977-93 ඡේ. ආර්. ජයවර්ධන - ප්‍රේමදාස ආණ්‌ඩුවත් 1994 - 2001 චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුවත් මැර ආණ්‌ඩු වූයේ මේ කාරණය නිසාය. නමුත් වත්මන් ආණ්‌ඩුවට මැර ලේබලය ඇළවෙන්නේ නිකරුණේය. දුමින්ද සිල්වා හා භාරත ලක්‍ෂ්මන් අතර ඇති වූ අසාමාන්‍ය හා අවාසනාවන්ත සිද්ධිය නාලන්ද එල්ලාවල සිද්ධිය සිදු වූ ආකාරයටම අමතක වනු ඇත. ඒවා කලාතුරකින් අසාමාන්‍ය සිද්ධීන් බව ඡන්දදායකයන්ට වැටහෙයි. මේ අවාසනාවන්ත සිද්ධිය සිදුවීමට ප්‍රධානම හේතුව කොළඹ වතු තුළ දේශපාලනය කරන විට තම ආධාරකරුවන්ගේ එදිරිවාදිකම් තමන්ගේ හතුරුකමක්‌ බවට හරවා නොගැනීමට ඔවුන්ට අත්දැකීම් නොමැති නිසා සිදු වූ දෙයකි. නමුත් මර්වින් සිල්වා නමැති ප්‍රපංචය වෙනම කතාවකි. ඔහු ඉපදී ඇත්තේ 1944 අවුරුද්දේය. එනම් අද වන විට ඔහුට වයස අවුරුදු 67 කි. 1980 ගණන්වලදී ජ.වි.පෙ. සිටි වැඩිමල්ම පුද්ගලයාගේ වයස අවුරුදු 60 කි. ඔහුව එම පක්‍ෂයේ කවුරුත් හැඳින්වූයේ "බුලට්‌ සීයා" යනුවෙනි. මර්වින් සිල්වා මේ වන විට "බුලට්‌ සීයාටත්" වඩා අවුරුදු 6 ක්‌ වැඩිමල්ය. අඩුම වශයෙන් මිනිසකුට තම වයසට ගැලපෙන හැසිරීම් රටාවක්‌වත් තිබිය යුතුය. මර්වින් සිල්වා වැන්නකු චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුවේ සිටියේ නම් තකට තක ගැලපෙනු ඇත. ඒ චන්ද්‍රිකාත් ගැහැණු මර්වින් කෙනකුම වන නිසාය. නමුත් මෙවැනි චරිතයක්‌ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව තුළ සිටීම පමණක්‌ නොව නිතර නිතර ජනාධිපතිවරයා සමඟ පෙනී සිටීමත් කිසිසේත් ගැලපෙන දෙයක්‌ නොවේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා සොත්ති උපාලි සමඟ ප්‍රසිද්ධියේ පෙනී නොසිටියත් උපාලිගේ වැඩ ඔහුගේ ආණ්‌ඩුවට අහිතකර ලෙස බලපෑවේය. මෙහිදී මර්වින් සිල්වා වැන්නකු ජනාධිපතිවරයා සමඟ එකට ඉඳගැනීමෙන් එදා එ.ජා.ප.ය ට සිදු වූ වින්නැහිය ඊට සිය ගුණයකින් තීව්‍ර වී වත්මන් ආණ්‌ඩුව මත පතිත වනු ඇත. 1990 වසරේදී ආරම්භ වී එජාපයට අත් වූ ඉරණම ගැන අප කවුරුත් මේ අවස්‌ථාවේදී මෙනෙහි කළ යුතුය. හේතුවක්‌ නොමැතිව එක්‌ පුද්ගලයකුගේ හෝ පුද්ගලයන් කිහිප දෙනකුගේ ගොන්කම් නිසා මෙවැනි ආණ්‌ඩුවක්‌ පිරිහීමට පත්වන්නේ නම් එය මහත් ෙ€දවාචකයෙකි. ඒ වගේම මහජනතාවගේත් කරුමයකි.
සී.ඒ. චන්ද්‍රප්‍රේම

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 1573465217076937377

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item