ජාත්‍යන්තර විපක්‍ෂයේ වැරදුණු තැත

[සී. ඒ. චන්ද්‍රප්‍රේම - දිවයින ] වත්මන් ආණ්‌ඩුවට දේශීය වශයෙන් විපක්‍ෂයක්‌ නැති බවත් මේ ආණ්‌ඩුවේ විපක්‍ෂය දැන් සිටින්නේ පිටරට බව...

[සී. ඒ. චන්ද්‍රප්‍රේම - දිවයින ]
වත්මන් ආණ්‌ඩුවට දේශීය වශයෙන් විපක්‍ෂයක්‌ නැති බවත් මේ ආණ්‌ඩුවේ විපක්‍ෂය දැන් සිටින්නේ පිටරට බවත් විමල් වීරවංශ ඇමැතිවරයා කියන කතාවේ සත්‍යතාවක්‌ ඇත. ඉකුත් සතියේද ජාත්‍යන්තර විපක්‍ෂය විසින් ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවට එල්ල කිරීමට ගිය අභියෝගයක්‌ මල්පල ගැන්වෙන්නේ නැතුවම අහෝසි වී ගියේය. ඒ දවස්‌වල නම් විපක්‍ෂය ආණ්‌ඩුව පරාජය කිරීමට සූදානම් වූයේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකිනි. අද ආණ්‌ඩුව එවැනි යෝජනාවක්‌ සම්මත වේ යෑයි බියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ නොව ජාත්‍යන්තර සභා තුළය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 18 වැනි සැසිවාරය සැප්තැම්බර් මස අග භාගයේදී පැවැත්වෙයි. මේ මුළු සැසි වාරය පුරාම ආණ්‌ඩු පක්‍ෂයේ කාගේත් අවධානය යොමු වී තිබුණේ ශ්‍රී ලංකාවට එරෙහිව මේ සභාව තුළ යෝජනා ගෙන ඒවිද යන්න ගැනයි. එවැනි යෝජනාවක්‌ ගෙන ඒමට නොහැකිව මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය පසුගිය සිකුරාදා අවසන් වූ විට එය හුවා දැක්‌වුණේ ආණ්‌ඩුව ලද ජයග්‍රහණයක්‌ වශයෙනි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව රැස්‌වන විට ඒ කෙරෙහි කිසිදු අවධානයක්‌ යොමු නොකරන අය පවා ජාත්‍යන්තර සභාවක්‌ රැස්‌වන විට ඒ කෙරෙහි අවධානයෙන් සිටීමට දැන් හුරුවී සිටී.

පසුගිය සිකුරාදා අවසන් වූ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයේදී ශ්‍රී ලංකාවට අදාළව කාරණා 2 ක්‌ සිදුවිය. ඉන් පළමුවැන්න එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් විසින් තමන්ට උපදෙස්‌ දීමට යෑයි කියමින් පස්‌ස දොරෙන් පත් කරන ලද ඊනියා විද්වත් මණ්‌ඩලයක්‌ විසින් පිළියෙල කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට යොමු කිරීමයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුවූ අනෙක්‌ කාරණය වූයේ කැනඩාව විසින් මානව හිමිකම් කවුන්සිලයේ ඊළඟ සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම පිළිබඳ සාකච්ඡාවක්‌ ඉල්ලමින් යෝජනාවක්‌ ගෙන ඒමට උත්සාහ කිරීමයි. මානව හිමිකම් සැසි වාරය ජීනීවා නුවර පැවැත්වෙන අතරතුර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභාවේ 66 වැනි සැසිවාරය නිව්යෝක්‌ නුවරදී පැවැත්විණි. මෙයට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස්‌ මහතා ඇතුළු පිරිස බෑන්කී මූන් හමු වී ඔහුගේ අභිමතය පරිදි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කිසිදු තීරණ ගන්නා සභාවක අනුමැතිය රහිතව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකසන ලද වාර්තාව ශ්‍රී ලංකාවටත් නොදන්වා මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කිරීම ගැන තදබල විරෝධය ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලංකාවට නොදන්වා එම වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට එව්වේ අතපසු වීමකින් යෑයි බෑන්කී මූන් පවසා ඇත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක්‌ හැටියට ශ්‍රී ලංකාවට එම සංවිධානය තුළ යම් අයිතීන් ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කුමක්‌ හෝ එම සංවිධානය තුළ කෙරෙනවා නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවටත් පූර්ව දැනුම් දීමකට අයිතියක්‌ ඇත. තමුන් විසින් කරන ලද වරදේ බරපතළභාවය තුනී කිරීමට බෑන්කී මූන් පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධ එම වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට යෑවූවත් ඒ සම්බන්ධයෙන් ගතයුතු කිසිදු නිර්දේශයක්‌ කර නොතිබුණු බවයි.

ඒ ගැන කළ යුත්තේ කුමක්‌ද යන්න ගැන නිර්දේශ කිරීමට ඇත්ත වශයෙන්ම බෑන්කී මූන් අවශ්‍ය නැත. ශ්‍රී ලංකාව සම්බන්ධ මෙම වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට යවන්නැයි ඔහුට නිර්දේශ කරන්නේ ද වෙනම පිරිසකි. අදාළ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට යෑවුණු පසු එතැන් සිට එය ඉදිරියට ගෙන යැම ඒ පිරිස විසින් කරනු ලැබේ. අදාළ වාර්තාව සැකසීමත් එය මානව හිමිකම් කවුන්සිලයට යොමු කිරීමත් යනාදී සියල්ල සිදුවූයේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මත ක්‍රියා පටිපාටියෙන් පරිබාහිරවය. එම නිසා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාව අමතන විට ඔහු අවධාරණය කළ ප්‍රධානම කාරණය වූයේ සංවර්ධනය වෙමින් සිටින රටවල් විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය රෙගුලාසි නිසි ආකාරව ක්‍රියාත්මක කිරීම ගැන තම දැඩි අවධානය යොමු කළ යුතු බවයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ නීතියේ ආධිපත්‍යයට එල්ල වී ඇති අභියෝගය හමුවේ සෙසු රටවල් දැනුවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් ජී. එල්. පීරිස්‌ මහතාත් උත්සුක විය. නිව්යෝර්ක්‌ නුවර සිටි දින ගණන තුළ විශේෂයෙන්ම මානව හිමිකම් කවුන්සිලයේද සාමාජිකත්වය දරන රටවල් ගණනාවක්‌ සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෙදුණි. ඒ අනුව නයිජීරියාව, කටාර් රාජ්‍ය, උගන්ඩාව, කිරිකිස්‌තානය, සෙනෙගල්, ඉන්දුනීසියාව, උරුගුවේ, කැමරූන් හා ඇන්ගෝලාව යන රවවල් සමග සාකච්ඡා පවත්වන ලදී. මෙම පිටුවේ මා කලින් ද පෙන්වා දුන් පරිදි ලෝකයේ සෙසු රටවල් අඳ, ගොළු, බිහිරි නැත. මේ සිදුවන ක්‍රියාදාමයේ භයානකකම ඔවුන්ටද ඉතා මැනවින් වැටහෙයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා ජී. එල්. පීරිස්‌ මහතා කතා කළ මේ සියලු රටවල් යම් රටක සිදුවන දේශීය ක්‍රියාදාමයක්‌ (මේ අවස්‌ථාවේදී උගත් පාඩම් හා සංහිඳියා කොමිසම) ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ සාකච්ඡා කිරීම සියලුම රටවල්වලට ඉතා අහිතකර පූර්වාදර්ශයක්‌ වන බව ඔවුන් සියලු දෙනාගේම අදහස විය. අද මෙය ශ්‍රී ලංකාවට බලපාන්නා සේම ඉදිරියේදී තමන්ටත් බලපෑමට ඉඩ ඇති බව ඔවුන්ගේ පිළිගැනීම වී තිබිණි.

ජාත්‍යන්තර සංවිධාන කැකිල්ලේ උසාවි බවට පත් කිරීමට බටහිර රටවල් තුළ ඇති මේ කැමැත්ත දැන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සිට පොදු රාජ්‍ය මණ්‌ඩලයටත් බෝ වී ඇති බවක්‌ පෙනෙයි. පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ ද සංවර්ධනය වෙමින් පවතින රටවල් දඩයම් කිරීමට මර්දනය කිරීමට හා අපහසුතාවට පත් කොට තම අණසක යටතේ පවත්වාගෙන යැම සඳහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ඕස්‌ටේ්‍රලියාව හා නවසීලන්තය විසින් "ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය පිළිබඳ කොමසාරිස්‌" වරයෙක්‌ පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ ඇති කිරීමට යෝජනාවක්‌ ගෙනවිත් තිබේ. පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ එවැනි තනතුරක්‌ ඇති කළ හොත් සිදුවන්නේ කුමක්‌ දැයි එය තුළ සිටින සියලුම සංවර්ධනය වෙමින් පවතින රටවල් හොඳින් දනී. ඔවුන් සියලු දෙනාම මේ යෝජනාවට විරුද්ධ වී ඇත. එවැනි කොමසාරිස්‌වරයෙක්‌ පොදුරාජ්‍ය මණ්‌ඩලය තුළ ඇතිකළහොත් ඔහුගේ පූර්ණකාලීන රැකියාව වන්නේ සංවර්ධිත රටවල් කීපයක අණ පරිදි ආසියානු හා අප්‍රිකානු රටවල් පීඩනයට පත් කිරීමයි. බටහිර රටවල් විසින් එවැනි යෝජනා ගෙන ඒමෙන් ශ්‍රී ලංකාවට වාසියක්‌ සිදුවෙයි. බටහිර රටවල් විසින් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පීඩනය එල්ල කරන අතරතුර වෙනත් රටවල් දඩයම් කිරීමටද එළිපිටම පිඹුරුපත් සකසමින් සිටින විට වෙනත් රටවලට අපට දැනෙන පීඩනය හොඳින් අවබෝධ වෙයි. ඔවුන් වෙත ගොස්‌ ශ්‍රී ලංකාවේ දුක කී පමණින්ම සිදුවන්නේ කුමක්‌ දැයි ඔවුන්ට වැටහෙයි. පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය පිළිබඳ කොමසාරිස්‌වරයෙක්‌ පත් කරන්නේ දියුණු රටවල කල්ක්‍රියාවන් ගැන කතා කිරීමට නම් නොවන බව සියලුම දියුණු වෙමින් පවතින රටවල් දනී. මේ ආකාරයට පීඩනයට ලක්‌වූ පොදු රාජ්‍ය මණ්‌ඩලීය රටක්‌ නම් ලංකාවට එරෙහිව ඡන්දයක්‌ දෙන්නේ නැත. මෑතක සිට බටහිර රටවල්වලට තදින්ම බෝ වී ඇති මේ අදහස්‌ මල්පල ගැන්වුණ හොත් ලෝකයේ සියලුම ජාත්‍යන්තර සංවිධාන කැකිල්ලේ උසාවි බවට පත්වනු ඇත. මේ පීඩනය අන් රටවලටද දැනීම ශ්‍රී ලංකාවේ සුරක්‍ෂිතභාවය තහවුරු කරන්නක්‌ බව කිවයුතුය.

ඉකුත් සතියෙන් අවසන් වූ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ආ ප්‍රබලම අභියෝගය වූයේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ගැන ලබන සැසි වාරයේදී සාකච්ඡාවක්‌ ඉල්ලා කැනඩාව විසින් ගෙන ඒමට සැරසුනු යෝජනාවයි. කැනඩාව යනු ශ්‍රී ලංකාවට පසු වැඩිම ලාංකීය දෙමළ පිරිසක්‌ ජීවත් වන රටයි. එම නිසා එවන් යෝජනාවක්‌ ඒ පැත්තෙන් ඒම ගැන පුදුම විය යුතු නැත. ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා මේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක්‌ පැවැත්විණි. කැනඩාව විසින් ගෙන එන ලද මේ යෝජනාවට පක්‍ෂව ඇමරිකාව, යුරෝපා සංගමය, ස්‌විට්‌සර්ලන්තය, බ්‍රිතාන්‍යය, පෝලන්තය, මෙක්‌සිකෝව හා නවසීලන්තය කතා කළ අතර චීනය, රුසියාව, මැලේසියාව, ඇල්ජීරියාව, පකිස්‌තානය, කියුබාව එයට එරෙහිව කතා කළේය. ඇල්ජීරියාව කෙළින්ම කියා සිටියේ කැනඩාව යෝජනා කරන ආකාරයේ ප්‍රවේශයක්‌ ඉතා නරක පූර්වාදර්ශයක්‌ වන බවත් එවැනි ක්‍රියාදාමයක්‌ මානව හිමිකම් කවුන්සිලය තුළට හඳුන්වා දීමට තමුන් තදින්ම විරුද්ධ බවයි. කියුබාව සාකච්ඡාව ආරම්භයේ සිටම කියා සිටියේ මේවා කතා කරමින් වෙලාව නාස්‌ති නොකර කෙළින්ම කැනඩාවේ අදහස්‌ ඡන්දයට දමමු යන්නයි. කියුබාව පෙන්වා දුන්නේ මෙවැනි යෝජනාවක්‌ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගෙන ආවොත් ඒකාන්තයෙන්ම ඡන්දයක්‌ විමසීමට සිදුවන බවයි. ඡන්දයක්‌ ජයගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය තමන්ට නැති බව වටහා ගෙන සිටි කැනඩාව මේ යෝජනාව හකුලා ගත්තේය. කැනේඩියානු විදේශ ඇමැතිවරයා විසින් ජී. එල්. පීරිස්‌ මහතාට කියා සිටියේ තමුන් මේ යෝජනාව අතහැර නැතත් කල් දමා තිබෙන බවකි. ඔවුන් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාව එළිදක්‌වන තුරු මෙකී යෝජනාව ඔවුන් කල් දමන බවයි. මේ නිසා ශ්‍රී ලංකාව තවමත් ප්‍රශ්නයෙන් මිදී නැත. මෙහි දෙවැනි ජවනිකාව ලබන මාර්තුවේය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 1337353137975348247

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item