කොලොන්නාවේ වේදනාව සහ රටේ ගමන

බොලිවුඩ් හෝ හොලිවුඩ් ච්ත්‍රපටිවල මෙබඳු දර්ශන දැක ගත හැකිව තිබේ.මා සඳහන් කරනුයේ කෙබඳු දර්ශන පිළිබඳවද ?ඒ පසුගිය දා කොලොන්නාවේ දී සිදු වූ මරාගැ...

බොලිවුඩ් හෝ හොලිවුඩ් ච්ත්‍රපටිවල මෙබඳු දර්ශන දැක ගත හැකිව තිබේ.මා සඳහන් කරනුයේ කෙබඳු දර්ශන පිළිබඳවද ?ඒ පසුගිය දා කොලොන්නාවේ දී සිදු වූ මරාගැනිල්ලට අදාළ "දර්ශන " පිළිබඳවය. දැන් කාටත් සිදුවීම පිළිබඳ කරුණු අවබෝධ වී හමාරය. කොලොන්නාවේ ඇතැයි කියන "තමිල්නාඩුව" නැමති පාතාල තිප්පලට වී ඇති පදමට "විස්කි" හා වෙනත් මත් ද්‍රව්‍ය පානය කල එක් පිරිසක් පාරට බසින්නේ තම සතුරන් දඩයම පිණිසමය. පළාත් පාලන චන්දයේ චන්ද පැවැත්වීමේ මූලික කටයුතු අවසන් වීමට සුළු වේලාවක් ඉතිරිව තිබියදී මහපාරට බැස කාන්තාවන්ට පහරදීමට මේ පිරිසට හැකි වීයේ කෙසේද? චන්දය දුන්නේ කාටදැයි විමසා ,සෝලංගඅරච්චිට යැයි කී විට කාන්තාවන්ගේ ක්ම්මුලට පහරදීමට,හැට්ටයෙන් ඇද නිරුවත් කිරීමට තැත් දැරීමට මොවුනට හැකි වූයේ කෙසේද?
තම දේශපාලන කඳවුරම නියෝජනය කරන තම අභ්‍යන්තර ප්‍රතිවාදියා මහ මගදී මුණ ගැසුන විට පහරදී වෙඩි තබා මරා දැමීමට මේ පිරිසට බලය ලැබුනේ කෙසේද? ඒ ගිනි අවි කාගේ ගිනි අවිද? පාතාල මැරයන් සතු නීති විරෝධී ගිනි අවි මෙලෙස ,මේ අයුරින් මහ දවල් පත්තු කෙරෙන විට බාහිර ලෝකය අපව තේරුම් ගන්නේ කවර අයුරින්ද?

ඹටහිර ලෝකය බලාගෙන සිටින්නේ ශ්‍රී ලංකාව ,නීතිය වල් වැදුනු ,බලය ඇති අය හමුවේ නීතිය ක්‍රියාත්මක නොවන ,නීති විරෝධී ගිනි අවි දරන කණ්ඩායම් ක්‍රියාත්මක වන රටක් වශයෙන් හුවා දැක්වීමටය. එසේ හුවා දැක්වීම මගින් ,ජනාධිපතිතුමන් හා ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙතින් පලි ගැනීමේ තම ව්‍යාපාරය ලෝකය හමුවේ සාධාරණීකරණය කර ගැනීමටය.
ඒ අරමුණ මුදුන්පත් කර ගැඊමට මාන බලන බටහිර අධිරාජ්‍යවාදයට මේ අන්දමේ සිදුවීම් 'රස මසවුළු' බවට පත් කරගත හැකිය. එබඳු රස "මසවුළු" ආණ්ඩුවේම දේශපාලනඥ්යන් විසින් නිපදවනු ලබන ගමන් ශ්‍රී ලංකාව නීතිය හා විධානය නිසි පරිදි ක්‍රියාත්මක වෙන රාජ්‍යකැයි අප ලෝකය හමුවේ කියා පෑවාට ඉන් ඇති ප්‍රයෝජනයක් නැත.

අනෙක් අතට ,මෙරට සාමාන්‍ය ජනයා නීතිය අතට ගැනීමේ වරද ගැන අප කථා කරමු.පෞද්ගලික අංශය වෙනුවෙන් ගෙන ආ විශ්‍රාම වැටුප් පනතට එරෙහිව කටුනාඅයකදී පැවති විරෝධතාවයේදී ඇතමුන් නිරායුධ පොලිස් නිළධාරීන්ට ගල් මුල් වෙතින් පහරදීම අප විවේචනය කලේ එය නීතියට අභියෝග කිරීමක් වශයෙනි .විවිධ හේතු මත ,පොලිසි වටකර ගල් මුල් වලින් පහර දෙන පිරිස් ගැන අප කීවේ ඔවුන් නීතිය අතට ගැනීමට වලිකන පිරිස් බවය. "ග්‍රීස් යකා " ගැන කියමින් පොලිස් නිළධාරීන් මරන විට ,පොලිසිවලට හමුදා කඳවුරුවලට වටකර පහර දෙන විට ,අප ඒ ගැන කීවේ නීතිය නොතකා හරිමින් ඊට අභියෝග කිරීමට ප්‍රචණ්ඩ ලෙස ක්‍රියාත්මක වන මහජන පෙළගැස්මක් ඇති කිරීමට විවිධ බලවේගයන්ට ඇති උවමනාවට අනුව ක්‍රියාත්මක මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසය. එකී සිදිවීම් හා ඒ පිටුපස සිටි උදවියට ඒ අයුරින් හෙළා දුටු අපට ,කොළොන්නාවේ වියරු රංගනය පිළිබඳව නිහඬව සිටිය හැකිද?කොළොන්නාවේ වියරු රංගනය මගින් පහළ ජන සමාජයට ලැබෙන පණිවිඩය කුමක්ද?

දේශපාලඥයන්, බලවත් අය නීති විරෝධී ගිනි අවි රැුගෙන මහ දවල් එළිපිට මිනී මරන්නේ නම් නීතියට පිටින් ක‍්‍රියාත්මක වූවාට ඇති වරද කුමක්දැයි සාමාන්‍ය ජන සමාජය අපගෙන් විමසීමේ ඇති වරද කුමක්ද? අප සාමාන්‍ය ජන සමාජය තල්ලූ කල යුත්තේ එලෙස සිතන හා ක‍්‍රියාක්මක වන තත්වයකටද? ශ‍්‍රී ලංකාවට හතුරු අන්තර්ජාතික විපක්‍ෂයද බලාගෙන සිටින්නේ මෙරට සාමාන්‍ය ජනයා එලෙස සිතන හා ක‍්‍රියාත්මක වන තත්වයක් කරා තල්ලූ වන තුරුය. මෙබඳු වියරු ජවනිකා නිමවීම මඟින් අප අනුබල දෙන්නේ ඒ සතුරු ආශාවට නොවේද?
අපම, අපගේ අන්තර්ජාතික සතුරු බලවේගයන්ගේ අවශ්‍යතා නොදැනුවත්ව හෝ සපුරන විට එකී අන්තර්ජාතික සතුරු බලවේගයට අප රට මගින් තවත් මිතුරන් අවශ්‍ය වනු ඇත්ද? රටට එලියෙන් එන තර්ජනයට මුහුණ දිය හැක්කේ රට ඇතුලේ දුබලතා පරදවා ගැනීමෙන් මිස අන් අයුරකින් නොවේ. සාමාන්‍ය පොදු ජනතාවට වැරැුද්ද පෙනෙන්නේ වැරැුද්ද ලෙසමය. ඔවුන් දකින වියුක්ත වැරදි, බටහිර විපක්‍ෂයද දකින විට ඔවුන්ට පෙනෙනු ඇත්තේ බටහිර විපක්‍ෂයද තමන්ගේ විපක්‍ෂයක් ලෙසය. බටහිර හෙවත් අන්තර්ජාතික විපක්‍ෂයේ ඇති සැඟවුණු න්‍යාය පත‍්‍රය සාමාන්‍ය ජනතාවට පෙනෙන්නේ නැත. ඔවුන්ට පෙනෙන්නේ විවෘත තලයේ වන සිදුවීම් සහ එවා කෙරෙහි දක්වන ප‍්‍රතික‍්‍රියා පිළිබඳ පමණි.
නිදසුනක් ලෙස ලිබියාවේ ගඩාෆි පාලනය දෙස බලමු.
ගඩාෆි පාලනය ලිබියාවට බොහෝ දේ දිනා දුන්නේය. සිය සම්පත් තම ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීමේ අවස්ථාව ගඩාෆි පාලනය විසින් එරට ජනතාවට දිනා දෙන ලදී. ගිබියානු තෙල් සම්පත් කොල්ලකෑමට ගඩාෆි පාලනය බටහිරට ඉඩ දුන්නේ නැත. එම කලාපයේ උසස්ම ජීවන තත්වය ලිබියානුවන් වෙනුවෙන් ලබාදීමට ගඩාෆි පාලනයට හැකිවිය. සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස, අහාර ආදී සියළු මූලික මානව අවශ්‍යතා බොහෝ සෙයින් සැපිරීමට ගඩාෆි පාලනයට හැකිවිය. එහෙත් ලිබියානුවන්ගෙන් කොටසක් ඉන් සෑහීමකට පත්වූයේ නැත. ඔවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍ය විය. රට තුල නිර්මාණය වූ එකී පිරිසේ එම අවශ්‍යතාවය හා ගඩාෆි පාලනය වනසා ලිබියාවේ තෙල් සම්පත කොල්ලකෑමේ බටහිර අවශ්‍යතාවය එක මොහොතකදී එකම තැනකදී මුණ ගැසුණි. ප‍්‍රථිඵලය වූයේ ලිබියාව ගඩාෆිටද එහි ජනතාවටද අහිමි වී බටහිර අධිරාජ්‍යවාදයේ මාවත් දඩබිමක් බවට පත්වීමය.
වරද ඇත්තේ කොතැනද? බටහිර අධිරාජ්‍යවාදයේ සාහසික අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා අවශ්‍ය බලවේගයක් රට තුලින්ම නිර්මාණය කරදීමේ වගකීමෙන් ගඩාෆි පාලනයට අත්මිදිය හැකිද? නීතිය අතට ගෙන පාතාල මැරයන් සමඟ නීති විරෝධී ගිනි අවි පත්තු කරමින් සන්ධානය තුලම තමන් සමඟ හිඳින ‘අනෙකා’ මරා දමන්නට ක‍්‍රියාකරන දේශපාලූවන් නිපදවීම මඟින් අපද මේ අත වන්නේ ලිබියා පන්නයේ බටහිර මෙහෙයුමකටම නොවේද? ඒ මඟින් අපට දිරි දෙන්නේ වෙනත් ආකාරයකට ‘බෙන්ගාසි හැසිරීමකට’ නොවේද?
බෙදුම්වාදී ත‍්‍රස්තවාදය නිමාකර අවි ගැටෙන හඬ නිමා කිරීමෙන් ජනාධිපතිතුමා අපේක්‍ෂා කලේ නීතිය හා විධානය නිසි පරිදි ක‍්‍රියාත්මක සාමය රජයන රටක් නිමැවීමය. පවත්නා නීතියට පිටින් ක‍්‍රියාත්මකව තිබූ ප‍්‍රබලතම බලවේගය වූයේ කොටි සංවිධානයයි. එය ශ‍්‍රී ලංකා රාජ්‍යයේ නීතිය නොතකා හැර ඊට අභියෝග කරමින් ඊනියා දෙමළ ඊළාම් රාජ්‍යයක නීතිය හා විධානය ක‍්‍රියාත්මක වීමේ තත්වයක්ද බිහිකරන ලදී. කොටි සංවිධානය විනාශ කිරීම මඟින් අවසාන කලේ ශ‍්‍රී ලංකා රාජ්‍යයේ නීතිය හා විධානය ක‍්‍රියාත්මක වීමට එරෙහිව ගොඩනැඟුනු එම ප‍්‍රති බලයයි.
නීතිය හා විධානයට එරෙහි වූ ප‍්‍රධානතම තර්ජනය මුලිනුපුටා දමන ලද රටකට, නීතිය හා විධානය නොතකා හැර පාතාල කල්ලි සමඟ නීති විරෝදී අවි දරා මහ දවල් මිනී මරන දේශපාලඥයකු උවමනා වන්නේ කුමකටද? එබඳු දේශපාලඥයන් ආණ්ඩුව පාර්ශ්වයෙන්ම නිර්මාණය වීමෙන් සිදුවන්නේ කොටි බලය බිඳ දමා දිනා දුන් සාමයේ වටිනාකම අප විසින්ම කෙලෙසා දැමීමක් නොවන්නේද? අප අපටම එරෙහිව භාවිතාවේ නියැලෙන විට අපට බාහිරව සිටින සතුරන් ඉන් ප‍්‍රයෝජන ගැනීම වැලකිය හැකිද?
මේ ප‍්‍රශ්ණ නොතකා හැර ඒවාට නිවැරදි ලෙස පිළිතුරු නොදී රටට යා හැකි ඉදිරි ගමනක් නොවේ. එබැවින් යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවේ අනාගත ගමන කෙරෙහි තියුණු බලපෑම් සහගත භූමිකාවක් ඉටුකරන නව ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය අද තදින් අවධාරණය වී තිබේ.
කොටි බලය පරදවා ජයගනු ලබන තැනටද රට මෙහෙයවූයේ මෙරට ජාතික බලවේග විසිනි. රනිල් වික‍්‍රමසිංහගේ විජාතික බල කඳවුරට එරෙහිව, ජාතික බලවේගයන්ගේ බල කඳවුර මත නිවැරදිව සිට ගැනීම මඟින් 2005 මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ජනාධිපති ධුරයට පත් කෙරිණි. එතැන් පටන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගමන් කලේ ජාතික බලවේගවල අභිමථාර්ථ නියෝජනය කරන නායකයෙකු වශයෙනි. යුද්ධය ජයග‍්‍රහණයෙන් කෙලවර කිරීමට හැකිවූයේ එකී ජාතික බලවේගයන්ගේ මඟ පෙන්වීම හා ශක්තියද හේතු කොට ගෙනය.
යුද්ධයෙන් පසු අවධියේදී යුද්ධයට හා පෙර යුද්ධය පැවති අවධියේදී ක‍්‍රියාත්මක වූ ජාතික බලවේගය ඒ අයුරින්ම දකින්නට නැත. දරන් එය විවිධ වූ විපර්යයාසයන්ට භාජනය වී තිබේ. සාමය දිනාගන්නා තුරු ඇස් පෙණුන, සාමය දිනාගත් පසු ඇස් වසාගත් බකමූණෙකු බවට දැන් ඒ ජාතික ව්‍යාපාරය පත්ව තිබේ. කොලොන්නාව ඛේදවාචකයෙන් පෙනී යන්නේ යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමටද ජාතික ව්‍යාපාරයක මඟ පෙන්වීම, බලපෑම් සහගත පුරෝගාමී මැදිහත්වීම අත්‍යවශ්‍යව පවතින බවය. එබැවින් අපි ඒ නව ජාතික ව්‍යාපාරය බිහිකල යුතු වෙමු.
එදා යුද්ධයෙන් පසු අවධියේ ශ‍්‍රී ලංකාව අභියස වන ගමන, එහි හැඩතල හා ප‍්‍රමිතීන් ගුණාංග නිපදවන, ඒ ඔස්සේ ජාතිය මෙහෙයවන ජාතික ව්‍යාපාරයක් විය යුතුව තිබේ. කුඩු ජාවාරම්කරුවන් දේශපාලඥයන් බවට පත්වීම වලකන කොලොන්නාවේ මැර නාටකය වැනි ජවනිකා තවත් අත් විඳින්නට සිදු නොවන අයුරින් ජාතියේ ඉදිරි ගමන උසස් ප‍්‍රමිතියක් දක්වා ඔසවා තබන ඒ ඔස්සේ පිය නැඟීමට දේශපාලන ලෝකයට බලකරන නව ජාතික ව්‍යාපාරයක් අද අප බිහිකල යුතුව තිබේ.
අප එය ඉටු නොකලහොත්, පිරපාහරන් නැති රට හා පිරපාහරන් ඇති රට අතර වෙනසක් නැත කියන අනාගතයක් කරා අපේ රට ගමන් කරවු නිසැකය. එය එසේ වනු දැකීමට අකමැති සැවොම නව ජාතික ව්‍යාපාරය සෑදීමට කර දිය යුතුය. යුද්ධය මඟින් සාමය දිනා ගත්තා සේ, යහපාලනය, වගවීම, විනය හා හැදියාව සහිත රටක් දිනා ගැනීම සඳහාද ජාතික ව්‍යාපාරයේ භූමිකාව අත්‍යවශ්‍ය වේ. එයට නායකත්වය නොදුනහොත් අපට අපවම හඳුන්වා ගැනීමට සිදුවන්නේ බකමූනන්ගේ ලෝකයක කොටස්කරුවන් ලෙසය.
-විමල් වීරවංශ
ඉරිදා ලංකාදීප
2011-10-16


සිංහල අකුරු නොපෙනේනම් මෙතනින් කිය්වන්න.
http://i52.tinypic.com/2n21cfp.png

Related

විමල් වීරවංශ 6386480062866157469

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item