දේශපාලන ගන්ධබ්බ යුගයක්

පළාත් පාලන මැතිවරණයේ තුන් වැනි වටයත් සමග 2007 නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් ඇරඹි මැතිවරණ රැල්ල අවසන් විය. දැන් ඉතුරුව ඇත්තේ උතුරු පළාත් සභා...

පළාත් පාලන මැතිවරණයේ තුන් වැනි වටයත් සමග 2007 නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් ඇරඹි මැතිවරණ රැල්ල අවසන් විය. දැන් ඉතුරුව ඇත්තේ උතුරු පළාත් සභාවේ මැතිවරණය පමණි. මේ නොනවතින ක්‍රියාදාමය ආණ්ඩු විපක්ෂ දෙපිරිසම අධික වෙහෙසකට පත් කරවූ බව නිසැකය. එමෙන්ම රැල්ලෙන් රැල්ල එක්සත් ජනතා නිදහස් සංධානය ශක්තිමත් කල බවද සහතිකය.


තීරණාත්මක කොළඹ මහනගර සභා මැතිවරණය හැර සෙසු සියලු නගර සභා සංධානය ජය ගත්තේය.දෙහිවල-ගල්කිස්ස ,මහනුවර කොළොන්නාව මීගමුව වැනි යූ ඇන් පිය රට තුල පරදිද්දීත් (යූ ඇන් පි ) බලය රැකගත් නගර සභා සංධානයට හිමි විය.කෙසේ වෙතත් කොළඹ නගර සභාවේ බලය යූ ඇන් පි යට හිමි විය.


මේ ජයග්‍රහණය එක අතකින් විපක්ෂ නායකයාගේ යූ ඇන් පී නායකත්වය ආරක්ෂා කල ජයග්‍රහණයකි.එය තවත් අතකින් ආණ්ඩුවේද ජයග්‍රහණයක් වන්නේ යූඇන්පිය තවත් දශක ගනණක් එකතැන පල්වෙන පරාජිත පක්ෂයක් වීමට නියමිත නිසාය.ජවිපෙද දේශපාලන ලෙස අතුගෑවී ගියේය ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදයට යලි පැමිණි පසු ඔවුන් චන්ද දේශපාලනයේ පිබිදී ආ 1997 පළාත් පාලන මැතිවරණයේදීද එයට රට පුරා මන්ත්‍රීධූර 99 ක් විය.මෙවර එය 75 දක්වා බිඳ වැටී ඇති අතර ලබාගෙන ඇති සමස්ථ චන්ද ප්‍රමාණය (278000) 1982 දී විජේවීර මහතා ගත් චන්ද ප්‍රමාණයට සමානය.ජවිපෙ "ධනපතින්න් සමග" සංධානගත නොවී 2010 මහ මැතිවරණයට ඉල්ලුවානම් ඔවුන්ට ලැබෙන්නට නියමිතව තිබුනේ එක් අසුනකි.එයද ජාතික ලැයිස්තුවෙන් බව දැන් පැහැදිලිය.මැතිවරණ දේශපාලනයේදී අතු ගෑ වීයන්නට සිටි ජවිපෙ ගැලවී ගත්තේ ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ෆොන්සේකා මහතාට පින් සිදු වන්නටය.යූ ඇන්පිය කොළබ ජය ගන්නේ කෙසේද?යූඇන්පී නායකයන් කියනා ලෙස කොළඹ දේශපාලනික ලෙස වඩාත්ම දියුණු බුද්ධිමත් මිනිසුන් සිටින නිසාද? නැත්නම් ආර්ථිකවද දේශපාලනිකවද අන්ත දුගී මිනිසුන් සිටින නිසාද?පිළිතුර දෙවැන්නය.


යූ ඇන්පියට සිය පක්ෂය පිහිටවූදා සිට කොළඹ අග නගරයේ පදනමක් විය.එය එක් අතකින් කොලඹ ධන කුවේරයන් හා ඔවුන්ගේ අන්තේවාසික ජනයාගේ සහායක් නිසා ලැබුනක් වූ අතර අනෙත් අතින් දෙමළ මුස්ලිම් ජනයාගේ සහාය නිසා ලැබුනක්ද විය.

කොහොමත් කොළඹ සාතිශය බහුතර බලයක් යූඇන්පියට තිබිණි. 2005 හා 2010 ජනාධිපතිවරණ දෙකම එය කොළඹ මහ නගර සභා ප්‍රදේශය ජය ගත්තේ වැඩි චන්ද ලක්ෂය එක් ලක්ෂ පනස් දහස ආදී ලෙසය.ඉතා අවාසි සහගත කොන්දේසි යටතේ පැවැත්වූ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදීද (131000 ට එරෙහිව 71000 ) එයට වැඩි චන්ද 60000 ක් තිබුණේය.මෙයට ප්‍රධාන හේතු කිහිපයක් ඇත.එකක් නම් කොළඹ නගර සභාවේ සේවය කරනා 14000 කට අධික නිල නොවන සේවකයන් ය.මොවුන්ගෙන් 90% යූ ඇන් පී පාලනය නිසා රැකියා ලද පිරිස්ය.මේ නිසා කොළඹම පදිංචි වී සිටින මොවුන්ගෙන් චන්ද 40000ක පමණ සෘජු ඡන්දයක් යූඇන්පියට වැටේ.යූඇන්පිය පටන් ගන්නේ එතැනිනි.ඊළඟට කොලඹ සංඛ්‍යාත්මක ලෙස වැඩිපුර ජනතාව මුස්ලිම්ය.මෙවර සිය පක්ෂය අත හැර මුස්ලිම් නගරාධිපති කෙනෙක් තනා ගැනීම පිණිස මුසම්මිල් මහතා පසුපස ගොස් ඇත.යූඇන්පියේ ජයග්‍රාහී අපේක්ෂකයන්ගෙන් 40% ක් මුස්ලිම් අය වී ඇත්තේ අහම්බෙන් නොවේ.අනෙක් අතින් සමාජමය ලෙස කොළඹ බහුතරය පැල්පත්වාසී දුගී ජනතාවය.ප්‍රේමදාසගෙන් පසු මේ ජනතාව පැහැදිලි ශක්තිමත් දේශපාකබ නායකත්වයක් හෝ ජීවන මට්ටම් උසස් කරණා ක්‍රියාදාමයක් හෝ සිදු වී නැත.වතු 1264 ක ජීවත්වන පවුල් 70,000 කට ආසන්න ජනතාවගෙන් හරි අඩක්ම එදිනෙදා ජීවිතය ගැන සිතන්නේ හිරු උදාවන උදෑසනය.ඔවුන්ට ස්ථිර රැකියා නැත.කොළඹ වරාජ ,වාණිජ ආයතන ,සංචාරක හෝටල් ප්‍රවාහන සේවා ආදී බොහොමයක් ආඅර්ථික අවස්ථාඅ තිබුනද ඒවායේ සේවය කරන්නේ පිට පළාත්වල අයය.
මෙය සිංහල අලුත් අවුරුදු සමයේදී කොළඹ ඇතිවන පාලු සහගත තත්වයේ පදනමයි.
මේ ජීවන රටාව හඳුනාගත් එය තුලින්ම බිහි කර ගත් ලුම්පන් නායකයින් යූඇන්පියේ කාඩරයයි මෙය ඔවුන්ගේ මනාප ලයිස්තුවේ ඉහලින් සිටින්නන්ගෙන් හඳුනාගත හැක.අනෙක් අතින් මේ මැතිවරණය සඳහා කොළඹ උගත් දේශපාලන වශයෙන් දියුණු පිරිස් චන්දය දාන්නට පැමිණියේ නැත.ඒ නිසා චන්දයේ සමාජමය ලෙස තීරක බලය වූයේ දුගී පැල්පත්වාසීන් බා ජනවාර්ගික ලෙස මුස්ලිම් ජනයාය.සංධානයේ ඡන්ද ව්‍යාපාරය ඉලක්ක කර ගත්තේ ඡන්දයට නොපැමිණෙන කොළඹ පිරිසිදු විධිමත් නගරයක් වීම ගැන සතුටින් සිටිනා උගත් නවීන සමාජයය.ඡන්දයට පෙර මිලින්ද මොරගොඩ මහතා මා හමු වූ විට එතුමාට මා කීවේ එතුමාගේ සටන් පාඨ පරමාදර්ශී වුවත් එයට චන්ද නොමැති හෙයින් තේමාව හා වැඩ කලාව වෙනස් කරගන්නා ලෙසය.ඡන්දය පැරදුනත් එය කළ නොහැකිවබ එතුමා ප්‍රකාශ කලේය.ඇත්තෙන්ම ඔහු මේ මැතිවරණයට ගැලපුනේම නැත.2006 දී වාසුදේවට වූයේද එයමය.

කෙසේ වෙතත් කොළඹින් ලැබුණු මැතිවරණ පරාජය මත පදනම්ව කොළඹ අග නගරයක් කිරීමේ ආණ්ඩුවේ සහ විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යාංශයේ වැඩපිළිවෙල ඉවත් කරගත යුතු නැත.කොළඹ මැතිවරණ පරාජය වූයේ පැල්පත් ඉවත් කිරීම නිසා නොවේ.2006 ට සාපේක්ෂව එය චන්ද 20,000 ක් වැඩියෙන් ගෙන ඇත.සාකච්ඡා හඳුනාගෙන ඇති කොළඹ ජලය බැස නොයන ස්ථාන 15 කවර ක්‍රමයකින් හෝ ප්‍රධාන ඇළ මාර්ග හරහා මුහුදට සම්බන්ධ කරගත යුතුය.එමෙන්ම වරාය,කොළොන්නාව තෙල් නල මාර්ගය,දුම් රිය මාර්ගය හා ඇළ මාර්ග දෙපස පදිංචිව සිටින අය කවර මුග්ධ තර්ක ගෙන ආවද වෙනත් ස්ථානවල පදිංචි කල යුතුය.
බණ්ඩාරණායක සම්බෝධි විහාරය,ඛෙත්තාරාම ක්‍රීඩාංගනය ,ගංගාරාම නවම් මාවත් වෙළද සංකීර්ණය ඉදිවී ඇත්තේ පැල්පත්වාසීන්ගේ පැල්පත් ඉවත් කිරීමෙන් හා ඒ අය නැවත පදිංචි කිරීමෙන් බව අවබෝධ කරගත යුතුය.මුළු කොළඹම නිවාස ප්‍රශ්නය විසඳීමට එක් නිවසකට මිලියනය බැගින් නිවාස 70,000 කට අවශ්‍ය බිලියන 70 ක් වන අතර අපගේ ආණ්ඩුවේ වාර්ෂික මහා මාර්ග සංවර්ධන වියදම බිලියන 150ක්ද සෙසු මාර්ග හා වෙනත් සංවර්ධන වියදම බිලියන 150 ක්ද ලෙස බිලියන 300ක් පමණ වේ.මේ නිසා ඉදිරි වසර 05 තුල වසරකට බිලියන 15-20 අතර කොළඹ නිවාස සඳහා යෙදවිය හැකි අතර එමගින් නිදහස් කරගත හැකි ඉඩම් ප්‍රමාණය (හෙක්ටයාර 100 ක් පමණ ) ඛනිජ තෙල් ප්‍රවාහන සේවයේ ඇති කල හැකි දියුණුව ,බේරේ වැව අවට වාණිජ කලාපය හා ජල කළමණාකරණයෙන් ඉඩම්වල ලැබෙනා අතිරේක වටිනාකම් ආදිය සමග ගත් කල ඉතා හොඳ ආයෝජනයක් බව කිව යුතුය.එමෙන්ම කොළඹ නව වරාය හා වාණිජ මධ්‍යස්ථානවල රැඛියා මහල් නිවාස කරා යෑමට කැමැත්ත දක්වන පවුල්වල දරුවන්ට ලබාදීමෙන් හා වෘත්තීය පුහුණුවට ඔවුන් යොමු කිරීමෙන් ලුම්පන් සංස්කෘතියෙන් හා පාදඩ සමාජ ජීවිතයෙන්ද පාතාලයෙන්ද නිදහස් කර ගැත හැකිවේ.යූ ඇන්පිඅ සැමදාම මෙන්ම මෙවරද පැල්පත් කඩනවා,මාළු වෙල්ඳසැල කොළඹට ගේනවා,පදික වෙළඳාමට අවසර දෙනවා ආදී කාළකණ්නි සටන් පාඨ වලින්ද කලේ කොළඹ ලුම්පන් කුණු කන්දට බිලි දීමය.චන්ද ප්‍රතිඵල කුමක් වුවත් ආරක්ෂක ලේකම් මුල්වී කල නිවරදි වැඩපිළිවෙල ඉදිරියට කල යුතු අතර කොළඹ අයත් වන්නේ එහි පදිංචිව සිටිනා ජනයාට පමණක් නොව රටටම බවද යූඇන්පිය ඇතුළු සියල්ලෝ දැනගත යුතුය.

මේ මැතිවරණය නිමා වීමත් සමගම උදා වන්නේ වසරක් පමණ දිගු විය හැකි දේශපාලන ගන්ධබ්බ යුගයකි.එය ජවිපෙ තුල බල අරගලය තීව්‍ර කර බෝල්ෂෙවික් හා මෙනෂෙවික්වාදීන් දෙපැත්තේ ස්ථාවර කරනු ඇත.යූඇන්පියද රනිල් විරෝධීන්,මර්ධනය කර රනිල් යටතේම ජවිපෙ මෙන්ෂෙවිකයන්,ෆොන්සේකාවාදීන් ආදී විවිධ අනාථ වූ කල්ලි ඇතැම් විට එක පෙරමුණකට තල්ලුවීමටද ඉඩ ඇත.මුල්ලේරියාවේ සිදු වූ සිදුවීම්වල යටහරය කියා පාන්නේ සංධානයද බොහෝ බියකරු ලුම්පන් බලවේගවලට ඇතැම් ස්ථාවනවල නතු වෙමින් තිබෙනා බවය.ඒ නිසා සන්ධානයට අලුත් මුහුණුවරක් හා නව ජවයක් එකතු කර ගැනීමට හොඳම කාලය පැමිණ ඇත.


-පාඨලී චම්පික රණවක
ඉරිදා ලංකාදීප
2011-10-16

Related

පාඨලී චම්පික රණවක 2793716710969955227

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item