විපක්‍ෂයට නැවතත් මුල අමතකවේද?

ලංකාවේ දේශපාලනයේ සාමාන්‍යයෙන් දක්‌නට ලැබෙන ප්‍රපංචයක්‌ අගවිනිසුරුට එරෙහි දොaෂාභියෝගය සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති බව අපට දැන...

ලංකාවේ දේශපාලනයේ සාමාන්‍යයෙන් දක්‌නට ලැබෙන ප්‍රපංචයක්‌ අගවිනිසුරුට එරෙහි දොaෂාභියෝගය සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති බව අපට දැන් පෙනේ. ඒ තම සතුරාගේ ප්‍රතිවාදියා තමාගේ මිතුරකු හැටියට සැලකීමේ උපක්‍රමයයි. යම් පුද්ගලයෙක්‌ සතුරාගේ මිතුරකු හැටියට සිටින විට ඒ පුද්ගලයාද සතුරෙකි. නමුත් සතුරා සමග විරසකයක්‌ ඇතිවූ විගස අදාළ පුද්ගලයාම මිතුරෙක්‌ බවට පත්වෙයි. ඉන්පසු සතුරා සමග සිටින විට එම පුද්ගලයා කළ කී දෙය නොකලා, නොකීවාක්‌ මෙනි. අප මෙය අවස්‌ථා කීපයකදීම දැක ඇත. අගවිනිසුරුවරිය සම්බන්ධ මේ ප්‍රශ්නය කරලියට ඒමට පෙර තිබූ මෙවැනිම අවස්‌ථාවක්‌ වූයේ සරත් ෆොන්සේකාගේ ප්‍රශ්නයයි. ජෙනරාල් සරත් ෆොන්සේකා යුධ හමුදාවේ සිටින අතරතුර ඔහු රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන නිසා විපක්‍ෂයට ඔහු නරක මිනිසෙක්‌ විය. ලංකා ඉතිහාසයේ කිසිදාක සිදු නොවූ ආකාරයට එකල විපක්‍ෂයත් යුද හමුදාවේ ප්‍රධානියාත් අතර වචන හුවමාරු ද සිදුවිය. විපක්‍ෂයේ ඇතැම් උදවියත් හමුදාපතිවරයාත් අතර මේ ආකාරයට විරසක වීමක්‌ තිබියදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කරනු ලැබීය. එවිට විපක්‍ෂයේ දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේදී පවා කීවේ මේ ඝාතනය සිදුකළේ සරත් ෆොන්සේකාම බවයි.



ලසන්ත වික්‍රමතුංගගේ මළගෙදරදී ලසන්තව මැරුවේ හමුදාපතිවරයාම බවත් ආණ්‌ඩුවට පාලනය කරගත නොහැකි ප්‍රපංචයක්‌ ආණ්‌ඩුව තුළත් ක්‍රියාත්මක වන බවත් මහින්ද රාජපක්‍ෂගේ ජීවිතය පවා අවිනිශ්චිත බව මටද ඇතැම් එජාප දේශපාලනඥයන් කීවේය. මමද ලසන්ත වික්‍රමතුංගගේ මිත්‍රයෙක්‌ බව දන්නා නිසා ෆොන්සේකාට පහර දෙන්නැයි ඔවුන් මටද කීවේය. එදා මට එසේ කී දේශපාලනඥයන්ම ඒ වසර අවසන් වීමට පෙර සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින අය බවට පත්විය. සරත් ෆොන්සේකා රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට ලසන්ත වික්‍රමතුංගව මැරුවේ ෆොන්සේකාය. එපමණක්‌ද නොව මහින්ද රාජපක්‍ෂත් මරා එම කඳවුරේ ප්‍රධානියා වීමටද කැස කවන පුද්ගලයකු හැටියට ෆොන්සේකා හුවා දැක්‌වුණි. නමුත් රාජපක්‍ෂ ආණ්‌ඩුව සමග විරසකයක්‌ ඇති වූ විගස ලසන්ත මැරුවේ ෆොන්සේකා නොවේ. එපමණක්‌ද නොව ඔහු මහින්ද රාජපක්‍ෂවත් මරා රජකම ගැනීමට උත්සාහ කළ අයකු නොව ප්‍රජාතන්ත්‍රවාදය දන්නා හොඳ මිනිසකු බවට පත්විය. ෆොන්සේකාට පහර දෙන්නැයි දේශපාලනඥයන් මට කියන විට මමද ආවේගකාරීව එය ක්‍රියාත්මක කළේ නම් එම අවුරුද්ද අවසන් වන විට මම නරක මිනිසෙකි. ෆොන්සේකාට ගහන්නැයි මට කී සියලුම දේශපාලනඥයන් හොඳ මිනිසුන්ය. මේ ලංකාවේ දේශපාලන සංස්‌කෘතියයි.

අප මෙතැනදී සරත් ෆොන්සේකා ගැන කතා කරන නිසා තවත් දෙයක්‌ ද මතක්‌ කර දී සිටිය යුතුය. ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනය සිදුවී දින 3 - 4 ක්‌ ඇතුළත ගෝඨාභය රාජපක්‍ෂ රජයට අයත් රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී සරත් ෆොන්සේකා ලෝකයේ හොඳම හමුදාපතිවරයා බව ඔහුට ඉන්දියාවේ එම්. කේ. නාරායනන් (ජාතික ආරක්‍ෂාව පිළිබඳ උපදේශකවරයා) තමාට පවසා සිටිය බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා කීවේ විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුව තුළත් යුද හමුදාපතිවරයා පුවත්පත් කතුවරයෙක්‌ ඝාතනය කළ බව චෝදනා කරන නිසා ඉන් ඔහුව බේරා ගැනීමටය. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කියන මේ කතා වලට එරෙහිව ෆොන්සේකාට රජයේ ඉහළ නිලධාරියෙක්‌ හැටියට කිසිවක්‌ කර කියා ගත නොහැකිය. ඔහුට ඒ කතා කියන උදවියට එරෙහිව නඩු දැමීමට නොහැකිය. එමෙන්ම පුවත්පත් සාකච්ඡා කැඳවා තමා ලසන්තව ඝාතනය කළේ නැතැයි කීමටද නොහැකිය. ඒ නිසා ගෝඨාභය ඉදිරිපත් වී ඔහුව බේරා ගැනීමටත් ආරක්‍ෂක හමුදාවල ගරුත්වය රැක ගැනීමටත් විශේෂ රූපවාහිනී සාකච්ඡාවක්‌ පැවැත්වීමට සිදුවිය. නමුත් 2010 ජනාධිපතිවරණ වේදිකාවලදී ගෝඨාභය සරත් ෆොන්සේකා ලෝකයේ හොඳම හමුදාපති බව ප්‍රසිද්ධියේ කීවා යෑයි දේශපාලනඥයන් කියා සිටියද ගෝඨාභය එසේ කීවේ ෆොන්සේකාව ඔවුන්ගෙන්ම බේරා ගැනීමට බව එම දේශපාලනඥයන් කිසිවෙක්‌ මහජනතාවට කීවේ නැත. 

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ හෙජින් ගනුදෙනුව සිදුවූ අවස්‌ථාවේදී විපක්‍ෂය ඉතාමත්ම සාධාරණ ලෙස මෙය මහා වංචාවක්‌ බවත් මෙයට සම්බන්ධ අය දොට්‌ට දැමිය යුතු බව කියා සිටියත් එකල ඛනිජ තෙල් සංස්‌ථාවේ සභාපති ආණ්‌ඩුව ඇත්තටම දොට්‌ට දමා මේ ගනුදෙනුව ගැන විමර්ශනයක්‌ ආරම්භ කළ විට එම සභාපතිවරයා එක්‌වරම විපක්‍ෂයේ මිතුරකු බවට පත්විය. ඔහුව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කමිටුව ඉදිරියට කැඳවූ විට ඔහුගෙන් වැඩියෙන්ම ප්‍රශ්න අසා තිබුණේ විපක්‍ෂය නොව ආණ්‌ඩු පක්‍ෂයයි. එම හිටපු සභාපතිවරයා පසුව මේ හෙජින් ගනුදෙනුව සම්බන්ධව තිබුණු ජාත්‍යන්තර නඩුවකදී මේ බව පවසා තිබුණි. දැන් අගවිනිසුරුවරිය සම්බන්ධයෙන්ද එවැනිම ක්‍රියාදාමයක්‌ හටගන්නා බව අපට පෙනෙන්නට තිබේ. විපක්‍ෂය මේ කරන දෙය ඔවුන්ට ආණ්‌ඩුව අමාරුවේ දමමින් යම් කිසි තාවකාලික වාසියක්‌ ලබාගත හැකි වුවද මෙයින් රටට නම් ඇතිවෙන්නේ අනර්ථකාරී ප්‍රතිවිපාකයකි. අධිකරණයත්, රට පාලනය කරන දේශපාලන අධිකාරියත්, දේශපාලන කාරණයක්‌ ගැන දෙපැත්තට ඇදීම මොනම රටකවත් කිසිදාක සිදු නොවිය යුතු දෙයකි. ආණ්‌ඩුවේ දේශපාලනඥයෙක්‌ හෝ හෙන්චයියෙක්‌ එක්‌කෝ මිණී මැරුමක්‌, වංචාවක්‌ හෝ දූෂණ චෝදනාවක්‌ මත අධිකරණය ඉදිරියට ගෙන ආ විට ඔවුන්ව වරදකරු කළ නොහැකි යෑයි මින් අදහස්‌ නොකෙරේ. එවැනි දේ අපරාධ හා වංචා පිළිබඳ නඩුය. ඒවා රටේ පොදු දේශපාලනයට අදාළ නැත. දෙපැත්තට ඇදීම නොතිබිය යුත්තේ අපරාධ නඩු සම්බන්ධයෙන් නොව ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නවලදී පමණි.

අධිකරණය රටේ දේශපාලන අධිකාරියේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ බලයට ඇඟිලි ගැසීම් සිදුවූ සෑම අවස්‌ථාවකදීම දේශපාලන අධිකාරිය කළේ අධිකරණය තම අභිමතයට යටත් කර ගැනීම මිස අධිකරණයේ තීන්දුවට හිස නැමීම නොවන බව අප ඇමරිකාවේත්, ඉන්දියාවේත් අවස්‌ථා බොහෝ ගණනක්‌ උදාහරණ හැටියට ගෙනහැර දක්‌වමින් පසුගිය සති දෙක පුරා පෙන්වා දුන්නෙමු. මෙය අධිකරණයට බලපෑම් කිරීමක්‌ නොව අධිකරණයට දේශපාලනයට ඇඟිලි ගැසීමට ඇති ඉඩකඩ ඇහිරීමක්‌ පමණි. මෙයින් සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසීමක්‌ නොව ජනතාවගේ පරමාධිපත්‍ය රැකීමකි. ඇමරිකාවේත්, ඉන්දියාවේත් ඡන්දයෙන් බලයට පත්වන ජනතා නියෝජිතයන්ට තමත් ජනතාවට පොරොන්දු වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අධිකරණයෙන් එයට බාධා නොපැමිණිය යුතු බව ඇමරිකාවේත්, ඉන්දියාවේත් ඉතාමත්ම හොඳින් ස්‌ථාපිත වී ඇති මූලධර්මයකි. අද ඇතිවී තිබෙන තත්ත්වය කවුරුන් විසින් හෝ විසඳුවේ නැතිනම් අනාගතයේදී වත්මන් විපක්‍ෂය විසින් ආණ්‌ඩුවක්‌ පිහිට වූදාට මෙහි ආනිසංස ඔවුන්ට ද අත්විඳීමට සිදුවනු ඇත. එම නිසා මෙවැනි ප්‍රශ්න වලදී විපක්‍ෂය සිතිය යුත්තේ අද ගැන නොව හෙට ගැනය. අද ආණ්‌ඩුවේ ගමන් මගට ඇති බාධාවක්‌ ඉවත් කිරීමෙන් ඔවුන්ට යම් තාවකාලික වාසියක්‌ ලැබෙන බව සත්‍යයක්‌ වුවත් අධිකරණය විසින් දේශපාලන බල අධිකාරියේ ප්‍රතිපත්තිමය තීන්දු වලට ඇඟිලි ගැසීම හෝ බාධා කිරීම නතර කිරීමෙන් විපක්‍ෂයට අනාගතයේදී ප්‍රයෝජනවත් වන පූර්වාදර්ශයක්‌ ලැබේ. 

මේ රටේ බුද්ධිමතුන් ගණනාවක්‌ම එකට එක්‌ කරන "සිකුරාදා සංසදය" නැමති සංවිධානයද පසුගියදා විධායකය විසින් අධිකරණයට ඇඟිලි ගැසීම ගැන ප්‍රකාශයක්‌ නිකුත් කර තිබිණි. එයට ජයන්ත ධනපාල, මහාචාර්ය සවිත්‍රි ගුණසේකර, කොළඹ හිටපු ඇන්ග්ලිකානු අගරදගුරු දුලිප් චිගේරා, මහාචාර්ය අර්ජුන අලුවිහාරේ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, තිස්‌ස ජයතිලක, සූරියා වික්‍රමසිංහ, ආචාර්ය රධිකා කුමාරස්‌වාමි, මහාචාර්ය ගනනාත් ඔබේසේකර, මනෝරි මුත්තෙට්‌ටුගම, වෛද්‍ය දේවනේසන් නේසයියා, චන්ද්‍රd ජයරත්න ඇතුළු පිරිසක්‌ එම ප්‍රකාශයට අත්සන් කොට තිබුණි. එම ප්‍රකාශය කියවා බලන කෙනකුට සිතෙන්නේ ආණ්‌ඩුවට එක්‌වරම අධිකරණයේ ස්‌වාධීනත්වය නැති කිරීමට වුවමනාවක්‌ ඇතිවී තිබෙන බවයි. ඔවුන් අධිකරණ සේවා කොමිසම විසින් එහි වැඩකටයුතු වලට ඇඟිලි ගැසීමක්‌ ගැන කළ ප්‍රකාශය ඉතාමත්ම බරපතල දෙයක්‌ හැටියට හුවා දක්‌වා ඇත. නමුත් එකී ඊනියා ඇඟිලි ගැසීම යනුවෙන් හඳුන්වා ඇත්තේ ජනාධිපතිවරයා හමුවෙන්න එනමෙන් කළ ඉල්ලීමක්‌ පමණි. කිසිදු හමුවීමක්‌ සිදුවූයේ නැත. ඉන්පසුව ඒ අදාල කාරණය ගැන දුරකථනයෙන් වත් සාකච්ඡාවක්‌ සිදුවූයේ නැත. එවිට ඇඟිලි ගැසීම යන කාරණය යනුවෙන් මේ කියන්නේ ජනාධිපතිවරයා හමුවීමට එන්න කීම පමණි. රටේ පාලකයා අධිකරණයේ පරිපාලනය බාරව සිටි අධිකරණ සේවා කොමිසම හමුවීම කිසිසේත්ම අමුතු හෝ සිදුනොවිය යුත්තක්‌ නොවේ. එම නිසා ජනාධිපතිවරයා අධිකරණයේ පරිපාලනය භාරව සිටින කොමිසමට එන්නැයි කීමෙන් අධිකරණයට ඇඟිලි ගැසීමක්‌ සිදුවන්නේ නැත. රටේ ජනාධිපතිවරයා හමුවකට එන්නැයි කීමම පමණක්‌ මෙහිදී වරදක්‌ හැටියට සැලකුවද වත්මන් අග්‍ර විනිශ්චයකාරවරියගේ ස්‌වාමිපුරුෂයා මේ ජනාධිපතිවරයාගෙන්ම පසුගිය වකවානුවේදී එක දේශපාලන පත්වීමක්‌ නොව දෙක තුනක්‌ම ලබාගෙන ඇත. ඔහු අවසානයට හෙබවූ දේශපාලන පත්වීම වූයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙසය. එහිදී සිදුවූ අයථා ගනුදෙනුවක්‌ හේතුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වෘත්තීය සමිතිවල බල කිරීම නිසා ඔහුට එම තනතුරෙන් ඉවත් වීමට සිදුවිය. මේ රටේ අධිකරණයත් විධායකයත් අතර මේ දැන් ඇවිලෙන ප්‍රශ්නය පැනනැග්ගේද ඊට පසුවය.

අධිකරණ සේවා කොමිසමට ජනාධිපතිවරයා හමුවෙන්න එන්නැයි කීමත් අධිකරණයට ඇඟිලි ගැසීමක්‌ බවට පත්වූයේ අගවිනිසුරුවරියගේ ස්‌වාමිපුරුෂයාට ඒ ජනාධිපතිවරයාගෙන්ම ලැබුණු දේශපාලන පත්වීම නැතිවී ගිය පසුවය. සිකුරාදා සංසදය මේ එක කාරණයක්‌ ගැනවත් ඔවුන්ගේ ප්‍රකාශනයේ සඳහන් කරන්නේ නැත. විනිශ්චයකාරවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දේශපාලන පත්වීම් ලබාදීමෙන් අධිකරණයේ අවංක භාවයට හානි කිරීමට උත්සාහ කිරීමක්‌ ගැන එහි වටින් ගොඩින් සඳහන් වේ. මේ කාරණයද ඔවුන් සඳහන් කර ඇත්තේ විනිසුරුවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දේශපාලන පත්වීම් දීමෙන් වරද කර ඇත්තේ විධායකය යෑයි හැඟෙන ආකාරයටය. එම පත්වීම් ගැනීම ගැන විනිසුරුවරයාට දොස්‌ පවරා නැත. ලංකා ඉතිහාසයේ තම ස්‌වාමිපුරුෂයාට හෝ බිරිඳට ආණ්‌ඩුවේ ප්‍රධාන දේශපාලන පත්වීමක්‌ ලබාගත් එකම අග්‍ර විනිශ්චයකාරවරිය ශිරානි බණ්‌ඩාරනායක බවද ඔවුන් කියන්නේ නැත. රටේ ප්‍රධාන පෙළේ බුද්ධිමතුන් මේ ආකාරයට සිතා මතාම ජනතාව අතර අර්ධ සත්‍යයන් වැපිරීම කිසිසේත්ම මේ රටේ සුගතියට හේතුවන්නේ නැත. මෙහිදී මෙම වසරේ මැයි මාසයේදී දැනට විදේශගත වී සිටින උවිඳු කුරුකුලසූරිය "ද සන්ඩේ ලීඩර්" පුවත්පතට ලිපියක්‌ ලියමින් පහත සඳහන් කරුණු කාරණා ගෙනහැර දැක්‌වූ බව අප මෙහිදී සිහිපත් කළ යුතුය.

* ශිරානි බණ්‌ඩාරනායක මහත්මිය අගවිනිසුරු හැටියට පත්වන විටත් ඇය පිළිබඳව තිබූ ප්‍රශ්නයක්‌ වූයේ ඇයගේ සැමියාට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාවේ සභාපති කමත් පසුව ලංකා හොස්‌පිටල්ස්‌ සමාගමේ අධ්‍යක්‍ෂකමකුත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිකමත් ලැබුණේ කෙසේද යන්නයි. ආසියා ශාන්තිකර කලාපයේ අගවිනිසුරුවරුන්ගේ 1995 හමුවේදී අධිකරණයේ ස්‌වාධීනත්වය පිළිබඳ කළ ප්‍රකාශයේ එක්‌ වගන්තියක්‌ වූයේ විනිසුරුවන් තම රාජකාරි කටයුතුවලට බලපෑ හැකි කිසිදු දිරිගැන්වීමක්‌ හෝ වරප්‍රසාදයක්‌ ලබා නොගත යුතු බවයි.

* 2009 ජුනි මාසයේදී ශිරානි බණ්‌ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක්‌ හැටියට සිටින අතරතුරම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාවට නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ පත් කරන්නැයි නියෝග කළ විට ජනාධිපති රාජපක්‍ෂ එම සංස්‌ථාවේ සභාපතිකමට පත් කළේ ශිරානි බණ්‌ඩාරනායක මැතිනියගේ ස්‌වාමිපුරුෂයාය. ඊට පසුව ඔහුව ලංකා හොස්‌පිටල්ස්‌ අධ්‍යක්‍ෂවරයෙක්‌ හැටියටද, 2010 දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා හැටියටද පත්කොට තිබිණි.

අගවිනිසුරුවරියගේ ස්‌වාමි පුරුෂයාගේ සභාපතිත්වය යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සූක්‍ෂම බැංකු මංකොල්ලයක්‌ (එ.ජා.ප මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන ආකාරයට) සැලසුම් කරන ලදී. මේ "ද µsනෑන්ස්‌" සමාගමේ කොටස්‌ මිලදී ගැනීමට සැලසුම් කළ රුපියල් මිලියන 390 ගනුදෙනුවයි.

* ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී කියා සිටි ආකාරයට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා පමණක්‌ ඉල්ලා අස්‌වීම ප්‍රමාණවත් නැති බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ කිරීමට නම් ඔහුගේ බිරිඳත් අගවිනිසුරු ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවයි. ඒ මන්දයත් කෙරෙන ඕනෑම විමර්ශනයක්‌ අවසානයේදී කෙළවර වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වන නිසාය.

අගවිනිසුරුවරියට එරෙහිව මේ දොaෂාභියෝගය සම්බන්ධයෙන් ආණ්‌ඩු විරෝධීන් සියලු දෙනාම මීට මාස ගණනකට පෙරදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කොටස්‌ ගනුදෙනු වංචාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශන මෙහිදී සිහිපත් කරගත යුතුය. කන්න වුවමනා වූ විට කබරගොයාත් තලගොයා බවට පත්කිරීමේ අදූරදර්ශී ක්‍රියාමාර්ගය ඔවුන් නොගත යුතුය. මෙතැනදී ප්‍රශ්නය වන්නේ ආණ්‌ඩුවට එරෙහිව ප්‍රහාරයක්‌ එල්ල කිරීමට මගපාදා ගැනීමක්‌ නොව ලංකාවේ අනාගත පාලන තන්ත්‍රයටම බලපෑ හැකි දෙයකි. මෙතැනදී ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ඡන්දයෙන් පත් නොවන විනිසුරුවන්ට ඡන්දයෙන් පත්වන ආණ්‌ඩුවක ප්‍රතිපත්තිමය තීන්දුවලට බලපෑම් කළ නොහැකි ආකාරයට කරුණු කාරණා සලසා ගැනීමයි. ආණ්‌ඩුවක්‌ නම් අවුරුදු 6 කට වතාවක්‌ එන ඕනෑම ඡන්දයකදී පන්නා ගත හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙක්‌ එසේ වෙනස්‌ කළ නොහැක. ශිරානි බණ්‌ඩාරනායකද චන්ද්‍රිකා කුමාරතුංග යුගයේ සිට අද දක්‌වාම අවුරුදු 15 ක්‌ පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනටමත් සේවය කොට තිබේ. එපමණක්‌ද නොව තවත් අවුරුදු ගණනාවක්‌ ඉදිරියට ඇයට අගවිනිසුරු තනතුරේ සිටිය හැක. මෙය දේශපාලන බලධාරීන්ටද අනාගතය සඳහා ඉතා වැදගත් පාඩමකි. මොනම තත්ත්වයක්‌ යටතේවත් කිසිදු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට හෝ අගවිනිසුරුවරයකුට එවැනි තනතුරක අවුරුදු 5-6 කට වඩා සිටීමට ඉඩදිය යුතු නැත. ඔවුන්ගේ පත්වීම කරන විට අනිවාර්යයෙන්ම අවුරුදු 5-6 කින් විශ්‍රාම යැමට සිදුවන ආකාරයට වයසද බැලිය යුතුය. ශිරානි බණ්‌ඩාරනායකගේ පත්වීමට පෙර බොහෝ විට ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වූයේ අත්දැකීම් බහුල වසර 30-40 ක්‌ නීති වෘත්තියේ යෙදුණු නැතිනම් විනිසුරුවන් හැටියට සේවය කළ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන්ය. ඔවුන් බොහෝ විට ඔවුන්ට රටතුළ අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමෙන් වැලකීමට තරම් මුහුකුරා ගිය බවක්‌ද තිබිණි.

සී. එ. චන්ද්‍රප්‍රේම
Divaina
2012-11-05

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 5126344531814568653

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item