දහතුන හා මහින්ද චින්තන

දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගැන කතා කරන විට අමතක නොකළ හැකි අමතක නොකළ යුතු නමක්‌ වෙයි. ඒ හිටපු වැඩ බලන අගවිනිසුරුවරයකු වූ රාජා වනසුන්දර ම...


දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගැන කතා කරන විට අමතක නොකළ හැකි අමතක නොකළ යුතු නමක්‌ වෙයි. ඒ හිටපු වැඩ බලන අගවිනිසුරුවරයකු වූ රාජා වනසුන්දර මහතාගේය. ඒ මහතා දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ව්‍යවස්‌ථාවට අනුකූල නොවන බව පෙන්වා දී ඒ අනුව තීන්දුවක්‌ දුන්නේය. එපමණක්‌ නොව පසුකලෙක දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ව්‍යවස්‌ථාවට අනුකූල වන බවට විනිසුරුවරුන් වැඩි දෙනකු තීන්දු කළේය යන්න වැරැදි බව සාධක සහිතව පෙන්නුම් කළේය. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට නැවත ජනතා උද්ඝෝෂණයක්‌ ඇතිවී තිබෙන මේ අවස්‌ථාවෙහි ඒ මහතාගේ වියෝව ජාතිකවාදීන්ට ද ජාතියට ද ඉමහත් පාඩුවක්‌ වෙයි. ඒ මහතාට පිදිය හැකි උසස්‌ම උපහාරය වනුයේ දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමය. අපි ඒ මහතාට නිවන්සුව පතමු.


දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීම හා මහින්ද චින්තන පිළිබඳ පැහැදිලිs කිරීමක්‌ අවශ්‍ය වෙයි. මහින්ද චින්තන ඉදිරිපත් කෙරුණේ 2005 වසරේදීය. එයට පසුබිම් වී ඇත්තේ එකල තිබූ දේශපාලන බල තුලනයය. ඕනෑම දේශපාලන ප්‍රකාශයක්‌ කෙරෙන්නේ යම් දේශපාලන සන්දර්භයකය. 1994 සිට ශ්‍රී. ල. නි. පක්‍ෂය ජාතිකත්වයෙන් විජාතිකත්වයට පීලි පැන්නීමට ක්‍රියාකළ විජාතික බලවේගවල ඒජන්තියක වූ චන්ද්‍රිකා කුමාරතුංග සිංහලයන්ට හා රටට අහිතකර බොහෝ දේ කළාය. ඒ මදිවාට 2002 සිට 2004 දක්‌වා පැවැති රනිල් වික්‍රමසිංහගේ ආණ්‌ඩුව බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහයෙන් ඊනියා සටන් විරාම ගිවිසුම මගින් රට දෙමළ ජාතිවාදයට හා දෙමළ ත්‍රස්‌තවාදයට පාවාදීමට කටයුතු කළේය. 2005 මහින්ද චින්තන පළවූයේ මෙරට විජාතික බලවේගවල දේශපාලනය ජාතිකත්වය අභිභවා ගොස්‌ ආධිපත්‍යය ඉසුළුE කලකය. ශ්‍රී. ල. නි පක්‍ෂය පවා ජාතිකත්වයේ මාවතෙන් යම් පමණකින් වුව ඈත්වී සිටියේය. රාජ්‍ය නොවන සංවිධානවල වැටුප් ලබන කුලීකරුවෝ දේශපාලනයේ ඉහළින් වැජඹුණහ. ජාතිකත්වය වෙනුවෙන් කතා කිරීමට තිබුණේ "ඉරිදා දිවයින" හා "දිවයින" පුවත්පත් පමණය. ජාතිකවාදීන්ට තිබුණේ ආත්ම ශක්‌තිය, ආත්ම විශ්වාසය හා තමන් මෙරට කසිකබල් උගතුන්ගේ නොව සාමාන්‍ය සිංහලයන්ගේ හෘදය සාක්‌ෂිය වීම පිළිබඳ අභිමානය පමණකි. යමක්‌ කිරීමට, ලිවීමට තරම් ශක්‌තියක්‌ තිබූ උගත්තු බොහොමයක්‌ රාජ්‍ය නොවන සංවිධානවලට හා විජාතිකත්වයට සේවය කළහ. එවැනි ශක්‌තියක්‌ නොතිබූ සාමාන්‍ය සිංහලයන් අප සමඟ වී යෑයි සිතමි.

එකල දේශපාලනයෙහි ආධිපත්‍යය ඉසුළුE දෙමළ ජාතිවාදීන්ට (ඇතැම් සිංහලයෝ ද පොදුවේ රාජ්‍ය නොවන සංවිධානවල සේවකයෝද මේ කුලකයට අයත් වූහ.) අනුව මෙරට ජාතික ප්‍රශ්නයක්‌ විය. දෙමළ ජනයාට 1948 න් පසුව ඊනියා සිංහල ආණ්‌ඩුවලින් සිදුවූ අසාධාරණකම් හේතුවෙන් විසඳාගත යුතුව ඇති ප්‍රශ්නයක්‌ තිබූ බවත් එය සාමකාමීව විස¹ගත නොහැකි වූ කල දෙමළ තරුණයන් අවි අතට ගත් බවත් දෙමළ කොටි සංවිධානය සමඟ කෙරෙන සාම සාකච්ඡා මගින් පමණක්‌ ප්‍රශ්නය විස¹ගත යුතු බවත් එහිදී දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පදනම් කරගත යුතු බවත් බලය විමධ්‍යගත කිරීම එකම විසඳුම බවත් එය පමණක්‌ දේශපාලන විසඳුම විය යුතු බවත් උගත් සමාජයේ බොහෝ දෙනකුට ගිල්ලවා තිබිණි. මේ අධිපති මතවාදයෙන් යම් ප්‍රමාණයකට ප්‍රභාකරන් අවි ගැනීම යුක්‌තියුක්‌ත කෙරුණු බව අවධාරණය කළ යුතුය. අධිපති මතවාදය දැරූ හා වැපුරූ අයගෙන් ඇතැමුන් නොකර බැරි බැවින් අරන්තලාව ඝාතන, ශ්‍රී මහා බෝධියට හා දළදා මාළිගාවට පහරදීම ආදිය හෙළා දැක ප්‍රකාශ නිකුත් කරන්නට ඇත. එහෙත් ඔවුන්ගේ පදනම වූයේ ප්‍රභාකරන් අවි අතට ගැනීම යුක්‌තිසහගත බවය. අවුරුදු විසිපහකට අධික කාලයක්‌ තිස්‌සේ 1948 න් පසුව වූ ඊනියා අසාධාරණකම් පිළිබඳ කතාව ව්‍යාජයක්‌ බව සාධක සහිතව පෙන්වා දී ඇති නමුත් අදත් ජාතිකවාදී (ජාතිවාදී නොව) කඳවුරේ ද ඇතැම්හු දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණකම් ගැන කතා කරති. ඊනියා ජාත්‍යන්තරයකට බියවී මෙරට දේශපාලනය බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය යුතුය යන අදහස ද උගතුනට කාවද්දා තිබිණි. එසේ වූ කල මහින්ද චින්තන ඊනියා ජාතික ප්‍රශ්නය පිළිබඳව නොබෙදුණු රටක්‌ බහුතර සම්මුතියක්‌ - ගෞරවනීය සාමයක්‌ යන මාතෘකාව යටතේ එකල තිබූ දේශපාලන බල තුලනය අනුව සාමකාමී දේශපාලන විසඳුමක්‌ ගැන කතා කිරීම පුදුමයක්‌ නොවේ. එසේ වුවත් මහින්ද චින්තන සාම සාකච්ඡාවලට පමණක්‌ සීමා නොවූ බව ද අමතක නොකළ යුතුය.

එහෙත් අද ඇති දේශපාලන සන්දර්භය වෙනස්‌ය. තවමත් බොහෝ උගතුන් ප්‍රශ්නය 1948 න් අතීතයට ගෙන යැමට සූදානම් නැත. ඒ ඉංගිරිසීන් බමුණු කුලයට අනුකරණය කිරීමට පුරුදු කර ඇති ආකාරයය. චෙල්වනායගම් 1947 දී ද දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස්‌වීම ගැන කතා කළේය. ඒ ඊනියා සිංහල ආණ්‌ඩු දෙමළ ජනයාට අසාධාරණකම් කළේ යෑයි කියන කාලයට පෙරය. අවාසනාවකට බොහෝ ජාතිකවාදීහු (ජාතිවාදී නොව) ද 1948 න් පෙර මෙරට ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන් ඉංගිරිසීන්ගේ ආධාරයෙන් හා අනුබලයෙන් සිංහලයන්ට එරෙහිව කළ අසාධාරණකම් අමතක කරති. සිංහලයන් යටකරමින් දෙමළ වෙල්ලාලයන් මුළු රටේම නායකයන් කිරීමට ඉංගිරිසීන් ගත් උත්සාහය ඊනියා ජාතික ප්‍රශ්නයේ මුල බවත් එය දහනවවැනි සියවසේ මුල්භාගයට දිව යන බවත් තවමත් බොහෝ ජාතිකවාදීන් තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවක්‌ විය යුතුය. අප නැවතත් අවධාරණය කරන්නේ විසඳීමට ඇති ප්‍රශ්නය සිංහලයනට, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ට හා ඔවුන්ගේ සංස්‌කෘතියට මෙරට හිමි විය යුතු තැන නොලැබීමය. ඉංගිරිසීහු උගත් වෙල්ලාලයන් රටේම නායකයන් කර ඔවුන් ඉංග්‍රිරිසින්ට විරුද්ධව අඩුව තරමෙන් 1817 සිට ජාතියක්‌ ලෙස කිසිදු ජනවර්ගයකගේ සහාය නොලබමින් සටන් කළ සිංහලයන්ට විරුද්ධව යොදා ගනිමින් සිංහලයන්ට හිමි තැන නොදුන්හ. ලංකාවට සර්වජන ඡන්දය හිමිවීමෙන් පසු මේ තත්ත්වය තරමක්‌ වෙනස්‌ වුවද තවමත් සිංහල බෞද්ධයනට හා ඔවුන්ගේ සංස්‌කෘතියට හිමි විය යුතු තැන ලැබී නැත. අදත් සිංහලයන් සටන් කරනුයේ යටත් විජිත පාලන සමයේ නැති වී ගිය ඒ උරුමය දිනා ගැනීමටය. රාජා වනසුන්දර මහතා පෙන්වා දී ඇති ආකාරයට, ජාතිකවාදීන් එදා සිටම අවුරුදු විසිපහක්‌ තිස්‌සේ කටේ කෙළ සිඳෙන තෙක්‌ කියන ආකාරයට, දිවිනැගුම පනතෙන් පෙන්වා දී ඇති ආකාරයට, සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය 1972 ව්‍යවස්‌ථාවෙන් ඇති කළ මෙරට ඒකීයභාවය 1987 දී නැති කළ දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කරන තෙක්‌ රාජ්‍ය උත්සවවලට සහභාගි වීමෙන් වැළකී සිටීමට හැකි නායක භික්‌ෂූන් වහන්සේ කී නමක්‌ මෙරට වැඩ වසත්ද? නායක භික්‌ෂූන් වහන්සේට එවැනි ශක්‌තියක්‌ නැත්තේ ඇයි? සර්වජන ඡන්දයෙන් පසු ඉංගිරිසි උගත් දෙමළ බමුණු කුලයට යම් යම් වරප්‍රසාද නැතිවූ විට ඔවුහු ඉංගිරිසින්ගේ ද ආධාරයෙන් එය සමස්‌ත දෙමළ ජනයාටම කරන ලද අසාධාරණයක්‌ ලෙස හැඳින්වූහ. තමන්ට සිංහල බෞද්ධ සංස්‌කෘතියට හිමි තැන ලබා නොදී මෙරට ඇමැතිවරුන් නොව රාජ්‍ය නායකයන් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගත් චෙල්වනායගම් වැන්නෝ අඩු තරමෙන් 1947 සිටම වෙනම රාජ්‍යයක්‌ සඳහා සටන් කළහ. ඒකීය රාජ්‍යයක මුළු රටටම බලපාන අයුරෙන් කිසිදු බාධාවකින් තොරව නීති පැනවිය හැකි එකම එක ආයතනයක්‌ පමණක්‌ තිබිය යුතු බවය. ඒ ආයතනයට නොහැකි විය යුත්තේ යම් අයුරකින් වුවත් රටේ ස්‌වෛරීභාවය අහෝසි කරන නීති පමණක්‌ විය යුතුය. පළාත් සභා පිහිටුවීමෙන් ඒකීය රාජ්‍යය නැති විය.

තර්කය සඳහා දෙමළ ජනයාට 1948 න් පසුව ඊනියා සිංහල ආණ්‌ඩුවලින් අසාධාරණයක්‌ වීම නිසා ඔවුන් සටනට අවතීර්ණව කෙමෙන් ආයුධ සන්නද්ධ සටනක්‌ සඳහා තල්ලු වී ගිය බව පිළිගත්තද, පැහැදිලිs විය යුතු කරුණ නම් අඩුම තරමෙන් එදා සිට පැවැති සාකච්ඡා, අවිගත් ත්‍රස්‌තවාදය , මෙහෙයුම් ආදී සියල්ල එක්‌ සමස්‌තයක්‌ බවය. ඒ සියල්ල දේශපාලන විසඳුම්ය. මහින්ද චින්තන ඉදිරිපත් කෙරුණේ මේ සමස්‌ත ක්‍රියාදාමයේ එක්‌ අවස්‌ථාවකදීය. ඊනියා ජාතික ප්‍රශ්නය ගැන මහින්ද චින්තන වලංගු වන්නේ සමස්‌ත ක්‍රියාදාමයෙහි 2005 සන්දර්භයෙහිය. ඒ සමස්‌ත ක්‍රියාදාමය අවසන් කළ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඊනියා ජාතික ප්‍රශ්නය සම්බන්ධ ඇතැම් මහින්ද චින්තන වලංගු නොවේ. අද සන්දර්භයෙහි සාම සාකච්ඡා වලංගු නොවේ. දෙවැනි ලෝක යුද්ධ ජයග්‍රහණයෙන් පසු හිට්‌ලර්ගේ ගෝලබාලයන් යුරෝපය පිළිබඳ සාකච්ඡාවක්‌ ඉල්ලුවේ නම් චර්චිල්ට හොඳ කුණුහරුප දෙකක්‌ කීමට තිබිණි. මෙහිදී මා ද සහභාගි වූ සර්වපාක්‌ෂික නියෝජිත සම්මේලනය ගැන ද සඳහන් කළ යුතුය. තිස්‌ස විතාරණ මහතා ඒ පිළිබඳව කුමක්‌ සිතාගෙන සිටියද අපට එය සමස්‌ත ක්‍රියාදාමයේ එක්‌ පුරුකක්‌ පමණක්‌ විය. අප සැමදාමත් විශ්වාස කළේ දෙමළ ත්‍රස්‌තවාදය හමුදා මෙහෙයුම් මගින් පරාජය කළ යුතු බවත් එය කළ හැකි බවත්ය. එසේ වුවත් හමුදා මෙහෙයුම් ජයග්‍රහණයකින් කෙළවර වන තෙක්‌ රට තුළ විදේශිකයන්ගේ සහභාගිත්වයෙන් තොරව යම් යම් දේ සාකච්ඡා කිරීමේ වරදක්‌ නැතැයි මම සිතුවෙමි. එහෙත් ඒ මානුෂික මෙහෙයුම් ජයග්‍රහණයකින් කෙළවර වීමට පෙර තිබූ සන්දර්භයෙහිය. හමුදා මෙහෙයුම් ජයග්‍රහණයකින් කෙළවර වන බවට මගේ තදබල විශ්වාසයක්‌ විය. රණවිරුවන් කිලිනොච්චිය ජයගැනීමෙන් පසු තවදුරටත් සර්වපාක්‌ෂික නියෝජිත සම්මේලනයට සහභාගිවීමේ අවශ්‍යතාවක්‌ නැතැයි දැනගත් මම ඒ සන්දර්භයෙහි සම්මේලන සාකච්ඡාවලින් ඉවත්වීමි. උදය ගම්මන්පිල මහතාද ඒ අවස්‌ථාවේදී සාකච්ඡාවලින් ඉවත් වූ බව ඔහුට කරන ගෞරවයක්‌ ලෙස සටහන් කළ යුතුය. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුන පමණක්‌ නොව සර්වපාක්‌ෂික සම්මේලනයද දේශපාලනිකව අවලංගු ය. ඔක්‌තෝබර් විප්ලවයෙන් පසු සාර්ගේ ගෝලයන් සමඟ සාකච්ඡාවකට ට්‍රොස්‌කි එකඟවීමට තිබිණි යෑයි තිස්‌ස විතාරණ මහතා කියන්නේද? මහින්ද රාජපක්‍ෂ මහතාට දහතුනට හෝ සර්වපාක්‌ෂික සම්මේලනවලට හෝ සඟ, වෙද, ගුරු නියෝජනත්වයකින් තොරව පත්කරන ලද උගත් පාඩම් කොමිසම්වල නිගමනවලට හෝ ආපසු යැමේ අවශ්‍යතාවක්‌ නැත. දහතුන්වැනි සංශෝධනයද අද වනවිට දේශපාලනික වශයෙන් අහෝසි වී ඇත. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේම නීති විරෝධීවය. 1987 දේශපාලන බල තුලනය මත ඉන්දියාවට යටත් වී සම්මත කළ දහතුන 2009 න් පසු දේශපාලනිකව වලංගු නොවේ. එය නෛතිකව ද අහෝසි කළ යුතුය. එහිදී ඉන්දියාව හා බටහිර රටවල් විරුද්ධ වනු ඇත. මානුෂික මෙහෙයුම්වල දී ඉන්ද්‍ර‚ලයක්‌ සේ නොසැලී ඒ රටවලට මුහුණදුන් ආකාරයට මෙහිදී ද ක්‍රියාකිරීමට ජනාධිපතිතුමාට බාධාවක්‌ නැත.



ආචාර්‍ය නලින් ද සිල්වා
2012-11-04

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 3028676961044280283

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item