ශ්‍රේෂ්ඨාධිකරණය ගැන ඉන්දියාවෙන් ගත හැකි පූර්වාදර්ශය
13 වැනි සංශෝධනය අහෝසි කළ යුතු යෑයි ලංකාවේ නැගෙන හඬට නවදිල්ලිය කලබල වී ඇති බව ඉන්දීය පුවත්පත් වල පළවිය. ඔවුන් එසේ කලබල වී ඇති බව ලංකාවේ ඉන්දී...
http://weadikawa.blogspot.com/2012/10/blog-post_29.html
13 වැනි සංශෝධනය අහෝසි කළ යුතු යෑයි ලංකාවේ නැගෙන හඬට නවදිල්ලිය කලබල වී ඇති බව ඉන්දීය පුවත්පත් වල පළවිය. ඔවුන් එසේ කලබල වී ඇති බව ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්‌වරයා පසුගිය බ්‍රහස්‌පතින්දා ගාමිණී දිසානායක අනුස්‌මරණයේදී කළ කතාවෙන්ද පැහැදිලි විය. 13 වැනි සංශෝධනය අහෝසි කළ යුතු යෑයි මේ ආකාරයට හඬ නැගෙන්නට පටන් ගත්තේ මන්ද යන්න ඇතැම් අයට අමතක වී ඇති බව පෙනේ. මේ ප්‍රශ්නය පැන නැග්ගේ 13 වැනි සංශෝධනයේ වගන්ති වලට නිර්වචන දෙමින් රටේ එදිනෙදා පාලනයට අධිකරණය පැත්තෙන් බාධා පැමිණුනු නිසාය. මෙය දේශපාලන සංවාදයේ ඉදිරියටම පැමිණෙන්නේ දිවි නැගුම පනත නිසාය. නමුත් ඊට කලින්ද ජාතික පරසර නීති සම්මත කර ගැනීම සම්බන්ධයෙන් හා නගර හා ගම්මාන සැලසුම් කරන නීති සම්බන්ධයෙන් හා රන්මිණිතැන්න සිනමා ගම්මානය සංස්‌ථාවක් හැටියට ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්ද 13 වැනි සංශෝධනයට දෙන නිර්වචන නිසා ප්‍රශ්න පැන නැගුණි. මේ නිර්වචනය දෙන්නේද ශ්‍රේෂ්ඨාධිකරණයයි.
රටේ පාලනයට අවශ්‍ය නීති ගෙන ඒමේදී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නිර්වචන ඇමරිකාවේ දේශපාලන බලධාරීන් පාලනය කරගන්නා ආකාරය අපි ඉකුත් සතියේ පැහැදිලි කෙරුවෙමු. ඇමරිකානු ක්‍රමය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය බියවද්දා හෝ මොන ක්‍රමයකින් හෝ අවනත කරගෙන ජනාධිපතිට හා කොංග්‍රස් මණ්‌ඩලයට අවශ්‍ය තීන්දුව ලබා ගැනීම බව අපි පෙන්වා දුන්නෙමු. මේ සම්බන්ධයෙන් අවුරුදු 200 කට වැඩි සම්ප්‍රදායක් ගොඩනැගී ඇති ආකාරයත් තෝමස් ජෙµර්සන්ගේ සිට බිල් ක්‌ලින්ටන් දක්‌වා ජනාධිපතිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය දමනය කොට තමන්ට අවශ්‍ය දේ කරගත් ආකාරය අපි පැහැදිලි කෙරුවෙමු. ඉන්දියාවේද පාර්ලිමේන්තු පනත්වල ව්‍යවස්‌ථානුකූලභාවය ගැන තීන්දු දීමට ඒ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇත. ඔවුන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට මෙවැනි බලයක් දී තිබුණේ ඇමරිකාව අනුව යමිනි. ඇමරිකාවේ මෙන්ම ඉන්දියාවේද ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති මේ බලය මහත් පිළිලයක් විය. නමුත් ඉන්දීය ක්‍රමය වූයේ ඇමරිකාවේ මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පොල්ලෙන් ගසා පාලනය කිරීම නොව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රශ්න මතු වූ විට ව්‍යවස්‌ථාව වෙනස් කිරීමය. ලංකාවේ 13 වැනි සංශෝධනය අහෝසි කිරීම ගැන ඉන්දියාවේ කලබල වී සිටින සියලුම උදවිය ඔවුන්ගේම රටේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රශ්න පැන නැගුණු විට පාර්ලිමේන්තුව කර ඇත්තේ කුමක්‌ද යන්න හොඳින් හදාරා බැලිය යුතුය.
1950 දී සම්මත කර ගන්නා ලද ඉන්දීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පසුගිය අවුරුදු 62 ඇතුළත 97 වතාවක් සංශෝධනය විය. මේ සංශෝධන වලින් බොහෝමයක් ගෙන ඒමට සිදුවූයේ ඒ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නිසාය. ඉන්දීය ව්‍යවස්‌ථාවේ පළමු වැනි සංශෝධනය ගෙන ආවේ 1951 දීය. මෙය හඳුන්වා දෙනු ලැබුවේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්‌ථාවේ මූලික අයිතීන් පරිච්ඡේදයේ වගන්ති නිර්වචනය කළ ආකාරය නිසාය. නිදහසින් පසු ඉන්දියාවේ වැදගත්ම ප්‍රතිපත්තියක් වූ ඉඩම් ප්‍රතිසංස්‌කරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා නොකෙරෙන තැනට වැඩ සලස්‌වා තිබිණි. මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට ඉන්දීය පාර්ලිමේන්තුව කළේ පළමු වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රශ්න කළ නොහැකි නීතිවල ලැයිස්‌තුවක් සම්පාදනය කිරීමයි. මේ ලැයිස්‌තුව "9 වැනි උප ලේඛනය" නම් විය. 1951 දී පටන් ගන්නා විට 9 වැනි උපලේඛනයේ පනත් 13 ක් ලැයිස්‌තුගතකොට තිබුණද අද වන විට 9 වැනි උපලේඛනයේ පනත් 284 ක් ඇතුළත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයට මේ එක පනතක්‌වත් ප්‍රශ්න කළ නොහැක. මෙවැනි ලැයිස්‌තුවක් ඇතිකළ පසු ඉන්දියාවේ ප්‍රශ්න අවසන් විය යුතුව තිබුණත් එසේ වූයේ නැත.
1954 දී ඉන්දීය ව්‍යවස්‌ථාවට සිව්වැනි සංශෝධනය ගෙන ඒමට සිදුවූයේ ශ්‍රේaෂ්ඨාධිකරණය තවමත් දේපළ අයිතිය පටු ආකාරයට නිර්වචනය කරමින් රජයට අයත් ඒකාධිකාරි ව්‍යාපාර පිහිටුවීමට එරෙහි වූ නිසාය. 1966 දී විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උත්තර් ප්‍රදේශ ඇතුළුව තවත් ප්‍රාන්ත කීපයක දිස්‌ත්‍රික් විනිසුරුවන්ගේ පත්වීම ව්‍යවස්‌ථා විරෝධී යෑයි තීන්දු කළ නිසාය. කල් යත්ම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තව තවත් මුරණ්‌ඩු විය. 1967 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අයි. සී. ගොලක්‌නාත් එරෙහිව පන්ජාබ් ප්‍රාන්තය නමැති නඩුවේදී ඉතාමත්ම භයානක තීන්දුවක් දෙන ලදී. ලෝකයේ වෙන කිසිම රටක ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් දී තිබෙනවා දැයි අපි නොදනිමු. මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණි තීන්දුව වූයේ ඉන්දීය පාර්ලිමේන්තුවට ව්‍යවස්‌ථාවේ සඳහන් ක්‍රියා පටිපාටියට වුවත් එම ව්‍යවස්‌ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ සඳහන් මූලික අයිතීන්වලට බලපෑමක් ඇතිවන ආකාරයේ කිසිදු නීතියක් සම්මත කරගත නොහැකි බවයි. එම නඩු තීන්දුවේම කියෑවුණු තවත් කාරණයක් වූයේ ඒ අනුව ඉන්දීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පළමු වැනි සංශෝධනය හා තවත් සංශෝධන ගණනාවක්‌ම බල රහිත වන බවයි. මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ බලපෑමෙන් ඇතැම් පනත් ඉවත් කොට තිබුණු "නවවැනි උපලේඛනයද" අහෝසි විය.
මේ තනි නඩු තීන්දුවෙන් මුළු ඉන්දියාවම අරාජිකත්වයට ඇද දැමීමට හැකියාව තිබිණි. එයින් ඉන්දියාව දෙකඩ කොට පකිස්‌තානය නිර්මාණය කළාට වඩා දහ ගුණයක සිවිල් නොසන්සුන් තාවක් පවා ඇති වීමට ඉඩ තිබිණි. අයි. සී. ගොලක්‌නාත් එරෙහිව පන්ජාබ් ප්‍රාන්තය නමැති මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තර්කය වූයේ ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට දී ඇති බලය රජයේ අයථා ක්‍රියා නීත්‍යනුකූල කිරීමට ක්‍රමයක් හැටියට භාවිත කළ නොහැකි බවත් රාජ්‍ය බලයට ඇති සීමා කිරීම් එයින් අභිබවා යා නොහැකි බවත්ය. එමෙන්ම රාජ්‍යය උත්තරීතර වුවත් එම ස්‌වෛරී බලයට ඔවුන් විසින්ම සීමා ඇතිකළ හැකි බවත්ය. ඒ අනුව ව්‍යවස්‌ථාව සම්පාදනය කරනු ලැබුවේ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයකින් බවත් අද තිබෙන පාර්ලිමේන්තුව ඒ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ නිර්මාණයක් වන නිසා එම නිර්මාණයට මුල් ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය විසින් ඇතිකොට තිබෙන මූලික අයිතීන්වලට අභියෝග කළ නොහැකි බවත්ය. එවැනි අභියෝගයක් කළ හැක්‌කේ පාර්ලිමේන්තුවට නොව තවත් සර්වබලධාරී ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයකට පමණක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව විය.
අයි. සී. ගෝලක්‌නාත් එරෙහිව පන්ජාබ් ප්‍රාන්තය නමැති මේ නඩුවෙන් මුළු ඉන්දීය පාලන තන්ත්‍රයටම එල්ල වූ අභියෝගයට මුහුණ දීමට ඉන්දීය ව්‍යවස්‌ථාවේ 24 වැනි සංශෝධනය ගෙන එන ලදී. මෙම සංශෝධනයෙන් තහවුරු කළේ ඉන්දීය පාර්ලිමේන්තුවට ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට බලය ඇති බවයි. එපමණක්‌ද නොව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත සඳහන් ආකාරයේ අමුතු නඩු තීන්දු දීම වැළැක්‌වීම සඳහා ඉන්දීය පාර්ලිමේන්තුවට ව්‍යවස්‌ථාවේ සඳහන් මූලික අයිතීන් පරිච්ඡේදය පවා සංශෝධනය කිරීමට බලය ඇති බව මේ සංශෝධනයෙන් විශේෂයෙන්ම කියෑවිණි. ඉන්දියානු දේශපාලන අධිකාරියත් ශ්‍රේෂ්ඨාධිකරණයත් අතර කඹ ඇදිල්ල එයින්ද නැවතුණේ නැත. 1970 දී බැංකු ජනසතු කරන නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ ආණ්‌ඩුව විසින් පවරා ගන්නා ලද දේපළ සඳහා ගෙවා ඇති වන්දි ප්‍රමාණවත්ද යන්න තීන්දු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇති බවයි. ඉන්දීය ආණ්‌ඩුව එවිට 25 වැනි සංශෝධනය ගෙන එමින් තහවුරු කළේ පොදු කටයුත්තක් සඳහා ආණ්‌ඩුව විසින් පවරා ගන්නා දේපළවලට ගෙවා ඇති වන්දිය ප්‍රශ්න කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයත් දේශපාලන අධිකාරියත් අතර මේ සටන කෙළවරක් නැතුව පැවතිණි. ඉන්දියාවේ 32 වැනි සංශෝධනය ගෙන එනු ලැබුවේ අන්ද්‍රd ප්‍රදේශ ප්‍රාන්තයේ තෙලෙන්ගනා ප්‍රදේශයේ ජනතාවගේ රැකීරක්‍ෂා අයිතිය තහවුරු කිරීමට ගෙන එන ලද නීතියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් නිසාය. 39 වැනි සංශෝධනය ගෙන ඒමට සිදුවූයේ කේරල ප්‍රාන්තයේ ඉඩම් ප්‍රතිසංස්‌කරණ නීතිය ඉහත සඳහන් කරන ලද 9 වැනි උපලේඛනයට ඇතුළත් කොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බේරා ගැනීම සඳහාය. 46 වැනි සංශෝධනය ගෙන ඒමට සිදුවූයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉන්දීය බදු නීතියට දුන් නිර්වචන අනුව ඇතැම් ගනුදෙනු බද්දෙන් නිදහස් වීම හේතුවෙනි. මෙම සංශෝධනයෙන් අලෙවි කරන බද්දක් යනු කුමක්‌ද යන්නත් නිර්වචනය විය.
එක අවස්‌ථාවකදී කෙළවරක් නැතුව හැම දෙයකටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එල්ල වන මේ අභියෝග තිත්ත වූ ඉන්දීය ආණ්‌ඩුව 42 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගෙන එමින් තීන්දු කළේ යම් පනතක ව්‍යවස්‌ථානුකූල භාවය තීන්දු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරන විට එවැනි නඩුවක අවම වශයෙන් හත් දෙනකුගේ විනිසුරු මඬුල්ලක් සිටිය යුතු බවත් යම් පනතක් ව්‍යවස්‌ථා විරෝධී යෑයි තීන්දු කිරීමට නම් ඒ විනිසුරු මඬුල්ලේ තුනෙන් දෙකක අනුමැතිය එයට තිබිය යුතු බවයි. ඒ අනුව යම් නීතියක් ව්‍යවස්‌ථා විරෝධී යෑයි තීන්දු කිරීමට විනිසුරුවරුන් හත්දෙනාගෙන් පස් දෙනකුවත් එකඟ විය යුතු විය. නමුත් මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ඇතිවූ ගැටලු නිසා මේ ක්‍රමය 43 වැනි සංශෝධනයෙන් ඉවත් කරන ලදී. එයත් සමගම ඉන්දීය ආණ්‌ඩුව නැවතත් පටන්ගත් තැනටම වැටිණි. 1992 දී එක නඩුවකදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හරිජනයින්ට වෙන්කොට තිබෙන රැකියා අවස්‌ථා මූලික පත්වීමට පමණක් බලපාන බවත් එය උසස්‌වීම් වලට බලපාන්නේ නැති බවත් තීන්දු කිරීම නිසා හරිජනයින්ට රැකියා අවස්‌ථා වෙන් කිරීම උසස්‌වීම් වලටත් බලපාන ආකාරයට 77 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ගෙන ඒමට සිදුවිය. මේ අනුව අපට පෙනී යන්නේ ලංකාවේ දේශපාලන බලධාරීන් මෑතක සිට විඳීමට පටන්ගෙන ඇති ව්‍යවස්‌ථාමය ආතතිය ඉන්දියාවට නම් ඉතා හොඳින් හුරුපුරුදු දෙයක් බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පත්වල හෝ පනත්වල ව්‍යවස්‌ථානුකූල භාවය තීන්දු කිරීම හොඳ දෙයක් යෑයි ඇතැම් අය ප්‍රකාශ කළද මෙවැනි බලයක් ක්‍රියාත්මක වන ඇමරිකා එක්‌සත් ජනපදය, ඉන්දියාව හා ලංකාවටත් එය පිළිලයක් මිස හොඳක් නම් නොවන බව ඉතා පැහැදිලි දෙයකි. මේ අවස්‌ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ බලය හමුවේ හැසිරීමට ලංකාවට එක්‌කෝ ඇමරිකාව අනුව යමින් කටයුතු කළ හැක. නැතිනම් ඉන්දියානු ආකෘතිය අනුව කටයුතු කළ හැක. ඒ කුමන ක්‍රමයකින් හෝ රට පාලනය කිරීම සඳහා ඡන්දයෙන් පත්වී ඇති ආණ්‌ඩුවේ අධිකාරිය ක්‍රියාත්මක විය යුතුය.
මෙම ලිපිය අවසන් කිරීමට පෙර ඉන්දියාවෙන් අප උකහා ගත යුතු තවත් ව්‍යවස්‌ථාමය පාඩමක් ගැන කිව යුතුය. පසුගිය දිනවලදී බෙහෙවින්ම සාකච්ඡා වූ මාතෘකාවක් වූයේ ලංකාවේ යම් පළාතක පළාත් සභාවක් නොමැතිනම් එම පළාතේ ආණ්‌ඩුකාරවරයාගේ අත්සන යම් පනතක් සම්මත වූ බවට සැලකීමට ප්‍රමාණවත්ද යන්නයි. 1988 දී උතුර හා නැගෙනහිර පළාත් සභා ඒකාබද්ධ කොට ඡන්දයක් පවත්වා වරධරාජා පෙරුමාල් මහ ඇමැති හැටියට පළාත් දෙකටම එක පළාත් සභාවක් පිහිටුවන ලදී. ඒ අනුව කෙටි කලකට හෝ උතුරටත් පළාත් සභාවක් තිබිණි. අද උතුර පළාතේ පළාත් සභාවක් නැත්තේ 1988 න් පසු අද වන තුරු එහි පළාත් සභා ඡන්දයක් පවත්වා නැති නිසාය. මෙවැනි අවස්‌ථාවල බලපෑ යුතු නීතිය පිළිබඳ යම් අදහසක් අපට ඉන්දියානු ව්‍යවස්‌ථාවෙන් ලබාගත හැක. ලංකාවේ පළාත් සභා ක්‍රමය ඉන්දීය ක්‍රමය අනුකරණය කිරීමක් වන නිසා මේ පූර්වාදර්ශය වඩා වැදගත් වෙයි. ඉන්දීය ව්‍යවස්‌ථාවේ 213 වැනි වගන්තියට අනුව මොනම හේතුවකට හෝ ඉන්දීය ප්‍රාන්තයක ව්‍යවස්‌ථාදායකය ක්‍රියාත්මක තත්ත්වයක නැති විට එම ප්‍රාන්තයේ ආණ්‌ඩුකාරවරයාට අවශ්‍ය යෑයි සිතෙන ඕනෑම නීතියක් සම්මත කළ හැකිය.
අනෙක් හැම දෙයකටම මෙන්ම මෙයටද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඇඟිලි ගැසුවේය. මෙලෙස ආණ්‌ඩුකාරවරයකු විසින් නීති සම්පාදනය කරන විට පවතින තත්ත්වයන් යටතේ ඒ තීන්දුව සාධාරණද නැත්ද යන්න තීන්දු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් ඇති බව එක නඩු තීන්දුවකින් කියෑවිණි. එවිට ඉන්දියානු දේශපාලන බලධාරීන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 38 වැනි සංශෝධනය ගෙනඑමින් ප්‍රකාශ කර සිටියේ මෙවැනි අවස්‌ථාවලදී වැදගත් වන්නේ ආණ්‌ඩුකාරවරයාගේ තනි අභිමතය පමණක් බවත් ඔහු ගන්නා මොනම තීන්දුවක්‌වත් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රශ්න කළ නොහැකි බවයි. ඉන්දීය ව්‍යවස්‌ථාවේ 213 වැනි වගන්තිය යටතේ ආණ්‌ඩුකාරවරයා විසින් සම්පාදනය කරන ඕනෑම නීතියක් එම ප්‍රාන්තයේ ව්‍යවස්‌ථාදායකය විසින් සම්පාදනය කළ නීතියක් සේ බලාත්මක වෙයි. නමුත් එම ප්‍රාන්තයේ ව්‍යවස්‌ථාදායකය යම් දිනක නැවත රැස්‌වූ විට ආණ්‌ඩුකාරවරයා විසින් 213 වැනි වගන්තිය යටතේ සම්පාදනය කළ නීති ව්‍යවස්‌ථා දායකයට ඉදිරිපත් කළ යුතුය. ව්‍යවස්‌ථාදායකය ඒවා අනුමත නොකළහොත් එතැන් සිට සති 6 කට පසු එම අණපනත් අහෝසි වනු ඇත. මේ පූර්වාදර්ශය අනුව කටයුතු කරන්නේ නම් උතුරේ පළාත් සභාවක් නැතුව වුවද ආණ්‌ඩුකාරවරයා දිවිනැගුම පනතට අනුමැතිය පළකරමින් තැබූ අත්සන නැවත උතුර පළාත් සභාව රැස්‌වනතුරු වත් සම්පූර්ණයෙන්ම වලංගු විය යුතුය.
ඇමරිකා එක්‌සත් ජනපදයේත් ඉන්දියාවේත් දේශපාලන බලධාරීන් ඒ රටවල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එල්ල වන අභියෝගය හමුවේ කටයුතු කළ ආකාරය පිළිබඳව තිබෙන මේ පූර්වාදර්ශ අනුව යමින් ලංකාවේ මතුවී තිබෙන මේ අර්බුදය සුදුසු ආකාරයට විසඳිය යතුය.
සී. ඒ. චන්ද්‍රප්‍රේම
උපුටා ගැනීම
2012/10/29