නිදහස්‌ අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයෝ

සරසවි ඇදුරන්ගේ වර්ජනයට මාස දෙකක්‌ ගතවී ඇත. මේ වර්ජනය සම්බන්ධයෙන් ආණ්‌ඩුව අනුගමනය කළේ වැරැදි ප්‍රතිපත්ති...


සරසවි ඇදුරන්ගේ වර්ජනයට මාස දෙකක්‌ ගතවී ඇත. මේ වර්ජනය සම්බන්ධයෙන් ආණ්‌ඩුව අනුගමනය කළේ වැරැදි ප්‍රතිපත්තියකි. ආණ්‌ඩුව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රතිපත්තියක්‌ නොමැති වර්ජනය සම්බන්ධයෙන් නිසි පිළිතුරු නොදුන්නේය. වර්ජනයට කෙළින්ම සම්බන්ධ නොමැති වුවත් එයට ඉන්ධන එකතු කරන ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය, උසස්‌ පෙළ ප්‍රශ්න පත්‍රවල වැරැදි හා දැන් පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්නය පිළිබඳව ආණ්‌ඩුවට පිළිතුරු ඇතත් ජනමාධ්‍ය භාරව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරු එසේ පිළිතුරු දීමට අවස්‌ථාව නොසැපයූහ. ඒ සියල්ලෙන් සිද්ධ වූයේ අධ්‍යාපනයේ ඊනියා අර්බුදයක්‌ ගැන කතා කිරීමට ආණ්‌ඩු විරෝධීන්ට යම් අවස්‌ථාවක්‌ සැපයීමය. ආණ්‌ඩුවේ ජනමාධ්‍ය භාරව සිටින්නන් නොදුන් පිළිතුරු ජනතාව පළාත් සභා මැතිරණයේ දී දෙනු ඇත. නැගෙනහිර පළාතේ ජනවර්ග ව්‍යාප්තිය හේතුකොටගෙන අනෙක්‌ පළාත් දෙකෙන් වෙනස්‌ ප්‍රතිඵලයක්‌ ලැබීමට ඉඩ තිබුණ ද එහිදීද එජනි සංවිධානයට පළාත් සභාව හැසිරවීමට අවස්‌ථාවක්‌ ලැබෙනු ඇත. අද ජ.වි. පෙරමුණට හෝ එ.ජා. පක්‍ෂයට හෝ හිතවත්කම් දක්‌වන විශ්වවිද්‍යාල හා පාසල් ගුරුවරුන්ට හා සිසුන්ට අධ්‍යාපනයේ නැති අර්බුදයක්‌ මවා පෑමට අවස්‌ථාවක්‌ ලැබී ඇත. ඔවුන්ට අර්බුදයක්‌ වී ඇත්තේ අර්බුදයක්‌ නැතිකමය. එහෙත් ඔවුහු නැති අර්බුදය වුවද ගසා කා, හැකිනම් තරුණයකු හෝ වෙනත් අයකු හෝ බිල්ලට දී බලයට පත්වීමට උත්සාහ කරති. අද ඇතැම්හු ඊනියා අධ්‍යයන වසන්තයක්‌ ගැන කතා කරති. මේ වසන්තය අරාබි වසන්තය මෙන් ආණ්‌ඩු පෙරළීමට සමත්වනු ඇතැයි ඔවුහු සිතති. මොවුන් සිතන්නේ අසූවේ දශකයේ අග මෙන් තත්ත්වයක්‌ උදාකිරීමටය. අසූවේ අග ප්‍රශ්න ඇති වූයේ අධ්‍යාපනය පමණක්‌ මුල්කරගෙන නොවේ. අපකීර්තිමත් ඉන්දු-ලංකා ගිවිසුම හා ඉන්දීය ආක්‍රමණය, කොටි ත්‍රස්‌තවාදය ද එහි පසුබිමේ විය. ආණ්‌ඩුවේ ඉහළ නිලතල දරන සරසවි ඇදුරන් දෙතුන් දෙනකු ආණ්‌ඩුව වැටුණොත් තම වරප්‍රසාද නැතිවේය යන බියෙන් අසූවේ දශකය මතක්‌ කරමින් ආණ්‌ඩුව නොමග යෑවීමට උත්සාහ කරන බව පෙනෙයි. ඔවුන් ජනමාධ්‍යයේ ඉහළ තනතුරු දැරීම හා ජනමාධ්‍යයට අරක්‌ගෙන තිබීම ආණ්‌ඩුවට ප්‍රශ්නයක්‌ වී ඇත. අරාබි වසන්තයක්‌ ඇති කරන්නේ කාගේ නායකත්වයෙන් ද? ඇතැමුන් සිතන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් එසේ කළ හැකිය කියාය. අසූවේ දශකයේ දී උන්වහන්සේට සිංහල බෞද්ධ කුමේනි කෙනකු වශයෙන් දොස්‌ පැවරුවන්ම අද උන්වහන්සේගේ නායකත්වය අපේක්‍ෂා කිරීම දෛවයේ සරදමක්‌ යෑයි නොකියමි. එය ඒ ඒ අයගේ ප්‍රතිපත්ති වෙනස්‌වීම පිළිබඳ ප්‍රශ්නයකි.

මේ ආණ්‌ඩුව සර්ව සම්පූර්ණ ආණ්‌ඩුවක්‌ යෑයි කිසිවකු නොකියනු ඇත. දූෂණය, නාස්‌තිය ඉහවහා ගොස්‌ය. ආණ්‌ඩුව දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් හැර අනෙක්‌ කටයුතුවලදී බොහෝ වැරැදි කර ඇත. එහෙත් අපට නිසැකව කිව හැකි දෙයක්‌ වෙයි. වෙනත් ආණ්‌ඩුවක්‌ බලයට පත්වුවහොත් දූෂණය හා නාස්‌තිය තවත් ඉහළ යනු මිස අඩු නොවනු ඇත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අප වැනි රටවලට උරුම කරදී ඇත්තේ සරපීලාකාරයෙන් ඉහළ යන දූෂණයකි. 1948 න් පසු පත්වූ ආණ්‌ඩුවල ක්‍රියාකාරකම් සැලකීමේදී ඒ බව මොනවට පැහැදිලි වෙයි. බටහිර ගැති, බටහිර රාජ්‍යවලින් සෘජුව හෝ වක්‍රව හෝ මුදල් ලබන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය වන්නේ දුෂණයෙන් තොර ආණ්‌ඩුවක්‌ නොවේ. බටහිර රටවල ද ඇත්තේ දූෂිත රාජ්‍යය. එය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයකි. අද ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂකයන්ට හා වෙනත් එවැන්නන්ට අවශ්‍ය බටහිරයන්ගේ ආශිර්වාදය, අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව ඉටුකර ගැනීමය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ආණ්‌ඩුව පළවාහැර වෙනත් ආණ්‌ඩුවක්‌ ඇතිකර නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමය. දෙමළ ඊළමක්‌ පිහිටුවීම සඳහා කටයුතු කිරීමය. මේ ආණ්‌ඩුව පළවා හැර පිහිටුවන වෙනත් ඕනෑම ආණ්‌ඩුවක්‌ කාගේ නායකත්වයෙන් පිහිටුවත් රණවිරුවන්ගේ ජීවිත පූජාවෙන් ලබාගත් ජයග්‍රහණය, එනම් දෙමළ ත්‍රස්‌තවාදය පැරදවීම ආපසු භාරවනු ඇත. උතුරු හා නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු ඉවත්කර හමුදාව ආපසු කැඳවනු ඇත. කොටි ත්‍රස්‌තවාදීන් ඊනියා දේශපාලන සිරකරුවන් සේ සලකා නිදහස්‌ කෙරෙනු ඇත. කොටි ත්‍රස්‌තවාදීන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ දෙනු ඇත. එපමණක්‌ නොව අද නිදහස්‌ අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන් විරුද්ධ යෑයි කියන පෞද්ගලික විශ්වවිද්‍යාල ද ඇතිකරනු ඇත. පෞද්ගලික විශ්වවිද්‍යාල යනු මකරාක්‍ෂකයෙක්‌ නොවේ. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම සඳහන් කෙරෙන්නේ නිදහස්‌ අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන්ගේ බොරු උපාසක හෙළිදරව් කිරීමටය. අද නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙන් කෑගසන ඇතැම් සරසවි ඇදුරන් උපාධිවලට සිසුන් සූදානම් කරන පෞද්ගලික ආයතනවල උගන්වති. මුදල් අයකර උසස්‌ පෙළ පරීක්‍ෂණයට සිසුන්ට උගන්වන පංති හෙවත් ටියුෂන් කඩ පවත්වාගෙන යති. එහෙත් ඒ අතර උසස්‌ පෙළ පරීක්‍ෂණයේ පිළිතුරු පත් ලකුණු කිරීමෙන් වළකිති. මේ සියල්ලෙන් සිදුවන්නේ ඔවුන් කියනා නිදහස්‌ අධ්‍යාපනය රැකගැනීම ද? බොහෝ දෙනා නොදනිතත් අද විශ්වවිද්‍යාලවල ද මුදල් අයකරන පාඨමාලා පැවැත්වෙයි. ඒ පශ්චාත් උපාධි සඳහා පමණක්‌ නොවේ. ප්‍රථම උපාධි මට්‌ටමෙන් පහළ සහතික පත්‍ර හා ඩිප්ලෝමා සඳහා පාඨමාලා රාශියක්‌ අද විශ්වවිද්‍යාලවල පැවැත්වෙන්නේ ගාස්‌තු අයකරමිනි. ඒ ගාස්‌තුවලින් විශාල කොටසක්‌ සරසවි ඇදුරෝ ලබා ගනිති. මේ පාඨමාලා පවත්වාගෙන යැමට ප්‍රතිපත්තියක්‌ වශයෙන් නිදහස්‌ අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන් විරුද්ධ විය යුතුය. එහෙත් ඇදුරන්ගේ වෘත්තීය සමිති හෝ ඊනියා අන්තරය හෝ ඒ පාඨමාලාවලට ඵලක්‌ ඇති විරුද්ධතාවක්‌ දක්‌වා නැත.

අප අමතක නොකළ යුතු කරුණ නම් තවමත් දෙමළ ජාතිවාදය හා ඒ අනුව පැවැත්වෙන මුස්‌ලිම් ජාතිවාදයක්‌ මෙරට ක්‍රියාත්මක වන බවය. දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලබන්නේ බටහිරයන් හා ඉන්දියාව, විශේෂයෙන්ම තමිල්නාඩුව විසිනි. ඉන්දියාව ක්‍රියාත්මක වන්නේ බටහිරට අවශ්‍ය ආකාරයට හා චීනයට විරුද්ධවන ආකාරයකටය. දෙමළ ජාතිවාදය තිබෙනතාක්‌ දෙමළ ත්‍රස්‌තවාදයට යළි හිස එසවීමට අවස්‌ථාවක්‌ ඇත. අද අපේ අවශ්‍යතාව වනුයේ සියල්ලටම වඩා දෙමළ ජාතිවාදය පැරදවීමය. රටේ ආරක්‍ෂාව සඳහා දෙමළ ජාතිවාදය පැරදවිය යුතුය. එයට මුදල් වෙන් කිරීම අපේ ප්‍රමුඛතාව වෙයි. මෙරට ඊනියා නිදහස්‌ අධ්‍යාපනයේ ආරක්‍ෂකයන්ගෙන් ඒ සඳහා ලැබෙන උපකාරය කුමක්‌ද? ඔවුන් දන්නා එකම දෙය බටහිර මතවාද පුනරුච්ඡාරණය කරමින් දෙමළ ජාතිවාදයට ආවැඩීමය. කසිකබල් මාක්‌ස්‌වාදී පශ්චාත් මාක්‌ස්‌වාදී, පශ්චාත් නූතනවාදී, ලිබරල් මතවාද හැර ඔවුන් දන්නා ජාතික මතවාදයක්‌ නැත. ඔවුහු ජාතික මතවාදවලට ජාතික දැනුමට මිථ්‍යාවන් යෑයි කියමින් සිනහසෙති. පට්‌ටපල් බොරු වූ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ඊනියා නිදහස්‌ අධ්‍යාපනයක මුවාවෙන් උගන්වති. තම දැනුම අනුව දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කළ නොහැකි යෑයි කීවේද මොවුහුම වෙති. දෙමළ ජාතිවාදය වෙනුවෙන් අද මෙරට ප්‍රධාන වශයෙන් දේශපාලන පක්‍ෂයක්‌ ලෙස පෙනී සිටින්නේ දෙමළ ජාතික සංධානයය. දෙමළ ජාතිවාදයට අනුගත වූ මුස්‌ලිම් ජාතිවාදය (ආගමිකවාදය) වෙනුවෙන් පෙනී සිටින්නේ මුස්‌ලිම් කොංග්‍රසයය. අද මේ පක්‍ෂ දෙක නැගෙනහිර පළාතේ කරන්නේ ආණ්‌ඩුවේ සංහිඳියා ප්‍රතිපත්තිය යෑයි කිවහැකි ප්‍රතිපත්තියට එරෙහිව දෙමළ ජාතිවාදය හා මුස්‌ලිම් ජාතිවාදය පැතිරවීමය. සංහිඳියා ප්‍රතිපත්තිය යනුවෙන් බටහිරයන් අදහස්‌ කරන්නේ ද ජාතිවාදය පතුරවමින් සිංහල බෞද්ධයනට හා සිංහල බෞද්ධ සංස්‌කෘතියට හිමි තැන අහිමි කිරීමය. නැගෙනහිර පළාතේ ඡන්දදායකයන් මේ බව සිහිතබා ගතයුතුය.

පසුගියදා ඊනියා නිදහස්‌ අධ්‍යාපනය රැකගැනීමට යෑයි කියමින් කොළඹ පැවැති රැළියකට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සිට අනෝමා ෆොන්සේකා දක්‌වා සියලු ආණ්‌ඩු විරෝධීහු සහභාගි වූහ. එයට සහභාගි නොවූ පක්‍ෂ අතර (පක්‍ෂ නිල වශයෙන් සහභාගි නොවීම වෙනම කරුණකි. එහෙත් ඒ ඒ පක්‍ෂවල දැවැන්තයෝ එයට සහභාගි වූහ) දෙමළ ජාතික සංවිධානය ද මුස්‌ලිම් කොංග්‍රසයද දේශපාලනයේ කිසිදු බලපෑමක්‌ කළ නොහැකි ඇතැම් පක්‍ෂ ද විය. එහි අරමුණ ආණ්‌ඩු විරෝධීන් 6% ඉල්ලීම උඩ ඒකරාශි කර පසුව දෙමළ ජාතිවාදය වෙනුවෙන් ඒ බලවේග මෙහෙවීමය. දෙමළ ජාතික සංධානය රැස්‌වීමෙන් පිට සිටියේ මැතිවරණ කටයුතුවල නිරතවී සිටි බැවින් නොව සංවිධායකයන්ට තම නියම අරමුණ වසංකිරීමට අවශ්‍ය වූ නිසාය. මේ රැස්‌වීම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් සංවිධානය කළ එකක්‌ යෑයි කීවද එය සංවිධානය කළේ ආණ්‌ඩු විරෝධී පක්‍ෂ හා සංවිධාන විසිනි. ආචාර්ය සමිති සම්මේලනයට එවැනි රැස්‌වීමක්‌ සංවිධානය කිරීමට ශක්‌තියක්‌ නැත. රැස්‌වීමෙහි අරමුණ වූයේ ආණ්‌ඩුව දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක්‌ අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුය යන්න වටා ජනතාව පෙළගැස්‌වීමය. දැනටමත් යුනෙස්‌කෝ වාර්තාවෙන් කියන ආකාරයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% වඩා අධ්‍යාපනයට වෙන් වෙයි. යුනෙස්‌කෝ වාර්තාවෙහි කිsසිම තැනක ආණ්‌ඩුව දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක්‌ අධ්‍යාපනය සඳහා වැය කළ යුතු යෑයි කියා නැත. එහෙත් ආචාර්ය සමිති සම්මේලනය ආණ්‌ඩු විරෝධී දේශපාලන පක්‍ෂ හා එවැනි වෘත්තීය සමිති සමග එක්‌වී මේ බොරුව ජනතාවට කියන්නේ ඊනියා නිදහස්‌ අධ්‍යාපනයක්‌ රැකගැනීමට නොවේ.

රූපවාහිනී නාලිකා දෙකක අපත් සහභාගි වූ වැඩසටහන් දෙකකදී හා චින්තන පර්ෂදය විසින් සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයකදී ආචාර්ය සමිති සම්මේලනයට සම්බන්ධ ඇදුරන් ඉදිරියේ ඊනියා 6% ඉල්ලීම අමු බොරුවක්‌ බව අපි පැහැදිලි කළෙමු. ආණ්‌ඩුව දැනටමත් තම වියදමෙන් 8% ක්‌ පමණ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරයි. ආණ්‌ඩුවේ මුළු වියදම දළ ජාතික නිෂ්පාදිතයෙන් 23% ක්‌ පමණය. දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක්‌ අධ්‍යාපනයට වැය කිරීම යනු ආණ්‌ඩුව තම මුළු වියදමෙන් 25% ක්‌ පමණ අධ්‍යාපනයට වියදම් කිරීමකි. එය කළ හැක්‌කක්‌ නොවේ. සෞඛ්‍යය, කෘෂිකර්මය ආදී ක්‌ෂේත්‍ර ගණනාවක පමණක්‌ නොව දෙමළ ජාතිවාදයට එරෙහිව රණවිරුවන් වෙනුවෙන් කෙරෙන වියදම් ද කපාහැරීමෙන් තොරව එය කළ හැකි නොවේ. නිදහස්‌ අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන්ගේ අරමුණ කුමක්‌දැයි පැහැදිලිය. මෙරට අධ්‍යාපන අර්බුදයක්‌ නැත. අද පාසල්වල පහසුකම් එදාට වැඩිය. ඉසෙඩ් අවුල ඇති කළේ තටිල් මහතා, ආණ්‌ඩු විරෝධී ගුරු සංගම් හා ඇතැම් දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ ජනමාධ්‍යවේදීන්ය. ප්‍රශ්න පත්‍රවල වැරැදි සෑම අවුරුද්දකම වෙයි. ඒ කිසිවකට ආණ්‌ඩුව හෝ අදාළ ඇමැතිවරු හෝ වරදකරුවෝ නොවෙති. ඒ වැරැදි ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ හේතුකොටගෙන ඇති වූවා නොවේ. අද දෙමළ ජාතිවාදීන්ට ආණ්‌ඩු විරෝධී බලවේග එකතු කිරීමට ව්‍යාජ සටන් පාඨයක්‌ අවශ්‍ය වී ඇත. 6% යනු අන්කිසිවක්‌ නොව ඒ සටන් පාඨයයි.

උපුටා ගැනීම
දිවයින
2012-09-02

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 4571259736170949548

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item