ආණ්‌ඩු මට්‌ටුවට ලාල්

රාජපක්‍ෂ ආණ්‌ඩුවට සම්බන්ධ විවේචන රාශියක්‌ රට හමුවේ තිබේ. තමන්ගේ පක්‍ෂ පාට අනුව කෙරෙන විවේචනවල සිට ආණ්‌ඩුව හදා ගැන...

රාජපක්‍ෂ ආණ්‌ඩුවට සම්බන්ධ විවේචන රාශියක්‌ රට හමුවේ තිබේ. තමන්ගේ පක්‍ෂ පාට අනුව කෙරෙන විවේචනවල සිට ආණ්‌ඩුව හදා ගැනීම සඳහා ආණ්‌ඩු පාක්‍ෂිකයන් කරන විවේචන ද මේ අතර වේ. කොයි කෝණයෙන් ආණ්‌ඩුව විවේචනය කළත්, ඒ සියලු කතා නිමාවන්නේ එක තැනකට පැමිණීමෙනි. "ඒවා නම් එහෙම තමයි, ඒත් ඉතින් මේ ආණ්‌ඩුව පරාද කරන්න පුළුවන් කවුරුවත් තවම නැහැනේ" යන එම සාධකය පිළිබඳව ආණ්‌ඩුව ද හොඳින් දනියි. ව්‍යවස්‌ථාදායකයේ තුනෙන් දෙකේ බලයක්‌ තිබෙනවාට අමතරව, විරුද්ධ පක්‍ෂයේ ක්‍රියාකාරීත්වය ද තමන්ට තර්ජනයක්‌ වන තැනට පැමිණ නැති බව ආණ්‌ඩුව ද දනියි.

2010 ජනාධිපතිවරණයේදී සමස්‌ත විරුද්ධ පක්‍ෂයම එක පිලකට විත්, රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හමුදාපති ලෙස සිටි සරත් ෆොන්සේකා අපේක්‍ෂකයා කරගෙන ආණ්‌ඩුව පෙරළන්නට ආවේය. එහි ප්‍රතිඵලය වූයේ 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ලබාගත් ඡන්ද ප්‍රමාණයවත් ෆොන්සේකාට ගන්නට බැරි වීමය. විරුද්ධ පාර්ශ්වය කෙරෙහි ආණ්‌ඩුවට තිබුණු බය නැති කරන්නට, එම ප්‍රතිඵලය ද විශාල සේවයක්‌ කළේය. ජනාධිපතිවරණයෙන් පසුව එම බලවේග විසිරී යැමත්, අවසානයේදී පක්‍ෂ අභ්‍යන්තර ගැටුම් තවදුරටත් වර්ධනය වීමත් සමඟ තමන්ට අභියෝග කළ හැකි විපක්‍ෂයක්‌ තවත් කාලයකට නොඑන බවට ආණ්‌ඩුවට සහතිකයක්‌ ලැබුණේය. ආණ්‌ඩුව කෙරෙහි තිබෙන විවේචන එක්‌ සීමාවකින් එහාට ගණන් නොගැනීම සඳහා තදින්ම බලපා තිබෙන්නේ විපක්‍ෂයේ පවතින මෙම අප්‍රාණිකතාවයය.

කොහොමටත් ආණ්‌ඩු මට්‌ටු කරන්නට යැම සෙල්ලම් කටයුත්තක්‌ නොවේ. ඒවා ආපසු කැරකුණොත් තමන්ට වන හානිය ද සෙල්ලම් නැත. සරත් ෆොන්සේකා තවමත් විඳිනා දුක එයට හොඳම උදාහරණයය. ප්‍රධාන පක්‍ෂ සියල්ලම ආණ්‌ඩු මට්‌ටු කිරීමේදී මේ ගැන කල්පනාකාරී වේ.

ආණ්‌ඩුව පිළිබඳව එජාපය විසින් කෙරෙන සෑම විවේචනයක්‌ම එජාපයට යළි කැරකී එන්නේ ඔවුන් ආණ්‌ඩු කළ කාලයේදී එම කටයුතු සිදු වූ ආකාරය ප්‍රශ්න කරමිනි. එසේම බලය හෙබවීමට ආසන්න විරුද්ධ පක්‍ෂයේ ප්‍රධාන පාර්ශ්වය කොහොමටත් ආණ්‌ඩුව විවේචනය කරන්නේ පරිස්‌සමෙනි. තමන්ට ආණ්‌ඩු බලයක්‌ ලැබුණහොත් තමන් එල්ල කළ විවේචන තමන්ට පාරාවළල්ලක්‌ වුවහොත් යන්න ඊට හේතුවය. එජාපය හෝ ශ්‍රීලනිපය විපක්‍ෂයේ සිටින විට ආණ්‌ඩු මට්‌ටු කිරීමේදී දෙගොල්ලන්ම මෙම සිරවීමට ලක්‌වේ.

හිරවීමකින් තොරව ආණ්‌ඩු මට්‌ටු කිරීම ගැන විශේෂඥතාවක්‌ උසුලන්නේ ජවිපෙය. 1977 දී බලයට පත් වූ ඡේ. ආර්. ගේ ආණ්‌ඩුව ඉන්දු - ලංකා ගිවිසුම සමඟ හිරකර, මට්‌ටු කරගන්නට පෙරමුණ ගත්තේ ජ.වි.පෙ.ය. පැවැති පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිපයට ආසන අටක්‌ හෝ තිබිණි. පාර්ලිමේන්තුවේ කිසිදු බලයක්‌ නොමැතිව, තමන්ගේ පක්‍ෂය ද තහනම් වී තිබූ අවස්‌ථාවක ඡේ. ආර්. ගේ ආණ්‌ඩුවේ බලය බිඳින්නට නායකත්වය ගෙන කටයුතු කළේ ජ.වි.පෙ.ය. ශ්‍රීලනිප විසින් කරන ලද්දේ ජ.වි.පෙ. විසින් ඇති කරන ලද රැල්ලේ නැඟ ඒමය.

2001 ජුනි මාසයේදී චන්ද්‍රිකාගේ ආණ්‌ඩුව සමඟ සන්ධානගතව සිටි මුස්‌ලිම් කොංග්‍රසය විපක්‍ෂයට එක්‌විය. එමගින් ආණ්‌ඩු පක්‍ෂය පාර්ලිමේන්තුවේදී සුළුතරයක්‌ බවට පත්විය. මෙතැනදී, චන්ද්‍රිකාගේ ආණ්‌ඩුව පරිවාසයකට යටත් කර ආණ්‌ඩුව මට්‌ටු කරනා ගමන්ම එජාපය ද බලයට ඒමෙන් වළක්‌වාලන්නට ජ.වි.පෙ. සමත් විය. බලය බෙදීමේ යෝජනා කල් දැමීම, අමාත්‍ය මණ්‌ඩලය විස්‌සට අඩු කිරීම වැනි කොන්දේසි ගණනාවක පරිවාසයකට චන්ද්‍රිකාගේ ආණ්‌ඩුව යටත් කරන්නට එතැනදී ජ.වි.පෙ. සමත් විය. එජාපයට බලයට එන්න නොදී විපක්‍ෂයත් මට්‌ටු කරගෙන තබාගන්නට ද ජ.වි.පෙ. සමත් විය.

ආණ්‌ඩු මට්‌ටු කිරීමේ විශාරදයන් වූ ජ.වි.පෙ.ට රාජපක්‍ෂ ආණ්‌ඩුව මට්‌ටු කිරීමට නොහැකි වී ඇත්තේ තමන් විසින්ම තමන්ට අටවා ගත් උගුල් නිසා එය වැටී තිබෙන දුර්වල තත්ත්වය හේතුවෙනි. අන් සියල්ලටම වඩා මෙම කාරණයම ජනාධිපති මහින්ද රාජපක්‍ෂට සැනසිල්ලේ නිදාගන්නට හේතුවකි.

රාජපක්‍ෂ ආණ්‌ඩුව මට්‌ටු කරන්නට අවශ්‍ය නම්, පළමුවෙන්ම කළ යුත්තේ ආණ්‌ඩු මට්‌ටු කිරීමේ ශක්‌තිය තිබෙන යෝධයාට යළි ශක්‌තිය ලබාදීමය. ප්‍රශ්නය වන්නේ එය කරන්නේ කෙසේද යන්නයි. කපන්න, කපන්න ඔළු මතුවෙන මකරා සේ, මර්දනය කරන්න, කරන්න ශක්‌තිමත් වන ඉතිහාසයක්‌ තිබෙන ජ.වි.පෙ. කිසිම මර්දනයකින් තොරවම අද බිමට ඇද වැටී සිටියි. විමල් වීරවංශ විසින් ජ.වි.පෙ.ට තිබූ ජාතික ගතිය සහිත හිස රැගෙන ගියේය. එය යළිත් ලියලා නැත. කුමාර් මහත්තයා විසින් ජ.වි.පෙ. තුළ තිබූ තරුණ ජවය රැගෙන ගියේය. එය ද තවම ලියලා නැත. පක්‍ෂ අභ්‍යන්තරයේ ඇති වූ හැලහැප්පීම් මගින් මර්දන දහසකින්වත් මැඬපැවැත්විය නොහැකි යෑයි කියූ ජ.වි.පෙ. ස්‌වයං ඇදවැටීමකට ලක්‌වී තිබේ. දැන් ජ.වි.පෙ. සිටින්නේ දේශපාලන අධ්‍යාපන පීඨයක හෝ විචාර කවයක තත්ත්වයට ආසන්න වන තැනකය.

මාක්‌ස්‌වාදයේ කරවටක්‌ බැස ගත් තීන්දු හේතුවෙන් දේශපාලනයේදී ප්‍රායෝගික ලෙස ගත යුතු මාර්ගය වෙනුවට මතවාදය යෑයි කියමින් පරාජිත පාරවල්ම සොයාගෙන යැම නිසා මතවාදය තුළ ගිලී යන තැනකට අද වන විට ජ.වි.පෙ. පත් වී තිබේ. අවලංගු වී තිබෙන මතවාදයක්‌ වන මාක්‌ස්‌වාදයේ තවත් ගොදුරක්‌ බවට ජ.වි.පෙ. පත්වෙමින් සිටියි. ජ.වි.පෙ. සැමදාම තමාව හඳුනාගත්තේ මාක්‌ස්‌ ලෙනින්වාදී පක්‍ෂයක්‌ ලෙසය. නමුත් මතවාදයේ සිරවී සිටිනු වෙනුවට රට පැත්තෙන් බලා අදීන තීරණ ගන්නට ජ.වි.පෙ. සමත් විය. පැරණි වමේ හා ජවිපෙ අතර ප්‍රධාන වෙනසක්‌ වූයේ මෙයය. ජ.වි.පෙ. විසින් ගන්නා තීරණ මාක්‌ස්‌වාදී නොවේ යෑයි පැරණි වම විසින් ප්‍රශ්න කරන ලද්දේ රටට හා පක්‍ෂයට ජයග්‍රහණ අත්කර දෙමින්, ප්‍රායෝගික දේශපාලනයේ නියෑළෙමින් ජ.වි.පෙ. වර්ධනය වන ආකාරය ගැන ඉරිසියා කරමිනි.

දේශපාලන පංතියක්‌ හෝ සාකච්ඡා මණ්‌ඩපයක තත්ත්වයට ඇද වැටෙනවා වෙනුවට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන තැනට ජ.වි.පෙ. යළිත් පැමිණියහොත්, රාජපක්‍ෂ ආණ්‌ඩුවට සැබෑ අභියෝගයක්‌ බවට පත්වනු ඇත්තේ එයය. මාක්‌ස්‌වාදී න්‍යාය අනුව නිර්ධන පංතියට සේවයක්‌ කිරීමට හෝ ජ.වි.පෙ. හැකිවනු ඇත්තේ එවැනි තැනකට පැමිණියහොත් පමණි.

ජ.වි.පෙ. තුළ තිබූ ශිෂ්‍ය ව්‍යාපාරය ද එයට දැන් මුළුමනින්ම අහිමි වී පෙරටුගාමී පක්‍ෂයට සින්න වී තිබේ. ජ.වි.පෙ. ශිෂ්‍ය ව්‍යාපාරය විශ්වවිද්‍යාල තුළ කටයුතු කළ අයුක්‌තිසහගත හා කෲර ආකාරය අනුව දේශපාලන කළ හැකි මට්‌ටමක ශිෂ්‍ය ව්‍යාපාරයක්‌ ගොඩනැංවීම, ජ.වි.පෙ.ට දුෂ්කර වූ තත්ත්වයකි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය අධ්‍යාපනයේ පොදු අයිතීන් උදෙසා කරන සටනට සමාජය තුළ යම් පිළිගැනීමක්‌ තිබුණත් විශ්වවිද්‍යාලය තුළ ඔවුන් හැසිරෙන ආකාරය හේතුවෙන් ජ.වි.පෙ. මූලික වූ ශිෂ්‍ය සංවිධානවලට සමාජයේ පවතින්නේ අඩු ඉවකි. ජ.වි.පෙ. සතු=ව දැන් තිබෙන එකම ධාවනකාරී බලවේගය එහි වෘත්තීය සමිති ව්‍යාපාරයය.

ආණ්‌ඩු මට්‌ටු කරන යෝධයාගේ භූමිකාවට යළිත් අවතීර්ණ වීමට අවශ්‍ය නම්, ජ.වි.පෙ. තමන්ට වැරදුණු තැන් හදාගෙන ඉදිරියට යා යුතුය. ඒ සඳහා පළමුවෙන්ම අවශ්‍ය වනුයේ ජ.වි.පෙ.ට සරිලන නායකත්වයකි. අද සිටින ජ.වි.පෙ. නායකත්වය සිහිගන්වන්නේ විශ්‍රාම ගොස්‌ සිටින පැරණි වමේ නායකයන්වය. තිබෙන නායකත්වය හා තීරණ ගැනීමේ බලය සහිත පිරිස, ජ.වි.පෙ. අද වැටී තිබෙන තත්ත්වයේ වගඋත්තරකරුවෝ වෙති. ඔවුන්ගේ වට්‌ටෝරුවෙන් ජවිපෙට තව තවත් පල්ලමට මිස ශිඛරය මතට නගින්නට ලැබෙන්නේ නැත.

න්‍යාය පමණක්‌ වෙනුවට ප්‍රායෝගික භාවිතය සමඟ න්‍යාය අනුව වැඩ කළ හැකි නායකයකු ජ.වි.පෙ.ට ලැබුණහොත් එහි සැබෑ ජීවය යළිත් මතුකර ගැනීමට හැකිවනු ඇත.

කේ. ඩී. ලාල් කාන්ත මෙම ජවනිකාවට පණ පෙවීම සඳහා ජ.වි.පෙ. තුළ සිටින සුදුසුම පුද්ගලයා වේ. ජ.වි.පෙ.ට දැන් තිබෙන එකම හයිය, වෘත්තීය සමිති අංශයය. ආණ්‌ඩුවේ වෘත්තීය සමිතිවලටත් වඩා ප්‍රබල තැනක එය තිබේ. පක්‍ෂය මෙතරම් දිය වී තිබෙන තත්ත්වය තුළදීත් වෘත්තීය සමිති අංශය ප්‍රබල ලෙස රැකගැනීමට හැකිවීමෙන්ම ලාල් සතු නායකත්වයේ ගුණය හොඳින්ම පැහැදිලි වෙයි. එම ප්‍රබලතාව රැකගැනීමේදී පක්‍ෂයේ න්‍යාය බිලිදුන්නා යෑයි, ලාල්ට චෝදනා ද නැත. න්‍යායත් තබාගෙන ප්‍රායෝගික දේශපාලනය කරන්නට ජ.වි.පෙ. අනිකුත් නායකයන්ට නොතිබූ හැකියාව ලාල්ට තිබෙන බව එයින්ම පෙනේ.

ආණ්‌ඩු මට්‌ටු කිරීම තම අතීත අරුමය අනුව යමින් රාජපක්‍ෂ ආණ්‌ඩුව මට්‌ටු කළ එකම තැනේදීත්, ඇණය ගැසුවේ ලාල් කාන්ත ප්‍රධානියා ලෙස සිටින වෘත්තීය සමිති අංශයය. පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අකුලාගන්නා තැනට රාජපක්‍ෂ ආණ්‌ඩුව මට්‌ටු කරන ලද්දේ ජවිපෙ වෘත්තීය සමිති අංශයය. රාජපක්‍ෂ ආණ්‌ඩුව පරාජය වූ එකම තැන එයය. එ.ජා.ප.ය, ජවිපෙ හා සරත් ෆොන්සේකා එකතු වී රිදවන්නට බැරි වූ ආණ්‌ඩුවට අන්තර් සේවක සංගමය හරහා ලාල් විසින් දණ ගැස්‌සුවේ එසේය. ලාල් එතැනදී දුන් නායකත්වය ආණ්‌ඩු මට්‌ටු කරන තැනට ජ.වි.පෙ. යළි පත්වීමේදී එයට ගැළපෙන නායකත්වය ඔහු බව කියා පෑ ප්‍රබල සාධකයකි.

ආණ්‌ඩු මට්‌ටු කරන සටනකදී තාවකාලික ලෙස හෝ සමහර පාර්ශ්ව සමඟ සෙසු සන්ධාන ගොඩනගා ගත යුතු වෙයි. ප්‍රායෝගික දේශපාලනයේදී එය අතාවශ්‍යය. ජ.වි.පෙන් කැඩී ගිය කිසිම කණ්‌ඩායමක්‌ සමඟ අත්‍යවශ්‍ය මොහොතකදී හෝ එවැනි සන්ධානයක්‌ ගොඩනඟන්නට ජ.වි.පෙ. වත්මන් නායකත්වයට නොහැකිය. කැඩී ගිය කණ්‌ඩායම් විසින් වත්මන් ජවිපෙ නායක පිරිස ෙද්‍රdaහීන්, අවස්‌ථාවාදීන් ලෙස විවේචනය කළේය. එවැනි විවේචනයක්‌ එල්ල නොවූයේ ලාල් කාන්තට පමණි. එය වැදගත් වන්නේ කැඩී ගිය කණ්‌ඩායම් සමඟ අත්‍යාවශ්‍ය වුවහොත් තාවකාලික සන්ධානයකට යැම සඳහා පමණක්‌ නොවේ. ජ.වි.පෙ. කැඩී යැම සඳහා ලාල් කාන්ත වගකිවයුත්තෙක්‌ නොවන බව ද එයින් පෙන්වයි. ජ.වි.පෙ. දුර්වල අඩියකට පත්කිරීමට තීන්දු ගැනීමේදී ඒවාට සාමූහික වගකීම මත කැමැති වූවා හැරෙන්නට ලාල් ගේ වගකීමක්‌ නැති බව ද පෙනේ. දැන් ජ.වි.පෙ.ට අවශ්‍යව ඇත්තේ අර්බුද සමනය කර ගනිමින්, පක්‍ෂයෙන් ඈත්ව සිටිනා පිරිස ද ළං කරගත හැකි මට්‌ටමේ පුද්ගලයෙකි. කැඩී ගිය කණ්‌ඩායම්වල චෝදනාවට ලක්‌ නොවීමෙන් පෙනී යන්නේ, එවැනි හැකියාවක්‌ සහිත ජ.වි.පෙ. සිටිනා ජ්‍යෙෂ්ඨයා ලාල් බවය.

ජ.වි.පෙ. දැන් සිටින අසරණ භාවයෙන් ගොඩ එනවාට වැඩියෙන්ම බිය වන්නේ රාජපක්‍ෂ ආණ්‌ඩුවය. ජ.වි.පෙ. සිය ශක්‌තිමත්භාවය මගින් ඡේ. ආර්., චන්ද්‍රිකා හා රනිල්ගේ ආණ්‌ඩු මට්‌ටු කළ ආකාරය ඇස්‌ පනාපිටම දුටු පුද්ගලයකු වූයේ මහින්දය. ජ.වි.පෙ. වැටී සිටින දුර්වල තැන නිසා මහින්දට එම අත්දැකීම විඳින්නට ලැබුණේ නැත. ලාල් කාන්තට ජ.වි.පෙ. සුක්‌කානම හිමි වුවහොත් එය විසින් ආණ්‌ඩු මට්‌ටු කළ නායක ලේඛනයට මහින්ද ද ඇතුළත් වන්නට බැරි නැත.

-මනෝජ් අබයදීර
උපුටා ගැනීම
දිවයින
2012-06-13

Related

මනෝජ් අබයදීර 1435388435486587334

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item