බ්‍රිටැනිකා මරා දැමුවේ විකිපීඩියාද?

ශබ්දකෝෂ මෙන්ම විශ්වකෝෂය ද අධ්‍යාපනය ලබන අයට මෙන් ම නොයෙකුත් වෘත්තීන්හි යෙදෙන අයට ද නිතර අවශ්‍ය වේ. මීට දශක කිහිපයකට පෙර නම...

ශබ්දකෝෂ මෙන්ම විශ්වකෝෂය ද අධ්‍යාපනය ලබන අයට මෙන් ම නොයෙකුත් වෘත්තීන්හි යෙදෙන අයට ද නිතර අවශ්‍ය වේ. මීට දශක කිහිපයකට පෙර නම් ශබ්ද කෝෂ මෙන්ම විශ්වකෝෂවල පිටු පෙරළමින්, දූවිලි කමින් අවශ්‍ය තොරතුරු සෙවීමට කාලයක්‌ ගත කිරීමට සිදු වුවද, අද අන්තර්ජාලය නිසා බොහෝ තොරතුරු ඉතා ඉක්‌මනින් සොයා ගත හැක. අතීතයේ තරම් ආයාසයක්‌ දැරිය යුතු නැත. කෙසේ නමුත් විශ්වකෝෂ ගැන කථා කිරීමේද සැමටම මුලින්ම මතක්‌ වෙන්නේ Encyclopeadia Britannica හෙවත් බ්‍රිටැනිකා විශ්වකෝෂයයි. බ්‍රිටැනිකා විශ්වකෝෂය ලොව පැරැණිතම ඉංග්‍රීසි විශ්වකෝෂයයි. මුළු විශ්වකෝෂයම පොත් 32 කි. එය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1768 ත් 1771 ත් අතර කාලයේ බ්‍රිතාන්‍යයේ එඩින්බර්ග්හිදී ය. එය ප්‍රකාශයට පත් කරන ලද්දේ කොටස්‌ තුනකිනි.

පුරා වසර 244 ක්‌ පැරැණි මේ විශ්වකෝෂය ගැන හදිසියේ අපට සටහනක්‌ තබන්ට වූයේ මන්ද? ලෝකය ඩිජිටල් යුගයකට පැමිණ ඇති නිසාම ජංගම දුරකථනය හරහාත් අන්තර්ජාලය පිරික්‌සීමට හැකිවීම නිසාම මේ විශ්වකෝෂයේ මුද්‍රණ කටයුතු නැවැත්වීමට එහි පාලන අධිකාරිය තීරණය කර ඇති නිසාය. ඒ අනුව ඉදිරියේදී බ්‍රිටැනිකා විශ්වකෝෂය මුද්‍රණ ද්වාරයෙන් පිට නොවන්නේ ය.

එය පරිහරණය කිරීමට හැකිවන්නේ අන්තර්ජාලයෙන් හෝ ඩී. වී. ඩී. තැටියකින් හෝ වෙනත් පරිගණක මෘදුකාංගයක්‌ ඇසුරෙන් පමණි. ඇත්තෙන්ම බ්‍රිටැනිකා විශ්වකෝෂයට විකිපීඩියා විශ්වකෝෂය හරහා තර්ජනයක්‌ එල්ල විණිද? බ්‍රිටැනිකා විශ්වකෝෂය කිසි දිනෙක භාවිත නොකළ අයත් විකිපීඩියාව භාවිත කරති. කෙසේ නමුත් 2010 දී මුද්‍රණය කළ බ්‍රිටැනිකා විශ්වකෝෂ කාණ්‌ඩය එය අවසන්වරට මුද්‍රණය වූ විශ්වකෝෂ ග්‍රන්ථාවලිය වන බව පැහැදිලිය.

බ්‍රිටැනිකා විශ්වකෝෂයේ ඉතිහාසය දෙස හැරී බැලුවහොත් එය රචනා කිරීමට දායක වූ පිරිස 4,411 කි. 1768 සිට 1900 දක්‌වා මේ ග්‍රන්ථය බ්‍රිතාන්‍යයේදී ප්‍රකාශයට පත් කෙරුවද 1901 සිට මේ දක්‌වා ප්‍රකාශනය කෙරෙන්නේ ඇමරිකාවේ සිට ය.

මේ විශ්වකෝෂය 15 වතාවක්‌ සංස්‌කරණය කර ප්‍රකාශයට පත් කර ඇත. මේ විශ්වකෝෂයේ වර්තමාන හිමිකරු වන්නේ ස්‌විට්‌සර්ලන්ත කෝටිපතියකු හා නළුවකු වන ජැකී සµaරාය. පසුගිය සතියේදී මේ විශ්වකෝෂය මුද්‍රණ ද්වාරයෙන් එළිදැක්‌වීම නතර කිරීමට මෙහි බලධාරීන් තීරණය කරනු ලැබුවේ සැබැවින් ම මේ විශ්වකෝෂ පොත් ඛාණ්‌ඩවල අලෙවිය පහළ බැසීම නිසා ය. 1990 දී බ්‍රිටැනිකා විශ්වකෝෂ කාණ්‌ඩ 120,000 ක්‌ අලෙවි වී ඇති අතර එම අලෙවිය 1996 දී 40,000 ට බැස ඇත. අවසන් වරට 2010 මේ පොත් කාණ්‌ඩ 12,000 ක්‌ මුද්‍රණය කළ ද 2012 තෙක්‌ අලෙවි වී ඇත්තේ පොත් කාණ්‌ඩ අටදහසක්‌ පමණි.

2006 දී බ්‍රිටැනිකා විශ්වකෝෂය ඩී. වී. ඩී. තැටියක්‌ ලෙස ද නිකුත් වූ අතර එහි වචන මිලියන 55 ක්‌ අඩංගු වූ අතර ලිපි ලක්‍ෂයක්‌ අඩංගු විය. ඒ අතරම බ්‍රිටැනිකා විශ්වකෝෂයේ මුද්‍රණ ග්‍රන්ථයේ අඩංගු ලිපි 73,645 ක්‌ ද විය. Britannica
Online වෙබ් අඩවියේ ලිපි 120,000 ක්‌ අඩංගු අතර එම ලිපි නිරන්තරව සංස්‌කරණය කරනු ලැබේ. බ්‍රිටැනිකා ශබ්දකෝෂය ලොව අංක එකේ ශබ්ද කෝෂය ලෙස සැලකුණ ද එයටද නොයෙක්‌ විවේචන එල්ල විය. විශේෂයෙන් ම මෙහි සංස්‌කරණ පිටවීම සඳහා වසර 25 ක පමණ කාලයක්‌ ගත වීම ගැන විවේචන එල්ල විය. 14 වැනි සංස්‌කරණය පිටවීමට වසර තිස්‌පහක්‌ ගතවිය. (1929 - 1964) මේ නිසාම ඇමරිකානු භෞතික විද්‍යාඥයකු වූ හාවේ එඩින්බින්ඩර් මේ විශ්වකෝෂය විවේචනය කරමින් The Myth of the Britannica මැයෙන් ග්‍රන්ථයක්‌ ලිවීය. 2010 පෙබරවාරි මාසයේදී අයර්ලන්ත පුවත්පතක්‌ වන Evening Herald ප්‍රකාශ කර සිටියේ බ්‍රිටැනිකා ශබ්ද කෝෂය අයර්ලන්ත ඉතිහාසය ගැන වැරැදි හා අසත්‍ය කරුණු එළිදක්‌වා ඇති බවයි.

බ්‍රිටැනිකා විශ්වකෝෂයේ ප්‍රතිවාදියා වූ අන්තර්ජාල විකිපීඩියා විශ්වකෝෂය ආරම්භ වූයේ 2001 දී ය. එහි වර්තමානයේ භාෂා 283 කින් ලිපි මිලියන 20 ක්‌ අන්තර්ගතය. මාසයකට ලොව පුරා අන්තර්ජාලය භාවිත කරන අයගෙන් 14.5% ක්‌ විකිපීඩියා වෙබ් අඩවියට පිවිසෙයි. බ්‍රිටැනිකා විශ්වකෝෂය මුද්‍රණය කිරීම නැවැත්වූ පුවත සටහන් කළ රුසියානු ආර්. ටී. පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ බ්‍රිටැනිකා මරා දැමුවේ විකිපීඩියා විසින් බවයි.


-චතුර පමුණුව
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012/03/25

Related

චතුර පමුණුව 478934411436549448

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item