කොටි යෝජනාව ඔවුන්ට එරෙහිවයි!

දෙවන ලෝක යුද්ධයෙන් උගත් පාඩම්, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කිරීම සඳහා වන පදනම විය. 1945 ජුනි පළමුවැනිදා ඇමරිකාවේ ...

දෙවන ලෝක යුද්ධයෙන් උගත් පාඩම්, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කිරීම සඳහා වන පදනම විය. 1945 ජුනි පළමුවැනිදා ඇමරිකාවේ සෙන් µ්‍රeන්සිස්‌කෝහිදී රටවල් හතලිස්‌අටක නියෝජිතයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වූ අන්තර්ජාතික සමුළුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භය ලෙස සැලකිය හැකිය. තෙවන ලෝක යුද්ධයක්‌ ඇති

නොවීම සඳහා වග බලාගැනීම මෙම සමුළුවේ ඉලක්‌කගත අරමුණ වී තිබිණි. ජර්මනිය, ඉතාලිය, ජපානය එක්‌ පාර්ශ්වයක්‌ ලෙසත් ඇමරිකාව, බ්‍රිතාන්‍යය, සෝවියට්‌ දේශය හා ප්‍රංශය තවත් පාර්ශ්වයක්‌ ලෙසත් රටවල් ආක්‍රමණය කරමින් එකිනෙකා අතර යුද වදිමින් සිට එයින් ඇමරිකාව, බ්‍රිතාන්‍යය පුමුඛ කණ්‌ඩායම ජයග්‍රහණය කර තිබූ අවස්‌ථාවක මෙම නව සංවිධානය බිහිවිය. තිරසාර සාමයක්‌ ලෝකයාට උදාකිරීම හා මනුෂ්‍ය ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම යන කාරණා මුල් කර ගනිමින් එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මූලික ලෙස අත්සන් තබනු ලැබීය. ඉහත රටවල් පිල් දෙකකට බෙදී සිදුකළ යුද්ධය තුළින් ඇති වූ ව්‍යසනයන් යළි ඇති නොවීම මෙම ප්‍රඥප්තියේ ප්‍රමුඛ අවශ්‍යතාවක්‌ විය. වෙනත් රටක්‌ ආක්‍රමණයෙන් ජාතික රාජ්‍යයන්ගේ ස්‌වෛරීභාවය සුරැකීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ තවත් පරම වගකීමක්‌ විය. එය සිය කුළුඳුල් ලියවිල්ලේම ප්‍රඥප්තිගත කිරීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වගබලා ගත්තේ සාමයෙන් පිරි ලෝකයක පදනම තිබෙන්නේ ඒ ඒ රාජ්‍යයන්ගේ ස්‌වෛරීභාවය ආරක්‍ෂාවීම මත නිසාය.

නමුත් රාජ්‍යයක ස්‌වෛරීභාවය උදෙසා බලපෑම් කිරීම සඳහා වන විධිවිධානයක්‌ ද මෙම ප්‍රඥප්තිය සතු විය. යම් රටක්‌ විසින් මානව හිමිකම් උල්ලංඝනය කරමින් ලෝක සාමයට තර්ජනයක්‌ වන ආකාරයෙන් හැසිරුණොත් එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ අනුමැතිය ද සහිතව තවත් රාජ්‍යයකට හෝ රාජ්‍යයන් සමූහයකට පෙර රාජ්‍යයේ ස්‌වෛරීභාවය උල්ලංඝනය කළ හැකි බව එහි සඳහන් වේ. සමූල ඝාතනය, වාර්ගික අපවහනය, වහල් සේවය හා කෲර වධ හිංසා පැමිණවීම යන මනුෂ්‍ය සංහතියට එරෙහිව සිදු කරන අපරාධ සඳහා යම් රාජ්‍යයක්‌ යොමුවුවහොත් පමණක්‌ ආරක්‍ෂක මණ්‌ඩල අනුමැතිය සහිතව මෙම මැදිහත්වීමට අවසර ලැබේ.

1948 දෙසැම්බර් 10 වැනි දින සම්මත කරගන්නා ලද ලෝක මානව හිමිකම් ප්‍රකාශය මගින් තවදුරටත් මානවයා හට කිසිදු භේදයකින් තොරව හිමිවිය යුතු අයිතිවාසිකම් ගණනාවක්‌ ද එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කළේය. ලෝක මානව හිමිකම් ප්‍රකාශය නිකුත් කළ දිනයේදීම එහි පරමාදර්ශ, අන්තර්ජාතික ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ බවට පත්කර, එය ක්‍රියාත්මක වන ආකාරය අධීක්‍ෂණය කිරීම සඳහා ආයතනයක්‌ පිහිටුවිය යුතු බව එක්‌සත් ජාතීන්ගේ මානව සභාව තීරණය කළේය. ඉන් ඊට වසර දෙකකට පෙර ස්‌ථාපිත කර තිබූ මානව හිමිකම් කොමිසම වෙත ඒ සඳහා වන බලය පැවරිණි. සීතල යුද්ධය පැවැති සමය හෙයින්, සියලු දෙනාගේ එකඟතාවයෙන් මෙම කෙටුම්පත සම්මත කරගැනීම අපහසු කාරණයක්‌ විය. අවසානයේ වසර 17 ක ප්‍රයත්නයකින් පසුව මානව හිමිකම් කොමිසම විසින් අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි නීති මාලාවක්‌ ලෙස නොව සාමාජික රටවල් බහුතරයක්‌ අනාගතයේදී කැමැති කරවාගත හැකිවනු ඇතැයි සිතිය හැකි ලියවිල්ලක්‌ බවට මෙම කෙටුම්පත සකස්‌ කළේය. 1993 ජුනි මස සම්මත කර ගන්නා ලද වියනා ප්‍රකාශය තෙක්‌ එමගින් ප්‍රතිඵලයක්‌ උදා නොවීය. වියනා ප්‍රකාශය විසින් රාජ්‍යයක්‌ ආරක්‍ෂා කළයුතු මානව හිමිකම් පිළිබඳ වූ විස්‌තරාත්මක ලැයිස්‌තුවක්‌ සකස්‌ කළ අතර පෙර නොපැවති කාන්තා හා ළමා හිමිකම් හා ආදිවාසීන්ගේ හිමිකම් පිළිබඳව ද අමතර වශයෙන් අවධානය යොමුකර තිබිණි. වියනා ප්‍රකාශය අනුව

1. විධායක හා කළමනාකරණ බලතල සහිත මානව හිමිකම් සඳහා එක්‌සත් ජාතීන්ගේ මහකොමසාරිස්‌ තනතුරක්‌ හා ඊට අනුබද්ධ ආයතන පද්ධතියක්‌ ස්‌ථාපනය කිරීම

2. රාජ්‍ය නොවන සංවිධාන වෙත මානව හිමිකම් සම්බන්ධව අධීක්‍ෂණය හා විශේෂ කාර්යයන් පැවරීම සිදුවිය.

මානව හිමිකම් මහ කොමසාරිස්‌ කාර්යාලය පිsහිටුවීමෙන් අනතුරුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සඳහා වන කාර්යය

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හා මානව හිමිකම් මහ කොමසාරිස්‌ කාර්යාලය යන අංශ තුන මගින් අධීක්‍ෂණය විය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පිsහිටුවීමත්, එය මානව හිමිකම් සම්බන්ධයෙන් දරන වගකීමත් ඒ සඳහා වන ආයතනගතවීමත් ඉහතින් පැහැදිලි කෙරිණි. ලෝක සාමය සඳහා අවශ්‍ය ප්‍රධාන කාරණයක්‌ ලෙස එ. ජාතීන්ගේ සංවිධානය ස්‌ථාපිත වන අවස්‌ථාවේදීම එය තේරුම් ගෙන තිබුණේ, රාජ්‍යයක ස්‌වෛරීභාවය පිළිගැනීමය. ඒ අතරේම මානව හිමිකම් සඳහා ද එමගින් පැහැදිලි අවශ්‍යතාවයක්‌ මතු කළේය. ශ්‍රී ලංකාවට එරෙහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරිපිට ඇති ඇමරිකාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව මතුපිටින් බැලූ විට මානව හිමිකම් සඳහා වන යෝජනාවක්‌ සේ පෙනුණත් එයින් අවසානයේදී සිදුවන්නේ රාජ්‍යයක ස්‌වෛරීභාවයට අභියෝග කිරීමය.

එල්. ටී. ටී. ඊ. යට එරෙහිව සිදුකරන ලද මානුෂීය මෙහෙයුමේදී යටත් වූ ත්‍රස්‌තවාදීන්ට වෙඩි තැබීම හා සිවිල් වැසියන් ඝාතනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ශ්‍රී ලංකාව විසින් සිදුකරන ලද කාර්යභාරය ලෝකය අද මුහුණපා සිටින විශාලතම අභියෝගයකට මුහුණදීමක්‌ ලෙස සැලකිය හැකිය. ගෝලීය ත්‍රස්‌ත ජාලයේ ජවසම්පන්නම පුරුකක්‌ ශ්‍රී ලංකාව විසින් ඉමහත් ප්‍රයත්නයක්‌ දරා ඉවත් කරනු ලැබීය. ත්‍රස්‌තවාදය ප්‍රධාන වශයෙන්ම හානි පමුණුවන්නේ මානව හිමිකම්වලට හා රාජ්‍යයේ ස්‌වෛරීභාවයටය. ඒ අතින් ශ්‍රී ලංකාව සිදුකර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ප්‍රමුඛ අරමුණු දෙකම ඉටුකරනා කර්තවයකි. ඒ සඳහා දරන ලද වෑයමේදී සමස්‌තයම සාපේක්‍ෂව ගත් විට නොසැලකිය හැකි සුළු ප්‍රමාණයකින් අහිංසකයන්ගේ මානව හිමිකම් කඩවන්නට ද ඇත. නමුත් එය ඉතිහාසයේදී හා වර්තමානයේදී අද ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන එන රටවල් විසින් ලෝකය පුරා කරන ලද බලහත්කාර ප්‍රයත්නවලදී කඩවුණු මානව හිමිකම් සමඟ සැසඳීමටවත් නොහැකි තරමේ කුඩා ප්‍රමාණයක්‌ විය. එසේ තිබියදී අද ඇමරිකාව විසින් සිදුකිරීමට සැරසෙන්නේ මානව හිමිකම් කඩවීමේ චෝදනාව මත්තෙන්, පරාජය වූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයේ වුවමනාව ඉටුකර දීමටය. ඇමරිකාව ප්‍රධාන වශයෙන්ම පෙනී සිටින්නේ, අවසානයේදී උතුරු හා නැගෙනහිර දෙපළාත තුළ ඊළමක්‌ බිහිකර ගැනීම සඳහා අවශ්‍ය වන වටපිටාවක්‌ නිර්මාණය කර දීමටය. එසේ නම් ඇත්තවශයෙන්ම එ.ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් ත්‍රස්‌තවාදය විසින් මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටි රටක්‌ එයින් බේරාගෙන ජනතාවගේ මානව හිමිsකම් රක්‍ෂණය කළ ශ්‍රී ලංකාවෙන්, ඊට පිළිතුරු විමසීමත්, එසේ විමසමින් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට අතපෙවීමත් ඇමරිකාව විසින් සිදුකරනු ලබයි.

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව හෙට, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් වන යෝජනාව සැලකිය හැක්‌කේ එක්‌සත් ජාතීන්ගේ මූලික එකඟතාවන්ට එරෙහිව ඇමරිකාව සිදුකරනු ලබන කටයුත්තක්‌ ලෙසය.

මෙම යෝජනාව ඇමරිකාව විසින් හදිසියේ ඉදිරිපත් කරන්නක්‌ නොවේ. එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස්‌ ලෙස 2004-2008 සමයේ සිටි ලුවීස්‌ ආබර් ද මෙම මට්‌ටමින් නොවුනද ශ්‍රී ලංකාවට මානව හිමිකම් කඩවීම් පිළිබඳව චෝදනා ඉදිරිපත් කරමින් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් හා ඇන්. ජී. ඕ. සංවිධාන කළ ඉල්ලීමට කන් දෙමින් එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස්‌ ආයතනයේ ශාඛාවක්‌ ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ඉදිරිපත් විය. ඒ සඳහා ඇය ශ්‍රී ලංකාවට ද පැමිණියාය. නමුත් රජය එයට එරෙහිවීම හේතුවෙන් එය පිහිටවූයේ නැතත්, ශ්‍රී ලංකාවෙන් ඊට කරන පළිගැනීමක්‌ ලෙස අර්බා විසින් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන රටක්‌ බවට පත්කිරීමට අගතිගාමී උත්සාහයක නිරත විය. එය සිදුවූයේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව යුද්ධ කරන සමයේය. දැන් බලපෑම පැමිණෙමින් තිබෙන්නේ ත්‍රස්‌තවාදය නිමා කිරීමෙන් පසුවය.

ශ්‍රී ලංකාව මෙම යෝජනාවෙන් ජයග්‍රහණය කළ ද එය ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් අධිරාජ්‍යය විසින් දියත් කරනු ලබන අවසාන මෙහෙයුම නොවන බව පෙනෙන්නේ මේ අනුවය. ලුවිස්‌ ආබර්, නවනිදන් පිල්ලේ ආදී සියලු මානව හිමිකම් කොමසාරිස්‌වරියන්ට ද ඇමරිකාවට ද දිගටම අවශ්‍යව ඇත්තේ මානව හිමිකම් රැකීමේ නාමයෙන් ත්‍රස්‌තවාදයේ අරමුණ ඉටුකිරීමටත්, ස්‌වෛරී ශ්‍රී ලංකාවේ ඒකීයත්වය පළුදු කිරීමටත්ය.

හෙට ඉදිරිපත් වන යෝජනාව රටේ අනාගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සේම එක්‌සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන දුෂ්ට ආකාරය සම්බන්ධයෙන් ලෝකයට ද වැදගත් වන බව පෙනී යයි.

-මනෝජ් අබයදීර
උපුටා ගැනීම
දිවයින 
2012/03/21 

Related

මනෝජ් අබයදීර 2031200460339469271

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item