මේ අන්තිම අවස්‌ථාවයි

-ආචාර්ය ගුණදාස අමරසේකර 1984 දී දෙමළ ජාතිවාදීන් තිම්පු සාකච්ඡාවේදී ඉදිරිපත් කළ ඊළාමය ලබා ...

-ආචාර්ය ගුණදාස අමරසේකර


1984 දී දෙමළ ජාතිවාදීන් තිම්පු සාකච්ඡාවේදී ඉදිරිපත් කළ ඊළාමය ලබා ගැනීමේ අපේක්‍ෂාව දැන් තිස්‌ වසරකට පසු ටී. එන්. ඒ. ප්‍රධාන දෙමළ ජාතිවාදීන් විසින් ඉතා ප්‍රබල ලෙස ඉදිරිපත් කර තිබේ. පෙර කිසිවිටක ප්‍රදර්ශනය නොකළ විශ්වාසයකින් යුතුව ඊළම ලබා ගැනීමේ ක්‍රියාමාර්ග වෙත දැන් ඔවුන් පිවිස ඇති බව පෙනෙන්නට තිබේ. ඉඩම් බලතල, පොලිස්‌ බලතල, මුදල් බලතල දීමට පොරොන්දු නුනොත් රජය පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාවට තමන් නොයන බව ඔවුන් තර්ජනාත්මක ස්‌වරයෙන් පවසා ඇත. මෙය දෛවයේ සරදමක්‌ වැන්න. අපේ වීරෝදාර හමුදාව විසින් හැට දහසක්‌ ජීවිත පරිත්‍යාග කර ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කිරීමෙන් පසු මේ දෙමළ ජාතිවාදීන් ප්‍රභාකරන් ඉල්ලා සිටි ඊළාමය අතහැර අප සමග කිසියම් බලය බෙදා ගැනීමකට එළඹෙනු ඇතැයි අපි විශ්වාස කළෙමු. එහෙත් සිදුවී ඇත්තේ ඊට හාත් පසින් වෙනස්‌ දෙයක්‌ නොවේද?
පසුගිය කාලය තුළ එක දහ දොළොස්‌ වතාවක්‌ ඉන්දියානු උපදේශකයන් හමුවීමට ගිය මේ දෙමළ ජාතිවාදීන් දැන් ප්‍රභාකරන්ගේ අවිගත් ත්‍රස්‌තවාදය වෙනුවට දේශපාලන ත්‍රස්‌තවාදයක්‌ ආරම්භ කර ප්‍රභාකරන් ඉල්ලා සිටි දෙයම දෙන ලෙස ජනාධිපති ප්‍රධාන රජයට තර්ජනය කර ඇත. ප්‍රභාකරන් විනාශ කිරීම මගින් අප කර ඇත්තේ මේ ටී. එන්. ඒ. ත්‍රස්‌තවාදීන්ට සිය අභිලාෂයන් ඉටු කර ගැනීමට මඟ සැලැස්‌වීමද යන සැකය මා සිත තුළ පසුගිය කාලය තුළ මතුව ආවේ වරක්‌ දෙවරක්‌ නොවේ.
අප ප්‍රභාකරන් වැනසීමෙන් කර ඇත්තේ ටී. එන්. ඒ. දේශපාලන ත්‍රස්‌තවාදීන්ට ඊළාමය ලබා ගැනීමට පාර කැපීමද යන සැකය, මේ රජය ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සුදානම් වූ හැම විටකම මා සිත පහළ වූවකි. අප කර ඇත්තේ ප්‍රභාකරන්ගේ අඥන දඩබ්බර ත්‍රස්‌තවාදී ක්‍රියාමාර්ගය විනාශ කර ඊට වඩා ප්‍රඥසම්පන්න දේශපාලන ත්‍රස්‌තවාදී ක්‍රියාමාර්ගයකට ඉඩ සැලසීමක්‌ද? මේ ටී. එන්. ඒ. ත්‍රස්‌තයන් එක්‌ක මඟුල් කන්න හදනවට වැඩිය හොඳයි ප්‍රභාකරන් එක්‌ක තව අවුරුදු පහක්‌ යුද්ධ කරලා රට බේරගන්න ලැබුණා නම් යනුවෙන් මගේ මිත්‍රයකු පසු ගියදා මා සමග කී කියමන මාගේ සැකය තහවුරු කරන්නක්‌ විය.
මේ සැකය එසේ නොව මුළුමනින්ම මා සිත තහවුරු කරන ලියවිල්ලක්‌ පසුගිය දිනෙක කියවීමේ අවස්‌ථාව මට ලැබිණ. එය සපයා ඇත්තේ උදයන් හා සුදර්ඔලි යන පුවත්පත්වල ප්‍රධාන කර්තෘව සිටි විද්‍යාධරන් නාඩේෂපිල්ලේ නමැති දෙමළ ජාතිවාදියා විසිනුයි. ඔහු දෙමළ ජාතිවාදී ක්‍රියා මාර්ගය සමග බද්ධවී සිටි ප්‍රභාකරන් ඇන්ටන් බාලසිංහම් ආදීන් ඉතා ළඟින් ඇසුර කළ පුද්ගලයකු බව ඒ ලියවිල්ලෙන් පෙනේ. විද්‍යාධරන් සම්මුඛ සාකච්ඡාවක්‌ මඟින් ඉදිරිපත් කර ඇති ඒ අදහස්‌ අප විසින් මේ අවස්‌ථාවේදී ඉතා සැලකිල්ලෙන් සලකා බැලිය යුතු වෙයි. එය ටී. එන්. ඒ. ප්‍රධාන වත්මන් දෙමළ ජාතිවාදීන් ගෙන යන ක්‍රියාමාර්ගය මේ යෑයි පෙන්වන ආලෝක ධාරාවක්‌ සපයන්නකි.
විද්‍යාධරන් එහිදී ඒ අදහස්‌ ප්‍රකාශ කරන්නේ ඒවා ඇන්ටන් බාලසිංහම් ගේ මුවගට නඟාලමිනුයි. විද්‍යාධරන් නඩේෂපිල්ලේට න්‍යාය පත්‍රයක්‌ තිබේ. උතුරු පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති තනතුරට තරග කිරීමට ඔහුට අවශ්‍යව තිබේ. එබැවින් ඔහු ඇන්ටන් බාලසිංහම්ගේ මුවගට දමන වචන අප පරිස්‌සමෙන් සලකා බැලිය යුතුයි. (ඇන්ටන් බාලසිංහම්ට වෙනම ඊළාමයක්‌ අවශ්‍ය නොවී යෑයි යන්න එවැන්නකි. ඒ බොරුව විද්‍යාධරන්ගේ න්‍යාය පත්‍රයට අනුව බාලසිංහම්ගේ කටට නඟන ලද්දක්‌ බව අපට පැහැදිලි විය යුතුයි.
ඒ සියල්ල කෙසේ වුවත් විද්‍යාධරන් ඇන්ටන් බාලසිංහම් මඟින් ඇන්ටන් බාලසිංහම්ගේ කටින් ඉදිරිපත් කරනු ලබන කරුනු අපට අතිශයෙන් වැදගත් වෙයි. ටී. එන්. ඒ. දෙමළ ජාතිවාදීන් දැන් ගෙන යන ක්‍රියාමාර්ගය අවබෝධ කර ගැනීමට ඊට වඩා හොඳ මඟක්‌ තිබිය නොහැකිය. ඒවා සැකෙවින් මෙවැනිය.
ඇන්ටන් බාලසිංහම්ට අනුව ප්‍රභාකරන් යනු දේශපාලනය නොදන්නා "කැලෑ සතෙකි" ඔහුගේ විනාශයට මුල් වූයේ මේ මුග්ධ භාවයයි. සිංහල නායකයන් බය කර ගැනීමෙන් පසු තමා යුද්ධයෙන් පැරද විය නොහැකි යෑයි ඒත්තු ගැන්වීමෙන් පසු ඔහුට කරන්නට තිබුණේ රජය ඉල්ලා සිටි දේශපාලන සාකච්ඡාවට සහභාගි වී 13 සංශෝධනය අනුව පෙඩරල් රාජ්‍යයක්‌ ලබා ගැනීමයි. සෑම සාකච්ඡාවකදී ඇන්ටන් බාලසිංහම් පෙඩරල් අනුමත කරන ලද්දේ ඒ අනුවයි. එය ඇසූ ප්‍රභාකරන් වියරු වැටී බාලසිංහම්ට බැන වැදී ඇත. එදා බාලසිංහම්ගේ ක්‍රියාමාර්ගයට ඔහු අවතීර්ණ වී නම් ප්‍රභාකරන්ට මේ වනවිට සිය අභිලාෂයන් ඉටුකරගෙන ජීවත්වීමට ඉඩ තිබෙනු නොඅනුමානයයි බාලසිංහම් පවසා ඇත.
ඇන්ටන් බාලසිංහම්ගේ මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ කුමක්‌ද? දැන් ටී. එන්. ඒ. ප්‍රධාන දෙමළ ජාතිවාදීන් සාකච්ඡා ඔස්‌සේ 13+ ලබා ගැනීම මඟින් නිවැරදි මාවතට එළඹ ඇති බව නොවේද? ඒ සඳහා ඔවුන්ට අවහිරයක්‌ව පැවති "කැලෑසතා" අප විසින් විනාශ කර ඇති බව නොවේද? ප්‍රභාකරන් මරා ටී. එන්. ඒ. දෙමළ ජාතිවාදීන්ට සාකච්ඡාවලට එන ලෙස ආයාචනා කිරීමෙන් අප කර ඇත්තේ අපට දිය හැකි උපරිම සහාය ඔවුන්ට ලබාදීම නොවේද?
ටී. එන්. ඒ. දෙමළ ජාතිවාදීන් ප්‍රභාකරන් වැනසීමෙන් පසු පසුගිය කාලය තුළ, ඒ ඇන්ටන් බාලසිංහම් මාර්ගයේ යැම සඳහා අවශ්‍ය පසුබිම ඉතා සාර්ථක ලෙස ගොඩනගාගෙන ඇති බව අපට පෙනී යා යුතුය. එදා ප්‍රභාකරන් නිසා විරසකව සිටි ඉන්දියාවේ උපදේශකත්වය, අනුග්‍රහය හා ආශිර්වාදය නොමඳව හිමිකර ගැනීමට ඔවුහු සමත් වී සිටිති. ඉන්දියාවට ද සිය සදාකාලික අභිලාෂය මේ රට සිය ආධිපත්‍යයට යට කර ගැනීමේ අභිලාෂය ඉටුකර ගැනීමේ අවස්‌ථාව පෑදී තිබේ. ප්‍රභාකරන්ගේ මළකඳේ උණුසුම නැතිවීමට පළමු ඉන්දීය රජයේ නියෝජිතයෙකු මෙහි පැමිණ 13+ ක්‍රියාවට නගන ලෙස බලකර සිටිය සැටි අපට අමතක විය යුතු නොවේ. ප්‍රභාකරන් වැනසීමට අවශ්‍ය පසුබිම තමන් විසින් සලසා දෙන ලද්දේ 13 ක්‍රියාත්මක කිරීමට එකඟ වීම සමඟ බව ඉන්දියාව පුන පුනා ප්‍රකාශ කර ඇත.
පසුගියදා මෙහි පැමිණි විදේශ ඇමැති ක්‍රිෂ්ණා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 13 ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී ඇතිය යන බොරුව මගින් ජනාධිපති හිරකර තැබීමට කටයුතු කළ සැටි අපි දුටිමි. ටී. එන්. ඒ. දේශපාලන ත්‍රස්‌ත්‍රයන් සමග සාකච්ඡාවට යැමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තල්ලු කරන ලද්දේ ද ඉන්දියාව විසිනුයි. ජී. එල්. පීරිස්‌ ඇමැතිවරයා ලවා පැකේඡ් ලබා දීමට එකඟ වන ඒකාබද්ධ ලියවිල්ලකට අනුමැතිය ලබා ගත් සැටිද අපට මතක තිබිය යුතුය.
ඉන්දියාවට අමතරව ඇමරිකාව ප්‍රධාන බටහිර සතුරු බලවේග සිය පසුබිම සකස්‌ කර ගැනීම සඳහා යොදා ගැනීමටද ටී. එන්. ඒ. දෙමළ ජාතිවාදීහු සමත් වී සිටිති. මේ ලියන මොහොත වන විට ඔවුන් ඉන්නේ හිලරි ක්‌ලින්ටන් ප්‍රධාන ඇමරිකානු නායකයන් සමගයි. තව ටික දිනකින් රොබට්‌ ඕ බේලේක්‌ මෙහි පැමිණ සම්බන්ධන් හමුවන බව දැන ගන්නට තිබේ. මේ බටහිර සතුරන් මෙහිලා යොදා ගනු ලබන්නේ මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවයි. එහිදී ඔවුන් අනුගමනය කරන්නේ මඟ සිටියොත් තෝ නසී - ගෙදර ගියොත් අඹු නසී යන න්‍යායයි. මහින්ද රාජපක්‍ෂ 13 සංශෝධනය දුන්නොත් යුද අපරාධ චෝදනා අත්හිටවන බව අඟවන ඔවුහු එමඟින් ඇතිවන තත්ත්වය ගැන මැනවින් දනිති. 13 සංශෝධනය දෙන ජනාධිපතිවරයා ඉමහත් අප්‍රසාදයට පත්ව ජනතාව ගෙන් වියෝවී තනි වන සැටිද යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට අවස්‌ථාව එවිට පෑදෙන බවද ඔවුහු හොඳින් දනිති.
අද මුහුණ දීමට සිදුවී ඇති මේ භයානක ඉරණමෙන් රජයත් රට ජාතියත් බේරා ගන්නේ කෙසේද? මීට අප මුහුණ දෙන ආකාරය උඩ අපගේ අනාගත පැවැත්ම මුළුමනින්ම රඳා පවතින බව අප විසින් වටහා ගත යුතුයි. සතුරා කියන අයුරු කටයුතු කිරීමට අප සුදානම් වුවහොත් එය රටේ ජාතියේ අවසානය වනු ඇත. අප හමුවෙහි ඇති ප්‍රධානම ප්‍රශ්නය මෙයයි.
ඊට පිළිතුරු පසුගිය දිනෙක ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කර ඇති බව මම දුටිමි. එනම් 13 සංශෝධනයේ ඇති ඉඩම් බලතල, පොලිස්‌ බලතල පාර්ලිමේන්තු පනතක්‌ මඟින් අහෝසි කිරීමයි. මේ සම්‍යද්‍රෘෂ්ටිය කල් පසුව හෝ ඇතිවීම වාසනාවකි. රටේ ජාතියේ වාසනාවට ඊට අවශ්‍ය තුනෙන් දෙකේ බලයද අප සතුව තිබේ. එබැවින් මේ පියවර නොපමාව අරගත යුතු වෙයි.
13 සංශෝධනයෙන් පොලිස්‌ ඉඩම් බලතල ඉවත් කිරීමේ මේ පියවර වහ වහා ගැනීමේ ඇති කාලීන වැදගත්කම දක්‌වන ලිපියක්‌ පසුගිය දිනෙක නීතිඥ ගොමින් දයාසිරි මහතා විසින් ඩේලිමිරර් පුවත්පතට සපයා තිබිණ. යම් හෙයකින් ඒ කටයුත්ත තුනෙන් දෙකක බලයක්‌ ඇති මේ අවස්‌ථාවේ ඉටු නොකළහොත් එවැනි අවස්‌ථාවක්‌ මතු කිසිදිනක නොලැබෙන බවද මේ අවස්‌ථාව අත හැරීම යනු අපේ රටේ ජාතියේ අවසානය ආරම්භ වන බවද ඒ මහතා විසින් පෙන්වා දී තිබිණ.
දෙමළ මිනිසුන්ට යම් ප්‍රශ්නයක්‌ වේ නම් එය විසඳීමට පෙර, අද හිස ඔසවා ඇති ටී. එන්. ඒ. දේශපාලන ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම ඒ සඳහා ඇති පූර්ව කොන්දේසියක්‌ බව ජනාධිපතිතුමා ප්‍රධාන රජය විසින් වටහා ගත යුතු වෙයි. පළමු පූර්ව කොන්දේසිය වු ප්‍රභාකරන්ගේ අවිගත් ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැම්මේ යම් සේද මේ දෙවන කොන්දේසියද ඒ අයුරින්ම මුලිනුපුටා දැමිය යුතුවෙයි. ඒ සඳහා කළ යුතුව තිබුණේ. ප්‍රභාකරන් විනාශකොට අසීමිත බලයක්‌ තමා අතට පත් වූ මොහොතේ දහතුන්වෙනි සංශෝධනය සහමුලින්ම ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීම මඟිනුයි. අඩුගණනේ දැන්වත් පොලිස්‌බලතල සහ ඉඩම් බලතල 13 න් ඉවත් කිරීම අනිවාර්ය විය යුතුයි. එය දැන්වත් නොකළ හොත් ටී. එන්. ඒ. ත්‍රස්‌තයන් ඉන්දියාවත් බටහිරයනුත් හවුල් කරගෙන අටවා ඇති මේ මර උගුලෙන් බේරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට නොහැකිවනු ඇත.
විජාතික සතුරු බලවේගවල සියලු බලපෑම් නොතකා ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කිරීමට ඉදිරිපත්වූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට මේ නිර්භය පියවර ගැනීමට අවශ්‍ය ධෛර්යය අධිෂ්ඨානය ඇති බව අපගේ විශ්වාසයයි. අප මෙවැන්නක්‌ යෝජනා කරනු ලබන්නේ එහි ආදීනව ඉන් උද්ගතවන තත්ත්වය ගැන වැටහීමකින් තොරව නොවේ.
මෙවැනි පියවරක්‌ ගැනීමත් සමඟ බටහිර ජාතීන් විසින් අප දණ ගස්‌වනු සඳහා විශාල ආර්ථික සම්බාධක ඉන්දියාවත් හවුල් කරගෙන පනවනු ඇත. විශාල තහංචි පනවනු ඇත. ඔවුන් මත යෑපෙන අපගේ විජාතික ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙන තැනට කටයුතු කරනු ඇත. එපමණක්‌ නොවේ. එවැනි තත්ත්වයක්‌ තුළ රටේ ඇතිවන ජනතා විරෝධය මුල්කරගෙන, පැන නගින කැරළි කෝලාහල ප්‍රයෝජනයට ගෙන සාමයේ නාමයෙන් මේ රට ආක්‍රමණය කිරීමටද මේ බටහිර බලවේග තැත් කරන බව පෙනේ. දැනටම R 2 ඡ න්‍යාය මුල් කරගෙන මේ රට ආක්‍රමණය කළ යුතුය යන මතය මේ සතුරු බලවේග විසින් දියත් කර තිබේ. අරාබිකරයේ, ටියුනීසියාවේ, ලිබියාවේ ඔවුන් කළදේ මේ රට තුළ ද කිරීමට මාන බලනු ඇත.
මේ බිහිසුණු උවදුරු දෙකටම අප නොබියව මුහුණ දිය යුතුයි. මේ රට ජාතිය බේරා ගැනීමට අවශ්‍ය නම්, අපේ දරුවන්ට මේ රට ඉතුරු කිරීමට අවශ්‍ය නම් අප මේ උවදුරු දෙකටම නොබියව මුහුණ දිය යුතුයි.
මේ උවදුරු දෙකටම මුහුණ දීමේ ශක්‌තිය අප සතුව තිබේ. අපට නැත්තේ ඒ සඳහා අවශ්‍ය ජාතිකානුරාගය සහ අධිෂ්ඨානයයි.
අපේ විරෝදාර හමුදාවට උතුරෙන් නැගෙනහිරින් පැන නගින කැරලිකෝලාහල මැඩ පවත්වා සාමය ආරක්‍ෂා කිරීමේ ශක්‌තිය නොමදව තිබේ. අපේ සතුරන්ගේ බස්‌ අසා ඔවුන් ඉවත් කර ගැනීම වෙනුවට මේ අවස්‌ථාවේ කළ යුත්තේ තව තවත් කඳවුරු පිහිටුවා ඔවුන් එහි ස්‌ථාපිත කිරීමයි. අරාබිකරයේ, ඊජීප්තුවේ, ලිබියාවේ කළ දේ මේ රට තුළ කළ හැකියෑයි මේ සතුරු බලවේග කල්පනා කළ හොත් එය අතිශය මුළාවකි. ඒ බිල්ලා පෙන්නා අප බය කළ හැකියෑයි සිතුවොත් එය අතිශය මුළාවකි. දැඩි මහජන අප්‍රසාදයට ලක්‌ව සිටි නායකයන් උන් ඒ රටවල කළ දේ මෙහි කළ හැකි නොවේ. අති මහත් මහජන ප්‍රසාදය දිනා ගෙන ඇති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට එරෙහිව "බෙංගාසිකාරයන්" බිහිකර මෙහෙය වීම එතරම් ලෙහෙසි පහසු නොවෙනු ඇත. ඒ අතරම ලබාගෙන ඇති ඒ ඉමහත් ප්‍රසාදය නැති කර ගන්නා තැනට කටයුතු නොකිරීමට ජනාධිපතිතුමාද වග බලාගත යුතුයි. (මිතුරු වෙසින් පැමිණ ඔහු වටා ඉන්න සතුරන් එන්ජීඕ කාරයන්, ඉන්දියාවේ ඒජන්තයන් ඒ කටයුත්තේ නියෑලී ඇති සැටි අපි දකිමු.)
බටහිරයන්ගේ ආර්ථික සම්බාධක හමුවේ ජීවත්වීමේ හැකියාව අපට තිබේ. 70 - 77 කාලය තුළ අපි එවැනි තත්ත්වයකට මුහුණ දුනිමු. දෙවන ලෝක යුද්ධය සමයේ ඉංගිරිසිකාරයා වෙනුවෙන් එවැනි තත්ත්වයකට මුහුණ දීමට අපි සුදානම් වී සිටියෙමු. දැන් අපේ රට ජාතිය වෙනුවෙන් එවැන්නකට මුහුණ දීමට අපට නොහැක්‌කේ කුමක්‌ නිසාද? අවාසනාවකට මෙන් ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය ජය ගැනීමෙන් පසු අප කටයුතු කළේ එවැනි අවබෝධයකින් නොවේ. කාපල්ලා බීපල්ලා ජොලිකරපල්ලා යන බඩජාරී මාවත වෙතයි මේ රජය අප යොමු කළේ. විජාතික සතුරා ආර්ථික සම්බාධක මඟින් අප දණ ගැස්‌වීමට කටයුතු කරනු ඇතැයි අපි නොසිතුවෙමු. බටහිරයනට එවැනි ශක්‌තියක්‌ තිබුණාද නොතිබුණාද ගෝලීයකරණය කඩා වැටීමත් සමඟ දැන් ඔවුන් මුහුණ පා ඇති මහා ආර්ථික අර්බුදය හමුවේ අපට තව දුරටත් මේ විජාතික ආර්ථික මොඩලය ඔස්‌සේ ඉදිරියට යා නොහැකි බව අප විසින් වටහා ගත යුතුයි. උදාවිය හැකි මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය භාග්‍යය උදාකර දෙන්නක්‌ ලෙස සලකා කටයුතු කිරීමට අප යොමු විය යුතුයි.
මේ රට ජාතිය බේරා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අපි සියලු දෙනා මේ සැණකෙළිය නවත්වා එකසේ දුක්‌ විඳීමට සුදානම් විය යුතු බව දැන්වත් ජනාධිපතිතුමා ප්‍රධාන රජය විසින් ජනතාවට කියා සිටිය යුතුයි. මේ අන්තිම ජාතික ආර්ථිකයක්‌ වෙත යන දුෂ්කර ගමන වෙත පා තැබීම ආරම්භ කළ යුතුයි.
මේ එළඹ ඇත්තේ අපේ රට ජාතිය බේරාගැනීමට ඇති අන්තිම අවස්‌ථාව බව අප සියලු දෙනා විසින්, විශේෂයෙන් සිංහලයන් විසින් මේ මොහොතෙහි අවබෝධකර ගැනීම යෙහෙකි.

-ගුණදාස අමරසේකර

උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-02-12 

Related

ගුණදාස අමරසේකර 5843178183486692353

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item