වෝල් වීදිය අතහැර ඔබාමා සමජවාදී වේ

-කතිකාචාර්ය මහින්ද පතිරණ  වෝල් වීදිය අතහැර ඔබාමා සමජවාදී වේ  වෝල් වීදි විරෝධතාකරුවකු විසින් ලියන ලදැයි සිතෙන තරමට ම ...

-කතිකාචාර්ය මහින්ද පතිරණ 

වෝල් වීදිය අතහැර ඔබාමා සමජවාදී වේ 
වෝල් වීදි විරෝධතාකරුවකු විසින් ලියන ලදැයි සිතෙන තරමට ම සමාජවාදී වීමට මෙවර කොංග්‍රස්‌ කතාවේ දී ජනාධිපති බරක්‌ ඔබාමා විසින් උත්සාහ කරන අතර ම හියුගෝ චාවේස්‌ තරම් ජාතිකවාදියකු වීමට උත්සාහ කළේ ය. ''වෝල් වීදිය ඔවුන්ගේ ම නීතියට අනුව (හිතුමතේ) ක්‍රීඩා කරන යුගයකට ගෙනයාමට මම කිසිසේත්ම එක`ග නොවෙමි'' යි ඇමරිකානු ජනාධිපති බරක්‌ හුසේන් ඔබාමා විසින් පවසන විට කවදත් කැලෑ නීතිය රජයන ධනවාදයේ ආර්ථික ඓක්‍යය වන කිසිදා පිරිමැසිය නොහැකි අසමානාත්මතාව හේතුවෙන් මාස ගණනාවක්‌ තිස්‌සේ වෝල් වීදිය අල්ලා ගැනීමට මානබලමින් සිටින ඇමරිකානුවන්ගේ පමණක්‌ නොව ලබාගත් උසාවි නියෝගයකට අනුව බ්‍රිතාන්‍යයේ කැමරන් ආණ්‌ඩුව විසින් විරෝධතා භූමියෙන් පලවා හැරීමට ඔන්න මෙන්න කියා තිබෙන ලන්ඩන් වෝල් වීදි විරෝධතාකරුවන්ගේ ද ලේ රත්වූයේ ය. ඒ අන් යමක්‌ නිසා නොව ධවල මන්දිරයේ ප්‍රධාන පදිංචිකරුවා තමන්ගේ සටන් පාඨය ඇමරිකානු කොංග්‍රසයට රැගෙන යාම ය. එහෙත් සමාජවාදයෙන් පමණක්‌ ම දිනා ගැනීමට නොහැකි ඇමරිකාවක්‌ තමා ඉදිරියේ තිබෙන බව සැමට වඩා හොඳින් ඔබාමා දන්නේ ය. ඒ අනුව, විටෙක ඕනෑම දේශපාලකයකුගේ ස්‌වභාවය තහවුරු කරමින් ඔබාමා විසින් කරන්නේ බින් ලාඩන් ඝාතනය සීල් භටයින් ද සමග ම තම සාක්‌කුවට දමා ගැනීම ය. අත්අඩංගුවට ගැනීම සඳහා ඕනෑ තරම් අවස්‌ථාව තිබිය දී, සියලු යුද බිම් සම්ප්‍රදායන් තමා වෙත ආදේශ වීමේ දී ජාතික ආරක්‌ෂාව නැමැති සුදු තිරපටින් වසා දමමින් හා පාකිස්‌ථාන ස්‌වෛරී නීතිය අළුයම ලූ කෙළ පිඩක්‌ සේ උල්ලංඝණය කරමින් බින් ලාඩ්න් මරා දැමීම සඳහා පාකිස්‌ථානයට යන විට සීල් භටයින් රැගෙන ගිය කොඩිය තමා සන්තක උතුම්ම වස්‌තුවක්‌ බව ද ඔහු රණකාමී ඇමරිකාවට පවසන්නේ ය. වසර දහයක්‌ තිස්‌සේ දියත් කළ ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයක අවසානයේ ඇමරිකානු ආර්ථිකය කුඩු පට්‌ටම් වී තිබුණ ද බිල් ලාඩන් ඝාතනය ඇමරිකාවේ මනාව අලෙවිකළ හැකි 'දේශීය භාණ්‌ඩයක්‌' බව අවිවාදිත ය. 

කෙසේ වෙතත් ධවල මන්දිරය වෝල් වීදියේ විරෝධතා අට්‌ටාලයක්‌ වෙතට පාත් කරන අතර ම ඔබාමාට තමා ඉදිරියේ දිස්‌වූයේ බලයට පැමිණ වසර දෙකක්‌ ගතවනවාත් සමග ම තම බලය කප්පාදු කර දැමීමට 'ඇමරිකාව' විසින් කොංග්‍රසයට පත්කර එවන ලද බහුතර රිපබ්ලිකානු කොංග්‍රස්‌ සභිකයින් ය. තම කොංග්‍රස්‌ පුටුව මීළ`ග වාරය වෙනුවෙන් තහවුරු කර ගැනීමට ඕනෑම දෙයක්‌ කරන මේ විරුද්ධ පාක්‌ෂික රිපබ්ලිකානුවන් විසින් ඔබාමාගේ සිහිනය සිහිනයක්‌ පමණක්‌ ම කරනු පිණිස මෙවර තවදුරටත් අදිටන් කර ගන්නවා ඇත. ඒ නිසා තව නොබෝ කලකින් ජනාධිපති මැතිවරණයට මුහුණ දීමට සිටින ඔබාමා හට වෝල් වීදි විරෝධතාකරුවන්ගේ හෙවත් සියයට අනූ නමයේ ඉල්ලුම සුපිරි ව්‍යාපාරිකයින් හෙවත් සියයට එකේ ඉල්ලුමට වඩා ඉදිරියෙන් තැබීම සුළු පටු අභියෝගයක්‌ නොවේ.

''පවතින්ට ගොඩ නගන ඇමරිකාව'' නමින් යුතු මෙවර ඔබාමාගේ විනාඩි 71 වාර්ෂික ප්‍රතිපත්ති කතාව තුළ ප්‍රධාන වශයෙන් කැපී පෙනුණ නව ප්‍රතිපත්ති වූයේ අලුතින් බදු පැනවීම්, ආරක්‌ෂක වියදම් කප්පාදු, ''අසාධාරණ'' චීන වෙළෙඳාමට එරෙහි ක්‍රියාමාර්ග, රැකියා නිර්මාණය, අධ්‍යාපනය, කුඩා ව්‍යාපාර, බලශක්‌තිය, යටිතල පහසුකම්, මූල්‍ය අපරාධ යනාදියයි. 

තම දෙවැනි ධුරකාලය සඳහා ජනතාව ඉදිරියට යාමට සූදානම් වන ජනාධිපති ඔබාමාගේ අවසන් ප්‍රතිපත්ති කතාව හුදු ජනප්‍රියවාදී ජනාධිපතිවරණ වේදිකාවක්‌ ලෙස පමණක්‌ සිතා බැහැර කිරීමට නොහැකි වන්නේ එය ඇමරිකාව මේ මොහොතේ මුහුණ දෙන සමාජ හා ආර්ථික අර්බුදය පිළිබඳ මනා කැඩපතක්‌ වන නිසා පමණක්‌ නොව, එම කතාවෙන් කියෑවෙන පණිවුඩය අත්කර ගැනීමට හැකි වූව ද නොවූව ද එම සිහිනය බහුතර ඇමරිකානුවන්ගේ ද සිහිනය වන නිසා ය. එම සිහිනය අන් දෙයක්‌ වන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‌ෂකයකු විසින් මෙවන් 'සමාජවාදී' හා ජාතිකවාදී කතාවක්‌ සමග තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ නැත. එන්න එන්න ම ඈත් වෙමින් තිබෙන ආදායම් පරතරය පිළිබඳ තුන්වැනි ලෝකයට ලේ නෑකම් පාන කළු ජාතික ඔබාමා අතිශය කනගාටු වන්නේ ය. ''අපි එක්‌කෝ එක සමාජ කොටසක්‌ දිනෙන් දින කුඩා වෙමින්, එහෙත් පොහොසත් වෙමින් තිබෙන අතරතුර තවකොටසක්‌ දිනෙන් දින දිළින්දන් වෙමින් තිබෙන රටක්‌ එක්‌ක සෑහීමකට පත් වෙන්න ඕන. එහෙම නැත්නම්, හැමෝට ම සාධාරණ යමක්‌ ලැබෙන, හැමෝම තමන්ගේ කොටස කරන, හැමෝට ම එක ම නීතිය බලපාන ආර්ථිකයක්‌ නැවත ගොඩ නගන්න ඕන... දිනපතා රටේ නීතියට අනුව වෙහෙසෙන මිලියන ගණනක්‌ වන ඇමරිකානුවන්ට එම නීතියට ම අනුව වැඩ කරන ආණ්‌ඩුවකුයි මූල්‍ය පද්ධතියකුයි හිමි වෙන්න ඕන. මේ ඉහළ සිට පහළට ම එක ම නීතිය ක්‍රියාත්මක කිරීමට පැමිණ තිබෙන කාලයයි''. මෙවර ඇමරිකානු ජනාධිපතිවරයකුට වඩා කියුබානු නායක µsදෙල් කැස්‌ත්‍රොaගේ ජාතිය ඇමතීමකට කිට්‌ටු වූ ඔබාමා, ධනවාදයේ ආරක්‌ෂක බලකණු වෙත රොකට්‌ ප්‍රහාර එල්ල කරන්නේ මීට මාස කීපයකට පෙර තම පෞද්ගලික අකමැත්ත මැද වුව ද කර්නල් ගඩාපි වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලට වඩා නිර්දය ලෙස ය. ''කෝටිපතියන්ට සුබසාධක පහසුකම් දීම වොෂින්ටනය නැවැත්විය යුතුයි. ඔබ වසරකට ඩොලර් මිලියනයකට වඩා උපයනව නම් ඔබ විශේෂ බදු සහන ලබානොගත යුතුයි. අනික්‌ පැත්තෙන්, ඔබ වසරකට ඩොලර් දෙලක්‌ෂ පනස්‌ දහසකට වඩා අඩුවෙන් උපයනවනම්- හරියට ඇමරිකානු පවුල්වලින් සියයට 98 ක්‌ වාගේ- ඔබේ බදුබර ඉහළ නොයා යුතුයි''

පත් වී වසර දෙකක්‌ යාමටත් මත්තෙන් මුස්‌ලිම් සම්භවයක්‌ සහිත ජනාධිපතිවරයා ගේ කකුලෙන් ඇද්ද වීම සඳහා ඔහුට ඩිමොක්‍රටික්‌ අසුන් 68 ක්‌ පමණ අහිමි කරමින් අන්ත දක්‌ෂිණාංශික සුදු වර්ගවාදයේ රැල්ල විසින් ඇමරිකානු කොංග්‍රසයට පත්කර එවූ රිපබ්ලිකානු බහුතරයට එරෙහි ව කෙවිට අතට ගැනීමට ද පසුබට නොවන බවට ද ඔබාමා සපථ කරන්නේ ය. ''මම ජනාධිපතිවරයා වෙලා ඉන්න තාක්‌කල් ඉහත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මේ සභාවේ ඉන්න හැමෝම එක්‌ක වැඩ කරන්න මම සූදානම්. ඒත් මම බාධාකිරීමට එරෙහිව මෙවර ක්‍රියාවෙන් මුහුණ දෙනව. මේ ආර්ථික අර්බුදය අප මතට ගෙනා ප්‍රතිපත්තිවලට නැවත යන්න කරන ඕනෑම උත්සාහයකට මම එක හෙළා විරුද්ධ වෙනවා.''

මේ අතර, ධූරයට පත් වූ දා සිට ඊශ්‍රායල් ජනාධිපතිවරයා සමග නිරන්තර ගැටුමක සිටියා පමණක්‌ නොව මීට මාස දෙකකට ඉහත දී ''මට මේ යකත් එක්‌ක හැමදාම ඔට්‌ටු වෙන්න වෙලා තියෙන්නෙ''යි කියමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගැන ප්‍රංශ ජනාධිපතිවරයාට ගතු කිවූ පරිසරයක පවා ඔබාමා මෙවර පවසන්නේ ''තමා ඊශ්‍රායලයේ ආරක්‌ෂාව වෙනුවෙන් යකඩ හස්‌තයක්‌ සේ'' පෙනී සිටින බව ය. පලස්‌තීන-ඊශ්‍රායල් අර්බුදයේ දී ඕනෑම ඇමරිකානු ජනාධිපතිවරයකුට අත්වන අනුකම්පා විරහිත ඉරණම නම් තම හෘද සාක්‌ෂිය කෙසේ කීව ද ඔහු ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ය. මෙය හුදු දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයක්‌ පමණක්‌ නොව ආර්ථික හා එනිසා ම ජාතික ආරක්‌ෂාව පිළිබඳ ප්‍රශ්නයක්‌ ද වන්නේ ඇමරිකාව සදාකල් ම තම බලශක්‌ති අවශ්‍යතා වෙනුවෙන් මැදපෙරදිග මත යෑපීම ය.

ඇමරිකාව විසින් ම වරෙක මෙහෙය වූ ගෝලීයකරණය දැන් ඇමරිකාවට ම එපා වී ඇති සෙයකි. ඊට හේතුව තමා ඇµaගනිස්‌ථානයේ හා ඉරාකයේ යුද්ධ කරමින් සිටින අතරතුර එකී ගෝලීයකරණය චීනය ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක්‌ විසින් 'හයිජැක්‌' කිරීම ය. මේ අනුව වඩාත් ආරක්‌ෂණවාදී ආර්ථික ප්‍රතිපත්තියකට යැම සඳහා ''ගන්න අපේ දේ'' වැනි හේතු පාඨ මේ වන විට ඇමරිකාවට සිහිපත් වෙමින් තිබේ. එහි දී ඔබාමා උදම් අනන්නේ ''මම වෙන කාටත් වඩා වැඩියෙන් චීනයට වැඩේ දුන්නා'' බව පවසමිනි. ඊනියා අසාධාරණ චීන වෙළෙඳ භාවිතයෙන් පාලනය කිරීමට තමා ආයතනයක්‌ පිහිටුවන බව ඔබාමා පවසන්නේ තමා පරදවමින් නැගී එන චීනයට පහර දීම යනු 'චීන බිය රෝගයෙන්' පෙළෙන ඇමරිකානුවාගේ ඇට, මස්‌, ලේ, නහරවලට ම බසින බෙහෙතක්‌ නිසා ය. මෙම ආරක්‌ෂණවාදී ජාතිකවාදයට ම තවදුරටත් උල්පන්දම් දෙන ඔබාමා පිටරට ගොස්‌ ව්‍යාපාර කරන ඇමරිකානු ව්‍යාපාරවලින් ඉල්ලා සිටින්නේ නැවත වරක්‌ සියරට විත් තම සහෝදර ඇමරිකානුවන්ගේ විරැකියාව සනහන ලෙස ය. 

මේ අතර ඉරාකයෙන් තම හමුදාව නැවත ගෙන්වා ගැනීම, බින් ලාඩන් ඝාතනය හා තලේබාන් බලය බිඳීම ආදී මතභේදාත්මක කාරණා තම ධුර කාලයේ ජයග්‍රහණ ලෙස ඔබාමා විසින් ඉස්‌මතු කරන විට නැගෙන බරපතළ ප්‍රශ්නය නම් ඒවා ඇත්ත වශයෙන් ම ඇමරිකානු ජයග්‍රහණ ද යන්න ය. ඉරාකයේ ඇමරිකානු හමුදා නැවත වරක්‌ තම රටට ගියේ ඉරාක පාලනය හා ඇමරිකාව අතර මෙම භටයින් තවදුරටත් රඳවා තැබීමට කළ සියලු සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ය. ඇමරිකානු හමුදාවන් ඉරාක නීතියෙන් නිදහස්‌ කිරීම ඇතුළු ඇමරිකානු ඉල්ලීම්වලට ෂියා ඉරාක පාලනය එක`ග නොවූයේ ඉරානයේ බලපෑම් මත බව නොකිව මනා ය. මේ අනුව, මෙහි දී ඔබාමා ලංවන්නේ අන් අරුතකින් යුතු ව වුව ''මරණය ජයග්‍රහණයකැයි සිතේ මට'' කිවූ මහගම සේකරයන්ට ය. බිල් ලාඩන් ඝාතනය පවා දිගුකාලීන වශයෙන් ගත් කළ ඇමරිකානු පරාජයක්‌ බව එරටට පාකිස්‌ථානය නමැති තීරණාත්මක මිතුරා අහිමි වීමෙන් හා පාකිස්‌ථානය හා චීනය අතර වන සබඳතාව නව උස්‌ තැනකට යාමෙන් පැහැදිලි වේ. වර්තමාන ඇමරිකාව තලේබාන් සංවිධානය සමග සාකච්ඡා කිරීම දක්‌වා වන තැනකට වැටීම පමණක්‌ නොව එම සාකච්ඡාවලට යාමේ දී එරට තුළ දිනෙන් දින වැඩිවෙමින් පවතින බටහිර හමුදා මරණ හමුවේ දුර්වල පාර්ශ්වය ලෙස එසේ යැම ම ඔබාමා ජනතාව ඉදිරියේ තබන ඇමරිකානු 'ජයග්‍රහණවල' නියම තත්වය පැහැදිලි කරන්නේ ය. 


ලිබියාවේ නැවතත් ගඩාපි ධජය එසවේ


බටහිර පූර්ණ මිලිටරි-දේශපාලන බලය බෝම්බවලට කැටි කොට ලිබියාවේ ගම් නියම් ගම් බිමට සමතලා කිරීමෙන් පසු අයකු කල්පනා කළේ ගඩාපි යුගය අවසන් බව ය. එහෙත් පසුගිය 23 වැනි දින ඔවුන් පුදුමයට පත් විය. එදින එක්‌වර ම බානි වලීඩ් නගරය පුරා දිස්‌ වූයේ ගඩාපිගේ තද කොළ පැහැති ධජ හා පතාක ය. ගඩාපිට හිතවත් ලෙස කටයුතු කළ පිරිසක්‌ අත්අඩංගුවට ගෙන අන්තර්වාර රජයේ පාලනය යටතේ පවතින හමුදා බැරැක්‌කයකට ගෙන ගිය පිරිසක්‌ නැවත පැමිණියේ නැත. පසුව නගරයේ වැඩිහිටියන්ට දැනගන්නට ලැබුණේ මෙම පිරිස අන්තර්වාර පාලන හමුදා විසින් අමානුෂික ලෙස මරා දමා ඇති බව ය. තවදුරටත් ඉවසා සිටීම වීරයකු ලෙස මියගිය තම ආදරණීය නායකයාට ද කරන අගෞරවටක්‌ ලෙස සිතූ ගඩාපි හිතවත්තු නගරයේ තිබෙන සියලු හමුදා බැරැක්‌කවලට එරෙහි ව සන්නද්ධ කැරැල්ලක්‌ මෙහෙය වූහ. ප්‍රතිඵලය නොසිතූ විරූ තරම් ය. නැගෙන මැඬලිය නොහැකි සන්නද්ධ බලය හමුවේ අන්තර්වාර පාලන හමුදාවෝ අනෙකා පරයා හිස්‌ ලූ අත දිවගියහ. අවම වශයෙන් හතර දෙනකු පමණක්‌ ජීවිතක්‌ෂයට පත්කරමින් නගරයේ බලය ගඩාපි හිතවතුන් අතට පත්විය. 

ටි්‍රපොලි අගනුවරට කිලෝමීටර් 110 ක්‌ ගිනිකොන දෙසින් පිහිටි බානි වලීඩ් නගරය පසුගිය කැරැල්ලේ දී අවසාන වරට බටහිර සහාය ලබන කැරලිකාර හමුදා අතට වැටුණු නගරයකි. වාර්µල්ලා නමැති බලසම්පන්න ගෝත්‍රයේ මර්මස්‌ථානය වන මෙම ප්‍රදේශය අවසාන වශයෙන් කඩා වැටීමට පෙර තිබුණේ ගඩාපි පුත් සයිෆ් අල් ඉස්‌ලාම්ගේ පාලනය යටතේ ය. සයිෆ් දැනට සින්ටාන් නමැති ගෝත්‍ර අත් අඩංගුවේ පසුවන අතර අදාළ ගෝත්‍රය විසින් නිවේදනය කර තිබුණේ තමා ගඩාපි පුත්‍රයා ටි්‍රපොලි පාලනය වෙත හෝ හේග්හි අන්තර්ජාතික යුද අධිකරණය වෙත ලබා නොදෙන බව ය. තම නායකයා දිවිහිමියෙන් හෝ ආරක්‌ෂා කිරීමට ඇප කැප වී සිටින පිරිසක්‌ වෙසෙන බානි වලීඩ් හා සර්ට්‌ වැනි ලිබියාවේ බටහිර කලාපය පසුගිය සමය පුරා ම පවතින අන්තර්වාර පාලනය වෙත දැඩි තර්ජනයක්‌ එල්ල කරමින් තිබිණි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී අන්තර්වාර පාලන සෙබළුන් 15 දෙනකු පමණ ගඩාපි හිතවාදී සෙබළුන් විසින් මරා දමන ලදී. ඔක්‌තෝබර් 23 වැනි දින නිල වශයෙන්, ලිබියාව මුදාගත්බව අන්තර්වාර පාලනය විසින් ලෝකය හමුවේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ගඩාපි පක්‌ෂපාතීන් ලද ප්‍රථම වැදගත් පන්නයේ ජයග්‍රහණය ඉහත නගරය අල්ලා ගැනීම බව සැලකේ. දැනට ලිබියාව පාලනය කරන අන්තර්වාර රජයේ පැහැදිලි දුබලතාව මෙන් ම එතුළ උග්‍රවෙමින් තිබෙන අභ්‍යන්තර බෙදීම් පිළිබඳ මනා පණිවුඩයක්‌ නවතම ගඩාපි-හිතවාදී කැරල්ල විසින් මුදාහරිනු ලබයි.

අන්තර්වාර පාලන හමුදා සාමාජිකයින් 30 දෙනකු වත් ගැටුමේ දී අවම වශයෙන් තුවාල ලද බව ගාඩියන් පුවත්පත වාර්තා කළේ ය. අන්තර් පාලනයේ නගර සභා ප්‍රකාශක මහමුද් වාර්ෙµල් මාධ්‍ය වෙත පවසා තිබුණේ මිනිසුන් 100-150 කින් සමන්විත පිරිසක්‌ නගරය වෙත මනා සැලසුම්ගත ක්‌ෂණික ප්‍රහාරයක්‌ දියත් කළ බව ය. අන්තර් පාලන සෙබළුන් බැරැක්‌කයකට කොටු කරගත් ගඩාපි හිතවත් භටයෝ පාසලක හා පල්ලියක රැඳී සිටිමින් එල්ල කළ ස්‌නයිපර් ප්‍රහාර හමුවේ තම තුවාල කරුවන් හෝ ආරක්‌ෂිත ස්‌ථානවලට ගෙන යැමට සතුරන්ට නොහැකි විය. නගරය පුරා ගඩාපි ධජ නැවත වරක්‌ ලෙළදෙන අතර තුර නාගරිකෝ වීදි බසිමින් ප්‍රකාශ කළේ ''අල්ලා. මුවමර් ලිබියා'' යනුවෙනි. ඒ බිඳවැටුණු ගඩාපි රජයේ විප්ලවීය පාඨයයි. තත්වය පාලනය කිරීම සඳහා මිශ්‍රාටා සිට වහා සන්නද්ධ හමුදා හා රථ පිටත් කොට තිබුණ ද ලිබියානු ආරක්‌ෂක අමාත්‍ය ඔසාමා බිවෙලි බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත පවසා තිබුණේ තත්වය පිළිබඳ මනා තක්‌සේරුවකින් තොර ව තම හමුදා නගරය වෙත ඇතුල් නොවන බව ය.

මෙම ලිපිය ලියවෙන මොහොත වන විට ගඩාපි-කැරැලිකරුවන් හා අන්තර්වාර පාලන නියෝජිතයින් අතර සාකච්ඡා පැවතෙමින් තිබෙන බව වාර්තා විය. බානි වලීඩ්හි බලගතු වැඩිහිටි නායකයින් පැවසූයේ තම නගරයේ පාලනය ටි්‍රපොලි පාලනයේ මැදිහත් වීමකින් තොරව පවත්වාගෙන යාමට තමාට අවශ්‍ය බව ය. මේ අනුව, නගරයේ ප්‍රධානතම පල්ලියට රැස්‌ වූ වැඩිහිහි නායකයින් 200 දෙනකු විසින් පැවැති අන්තර්වාර පලන සභාව නිෂ්ක්‍රිය කොට තමාගේම පාලන සභාව පිහිටුවීමට කටයුතු කිරීම අන්තර්වාර පාලනයේ දුබල බලය පිළිබඳ වැදගත් සාක්‌ෂියකි. 

මේ සියල්ල අතර අන්තර්වාර පාලනය ප්‍රකාශ කරමින් සිටින්නේ තමා මැතිවරණයක්‌ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ය. එහෙත් එම කතා පිළිගැනීමට ගඩාපි හිතවතුන් පමණක්‌ නොව ගඩාපි රජය පෙරළා දැමීමට දර දිය අදින ලද කැරැලිකරුවක්‌ පවා සූදානම් නැත. කැරැලිකරුවන්ගෙන් සමන්විත වන විරෝධතාකරුවන් සියගණනක්‌ මේ වන විට සති ගණනක්‌ තිස්‌සේ බෙන්ගාසි හි තිබෙන අන්තර්වාර පාලන කාර්යාලය අසල විරෝධතා දක්‌වමින් සිටින්නේ පවතින පාලනය විනිවිදභාවයෙන් තොර බව චෝදනා කරමිනි. මොවුන් නගන තවත් බරපතළ චෝදනාවක්‌ නම් අන්තර්වාර පාලනය විසින් නියෝජනය කරන්නේ ලිබියානු අභිලාෂ නොව බටහිර අභිලාෂ බව ය. තම ඉල්ලීම්වලට ප්‍රතිචාරයක්‌ නොවන තැන විරෝධතාකරුවන් විසින් අන්තර්වාර පාලනය කාර්යාල සංකීර්ණයට කඩා වැදී පාලනයේ නියෝජ්‍ය නායකයා වන අබ්දුල් හµSස්‌ ඝොගා ව ශාරීරික අඩන්තේට්‌ටමට ලක්‌ කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස නියෝජ්‍ය නායකයා එදින ම තම ධුරයෙන් ඉල්ලා අස්‌විය.

ඉරාන සම්බාධක හමුවේ තෙල් මිල නැගෙද්දී මැදපෙරදිග රත්වෙයි


ඉරානයට එරෙහි ව සම්බාධක පැනවීම හරහා ලොව තෙල් මිල සියයට 20 හා 30 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල අනතුරු අ`ගවා සිටියේ ය. අරමුදලට අනුව, සම්බාධක පැනවීම තෙල් බාධකයකට සමාන වන අතර ඉන් නැගෙන කම්පනය දරා ගැනීමට ලෝක ආර්ථිකය අසමත් වනු ඇති බව ය. ලෝක තෙල් නිෂ්පාදනයෙන් සියයට 5 ක ප්‍රමාණයක්‌ නිපදවන්නේ ඉරානය විසින් ය. ලොව පස්‌වැනි විශාලත ම තෙල් නිෂ්පාදකයා වන ඉරානය දිනකට තෙල් බැරල් මිලියන 3.5 ක්‌ නිපදවයි. මේ අතර, ඉරානය විසින් හෝමුස්‌ සමුද්‍ර සන්ධිය වැසීම පිළිබඳ ව කරන තර්ජනය දිගට ම පවත්නේ නම් මෙම තෙල් කම්පනය තවදුරටත් උග්‍ර කරනු ඇති බව අරමුදල අනතුරු අ`ගවා සිටී. මේ වන විටත් ඉරානය හා ඇමරිකාව ඇතුළු බටහිර රටවල් අතර පවතින දේශපාලන අර්බුදය නිසා තෙල් මිලට බලපෑම් එල්ල වී තිබෙන බව අරමුදලේ තක්‌සේරුවයි.

ඉහත තත්වයට තවදුරටත් බලපානු ඇත්තේ වැඩිපුරම තෙල් පරිභෝජනය කරන රටවල සාමාන්‍ය තත්වයට වඩා වඩාත් අඩු තෙල් සංචිත පැවතී ම ය. තව ද තෙල් නිෂ්පාදනය කරන වෙනත් රටවලට කෙටිකාලීන වශයෙන් තෙල් සැපයුම ඉහළ නැංවීමට හැකියාවක්‌ නොතිබීම ද තත්වය උග්‍ර කරන්නකි. මේ අතර, ඉරානය විසින් හෝමුස්‌ සන්ධිය වසා දැමීමට ක්‍රියා කළ හොත් එය ඇමරිකාවේ ප්‍රධානත ම තෙල් සපයන්නා වන සෞදි අරාබියේ තෙල් ද සම්පූර්ණයෙන් විසන්ධි වනු ඇත.

ඇමරිකාවේ නිසරු දේශපාලන මතිමතාන්තරවලට හසු වූ බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ජර්මනිය පසුගිය 23 වැනි දා තීරණය කළේ ඉරානයට එරෙහි සම්බාධක පැනවීමට ය. මේ අනුව ඉරාන තෙල් තම රටවලට ආනයනය කිරීම අදියර කීපයකින් නවතිනු ඇත. මේ වන විට ඒබ්‍රහම් ලින්කන් නැව ඇතුළු ඇමරිකානු යුද නැව් 6 ක්‌ පමණ මූලෝපායික හෝමුස්‌ සමුද්‍ර සංධිය වෙත ගොස්‌ ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් යවා තිබෙන අතර ඉරානය පවසා සිටියේ තම තෙල් අපනයනයට මොනයම් හෝ බාධකයක්‌ වන්නේ නම් තමා අනිවාර්යයෙන් ම සමුද්‍ර සන්ධිය වසා දමන බව ය. බටහිර යුද නැව්වලට අභියෝග කළ හැකි මිසයිල පද්ධති පමණක්‌ නොව මනා ලෙස පුහුණු වූ හා සංවිධිත හමුදාවක්‌ ද ෂියා දේශය සතු ය.

කතිකාචාර්ය මහින්ද පතිරණ 
උපුටා ගැනීම
දිවයින
2012-01-27
 

Related

කතිකාචාර්ය මහින්ද පතිරණ 7181144362459396960

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item