ලසන්ත සහ මාධ්‍ය භාවිතය - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ලසන්තවික්‍රමතුංග මියගොස් වසර තුනක් ඉක්ම  ගිහින්.ඒත් තවමත් මිනීමරුවන් අල්ල ගන්න බැරිවෙලා. මේකෙන් පේනවා මේ රජයේ වැඩපිළිවෙළ මොන තරම් දුර්වල ...


ලසන්තවික්‍රමතුංග මියගොස් වසර තුනක් ඉක්ම  ගිහින්.ඒත් තවමත් මිනීමරුවන් අල්ල ගන්න බැරිවෙලා. මේකෙන් පේනවා මේ රජයේ වැඩපිළිවෙළ මොන තරම් දුර්වල ද කියලා.
ලසන්ත කියන්නේ නිකම්ම මාධ්‍යවේදියෙක් ‍නෙවෙයි. මාධ්‍ය මධ්‍යස්ථානයක් ගොඩ නගපු කෙනෙක්. ආණ්ඩු පක්ෂවලට පක්ෂවෙලා මාධ්‍ය මධ්‍යස්ථාන ගොඩ නගන එක පහසුයි. මොකද? වියදම රජයේ ප්‍රචාරක වැඩ කටයුතු කරල ලබා ගන්න පුළුවන් නිසා. වෙළෙඳ දැන්වීම් වුණත් එතරම් වෙහෙස නොවී හොයා ගන්න පුළුවන්. ඒත් ආණ්ඩුවට විරුද්ධව ලියන පත්තරයක් ගැන ලොකු ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. රජයේ දැන්වීම් කියා සාමාන්‍ය වෙළෙඳ දැන්වීම් වුණත් ගන්න අමාරුයි. වැඩේ කඩා කප්පල් කරන්න බලවතුන්ගේ මෙහෙයුම් එනවා. මේ සියල්ල විඳ දරාගෙන තමා වැඩපිළිවෙළ දියත් කරන්න වෙන්නේ ඒ වගේ ලොකු වැඩක් ලසන්ත කළා කියල හැම දෙනෙක්ම දන්නේ නෑ.
ලසන්ත පත්‍ර කාරයෙක් හැටියට විවිධ අයුක්තීන්ට විරුද්ධව තම පෑන හෙල්ලුව කෙනෙක්. එයා මහින්ද රාජපක්ෂවත් හිත මිතුරෙක් හැටියට ඇසුරු කළ කෙනෙක්. ඒ අනුව හිත තුළ වෛරය උඩ නොවෙයි. තොරතුරුවල වැදගත්කම උඩ පෑන ඔහු මෙහෙයුවා කියල කියන්න පුළුවන්. ඔහු සාමාන්‍යයෙන් භාවිතා කළේ ඉංග්‍රීසි භාෂාව එය ඉතා ඉහළ විදිහට හසුරුවා ගන්නට ඔහුට හැකියාවක් තිබුණා. ඒ වගේම සිංහල පුවත් පතකුත් එතුමාගේ ආයතනයෙන් පළ කළා. එයත් සෑහෙන ප්‍රසිද්ධ පත්‍රයක් වුණා. ලසන්ත තමන්ගේ දේශපාලන මතය සැඟවීමට කටයුතු කළේ නෑ. එක්සත් ජාතික පක්ෂයට හිතවත් වුණත් ලසන්ත තම පුවත්පත තුළ විවේචනය කිරීමට මැලි වුණේ නෑ. ඊට අමතරව සුචරිත ගම්ලත් වගේ මාක්ස්වාදී විචාරකයෙකුටත් නිදැල්‍ලේ අදහස් පළ කරන්නට ඉඩ සලසල දුන්නා. මේ අනුව පත්‍ර කලාවේ මූලික නියමයන්ට ඔහු එකඟව කටයුතු කළා.
පත්‍ර කාරයෙක් හරි තොරතුරු දෙන්න ඕන ඇත්ත තොරතුරු හොයලා පළ කරන එක පරම යුතුකමක්. තමන්ට ඒ නිසා සතුරන් ඇති වුණත් බය නැතිව ඇත්ත හෙළි කිරීම හොඳ පත්‍ර කාරයෙකුගෙන් විය යුතු දෙයක්. නමුත් මොන තොරතුරුද පළ කරන්නේ කියන එක යම් මතවාදයක් උඩ සිදුවෙනව. ඒක නවත්වන්න බෑ. අනෙක් අතට පත්‍ර කාරයෙක් තත්ත්වයන් ගැන විමසුම් කරන්න ඕනා. ඒ අනුව ලසන්ත විවිධ පැතිවලින් විමසුම් ලබා ගන්නට මැලි වුණේ නෑ. ඒ අතර තමන්ගේ විමසුම් ඉදිරිපත් කළේ ඇත්ත තොරතුරු උඩයි. පත්‍ර කලාවේදියෙකුට අයිතිය තිබෙනව දේශපාලන විවරණයන් කරන්න හැබැයි තොරතුරු හංගාගෙන ඒක කරන්න බෑ. ප්‍රශ්නයක් වෙන්නේ තොරතුරු පවා නිර්මාණය කරන්න පටන් ගත්තොත් ඊළඟට ලසන්ත තම පත්‍රය තුළින් වරදට විරුද්ධව අයුක්තියට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට පියවර ගත්ත කෙනෙකුට කියන්න පුළුවන්. යුක්තිය වරද ලසන්ත පාර්ශ්වික ලෙස තෝරා ගත්ත කියල. ඒක වෙන්න පුළුවන්. ඒත් ඉතා තදින් විවිධ ‍පොදු ප්‍රශ්න වෙනුවෙන් ලසන්ත තර්ජන ඝර්ජන නොතකා ඉදිරිපත් වුණා. මේකත් පුවත් පත් කරුවෙක් තුළ තිබිය යුතුම දෙයක්. රටේ තිබෙන ප්‍රශ්න ගැන කිසිම දෙයක් කරන්නේ නැතිව පන්දම් වැඩපිළිවෙළක් ගෙන යාම පත්‍ර කලාවේදියෙක් නොකළ යුතු දෙයක්, ලසන්තට මේ චෝදනාව කිසි ලෙසකින් ඉදිරිපත් වෙන්න බෑ.
ලසන්ත ගෙනගිය වැඩපිළිවෙළ නිසා ඔහුව මරා දැමීමට බලවතුන් ක්‍රියා කළා. ඒත් කවුරු කළාද කියල හොයන්න තවම බැරි වෙලා. සැකපිට ගත්ත අයගෙන් කෙනෙකුත් නැති වෙලා. මේ සියල්ල අභිරහස්. ඇත්ත එළිවෙන්නේ මේ රජය බිඳ වැටුන දාට දැයි කියන ප්‍රශ්නය දැන් මතු වෙලා. කෙනෙකුට රැක ගැනීමට තියෙන රහස් ඔහු හෙළි කළ නිසා ඔහු මරා දැමුවා නම් ඒ රහස් මොනවාදැයි කියන්න පුළුවන් මොකද? ඒවා ඔහුගේ පුවත්පත්වල පළ වෙන්න ඇති නිසා. පත්‍ර බලපුවහම අනුමාන කරල හොයා ගන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් ගැන ස්ථිර අදහසක් එළි වෙලා නෑ. එහෙනම් රහසක් එළිවෙන්න කලින් ඔහුව මරා දැම්මද? එතකොට රහසත් ඔහුත් සමග වැලලී ගියාද? මේ වගේ ප්‍රශ්න නොයෙකුත් විදිහට මතු කළත් ස්ථිර දෙයක් තවම කියන්න පුළුවන් වෙලා නෑ.
තව කරුණක් තමයි ඇමෙරිකාවේ මානව හිමිකම් නඩු වලට තොරතුරු ලබා දුන් නිසා ඔහු මරා දැමුවා කියන කතන්දරය. ඒත් එවැනි නඩුවක් ඒ දිනවල ඇමෙරිකා අධිකරණයට ඉදිරිපත් වුණේ නැති නිසා එයත් පිළිතුරු නැති ප්‍රශ්නයක් බවට පත්වුණා.
කොහොම වුණත් ඔහු මරා දැමුවේ ඉතාම හොඳට සැලසුම් කළ වැඩ පිළිවෙළකින්. අනෙක් අතට ඔහු හොඳටම දැනගෙන හිටිය ඔහුව හඹාගෙන යම් අය පසුපසින් ආ බව. ඒත් තනිවම රිය පදවාගෙන යාමට ඔහු යොමු වුණා. ඇයි එහෙම ක්‍රියා කළේ තමාට අනතුරක් කරන්න එතරම් තත්ත්වයක් නෑ කියල හිතුවද? නැත්නම් තමා අදහන ආගම අනුව යම් අධිෂ්ඨානයක් මගින් ඉදිරියට ගියාද?
තමාට අනතුරු තිබෙන නිසා ආරක්ෂාව ගැන සැලසුම් දමාගන්නට හෝ ආරක්ෂක අංශවලට දැනුම් දෙන්න ඔහු ක්‍රියාකරල තිබුණෙ නැහැ. මාධ්‍යවේදියෙක් හැටියට එවන් ක්‍රියාමාර්ග ගැනීම අනිසියි කියල ඔහු හිතුව වෙන්න ඇති. මරුවා පෙනී පෙනී තමන් තම පත්‍ර වගකීම් කරගැසිය යුතු බව හිතට ගන්න වෙන්න ඇති. ඒත් අනතුරු පෙනෙද්දී යම් උපක්‍රමවලින් ඒවට මුහුණ දීමට වග බලා ගත යුතු බව රහසක් නොවෙයි. විශේෂයෙන් තනිවම නැතිව තව කෙනෙකුගේ පිහිටෙන් විමසුම් සෙවීමට කෙනෙකුට වගකීමක් තිබෙනවා. මෑතක දී තවත් ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් පැවැසුවේ තමා පිටුපස සැක කටයුතු පුද්ගලයෙක් ආ නිසා තම පුත්‍රයාගේද සහය ඇතිව එයට මුහුණ දුන් බවයි. ඒ ගැන  ‍පොලිසියට වහාම දැන්වීමටත්  ක්‍රියාකල බව කියා තිබුණා. කොහොමටත් තමන් මුහුණදෙන ගැටලුව තව අයට කියා සැලසුම් දැමීම වැදගත්. ‍පොලිසිය ගැන විශ්වාස නැති වුණත් ‍පොලිසියට දන්වා සිටීම කළහැකි කළයුතු දෙයක්. ‍පොලිසිය ගැන අවිශ්වාස නම් කළ යුත්තේ සැඟවී පලා යෑමයි. ඒ මග ගත් මාධ්‍යවේදීන් ගණනාවක් දැන් පිටරටවලට පැන ගොස් නිදැල්‍ලේ ඉන්න බවට තොරතුරු ලැබි තිබෙනව. ඉහළ මට්ටමින් තමන්ට අනතුර තිබෙන බවට යම් කරුණු ඔප්පු කළහොත් රැකවරණ ලබා දීමට උනන්දු රටවල් ගණනාවක් තිබෙනව. මේ රජය ගැන සැක කරන දියුණු ලෝකයේ සමහර රටවල් පලා ආ මාධ්‍යවේදීන්ට රැකවරණ ලබා දුන් බව කවුරුත් දන්න දෙයක්. සමහරු බොරුවටත් මේ ඉඩ කඩ යොදා ගන්න බවටත් චෝදනා තිබෙනව. පිටරට ගොස් නිදහසේ ජීවත් වීම උදෙසා නැත්නම්, ආර්ථික අමාරුකම් නිසා බොරු හේතු හදාගෙන පැන යන උදවිය ඉන්න පුළුවන්.
මං හිතන්නේ ලසන්තට ඒ විදියට පිටරට යන්න උවමනා නම් එයට ඕනතරම් ඉඩ තිබුණ. ඒ වුණත් එවැනි දෙයක් කිරීමට එයාට උවමනා වුණේ නෑ. ඔහුට උවමනා වුණේ තමන්ගේ පත්‍ර රාජකාරිය විවෘතවම බය නැතිව කරගෙන යාමයි. තමන් විපක්ෂ නායකයා වගේම ජනාධිපතිත් හොඳින් දන්නා හඳුනන කෙනෙක්. එහෙම තත්ත්වයක් තියාගෙන පලා යෑම දුර්වල කමක් කියල හිතන එක වැරදි නැහැ. ඒත් රුදුරු මිනීමරුවා මේ සම්බන්ධතා බිඳගෙන මතු වුණා. අසත්‍ය රජ වෙන යුගයක බොරුවට මුහුණ දෙන්නේ නැතිව ජීවත් වෙන්න බැහැ. දේශපාලන විචාරකයෙකුට මිතුරන් සතුරන් වෙන් කරලා හිතන්න බෑ. මොකද අද මිතුරා හෙට සතුරා බවට පත් වෙන්න පුළුවන්. එවැනි අනිත්‍ය ලෝකයක නිත්‍ය සැලසුමකට වැඩ කරන්න බැහැ.
ලසන්ත තබා ගිය පිය සටහන් අමරණීයයි. ඒත් ඔහුගේ මරණය ගැන ඇතිවන සන්තාපය හරිම නීරසයි.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
-උපුටා ගැනීම
ඉරිදා ලක්බිම
2012-01-15

Related

වික්‍රමභාහු කරුණාරත්න 4210262766806200484

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item