පළිබෝධ නාශක නැතුව ගොවිතැන් බැරිද?

- මතුගම සෙනෙවිරුවන් ලංකාවේ ගොවි බිම් අතරින් වී ගොවිතැනට සහ එළවලු වගාවට යොදන පළිබෝධ නාශක ප්‍රමාණය පසුගිය කාලයේදී ඉතා විශාල වශයෙන් ඉහළ ...

- මතුගම සෙනෙවිරුවන්
ලංකාවේ ගොවි බිම් අතරින් වී ගොවිතැනට සහ එළවලු වගාවට යොදන පළිබෝධ නාශක ප්‍රමාණය පසුගිය කාලයේදී ඉතා විශාල වශයෙන් ඉහළ ගොස්‌ ඇත. විවිධ වෙළෙඳ නාමයන් යටතේ මේ පළිබෝධ නාශක විවෘත වෙළෙඳ පොළේ දක්‌නට තිබේ. ඒවා භාවිතය උදෙසා නොයෙකුත් වෙළෙඳ දැන්වීම් ඉදිරිපත්වීම නිසා මිලදී ගැනීමේ තරගයක්‌ ද ඇති වී තිබේ. රජයේ කෘෂිකර්ම ව්‍යාප්ති සේවය පසුගිය කාලයේදී අඩාල වීම නිසා ගොවීහු වෙළෙඳ නියෝජිතයන්ගේ උපදෙස්‌ මත මෙකී විවිධාකාර පළිබෝධ නාශක ලබා ගැනීමට වැඩි කැමැත්තක්‌ දක්‌වන බව පෙනී යයි. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ වෙළෙඳ පොළේ පවතින ආහාරවල විශාල වශයෙන් වස විස අඩංගු වීමයි.

අසූව දශකයේ පමණ පරිසරවේදීන්ගේ උනන්දුව මත පළිබෝධ නාශක පිළිබඳ සත්‍යය සමාජයේ කතාබහ වන්නට විය. එයට ප්‍රබල හේතුවක්‌ වූයේ ඇමරිකා එක්‌සත් ජනපදයේ පළිබෝධ නාශක භාවිතය හා එහි ප්‍රතිඵල පිළිබඳව විශිෂ්ට පර්යේෂණ ග්‍රන්ථයක්‌ 1962 දී රැචල් කාසන් මහත්මිය විසින් පළ කිරීමයි. විවිධ වගා ක්‍ෂේත්‍ර ආවරණය වනපරිදි නිබන්ධිත මේ ග්‍රන්ථය ලොව පුරා පරිසරවේදීන්ගේ හෘදය සාක්‍ෂිය අමතන්නක්‌ විය. මේ නිසා පළිබෝධ නාශක භාවිතයට විරෝධීව ඇමරිකා එක්‌සත් ජනපදයේම විශාල රැල්ලක්‌ බිහිවිය. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඩී.ඩී.ටී. ඇතුළු පළිබෝධ නාශක රාශියක්‌ භාවිතයෙන් ඉවත් කරන ලදහ. ඩී. ඩී. ටී. 1970 දී සහ 1977 දී ලංකාවේද තහනම් කරන ලදහ. ඉන්පසු අසූව දශකයේදී 24 ඩී ඩියුරොන්, එම්සීපීඒ, පැරකට්‌, ප්‍රොපනිල්, කැප්ටාන්, මැන්කොසෙබ්, කාබොෆියුරාන් ආදී පළිබෝධ නාශක රාශියක්‌ ඇමරිකාවේදී තහනම් කරන ලදහ. මේවා උග්‍ර විෂ වර්ග වන අතර ප්‍රබල පිළිකා කාරක බව සොයා දැනගෙන ඇත. ඊට අමතරව ප්‍රජනන පද්ධතියට විශේෂ බලපෑම් කරන බවද සොයාගෙන තිබේ.

මෙම පළිබෝධ නාශකයන්ට පදනම් වන විශේෂ රසායන ද්‍රව්‍යයකි ආසනික්‌. රැචල් කාසන් මහත්මිය විසින් පළ කරන ලද (සයිලන්ට්‌ ස්‌ප්‍රීන්) නම් ග්‍රන්ථයේ සිංහල අනුවාදය වන නිහඬ වසන්තය (පරිවර්තනය ආචාර්ය චන්දි රාජපක්‍ෂ) මේ ආසනික්‌ පිළිබඳව මෙසේ සඳහන් කරයි.

දෙවන ලෝක යුද්ධය කෘමිනාශක ලෙස අකාබනික රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීමේ හා කාබන් අණුවේ විශ්මිත ලෝකයට ඇතුළු වීමේ සලකුණු තැබීය. එහෙත් පැරැණි රසායන ද්‍රව්‍ය සුළුතරයක්‌ කෘමිනාශක ලෙස නොනැසී භාවිතයේ පවතී. මේවා අතරින් ආසනික්‌ ප්‍රධානය, වල් නාශක, කෘමිනාශක ගණනාවක මූලික සංඝටකයක්‌ ලෙස එය තවමත් යොදා ගැනේ. ආසනික්‌ දරුණු විස සහිත ද්‍රව්‍යයක්‌ වන අතර ප්‍රධාන වශයෙන් විවිධ ලෝහ සහිත පස්‌ සමග සුළු ප්‍රමාණයන්ගෙන් ගිනිකඳු අසල සාගරයේ හා හිම දිය වෙමින් සැදෙන ජලයේ පවතී. එයට මිනිසාගේ ඇති සම්බන්ධකම් විවිධය. එහි බොහොමයක්‌ සංයෝගවලට විශේෂිත රසයක්‌ නොමැති වීමේ හේතුවෙන් ඓතිහාසිකව ඉතාලි බෝගියස්‌වරුන්ගේ (ඝාතක පරම්පරාවක්‌) කාලයට බොහෝ කාලයකට පෙර සිට අද දක්‌වාම මිනී මැරීමට යොදා ගත් ප්‍රියතම නියෝජිතයෙක්‌ විය. එංගලන්තයේ දුම් කවුළුවල හයිෙඩ්‍රාකාබන් සංඝටක වල ඇති ආසනික්‌ පිළිකාකාරකයක්‌ ලෙස සැලකෙයි. මෙය හඳුනා ගන්නා ලද්දේ ශත වර්ෂ දෙකකට පමණ ඉහතදී ඉංගී්‍රසි ජාතික වෛද්‍යවරයකු විසිනි. දරුණු ලෙස සිදුවූ ආසනික්‌ විසවීම් නිසා මුළු ජනගහනයට ඇතිවූ වසංගත තත්ත්ව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ වාර්තාවී ඇත. ආසනික්‌ වලින් දූෂිත පරිසරයක්‌ ද, අශ්වයන්ගේ හරකුන්ගේ ඌරන්ගේ මුවන්ගේ මාළුන්ගේ හා මී මැස්‌සන්ගේ රෝගී තත්ත්ව හා මරණ ද ඇති කරයි. ඇමරිකා එක්‌සත් ජනපදයේ දකුණු ප්‍රදේශයේ කපු වගාවට යෙදූ ආසනික්‌ සහිත කෘමිනාශක හේතුවෙන් කර්මාන්තයක්‌ ලෙස පැවැති මී මැසි පාලනය සම්පූර්ණයෙන්ම වාගේ විනාශවී ගියේය.

වල් නාශකවල සංඝටකයක්‌ වන ආසනික්‌ ද රසදිය අඩංගු දිලීර නාශකයක්‌ වන මර්කියුරික්‌ ඔක්‌සයිඩ් ද ලංකාවේදී තහනම් කරන ලද්දේ 1988 වර්ෂයේ සහ 1987 වර්ෂයේදීය. 1980 දී පළිබෝධ නාශක පනත ක්‍රියාත්මක වීමට පටන් ගැනීමත් සමගම මෙලෙස පළිබෝධ නාශක විසිපහකට අධික සංඛ්‍යාවක්‌ තහනම් කර තිබේ. එහෙත් ඇමරිකාවේදී තහනම් කරන ලද පැරකට්‌ මෙන්ම මොනොක්‍රොටපස්‌ ද තවමත් ලංකාවේදී භාවිතයට ගැනේ. එසේම මැන්කොසෙබ් අඩංගු පළිබෝධ නාශක වර්ග කීපයක්‌ද කාබොµsයුරාන් සහ එම්සීපී ඒ අඩංගු පළිබෝධ නාශක කීපයක්‌ ද තවමත් ලංකාවේ තහනම් කර නොමැත. 2002 වර්ෂයේද කාබොසල්පාන් අඩංගු පළිබෝධ නාශක අටක්‌ තහනම් කරන ලදහ. පළිබෝධ නාශක පනත යටතේ ආරම්භ කරන ලද පළිබෝධ නාශක රෙජිස්‌ටාර්වරයාගේ කාර්ය භාරය වන්නේ ලංකාවට ගෙන්වන පළිබෝධ නාශක ක්‍ෂේත්‍ර පර්යේෂණයන්ට ලක්‌ කිරීමයි. එහෙත් විද්‍යාගාර පහසුකම් නොමැති හේතුව නිසා මෙරටට ගෙන්වන කිසිම පළිබෝධ නාශකයක්‌ රෙජිස්‌ටාර්වරයා විසින් පරීක්‍ෂා කොට බලා නොමැත.

2011.05.31 සයන්ස්‌ ඇන්ඩ් ටෙක්‌නොලොජි සඟරාවේ පළවූ ඉන්දීය ලේඛක ආදිත්‍ය බත්‍රා කියන පරිදි ලංකාවේ පළිබෝද නාශක කාර්යාලයට ප්‍රමාණවත් තරම් අරමුදල් ලැබෙන්නේනැත. ඔවුහු නිරන්තරයෙන් තම පර්යේෂණ සඳහා පළිබෝධ නාශක ගෙන්වා බෙදා හරින බහු ජාතික සමාගම් මත යෑපේ. පළිබෝධ නාශක උපදේශක කමිටුව මගින් තහනම් කරලීමට නිර්දේශ කරන ලද ඇතැම් පළිබෝධ නාශක තවමත් වෙළෙඳ පොළේ පවතින්නේ මේ හේතුවෙනි.

කෙසේ වෙතත් රජරටට වසංගතයක්‌ වූ වකුගඩු රෝගයට හේතුව පළිබෝධ නාශකවල අඩංගු ආසනික්‌ සහ රසදිය බව කැලණිය සරසවියේ ස්‌වාධීන පර්යේෂණ කණ්‌ඩායමක්‌ සොයා හෙළිදරව් කොට ඇත්තේ කිසිදු රජයේ මුදලක්‌ වියදම් නොකරමිනි. විද්‍යා හා පර්යේෂණ ඇමැතිනිය සඳහන් කරන පරිදි වකුගඩු රෝගයට හේතු සෙවීම සඳහා රජය දැනටමත් රුපියල් දශලක්‍ෂ 40000 ක්‌ වැයකර ඇත. නමුත් ඒ කිසිවක්‌ පළිබෝධ නාශක පරික්‍ෂාවට ලක්‌කර නොමැත. මේ වන විට රේගුව විසින් කරන ලද ස්‌වාධීන පරීක්‍ෂණයකදී ද අදාළ ආසනික්‌ සංඝටක අඩංගු බව සනාථ වී ඇති හෙයින් දැනට ගෙන්වන ලද සියලුම පළිබෝධ නාශක තොග ගුදම්වලම සීල් තබා නිදහස්‌ කිරීම තහනම් කර ඇත.

1985 දී අම්පාර දිස්‌ත්‍රික්‌කයේ වී අස්‌වනු විනාශ වූයේ අහඹු කීඩෑ වසංගතයක්‌ පැතිර යැම නිසාවෙනි. මෙයට හේතුව පළිබෝධ නාශක භාවිතයයි. නිර්දේශ කර තිබුණේ රෝගයක්‌ ඇතිවූ විට පමණක්‌ පළිබෝධ නාශක යෙදීම වුවද ගොවීන් කන්නයකට පස්‌ වතාවක්‌ පළිබෝධ නාශක භාවිත කර තිබිණි. කීඩෑ වසංගතයට හේතුව දැන දැනම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළිබෝධ නාශකයන්ට විරුද්ධව කිසිවක්‌ නොකළහ. ඒ වෙනුවට කීඩෑ හානියට ප්‍රතිරෝධී වී වර්ග සොයා ඉදිරිපත් කිරීමට ඔවුහු උත්සාහ කළහ. නමුත් ගොවීන්ගේ ක්‍ෂේත්‍රයේදී මේ පර්යේෂණ සියල්ල අසාර්ථක වී ඇත. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ගොවීහු අද වන විට හේන්වල උඳු වැපිරීම ඇතුළු භෝග වගාවේදී අධික ලෙසට වල් නාශක යොදති. මානා ඉලුක්‌ ඇතුළු ලඳු කැළෑ කපා සී සෑම වෙනුවට ඔවුහු වල් නාශක ඉස සැනින් වැපිරීම සිදුකර ගෙදර යැම සිරිතක්‌ කර ගෙන සිටිති. මේ නිසා ගොවීන් සහ කෘෂි රසායන ගෙන්වන සමාගම් අතර ඇත්තේ දැඩි කුළුපග බවකි. මේ තත්ත්වය තවත් දැඩි කරලීම සඳහා ප්‍රබල විද්යුත් මාධ්‍ය භාවිත කරමින් සිටිති.

උතුරුමැද පළාතේ වකුගඩු රෝගය ලෙසටම බස්‌නාහිර පළාතේ මී උණ රෝගය අද ප්‍රබල වසංගතයක්‌ වී ඇත. සෞඛ්‍ය බලධාරීන් කුමක්‌ කීවද වී ගොවිතැනට අදාළ මෙවැනි විස තත්ත්වයක්‌ වර්ධනය වී ඇත්තේ අධික වල් නාශක භාවිතය බව අත්දැකීමෙන්ම දනිමි.වසර විසිපහක්‌ පමණ තිස්‌සේ පළිබෝධ නාශක භාවිතයෙන් හා රසායනික පොහොර භාවිතයෙන් තොරව පවත්වාගෙන යන මාගේ කුඹුරත් වල් නාශක බෙහෙවින්ම යොදමින් කඩිමුඩියේ නිමකරන අසල්වැසි කුඹුරුත් සංසන්දනය කරන කල්හි කුඹුරේ ඇතිවන පළිබෝධ හානි සහ මනුෂ්‍යයාට වැළඳෙන විවිධාකාර රෝග බිහිවන්නේ පළිබෝධ නාශක වලින් බව එකහෙලා කිව හැකිය. කකුලේ තුවාලයක්‌ පැවැති අවස්‌ථාවකදී වුවද මාගේ කූඹුරට බැස වැඩ කිරීමේදී එම තුවාල සුවපත් වූ ආකාරය මෙහිදී සඳහන් කළ යුතුය.

වී ගොවිතැනට පමණක්‌ නොව එළවලු පළතුරු ආදී නොයෙකුත් වගාවන් සාර්ථකව පවත්වාගෙන යැමට සැබැවින්ම පළිබෝධ නාශක පමණක්‌ නොව රසායනික පොහොර ද අවශ්‍ය නොවේ. අපේ මුතුන් මිත්තන් කිසි කලක මෙවැනි විස වර්ග වගාවන්ට යෙදීම තබා ඒ පිළිබඳ කල්පනා කළේවත් නැත. එයට හේතුව බොදු දහමින් හික්‌ම වූ මනසක්‌ ඔවුන් වෙත පිහිටා තිබූ බැවිනි. මත්ද්‍රව්‍ය වෙළෙ¹ම, වස විස වෙළෙ¹ම සදාකාලිකව නිරයේ දුක්‌ විඳවීමට සමත් අකුසලයක්‌ බව ඔවුහු හොඳින් දැන සිටියහ. මේ නිසා බෙහෙවින්ම පරිසර හිතකාමී ගොවි සංස්‌කෘතියකට හිමිකම් කීමට අපට හැකිවී තිබිණි.

කලට ගොවිතැන් කිරීම ඉෂ්ඨ දෙවි දේවතාවුන් ස්‌මරණය කරමින් කෘතගුණ සැලකීම මේ සොබා දහම් ගොවිතැනේ මූලාරම්භයයි. යම්කිසි වසංගත රෝග තත්ත්වයක්‌ මතුවුණ කල්හි භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ කොට ගෙන පිරිත් කීම මෙන්ම දේව සංහිඳ අභියස යාතිකා කොට භාර හාර ඔප්පු කිරීම මගින් එම තත්ත්වය සමනය කර ගත්හ. නොයෙකුත් ස්‌වාභාවික ශාක කොටස්‌ උපයෝගී කොට ගෙන ශාක සාර මගින් කෙරෙන වගාවට සාත්තු කිරීම එක්‌ අතකින් ක්‍ෂේම කර්මයකි. කෙම් පහන් යන පොදු නාමය ඒ සඳහා භාවිත කරමින් පළිබෝධකයන් ගොවිපළෙන් ඉවත් කර ගැනීමේ විශ්මිත හැකියාවක්‌ පැරණියන් සතු වූහ. යම්කිසි හෙයකින් ලංකාවට ගෙන්වන පළිබෝධ නාශක සඳහා සීමා පැනවීමක්‌ සිදු වුවහොත් පළිබෝධකයන් සහ වල් පාලනය කර ගැනීම පිණිස පාරම්පරික දැනුම නිසි ලෙස භාවිතා කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම පසුගිය වර්ෂ විස්‌ස පුරාවටම ලැබී ඇති පරිසර හිතකාමී අත්දැකීම්වලින් උකහා ගතහැකිය. මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙසෙසින්ම බෝම්බුවල පර්යේෂණායතනයේ කරන ලද කාබනික වී වගාවේ අත්දැකීම් රාශියක්‌ ගොවීන් අතර බෙදා හැර ඇති බවද සඳහන් කළ යුතුය.

උතුරේ සහ උතුරුමැද පළාතේ ජීවත් වන සිංහල ජනතාව එම පාරම්පරික භූමිවලින් ඉවත් කොට ඊළාම් රාජ්‍ය පිහිටුවීමට බටහිර රටවල් හා ඉන්දියාවේ සහායෙන් මහා ජන ඝාතන යුද්ධයක්‌ දියත් විය. රසායනික අවියක්‌ වන පළිබෝධ නාශක වෙසෙසින්ම ආසනික්‌ යොදා කරන ජන ඝාතනය එහි කොටසකි. මෙම හෝරාවේදී හෙළිදරව් කරමින් පවතින්නේ එම කුමන්ත්‍රණයයි. එම නිසා කෘෂි රසායන භාවිතයෙන් ඉවත්ව ගහ කොළත් සතා සීපාවන් ඇතුළු සමස්‌ත පරිසර පද්ධතියත් රැක ගැනීම සඳහා වූ නව සංවර්ධන ප්‍රවේශයකට එළැඹීමට මෙම ස්‌වර්ණමය අවස්‌ථාව යොදා ගත යුතු යෑයි සිතමි.

මතුගම සෙනෙවිරුවන්
උපුටා ගැනීම
දිවයින
2011/06/19
(2011/06/19 දිවයින පලකල මෙම ලිපිය අදටද ඇති අදාලත්වය සලකා නැවත පල කර ඇත )

Related

මතුගම සෙනෙවිරුවන් 7816884766958739599

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item