පකිස්‌තානු දේශපාලනයට ඉම්රාන්ගෙන් බවුන්සර් පන්දුවක්‌

-චතුර පමුණුව   1992 දී පකිස්‌තානයට ලෝක කුසලානය දිනා දුන් ඉම්රාන් ඛාන් අද නම් ක්‍රිකට්‌ ගසන්නේ නැත. මේ ක්‍රිකට්‌ සුපි...

-චතුර පමුණුව
 1992 දී පකිස්‌තානයට ලෝක කුසලානය දිනා දුන් ඉම්රාන් ඛාන් අද නම් ක්‍රිකට්‌ ගසන්නේ නැත. මේ ක්‍රිකට්‌ සුපිරි තරුව අද පකිස්‌තානයේ ප්‍රකට දේශපාලකයෙකි. 1995 දී ඔහු දේශපාලන ව්‍යාපාරයක්‌ ආරම්භ කළ අතර එය "ටෙරික්‌ ඊ ඉන්සාෆ්" විය. එය යුක්‌තිය උදෙසා වූ දේශපාලන ව්‍යාපාරයකි. එහෙත් 1995 සිට ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට ප්‍රබල ජනප්‍රසාදයක්‌ නම් හිමිවූයේ නැත. එහෙත් දැන් ඉම්රාන් ඛාන් පකිස්‌තානයේ දැවැන්තම දේශපාලන චරිතය බවට පත්වී හමාරය. බ්‍රිතාන්‍ය පෞද්ගලික ආයතනයක්‌ විසින් සිදුකළ සමීක්‌ෂණයකට අනුව වර්තමානයේ පකිස්‌තානයේ ජනප්‍රියතම දේශපාලකයා වන්නේ ඉම්රාන් ඛාන්ය. දෙසැම්බර් 23 වැනිදා නිකුත් කළ දත්තයන්ට අනුව 81% ක්‌ම පවසන්නේ සිය රට නිවැරදි මගට ගත හැකි පුද්ගලයා වන්නේ මේ පැරණි ක්‍රිකට්‌ ක්‍රීඩකයා බවයි.

පුරා වසර 15 ක පමණ දේශපාලන ජීවිතයේදී මැතිවරණවලට මුහුණදීමෙන් ඉම්රාන් ඛාන්ගේ දේශපාලන ව්‍යාපාරය අත්වින්දේ බරපතළ පරාජයන්ය. නිග්‍රහශීලී පරාජයන්ය. එහෙත් දැන් ඒ සියල්ල වෙනස්‌ වී ඇත. ඉකුත් නත්තල් දිනය දා කරච්චියේ පැවැති ඛාන්ගේ දේශපාලන රැස්‌වීමට සහභාගි වූ පිරිස ලක්‌ෂයකට අධිකය. මේ රැස්‌වීම ආවරණය කළ පකිස්‌තාන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියෙක්‌ බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් පුවත්පතට ප්‍රකාශ කර සිටියේ තමන් මෙවැනි ජනකායක්‌ සහභාගි වූ රැලියක්‌ බොහෝ කාලයකින් නුදුටු බවයි.

පකිස්‌තානයේ මැතිවරණය මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබියදී ඛාන්ගේ දේශපාලන ව්‍යාපාරයට සහයෝගය දැක්‌වීමට දහස්‌ ගණනින් පැමිණීම පිළිබඳව අනෙකුත් දේශපාලන පක්‌ෂ නායකයෝ විමතියට පත්ව සිටිති. කරච්චියේ පැවැති "යුක්‌තිය" උදෙසා දේශපාලන ව්‍යාපාරයේ රැස්‌වීමට පැමිණි පිරිස අමතා ඉම්රාන් ඛාන් පැවසුවේ තවත් දවස්‌ 90 ක්‌ ඇතුළත රාජ්‍ය යාන්ත්‍රය පුරා උඩුදුවා ඇති දූෂණය හා වංචාව නැතිකරන බවයි. ඉකුත් ඔක්‌තෝම්බර් මාසයේ ලාහෝරයේදී පැවැති යුක්‌තිය උදෙසා දේශපාලන ව්‍යාපාරයේ රැස්‌වීමටද ලක්‌ෂයක ජනකායක්‌ පැමිණීමත් සමඟ ඉම්රාන්ගේ දේශපාලන ගමන බැබළෙන්නට පටන් ගත්තේය. ඔහු එම දේශපාලන රැස්‌වීම පැවැත්වූයේ පකිස්‌තානයේ ගෝත්‍රික පෙදෙස්‌වලට එල්ලවන ඇමරිකානු ඩොන් ප්‍රහාරවලට එරෙහිවය.

පකිස්‌තානයේ බෝම්බ පිපිරීම්, දේශපාලන ඝාතන මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අඩුවක්‌ නැත. වර්තමාන ජනපති අසිෆ් අලි සර්දාරිගේ බිරිය එනම් හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝද ඝාතනය වූයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකිනි. එහෙත් මේ ඇමරිකන් විරෝධී දේශපාලනඥයා නිරත්නරව බෝම්බ පුපුරන පෙෂාවාර් නගරයට පැමිණියේ වෙඩි නොවදින වාහනයකින් නොවේ. ඔහුගේ රථපෙළ කාර් රථ තුනකින් සමන්විත විය. දහස්‌ ගණන් තරුණ ජනතාව ඔහුව පිළිගන්නට මගදෙපස රැස්‌ව සිටියහ. මෙලෙස ආරක්‌ෂාවක්‌ නැතිව පැමිණීම ගැන ටෙලිග්‍රාෆ් පුවත්පතේ මාධ්‍යවේදියා කළ ප්‍රකාශයට ඉම්රාන් ඛාන් මෙසේ පිළිතුරු දී ඇත.

"ඇත්තටම මට එරෙහිව මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලවෙන්නේ නැහැ. මම පකිස්‌තාන ජාතිකවාදයට ගරු කරනවා. මම ඇමරිකන් හිතවාදියෙක්‌වත් රූකඩයක්‌වත් නොවෙයි."

ඉම්රාන් ඛාන් විරෝධී බලවේග ප්‍රකාශ කරන්නේ මේ දේශපාලකයා තලේබාන් හිතවාදියෙකු බවයි. ඉම්රාන් ඛාන් පවසන්නේ ඇෆ්ගනිස්‌ථානයේ ක්‍රියාත්මක ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය වහා නතර කළ යුතු බවයි.

ඉම්රාන් ඛාන් දේශපාලන වශයෙන් ප්‍රබලයකු වීම නිසා වර්තමානයේ දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය අවධානයද දිනා ඇත. විශේෂයෙන්ම ඉන්දීය පුවත්පත්ද මේ පැරණි ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ දේශපාලන ව්‍යාපාරය ගැන විශේෂ ප්‍රචාරයක්‌ ලබාදී ඇත. හින්දි රූපවාහිනි සේවා කරච්චියේ පැවැති රැලිය සජිවීව විකාශය කිරීම මගින්ම ඉන්දීය මාධ්‍ය ඉම්රාන් ඛාන්ට ලබාදී ඇති ප්‍රමුඛත්වය හොඳින්ම පැහැදිලි වේ. 1952 ලාහෝරයේදී උපන් ඉම්රාන් පශ්තුන් ගෝත්‍රිකයෙකි. ඉහළ මධ්‍යම පාන්තික පවුලක උපන් ඔහු බ්‍රිතාන්‍යයේ උසස්‌ අධ්‍යාපනය ලබා ඇත.

1971 දී එංගලන්තයට එරෙහිව ටෙස්‌ට්‌ වරම් දිනූ ඔහු අවසන් වරට ටෙස්‌ට්‌ තරගයක්‌ ක්‍රීඩා කළේ 1992 දී ශ්‍රී ලංකාවට එරෙහිවය. ඩොලර් මිලියන 25 ක්‌ වැයකර ඔහු ලාහෝරයේදී පිළිකා රෝහලක්‌ ඉදිකළේ සිය මව වූ ශාවුකට්‌ කනුම් සිහිවීම පිණිසය. 1995 ජෙමීමා ගෝල්ඩ්ස්‌මින් සමඟ විවාහ වූ ඉම්රාන් දෙදරු පියෙකි. ජෙමීමා සමග විවාහය 2004 දී අවසන් වූයේ දෙපාර්ශ්වයේම එකඟතාවයෙනි. ඔහුගේ දරු දෙදෙනා සුලෙයිමාන් හා කුසිම් ඛාන් වේ.

පකිස්‌තානයේ බලවත්ම ආයතනය වන්නේ හමුදාවයි. ඉම්රාන් ඛාන්ගේ දේශපාලන ගමන දෙස එරට හමුදාව කෙසේ විමර්ශනය කරන්නේදැයි පැහැදිලි නැත. නමුත් වර්තමාන අසිෆ් අල් සර්දාරි ආණ්‌ඩුව හා හමුදාපති පර්වේස්‌ ක්‍යානි අතරනම් සුහදතාව බිඳී පවතී. මේ නිසා නැවතත් හමුදා කුමන්ත්‍රණයක්‌ ඇතිවේද යන බය පැතිර ඇත. පකිස්‌තානයට එල්ලවන ඇමරිකානු බලපෑමද ඉතා දැඩිය. ඒ අතර ඇමරිකානු විරෝධී දේශපාලන බලවේගයක්‌ ගොඩනගා ඉම්රාන් ඛාන්ට බලයට පැමිණීමට හැකිවේද? මෙය උභතෝකෝටිකයකි.
-චතුර පමුණුව
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-01-01

Related

චතුර පමුණුව 5536582173734842848

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item