ජාතික ව්‍යාපාරය, සරත් ෆොන්සේකා හා කාදිනල්තුමා
ජා තික චින්තනයේ මතවාදය මාක්‌ස්‌වාදය අනුව සකස්‌විය යුතු යෑයි ගුණදාස අමරසේකර මහතා කීවේ වැඩි ඈතක නොවේ. දැන් ඒ මහතා ඒ අදහස නොදරයි. එ...

http://weadikawa.blogspot.com/2011/12/blog-post_5500.html
ජාතික චින්තනයේ මතවාදය මාක්‌ස්‌වාදය අනුව සකස්‌විය යුතු යෑයි ගුණදාස අමරසේකර මහතා කීවේ වැඩි ඈතක නොවේ. දැන් ඒ මහතා ඒ අදහස නොදරයි. එහෙත් ජාතික ව්‍යාපාරය අද යම් මාක්‌ස්‌වාදී දේශපාලනයක් විසින් ඩැහැගනු ලැබ ඇත. ජාතික ව්‍යාපාරයේ වත්මන් පරිච්ඡේදය ඇරැඹියේ 1986 දීය. අමරසේකර මහතා රත්නපුරේ පැවැති රැස්‌වීමක දී ජාතික චින්තනයක් ගැන කතාකළේ 1986 අගභාගයේ දීය. එහෙත් ජාතික චින්තනය යන්න කුලියාපිටියේ ප්‍රනන්ද සූරින් එයට කලකට පෙර යොදාගෙන තිබිණි. ජී. අයි. ඩී. ධර්මසේකර මහතා ප්‍රමුඛ පිරිසක් ජාතික වූ දේශපාලනයක් ගැන කතාකළේ හැත්තෑවේ දශකයේ දීය. අපේ පැරැණි ඉතිහාසය ගැන එදා ඒ මහතා කළ කතා එකල නව සමසමාජ පාක්‍ෂිකයකු ලෙස මම අවඥවෙන් බැහැර කළෙමි. අමරසේකර මහතා "අනගාරික ධර්මපාල මාක්‌ස්‌වාදී ද" යන කෘතිය පළකළේ ද හැත්තෑවේ දශකය අග භාගයේ දීය. ඒ පොතට ඒ නම තැබීමට මුල්වූයේ අමරසේකර මහතාගේ අබුද්දස්‌ස යුගයක් කෘතිය කියවූ ඡේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයක් යෑයි කියෑවෙයි. එසේ ඇසූ ප්‍රශ්නය

ධර්මසේකර මහතා (අද අනගාරික ධර්මසේකර තුමා) මාක්‌ස්‌වාදියකුට වඩා ජාතිකවාදියකු වුවද ජාතික ව්‍යාපාරයේ වත්මන් පරිච්ඡේදය ආරම්භ කිරීමට ඒ මහතාට නොහැකි වූයේ ඒ මහතා දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු වීම නිසා යෑයි සිතමි. ජාතික ව්‍යාපාරයට බටහිර අච්චුවේ දේශපාලන පක්‍ෂයක් තිබිය නොහැකිය. අමරසේකර මහතා සමසමාජ පක්‍ෂයේ හිතවතකු වුව ද ඒ මහතා කිසි දිනෙක දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු නො වීය. අසූවේ දශකයේ අගභාගය වන විට ඡේ. ආර්. ජයවර්ධන විවෘත ආර්ථිකය නමින් ගෙන ගිය බටහිර සංස්‌කෘතියට රට විවෘත කිරීම හා දෙමළ ජාතිවාදයේ ආයුධ සන්නද්ධ දේශපාලනය හමුවේ හෙම්බත් වී සිටි ජනතාවට දේශපාලන පක්‍ෂවලින් තොර ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව විය. ජාතික චින්තන අදහස ජනතාව අතර එකල ප්‍රචලත වීමට පටන්ගත්තේ ඒ අවශ්‍යතාව හේතුකොටගෙන ය. එහි මුල වූයේ දැනුම ඇතුළු බටහිර සංස්‌කෘතික ආධිපත්‍යයට එරෙහිව ව්‍යාපාරයක් ගොඩ නැගීම ය. එය පක්‍ෂයක් නොවුව ද දේශපාලන ව්‍යාපාරයක් විය. දහනවවැනි සියවස අගභාගයේ සිට ම මෙරට යටත් විජිත විරෝධී දේශපාලනය සංස්‌කෘතික මුහුණුවරක් ගත්තේ ය. පාණදුරාවාදය ප්‍රමුඛ පංච මහාවාද අන්කිසිවක් නොව බටහිර ක්‍රිස්‌තියානි යටත් විජිතවාදයේ සංස්‌කෘතික සංරචකය මුල් කරගෙන කෙරුණු යටත්විජිත විරෝධී අරගලයේ කොටසක් විය. අවාසනාවකට ඕල්කට්‌තුමා පැමිණ ඒ ව්‍යාපාරය පීලි පන්නා සිංහලකම නැති ඊනියා උගත් බෞද්ධයන් පිරිසක් ඇති කළේ ය. කෙසේ වෙතත් ධර්මපාලතුමන් හුදු බෞද්ධ නායකයකු නො වීය. එතුමා සිංහල බෞද්ධ නායකයකු විය. ඒ අරුතින් එතුමා යටත්විජිත විරෝධී දේශපාලන නායකයකු විය. ගුණදාස අමරසේකර මහතා ධර්මපාලතුමා සහ මාක්‌ස්‌වාදය ගැන විටින් විට කියා ඇති පරස්‌පර කතා අමතක කළ ද ධර්මපාලතුමාගේ දේශපාලනය ඉස්‌මතු කිරීමෙන් ජාතික ව්‍යාපාරයට අගනා සේවයක් කර ඇත. ධර්මසේකර මහතාට හෝ ගුණසේකර මහතාට හෝ වඩා අමරසේකර මහතාට ජාතික ව්‍යාපාරයේ වත්මන් පරිච්ඡේදයට දායක වීමට ඉඩ ලැබුණේ දේශපාලන පක්‍ෂයකට කොටු නොවීමත් ධර්මපාලතුමාගේ දේශපාලනය අවබෝධ කරගැනීමත් අනෙක් දෙදෙනාට වඩා උගත් සිංහල මධ්‍යම පංතියට (මාක්‌ස්‌වාදී අර්ථයකින් නොව) ආකර්ෂණය වීමත් නිසා ය. උගත් සිංහල මධ්‍යම පංතිය තවමත් ෙµ්‍රdම් ට්‍රෙවෝ ලිං වැනි බටහිර පඬුවන් මගින් බෞද්ධ සංස්‌කෘතිය විවරණය කරගැනීමට කැමැති වෙති. එහෙත් ජාතික ව්‍යාපාරයේ ඒ පරිච්ඡේදය අද වසා දමා ඇත. එයට හේතුව ජනතා මිතුරෝ සංවිධානය පිහිටුවීමත් සමඟ ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් වීම ඇරැඹීම ය. බටහිර අච්චුවේ දේශපාලන පක්‍ෂවලට හෝ එවැනි පක්‍ෂවල පෙරමුණු සංවිධානවලට ජාතික ව්‍යාපාරයට නායකත්වය දිය නොහැකි ය. එහෙත් ඒ අතර කිව යුත්තක් වෙයි. අද ජාතික ව්‍යාපාරයේ මේ ඉතිහාසය අමතක කර නව ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීමට ඇතැම්හු උත්සාහ කරති. ඒ අයට විශාල දැනුම් සම්භාරයක් අසාමාන්‍ය ආකාරයෙන් ලැබෙයි. වෙදකම, ගොවිකම එහි දී ප්‍රධාන වුවත් ඔවුන්ට වෙනත් දැනුම් ද ඇත. දේශීය බීජ වර්ග මෙරට ගොවි මහතුන් අතර තවමත් ඇත, ඒ ගැන දන්නා මතුගම සෙනෙවිරුවන් වැනි මහත්වරු අවුරුදු විසිපහකට වැඩි කලක් තිස්‌සේ සිංහල ගොවිකමෙහි නිරත වී සිටිති. ඒ අය අමතක කර දෙවියන්ට වුවත් ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගිය හැකි නො වේ.
මේ ඉතිහාසය සැකෙවින් නමුත් සඳහන් කිරීමට හේතු වූයේ පසුගිය සතියේ විවිධ විද්වත් භික්‍ෂුන් වහන්සේ හා උගතුන් සරත් ෆොන්සේකාට සමාව දීම ගැන කතා කිරීමත් මැල්කම් රංජිත් කාදිනල්තුමා කළ ප්‍රකාශයත් ය. ඒ පිටුපස ඇත්තේ බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදී රටවල් ය. මේ ප්‍රකාශවලට විරුද්ධ වීමට ගුණදාස අමරසේකර මහතා ද ඇතුළු මෙරට ජාතික ව්‍යාපාරය තම දේශපාලනය තුළ සිරකරගෙන සිටින කිසිවකුට නොහැකි විය. මහින්ද රාජපක්‍ෂ මහතා අද උත්සාහ කරන්නේ බටහිර බලපෑම්වලින් රට ආරක්‍ෂා කරගෙන මූලික වශයෙන් බටහිර පන්නයේ සංවර්ධනයක් ජනතාවට හිමිකර දීමට ය. එහෙත් බටහිර පන්නයේ සංවර්ධනයක් ලැබෙන්නේ ලෝක බැංකුවේ ණය ඔස්‌සේ ය. අද විශ්වවිද්‍යාලවල ද ප්‍රධාන කාර්යය වී ඇත්තේ ලෝක බැංකු ණය ලබාගැනීම සඳහා ඊනියා යෝජනා ඉදිරිපත් කිරීම ය. එයින් ජනතාව ණය වීම හැරෙන්නට කිවයුතු තරමේ ප්‍රයෝජනයක් ඇතැයි නො සිතමි. ඇමරිකානු තානාපති කාර්යාලයේ එතරම් උසස් නොවන නිලධාරියකු රජයේ වැදගත් ඇමැතිවරයකු කැඳවා සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත් එසේ නොකළහොත් තදින් ක්‍රියාකිරීමට සිදුවන බවත් දන්වා ඇත. ඉංගිරිසි පාලන සමයේ සිට ම මෙරටට පැමිණි හා පැමිණෙන ආණ්‌ඩුකාරවරුන්, තානාපති නිලධාරීන් ආදීන් ඉතා වැඩි පිරිසක් ඒ රටවල තුන්වැනි පංතියේ අය බව ඔවුන් සමඟ සම්බන්ධකම් ගොඩනගා ගැනීමට උත්සාහ කරන මෙරට ඉහළ පංතියේ යෑයි කියන්නන් නොදන්නවා විය හැකි ය. බටහිරයන්ට අවශ්‍ය සරත් ෆොන්සේකා රාජපක්‍ෂලාට විරුද්ධව ඊනියා යුද්ධ අපරාධ පිළිබඳ නඩුවක දී සාක්‍ෂිකාරයකු ලෙස යොදා ගැනීම ය. අපට මෙහි දී බලපාන ප්‍රධාන සාධකය එය ය. එය වැළැක්‌විය හැක්‌කේ ඔහු කර ඇති පාවාදීම් පිළිබඳ අධිකරණ තීන්දුවක් මගින් ඔහු සිරගත කිරීමෙන් පමණක් නම් ඔහුට සමාවක් දිය යුතු නො වේ. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතාට සරත් ෆොන්සේකා බටහිරයන්ට විරුද්ධව යොදාගත හැකි නම් ෆොන්සේකාගෙන් රටට සේවයක් ලබාගත හැකි නම් ඔහු නිදහස් කිරීමේ වරදක් නැත. එහෙත් ඒ තීරණය තුට්‌ටු දෙකේ බටහිර තානාපති නිලධාරීන්ගේ තර්ජන නිසා නොගත යුතු ය. කාදිනල්තුමා මොරටුවේ ප්‍රේම් නිවාසයේ තෙරේසා ව්‍යාපාරයේ කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය සිවිල් ආයතනයක් හා පොලිසිය ක්‍රියාකර ඇති (එතුමාට අනුව) වැරැදි ආකාරය නත්තලට පෙර නිවැරැදි නොකළහොත් රාජ්‍ය උත්සව වර්ජනය කරන බව ප්‍රකාශ කර ඇත. එතුමාට අනුව උසාවියට ඉදිරිපත් කර ඇති ප්‍රශ්නයක් සම්බන්ධව වෙනත් තැන්වල කතාකිරීම නුසුදුසු වුවත් (කාදිනල්තුමා ද දන්නා මේ කරුණ කැලණිය සරසවියේ ඇතැම් ඇදුරෝ නො දනිති) බටහිරින් ප්‍රශ්න කරන නිසා එලෙස ප්‍රකාශ කිරීමට සිදු වී ඇත. මෙහි දී ද එක් පැත්තකින් බටහිර යම් බලපෑමක් නිසා කාදිනල්තුමා ඒ ප්‍රකාශය කර ඇති බව පැහැදිලි ය. අනෙක් අතට උසාවිය හමුවේ ඇති ප්‍රශ්නයකට තීන්දුව කාදිනල්තුමා ම දී එතුමාගේ තීන්දුව ක්‍රියාත්මක කරන තුරු රාජ්‍ය උත්සව වර්ජනය කරන බව ද කියයි. මෙය කාදිනල්තුමා අගයන බටහිර නීතියට වුවත් එකඟ නො වේ. කාදිනල්තුමාට ඒ බව කියා දීමට අද දේශපාලන පක්‍ෂවල සිරවී ඇති ජාතික ව්‍යාපාරයට නොහැකි වී ඇත.
උපුටා ගැනීම
දිවයින ඉරිදා සංග්‍රහය
2011-12-10