උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ළිං කටින්ම ගොඩඒම!

-සී. ඒ. චන්ද්‍රප්‍රේම   උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිල වාර්තාව ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මා දකින ආකාරය...

-සී. ඒ. චන්ද්‍රප්‍රේම
 උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිල වාර්තාව ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මා දකින ආකාරයට එම වාර්තාවේ වැදගත්ම කොටස තිබෙන්නේ 40 වැනි පිටුවේ සිට 48 වැනි පිටුව දක්‌වාය. ලංකාවට අදාළ වන ජාත්‍යන්තර යුද නීතිය කුමක්‌ද යන්න ගැන සංහිඳියා කොමිසමේ සාමාජිකයන්ගේ මතය එම පිටුවල පළ වෙයි. මේ අවස්‌ථාව වන තෙක්‌ ලංකාවේ යුද අපරාධ සිදු වුණාද නැත්ද යන්න ගැනත් ජාත්‍යන්තර යුද නීතියේ වගන්ති උල්ලංඝනය වුණා ද යන්න ගැනත් සාකච්ඡා කළේ ලංකාවේ ප්‍රශ්නය ගැන උනන්දුවක්‌ දක්‌වන විදේශීය සංවිධාන හා ආණ්‌ඩු පමණි. ලංකාව පැත්තෙන් ඒ ගැන කිසිදු අවධානයක්‌ යොමු නොවීය.

ලංකාවේ සිදුවී යෑයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් දීර්ඝතම විග්‍රහයක්‌ කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදී එළිදැක්‌වුණු එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ලංකාව සම්බන්ධයෙන් පත් කරන ලද උපදේශක කමිටුවේ වාර්තාවෙනි.

ජිනීවා සම්මුතීන්වල තුන්වන වගන්තියෙන් පුළුල් ලෙස පවසා සිටින්නේ යම්කිසි ගැටුමකට සම්බන්ධ නැති සිවිල් වැසියන්ට මානුෂීය ආකාරයට සැලකිය යුතු බවත් ඔවුන් ඝාතනය කිරීම හෝ අමානුෂික ආකාරයට සැලකීම වැනි දේවල් සිදු නොවිය යුතු බවත්ය. මෙතැනින් පටන්ගත් බෑන් කී මූන්ගේ උපදේශක කමිටුව ජිනීවා සම්මුතියේ තුන්වන වගන්තියෙන් කියෑවෙන ඒ කාරණය සාක්‌ෂාත් කරගැනීම සඳහා පිළිපැදීමට අවශ්‍ය යම් නීතිරීතීන් ගණනාවක්‌ සඳහන්කොට ඇත. මෙකී නීතිරීති ඔවුන් ලබාගෙන ඇත්තේ ලෝකයේ දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සම්මුතීන් හා ජාත්‍යන්තර නඩු තීන්දුවලින් පෝෂණය වෙමින් කාලයක්‌ මුළුල්ලේ ගොඩනැඟී ඇති සාම්ප්‍රදායික ජාත්‍යන්තර යුද නීති පද්ධතිය පදනම් කර ගෙනය. ඒ අනුව ඔවුන් ලංකාව පිළිපැදිය යුතුව තිබුණු නීතීන් යෑයි කියා ඉදිරිපත් කොට තිබෙන කාරණා පහත දැක්‌වෙන ආකාරයට සම්පිණ්‌ඩය කළ හැක.
  • ප්‍රහාර එල්ල කළ යුත්තේ යුද්ධයට සම්බන්ධ වී සිටින සටන්කාමීන්ට පමණි. සිවිල් වැසියන්ට එරෙහිව කිසිදු ප්‍රහාරයක්‌ එල්ල විය නොහැක. සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළ නොහැකිය යන කාරණයට කිසිදු ව්‍යතිරේකයක්‌ නොතිබිය හැකි මූලික තහනමකි. ඒ අනුව සිවිල් වැසියන් ප්‍රහාරයට ලක්‌ නොවී සිටීමට කොන්දේසි විරහිත අයිතියක්‌ ඇත. මෙකී අයිතිය ප්‍රධාන වශයෙන් සිවිල් වැසියන් වන ඕනෑම කණ්‌ඩායමකට හිමිවෙයි. "ප්‍රධාන වශයෙන්" යන්න එතනට ඒමෙන් අදහස්‌ වන්නේ යම්කිසි පිරිසක්‌ අතර ප්‍රධාන වශයෙන්ම සිටින්නේ සිවිල් වැසියන් නම් ඒ පිරිස අතර සටන්කාමීන් ද පිරිසක්‌ සිටි පමණින් ප්‍රහාරයට ලක්‌ නොවී සිටීමට එම සිsවිල් වැසියන්ට ඇති අයිතිය අහෝසි වන්නේ නැත. එයින් අදහස්‌ වන්නේ සිවිල් වැසියන් පිරිසක්‌ අතර සටන්කාමීන් සුළුතරයක්‌ සිටීමෙන් ඒ අදාළ ස්‌ථානයේ සිටින පිරිසගේ සිවිල්භාවය නැති වී යන්නේ නැති බවයි. 

  • ජාත්‍යන්තර යුද නීතියට අනුව සිවිල් පුරවැසියන් වෙත එල්ල කරන ලද ප්‍රහාරයක්‌ යුද අපරාධයක්‌වීමට නම් එය සිතාමතාම එල්ල කරන ලද ප්‍රහාරයක්‌ විය යුතුය. බෑන් කී මූන්ගේ උපදේශක කමිටුව මේ "සිතාමතා" එල්ල කරන ලද ප්‍රහාර ගණයට නොසැලකිලිමත් ලෙස එල්ල කළ ප්‍රහාරයක්‌ ඇතුළත් කර තිබිණි. එනම් සිවිල් වැසියන්ට හානියක්‌ වෙන්න ඉඩ තිබෙනවාය යන කාරණය සැලකිල්ලට නොගෙන දියත් කරන ප්‍රහාරයක්‌ සිතාමතාම එල්ල කරන ලද ප්‍රහාරයක්‌ වශයෙන්ම සලකනු ලැබේ.

  • යුද හමුදාව කිසිවිටෙකත් සිවිල් වැසියන් වෙත සිතමතා ප්‍රහාර එල්ල නොකළත් ඔවුන් එල්ල කරන යම් ප්‍රහාරයකින් ත්‍රස්‌තවාදී ඉලක්‌කයකට හා සිවිල් වැසියන්ට යන දෙපිරිසටම එකම අවස්‌ථාවේදී යම් හානියක්‌ සිදුවන්නේ නම් එය ද සිවිල් වැසියන්ට එල්ල කරන ලද ප්‍රහාරයක්‌ හැටියට සැලකෙන යුද අපරාධයක්‌ වන්නේය. ඒ අනුව සිවිල් වැසියන් පස්‌දෙනකු සමග සිටින ත්‍රස්‌තවාදීන් 4 දෙනකු හමුදාවට ප්‍රහාරයක්‌ එල්ල කළහොත් එතන සිටින පිරිසගෙන් වැඩිදෙනා සිවිල් වැසියන් නිසා එම පිරිස සිවිල් වැසියන් හැටියට සැලකේ. යුද හමුදාවට ඔවුන් වෙතට කිසිදු වෙඩිල්ලක්‌ එල්ල කළ නොහැක. එවැනි පිරිසකට ඔවුන් වෙඩි තබා ත්‍රස්‌තවාදීන්, මැරෙන අතරතුර සිවිල් වැසියන්ට ද හානියක්‌ සිදුවුවහොත් එය සිවිල් වැසියන්ට එරෙහිව සිදු කරන ලද ප්‍රහාරයක්‌ ලෙස සලකා ඔවුන් යුද අපරාධ චෝදනාවකට ලක්‌වන්නේය.

බැන් කී මූන්ගේ උපදේශක කමිටු වාර්තාවේ සඳහන් මෙවැනි දේ සැබවින්ම ජාත්‍යන්තර යුද නීතියේ කොටසක්‌ වූයේ නම් ලෝකයේ කිසිදු රටකට ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කිරීමට නොහැකි වනු ඇත. බෑන්කී මූන්ගේ උපදේශක කමිටු වාර්තාව ලියන ලද්දේ ලංකාවේ ආණ්‌ඩු ප්‍රධානීන් හා හමුදා ප්‍රධානීන් කෙසේ හෝ සිරගත කිරීමේ අටියෙනි. එමනිසා ඉහත දැක්‌වූ ආකාරයට එහි සඳහන් වී ඇත්තේ ජාත්‍යන්තර යුද නීතිය නොව එහි විකෘතියකි.

උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවෙන් සිදුවී ඇති වැදගත්ම කාරණය වන්නේ ජාත්‍යන්තර යුද නීතියේ සැබෑ තත්ත්වය ලංකාවේ ප්‍රශ්නයට ආදේශකොට තිබීමයි. ලංකාව ගැන කතා කරන සියලුම ජාත්‍යන්තර සංවිධාන හා විදේශීය ආණඩු උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ජාත්‍යන්තර නීතිය ගැන පවසා ඇති කාරණා ඉතාමත්ම බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුය.

ජාත්‍යන්තර යුද නීතිය පිළිබඳ ඔවුන් කළ විමර්ශනයේදී උගත් පාඩම් හා සංහිඳියා කොමිසම විසින් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ අනුග්‍රහය යටතේ සම්පාදනය කරන ලද ජාත්‍යන්තර යුද නීතියට අදාළ ලියවිල්ලක්‌ පාදක කරගෙන තිබේ. එහිදී ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පෙන්වා දී ඇති කාරණය වන්නේ යුද නීතියට අදාළ ජාත්‍යන්තර සම්මුතීන්වලින් කිසිවක්‌ හරියටම "සටන්කාමියෙක්‌" හා "සිවිල් වැසියෙක්‌" යනු කවුදැයි නිර්වචනය කර නැති බවයි. උදාහරණයක්‌ වශයෙන් යම් පුද්ගලයෙක්‌ උදේට සුපුරුදු පරිදි රැකියාවට යැමත්, රෑට තුවක්‌කුවක්‌ ගෙන ත්‍රස්‌තවාදී වැඩවලට සම්බන්ධවීමත් කරන්නේ නම් ඔහු ත්‍රස්‌තවාදියෙක්‌ හැටියට සැලකෙන්නේ රෑට පමණක්‌ ද යන්න පැහැදිලි නැත. ජාත්‍යන්තර යුද නීතියේ වගන්තිවලට අනුව යුද කටයුතුවලට සෘජුව සම්බන්ධ නොවන උදවිය සිවිල් වැසියන් හැටියට ගණන් ගැනේ. නමුත් එවන් පුද්ගලයෙක්‌ විටින් විට ත්‍රස්‌තවාදී වැඩවල නියෑළෙනවා විය හැක. එවැනි අවස්‌ථාවකදී ක්‍රියාත්මක නීතිය කුමක්‌ද යන්න පැහැදිලි නැත.

ජාත්‍යන්තර යුද නීතියේ මෙවැනි දුර්වලතා තිබෙන නිසා යුද නීතියට අදාළ සම්මුතීන්වලට අත්සන් තැබීමේදී බොහෝ රටවල් ඒ එක්‌ එක්‌ වගන්ති සම්බන්ධයෙන් යම්කිසි කොන්දේසි මත අත්සන් කරනු ලැබේ. ඒ අනුව එම රටවල් සම්බන්ධයෙන් එකී සම්මුතිය බලපාන්නේ ඒ කොන්දේසිවලට යටත්වය.

උදාහරණයක්‌ වශයෙන් බෑන් කී මූන්ගේ උපදේශක කමිටු වාර්තාවේ සඳහන්ව තිබූ එක්‌ මූලධර්මයක්‌ වූයේ යම්කිසි පුද්ගලයකු සිවිල් වැසියෙක්‌ ද නැතිනම් ත්‍රස්‌තවාදියෙක්‌ ද යන්න ගැන යම් සැකයක්‌ පවතින අවස්‌ථාවක එම පුද්ගලයාට අනිවාර්යයෙන්ම සැකයේ වාසිය හිමිවිය යුතු බවත් ඔහු ඒ අනුව සිවිල් වැසියකු හැටියට සැලකිය යුතු බවත්ය. නමුත් ඇමරිකා එක්‌සත් ජනපදය, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය මේ මූලධර්මය ඒ ආකාරයට පිළිගන්නේ නැත. ඇමරිකාව කියා සිටින්නේ සිවිල් වැසියෙක්‌ යනු කවුද? යුද්ධයට සෘජුව සම්බන්ධවීම යනුවෙන් අදහස්‌ වන්නේ කුමක්‌ද යන කාරණා ඒ ඒ අවස්‌ථාවට අනුව තීන්දු කළ යුතු බවයි. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය පවසා සිටියේ මෙකී මූලධර්මය ක්‍රියාත්මක කිරීමට පෙර සෑම හමුදා අණදෙන නිලධාරියකුගේම පළමු යුතුකම වන්නේ එකී සැකයට භාජන වී ඇති පුද්ගලයා නොව තම හමුදා සෙබළුන්ගේ සුරක්‍ෂිතභාවය බවයි. මේ ආකාරයට බෑන් කී මූන්ගේ උපදේශක කමිටුව විසින් සෑම අවස්‌ථාවකදීම ලංකාවට ආදේශ කිරීමට උත්සාහ ගෙන තිබෙන මූලධර්ම බටහිර රටවල් විසින්ම ප්‍රතික්‍ෂේප කළ ඒවා වීම සුවිශේෂ කාරණයකි.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවම පවසන ආකාරයට යම්කිසි පිරිසක්‌ සිවිල් වැසියන් ද ත්‍රස්‌තවාදීන් ද යන කාරණය අවිනිශ්චිතව පවතින අවස්‌ථාවක ඔවුන්ට අනිවාර්යයෙන්ම සැකයේ වාසිය ලබාදීමෙන් රජයේ හමුදාවන්වලට අවාසියක්‌ සිදුවන බවයි. එනම් ත්‍රස්‌තවාදියකුට ඕනෑම වෙලාවක හමුදාවට එරෙහිව ප්‍රහාරයක්‌ එල්ල කළ හැකි වුවත් හමුදාවට ත්‍රස්‌තවාදීන්ට ප්‍රහාර එල්ල කළ හැක්‌කේ අදාළ පුද්ගලයන් ත්‍රස්‌තවාදී කටයුතුවල නියෑළෙන අතරතුර පමණි. නමුත් කාලයෙන් වැඩි හරියක්‌ ත්‍රස්‌තවාදීන් සිටින්නේ සාමාන්‍ය පුරවැසියන් අතර ගැවසෙමිනි. ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේම එක්‌ විවේචනයක්‌ වන්නේ යුදමය කටයුතුවලට සෘජුවම සම්බන්ධ වී සිටීම යන කාරණය ගැන මෙතෙක්‌ හරිහැටි නිර්වචනය ජාත්‍යන්තර නීතියේ නැති බවයි.

මේ කාරණය නිසා උගත් පාඩම් හා සංහිඳියා කොමිසම කර ඇත්තේ ඇමරිකා එක්‌සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව හා ඉතාලිය වැනි රටවල් විසින් අනුමත කරන ලද මූලධර්මයන් පමණක්‌ ලංකාවටත් අදාළ ලෙස යෙදවීමයි. මෙකී සියලුම රටවල් පිළිගන්නා එක්‌ ප්‍රධානතම මූලධර්මයක්‌ වන්නේ යම්කිසි ත්‍රස්‌තවාදී ඉලක්‌කයකට පහර දෙන අවස්‌ථාවකදී සිවිල් වැසියන් කීප දෙනකුට හානි සිදුවූවාට ඒ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්‌ නොවන බවයි. නමුත් සිවිල් වැසියන්ට ඉලක්‌කයේ පරිමාව ඉක්‌මවා හානියක්‌ සිදු නොවිය යුතු බව ඔවුන් කියයි. එනම් සිවිල් වැසියන්ට හානියක්‌ සිදු වුවත් ත්‍රස්‌තවාදී ඉලක්‌කයකට පහරදීමට එකී හමුදාවන්ට පැහැදිලි අයිතියක්‌ ඇති බවයි.

ඉහත දක්‌වන ලද බටහිර රටවල් සමූහය පිළිගන්න, තවත් මූලධර්මයක්‌ වන්නේ සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමට ගත හැකි සියලුම පියවර ගත යුතුය යන්නෙන් අදහස්‌ වන්නේ අදාළ අවස්‌ථාවේදී ප්‍රායෝගිකව ගත හැකි පියවරයන් පමණක්‌ බවයි. එනම් ඒ අවස්‌ථාවේ යුදමය තත්ත්වය ද ඒ තක්‌සේරුවට අදාළ කරගත යුතු බවයි. ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව, ස්‌විට්‌සර්ලන්තය හා නෙදර්ලන්තය වැනි රටවල් ගණනාවක්‌ම තම හමුදා අත්පොත්වල සඳහන් කොට ඇත්තේ යම්කිසි ත්‍රස්‌තවාදී ඉලක්‌කයක්‌ අවට හෝ ඇතුළත සිවිල් වැසියන් සිටිනවාය යන කාරණයෙන් එම ඉලක්‌කයට "යුද මුක්‌ත" භාවයක්‌ නොලැබෙන බවයි. නමුත් බෑන් කී මූන්ගේ උපදේශ කමිටු වාර්තාවෙන් ලංකාවට ආදේශ කර තිබුණේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයයි.

යම්කිසි ස්‌ථානයක්‌ භාවිත වන්නේ සිවිල් කටයුත්තකට ද නැතිනම් යුදමය කටයුත්තකට ද යන්න ගැන සැකයක්‌ පවතින අවස්‌ථාවේදී සැකයේ වාසිය එයට ලබාදී එය සිවිල් කටයුතුවලට යෙදවෙන ස්‌ථානයක්‌ හැටියට සැලකිය යුතුය යන මූලධර්මයට ඇමරිකාව විරුද්ධ විය. ඔවුන් කියා සිටියේ මේ මූලධර්මයෙන් යම්කිසි ස්‌ථානයක්‌ පාවිච්චි වෙන්නේ මොනවාට ද යන්න ගැන තීරණයක්‌ ගැනීමේ වගකීම පැවරෙන්නේ එම ස්‌ථානය පාලනය කරන අයට නොව ඒ සම්බන්ධයෙන් පාලනයක්‌ නැති උදවිය මත බවයි· තවද යම්කිසි ඉලක්‌කයක්‌ තෝරා ගැනීමේදී සිවිල් වැසියන්ට අවම හානියක්‌ වන ඉලක්‌කයක්‌ තෝරාගත යුතුය යන මූලධර්මයට ද ඇමරිකාව විරුද්ධවෙමින් කියා සිටියේ මෙය කොන්දේසි විරහිතව කළ හැකි දෙයක්‌ නොව එවැන්නක්‌ කළ හැකි අවස්‌ථාවකදී පමණක්‌ කළ යුතු බවයි. එහිදී මූලික වන්නේ යුදමය ඉලක්‌ක සපුරා ගැනීම මිස සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීමට නොවන බවයි.

යුදමය කටයුත්තකදී සිවිල් වැසියන් මියයන ප්‍රමාණය යම් සාධාරණ පරිමාවක්‌ තුළ පැවතිය යුතුය යන මූලධර්මයක්‌ ද වෙයි. මෙවැනි අවස්‌ථාවලදී ඒ පරිමාව මනින්නේ අදාළ පාර්ශ්වයට එකී ප්‍රහාරයෙන් ලැබෙන යුදමය වාසියට සාපේක්‍ෂවය. ඉහත දක්‌වන ලද සියලුම බටහිර රටවල් පිළිගන්නා තවත් වැදගත් මූලධර්මයක්‌ වන්නේ මෙවැනි අවස්‌ථාවල "යුදමය වාසිය" යන්නෙන් අදහස්‌ වන්නේ ඒ තනි ප්‍රහාරය නොව මුළු යුද්ධයටම සිදුවන වාසිය බවයි. ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව ඇතුළු රටවල් කීපයක්‌ යුදමය වාසිය යන්නෙන් හමුදා ජීවිතවල සුරක්‍ෂිතභාවය ද අදහස්‌ වන බව කියා සිටී.

තවද යුද්ධය සිදුවන අවස්‌ථාවලදී සතුරා යටත්වීමට එන්නේ නම් වෙඩි හුවමාරුවක්‌ සිදුවන අවස්‌ථාවකදී සතුරන් කීප දෙනෙක්‌ගෙන් පමණක්‌ එවැනි යටත්වීමත් භාරගත නොහැකි බව බ්‍රිතාන්‍යය තර්ක කරයි. ඇමරිකා එක්‌සත් ජනපදය මේ ගැන කියා සිටින්නේ සතුරා විසින් යටත්වීමක්‌ කළ යුත්තේ යටත්වීම භාරගත හැකි අවස්‌ථාවකදී මිස අන්තිම මොහොතේ ඉදිරියට එන හමුදාව අතින් මැරුම්කෑම වළක්‌වා ගැනීමට නොවන බවයි.

මේ අනුව සියලුම බටහිර රටවල් ජාත්‍යන්තර යුද නීතියේ වගන්ති පිළිගෙන ඇත්තේ කොන්දේසි සහගතව බව අපට පෙනේ. මෙකී කොන්දේසි ලංකාවට ද ඉතා වැදගත්ය. ඒ මන්ද යත් ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒමට ද වළකින්නේ ද මේ රටවල්ම නිසයි. ලංකාවේ ආණ්‌ඩුව මින් පසුව කළ යුත්තේ බටහිර රටවල් පිළිගන්නා යුද නීති පමණක්‌ ලංකාවේ ප්‍රශ්නයට ආදේශ කරමින් කතා කිරීමයි. උගත් පාඩම් හා සංහිඳියා කොමිසම වෙතින් ඒ වගට අපට වැදගත් මඟපෙන්වීමක්‌ කර ඇත.

උපුටා ගැනීම
දිවයින
2011-12-19

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 9099020933650361258

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item