යහපත් සමාජයකට කැපවෙමි

අ න ගා රි ක ධ ර් ම සේ ක ර නම – අනගාරික ධර්මසේකර පියා - ජී. අයි. ඩී. ඩේවිඩ් අප්පුහාමි මව - මැගි නෝනා සෙනෙවිරත්න උපන්දිනය – 1942. 02. 19 ස...

අ න ගා රි ක ධ ර් ම සේ ක ර
නම – අනගාරික ධර්මසේකර
පියා - ජී. අයි. ඩී. ඩේවිඩ් අප්පුහාමි
මව - මැගි නෝනා සෙනෙවිරත්න
උපන්දිනය – 1942. 02. 19
සහෝදර සහෝදරියන් – හයදෙනයි
බේරුවල, මාලේවන ගමේ උපන් මම හෝඩිය පංතියේ සිට 5 පන්තිය දක්වා අධ්‍යාපනය හැදෑරුවේ මාලේවන ඥානිස්සර මහා විද්‍යාලයෙන්. එදා ඒ පාසල හැඳීන්වූයේ නාකන්දලගොඩ පාසල ලෙසයි. මධ්‍යම පාන්තික පවුලක ඉපදුණත් අපේ තාත්තාගේ තිබුණු නාස්තිකාර, දඩබ්බර ජීවිතය නිසා අපිට ඒ තරම් සැපවත් ජීවිතයක් ගතකරන්න ලැබුණේ නැහැ. නමුත් ගෙදර තිබුණු ආර්ථික අපහසුතා මගහරවාගෙන මටත් අනෙකුත් සහෝදර සහෝදරියන්ටත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න අපේ අම්මා ගොඩක් දුක් වින්දා. ඇය උදේ පාන්දර තුනට විතර නැගිටලා පොල් අතු විව්වා. ඒ දවස්වල පොල් අත්තක් ශත හතයි. අපේ අම්මා උදේට පොල් අතු පනහක් විතර වියලා අපි ඉස්කෝලේ ගියාට පස්සේ බොරුපන්, තුන්හිරිය පන් වැනි පන් වර්ග ගෙනවිත් ඒ පන්වලින් පාන්දර එක විතර වෙනතුරු පැදුරු වියනවා.
අම්මා මේ විදිහට මහන්සිවෙනවා දැක්කම මට තාත්තා ගැන තරහක් වගේම අම්මා ගැන අනුකම්පාවකුත් ඇතිවුණා. ඔය අතරෙදි ගමේ පාසලේ අධ්‍යාපනය හදාරමින් සිටි අපිට එදා කන්නන්ගර මහතාගේ අධ්‍යාපන පිළිවෙත අනුව සාමාන්‍ය ඉගැන්වීමට අමතරව වගා කටයුතුත් ඉගැන්නුවා. ඉස්කෝලෙ අපිට වෙන්කරපු පාත්ති තිබුණා. පාසල් යනවා වගේම මම දහම්පාසල් යන්නත් හරි උනන්දුයි. අපේ ගෙදර තිබුණු ආර්ථික අපහසුතා නිසා ගෙදර වත්තෙත් වගා කටයුතු කරන්න අපේ පන්සලේ හාමුදුරුවෝ, බෙල්ලන ශ්‍රී ඥානාලෝක හාමුදුරුවෝ මාව උනන්දු කළා. ඒවෙනකොට මට වයස අවුරුදු 11 මාස 6යි. නමුත් මම උස මහතට හිටපු නිසා හාමුදුරුවෝ හිතුවේ මට ඊට වඩා වයසයි කියලයි. හාමුදුරුවෝ මට පාත්ති 6ක් හදන්න කිව්වා. නමුත් මම දවස් 6ට පාත්ති 12ක් හැදුවා.
මගේ අත් දෙකේම දියපට්ට ආවා. මම මහන්සි වෙනවා දැක්කම අපේ අම්මට දුකයි. අම්මා මගේ අත් දෙකේ කොහොඹ තෙල් ගාලා පොල්තෙල් පහනෙන් තැව්වා. මගේ වයසට ඔරොත්තු නොදෙන වැඩක් පැවරීම ගැන අම්මා හාමුදුරුවන්ට දොස් කිව්වා.  නමුත් මගේ උනන්දුව දැකලා හාමුදුරුවෝ ගොඩක් පැසසුණා. මගේ අත්දෙක දැකලා උන්වහන්සේගේ ඇස් දෙකටත් කඳුළු ආවා. කොහොම නමුත් මාස තුනක් විතර ගතවෙද්දි මම ගමටම එලවළු වික්කා. ඒත් අධ්‍යාපන කටයුතු අතහැර වගාකටයුතු පමණක් කරනවට අම්මා කැමති වුනේ නැහැ. අපේ අම්මා ගෙදරට වෙලා හිටියත් ඇය හොඳට ඉගෙනගෙන තිබුණා. ප්‍රාරම්භ සහ අවසාන ගුරු විභාග සමත්වෙලා තිබුණු නිසා ඇයට 1956 වස්කඩුව සුභූති බාලිකා විද්‍යාලයට ගුරු පත්වීමක් ලැබුණා. ගමේ හිටියොත් වගාකටයුතු නිසා මගේ අධ්‍යාපන කටයුතු අඩාලවන නිසා ඇය මාවත් ගමේ ඉස්කෝලෙන් අස්කර කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළා. 

ඒත් මම පාසලේ ඉඳන් ගෙදර ඇවිල්ලත් වගා කටයුතු කළා. ඒ නිසා මම ඒ අවුරුද්දේ අසමත් වුණා. ගෙදර එන්න යන්න ගත්තොත් හරියට ඉගෙනගන්නේ නැති නිසා අම්මයි මමයි වස්කඩුවේ ගෙදරක නැවතුනා. ඒ නැවතුණේ ජෝන් ද සිල්වා කියන නැට්ටුවාගේ ගෙදරයි. එතනදී මම නැටුම් ඉගෙනගන්න උත්සහ කළා. ඊටපස්සේ අම්මා මාවත් එක්කගෙන කීර්ති මීගොඩගේ ගෙදර නැවතුණා. කොහොම නමුත් තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගත්තේ අවුරුදු දෙකයි. එය තමයි මගේ ජීවිතේ අසාර්ථකම අවුරුදු දෙක. නගරය මට ගැලපුණේ නැහැ. ආපසු ගමේ ඉස්කෝලෙට යන එක මවුපියන්ට ලැජ්ජ නිසා මාව අළුත්ගම විද්‍යාලයට දැම්මා. ඉන්පසු විශ්වවිද්‍යාලයට යනතෙක් මම ඉගෙනගත්තේ අළුත්ගම විද්‍යාලයෙන්. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබුවත් මම එස්. එස්. සී. පන්තියෙදිත් අසමත් වුණා. මම එස්. එස්. සී. පංතියේ ඉන්නකොට අපිට අලුත් ගුරුවරයෙක් ආවා ගණිතය විෂය උගන්නන්න. ඒ ගුරුවරයාගේ නම වේලාරත්න.

පංතියේදී එතුමාට හදන්න අපහසු ගණන් පවා මම ඉතාමත් ඉක්මනින් හදනවා දැකලා එතුමා මට කිව්වා මම හරි දක්ෂ ළමයෙක්නෙ කියලා. නමුත් ඒ වෙලාවෙ අනිත් ළමයි හිනාවුණා. මම ගිය අවුරුද්දෙත් ඒ පංතියෙම හිටියා කියලා. නමුත් ඒ ගුරුතුමා මාව ඉගෙනගන්න උනන්දු කළා. පොත්පත් අරන් දුන්නා. මට මොළේ තියෙනව කියලා කිව්වේ ඒ ගුරුතුමා පමණයි. එතුමාගේ මගපෙන්වීම නිසා මම තුන්වන වාරය වනවිට පංතියේ පළවෙනියත් වුණා. ම කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ගිය පසු සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ කාළේ වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරය ඉතා ප්‍රබලයි. අළුත්ගම විද්‍යාලයේ ඉගෙනගත්තු කාලෙත් මම වාමාංශික පක්ෂයට බරවුණා. අපේ පාසලේ ගුරුවරු සියලුදෙනාම පාහේ වාමාංශික අදහස් දැරීම ඒකට හේතු වුනා. ඒ නිසා මම විශ්වවිද්‍යාලයට ගියේ සමසමාජ මනසකින් යුතුවයි. විශ්ව විද්‍යාලයේදී කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය සංගමයට එකතු වුණා. ඉන්පසු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට තරග කළා. එදා ඒක පාර්ලිමේන්තුවට යනවා වගේ තරගකාරී දෙයක්. 
තරුණ වියේද
කොහොම නමුත් එදා මම ඡන්ද 986ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගත්තා. ඒවගේම එදා මම විශ්ව විද්‍යාල ඒකාබද්ධ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින් ශිෂ්‍ය අරගලවලට මුල්තැන දුන්නා. එදා අදමෙන් විශ්ව විද්‍යාල තුළ මාස ගණන් ස්ට්‍රයික් තිබුණේ නැහැ. මගේ මුළු විශ්ව විද්‍යාල ජීවිතයටම ස්ට්‍රයික් තිබුණේ දවස් තුනයි. ඒ දවස්වල මම පක්ෂය වෙනුවෙන් මහන්සි වෙලා වැඩකරන නිසා කොමියුනිස්ට් පක්ෂයෙන් මාව මාස එකහමාරක රුසියානු සංචාරයකට යැව්වා. ඒ සංචාරයෙන් පසු එදා සෝවියට් දේශය ලෙස හැදින්වුනු රුසියාව වගේ සමාජයක් අපේ රටෙත් නිර්මාණය කරන්න මට ලොකු ආශාවක් ආවා. විශ්ව විද්‍යාලය තුළදී මම ආර්ථික විද්‍යාව, සිංහල, ඉතිහාසය යන විෂයයන් තුළින් සාමාන්‍ය උපාධිය ලබාගත්තා. ගෙදර තිබුණු ආර්ථික අපහසුතා නිසා මම ගෞරව උපාධිය කළේ නැහැ. උපාධිය සමත් වුණත් එදා අපිට රැකියා තිබුණේ නැහැ. ඒ නිසා මම සමස්ත ලංකා උපාධිධාරී සංගමය නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. මම එම සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කළා.
එදා අපි රැකියාවන් ඉල්ලා ගාල්ල, මාතර, හොරණ සහ කොළඹ ප්‍රදේශවල පෙළපාලි ගියා. මාතලේ, හක්මන, අනුරාධපුරය, හලාවත, රත්නපුර, කුරුණෑගල යන ප්‍රදේශවල රැස්වීම් පවත්වා අපිට රැකියා ලබාදෙන ලෙස අපි රජයට බලකළා. විරෝධතා පෙළපාලි, රැස්වීම් සංවිධානය කරන අතරතුර මට පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවනේ ගුරුපත්වීමක් ලැබුණා. මට රැකියාවක් ලැබුණත් මගේ අනෙකුත් මිත්‍රයන්ට රැකියා ලබාදීමේ අරමුණින් උපාධිධාරී සංගමයේ ක්‍රියාකාරීව කටයුතු කළා. එම කටයුතු සිදුකරන අතරතුරදී මට විජේවීරව මුණගැසුණා. ඔහුත් මම වගේම අපේ රටේ විප්ලවීය වෙනසක් කරන්න ඕන කියන අදහස දැරුවා. මමත් ඒ අදහසට එකඟ වෙලා අපි අවුරුදු දෙකක් විතර එකට වැඩ කළා. රට තුළ විප්ලවීය වෙනසක් ඇති කළ යුතුයි යන මතය දරපු නිසා මම මගේ රැකියාවෙන් ඉවත් වුණා. පසුව මම විජේවීරත් සමඟ පූර්ණකාලීනව සංවිධාන කටයුතු සිදුකළා. 

ඒ දවස්වල සෝවියට් ලයින්, චීන ලයින් නමින් පක්ෂ තිබුණා. ඒ නිසා අපි අපේ පක්ෂය ලංකා ලයින් ලෙස නම් කළා. එදා විජේවීරගේ සංවිධානය හැදින්වූයේ චේගුවේරා සංවිධානය නමින්. එදා ජේවීපීය තිබුණේ නැහැ. 1970 මහමැතිවරණයේදී අපි යූඑන්පී ආණ්ඩුව පෙරළලා සමඟි පෙරමුණ ආණ්ඩුව පිහිටුවන්න කටයුතු කළා. එම මැතිවරණයෙන් සමඟි පෙරමුණට 4/3ක බලයක් ලැබුණා. ආණ්ඩු ක්‍රමය වෙනස් කර සමූහාණ්ඩුවක් පිහිටුවන්න ඔවුන්ට හැකිවුණා. මැතිවරණයේදී අපි සමඟි පෙරමුණට සහයෝගය ලබාදුන් නිසා අපි අවස්ථාවාදීන් බව විජේවීර කිව්වා. ඒ නිසා අපි ඔවුන්ගෙන් ඈත්වෙලා මාතෘභූමි ආරක්ෂක සංගමය නමින් වෙනම සංවිධානයක් පිහිටුවා ගත්තා. ඔය අතරතුරදී විජේවීර ප්‍රමුඛ ජේ. වී. පීය සහ අපේ සංවිධානය අතර විවිධ අවස්ථාවලදී ගැටුම් ඇතිවුණා. එක් අවස්ථාවකදී කිරිඳීවැල, වේරහැර ප්‍රදේශයේදී අපිවත් අත්අඩංගුවට ගත්තා. දවස් 1 1/2 තියාගෙන ප්‍රශ්න කර නිදහස් කළා.

වියට්නාම යුද්ධ කාලේ අමෙරිකාව ඇනෝයි නගරයටත්, කඳුකරයේ පිහිටි විදුලිබල මධ්‍යස්ථානවලටත් බෝම්බ දැම්මා. මේ නිසා මුළු ලෝකයේම අමෙරිකාවට විරුද්ධව විශාල විරෝධයක් ඇතිවුණා. අමෙරිකාවට විරුද්ධව ලෝකයේ අනෙකුත් රටවල් විරෝධතා දක්වන ආකාරය අපි පුවත්පත්වලින් දැක්කා. රටවල් 20ක පමණ අමෙරිකානු තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ලකර තිබුණා. ඒ අවස්ථාවේදී සමඟි පෙරමුණ ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා, සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ 3 මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පෙළපාලියක් සූදානම් කළා. නමුත් ඔවුන්ගේ පෙළපාලියට කලින් දිනයේ අපි දවල් 11ට පමණ පෙළපාලියකින් ගොස් අමෙරිකානු තානාපති කාර්යාලයට ගැහුවා. එදා අපේ 16 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. නමුත් මම අවුරුදු දෙකක් පමණ සැඟවී සිටිමින් සංවිධාන කටයුතු සිදු කළා.

මූලගන්ධකුටියේ නායක හිමි සුමේධ හිමි සමඟ
ඒ සංවිධාන කටයුතු සිදුකරමින් සිටියදී මාවත් පොලිස් අත්අඩංගුවට ගත්තා. ඒවනවිට එම සිද්ධිය සම්බන්ධ නඩුව හයිකෝට් එකට ගිහින් තිබුණා. නඩුවක් හයිකෝට් එකට ගියපසු අලුතින් විත්තිකාරයෙක් ඇතුළත් නොකරන නිසා රඳවාගැනීමේ ආඥාව පනවලා මාව අවුරුදු 4ක් අත්අඩංගුවේ තැබුවා. මම නිදහස් වනවිට සමඟි පෙරමුණ බිඳවැටිලා. පසුව අලුත් වමේ පෙරමුණක් බිහිවුණා. වමේ පෙරමුණෙන් මම බේරුවලින් ඡන්දයට ඉදිරිපත් වුණා. එදා ජේ. වී. පිය මාව පරද්දන්න උත්සහ කළත් මම ඡන්ද 13,000ක් ලබාගත්තා. ජූලි වැඩවර්ජනය අවස්ථාවත් මගේ ජීවිතේ අමතක නොවන සිදුවීමක්. එම වැඩවර්ජනයේදී 40,000 පමණ කම්කරුවන් රැකියාවලින් ඉවත් කළා. ඊට විරුද්ධව ශ්‍රී ලංකා, කොමියුනිස්ට්, සමසමාජ පක්ෂ 3ම එකතුවෙලා සත්‍යග්‍රහයක් කළා. එහිදී මම ඇතුළු 12 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. සත්‍යග්‍රහය අවස්ථාවේ කිසියම් පුද්ගලයෙකු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. නමුත් එහි වැරදිකාරයා වුණේ මම. ඒ නිසා පුපුරණ ද්‍රව්‍ය ආඥාපනත යටතේ මට ඇප දෙන්න බැහැ කියලා මාව වසර 2ක් පමණ රිමාන්ඩ් බාරයේ රඳවාගත්තා.

පසුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරලා ඇප ලැබුණත් දිනපතා පොලිසියේ පෙනී සිටින්නට වුණා. අවුරුද්දක් ගතවූ පසු එය සතියට දවස් දෙකක් කළා. මේ විදිහට මම අවුරුදු 10ක් පොලිසියේ පෙනී සිටියා. ඒ අතරදීම මම කොබ්බෑකඩුව මහතාගේ ඡන්ද ව්‍යාපාරයටත් සහයෝගය දුන්නා. නමුත් එතුමා පරාජය වුණා. ඒ පරාජයත් සමඟ අපි නැවතත් විප්ලවකාරී ලෙස ක්‍රියා කළා. එදා අපි ජේ. වී. පී. මතය අනුමත කළේ නැහැ. 1989 භීෂණ සමයේ කිසියම් පිරිසක් මාවත් ඝාතනය කරන්න උත්සහ කළා. මට වෙඩි තැබුවා. නමුත් මගේ වාසනාවකට මම එදා බේරුණා. ඉන්පසුව මම මාස ගණනක් සැඟවී සිටියා. බෙංගමුවේ පන්සලේදී මම පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. භීෂණ සමය අවසන්වනතුරු මම පැවිදි ජීවිතයේ සිටියා. මාස 6ක් පමණ පැවිදි දිවියේ සිටි මම පසුව ඒ ජීවිතයෙන් ඉවත්වුණා. මම කුඩා කල සිට අනගාරික ධර්මපාලතුමාගේ චරිතයට, එතුමාගේ දර්ශනයට වඩාත් ඇල්මක් දැක්වූවා. අනගාරික ජීවිතයට යාමේ අරමුණින් තමයි මම සිවුරු අත්හැරියේ.

අද මම අනගාරික ජීවිතයක් ගත කරමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා රට පුරා දේශන පවත්වනවා. පොත්පත් රාශියක් මම රචනා කර තිබෙනවා. එදා විප්ලවකාරී ක්‍රියාකාරකම් තුළින් සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කටයුතු කළා මෙන් අද මගේ දැනුමින් සහ බුද්ධියෙන් යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කැපවී සිටිනවා.

-අනගාරික ධර්මසේකර
උපුටා ගැනීම
දිණමින
2011/08/04

Related

අනගාරික ධර්මසේකර තුමා 4527649007471460844

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item