ගඩාෆි ජනපති දිවිපුදා නිරුවත් කල බටහිර මිලේච්ඡත්වය

– වසන්ත බණ්ඩාර ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය පසුගිය 18 වැනි අගහරුවාදා ලිබියාවේ ඊනියා කැරළිකාර ආණ්ඩුවේ අගමැති මහමුඞ් ජිබිරිල...

– වසන්ත බණ්ඩාර
ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය පසුගිය 18 වැනි අගහරුවාදා ලිබියාවේ ඊනියා කැරළිකාර ආණ්ඩුවේ අගමැති මහමුඞ් ජිබිරිල් සහ සෙසු ඝාතකයින් පිරිසක් ටි‍්‍රපොලි නුවරදි මුණ ගැසිනි. එහිදි ඇය ඇ.ඩො. මිලියන 10ක මුදලක් ඔවුනට ප‍්‍රධානය කලේය. ඉන්පසුව ඇය ප‍්‍රකාශ කලේ ජනාධිපති මුහම්මර් ගඩාෆි කෙසේ හෝ මරා දැමිය යුතු බවයි. එම අවස්ථාව වඩාත් සමාන වන්නේ බටහිර චිත‍්‍රපටියක මාෆියා කණ්ඩායම් නායකයකු තම සාමාජිකයන්ට ඝාතන ‘කොන්ත‍්‍රාත්තුවක්’ බාරදෙන ජවනිකාවකටය. කෙසේවෙතත් ඊට දින දෙකකට පසුව එනම් 20 වැනි බ‍්‍රහස්පතින්දා හිලරි ක්ලින්ටන්ගේ ගෝල බාලයෝ වැඬේ අකුරටම ඉටු කලෝය. එහිදි නේටෝවේ කුළීකාර කැරළිකරුවන් විසින් ජනාධිපති ගඩාෆි අත්අඩංගුවට ගෙන පැයකට ආසන්න කාලයක් අනේක විධි අමානුෂික වධබන්ධන දී ඉතා කෲර ලෙස ඝාතනය කෙරිනි. රටක ජනාධිපතිවරයෙකු ඒ ආකාරයට මිලේච්ඡුත්වය ප‍්‍රදර්ශනය කරමින් ඝාතනය කෙරුණු අවස්ථාවක් ලෝක ඉතිහාසයේ සොයාගත නොහැක.

මේ කුළී කැරළිකරුවන් ගඩාෆි ජනාධිපතිතුමා අත්අඩංගුවට ගන්නේ ඔහු ආරක්ෂාව සදහා පලායාමට යොදාගත් වාහන පෙළකට නේටෝ හමුදාව විසින් පහරදීමෙන් පසුවය. එම ප‍්‍රහාරයෙන් ඔහුට තුවාල සිදු නොවූ අතර ඔහු මහ මග බෝක්කුවක් තුළ සැගව සිටීමට සමත් විය. ඔහු අත්අඩංගුවට පත්වන්නේ ඒ ආකාරයට ප‍්‍රතිවාදියාට එරෙහිව බලයක් යෙදීමට කිසිදු ඉඩක් නැති තත්වයක් යටතේය. එම සිද්ධි මාලාවට ප‍්‍රථම ජනාධිපතිවරයා තම උපන් ගම වූ සර්ට් නුවර නිවාස සංකීර්ණයක සැගව සිටින බව ‘නේටෝව’ තහවුරු කොට ගෙන තිබුනි. එසේම සර්ට් නුවර ප‍්‍රහාරය මෙහෙයවීම සදහා ඇමරිකානු හමුදා නිලධාරින් සහ සී. අයි. ඒ ඔත්තුකරුවන් භූමියේ රැදී සිටිමින් උපදෙස් ලබාදුන් බවට මාධ්‍ය වාර්ථා පලවිය. එම තත්වය තුළ ජනාධිපතිවරයා පලා යාමට යොදා ගත් වාහන පෙලට පහරදීම සදහා අවසාන උපදෙස් එම භූමියේ රැදී සිටි නිළධාරීන්ගෙන් ලැබුනු බවට සැකයක් නැත. එසේම එම ප‍්‍රදේශය ආවරණය වන ලෙස නියමුවන් රහිත ගුවන්යානා සහ චන්ද්‍රිකා තාක්ෂණයද යොදාගත් බවටද සැකයක් නැත.

මේ කරුණු සියල්ලම සැලකිල්ලට ගැනීමේදි පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගතහොත් ඔහු මරාදැමිය යුතු බවට පූර්ව නියෝගයක් තිබුන බවයි. දින දෙකකට පෙර හිලරි ක්ලින්ටන් එම ඝාතනය සදහා විවෘත නියෝගයක් දෙමින් ‘නියෝග දීමේ වගකීම’ තමා වෙත පවරා ගත්තේය. එසේම පැයකට ආසන්නව වධ බන්ධන ලබා දුන් කාලයේදී බිමේ සිටි උසස් හමුදා නිළධාරීන් කිසිවකු ජනාධිපතිවරයා ආරක්ෂිත භාරයට ගැනිමට කටයුතු නොකලේය. ඒ බව මාධ්‍ය වල ප‍්‍රදර්ශනය කෙරුණු රූප රාමු මගින් ඉතා පැහැදිලිව ඔප්පු විය. ඒ අනුව හිලරි ක්ලින්ටන්ගේ කුලීකාර නිලධාරීන් පිටුපස සිට ඒ මිලේච්ඡුත්වය නරඹමින් ප‍්‍රීති වූ බවටද කිසිදු සැකයක් නැත. ඒ වන විට ගඩාෆි පාර්ශවයෙන් කිසි`දු ප‍්‍රති ප‍්‍රහාරයක් එල්ල නොවූ අතර අත් අඩංගුවට ගත් ජනාධිපතිවරයා ඒ ආකාරයට මරා දැමිමට අංශු මාත‍්‍ර හෝ සාධාරණ හේතුවක් මේ ඊනියා මානව හිමිකම් වාදින්ට සොයාගත නොහැක. එසේනම් එය බටහිරයන්ගේ මිණුම් දඩු වලටම අනුව කෲර යුධ අපරාධයකි. ඒ නිසා දැන් ඉතා පැහැදිලිවම ලෝකයාගේ ඇස් ඉදිරියේ හිලරි ක්ලින්ටන් යුධ අපරාධ කාරියකි.

ජනාධිපති ගඩාෆි ඝාතනය සමග බටහිර අධිරාජ්‍යවාදයේ ව්‍යාජ සදාචාර සළුපිලි සියල්ල ගැලවී ගොස් ඇත. (ඉතිරිව තිබූ අවසාන සළුව) ඒ සදහා එතුමාට දිවිපිදීමට සිදුවූවද ලෝක ප‍්‍රජාවේ වඩාත් ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ට මේ මිලේච්ඡුත්වයට එරෙහිව ප‍්‍රතිචාර නොදක්වා සිටිය නොහැකි තත්වයක් ඒ මගින් උදාවී ඇත. එහෙත් මේ වන විට එම කෲර ඝාතනය පිළිබද බරක් ඔබාමා ඉතා සැහැල්ලූවෙන් සතුට ප‍්‍රකාශ කල ආකාරය අනුව ඔහු කිසිසේත්ම ඉහත සදහන් කල ලෝක ප‍්‍රජාවට ඇතුල් වන්නේ නැත. ඔහුගේ අශිෂ්ඨත්වය කොතෙක්ද යත් ගුවන් ප‍්‍රහාර හා රජයේ හමුදා ප‍්‍රහාර වලින් ඝාතනය වූ 50,000 කට අධික අහිංසක සිවිල් වැසියන් ගැන එක වචනයකින් කණගාටුව පල කලේ නැත. විශේෂයෙන්ම ඔහු ලෝක ත‍්‍රස්තවාදයේ අංක එකේ නියමුවකුවූ ප‍්‍රභාකරන්ගේ ඝාතනය සහ ලෝක ත‍්‍රස්තවාදයට ප‍්‍රසිද්ධියේ විරුද්ධව කටයුතු කල ගඩාෆි ජනාධිපතිගේ ඝාතනය පිළිබදව දක්වන දෙබිඩි පිළිවෙත ඒ බව තවදුරටත් තහවුරු කරයි. බන්කී මුන්ගේ නිහඩ වතද කියාපාන්නේ ඔහුද ඉතා පැහැදිලිව ශිෂ්ඨ සම්පන්න ලෝක ප‍්‍රජාවට අයත් නොවන බවයි. නමුත් ඉතා කණගාටුදායක ලෙස සදහන් කල යුත්තේ ලෝක නායකයින්ගේ අති බහුතරයකගේ නිහඩ බවද කියාපාන්නේ ඔවුන්ද ඒ ගෝත‍්‍රයටම අයත් බවයි. මේ මිලේච්ඡු යුධ අපරාධ පිළිබඳ විරෝධය පලකොට ඇත්තේ වැනිසියුලාවේ හියුගෝ චාවේස් ජනාධිපතිතුමා පමණි.

දැන් මානව හිමිකම් කවුන්සිලය ගඩාෆි ජනාධිපතිතුමාගේ ලේ වලින් තමාගේ මඩ සෝදා ගැනීමට නින්දිත උත්සාහයක් ගන්නා බවද පෙනෙන්නට ඇත. ඔවුන් මේ වන විට කෲර වද හිංසා නිසාම මිය ගියා යයි විශ්වාස කල හැකි ඔහුගේ සිරුරට (මළසිරුරට) අවසාන වෙඩිල්ල තැබූ බවට සැක කරන අවු 18 ක කජු කිරි කොල්ලෙකුගේ නමක් සොයාගෙන ඇත. දැන් ඒ නම හිලරි ක්ලින්ටන් ගේ නම වෙනුවට ආදේශ කිරීම ඔවුන්ගේ උත්සාහය බව පෙනේ. බොහෝවිට ඔවුන් කිසිදු ආකාරයේ චෝදනා විභාග කිරීමක් නොකර සිටීමට උත්සාහ කරනු ඇත. එහෙත් බටහිරයන් දැනටමත් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ශ‍්‍රී ලංකාවට එරෙහිව සිදුකරන කුමන්ත‍්‍රණය තවදුරටත් පවත්වා ගැනිම සහ සාධාරණීයකරණය කිරීම සදහා ව්‍යාජ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉඩ ඇත. කජුකිරි කොල්ලකුගේ නමක් අවශ්‍ය වන්නේ ඒ සදහාය. දැනටමත් නවනිදන්පිල්ලේගේ කාර්යාලයේ තවත් කජු කිරි කොල්ලකු ලවා ඒ පිළිබදව ඉගියක් පලකොට ඇත.

කෙසේවෙතත් බටහිර අධිරාජ්‍යවාදීන් තම මිලේච්ඡුත්වයේ හෙළුව පිළිබදව ලජ්ජාවට පත්වන බවක් කිසිසේත්ම පෙනෙන්නේ නැත. ලිබියාව ආක‍්‍රමණයේදී විශේෂයෙන්ම ඉරාකයේදී සහ ඇෆ්ගනිස්ථානයේදී මෙන් ඇමරිකානු සොල්දාදුවන් මරණයට පත්වූයේ නැත. ලිබියානු ආක‍්‍රමණයේදී ඇමරිකානු ජීවිත හානි නොවූ බව කියමින් සහ අනාගතයේදී ඇමරිකාවට ලැබෙන ලිබියානු ව්‍යාපාරීක අවස්ථා පිළිබද සතුට ප‍්‍රකාශ කරන දර්ශන මාධ්‍ය තුළින් දැකගන්නට ලැබුනි. ඉතා පිලිකුල් සහගත සහ ජුගුප්සාජනක එම දර්ශන වල හිලරි ක්ලින්ටන්ගේ සිට මාධ්‍යවේදීන් දක්වා ඇමරිකානුවන් පෙනී සිටිනු දක්නා ලදි. ඔවුන් තාක්ෂණය හා මාධ්‍ය භාවිතා කරමින් තම ජයග‍්‍රහණය තහවුරු කොට ගත් බැවින් අන් කවර ආක‍්‍රමණයකදීට වඩා බටහිර ජනතාව ඇන්දවීමට සහ චූන් කිරීමට ඔවුනට හැකිවී ඇත. ගඩාපි ජනාධිපතිතුමාගේ සුවිශේෂී දුර්වලතා මෙන්ම වසර 42 ක් තිස්සේ ඔහුට එරෙහිව දියත්කල මානසික යුද්ධයේ අස්වැන්න නිසාද එසේ ජනතාව නොමග යැවීම යම් පමණකට පහසු වී ඇත. ඒ නිසා දැන් බටහිරයන් ලෝක ත‍්‍රස්තවාදය වැලැක්වීම, මානව හිමිකම් රැකීම ආදී සීනි බෝල පෙන්වා තම කොල්ලකාරී යුද්ධ දිගටම පවත්වාගෙන යනු ඇත. අද බටහිර පරිභෝජනවාදී සමාජය සම්පුර්ණයෙන්ම නඩත්තු වන්නේ සම්පත් කොල්ලය මතම බැවින් කෝල්ලකෑම ඔවුන්ගේ පැවැත්මේ මුලීක අවශ්‍යතාවයක් බවටද පත්වී ඇත.

එදා සෘජු යටත් විජිත යුගයේදී බටහිරයන් පෙන්වූ අල්පමාත‍්‍ර වු ශිෂ්ඨ සම්පන්න බවක් තිබුණා නම් අද වන විට එහි අංශු මාත‍්‍රයක් හෝ නැති බව ඉතා පැහැදිලිය. එදා ඉංග‍්‍රිසී ආක‍්‍රමණිකයා ශ‍්‍රී ලංකාවේ අවසන් රජු වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ තම කුළී කරුවන් ලවා ඝාතනය කරවුයේ නැත. ඒ වෙනුවට ඔහුව ඉන්දියාවට පිටුවහල් කොට තම අත් සෝදාගැනීමට එදා ඔවුන් ක‍්‍රියා කලේය. නමුත් අද ඊනියා යටත්විජිතකරණ යුගයේ දී හෙවත් නූතන සෘජු ආක‍්‍රමණ යුගයේ දී ඔවුන් කැබරේ නාටිකාංගනාවන් සේ එක් සලූව බැගින් ගලවා විසිකරමින් ඇත. ඉරාකය ආක‍්‍රමණය කොට ලක්ෂ 03 කට ආසන්න ජනතාව ඝාතනය කලද ඔවුන් සදාමි හුසෙන් ජනාධිපතිතුමා ඝාතනය කරන්නේ හොරාගේ අම්මාගේ අධිකරණයකින් හෝ නඩු ඇසීමෙන් පසුවය. ඉන් පසුව බින් ලාඩන් මරා දමන්නේ ත‍්‍රස්වාදී ලේබලය යටතේ මහජනයාට නොපෙනන ලෙස රහසිගතවය.

නමුත් දැන් ඔවුන් තම කුලී මිනීමරුවන් ලවා ප‍්‍රසිද්ධියේ වද බන්ධන දී ගඩාපි ජනාධිපතිවරයා ඝාතනය කිරීම මගින් තම අවසාන සලූව ගැලවීමට නිර්භීත වී ඇත. මේ මහා යුද අපරාධයට වගකිව යුතු සියලූ නේටෝ රටවල් තමාගේ මිලේච්ඡුත්වය ප‍්‍රසිද්ධියේ සාධාරණී-කරණය කරති. ඒ පිළිබඳව පුදුම වීම සාධාරණ නොවේ. එසේම ඒ බටහිර රටවල කුලීකාර ඒජන්ත රටවල නායකයින් ස්වේච්චාවෙන් මුකවාඩම් දමා ගැනීමද ශිෂ්ට සම්පන්න මිනිසුන්ට පිළිගත හැක. එහෙත් චීනය හා රුසියාව වැනි රටවල් බලහත්කාරය සහ මිලේච්ඡුත්වය ඉදිරියේ මුනිවත රැුකීම මගින් අනාගත ලෝකයට ඛේදවාචකය කැඳවනු ඇත.

පවතින ලෝකයට මේ ආකාරයෙන් ම තව දුරටත් ඉදිරියට ගමන් කළ හැකිද? බටහිර අධිරා්‍යවාදින් මරා දැමීමට තීරණය කොට ඇති රාජ්‍ය නායක ලැයිස්තුවට ඉරානයේ, සිරියාවේ සහ යේමනයේ ජනාධිපතිවරුන්ට අමතරව තව කීදෙනෙකු අයත් වනවාද. ඇෆ්ගනිස්ථානයේ දි වසර 10 කට අධික කාලයක් තිස්සේ ලක්‍ෂයකට අධික ජනතාවක් මරා දමා ඩොලර් මිලියන 500 කට ආසන්න අමෙරිකානු බදු ගෙවන ජනතාවගේ මුදල් වියදම් කර ඒ රටේ ජනතාවට ලබා දී ඇත්තේ කුමක් ද? ඒ රටේ වර්තමාන ජනාධිපතිවරයාගේ වදනවලින් කියන්නේ නම් ඒ ජනතාවගේ ජීවිත තවදුරටත් අනාරක්‍ෂිත කිරීම පමණි. අද ලිබියානු ජනාධිපතිගේ මළ සිරුර එකතු වන්නේ ගුවන් ප‍්‍රහාර මගින් මරා දැමුණු පනස් දහසක් අහිංසක ජනතාවගේ මළ සිරුරු කඳු මතට ය. ඒ රටේ දී විනාශ කළ දේපළවල වටිනාකම කොතෙක් දැයි කිසිදින ගණනය නොකරනු ඇත. එය ඒ තරමට විනාශකාරීය. කෙසේ වෙතත් ලිබියාවේදී තව සුවිශේෂී ප‍්‍රවණතාවක් පැණ නැගුනි. ඒ එම රටට අයත් විදේශ බැංකුවල තැන්පත් කළ අරමුදල් තහනම් කොට අත්පත් කර ගනිමින් ආක‍්‍රමණික වැය පියවා ගැනීමයි.

එසේ ඌරාගේ පිටේ තබා කපන ඌරු මස් ගිලීමට බටහිර ගිජු ලිහිනි සමාගම් දැනටමත් පොර කමින් ඇත. තෙල් සම්පත් කොල්ලකෑම සඳහා බටහිර සමාගම්වලට නිදහසේ හැසිරීමට සහ දේශීය සමාගම් අත්පත්කර ගැනීමට අදාල නිතීමය පසුබිම නිර්මාණය කිරීම තවකාලික ආණ්ඩුවේ පළමු අභියෝගය වනු ඇත. ඊට අමතරව විනාශකල සමාජ දේපල නැවත ගොඩනැගීම සඳහා කොන්ත‍්‍රාත් ලබා ගැනීම සහ ඒ සඳහා ණය මුදල් ලබාදීම පිළිබඳව දැනටමත් සාකච්ඡුා වෙමින් ඇති බව වාර්තා විය. ඒ ක‍්‍රියාවලිය තුල කැරළිකරුවන්ට ඉඩ දී බලාසිටි බහුතරයක් වූ ලිබියානු ජනතාවට ඉදිරියේ දී බෝහෝ නරක දේ භූක්ති විදීමට සිදුවනු ඇත.

වසර 42 ක ගඩාපි පාලනය තුල ප‍්‍රජාත්නත‍්‍රවාදය කුමන ආකාරයට නිර්වචනය කෙරුනත් එම රටේ ජනතාවට සිතාගත නොහැකි තරම් ප‍්‍රතිලාභ ප‍්‍රමාණයක් භූක්ති විදීමට අවස්ථාව ලැබුණි. පසුගිය මාස 08 ක යුද්ධයට පෙර ඔවුන් භුක්තිවිදි අංග සම්පූර්ණ නිදහස් සෞඛ්‍යය සේවයට සහ අධ්‍යාපනයට කුමක් සිදුවේද ? එම රටෙහි ලබා ගත නොහැකි අධ්‍යාපන සහ සෞඛ්‍යය සේවා පිටරටක දී ලබා ගැනීමට රජය විසින්ම මුදල් ගෙවීම තවදුරටත් භුක්ති විදිය හැකිද ? නව විවාහක යුවලකට නිවසක් සහ වාහනයක් මිලදී ගැනීමට රජයෙන් ලැබුනු නිර්ලෝභී දීමනා ඒ රටවැසියාට නැවත ලැබේද ? නේටෝ හමුදාවේ කුලී කැරළිකරුවන් බවට පත් වූ කජුකිරි කොල්ලන්ට ද ඒ සියලූ පහසුකම් අහිමිවනු ඇත. එපමණක් නොවේ. අනාගතයේ දී ඇතිවන සහ සූක්ෂමව ඇති කරනු ලබන අභ්‍යන්කර බල අරගල සහ ග්‍රෝතික ගැටුම් තුල ඒ කැරළිකරුවන් බහුතරයකට ද ජීවිත අහිමිවීමේ ඉඩකඩ ඉතා බහුල වනු ඇත. ගඩාපි ජනාධිපති නැති ලිබියාව හෙට දින සිට ඇෆ්ගනිස්තානයක් බවට පත්වන බවට කිසිදු සැකයක් නැත.

ඒ තත්වය තුල බටහිරයන්ගේ මිලේච්ඡුත්වය ඉදිරියේ ශිෂ්ඨසම්පන්න ලෝක නායකයින් සහ ජනතාව තවදුරටත් නිවටුන් සේ හිස නමාගෙන සිටීමෙන් පලක් නොවන බව ඉතා පැහැදිලිය. විශේෂයෙන්ම සම්පත් පිරි රටවල නායකයින්ට මේ තත්වය වඩාත් වලංගු වේ. මේ විනාශකාරී ගමන ඒ සියලූ රටවල ජනතාවට දුක සහ මරණය කැඳවනු ඇත. ශ‍්‍රී ලංකාවේ වාරය ද කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණී. ශ‍්‍රී ලංකාවේ දී ඔවුනට අවශ්‍ය කාලය යනු රට තුලින් ඊනියා බෙංගාසි කැරළිකරුවන් අතලොස්සක් සොයා ගැනීමට ගතවන කාලයයි.

මේ තත්වය තුල ලෝකයේ ශිෂ්ඨසම්පන්න මිනිසුන් හැසිරිය යුත්තේ කෙසේ ද යන්න වැනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් පසුගිය එක්සත් ජාතීන්ගේ මහා සමුලූවේ දී සිදුකළ ප‍්‍රකාශය මගින් ඉදිරිපත් කර තිබුනි. එතුමා ප‍්‍රශ්න කරන්නේ බටහිරයන්ගේ මජර සහ කෑදර අධිපරිභෝජනවාදී ජීවනක‍්‍රමය පවත්වා ගැනීම සඳහා රටවල් කොල්ලකමින් මළමිනී ගොඩ ගසමින් තව කොතෙක්දුර යෑමට ඉඩදෙනවාද යන්නයි. එසේම මේ සියලූ මිලේච්ඡු නග්න ආක‍්‍රමණ දෙස අසරණව බලා සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලෝක ප‍්‍රජාවට තවදුරටත් ප‍්‍රයෝජනයක් තිබේද යන පැණයද ඔහු අසයි. මේ ප‍්‍රශ්ණ වලට උත්තර සොයා ගැනීම සහ ඒවා ලෝකයා ඉදිරියේ නිර්භයව කථා කිරීම අද යුගයේ සියලූ ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගේ අවම යුතුකමයි.

වෛද්‍ය කේ.එම්.වසන්ත බණ්ඩාර

මහ ලේකම්, දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය


උපුටා ගැනීම

ඉරිදා ලංකාදීප
2011-10-30

Related

වෛද්‍ය වසන්ත බණ්ඩාර 3495441520895896372

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item