ගංවතුරට හොඳම විසඳුම

පොහොසත් බලවත් රටවල් වූ ඇමරිකා එක්‌සත් ජනපදය හා කැනඩාව පංච මහාවිල් ආරක්‍ෂා කිරීම ජාතික ප්‍රතිපත්තියක්‌ කරගනිද්දී වීර කැප්පෙ...

පොහොසත් බලවත් රටවල් වූ ඇමරිකා එක්‌සත් ජනපදය හා කැනඩාව පංච මහාවිල් ආරක්‍ෂා කිරීම ජාතික ප්‍රතිපත්තියක්‌ කරගනිද්දී වීර කැප්පෙටිපොල මරා මොණරවිල ලංකා සිතියමෙන් මකා දැමූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අනුව යන අපේ යුගයේ පාලකයෝ ඊනියා කර්මාන්තපුරයක්‌ හැදීමේ නාමයෙන් ලෝක ප්‍රකට මහා ධර්ම සංවාදය සිදුවූ පානදුර පුරවරයට සෙතක්‌ වූ මෝදර විලත් ගොඩ කළහ. බියගම වෙළෙඳ කලාපයේ නාමයෙන් පට්‌ටිවිල, පමුණුවිල හා ගෝණවිලද ගොඩ කිරීම සම්පූර්ණ කරනු ලැබිණි. වෙල්ලස්‌සේ පටන් දිගාමඬුල්ල දක්‌වා වැව් ඇළ වේලි කඩා බිඳ දැමූ අධිරාජ්‍යවාදී පාලකයෝ හලාවත ඉරණවිල සිට මාතර තල්පාවිල හා තෙලිඡ්ජවිල දක්‌වා වූ විල්, වෙල් හා වගුරු බිම් ගොඩ කිරීම ආරම්භ කළහ. එය ගංවතුර උග්‍ර කිරීමේ ක්‍රියාවලියේ ආරම්භයද විය. හලාවත ඉරණවිල හා කටුපිටිමාදම්පේ, නාත්තණ්‌ඩි තබ්බෝව, කිරිමැටියාන, ලුණුවිල, මාරවිල, තඹරවිල ආදී සරුසාර පහත් බිම්, විල්, වෙල් හා වගුරු බිම් වලින් මෙන්ම වත්මන් ගම්පහ දිස්‌ත්‍රික්‌කයට අයත් වන සරුසාර මුතුරාජ වෙල් යායෙන්ද කොටසක්‌ ගොඩ කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයෝ කොච්චිකඩේ, මීගමුව, කටාන, සීදුව, ජාඇල, බෝපිටිය, පමුණුගම, රාගම, හුණුපිටිය, මාබෝල, වත්තල, ගොංගිතොට, තෙළඟපාත, පෑලියගොඩ හා කැලනි ප්‍රදේශයෙන්ද කොටසක්‌ ගොඩ කරමින් පුත්තලම් පාරත්, නුවර පාරත්, මිනුවන්ගොඩ පාරත්, බියගම පාරත් ඇතුළු පාරවල් පද්ධතියක්‌ ගොඩ නැගූහ. පාරවල් හදද්දී හැකිතරම් බෝක්‌කු, පාලම් තැනූ යටත්විජිත වාදීන් අනුව යමින් කැස්‌බෑව සිට වාඩියමංකඩ දක්‌වා නව ජයවර්ධනපුර යනුවෙන් පාර පළල් කළ ජයවර්ධන ආණ්‌ඩුව මොරටුව වලාන අතර අලුත් පාර තැනීමේදී බෝක්‌කු පාලම් කිසිවක්‌ නොතැබීමේ ප්‍රතිඵලය වූයේ මොරටුවද ගංවතුරට යටවීමයි.

කොළඹ හා කොළඹ අවට පහත් බිම් ගොඩකිරීම වේගවත් වූයේ විවෘත ආර්ථික පිළිවෙත ක්‍රියාත්මක වීමත් සමගය. විවෘත ආර්ථිකයත් සමග විවෘත ආර්ථිකයේ දේශපාලනය ක්‍රියාවට නැඟුණේ වඩාත් අවිචාරවත් ලෙසය. කොළඹ දිස්‌ත්‍රික්‌කයේ තම ඡන්ද පදනම් පුළුල් කර ගැනීම හා ශක්‌තිමත් කර ගැනීම සඳහා ඡේ. ආර්. ප්‍රේමදාස ආණ්‌ඩු කාලය තුළ අවිධිමත් ජනාවාසකරණය වේගවත් විය. කොළඹ හා කොළඹ අවට රජයේ ඉඩම් ගොඩ කිරීමටත් වඩා අවිධිමත් හා හානිකර වූයේ පුද්ගලික අංශයේ ඉඩම් ගොඩ කිරීම්ය. විශේෂයෙන් කොළඹ අවට කොලොන්නාව, කෝට්‌ටේ, කඩුවෙල, දෙහිවල, ගල්කිස්‌ස, මොරටුව, මහරගම, කැස්‌බෑව මැතිවරණ බල ප්‍රදේශ තුළ පුද්ගලික ඉඩම් ගොඩ කිරීම අතිශයින්ම හානිකර ප්‍රතිවිපාක ගෙන දෙන්නක්‌ විය. මේ විග්‍රහය ඉදිරිපත් කරන මා 1967 දී සුනේත්‍රා දේවී පිරිවෙනේ ඉගැන්වූ වසරක කාලය තුළ ගම්සභා හන්දියත් පැපිලියාන හන්දියත් අතර වූ සරු සාර කුඹුරු යාය මුළුමනින් ගොඩකිරීම උදාහරණයක්‌ ලෙස දැක්‌විය හැක. මෙබඳු පුද්ගලිකවම අප අත්දුටු උදාහරණ සිය ගණනක්‌ කොලොන්නාව, කෝට්‌ටේ, දෙහිවල, ගල්කිස්‌ස, රත්මලාන, මහරගම, කැස්‌බෑව හා කඩුවෙල මැතිවරණ කොට්‌ඨාසවලින් පමණක්‌ වුවද ගෙනහැර දැක්‌විය හැක. කොළඹ අවට වගුරු බිම්වලට හොර ඔප්පු හැදීමත් හොර ඔප්පු හදාගෙන වගුරු බිම් කඩිමුඩියේ බාගෙට ගොඩකර විකිණීමත් කර්මාන්තකරණයේ හා ජනාවාසකරණයේ නාමයෙන් සරුසාර කුඹුරු පවා බාගෙට ගොඩකර ව්‍යාපාරික ස්‌ථාන හා නිවාස තැනීමත් නිසා ගංවතුර ප්‍රශ්නයත් ගංවතුර ඉක්‌මනින් බැස නොයැමත් සමග මදුරු උවදුරත් උග්‍රවී ඇත.

කොළඹ හා කොළඹ අවට රජයේ ඉඩම් ගොඩකිරීම දේශපාලන බලවතුන්ගේ අවශ්‍යතා අනුව සිදුවූ අතර වගුරුබිම්වලට හොර ඔප්පු හදාගෙන කඩිමුඩියේ ඉඩම් බාගෙට ගොඩකර විකිණීමත්, ගෙවල් තනා විකිණීමත්, දේශපාලන බලවතුන්ගේ හිතවතුන්ගේ අවශ්‍යතා අනුව සිදුවූ බව රහසක්‌ නොවේ. දුප්පත් කුඩා කුඹුරු හිමි ගොවීන්ට තර්ජන කර සුළු මුදලක්‌ දී ඔප්පු ලියවාගත් පාතාල බලවත්හු එම කුඹුරු කඩිමුඩියේ බාගෙට ගොඩකර, විකුණාගෙන ධනවත් වූහ. මේ අවිධිමත් හානිකර ඉඩම් ගොඩ කිරීම් කළුතර දිස්‌ත්‍රික්‌කයේ පානදුර නගරයට අයත් පහත් බිම්වලටත් පානදුර ප්‍රාදේශීය සභා ප්‍රදේශයටත් කළුතර නගර සභා ප්‍රදේශයටත්, කළුතර ප්‍රාදේශීය සභා ප්‍රදේශයටත්, බණ්‌ඩාරගම ප්‍රාදේශීය සභා ප්‍රදේශයටත්, බේරුවල නගර සභා ප්‍රදේශයටත්, බේරුවල ප්‍රාදේශීය සභා ප්‍රදේශයටත් ව්‍යාප්ත වූ ආකාරය ෙ€දජනකය.

පානදුර නගර සභා ප්‍රදේශය පැය දෙකක ධාරානිපාතයකින් ගංවතුරට යටවීමට හේතු වූයේ නගරය තුළවූ මෝදරවිල ඡේ. ආර්. ජයවර්ධන රජය මගින් ගොඩකර කර්මාන්ත පුරයක නාමයෙන් තට්‌ටු නිවාස හැදීම යෑයි කිව යුතුය. හොරේතුඩුව, ගොරකාන, කොහොල්වත්ත, පරත්න, ගොරකපොල, හිරණ, කිරිබේරිය, එළුවිල, මහවිල, දිබ්බැද්ද, මාදුපිටිය, තල්පිටිය හා වාද්දුව ප්‍රදේශවල ඉඩම් ගොඩ කිරීම නිසා ගංවතුර තර්ජනයත් සමග මදුරු උවදුර උග්‍රවී ලෙඩකර, රෝග කාරක පරිසරය පුළුල්වී ඇත.

කැස්‌බෑව සිට බණ්‌ඩාරගම ඔස්‌සේ මොරොන්තුඩුව හරහා වාඩියමංකඩ දක්‌වා වූ පාර නව ජයවර්ධනපුර පාර ලෙසින් පළල් කිරීමත් සමඟ මඩපාත, බටුවන්දර, කිඳෙල්පිටිය, වැල්මිල්ල හා ගම්මන්පිල ගම්වල විශාල භූමි භාගයකත් ගල්තුඩේ හා මොරොන්තුඩුව කඩමණ්‌ඩිය අතර ගෝණදූව ද ඇතුළු පුළුල් ප්‍රදේශයකත් කන්දෙකඩේ සිට ගාලුපාර දක්‌වා කොරොස්‌දූව, කව්ඩුදූව හා දෙල්දූව ඇතුළු දූවවල් හතකින් සෑදුනු විශාල බිමකත් කරන ලද ගොඩ කිරීම නිසා ගංවතුර තර්ජනයකුත් මදුරු උවදුරත් උග්‍රවීම ප්‍රදේශවාසීන් මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක්‌ව තිබේ.

අතීතයේ මෝයවල් හතක්‌ ඔස්‌සේ මුහුදට බැස ගිය කළුගඟේ ප්‍රධාන මෝය හැර අනෙක්‌ සියලු මෝයවල් වැසී යන තරමට ගොඩ කිරීම් උග්‍ර වීමේ ප්‍රතිඵලය වී ඇත්තේ, රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ හා සිංහරාජ වනයේ ජල පෝෂක ප්‍රදේශවල සිට මහා ජල කඳක්‌ මුහුදට ගෙන යන මහා ජාතික සම්පතක්‌ වූ කළුගඟ නිතර ගංවතුර තර්ජන ඇති කරන මහා විපතක්‌ බවට පත්වීමයි.

කළුතර නගර සභා ප්‍රදේශය තුළ හා කළුතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඉඩම් ගොඩ කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ, එතනමඬල, විලේගොඩ, දෙදියවල, ජාවත්ත, පලාතොට, පන්විල, ඇටවිල, කෙටිවිල, දූව හා හීනටියන්ගල අවටත් කටුකුරුන්ද හා නාගොඩ ප්‍රදේශවලත් කොහොලාන, උක්‌වත්ත සේරුපිට හා බෝඹුවල, තෙබුවන ප්‍රදේශවලත් ගංවතුර තර්ජනය උග්‍ර වීමයි. මාතර කොට්‌ටාව අධිවේගී මාර්ගයේ මහා පස්‌කණ්‌ඩිය සහිත ඉදිකිරීම් නිසා පනාපිටිය, ඇලමෝදර, පැල්පොල, දියගම, ගල්පාත, පාතකඩ, මහදුරුපිටිය, මදුරාවල හා අඟුරුවාතොට ප්‍රදේශවල ගංවතුර තර්ජන තවත් උග්‍ර වී ඇත. බේරුවල මැතිවරණ කොට්‌ඨාසයේ පයාගල, පොතුවිල, හල්කඳවිල, මග්ගොන, දියලගොඩ, මස්‌aවිල, පන්නිල, වලතර, මුල්ලපිටිය, වැලිපිටිය, වරාපිටිය, මාලේවන, කොටපිටිය හා කාලවිල දර්ගා නගරයේත් බේරුවල නගරයේත් කර ඇති ගොඩ කිරීම් බරපතල පරිසර ප්‍රශ්න රැසකට හේතුවී ඇත.

දකුණු පළාතේ ගංවතුර තර්ජනය උග්‍ර වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මාදුගඟ, මාදම්පෙ ගඟ, ගිංගඟ, පොල්අතුමෝදර ඔය හා නිල්වලා ගංගාව, අවටත් විශේෂයෙන් ගිං, නිල්වලා ගංගා නිම්න භූමිවලත් කර ඇති අවිධිමත් අවිචාරවත් හානිකර ගොඩ කිරීම් බවට සැකයක්‌ නැත. නිතර ඇතිවන ගංවතුර තර්ජනයත් සමග උග්‍ර වන මදුරු වසංගතය හා ජලය අපිරිසිදුවීමත්, පරිසරය අපිරිසිදුවීමත් සමග පැතිරෙන ලෙඩ රෝගත් මැඬ පවත්වා ජනතා සෞඛ්‍යය ආරක්‍ෂා කරන්නේ කෙසේද? රටවැසි ජනතාවගේ සෞඛ්‍යයට හා ආර්ථිකයට අභිවෘද්ධියටත් සන්තුෂ්ඨියටත් හේතුවන අන්දමින් සුන්දර සිත් ගන්නා පරිසරයක්‌ සකස්‌ කරන්නේ කෙසේද?

රටට වැඩදායක වන අන්දමින් අපේ සංස්‌කෘතික උරුමය අගය කරන සොබා සෞන්දර්යවාදී සංචාරකයන් ඇදී එන ආකාරයෙන් බස්‌නාහිර හා දකුණු පළාත්වලත් රටේ අනෙක්‌ පළාත්වලත් පරිසරය යහපත් තත්ත්වයට ගෙන එන්නේ කෙසේද?

හලාවත සිට මාතර දිස්‌ත්‍රික්‌කයේ දික්‌වැල්ල නගරය දක්‌වා ඇතිවන ගංවතුර ප්‍රශ්නයටත් සෞඛ්‍ය ප්‍රශ්නයටත් විසඳුම වන්නේ ප්‍රශ්නයට හේතු වූ වරද නිවැරැදි කිරීමයි. කොළඹ නගරයේ හා අනෙකුත් නගරවල වීදිවල අනවසර ඉදිකිරීම් හා පදික වේදිකා වෙළෙන්දන් ඉවත් කරන්නාක්‌ මෙන් හලාවත සිට දික්‌වැල්ල දක්‌වා වයඹ, බස්‌නාහිර හා දකුණු වෙරළබඩ තීරයේත් මුQහුදු වෙරළේ සිට රට තුළට කිලෝමීටර් තිහක්‌ තරම් දුරකට පැතිරුණු ජනාකීර්ණ ප්‍රදේශයේත් සියලු අවධිමත් අහිතකර ඉදිකිරීම් එතරම් ඉක්‌මනින් ඉවත් කළ නොහැක. විශේෂයෙන් පුද්ගලික ඉඩම් හිමිකම මත පිහිටා කළ අවිධිමත් අහිතකර ඉදිකිරීම් ඉතිරිකිරීමේදී රටේ ආර්ථික හෝ සමාජමය අර්බුදයකට හේතු නොවන අන්දමින් කටයුතු කළ යුතුව තිබේ. ගොඩකරනු ලැබ, ව්‍යාපාරික ස්‌ථාන හා ජනාවාස පිහිටුවා ඇති රජයට අයත්ව තිබූ ඉඩම්වල මෙන්ම පෞද්ගලික ඉඩම්වලද සිදුකරන ලද අහිතකර ගොඩ කිරීම් මත ගොඩනගා ඇති නිවාස හා ව්‍යාපාරික ස්‌ථාන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එම ව්‍යාපාරික ප්‍රජාව සමඟත් ගොඩකරන ලද ඉඩම්වල තැනූ නිවාසවල පදිංචිකරුවන් සමඟත් සාකච්ඡා කර අෙන්‍යාන්‍ය අවබෝධය මත සැමට යහපතක්‌ වන පිළිවෙතක්‌ ප්‍රකාශයට පත් කර ඒ අනුව කටයුතු කළ යුතුය. ගංවතුරට යටවන නිවාසවල බොහෝ දෙනකු ඊට එකඟ වනු ඇත.

රජය මගින් කඩිනමින් ඉතා ඉක්‌මනින් නීති සකස්‌ කර පාර්ලිමේන්තුවේ සම්මත කර, ප්‍රකාශ කළ යුතුව ඇත්තේ, අලුතෙන් පහත්බිම්, කුඹුරු හා වගුරු බිම්, ගොඩ කිරීම පරිසර හා ස්‌වභාව සම්පත් අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියකින් තොරව නොකළ යුතු බවත් එසේ කිරීම නීති මගින් දඬුවම් ලැබිය හැකි බරපතල සමාජ විරෝධී වරදක්‌ වන බවත්ය. එසේ ප්‍රකාශ කරන අතරම හැකිතාක්‌ ඉක්‌මනින් රජයේ ඉඩම් මෙන්ම පුද්ගලික ඉඩම් ද උපයෝගී කර ගනිමින් වගුරු බිම්වලින් කොටසක්‌ ගංවතුරක්‌ දරාගත හැකි විල් බවට පත් කළ යුතුය. උග්‍ර වී ඇති ප්‍රශ්නයට විසඳුමක්‌ ප්‍රකාශයට පත් කිරීමේදී ඉතිහාසගත මුතුන් මිත්තන්ගේ නිර්මාණශීලී අත්දැකීම් උපයෝගී කර ගත හැක. ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය හා ආසියාවේ බෞද්ධ ධම_ශාස්‌ත්‍රීය මධ්‍යස්‌ථානය බවට පත් කිරීමට නායකත්වය දුන් මහ පැරකුම්බාවන් බස්‌නාහිර පළාතේ වගුරු බිම් සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත මහා වංශයෙන් උපුටා ජනතාව හමුවේ තැබීමෙන් ජනතාවගේ ද එකඟතාව මත වගුරු බිම්වලින් කොටසක්‌ විල් බවට හැරවීමේ ජාතික ප්‍රතිපත්තියක්‌ ප්‍රකාශයට පත් කළ යුතුය. පස්‌දුන් කෝරළයේ වගුරුබිම් විල් බවට හරවා විල්වලින් ජලය ගෙන ගංගාහි ලා කුඹුරු කරවීය". යනුවෙන් මහාවංශයේ හැට අටවැනි පරිච්ඡේදයේ සඳහන් වන එකම වගන්තිය වුවද නිර්මාණශීලී මනසක්‌ ඇති ඉතිහාසයෙන් ඉගෙන ගන්නට සූදානම් දේශපාලනඥයන්ට ජාතික වැඩපිළිවෙළක්‌ සැකසීමේදී ශක්‌තිමත් පදනමක්‌ බවට පත්කර ගත හැක. එසේ නැතිව අපි ද ඉතිහාසය දන්නවා යෑයි කියමින් හරියාකාරව නොදන්නා ඉතිහාසයක්‌ ගැන කතා කිරීමෙන් පළක්‌ නොවේ.

ලංකාපුර සෙනෙවියාගේ නායකත්වයෙන් දෙමළ දේශයට ලක්‌ෂයක සේනාවක්‌ යවන්නට සංවිධානය කළ මහා පරාක්‍රමබාහු රජතුමාගේ මෙහෙයවීමෙන් මුළු බස්‌නාහිර වෙරළ තීරයම එකම නැව් කම්හලක්‌ බවට පත්කළ බව මහාවංශයේ සඳහන් වන බව අමතක නොකළ යුතුය. බස්‌නාහිර වෙරළ තීරයම එකම නැව් කම්හලක්‌ බවට පත්කළ ඉතිහාසයක්‌ ඇති ජාතියකට රට වටා වරායවල් කිහිපයක්‌ සැදීම මෙන්ම ගංවතුරට යටවන බස්‌නාහිර පළාතේ හා දකුණු පළාතේ පහත් බිම්වලින් හතරෙන් පංගුවක්‌ හෝ පහෙන් පංගුවක්‌ ඕනෑම ගංවතුරක්‌ දරාගත හැකි විල් බවට හැරවීම මහ ලොකු වැඩක්‌ නොවේ.

දැනටමත් පහත් බිම්, වෙල්, විල් හා වගුරු ගොඩකර නිවාස හා ව්‍යාපාරික ස්‌ථාන පිහිටුවාගෙන සිටින බහුතරයට යහපතක්‌ වන අයුරින් වඩාම නොසුදුසු තැන්වල තනා ඇති නිවාස හා ව්‍යාපාරික ස්‌ථාන ඉවත් කර සුන්දර විල් හා සිත් ගන්නා දිය පිරි පළල් ඇළවල් සහිත පරිසරයක්‌ සකස්‌ කිරීමෙන් නිතර ඇතිවන ගංවතුර ප්‍රශ්නයත්, මදුරු උවදුරත්, පරිසරය අපවිත්‍ර වීමෙන් උග්‍රවන සෞඛ්‍ය ප්‍රශ්නත් විසඳිය හැක. පොදු බහුතරයේ යහපත සඳහා ඉවත් කරන නිවාස හිමියන්ට හා ව්‍යාපාර හිමියන්ට වන්දි ගෙවීම හෝ වෙනත් සුදුසු බිම්වල තට්‌ටු නිවාස හා ව්‍යාපාරික ස්‌ථාන සකසාදීම හෝ කළ යුතුය.

ගංවතුරට මුහුණදීම සඳහා මෙන්ම ජල හිඟයට ද විසඳුමක්‌ ද වන අයුරින් රට වටා ගලන සියලුම ගංගාවලත්, ප්‍රධාන ගංගාවල අතු ගංගාවලත්, ඉවුරුවලට නොදුරින් සුදුසු බිම් තෝරාගෙන ගබඩා ජලාශ ඉදිකළ යුතුය. එසේ රට වටා ගලන ගංගා හා අතු ගංගා ඇසුරු කරගෙන ගබඩා ජලය තැනීමේදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ජල විදුලි උත්පාදනය ද කළ හැක. මෝසම් වැසි සමයේ ගබඩා ජලාශ පිරීම නිසා පෑවිල්ලත් සමග ඇතිවන ජල හිඟය නැතිව ජල උල්පත් සක්‍රීය වී ළිං පිරේ.

උතුරු පළාත ඇතුළු රජරටත්, නැගෙනහිර ඇතුළු රුහුණෙත්, පහළ ඌවේත්, වයඹ පළාතෙත් ගංවතුරට හා ජල හිඟයට ඇති හොඳම විසඳුම එම පළාත්වල ඇති නටබුන් වැව් හා බාගෙට ගොඩවූ විසිදහසක්‌ පමණ වූ ලොකු කුඩා වැව්වල එක්‌වූ රොන්මඩ ඉවත්කර ගංවතුරක්‌ දරාගත හැකිවන අන්දමට වැව් කණ්‌ඩි ශක්‌තිමත් කිරීමයි. වියළි කලාපයේ විසිදහසක්‌ පමණ වන ලොකු කුඩා වැව් ඇළවේලී ජාලයත් සමග තෙත් කලාපයේ විල් සිය ගණනකුත් නිර්මාණය කළහොත් ඒ විල් වටා බිහිවන ජීව හිතවාදී ගෙවතු පරිසරය නිසා ශ්‍රී ලංකාව ලෝකයේ සොබා සෞන්දර්යයෙන් අනූන ජීව හිතවාදී ආදර්ශ දේශය වනු ඒකාන්තය. වියළි කලාපයේ දස දහස්‌ ගණන් වැව් හා තෙත් කලාපයේ සිය ගණන් වැව් තිබූ පැරැණි ස්‌වයංපෝෂිත ශ්‍රී ලංකා සමාජයේ ආදර්ශයන් සමග චීනයේ අඳෝනාව ලෙස සැලකුණු හොවැංහෝ ගඟ (දැන් කහ ගඟ) හා එහි අතු ගංගාවල ජලාශ දහස්‌ ගණනක්‌ ගොඩනඟා ගංවතුර පාලනය කරමින් ජල හිඟයෙන් පෙළුණු ප්‍රදේශවලට ජලය සපයා සමාජවාදී සංවර්ධනයේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගයන් ආදර්ශයට ගතහොත් අපේ පුංචි රටේ ගංවතුර ප්‍රශ්නයටත්, ජල හිඟයටත් විසඳුමක්‌ ලබාදී සමෘද්ධිමත් සමාජයක්‌ ගොඩනැඟිය හැක.

අනගාරික ධර්මසේකරතුමා

උපුටා ගැනීම
දිවයින

2010/05/25

Related

අනගාරික ධර්මසේකර තුමා 793301459505008787

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item