වංචා, දූෂණ, ඝාතන රජයන ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නිවහල් අදීන අධිකරණයකි

අහිසංක ගැමි බෞද්ධයන්ගේ විශ්වාසය අනුව යම රජු අල්ලස්‌ ගන්නේ නැත. මුළු ලෝකයේම අපරාධකාරයන්ට දඬුවම් දෙන යම රජු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තුනෙන් ...


අහිසංක ගැමි බෞද්ධයන්ගේ විශ්වාසය අනුව යම රජු අල්ලස්‌ ගන්නේ නැත. මුළු ලෝකයේම අපරාධකාරයන්ට දඬුවම් දෙන යම රජු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයට හෝ ලොව කිසිම බලයකට යට වන්නේද නැත. ලෝදිය හැළි, කටුඉඹුල් හා ගිනිදැල් මැද අපායේ වෙසෙන යමරජුට අල්ලස්‌ හෝ කොමිස්‌ ආදී වෙනත් කිසිම ක්‍රමයකින් අයථා ලෙස ධනය ඉපැයීමක්‌ අවශ්‍ය නොවන්නේ එබඳු වූ අයථා ධනයකින් පලක්‌ නොවන හෙයිනි. යමපල්ලන්ට තබා යම රජුටවත් අපායේ සුවපහසු සුඛෝපභෝගී හිස්‌ ප්‍රදර්ශනවාදී මැදුරු මන්දිර මාළිගා තනාගත නොහැක. අපායේ සම්භාහන ආයතන, සුපිරි ගණිකා නිවාස හෝ අන්තඃපුර ආදී කිසිදු ජරා ආයතනයක්‌ ඇති කළ නොහැක. අපායේ රජයන්නේ එකම නීතියකි. ඒ පක්‍ෂ බේදයකින්, දේශපාලන හිතවත්කම් හා නෑදෑ හිතමිතුරුකම් ආදී කිසිදු විශේෂත්වයකින් තොරව වරදට දඬුවම් කිරීමේ සර්ව සාධාරණ ක්‍රමයයි. යම රජතුමා ළඳ බොළඳ සුන්දර සුරූපී නව යෞවනියන් හෝ වෙනත් අයගේ පව්කාර භාර්යාවන් මගින් වරදට පොළඹවා ගත නොහැක. සර්ව සාධාරණ නීතිය රජයන අපායේ ජනාධිපති සමාව ආදී කිසිම ආකාරයක සමාව දීමේ ක්‍රමයක්‌ නැති හෙයින් අපාගත වන සියල්ලන්ටම තමන් කළ පාපයන්ට අනුව නොඅඩුව දඬුවම් විඳින්නට සිදු වේ. සර්ව සාධාරණ යමරජුගේ හිතට අයථා ධනෝපායන අදහස්‌ ඇති නොවන්නේ අපායේ කිසිවකුටත් සුවිශේෂ ආහාර ක්‍රම, වායුසමීකරණය කළ සුවපහසු මෘදු මොළොක්‌ ඇඳ ඇතිරිලි සහිත සුවිශේෂ නිදන කාමර හෝ ඇඟ පත පිරිමදිමින් මහලු වියේ පවා සියොළඟ පුබුදු වන සුරූපිනියන් ද නැති හෙයිනි.

ශ්‍රී ලංකාවේ ජනතාවට තම තමන්ගේ තරාතිරම අනුව වෙනස්‌ වන විවිධාකාර කටුක ආහාර හා රසමසවුළු සහිත සුවිශේෂ භෝජන මෙන්ම මුඩුක්‌කු පැල්පත්වල කොතෙකුත් දුක්‌ කම්කටොලු හා සුව පහසු ඇඳ ඇතිරිලි සහිත සීත කාමර ආදී සැප සම්පත් තිබේ. දුප්පත් ගොවීන්ටත් බොහෝ වූ දුප්පත් කම්කරුවන්ටත් දුප්පත් ලිපිකරුවන්ටත් පෞද්ගලික පංති නොකරන ගුරුවරුන්ටත් මඤ්ෙÆක්‌කා, කොස්‌, පොලොස්‌, රොටි, කුඩු පිට්‌ටු හා කාර්යාල වැඩපළවල් අසල තබාගෙන විකුණන අඩු මිල කෑම පාර්සල් තිබේ. නගරවල දුප්පත් කම්කරුවන්ට මදුරු විමාන බවට පත් වූ මුඩුක්‌කුවලත් දුප්පත් ගොවියන්ට හේන්වල පැල්පත්වලත් අව්වෙන් ගිනියම් වන ටකරන් තහඩු හෝ ඇස්‌බැස්‌ටස්‌ තහඩු සෙවිලි කළ කුඩා ගෙවල්වලත් ජීවත් විය හැකි වේ. අතීතයේ වහළට මානං කොළ හෝ පොල් අතු සෙවිලි කළ ගොම මැටි ගෙවල්වල විසූ ගැමි ජනතාවට උදාගම්වලින් ඇරැඹුණු ඊනියා සංවර්ධන ක්‍රියාමාර්ගවලින් ලැබුණු සිමෙන්ති ගල්වලින් තැනූ වහළට ඇස්‌බැස්‌ටස්‌ තහඩු දැමූ මද්දහනේ ගිනියම් වන පෝරණු හා සමාන ගෙවල් තිබේ. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්‌ථා, මණ්‌ඩල ආදී සියලු ක්‍ෂේත්‍රවල දූෂිත නිලධාරීන්ටත්, දූෂිත පොලිස්‌ හා බන්ධනාගාර නිලධාරීන්ටත්, දූෂිත දේශපාලන බලවතුන්ටත් අයථා මගින් උපයන ධනය අනුව සුවපහසු ගේදොර මැදුරු මන්දිර මාළිගා මුදු මොළොක්‌ ඇඳ ඇතිරිලි රස නහර පිනවන, ගත පණගන්වන අධිපෝෂණ රස බොජුන් මහල්ලන් තිරිහන් කරන වාජීකරන ඖෂධ හා මහලු වයසේ වුවද හිත ගත පුබුදුවමින් සම්භාහනයේ යෙදෙන ළඳ බොළඳ සුරූපිනියන්ගේ සත්කාර සංග්‍රහ ලැබේ. එහෙයින් කළ යුත්තේ මොන ආකාරයෙන් හෝ ධනය රැස්‌ කිරීම යෑයි සිතන පාපී සිත් ඇත්තෝ දූෂණයෙහි ගැලී සිටිති. යම රජු බලා සිටී.

අතීතයේ ධම_ද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරයව තිබූ වර්තමානයේ ණයගැති භාවයේ හා දූෂණ අගාධයේ ගිලී විනාශමුඛය කරා ඇදී යමින් පවත්නා ශ්‍රී ලංකාව බේරාගත හැක්‌කේ පවට බිය වන, අල්ලස්‌ කොමිස්‌ ආදියෙන් තොරව යුක්‌තිය රජකරවන, ළඳ බොළඳ ළාබාල සුරූපිනියන්ගේ සංග්‍රහ සහිත අධම පාපී ජීවිත පිළිකුල් කරන යම රජුගේ වැනි සව_ සාධාරණ නායකත්වයක්‌ මගින් පමණි. යම රජු ආදර්ශයට ගන්නා නායකයකුට ප්‍රශස්‌ති ගායනා කරන වන්දිභට්‌ට මැති ඇමතීන් හෝ අධිකරණය පවා කීකරු කරගත හැකි තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක්‌ හෝ අවශ්‍ය නොවේ. සව_ සාධාරණ යමරජු ආදර්ශයට ගන්නා අවංක පිරිසිදු නායකත්වයකට සිය ගණන් උපදේශකයන් අවශ්‍ය නොවේ. අවශ්‍ය වෙතොත් ප්‍රඥ පාරමිතාව පිරීමේ ශේ්‍රෂ්ඨත්වය සංකේතවත් කරන මහෞෂධ පණ්‌ඩිතයන් වැනි බෝධිසත්ව මාර්ගෝපදේශකයකු පමණකි. උම්මග්ග ජාතකයේ එන වේදේහ රජු තමාට ප්‍රශස්‌ති ගායනා කරමින් සිටි සේනක, පුක්‌කුස, කාවින්ද ආදී වන්දභට්‌ට බමුණු උපදේශකයන් වෙනුවට ධාර්මික ගොවියකුගේ බෝසත් පුතකු වූ මහෞෂධ පණ්‌ඩිතයන් තම අග්‍ර පුරෝහිතයා බවට පත් කර ගත් නිසාම මහා බලගතු විදේශාක්‍රමණයක්‌ පරදා රට රැක ගත හැකි විය. බෝසත් මහෞෂධ පණ්‌ඩිතයන්ගේ සම්‍යක්‌ උපාය මාර්ගයට ආධාර අනුබල දුන් වේදේහ රජුට ඉන්දියානු අර්ධ මහාද්වීපයේ සියයක්‌ රාජධානි යටත් කරගෙන දකුණු ආසියාවේ බලවතා වූ බ්‍රහ්මදත්ත අධිරාජයාගේ අධිපතිවාදී අපේක්‍ෂාවන් පරදවා බ්‍රහ්මදත්තයන් ද සාමකාමී මිතුරකු බවට පත් කර ගත හැකි විය. වත්මන් ශ්‍රී ලංකාවට ද අවශ්‍ය වන්නේ අධිපතිවාදී ඉන්දියාවට හා නව යටත් විජිතවාදයට යට නොවී ඉදිරියට යැමේ මග පෙන්වන බෝධිසත්ව මාර්ගෝපදේශකත්වයක්‌ මිස දූෂිත ඇමැතිවරුන්ට යට වූ අධිකරණය පවා කීකරු කර ගන්නට උපක්‍රම යොදන තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක්‌ නොවේ.

දොaෂාභියෝගාදී ක්‍රියාමාර්ග මගින් අධිකරණය කීකරු කරගත යුත්තේ යුක්‌තියට පිටුපා ක්‍රියා කරන බලයෙන් දූෂණය වූ පාලක කල්ලියකට පමණකි. පාපයෙහි ගැලී දූෂණ අගාධයෙහි ගිලී විනාශය කරා ඇදී යන පාපී පාලකයෝ අධිකරණයටත් අපායටත් යමරජුටත් බිය නොවෙති. දූෂිත පාලන තන්ත්‍රයකට අවශ්‍ය වන්නේ දූෂිත සමාජයකි. දූෂිත පාලක කල්ලියකට ජනතාව පන්සිල්හි පිහිටුවන භික්‍ෂූන් වහන්සේ හා පන්සිල් රකින උපාසක උපාසිකාවන් පවා පෙනෙන්නේ සතුරන් ලෙසිනි. ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ ස්‌ථානවල පන්සිල් සුරකින සමාජයක්‌ ගොඩනගමු යනුවෙන් දැක්‌වෙන පුවරු ප්‍රදර්ශනය කර ඇත. ජනාධිපතිතුමාට සුබපතන මුවාවෙන් හන්දියක්‌ ගාණේa තමන්ගේ මුහුණු ප්‍රදර්ශනය කරන මැති ඇමැතිවරුන්, නගරාධිපතිවරුන්, නගර සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සංස්‌ථා සභාපතිවරුන් හා අධ්‍යක්‍ෂවරුන් ආදී විවිධ තරාතිරම්වල ලොකු ලොක්‌කන් විසින් ජනපති උපන්දිනය හා පදවි ප්‍රාප්තිය වෙනුවෙන් දැවැන්ත යකඩ පයිප්ප රාමු හා සුවිසාල වානේ අට්‌ටාල මගින් ඔසවා තබා ඇති ප්‍රදර්ශන පුවරු ආදිය සඳහා වියදම් කළ ධනයෙන් එක ග්‍රාමසේවා කොට්‌ඨාසයකට එක බැගින් රට පුරා වූ ග්‍රාමසේවා කොට්‌ඨාස දාහතර දහස්‌ ගණන සඳහා පැල්පත්වාසීන් දාහතර දහස්‌ ගණනකට රටේ පරිසරයට ගැළපෙන ගෙවල් සාදා දිය හැකිව තිබිණි. එසේ ජනාධිපති උපන්දින දහයක්‌ සඳහා ලොකු ලොක්‌කන්ගේ මුහුණු ප්‍රදර්ශනය කරන දිලිsසෙන දැවැන්ත ප්‍රචාරක පුවරු වෙනුවට අවුරුදු දහයකදී රට පුරා ගෙවල් එක්‌ලක්‍ෂ හතළිස්‌ දහසක්‌ සාදා දුප්පතුන් වෙත පවරා දිය හැකිව තිබිණි.

දැනටමත් ජනාධිපති උපන්දින සැමරුම් හා පදවිප්‍රාප්ති උත්සව හතක්‌ පවත්වා ඇති හෙයින් ඉතිරි පදවි ප්‍රාප්ති තුන හෝ හතර වෙනුවෙන් දුප්පතුන් සඳහා රටේ පරිසරයට ගැළපෙන නිවාස තනා දුන්නා නම් එය මහා පින්කමක්‌ වනු නිසැකය. එහෙයින් බෙදුම්වාදී කොටි ත්‍රස්‌තවාදයෙන් හා ත්‍රස්‌තවාදයට ආධාර අනුබල දුන් නව යටත් විජිතවාදී අධිපතිවාදී බලවේගයන්ගෙන් ශ්‍රී ලංකාව බේරා ගන්නට නායකත්වය දුන් ජනාධිපතිතුමන් විසින් කළ යුතුව ඇත්තේ දූෂිත මැති ඇමැතිවරුන් සහිත තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයෙන් අධිකරණය කීකරු කර ගැනීමේ දොaෂාභියෝග සැලසුම් ඉවත දමා රට හදන සැබෑ ජනහිතකාමී ධාර්මික පිළිවෙතක්‌ ක්‍රියාවට නැඟීමයි. එසේ නොකළහොත් ජනතාවට යමරජුගේ පිහිට පතන්නට සිදුවනු නිසැකය.


අනගාරික ධර්මසේකර තුමා 
දිවයින

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item