13 ඉල්ලීමට පෙර ඉන්දියාව කළ යුතු දේ

ඉන්දියාව විසින් තවමත් සිදු කරමින් පවතින්නේ, ඉන්දිරා ගාන්ධි විසින් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය පෝෂණය කිරීම සඳහා ගෙන ගිය ක්‍රියා ...

ඉන්දියාව විසින් තවමත් සිදු කරමින් පවතින්නේ, ඉන්දිරා ගාන්ධි විසින් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය පෝෂණය කිරීම සඳහා ගෙන ගිය ක්‍රියා මාර්ගයේ ම ඉදිරියට යැම බව පෙනී යයි. ශ්‍රී ලංකාව තුළ දෙමළ බෙදුම්වාදය ත්‍රස්‌තවාදයක්‌ බවට වර්ධනය වන්නේ තනිවම නොවේ. කේවල ලෙස දෙමළ බෙදුම්වාදය, ත්‍රස්‌තවාදයක්‌ බවට පත්වූවා නම් අද වනවිට එය සම්පූර්ණයෙන්ම පරාජයට පත්වී වසර තිහක්‌ පමණ ගත වන්නට තිබිණි.

1982 දී සිය භූමිය තුළ ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදයට සන්නද්ධ මුහුණුවරක්‌ ලබාදීම තුළින් ලේ වැකි ශ්‍රී ලංකාවක්‌ හා කැබලි වූ ශ්‍රී ලංකාවක්‌ බිහි කර ගැනීම සඳහා ඉන්දියාව දුන් දායකත්වයෙන් ලේ වැකි ශ්‍රී ලංකාවක්‌ වසර තිහක්‌ පුරා දක්‌නා තෘප්තිය ඉන්දියාවට ලැබුණද කැබලි වූ ශ්‍රී ලංකාව දැකීමේ වරම ඔවුනට හිමි නොවීය. එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය යුද්ධයෙන් පරාජය කිරීමෙන් පසු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නට කියා හෝ 13 ට එහා යන බලයක්‌ ලබා දෙන ලෙස කියමින් ඉන්දියාව යළිත් ශ්‍රී ලංකාවට බලහත්කාර ප්‍රයත්නයක්‌ යොදමින් සිටින්නේ, කැබලි වූ ශ්‍රී ලංකාවක්‌ දැකීමේ "භාග්‍යයක්‌" හිමිකර ගැනීමට විය යුතුය.

ඉන්දියාවට ශ්‍රී ලංකාව තුළ දෙමළ බෙදුම්වාදය පෝෂණය කිරීමට මෙතරම් අවශ්‍ය වී ඇත්තේ ඇයි යන්න පැහැදිලි ප්‍රශ්නයකි.

ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවේ ඇමරිකන් ගැති විදේශ පිළිවෙත, ඉන්දීය නායකයන්ගේ හිත් රිදෙනාකාරයට ජයවර්ධන පාලනය කටයුතු කිරීම, කලාපීය බල තුලනයේදී ශ්‍රී ලංකාව හීලෑකර ගැනීමට අවශ්‍ය වීම ආදිය, දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය පෝෂණය කිරීම සඳහා ඉන්දියාවට බලපෑ කාරණා ලෙස සමහරුන් පෙන්වා දෙනු ලබයි.

ශ්‍රි ලංකාවේ විදේශ පිළිවෙත ඇමරිකානු හිතවාදී හෝ ඉන්දියාවට එරෙහිව තැනක තිබුණා යෑයි උපකල්පනය කළ ද මෙවැනි මට්‌ටුවකින් ඉන්දියාවට ලැබෙන්නේa ශ්‍රී ලංකාව තමන්ගේ අවශ්‍යතාවයට කළමනාකරණය කර ගැනීමට හැකි වීම නොව, කලාපය තුළ ඉන්දියාවේ සතුරන් ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත්වීමත්, කලාපයෙන් බාහිර ඉන්දීය සතුරන් ශ්‍රී ලංකාව සමග මිත්‍ර තත්ත්වයට පැමිණ නව කරදරකාරී තත්ත්වයක්‌ කලාපය තුළ ඉන්දියාවට නිර්මාණය වීමය. ජයවර්ධන ආණ්‌ඩුව විසින් ඉන්දියාවේ හිත රිදෙනාකාරයේ කටයුත්තක්‌ සිදු කළා නම් ඉන්දිරා ගාන්ධි ආණ්‌ඩුව කළ යුතුව තිබුණේ, එයට ශ්‍රී ලංකාවෙන් පළිගැනීම නොවේ. ජයවර්ධන ආණ්‌ඩුව මාරු කරන තැනකට ඉන්දියාව විසින් කටයුතු කළේ නම්, එවැනි තත්ත්වයකට ගැලපෙන පිළිතුරක්‌ ලෙස එය බාරගත හැකිය.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ දෙමළ වර්ගවාදය පෝෂණය කරන සෑමවිටම එය සාධාරණීකරණය සඳහා ඉදිරියට දමන්නේ, තමිල්නාඩු සාධකයයි. තමිල්නාඩුව ඉදිරියට දමමින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ, ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය පෝෂණය කිරීම සඳහා ඉන්දියාව කරන ලද මෙහෙවර හේතුවෙන්, ඉන්දියාවේ අන් කිසිදු ප්‍රාන්තයකට නොමැති සුවිශේෂ බලයක්‌ තමිල්නාඩුව විසින් අද උසුලනු ලබයි. අන් කිසිම ප්‍රාන්තයකට ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය හෝ ශේ්‍රෂ්ඨාධිකරණයෙන් එල්ලුම්ගහට යෑවූ පුද්ගලයන් එම දඬුවමට ලක්‌ කිරීම වැළැක්‌වීමට හැකියාව නැතත් තමිල්නාඩුවට එවැනි මට්‌ටමෙන් ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව පාලනය කරන තත්ත්වයක්‌ ලැබී තිබේ.

අනෙක්‌ අතට තමිල්නාඩුව සතුටු කරනු පිණිස, ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදය ශක්‌තිමත් කිරීම සඳහා ඉන්දියාව යැම තුළ සිදුවන්නේ, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙපළාතේදී ශක්‌තිමත් වන දෙමළ වර්ගවාදය තමිල්නාඩුව සමග අත්වැල් බැඳගෙන ස්‌වාධීන දෙමළ රාජ්‍යයක්‌ ස්‌ථාපිත කරන්නට යැම හෝ ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදයට අනුව තමිල්නාඩුවේ ද දෙමළ බෙදුම්වාදයක්‌ වර්ධනය වීම හරහා අවසානයේ ඉන්දියාවේ ස්‌වෛරී භාවයට ද බරපතල හානියක්‌ සිදු වීමය.

සියලු අතින් ගත්තද ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදය පෝෂණය කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග ඉන්දියාවට සාධාරණීකරණය කළ නොහැකි සේම, එම කාර්යයන් මගින් ශ්‍රී ලංකාවට පමණක්‌ නොව ඉන්දියාව ද අවාසි අත්විඳින තත්ත්වයකට ඇද වැටී තිබේ. එසේ තිබියදීත් තවමත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ දෙමළ වර්ගවාදය, බෙදුම්වාදය පෝෂණය කිරීම සඳහා 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස හෝ 13 ට එහා යන බලය බෙදීමක්‌ සිදු කරන ලෙස බලහත්කාරකමක්‌ සිදු කරයි නම් එය හැඳින්විය හැක්‌කේ ඉරිසියාකාර අසල්වාසියකුගේ කෲර ක්‍රියාවක්‌ ලෙසය.

ශ්‍රී ලංකාවේ දෙමළ ත්‍රස්‌තවාදය බිහි කිරීම සඳහා ආකල්ප, මුදල්, අවි හා පුහුණුව ලබාදුන් ඉන්දිරා
ගාන්ධි සික්‌ ත්‍රස්‌තවාදයේ ගොදුරක්‌ව දිට්‌ඨධම්මවේදනීය කර්මයට මුහුණ දුන්නාය. පසුව ශ්‍රී ලංකාව ව්‍යවස්‌ථාවෙන්ම බෙදා දැමීම සඳහා 13 වැනි සංශෝධනය බලහත්කාරයෙන් ගෙන ආ, විමුක්‌ති මෙහෙයුම මගින් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය අවසාන කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී මෙහෙයුම නවතා දමන්නට බලපෑම් කළ රජිව් ගාන්ධි, එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයේම ගොදුරක්‌ බවට පත් විණි.

ශ්‍රී ලංකාව තුළ බෙදුම්වාදය වැපිරීම තුළින් තමන්ටද බොහෝ ප්‍රශ්න ඇති වී තිබෙන මුත් ඉන්දියාව තවමත් තර්කානුකූල රාමුවකින් තොරව ශ්‍රී ලංකාවට බලය බෙදීම සඳහා බල කරමින් තිබේ. 1987 වසරේ ඉන්දීය බලහත්කාර ප්‍රයත්නය දරුණු තත්ත්වයක තිබියදී එම වසරේ ජුලි දෙවැනිදා මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එඩ්වර්ඩ් අසාර් හා ජනාධිපතිs ජයවර්ධන අතර සාකච්ඡාවක්‌ පැවතුණි. එම සාකච්ඡාවේදී මහාචාර්ය අසාර් තබාගත් සටහනේ උද්ධෘත දෙකක්‌ ඡේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ එයි.

පළමු උද්ධෘතය - ඉන්දියාව සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ අනාගතයට හා සමහර විට කලාපයේ ම අනාගතයට තර්ජනයක්‌ එල්ල කිරීමය. ඉන්දියාව සාධණීය ලෙස කටයුතු නොකළහොත්, ශ්‍රී ලංකාවට අනාගතයේදී දුෂ්කර යුගයකට මුහුණ පාන්නට වනවා ඇත. ඒ සමඟ ඉන්දියාවටද එසේ වන්නේය. තමන් පාලනය කරන සීමාවන් ගෙන් ඔබ්බට පැතිර යාවි කියා බය නොවී ගින්දර සමග සෙල්ලම් කළ නොහැකිය.

දෙවැනි උද්ධෘතය - හිංසාවට භාජනය කිරීමේ හා ප්‍රචණ්‌ඩ ක්‍රියා වර්ධනය කිරීමට උදව් කරන්නේ කවුද කියා ශ්‍රී ලංකාව විමතියෙන් සිටියි. ශ්‍රී ලංකාවේ අස්‌ථාවරත්වයක්‌ ජනිත කරන්නට තැත් කරන අයට උදව් කිරීමෙන් ඉන්දියාව සිය තත්ත්වයම දුබල කරගනී.

ශ්‍රී ලංකාවේ දෙමළ වර්ගවාදය, බෙදුම්වාදය පෝෂණය කිරීමෙන් ඉන්දියාවට සිදුවන දෙය මුල් කාලයේදීම දැකීමට මහාචාර්ය අසාර් වැනි බාහිර නිරීක්‍ෂකයකු සමත් වුවත්, සිය අගමැතිවරයකු ද ඝාතනය කරන තැනට එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය සමත් වීමෙන් පසුවත්, සහභාගීත්ව නිරීක්‍ෂකයකු වූ ඉන්දියාව තවමත් ගමන් කරමින් තිබෙන්නේ පැරැණි පාරේමය.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්‌a. එම්. ක්‍රිෂ්ණා හෝ වෙනත් ඉන්දීය නියෝජිතයකු ශ්‍රී ලංකාවට පැමිණෙන විටම, ශ්‍රී ලංකා රජය කතා කිරීමට අකමැතිම මාතෘකාව බලය බෙදීම ඔහු දනී. එසේ
දැන දැනත් ඔවුන් තමන්ගේ කතා බහේ ප්‍රධාන මාතෘකාව බවට පත් කරගන්නේම බලය බෙදීමය. මෙවර එන්a. එම්. ක්‍රිෂ්ණා හා ජනාධිපති රාජපක්‍ෂ හමුවේදී ද ඒ තත්ත්වය උදා වී තිබෙන්නට ඇත. පළාත් සභා සඳහා ඉඩම් හා පොලිස්‌ බලතල නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම කියා තිsබියදීත් 13 ට වැඩි යමක්‌ ලබාදීමට උත්සාහ කරන බව ඔහුට සඳහන් කරන්නට සිදුවන්නේ ඉන්දීය බලහත්කාරකම ඉදිරියේය.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය යුද්ධයෙන් පරාජය කර, ඊළමක්‌ ව්‍යවස්‌ථාවෙන් බිහිකර වෙනත් දෙමළ ජාතිවාදී කණ්‌ඩායමකට ලබාදීමට ජාතිය සූදානම් නැති බව ආණ්‌ඩුව දනී. ඡේ. ආර්. '87 දී මුහුණ දුන් තත්ත්වය වැනි දේශපාලන වශයෙන් සියදිවි හානි කර ගැනීමක්‌ සඳහා යැමට රාජපක්‍ෂ ආණ්‌ඩුවට අවශ්‍යතාවක්‌ තිබිය නොහැක. එසේ වුවත් ඉන්දියාව සතුටු කරනා තැනක සිට "විසඳුම" කල් දමමින් සිටීම රාජපක්‍ෂ ආණ්‌ඩුවේ උපාය මාර්ගය වී තිබේ. මෙම උපාය මාර්ගය කල් පවත්නා තත්ත්වයක්‌ නොවන්නේ, අවසානයේදී ඡේ. ආර් ගෙන් මෙන් බලහත්කාර ප්‍රයත්නයකින් තමන්ට වූ පොරොන්දුව ඉටු කරවාගන්නා තැනට ඉන්දියාව පැමිණීමට ඉඩ ඇති නිසාය.

එසේම 13 ට වැඩි යමක්‌ ආණ්‌ඩුව විසින් ලබාදීමට අදහස්‌ කරගෙන සිටින බව ඉන්දියාවට ප්‍රකාශ කරන විට එය අතට ගන්නේ ඉන්දියාව පමණක්‌ නොවේ. දෙමළ සංවිධානය හා ලොව පුරා විසිරී සිටිනා දෙමළ වර්ගවාදීන් ද තමන්ගේ සටන එළැඹෙන්නේ එම ඉල්ලීම මුල් කරගෙනය.

හදවතේ තිබෙන වුවමනාව යමෙකුට ප්‍රකාශ කිරීමේදී එම ප්‍රකාශකයා හා පණිවුඩය ලබා ගන්නා පුද්ගලයා අතර තිබෙන සම්බන්ධය, තත්ත්වය, පෞරුෂ්‍ය හා ප්‍රකාශ කරන අවස්‌ථාව ආදී කාරණා හේතුවෙන් හදවතේ තිබෙන වුවමනාවම ප්‍රකාශ කළ නොහැකිය. රාජ්‍ය තාන්ත්‍රිකව මෙය වඩාත් තීව්‍ර වන්නේ ඒවා පුද්ගලානුබද්ධ භාවයට එහා ගිය කටයුතු නිසාය. නමුත් එසේ වූ පමණින් තමන්ගේ වුවමනාවට සපුරා විරුද්ධ දෙයක්‌ ප්‍රකාශ කිරීමේදී පරිස්‌සම් සහගත විය යුතුය. රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් තමන්ගේ අවශ්‍යතාවය ඉන්දියාවට නොකියුවත් ඉන්දියන් අන්තයේ තිබෙන තත්ත්වයට සරිලන පිළිතුරක්‌ ලබාදීමෙන් සිදුවන්නේ, එහි උපායමාර්ගයක්‌ වනවා වෙනුවට ඉන්දියාවට අවශ්‍ය ක්‍රියාමාර්ගයක්‌ බවට පත් වීමය. ආණ්‌ඩුවට ඉන්දියාවට පෙන්වා දිය හැක්‌කේ, තමන්ගේ අවශ්‍යතාවය ද පෙන්වා ඉන්දියාව හා තමන් අතර තිබෙන මැද තැනකටවත් අවම වශයෙන් පැමිණෙන ලෙස සාකච්ඡා සිදුකර ගැනීම සඳහා ඉන්දියාව යොමු කර ගැනීමය. නමුත් දැන් ආණ්‌ඩුව විසින් සිදු කර තිබෙන්නේ ඉන්දීය අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා ශක්‌තිමත් පදනමක්‌ වචනයෙන් දමා තිබීමය.

එසේම රට තුළදී දෙන විසඳුම පිළිබඳ සාකච්ඡාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියට දමා තිබෙන හෙයින් තම විසඳුම රටට විවෘත කර තිබෙන බව පැහැදිලි ලෙසම ආණ්‌ඩුවට පැවසිය හැකිව තිබිණි. එවැනි අවස්‌ථාවක්‌ තිබියදීත් 13 ට එහා යන විසඳුමක්‌ ලබාදෙන බව ජනාධිපතිවරයා විසින් ඉන්දීය විදේශ ඇමැතිවරයාට කීමෙන් පෙනී යන්නේ ආණ්‌ඩුව ඉන්දියාවට ඕනෑවටත් වඩා දණ ගසා තිබෙන ආකාරයක්‌ය.

රටක්‌ ලෙස මෙයට වඩා ඉදිරියෙන් සිට ඉන්දියාව සමඟ ගනුදෙනු කළ යුත්තේ, ආණ්‌ඩුව දැන් ඉන්දියාවට වුවමනා ලෙස හැසිරීමට පටන් ගෙන තිබෙන නිසාය.

යුද්ධ කාලයේ සිදු වූ දේ සම්බන්ධයෙන් විමර්ෂණාත්මක අතීතාවර්ජනයක්‌ ශ්‍රී ලංකාව විසින් එල්. එල්. ආර්. සී. වාර්තාවෙන් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ද හවුල්කාර භූමිකාවක්‌ නිරූපණය කිරීම හේතුවෙන් නොර්වේද එවැනි වාර්තාවක්‌ නිකුත් කළේය. ප්‍රශ්නය මැවීමේ සිට අද දක්‌වා ප්‍රශ්නය ගෙන යන ඉන්දියාව තවමත් එවැනි ක්‍රියාමාර්ගයක්‌ සඳහා යොමු වී නැත. ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදය ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් ඉන්දීය භූමිකාව පිළිබඳව විමර්ෂණයක්‌ සිදු කර ඉන්දියාවද සිය තීරණය එළෙස හෙළි කරන ලෙස රටක්‌ ලෙස අප පළමුව ඉල්ලා සිටිය යුතුය.

ඉන්දියාව ඒ සඳහා කමිටුවක්‌ පත්කර වාර්තාවක්‌ නිකුත් කළ පසු ඉතිරි කටයුතු පිළිබඳව සාකච්ඡා පැවැත්විය හැකිය.

මනෝජ් අබයදීර
උපුටා ගැනීම
දිවයින
2012-01-25

Related

මනෝජ් අබයදීර 7752480262979670516

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item