ආණ්‌ඩුවට ජාතික වැඩපිළිවෙළක්‌ තිබිය යුතුයි

-මහාචාර්‍ය නලින් ද සිල්වා පසුගිය ආණ්‌ඩු විසින් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට බොහෝවිට කුණු කොල්ලයට ලබා දී තිබූ රජයේ ව්‍යාපාර ලාභ නොලබන්නේ න...

-මහාචාර්‍ය නලින් ද සිල්වා

පසුගිය ආණ්‌ඩු විසින් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට බොහෝවිට කුණු කොල්ලයට ලබා දී තිබූ රජයේ ව්‍යාපාර ලාභ නොලබන්නේ නම් හෝ අඩු ප්‍රයෝජනත්වයකින් පරමාර්ථවලට පටහැනිව පවත්වාගෙන යන්නේ නම් හෝ යළි රජයට පවරාගැනීම සඳහා වූ පනතක්‌ පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණි. මේ පනත කුමක්‌ සඳහාද යන්න පැහැදිලි කිරීමට ආණ්‌ඩුව මුලදී අසමත් විය. එහි ප්‍රතිඵලය වූයේ පිරිමින්ද හඬන ටෙලි නාට්‍ය ඇතැම් රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති ප්‍රකාශ අතර විකාශ වීමත් එ. ජා. පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට පාළු ගෙවල්වල වළං බිඳීමට අවස්‌ථාව සැලසීමත්, ඇතැම් භික්‍ෂූන් වහන්සේලාට ඉක්‍ෂුපාක පෙරන සැදැහැවතුන් වෙනුවෙන් කතා කිරීමට අවස්‌ථාව ලබාදීමත්ය. පනතෙන් බලාපොරොත්තුවන්නේ යළි රජයට පවරාගැනීමක්‌ මිස පළමුවරට රජයට පවරාගැනීමක්‌ නොවන බව පැහැදිලිව ප්‍රකාශ කිරීමට රජයට නොහැකිවීම රජයේ වරදක්‌ ම විය. මේ පනත සම්මත වුවහොත් මෙරටට මින්පසු ආයෝජකයන් නොපැමිණෙනු ඇතැයි භික්‍ෂූන් වහන්සේ නමක්‌ වදාළේ මින්පසු බණ පදයක්‌ අසන්නට නොලැබේවිය යන තරමේ කනගාටුවකින් යෑයි සිතිණි. යළි රජයට පවරා ගැනීම පළමු වරට රජයට පවරා ගැනීමක්‌ ලෙස ජනතාවට යම් පමණකින් වුවත් ඒත්තු ගැන්වීමට විරුද්ධ පක්‍ෂයට හැකි වූයේ එය හදිසියේ කරන කටයුත්තක්‌ ලෙස පෙනෙන්නට තිබීම නිසාත්ය. පසුව ඇතැම් ඇමැතිවරුන්ගේ මැදිහත්වීමෙන් එය තරමක්‌ දුරට නිවැරැදි කෙරුණු නමුත් මුල දී වූ ප්‍රචාරාත්මක අවාසිය සම්පූර්ණයෙන් ම මගහරවා ගැනීමට හැකිවී යෑයි සිතිය නොහැකිය. අදාළ පනතෙහි අඩුපාඩුකම් නොමැතිවා නොවේ. යළි පවරා ගන්නා සමාගම් පනතෙහි ම සඳහන් කිරීම සුදුසු දැයි නො දනිමු. එහෙත් ඒ සමාගම්වලට යළි පවරා ගැනීමට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත්නම් එහි ගැටලුවක්‌ නැත.
කෙසේ වෙතත් විපක්‍ෂය මේ ප්‍රශ්නය ඊනියා ජාත්‍යන්තරය දක්‌වා ගෙන යැමට කටයුතු කිරීමට ඉඩ ඇත. බටහිරයන්ගේ ජාත්‍යන්තරය ද බලා සිටින්නේ මෙවැනි ප්‍රශ්න ලැබෙන තෙක්‌ බැවින් ඔවුන්ට මෙය අඬන්නට සිටි එකාට ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක්‌ වනු ඇත. ඊනියා ජාත්‍යන්තරයට මේ ප්‍රශ්නයේ දී කළ හැකි විශේෂ දෙයක්‌ නොමැති වුවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කීමට ඇතැමකුට එමගින් අවස්‌ථාව ලැබෙනු ඇත. මේ ප්‍රජාතන්ත්‍රවාදය ඉක්‍ෂුපාක ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්වීමට හැකි වුවත් ජනතාවට එය තවදුරටත් තේරුම් කරදීමට ආණ්‌ඩුව පියවර ගත යුතුය. එහෙත් එයටත් වඩා මෙය අද ආණ්‌ඩුව මුහුණ පා ඇති වැදගත් ප්‍රශ්නයක විශේෂ අවස්‌ථාවක්‌ ලෙස සලකා ජාතික සැලැස්‌මක්‌ ඇතිකර ගැනීමට මෙය අවස්‌ථාවක්‌ කරගත යුතුය.අද ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය සම්පූර්ණයෙන් අනුමත කරන්නන් එතරම් ඇතැයි කිව නොහැකිය. වන්දිභට්‌ටයන් හැරෙන්නට අනෙක්‌ අයට ආණ්‌ඩුව සමග විවිධ තලවල ප්‍රශ්න වෙයි. එහෙත් ඒ සියලු ප්‍රශ්න මැද බොහෝ දෙනා ආණ්‌ඩුව ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරති. මහින්ද රාජපක්‍ෂ මහතාට ජනතාවගෙන් ලැබී ඇති ඒ ශක්‌තිය බණ්‌ඩාරනායක මහතාට හෝ එම මහත්මියට හෝ නොලැබුණු බව මෙහිදී සඳහන් කරන්නේ ඒ දෙපළට කරන අගෞරවයක්‌ ලෙස නොවේ. මහින්ද රාජපක්‍ෂ මහතාට ඒ සා මහත් ශක්‌තියක්‌ ලැබුණේ කෙසේ ද යන්න ගැන අපට යම් අවබෝධයක්‌ තිබිය යුතුය. අප බොහෝ අවස්‌ථාවල පවසා ඇති ආකාරයට මේ ආණ්‌ඩුව පදනම් වී ඇත්තේ ජාතිකත්වය මතය. 1956 දී හෝ 1960 ජුලියේ දී හෝ 1970 දී හෝ වත්මන් අයුරෙන් ජාතිකත්වයක්‌ වර්ධනය කරගැනීමට ඒ ඒ වකවානුවල ක්‍රියාත්මක වූ ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සන්ධානවලට නොහැකි විය. ජාතිකත්වයෙන් නොබැඳුණු ජනතාවක්‌ ඒකරාශී කරගැනීමේ හැකියාව අඩුය. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා ජාතිකත්වය ඉතා උසස්‌ මට්‌ටමක ලා සැලකීය. තවමත් එලෙස සලකයි. එබැවින් ජනතාව ජාතිකත්වයෙන් බැඳී ආණ්‌ඩුව ආරක්‌ෂා කර ගැනීමට කටයුතු කරති. මේ ආණ්‌ඩුවට විකල්පයක්‌ අද රටේ නැත. ඒ බව ආණ්‌ඩුව විවේචනය කරන්නන් අවබෝධ කරගෙන ඇත්ද යන්න සැක සහිතය. රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස ආදීන්ට දෙමළ ජාතිවාදය පරාජය කිරීමේ කිසිම හැකියාවක්‌ නැත. දුර්වලයන් වූ ඔවුන්ට කළ හැක්‌කේ බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට යටවීම පමණකි. රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි සුළු කාලයේදී සිංහල ජාතිකත්වයට එරෙහිව කළ කී දැ ජනතාවට අමතක වී නැත.බටහිරයන් ඉදිරියේ කොන්ද නොනමා සිටිය හැකි දේශපාලනඥයන් කිහිප දෙනා අතර මහින්ද රාජපක්‍ෂ මහතා ගව් ගණනකින් ඉදිරියෙන් වෙයි. මෙහි දී විදේශ ඇමැති ජී. එල්. පීරිස්‌ මහතා ගැන ද වචනයක්‌ කිව යුතුය. කලක්‌ ඒ මහතා පැකේඡ් පප්පා නමින් හඳුන්වනු ලැබිණි. ඒ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ව සිටි සමයෙහි දීය. රෝස පාට සමාජවාදිනියක වූ ඇයට කිසිම ජාතිකත්වයක්‌ නො තිබිණි. ජී. එල්. පීරිස්‌ මහතා එදා පැකේජය වෙනුවෙන් විශාල අපකීර්තිමත් කාර්යභාරයක්‌ කරමින් ජාතිකත්වය පාවාදීමට කටයුතු කළ ද අද ඔහු ඉතා ප්‍රශස්‌තව මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති වෙනුවෙන් ඊනියා ජාත්‍යන්තරය ඉදිරියේ පෙනී සිටියි. විශේෂයෙන්ම පසුගියදා ඕස්‌ටේ්‍රලියාවේ පර්ත් නුවර දී ඒ මහතා ක්‍රියා කර ඇති ආකාරය ඉතා අගනේය. ඒ පිළිබඳ අපේ ගෞරවය එදා කෙසේ වෙතත් අද ඒ මහතාට හිමි විය යුතුය. ඇතැම් විට ඔහු පක්‍ෂයේ නායකයා හෝ නායිකාව හෝ කවුරුන් වුවද ඔහු හෝ ඇය හෝ වෙනුවෙන් පෙනී සිටිනවා විය හැකිය. ඒ එසේ නම් අපට වැඩිදුරටත් ඒ ගැන කතාකිරීම අවශ්‍ය නොවේ. එහෙත් මේ ආණ්‌ඩුවේ සියලු ඇමැතිවරුන් ගැන අපට එසේ කිවහැකි නොවේ. ඇතැම් ඇමැතිවරු තවමත් චන්ද්‍රිකා කුමාරතුංගගේ ඇමැතිවරු වෙති. ඔවුහු නමට පමණක්‌ බොහෝ විට වරප්‍රසාද ලබාගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ කටයුතු කරති. විශේෂයෙන් ම ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්නයේදී දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති මාක්‌ස්‌වාදීහු මේ ආණ්‌ඩුව මගින් චන්ද්‍රිකා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරති. තවත් ඇමැතිවරු අන්ත දූෂිතයෝ වෙති. ඔවුන්ට අවශ්‍ය ඉදිරි අවුරුදු කිහිපයෙහි දී ඉදිරි පරම්පරා ගණනාවකට සෑහෙන අන්දමින් ධනය උපයා ගැනීම පමණක්‌ වෙයි. තවත් සමහරු දුර්වලයෝ වෙති. මහින්ද රාජපක්‍ෂ මහතාට අද ඇති ප්‍රධාන ම බාධාව ඇමැති මණ්‌ඩලය යෑයි සිතෙන තරමට ප්‍රශ්නය ඔඩු දුවා ඇත. ඒ මහතාට අද කිසිම බාධාවක්‌ නැත්තේ එ. ජා. පක්‍ෂයෙනි. බටහිරයන්ගේ අනුග්‍රහය ලැබුව ද ජ. වි. පෙරමුණේ කුමාර - ඕපාත කණ්‌ඩායම අද සිය දිවි නසාගැනීමේ මාවතකට එළැඹී ඇත. සෝමවංශ, ටිල්වින්, අනුර කණ්‌ඩායම යථා කාලයේදී කැඩී බිඳී ගොස්‌ කොටසක්‌ සන්ධානයටද තවත් කොටසක්‌ එජා පක්‍ෂයටද එකතු වනු ඇත.
ඇතැම් ඇමැතිවරුන් නොවන්නට මහින්ද රාජපක්‍ෂ මහතාට රට කරවීමට මෙතරම් සුදුසු කාලයක්‌ නොලැබෙනු ඇත. එබැවින් ඒ ඇමැතිවරුන් නොසලකා හැර වුවත් ජාතික වැඩපිළිවෙළක්‌ සකස්‌ කර ගැනීමට ආණ්‌ඩුව වහා ක්‍රියා කළ යුතුය. අපට අවශ්‍ය වන්නේ ජාතික දේශපාලනයකි. ජාතික ආර්ථිකයකි. ජාතික සංස්‌කෘතියකි. මතට තිත යහපත් සංකල්පයක්‌ වුවද එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වී නැත. අමද්‍යප හාමුදුරුවන්ද ඉක්‍ෂුපාය වෙනුවෙන් පෙනී සිටින කල කිසිවකු මොන මතට තිතක්‌දැයි ඇසීමට ඉඩ ඇත. එහෙත් ඒ ප්‍රතිපත්තිය තදින් ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව විශේෂ උත්සාහයක්‌ දැරිය යුතුය. බටහිරයන්, දෙමළ ජාතිවාදීන්, ලිබරල් හා මාක්‌ස්‌වාදී පුහු පඬියන් ආදීන් කුමක්‌ කීවද මෙරට සිංහල බෞද්ධ රටකි. එංගලන්තයේ සුරාසල් තිබීම අපට ප්‍රශ්නයක්‌ නොවේ. එරට ක්‍රිස්‌තියානි නොවන්නන් විශාල පිරිසක්‌ සිටිය ද, ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය අනුව එරට අණ පනත් සකස්‌ වීම ගැන අපි ප්‍රශ්න නො කරමු. එහෙත් අපේ රටේ සංස්‌කෘතිය අමතක කර බටහිර ගැති පඬියන් සුරා පානය කරන්නන්ගේ ඊනියා මානව අයිතිය වෙනුවෙන් කටයුතු කළත් අපට ඒ ගැත්තන්ගේ ඊනියා මානව අයිතිය සීමා කිරීමට සිදුවනු ඇත. ඊනියා මානව අයිතිය යන්න අනෙක්‌ සියලු සංකල්ප මෙන් ම සංස්‌කෘතියට සාපේක්‍ෂය නිරසංකල්පීය දැනුමක්‌ හෝ නිරසංස්‌කෘතික සංකල්ප හෝ පෘථග්ජන මිනිසුන්ට නැත. බටහිරයන්ගේ මානව අයිතීන් තීරණය වී ඇත්තේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියකය. අපට ඒවා ඒ ආකාරයෙන්ම අදාළ නොවේ. මතට තිත යන්නට මත්පැන් මෙන්ම කුඩු ඇතුළු මත් ද්‍රව්‍ය ද අඩංගු විය යුතුය. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි අකැප වෙළෙදාම් වෙයි. අවි ආයුධ, මත් ද්‍රව්‍ය ආදී වෙළෙ¹ම සිංහල බෞද්ධ සංස්‌කෘතියක නොතිබිය යුතුය. මෙයින් කියෑවෙන්නේ හමුදාවක්‌ පවත්වාගෙන යැම අකැප බව නොවේ. එහෙත් පාතාල ලෝකයකට පැවැතීමට ඉඩ තැබීම රටේ සංස්‌කෘතියට කිසිසේත්ම නො ගැළපෙයි. කිනම් සංවර්ධනයක්‌ සඳහා වුවද අයථා ක්‍රම මගින් ආදායම් ලබා ගැනීමට රජය නොපෙළඹිය යුතුය. අපේ සංවර්ධනයේදී අධ්‍යාත්මයට මුල් තැන ලබාදිය යුතුය. අපි හැකිතාක්‌ දුරට අල්පේච්ඡතාවට හුරු විය යුතුය. එහෙත් අපේ අධ්‍යාපනයෙන් එනම් අද ක්‍රියාත්මක වන බටහිර අධ්‍යාපනයෙන් මුළුමනින්ම එයට විරුද්ධව කටයුතු කෙරෙයි. අපේ ආර්ථිකය ඇඩම් ස්‌මිත්ගේ හෝ කාල් මාක්‌ස්‌ගේ හෝ ආර්ථිකය නොවිය යුතුය. අපේ දේශපාලනය එක්‌සේසත් රාජ්‍යය, දශරාජ ධර්මය ආදිය මත පදනම් විය යුතුය. එක්‌සේසත් රාජ්‍යයේ ප්‍රධාන ඒකකය විය යුත්තේ ගම්සභාවය. එය බටහිර දේශපාලන පක්‍ෂ ක්‍රමයෙන් වියෝ විය යුතුය. අපේ ගැමි ජනතාව කොළඹින් පමණක්‌ නොව ඊනියා ප්‍රාදේශීය ප්‍රධාන නගරවලින්ද ස්‌වාධීන විය යුතුය. අප නූතනත්ව පෞද්ගලිකත්වය හා යුරෝපීය මධ්‍යකාලීන සාමූහිකත්වය අතර වූ අපේ මැද පිළිවෙත අනුගමනය කළ යුතුය. බණ්‌ඩාරනායක මහතා මධ්‍යම ප්‍රතිපදාවක්‌ ගැන ඉවෙන් කතා කළේය. මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඒ ඉව ක්‍රියාකාරී වැඩපිළිවෙළක්‌ බවට පත්විය යුතුය.
-මහාචාර්‍ය නලින් ද සිල්වා
උපුටා ගැනීම
ඉරිදා දිවයින සංග්‍රහය

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 2242306585899514715

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item