ආණ්‌ඩුවට නැගෙනහිර ජයගත හැකිද?

සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා සඳහා පැවැත්වෙන ඡන්දයට තව ඇත්තේ සතියකට අඩු කාලයක්‌ නිසා මේ වන විට කාගේත් අවධානය යොමුවී ...

සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා සඳහා පැවැත්වෙන ඡන්දයට තව ඇත්තේ සතියකට අඩු කාලයක්‌ නිසා මේ වන විට කාගේත් අවධානය යොමුවී ඇත්තේ ඡන්ද ප්‍රතිඵලය කුමක්‌ වේද යන්න ගැනය. ආණ්‌ඩුව මෙම ඡන්දයට ගියේ බෙහෙවින්ම අවාසිදායක තත්ත්වයන් යටතේය. ඡන්දය ප්‍රකාශ කළ මුල් කාලයේදී උතුරු මැද පළාතේ දරුණු නියඟයක්‌ පැවතුණු අතර ගොවියෝ වතුර ඉල්ලමින් මහපාරේ පෙළපාලි යන ලදී. මේ වතුර හිඟයට හේතුව ස්‌වභාව ධර්මය, නොවේ යෑයි පෙන්වීමටද විපක්‍ෂයේ දේශපාලනඥයන් විශාල උත්සාහයක යෙදුණි. මේ අවුරුද්ද මුල කාලයේ ප්‍රමාණවත් පරිදි වැසි ලැබුණු බවත්, වැව් වල තිබූ ජලය වගාකරන විට නැති වූයේ ඒ ජල කළමනාකරණය කිරීමේ වරදක්‌ නිසා බවත් අපට අසන්නට ලැබුණි. වැව්වල ජලය හිඳුණේ අව් රශ්මියට නොව දේශපාලනඥයන්ගේ කළමනාකරණයේ වරදක්‌ නිසා නම් ඔවුන් ඒ ජලය වැව් වලින් මුදාහැර කළේ කුමක්‌ද යන්න ගැන පැහැදිලි යමක්‌ අපට ඇසුණේ නැත. වැව්වල ජලය හිඳුණේ ස්‌වභාවික හේතු නිසා යෑයි කීමෙන් ආණ්‌ඩුවට දේශපාලන පාඩුවක්‌ කළ නොහැකි නිසා කුමන ආකාරයෙන් හෝ දේශපාලඥයෙක්‌ මේ ගැන ගත් වැරදි තීන්දුවකින් ජල හිඟයක්‌ ඇතිවුණා යෑයි කිව යුතු විය.

ඉන්පසු වර්ෂාව යම් කිසි ප්‍රමාණයකට ඇතිවී ජල හිඟය තරමක්‌ දුරට හෝ නැතිව ගිය පසු පසුගිය සතියේ අප ජ.වි.පෙ. මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ ගැන තවත් කථාවක්‌ කියනු ඇසුණි. ඒ රජරට වැව් ඉස්‌මත්තේ හෝටල් ඉදිකිරීම නිසා වහින විට ඒවායේ පස්‌ වැව් තුලට සෝදාගෙන ඒමෙන් වැව් අඩිය පිරීගොස්‌ වැවේ රැඳෙන වතුර ප්‍රමාණය අඩුවන බවයි. මේ නිසා රජ රටට දැන් වැසි ලැබුණත් මේ වැසි වලින්ම ලබන අවුරුද්දේ ජල හිඟයක්‌ ඉබේම නිර්මාණය වන බව මේ කතා වලින් ගම්‍යවේ. මේ අනුව වැස්‌සත් නැතත් කෙසේ හෝ ආණ්‌ඩුව ගැන යමක්‌ කීමට හැකිය. මේ ජල ප්‍රශ්නය නැතුව වුවත් මුළු රටේම ජනතාවට බලපාන වෙනත් ඉසෙඩ්-ස්‌කෝර් අර්බුදය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය වැනි වෙනත් ප්‍රශ්නද ඇති නිසා වෙනදා මෙන් නොව මේ ඡන්දයේදී විපක්‍ෂයට කීමට බොහෝ දේ තිබිණි. එසේ වුවත් සබරගමුව හා උතුරු මැද පළාතේ ආණ්‌ඩුව පෙරලා ජයගත යුත්තේ එ.ජා.ප.යයි. නමුත් ඒ පළාත් දෙකේම එ.ජා.පයත් ආණ්‌ඩු පක්‍ෂයත් අතර ඇති ඡන්ද ප්‍රමාණයේ වෙනස කොතරම් විශාලද කියතොත් ආණ්‌ඩුවට කොතරම් අවාසිදායක වුවත් එවැනි වෙනසක්‌ එක වර පියවීම අසීරුය. 2008 දී එ.ජා.ප.යේ උතුරුමැද පළාත් මහ ඇමැති අපේක්‍ෂකයා හැටියට ජානක පෙරේරා යන විටද මා ඔහුට කියා සිටියේ උතුරු මැද පළාත තුල එ.ජා.ප යත් ආණ්‌ඩු පක්‍ෂයත් අතර තිබෙන ඡන්ද ප්‍රමාණයේ වෙනස මොන ජගතෙකුටවත් එකවර පියවිය නොහැකි බවයි. එවැනි වෙනසක්‌ තිබෙන විට කළ හැක්‌කේ ඡන්ද කීපයක්‌ තුළ ක්‍රම ක්‍රමයෙන් එම වෙනස පියවාගෙන ඉදිරියට ඒම පමණි. මේ නිසා පොදුවේ ගත්කල රටේ මොන අවාසිදායක තත්ත්වයක්‌ තිබුණත් උතුරු මැද හා සබරගමු පළාත්වල ආණ්‌ඩුවේ ජයග්‍රහණය ගැන කිසිවකු සැක පළකරන්නේ නැත.

මේ නිසා හැමෝගේම අවධානය යොමුවී තිබෙන්නේ නැගෙනහිර පළාත වෙතය. නැගෙනහිර පළාත තුළ දෙමළ ජාතික සන්ධානයේ බලය වැඩිවී තිබීමත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ආණ්‌ඩුව සමඟ තරග නොකොට වෙනම ලැයිස්‌තුවක්‌ ඉදිරිපත් කිරීම නිසා මේ වනවිට සිංහල ජනතාව අතර ආණ්‌ඩු පක්‍ෂයට යම් පිරිහීමක්‌ ඇතිව තිබෙනවා යෑයි ඇතැම් අය සිතන නිසාත් නැගෙනහිර පළාත් තුළ ආණ්‌ඩු පක්‍ෂයට එක්‌වරම බහුතරයක්‌ දිනා ගැනීමට නොහැකි වේයෑයි ඇතැම් කොටස්‌ තුළ බලාපොරොත්තුවක්‌ ඇති බව පෙනේ. ආණ්‌ඩුවට නැගෙනහිර පළාත තුළ බලය තහවුරු කරගැනීමට හැකිවන්නේ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේද ආධාර ඇතුව බව බොහෝ අය තුල විශ්වාසයක්‌ පවතී. මුස්‌ලිම් කොංග්‍රසයත් සමඟ එකතු වී නැගෙනහිර බලය පිහිටුවා ගැනීමට සිදුවුවහොත් මුස්‌ලිම් කොංග්‍රසය විශ්වාස කළ නොහැකි දේශපාලන පක්‍ෂයක්‌ වන නිසා එය කොයි අවස්‌ථාවක හෝ තමන්ගේ සහයෝගය ඉවත්කරගතහොත් කල්යල් බලා නැගෙනහිර පළාත් සභාව පෙරලීමට ඉඩ ඇති බව විපක්‍ෂයේ අය විශ්වාස කරයි. 2007 අවසානයේදී අය - වැය දෙවනිවර කියවීමේ අවස්‌ථාවේදී මුස්‌ලිම් කොංග්‍රසය මේ ආණ්‌ඩුවම පරාජය කිරීම සඳහා විපක්‍ෂය සමඟ සිටගැනීම මෙවැනි කල්යල් බලා කරන ආණ්‌ඩු විරෝධී මෙහෙයුමකට උදාහරණයක්‌ වශයෙන් පසුබිමේ තිබේ.

ඒ කෙසේ වෙතත් නැගෙනහිර පළාත තුළ තිබෙන යම් යථාර්ථයන් ගැනද අප මෙහිදී සැලකිලිමත් විය යුතුය. ආණ්‌ඩුව නැගෙනහිර පළාත තුළ පරාජය වේ යෑයි බලාපොරොත්තු වන අය එම බලාපොරොත්තු පදනම් කර තිබෙන්නේ මුස්‌ලිම් කොංග්‍රසය මත නොව දෙමළ ජාතික සන්ධානය මතය.

නැගෙනහිර පළාතේ බලය හිමිවන්නේ එක්‌කෝ ජනකොටස්‌ 2 ක බහුතර බලය තිබෙන දේශපාලන පක්‍ෂයට නැත්නම් එක ජන කොටසක්‌ තුල විශාල බලයක්‌ තබාගෙන අනෙක්‌ ජනකොටස්‌ දෙකේද සැලකිය යුතු සහයෝගයක්‌ ලබාගත හැකි දේශපාලන පක්‍ෂයයි. එම නිසා සියල්ල තීන්දුවන්නේ එ.ජ.නි.ස.යට කරුණා පාර්ශවයට හා ඊ. පී. ඩී. පී. සංවිධානයට එකතුවී දෙමළ ඡන්ද කීයක්‌ ආකර්ශනය කර ගැනීමට හැකිවනවාද යන්නත් අතාවුල්ලා, හිස්‌බුල්ලා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේ මුස්‌ලිම් නායකයන්ට මුස්‌ලිම් ඡන්ද කොපමණ ප්‍රමාණයක්‌ ආණ්‌ඩු පක්‍ෂයට එකතුකර ගැනීමට හැකිවනවාද, සිංහල ඡන්ද වලින් කොපමණ ප්‍රමාණයක්‌ එ.ජා.පයට ආකර්ශනය කර ගත හැකිවේද යන්න මතය.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් නැගෙනහිර පළාත තුළ හා විශේෂයෙන් මඩකලපුව දිස්‌ත්‍රික්‌කය තුළ දෙමළ ඡන්ද සියල්ලම පාහේ ලබාගනීවි යෑයි විපක්‍ෂය තුළ විශාල බලාපොරොත්තුවක්‌ ඇත. බැලූ බැල්මට දෙමළ ජාතික සන්ධානය නැගෙනහිර පළාතේත් විශේෂයෙන්ම මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේත් සිටින්නේ අනභිභවනීය තත්ත්වයකය. දෙමළ ජාතික සන්ධානයට මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකු සිටී. ආණ්‌ඩු පක්‍ෂයට එම දිස්‌ත්‍රික්‌කයේ එක දෙමළ මන්ත්‍රීවරයෙක්‌වත් නැත. සිටින්නේ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ජනගහණයෙන් 25% ක්‌ පමණ වන මුස්‌ලිම් ජනතාව අතරින් පත්වී ආ හිස්‌බුල්ලා මන්ත්‍රීවරයා පමණි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එ.ජා.ප.ය හා මුස්‌ලිම් කොංග්‍රසය එකතු වී දැමූ ලැයිස්‌තුවෙන්ද මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ තවත් මුස්‌ලිම් මන්ත්‍රීවරයකු පත්වී ඇත. ඒ අනුව බැලූ බැල්මට පෙනී යන්නේ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් ඡන්ද ආණ්‌ඩු පක්‍ෂයත් එ.ජා.ප. යත් අතර බෙදී තිබෙන අතර දෙමළ ඡන්ද සියල්ලම දෙමළ ජාතික සන්ධානයට ගොස්‌ තිබෙන බවකි.

නමුත් යථාර්ථය මීට තරමක්‌ වෙනස්‌ය. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට මඩකලපුව දිස්‌ත්‍රික්‌කය තුළ ලැබුණේ ඡන්ද 66,235 කි. එ.ජ.නි.ස යට ඡන්ද 62,009 ක්‌ ලැබිණි. ඒ අනුව මඩකලපුව දිස්‌ත්‍රික්‌කය තුළ දෙමළ ජාතික සන්ධානයත් ආණ්‌ඩු පක්‍ෂයත් අතර තිබූ වෙනස ඡන්ද 4,226 ක්‌ පමණි. එසේ නම් දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනකුත් ආණ්‌ඩු පක්‍ෂයට එක මන්ත්‍රීවරයකුත් පමණක්‌ සිටින්නේ කෙසේදැයි කවුරුත් අසනු ඇත. මෙතන ඇතිව තිබෙන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමයේ විකෘතියකි.

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එ.ජ.නි.ස. ය මඩකලපු ඡන්ද කොට්‌ඨාසය ජය ගත්තේය. ඔවුන්ට ඡන්ද 35,000 කට වඩා ලැබුණු අතර දෙමළ ජාතික සංධානයට ලැබුණේ ඡන්ද 32,700 ක්‌ පමණි. කල්කුඩා ඡන්ද කොට්‌ඨාසයද ජයගත්තේ එ.ජ.නි.ස. යමය. ඔවුන්ට ඡන්ද 16,000 කට වඩා ලැබුණු අතර දෙමළ ජාතික සංධානයට ලැබුණේ ඡන්ද 13,000 ගණනකි. නමුත් පත්තිරිප්පු ඡන්ද කොට්‌ඨාසයේ දෙමළ ජාතික සංධානයට ආණ්‌ඩු පක්‍ෂයට වඩා ඡන්ද 10,000 ක්‌ ලැබිණි. දෙමළ ජාතික සංධානයට මඩකලපුව දිස්‌ත්‍රික්‌කය තුළ ඡන්ද 4,226 ක බහුතරය ලැබුණේ එයිනි. මේ අනුව මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද කොට්‌ඨාස තුනෙන් දෙකක්‌ දිනා සිටින ආණ්‌ඩු පක්‍ෂයට එක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ සිටින අතර මුළු දිස්‌ත්‍රික්‌කයේම එක ඡන්ද කොට්‌ඨාසයක්‌ පමණක්‌ දිනා ගත් දෙමළ ජාතික සංධානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනකුම සිටී.

දිස්‌ත්‍රික්‌කයක්‌ තුළ වැඩි ඡන්ද 4,226 ක වෙනසකින් දේශපාලන පක්‍ෂයක පාර්ලිමේන්තු නියෝජිතයන්ට එවැන්නක්‌ සිදුවිය හැක. සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් දිස්‌ත්‍රික්‌කයේ යථාර්ථය පිළිබිඹු නොවූ එක්‌ බරපතළ අවස්‌ථාවක්‌ ලෙස මෙය හැඳින්විය හැක. මේ විකෘතියට වගකිව යුත්තේද පිල්ලෙයාන්ගේ ටී. එම්. වී. පී. පක්‍ෂයමය. ඔවුන් 2010 අප්‍රේල් මහ මැතිවරණයේදී ආණ්‌ඩු පක්‍ෂයෙන් තරග නොකර වෙනම ලැයිස්‌තුවක්‌ ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ටී. එම්. වී. පී. පක්‍ෂයට මඩකලපුව ඡන්ද කොට්‌ඨාසයෙන් ඡන්ද 3,756 ක්‌ ද කල්කුඩා ඡන්ද කොට්‌ඨාසයෙන් ඡන්ද 6,739 ක්‌ ද, පත්තිරුප්පු ඡන්ද කොට්‌ඨාසයෙන් ඡන්ද 6,072 ක්‌ ද ලැබිණි. ටී. එම්. වී. පී. පක්‍ෂය වෙනම තරග කොට එ. ජ. නි. ස. යට ලැබිය යුතු ඡන්ද කැඩුවේ නැත්නම් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ බහුතරය අනිවාර්යයෙන්ම හිමි වන්නේ ආණ්‌ඩු පක්‍ෂයටය. එවිට ආණ්‌ඩු පක්‍ෂයට මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙන් මන්ත්‍රීවරුන් තුන්දෙනකුද දෙමළ ජාතික සංධානයට එක්‌ මන්ත්‍රීවරයකුද වශයෙන් අප කලින් දුටු විකෘතිය අනෙක්‌ පැත්තට ක්‍රියාකරනු ඇත. දැන් සිදුවී තිබෙන්නේ දෙමළ ජාතික සංධානයට දෙමළ මන්ත්‍රීවරුන් තිදෙනකු ද සිටින නිසා ඔවුන්ට මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ දෙමළ ඡන්ද සියල්ලම ලැබී තිබෙන බවක්‌ බැලූ බැල්මට පෙන්වයි. බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙන දේ ඡන්දදායකයන් තුළ මානසික බලපෑමක්‌ ඇතිකරන නිසා එයින් මේ ඡන්දයේ ඉරණම ද තීන්දු වීමට ඉඩ ඇත. දෙමළ ජාතික සංධානයට මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ දෙමළ ඡන්ද බහුතරයක්‌ තිබෙන බව බැලූ බැල්මට පෙනෙන්නේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ටී. එම්. වී. පී. පක්‍ෂයෙන් වෙනම ලැයිස්‌තුවක්‌ ඉදිරිපත් කොට පිල්ලෙයාන් විසින්ම කරන ලද ඒ මහා මෝඩකම නිසාය. දෙමළ ජාතික සංධානයට අනභිබවනීය තත්ත්වයක්‌ තිබෙනවාය යන හැඟීම නිසා මෙවර ඡන්ද ප්‍රතිඵලය අනෙක්‌ පැත්ත ගැසුවොත් එහි වගකීම යා යුත්තේ පිල්ලෙයාන්ටම මිස අන් කිසිවකුටත් නොවේ.

ඇත්ත වශයෙන්ම දෙමළ ජාතික සංධානයට නැගෙනහිර පළාත තුළ පෙනෙන්නට තිබෙන තරම් බලයක්‌ නැත. ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කය ගතහොත් ඔවුන්ට සේරුවිල ඡන්ද කොට්‌ඨාසයේ ඇත්තේ ඡන්ද 3,297 කි. මුත්තූර් ඡන්ද කොට්‌ඨාසයේ ඇත්තේ ඡන්ද 8,068 කි. දෙමළ ජනතාව බහුල වශයෙන් ජීවත් වන ත්‍රිකුණාමලය ඡන්ද කොට්‌ඨාසයේ පමණක්‌ දෙමළ ජාතික සංධානයට ඡන්ද බහුතරයක්‌ ඇත. නමුත් එතනදී ද දෙමළ ජාතික සංධානයට ඡන්ද 20,578 ක්‌ ලැබෙන විට එ. ජ. නි. ස. යටත් ටී. එම්. වී. පී. පක්‍ෂයටත් ඒකාබද්ධව ඡන්ද 12,067 ක්‌ ලැබිණි. ඒ එක්‌සත් ජනතා නිදහස්‌ සංධාන ලැයිස්‌තුවේ එක දෙමළ අපේක්‍ෂකයකුවත් නොසිටියදීය. දෙමළ ජාතික සංධානයට මුළු ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේම සිටින්නේත් එක මන්ත්‍රීවරයකු පමණි.

දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කය ගත් කල ද දෙමළ ජාතික සංධානයට අම්පාර ඡන්ද කොට්‌ඨාසය තුළ ඡන්ද කිසිවක්‌ නැත. සමන්තුරේ ඡන්ද කොට්‌ඨාසය තුළ ඔවුන්ට ඡන්ද 3,972 ක්‌ ඇත. කල්මුණේ වල ඡන්ද 7,947 ක්‌ ද, පොතුවිල් වල ඡන්ද 14,248 ක්‌ ද ඔවුන්ට ඇත. ඒ අනුව මොනම තත්ත්වයක්‌ යටතේවත් දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කය තුළ දෙමළ ජාතික සංධානයට එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වඩා ලබාගත නොහැක. ඒ අනුව බලන කල එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයට නැගෙනහිර පළාත් සභාව තුළ මුස්‌ලිම් කොංග්‍රසය නැතුව වුවද පැහැදිලි බහුතරයක්‌ ලබාගැනීමට කළ යුත්තේ ඔවුන් පාර්ලිමේන්තු ඡන්දයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතයම ලබාගැනීම පමණි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එ.ජ.නි.ස. යට මඩකලපු දිස්‌ත්‍රික්‌කය තුළ දෙමළ ජාතික සංධානයට අප කලින් දුටු තරම් කිට්‌ටු වීමට හැකි වූයේද තම ලැයිස්‌තුව තුළ ප්‍රබල දෙමළ අපේක්‍ෂකයන් කිසිවෙක්‌ නොසිටි තත්ත්වයක්‌ තුළය. ආණ්‌ඩු පක්‍ෂ ලැයිස්‌තුවේ සිටි දෙමළ අපේක්‍ෂකයන් කිසිවෙක්‌ දිස්‌ත්‍රික්‌කයෙන් පිට හඳුනන්නේ නැති අතර ඔවුන් දිස්‌ත්‍රික්‌කය තුළ වත් කිසිවෙක්‌ හඳුනනවා දැයි සැක සහිතය. නමුත් මෙවර ආණ්‌ඩු පක්‍ෂ ලැයිස්‌තුවේ නායකයා වන්නේ මහ ඇමැති පිල්ලෙයාන්මය. මෙයින්ද යම්කිසි වෙනසක්‌ මඩකලපුව දිස්‌ත්‍රික්‌කය තුළ සිදුවිය යුතු යෑයි බලාපොරොත්තු විය හැක. 2008 නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී පිල්ලෙයාන් මඩකලපු දිස්‌ත්‍රික්‌කයෙන් වැඩිම මනාප ලබාගත් අපේක්‍ෂකයා ද විය. එය ද අහඹු සිද්ධියක්‌ නොවීය. බොහෝ අය සිතනවාට වඩා විශාල ඡන්ද ප්‍රමාණයක්‌ එ. ජ. නි. ස. යට මඩකලපුව දිස්‌ත්‍රික්‌කය තුළ ඇත. දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කයේ ද බොහෝ අය හිතනවාට වඩා දෙමළ ඡන්ද ප්‍රමාණයක්‌ ආණ්‌ඩු පක්‍ෂයට ලැබේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්‌ඩු පක්‍ෂ ලැයිස්‌තුවේ දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළ දෙමළ අපේක්‍ෂකයන් සිටියේ එක්‌ අයෙක්‌ පමණි. ඔහු ද ලැයිස්‌තුවේ අන්තිමයා විය. එසේ තිබියදීත් ඔහුට මනාප ඡන්ද 9,763 ක්‌ ලැබී තිබිණි. දෙමළ ජාතික සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරයාටද ලැබුණු මනාප ඡන්ද සංඛ්‍යාව 11,139 කි. දෙමළ ජාතික සංධානයට දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කයෙන් ලැබුණු මුළු ඡන්ද ප්‍රමාණය ඡන්ද විසිහයදහස්‌ ගණනක්‌ විය. මේ අනුව අපට දළ වශයෙන් සිතාගත හැක්‌කේ දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කයේ දෙමළ ඡන්දවලින් 30% කට ආසන්න ප්‍රමාණයක්‌ ආණ්‌ඩු පක්‍ෂයට යන බවයි.
වර්තමාන ඡන්දයට කලින් පැවැති ඡන්දයේ ඉලක්‌කම් අනුව හෙළිවන යථාර්ථය එයයි.

-සී.ඒ. චන්ද්‍රප්‍රේම 
උපුටා ගැනීම
2012-09-03

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 7938737992231585159

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item